No menu items!
27 C
Sri Lanka
20 April,2024

කොමිෂන්, කොමිෂන්, කොමිෂන්

Must read

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් වුණේ රටේ තිබෙන සකලවිධ රෝග හා ඒවාට තිබෙන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ගැන දීර්ඝ කාලයක් තිස්සේ තමා වටා සිටි වියතුන්, උගතුන් හා ප්‍රාමාණියක් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව සකස් කළ වැඩපිළිවෙලක් හා දැක්මක් ඇතිව බව, සෞභාග්‍යයේ දැක්ම කියවන විට ඒත්තු යයි.

එහෙත්, දැන් හැම පඳුරක් ගානේ ම විශේෂ ජනාධිපති කොමිෂන්, සාමාන්‍ය ජනාධිපති කොමිෂන්, ජනාධිපති කාර්ය සාධක බලකා, ජනාධිපති කමිටු පිහිටුවන විදියට පමණක් නොව විවිධ අවස්ථාවලදී රජයේ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට පාවිච්චි කළ යුතු විවිධ ‘ටූල් කිට්’ ගැන උපදෙස් දෙන අන්දමට, ඒ කිසි ම රෝගයක් ගැන කිසි ම රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් ඔහු විසින් සකස් කරගනු ලැබ නැතැ’යි කිසිවකුට පෙනී යාම හැම අතින් ම සාධාරණ ය. පසුගිය කාලය තුළ නිකුත් කරන ලද සාමාන්‍ය හා අතිවිශේෂ ගැසට් පත්‍ර, නියෝග පමණක් සැලකුවා වුව ද මේ අන්ධකාරයේ අතපත ගෑම් යහමින් ප්‍රදර්ශනය වෙයි.

එක උදාහරණයක් පෙන්විය හැකි ය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නේ රටේ ගම් 25000ක ඇවිද ලබා ගත් තොරතුරු හා අත්දැකීම් ඔස්සේ ගම නගන විශිෂ්ට වැඩසටහනක් ගෝටාභය රාජපක්‍ෂ අපේක්‍ෂකයා සතුව ඇති බව ය. එහෙත්, ජනාධිපති පදවියට පත්වූ පසු මේ වන විට, ජනාධිපතිවරයා ‘ගම සමග පිළිසඳරක්’ නමින් අතිවිශාල මුදලක්, නිලධාරීන්ගේ වැඩ කාලයක් මෙන් ම මහජනතාවගේ කාලයත් නාස්ති කරමින් වැඩසටහනක් පවත්වමින්, ජනාධිපතිවරයා ම ගොස් ජනතාවගේ ප්‍රශ්න අසා දැන ගෙන විසඳුම් දීමේ පිළිවෙතක් පවත්වාගෙන යයි. තනතුරට පත්වීමට පෙර ගම් 25000ක සැරිසරා ගැටලු හඳුනා ගත්තේ නම්, මේ සා විශාල වියදමක් කරමින් යළිත් ගම්වලට යන්නේ මන්ද? ඒ සමහර කුඩා අනුකුඩා ප්‍රශ්න ග්‍රාමනිලධාරීන්ට, කෘෂිකර්ම නිලධාරීන්ට, සමෘද්ධි නිලධාරීන්ට, වනජීවී නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය නිලධාරීන්ට විසඳිය හැකි ඒවා නොවේ ද? විධායකයේ සාමාජිකයන් වන ඔවුන් ඒවා කාර්යක්‍ෂම ව විසඳන්නේ නැතිනම් එහි වගකීම විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා භාර ගත යුතු නැද්ද?

ජනාධිපති කොමිෂන් සභා ද දැන් සතියකට එකක් පත් කරන අන්දමට රට කාර්යක්‍ෂම වී තිබේ. කොමිෂන් සභා පත් කරමින් ද, ඒවාට සාමාජිකයන් පත් කරමින් ද, පත්වන අය ඉල්ලා අස්වන විට අලුත් අය පත් කරමින් ද, කොමිෂන්වල විධාන පත්‍ර සංශෝධනය කරමින් ද, කොමිෂන්වල කාලය දිගු කරමින් ද නිකුත් වන ගැසට් පත්‍ර ගැන මාධ්‍යවල පළවන වාර්තා සුළුපටු නොවේ.

ඇත්ත. රාජ්‍ය නායකයකු අත්තනෝමතික නොවී, අනුන්ගේ අදහස් විමසමින් ප්‍රශ්න හඳුනා ගැනීම හා තීන්දු තිරණ ගැනීම කළ යුතු ය. එහෙත් ඒ සාමාන්‍ය නායකයෙක් ය. ගෝඨාභය රාජපක්‍ෂ යනු එවැනි සාමාන්‍ය නායකයකු නොව, මෙතෙක් පහළ නොවූ ආකාරයේ විශේෂ නායකයෙකි. ඔහු ආවේ ම වියත් මග හරහා රටේ දැවෙන ප්‍රශ්නවලට අතැඹුලකාකාරයෙන් සැකසුණු විසඳුම් ගෙන බව කීවෝ ඔහු සහ ඔහුගේ ම අනුගාමිකයෝ ය. දැන් පරස්පරය නිර්මාණය වී තිබෙන්නේ, ඔහු කී දේ හා ඔහු ම කරන දේ අතර ය.

කොමිෂන් සභා යනු රටේ ප්‍රශ්න අමතක කිරීමටත්, සමහර විට අවුල් කිරීමටත්, තවත් විටෙක තමන්ට වුවමනා විදියට දේශපාලන වශයෙන් පළිගැනීමටත්, අනුන්ට මඩ ගැසීමටත්, ප්‍රශ්නගත කාරණා ගැන කිසිම වැදගත් නිරීක්‍ෂණයක් සිදු නොවීමටත් හේතු වන ආකාරයේ ව්‍යුහයක් බව ඒ ගැන අතිීත අත්දැකීම් අපට කියා දෙයි. රාජ්‍ය ආයතනවල දූෂණ, අකාර්යක්‍ෂමතාව ආදිය සම්බන්ධයෙන් පෙර සිටි ජනාධිපතිවරුන්/වරියන් පත් කර ඇති කොමිෂන් හා කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක කළේ නම්, ලංකාවේ හැඩය මීට වඩා බොහෝ වෙනස්වන්නට ඉඩ තිබිණි. ඒ අත්දැකීම් සමග බලන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කොමිෂන්, කමිටු හා කාර්ය සාධක බලකා ව්‍යාපෘති ද අපට ගෙනෙන්නේ පරණ පන්නයේ කල්පනාවන් ම ය.

කොමිෂන් යනු අධිකරණ ද නොවේ. ඒවාට අපරාධ විමර්ශන ද කළ නොහැක. එහෙත් රටේ ජනමාධ්‍යත්, මහජනතාවත් ඒ බව නොදනිති. කොමිෂන් දේවත්වයට නංවා ඒවායින් කියැවෙන දේ අවසානාත්මක නිගමනය හා දෙවියන්ගේ තීන්දුව ලෙස සලකා විනාශ කළ යුත්තන් විනාශ කිරීමට පෙළ ගැසෙති. හැම දෙයක දී මෙන් ම කොමිෂන් ගැන ද ලංකාවේ ඇත්තේ අඳුරේ දී සතුරාට විදීමේ අත්දැකිීමකි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි