No menu items!
26.9 C
Sri Lanka
5 December,2024

ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් වෙල්ගම

Must read

මෛත්‍රීගේ තීරණයට එරෙහිව යෝජනාවක් ශ්‍රිලනිප නැත්නම් තනියෙන් එනවා – වෙල්ගම කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එම කණ්ඩායම සැලසුම් කරමින් සිටියි. මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂයෙන් වෙන්ව සිටින ශ්‍රීලනිපයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන කුමාර වෙල්ගම මහතාගේ නම එලෙස අපේක්ෂකත්වය ඉදිරිපත් කිරීම සඳහා යෝජිත නම් අතර ඉදිරියෙන්ම ඇත.

මේ පිළිබඳව පසුගිය දින කිහිපයේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර ඒ පිළිබඳ යෝජනාවලියක් අගෝස්තු 22 වැනිදා ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක වෙත ආසන සංවිධායකවරුන් 18 දෙනෙකුගේ අත්සනින් යුතුව බාරදී ඇත.

එම කණ්ඩායමේ සිටින ආසන සංවිධායකවරයෙකු වන නීතිඥ රජික කොඩිතුවක්කු ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ශ්‍රීලනිපය විනාශ කළ බවත්, ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ගේ පක්ෂයට ගියහොත් ශ්‍රීලනිපය තවත් විනාශ වනු ඇති බවත් තම කණ්ඩායමේ යෝජනාවලියෙහි සඳහන් කර තිබෙන බවය. පොදුජන පෙරමුණ සමඟ එක්වීම වෙනුවට තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හෝ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට සහයෝගය ලබාදීම කළ යුතු බව එම යෝජනාවලියෙහි සඳහන් කර ඇතැයිද ඔහු පැවසීය. එම යෝජනාවලිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කරන බව එහිදී දුමින්ද දිසානායක මහතා පොරොන්දු වූ බවද ඔහු කීය.

වාර්තාවන ආකාරයට ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයන් අතරින් බහුතරයකගේ මතය වේ.

මේ අතර ශ්‍රීලනිපය සැප්තැම්බර් 03 වැනිදාට පෙර පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගත යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ. සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අනිද්දා කළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රීලනිපය කොන්දේසි විරහිතව පොදුජන පෙරමුණ සමඟ එක් නොවෙන බවයි. පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු සාමාජිකයන්ගේ ගෞරවය රැකෙන ආකාරයේ තීන්දුවක් ගන්නා බවද ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වෙනවාද නැද්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලය පවරා ඇති බවද ඔහු කීය. එසේ වුව අවසන් තීන්දුව ගන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් බව ඔහු වැඩිදුරටත් කීය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි