No menu items!
21.7 C
Sri Lanka
20 September,2024

සාන්තුවර අර්නෙස්ටෝ අනුස්මරණය කරන
වීර ගරිල්ලා දිනය

Must read

■ වසන්ත රනිල්

චේ එහෙමත් නැත්නම් අර්නෙස්ටෝ ගුවේරා ලා සර්නා අපි හොඳින්ම දන්න විදිහට කිව්වොත් චේ ගුවේරා ඝාතනය කර වසර 51ක් ගතවූ බව පහුගිය ඔක්තෝබර් 9 වැනිදා පැවැති ඉතා කුඩා සැමරුම්වලින් ප්‍රකාශ විණි. ඒ වගේම ජුනි 14 වෙනිදාට යෙදෙන චේගේ ජන්ම දිනයටත් පුවත්පත්වල කුඩා ලිපියක් දෙකක් පළවීම අපට දැක ගැනීමට ලැබේ. ඒ චේ ගැන අප කරන ආවර්ජනයන්ය. විප්ලවවාදීන්ගේ ආදර්ශවත් චරිතය ලෙස පිළිගත්තත් චේ යනු ආදරණීය චරිතයකි. එවැනි ආදරණීය චරිතයක් වුණු චේ නිසාම නම් කරන ලද ජාත්‍යන්තර දිනයක්ද ඇත. ඒ ඔක්තෝබර් 8 වැනිදා ය.


ඔක්තෝබර් 8 වැනි දා යනු වීර ගරිල්ලා දිනයයි. එය වෙනත් ජාත්‍යන්තර දින මෙන් එක්සත් ජාතීන් විසින් නම් කරනු ලැබූ දිනයක් නොවේ. හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ විසින් නම් කරනු ලැබූ දිනයකි. ඒ 1967 වසරේ දී ය. ලා හිගුවේරා ගම්මානය අසළ වනාන්තරයේ තුවාල ලබා සිටි අර්නෙස්ටෝ චේ ගුවේරා බොලිවියානු හමුදාව විසින් ඝාතනය කරනු ලබන්නේ ඊට පසු දා එනම් ඔක්තෝබර් 9 වැනි දා යි. චේ අනුස්මරණ දිනය ලෙස ඔක්තෝබර් 9 වැනි දා සලකනු ලබන අතර චේ අවසන් වරට සටන් කළ ඔක්තෝබර් 8 වැනි දා වීර ගරිල්ලා දිනය ලෙස සමරනු ලබයි.


ෆිදෙල් කස්ත්‍රෝට චේ අවසන් වරට සටන් කළ දිනය වීර ගරිල්ලා දිනය ලෙස නම් කිරීමට ඕනෑ තරම් හේතු තිබුණි. ඒ අතර ප්‍රධාන වන්නේ ඊට පෙර කිසිදා ගරිල්ලා සටනක් නොකළ චේ තමා සමග සම්බන්ධ වී ඒකාධිපති ෆුල්ජනිසියෝ බැටිස්ටාගෙන් කියුබාව මුදා ගැනීම සඳහා පෑ හපන්කම්ය. ගරිල්ලන් 82 ක් සමග ආරම්භ කළ එම සටනේ දී ගරිල්ලා නායකයකු ලෙස චේ දැක් වූ නිර්භීත සටන්කාමීභාවය අසමසමය. ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයේ පමණක් නොව ඇමෙරිකානු කුලී සටන්කරුවන්ගේ ද සහාය ලැබූ කියුබානු හමුදා පරාජය කර බැටිස්ටා රජය පෙරළා දැමූ සටන ජයග්‍රහණය කිරීමට චේ දැක්වූ දායකත්වය කියුබානු ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද රන් අකුරින් ලියැවෙන්නකි. ඉන් පසුව ලතින් ඇමෙරිකානු රටවල මෙන් ම අප්‍රිකාවේ ද ඇවිළ ගිය ගරිල්ලා සටන් සම්බන්ධයෙන් චේ කළ අධ්‍යයනයන් මෙන් ම ඔහු දැරූ ස්ථාවරයන් ද එකල කිසිදු විප්ලවවාදියකු නොකළ තරම් ය. ඇතැම් සටන් බිම්වලට චේ පෞද්ගලිකව ම ගොස් තිබිණි.


අවසාන වශයෙන් බොලිවියාවේ ඒකාධිපති රෙනේ බැරියෙන්ටොස් රජය ගෙන ගිය අතිශයින් ම දූෂිත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පෙරළා දැමීම සඳහා චේ බොලිවියානු සටන්කාමීන්ට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ තමන් සමග කියුබානු විප්ලවයට සහභාගි වූ කියුබානු ගරිල්ලා භට පිරිසක් ද කැඳවා ගනිමිනි. ඒ ඔවුන් කියුබානු විප්ලවයේ දී ලත් ජයග්‍රාහී අත්දැකීම් බොලිවියානු විප්ලවයට අතිශයන් ම වැදගත් වන නිසාය. 47 දෙනකුගෙන් සමන්විත වූ චේගේ කුඩා ගරිල්ලා හමුදාවට තවත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක ම ගරිල්ලෝ ද ඇතුළත්ව සිටියහ. ඒ සියලු‍ දෙනා ම චේගේ නායකත්වය පිළිගෙන ස්වේච්ඡාවෙන් සටනට එක් වූ ගරිල්ලෝය.


චේ බලාපොරොත්තු වූ ලෙස බොලිවියානුවන්ගෙන් සටනට සහාය හිමි වූයේ නැත. ප්‍රතිඵලය වූයේ මාස 11කට පසුව සටනින් පරාජය වූ චේ තවත් විප්ලවවාදීන් තිදෙනෙකු ද සමඟ බොලිවියානු රජයේ හමුදා අත්අඩංගුවට පත් වීමයි. ඒ ලා හිගුවේරා ගම්මානයේ රොජාස් නම් ගොවියෙකු කළ පාවා දීමක් නිසා ය. පසු දා එනම් 1967 ඔක්තෝබර් 9 වැනි දා ප.ව. 1.30ට පමණ මාරියෝ ටෙරාන් නම් සැරයන්වරයා කළ වෙඩි තැබීමෙන් චේ ඝාතනය වන්නේ ජනාධිපති බැරියෙන්ටොස්ගේ අණ අනුවය.


දුක් විඳින බොලිවියානු ජනතාව වෙනුවෙන් විප්ලවයක් කිරීමට පැමිණි ගරිල්ලා නායක අර්නෙස්ටෝ චේ ගුවේරා බොලිවියානුවන්ගේ විශ්වාසය දිනාගත නො හැකි ව මිය යන අතර ඔහු නැවත ඔවුන් අතර ශාන්ත අර්නෙස්ටෝ ලෙස වැඳුම් පිදුම් ලබයි. ඒ ලා හිගුවේරා වැසියන් සටන් කරමින් සිටි චේගේ ස්වරූපයට වඩා මිය ගොස් සිටි චේගේ ස්වරූපය දැකීමෙන් පසුව ය. මියයාමෙන් ටික දිනකට පසු චේ නම් විප්ලවවාදියා පිළිබඳ සත්‍ය කරුණු දැන ගැනීමෙන් පසුවය. අනෙකුත් කිතුනුවන් මෙන් ම ලා හිගුවේරා වැසියෝ ද තමන් වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුන් කුරුසියේ දුක් විඳි බව විශ්වාස කරති. ඊට පෙර චේ මාස 11ක් අඩි 6000කට වඩා ඉහළ අති දුෂ්කර කඳුකරයක දෙපා පතුරු යන තුරු සෙසු ගරිල්ලා සගයින් හා එක්ව බොලිවියානු හමුදා සමග තමන් වෙනුවෙන් සටන් කරමින් දුක් විඳීම ජේසුස් කුරුසිය කර තබා ගෙන යෑමට සමාන බව ලා හිගුවේරා ගැමියෝ විශ්වාස කළහ. ජේසුස් රිදී 30කට ජුදාස් පාවා දුන්නාක් මෙන් ඩොලර් 3000ක් දෙන බවට හමුදාව වූ පොරොන්දුවකට රොජාස් නම් තම ගම්වැසියෙකු චේව පාවා දුන් බව ගැමියෝ දනිති. ජේසුස් දේවස්ථාන තුළ යාඥා නොකළ පරිද්දෙන් ම චේ ද කිතුනු දේවස්ථාන තුළ යාඥා නොකළ ද තමන් වෙනුවෙන් සටන් කළ බව ඔවුහු දනිති.
චේ කියුබාවේ බලගතු ඇමැති තනතුරු, නිලතල මෙන් ම පුරවැසිභාවය පවා අත් හැර විප්ලවයක් ඇරඹුවේ තමන් වෙනුවෙන් බව ද ඔවුහු දනිති. ක්‍රි.ව. 1148 සවුදි අරාබියේ මක්කම දී දෙවැනි කුරුස යුද්ධය අතරතුර මිය ගිය ජර්මනියේ ස්විෆල්ටන් අබේහි කිතුනු ප්‍රධානියා ලෙස කටයුතු කළ අර්නස්ට් දේවගැතිතුමා මෙන් චේ කිතුනුවන් වෙනුවෙන් සටන් නොකළ බව ද ඔවුහු දනිති. කිතුනුවන් වෙනුවෙන් සටන් කොට මිය ගිය අර්නස්ට් දේවගැතිතුමා ශාන්තුවරයට එසවීමට කටයුතු කළ කතෝලික සභාව චේ ශාන්තුවරයට ඔසවා නැති බව ද ලා හිගුවේරා ගැමියෝ දනිති.


ලා හිගුවේරා ගැමියන්ට ඉන් ඵලක් නැත. චේ මිය ගියේ තමන් වෙනුවෙන් බව ඔවුහු හොඳින් ම දනිති. එය ඔවුන් දුටුවේ ඔවුන් විශ්වාස කරන පරිදි චේගේ මළසිරුර මිය ගිය ජේසුස් ක්‍රිස්තුස්ගේ මෙන් දැකීමෙනි.


ලා හිගුවේරාවාසීන්ට කතෝලික සභාව හෝ රජය හෝ වෙනත් ශාන්තුවරයන් හෝ පිළිබඳ ඇති භක්තියට වඩා ඇත්තේ ශාන්ත අර්නෙස්ටෝ පිළිබඳ භක්තියකි, ගෞරවයකි. තම ගොවිතැන් පාළු වූ විට, නිසි කලට වැසි නොලැබුණු විට හා ලෙඩ රෝගවලින් පීඩාවට පත් වූ කල තමන්ට පිහිට ඉල්ලා ශාන්ත අර්නෙස්ටෝහට බාර හාර වන්නේ ඒ නිසාය. ඒ සඳහා ශාන්ත අර්නෙස්ටෝ වෙනුවෙන් ඉදිකළ පූජ්‍යස්ථානයක් ද ලා හිගුවේරාවේ ඇත.


බොහෝ සෙයින් නූගත් ගතානුගතික සිරිත් විරිත් ඇති වුවත් ලා හිගුවේරාවේ දිළිඳු ගැමියන් අපට කියා දෙන පාඩම වන්නේ පාප්වරයෙකු වුවත්, කාදිනල්වරයෙකු වුවත්, පූජකවරයෙකු වුවත්, කතෝලික සභාව ශාන්තුවරයට ඔසවා තැබුවත් නැතත් ජනතාවගේ ශාන්තුවරයෙකු විය හැක්කේ ජනතාව විසින් ශාන්තුවරයෙකු ලෙස ගෞරව කරන්නනේ නම් පමණක් බවයි. ඒ සඳහා කතෝලිකයන් වෙනුවෙන් පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි