No menu items!
25.5 C
Sri Lanka
17 September,2024

‘ලොහාන් රත්වත්ත සිද්ධිය සම්බන්ධ කමිටුවක් පත් කිරීම අපරාධය යටපත් කිරීමේ වෑයමක්‘ – නීතිඥ සේනක පෙරේරා

Must read

■ ප්‍රියාශා හෙට්ටිහේවා

ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරවලට ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත්කිරීම හුදෙක් අදාළ අපරාධය සඳහා අපරාධ නීතිය ක්‍රියාත්මකවීමක් නොව එය යටපත් කිරීම සඳහා සිදුකරන ක්‍රියාවක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.


විශේෂයෙන් ම අදාළ සිදුවීම්වලට පවතින විරෝධය නිසා කමිටුවක් පත් කර ඒ මගින් විමර්ශන කිරීම පැහැරහැරීම මෙම කමිටුව පත්කිරීමේ යටි අරමුණ බව ඔහු පැවසීය. කමිටුවක් පත් කළ විට අදාළ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවට අදහසක් ජනතාවගේ මනසට කාවැද්දීම මෙලෙස කමිටු පත් කිරීම මගින් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.


ඔහු පැවසුවේ, 2012 වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධව ද විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කළ බවත්, මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත්, එම කමිටු මගින් අවසානයේ ලැබුණේ ලියවිල්ලක් පමණක් බවත්ය.


විශේෂයෙන් 2012 වැලිකඩ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව කමිටු 2ක් පත් කළ බවත් පිටු විශාල සංඛ්‍යාවකින් යුත් කමිටු වාර්තා පමණක් ඉන් ලැබුණ බව ඔහු අවධාරණය කළේය.


කමිටු මගින් අදාළ අපරාධය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන බවත්, යම් නිර්දේශයක් පමණක් ඒ හරහා ලැබෙන බවත් ඔහු පවසයි. ඔහු පැවසුවේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාව සම්බන්ධ විමර්ශන නොකර මුදල් වියදම් කර, කාලය වැය කර ලියවිල්ලක් පමණක් මෙම අපරාධය සම්බන්ධයෙන් ද අවසානයේ ලැබෙනු ඇති බවය.
අපරාධය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණයක් හෝ අපරාධකරුට දඬුවම් ලබා දීමක් කමිටුවක් මගින් සිදු නොවන බවත් ඒ සඳහා අපරාධ විමර්ශනයක් කිරීම අනිවාර්ය බව ඔහු පැවසීය.


තව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, සරත් වීරසේකර අමාත්‍යවරයා, අලි සබ්රි අමාත්‍යවරයා ඇතුළු බන්ධනාගාර ප්‍රධානීන් සහ රජයේ ප්‍රධානීන් රත්වත්ත අමාත්‍යවරයා රැගෙන ගියේ ලයිසන් පිස්තෝලයක් බව, අමාත්‍යවරයාට ඕනෑ ම අවස්ථාවක බන්ධනාගාරයට ඇතුළු විය හැකි බව, අමාත්‍යවරයා විසින් දෙමළ තරුණයන් ඉලක්ක නොකළ බව ආදී අදාළ සිදුවීම් සම්බන්ධව පූර්ව නිගමන සහිතව සිටින බවත් එලෙස මත පළ කිරීම කමිටු වාර්තාවට පවා බලපෑමක් බව සේනක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ප්‍රධානීන් සිද්ධිය වසන් කිරීමට කටයුතු කළ බවත් සිද්ධිය සිදුවන අවස්ථාවේ එය වැළැක්වීමට කටයුතු නොකර එම අපරාධයට අනුබල දුන් බවත් එවන් නිලධාරීන් එම තනතුරුවල ම තබාගෙන විමර්ශන කරන්නේ නම් එය ද කිසිදු අර්ථයක් නොලැබෙන ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය. අපරාධයට අනුබල දුන් නිලධාරීන් සක්‍රීය සේවයේ සිටියදී විමර්ශන ක්‍රියාත්මක වන්නේ නම් එහි සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි වීම එයට හේතුව යැයි ඔහු පැවසීය.


කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් සිදු නොවන්නේ නම් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රිට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි