No menu items!
21.6 C
Sri Lanka
9 October,2024

ආරක්ෂක ඇමතිකම ජනාධිපති අත්හරී

Must read

දිවුරුමේදී නිවේදනය කළත් ගැසට් පත්‍රයේ නෑ

 

නව කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන බව ප්‍රකාශයට පත් කළද නව අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ආරක්ෂක ඇමතිධුරය සඳහා කිසිවෙකුගේ නම් ප්‍රකාශයට පත් කර නැත.

අගෝස්තු 13 දින අංක 2188/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ නාමලේඛනය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර ඇත.

එසේ වුවද අගෝස්තු 12 දින මහනුවර මගුල් පිටුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය මෙන්ම රජයේ නිල වෙබ් අඩවිය වන ‘නිව්ස් ඩොට් එල්කේ’ වෙබ් අඩවියද ප්‍රකාශයට පත්කරනු ලැබුයේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දරන බවය. අගෝස්තු 20 දින වන විටත් එම වෙබ් අඩවිවල ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දරන බව සඳහන්ය.

ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිධුරය දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට චෝදනා එල්ල වූ අතර ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිධුරය දරන බව නිල වශයෙන් නිවේදනය නොකිරීමට එය හේතුවක් වන්නට ඇතැයි මේ පිළිබඳ අනිද්දා කළ විමසීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයෙක් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමතිධුර දැරිය හැක්කේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයට පමණය. මේ තත්වය ඇති කර තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇමතිධුර දැරීමට හැකියාව ලැබුණේ ඔහුගේ ධුර කාලයට පමණක් සීමා වන පරිදි ඇති කරන ලද ව්‍යතිරේකයක් මගින්ය.

ජනාධිපතිවරයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ප්‍රකාශයට පත්කරන ලද පසුගිය කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමති ධුරයක් තිබුණද ඒ සඳහා කිසිවකු නිල වශයෙන් නම් කළේ නැත. එහෙත් නිල නොවන ලෙස එම තනතුරේ කටයුතු කරන ලද්දේ ජනාධිපතිවරයාය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි