No menu items!
26.7 C
Sri Lanka
15 October,2024

වඩා බලවත් කොරෝනා ද? දෙවියෝ ද? – නීල් ක්‍රිස්ටෝෆර්

Must read

අදෘෂ්‍යමාන කොරෝනාවෝ සිය බලය පතුරුවමින් සිටිති. ‘අදෘෂ්‍යමාන සර්වබලධරී දෙවියෝ කැර කියා ගන්නට දෙයක් නැති ව මුව-නාස් වැස්මක් පැළැඳ- ගෙන සැඟවී සිටිති!’ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි යැ’යි කියා පාරම් බෑ මානසික වහල්ලු ද උන්ගේ දෙවියන් ම අනුගමනය කරමින් මුව-නාස් වැස්මක් පැළැඳ බියෙන් සිටිති. මහා බලවත් ආශ්චර්යයක් සැඟවී තිබිණැ’යි කී දෙව්මැඳුරු, පල්ලි, කෝවිල්, පන්සල් වැසී ගොසිනි. බැතිමත්හු ද සැදෑවත්හු ද ඒවායින් පිටමංකැර සිටිති. දෙවියන් ද, පූජකයන් ද කොරෝනාවට බිය බව දකින්නට උන්ට ඇස් නැත. ආගමික විශ්වාසයෙන් අන්ධ වී ඇති නිසා ය. ඔවුහු ‘ඔබ මැ යි, අප සරණේ’ කියා නැති දෙවියකු රවටා, තමන් ද රවටා-ගෙන ජීවත් වන ආගමික වහලුන් බව මරණ බියෙන් අමතක කැර වෛද්‍යවරුන් සරණේ යති. මේ කවර නම් විකට නළුවක් ද?

බෝ ගසක වුවත් දිලීරයක් හට ගතහොත් දිලීර නාශක යෙදීම විනා  එගස යට සිට බෝධි පූජා පැවැත්වීමෙන් කවර පලක් ද? අවිද්‍යාව සුන් කරන්නට සිය දිවිය කැප කළ බුදුන්ටත් නිගා දෙමින් මේ ඊනියා බුද්ධ පුත්‍රයන් අපරාධකාරී දේශපාලඥයන්ගේ අනුග්‍රහය ලබමින් කරන්නේ කුමක් ද? එක්කෝ වෛරස් නාශක එන්නතක් නිපදවන්නට පන්සල්, පල්ලිවල නිදන්ගත ප්‍රාග්ධනය වෛද්‍ය විද්‍යාඥයන්ට ලබා දිය යුතු ය. නැති නම් තම දෙවි දේවතාවන්ට යාඥා කරමින් ‘කොරෝනාවත් පොරක් ද අපේ දෙවියාම තමා පොර’ කියා මුව-නාස් වැසුම් ගලවා සිටිය යුතු ය.

විද්‍යුත් මාධ්‍යවල සංදර්ශන දැක්වූ ජ්‍යෝතිෂවේදීහු දැන් කොහි ද? කොරෝනා මාරයා එන බව කියා ඌ නොආවා නම් ජනතාව බිය වැද්දූ වරදට ගෝඨාභය රාජපක්ෂට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කොට – එයට කළින් හරි ‘හරි’ අනාවැකිය පළ කළ එවුන් පත් කොට – එහි වාර්තාවේ නිගමන අනුව අධිකරණ ක්‍රියා මාර්ගයකට යන්නට තිබිණි!

ඉන්දියාවේ තිරුමලර් කෝවිලට ගොස් ලංකාවේ අනාගතය නොබැලූ වරදට සජිත්, රනිල්, සිරිසේන සහ මහින්ද යන සිව්බෑයන්ටත් මෙයින් බේරෙන්නට බැරි බව ගෝඨාභය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු ය. පිරිසිදු සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් බල ලෝභය සඳහා ඕනෑම දෙවියකු වැඳ නමස්කාර කළ ඔවුන්ට තිරුමලර් කෝවිලේ අග්‍ර පූසාරිතුමන් ලංකාවේ අනාගත අපලය ගැන කිසිවක් නො කීහ’යි පිළිගත හැකි ද? ඉන්දියාවට කොරෝනා එන බවවත් නොදත් එකා මේ රට ගැන කියන්නේ කොහොම ද? පුවත් පත්වල දැන්වීම් දමන කල්ලු , මලයාලම් මන්ත්‍ර දන්නා එක මන්ත්‍රකාරයෙක් වත් නොසිටියේ ද?

කාරණය එය මැ පමණක් නො වේ. බෝ වන රෝගාදිය සුව කරන සාන්තුවරයා ලෙස කතෝලිකයන් සලකන්නේ සෙබස්තියන් මුනිවරයා යි. එතුමන්ගේ ශ්‍රී දේහය මිහිදන් කැර ඇතැ’යි විශ්වාස කරන ඉතාලියට කොරෝනාවෝ මාරාවේශයෙන් ප්‍රවේශ වූහ! සියලු රෝග නිවාරණය කරන ශුද්ධ ජලය තිබෙනවා යැ යි අදහන ලූර්දු ගුහාශ්‍රීත ජලය තිබියදීත් ප්‍රංශයට ද කොරෝනාවෝ ඇතුළු වූහ. ඇතැම් විට ඒ ජලය ගුවන් යානා මගින් පළමු ව ප්‍රංශ භූමිය මත ද ඊළඟට මානුෂීක මෙහෙයුමක් හෝ අන්තර් ජාතික සත්කාරයක් ලෙස සළකා සියලු  රාජ්‍යයන් මත ඉසින ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත සන්දේශයක් ඉදිරිපත් කළ හැකි ය. එයට ශ්‍රී ලංකාව මුල පුරතොත් ලංකාව ගැන ජිනීවා වාර්තා හමස් පෙට්ටියට යනු ඇත! සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකමක් ලෙස සැලැකෙන හෙයින් මුළු ලෝකවාසීන්ගේ ම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලෝක පූජිත වනු ඇත! එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා අස්වී ඉක්බිති ඒ තනතුරට තෝරා ගැනීමට පැවැත්වෙන ඡන්දයේ දී ගෝලීය ඒකඡන්දයෙන් ශ්‍රී ලංකාවට එම තනතුර ලැබෙනු ඇත! එ විට මානව හිමිකම් වැඩියෙන් ම කඩ කළ එකා තෝරා, අපට එම තනතුරට නම් කළ හැකි ය. එවිට ‘මානව හිමිකම්’ යන අපභ්‍රංස, අශෝභන යෙදුම ශබ්ද කෝෂවලින් ඉවත් වී ‘අමානව අයිතිවාසිකම්’ යන්න ඒවාට එකතු වනු ඇත.

මනුෂ්‍ය බුද්ධියෙහි මහිමය සියලු  පුරවැසියන්ගේ සිතට කාවද්දන අධ්‍යාපන ක්‍රමයක් නැති, දේව බලය, බුද්ධ බලය, බුද්ධානුභාවය වැනි පරම මිත්‍යාවන් අහිංසක දරුවන්ගේ ඔළු ගෙඩිවලට කිඳා බස්වන අධ්‍යාපන ක්‍රමයක් ඇති, ආගම්වල පරම සාරය ඉවත ලා, පාලකයන් සමග නිර්ලජ්ජිත සමාගමයෙක යෙදෙන පූජ්‍ය-පූජක පරපෝෂිතයන් ඇති ඕනෑම ප්‍රජාවකට අත් වන්නේ ඉහත සඳහන් විකට නාටකයේ නළුවන් වන්නට යි.

‘මිනිසා තමා වටා නොකැරැකෙන තාක් ආගම මිනිසා වටා කැරැකෙයි’ කියා මාර්ක්ස් කියා ඇත. එයට පොඩිත්තක් එකතු කළ යුතු ය. මිනිසා තමා වටා නොකැරැකෙන තාක් ආගම මිනිසා වටා කැරැකෙමින් ඔහුගේ මනැස කරකවමින්, අඹරවමින්, මිරිකමින් සිටී. බුද්ධිය බෙලහීන කරමින් සිටී.

දැන්, කොරෝනා වෛරසය මුළු මහත් මනුෂ්‍ය සංහතියට ම අභියෝග කැර ඇත. ඊට මුහුණ දෙන සැටි ඔවුන්ට උගන්වන්නෝ පූජකයෝ ද? විද්‍යාඥයෝ ද? දෙවියන් නම් ස්වර්ග රාජ්‍යය සඳහා මුව-නාස් වැසුම් ඇණැවුම් කරමින් ද, වෛරස් නාශක එන්නතක් විද්‍යාඥයන් සොයාගන්නා තෙක් තැති ගනිමින් ද, සැඟැවී සිටින බව සැළ යි!

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි