No menu items!
27.4 C
Sri Lanka
29 March,2024

පාසලකට තමන්ගේ නම දැමූ බාලාංශ මහඇමති

Must read

කෝට්ටේ මාදිවෙල ප‍්‍රදේශයේ පිහිටි මාදිවෙල ශ‍්‍රී රාහුල විද්‍යාලය නම් පාසැලෙහි නාමය බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රියගේ මැදිහත්වීමෙන් මාදිවෙල ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කර තිබුණේ පසුගිය සතියේ පැවති උත්සවයකදීය.

සුහුරු පාසැල් ව්‍යාපෘතිය නම් පාසැල්වලට නව බහුකාර්ය ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සාමගාමීව මෙම පාසැලේ නව ගොඩනැඟිල්ලක් ඉදිකර තිබුණි. එය විවෘත කරන අතරේ මේ අලූත් නම පාසැලට ලබාදී තිබුණි. අලූතෙන් ඉදිකළ ගොඩනැඟිල්ලට යොදා තිබුණේ මෛත‍්‍රීපාල සිරිසේන සුහුරු පියස කියාය.

නව ගොඩනැගිල්ලත්, පාසැලේ නව නාමය රැුගත් ඵලකයත් විවෘත කරද්දී එතැන හිඳිමින් දේශපාලනඥයන් කිහිපදෙනෙක්ම අත්පොලොසන් දෙන අයුරු ඡුායාරූපවලින් දැකිය හැකි විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රම්ජයන්ත, තිලංග සුමතිපාල හා බන්දුල ගුණවර්ධන ඇතුළු අය එතැන සිටියෝය.

මාදිවෙල රාහුල විද්‍යාලය සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටින කුඩා පාසැලකි. එවැනි කුඩා පාසැලක් වැසී යෑමට නොදී පවත්වාගෙන යනු පිණිස පරිගණක තාක්ෂණයක් සහිත නව ගොඩනැඟිල්ලක් විවෘත කළ බව කියැවෙයි. එහි ගැටලූවක් නැත. එහෙත් පාසැලට තමන්ගේම නම යෙදීමට මහඇමතිවරයා කටයුතු කිරීම බාලාංශයේ වැඩක් මිස අන් කිසිවක් නොවේ. එවැනි බාලාංශ ක‍්‍රියාවලට ජනාධිපතිවරයා අත්පොළොසන් දීමෙන් හෙළිවෙන්නේ ජනාධිපතිවරයාගේද බාලාංශ හැසිරීමම පමණි.

මාදිවෙල රාහුල විද්‍යාලයට එම නම ලැබී තිබුණේ සංදේශ කාව්‍ය සම්ප‍්‍රදායෙහි සිටින විශිෂ්ඨතම කවියා ලෙස සැලකෙන තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ නමින්ය. ඒ නමට සාපේක්ෂව ඉසුර දේවප‍්‍රියගේ නම යෙදීම විහිළුවකි. මෙවැනි නමක් යෙදීම නිත්‍යානුකූලව සුදුසුද යන්න මේ සටහනේ අන්තිමට කතාකරන්නෙමු. ඊට පෙර දේශපාලඥයන්ගේ මේ බාලාංශ පුරුද්ද ගැන කිව යුතුය.

ඉදිකිරීම්වලට තමන්ගේත්, තමන්ගේ හිතවතුන්ගේත් නම් යෙදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණු බාලාංශ උමතුවකි. රඟහල්, ගුවන්තොටුපොලවල්, වරායවල් තමන්ගේ නමින් ඉදිකළ මහින්ද රාජපක්ෂ, වෙනත් බොහෝ තැන්වලට තම හිතවතුන්ගේ නම් යෙදීය. නෙළුම් පොකුණ නම් රඟහල තමන්ගේ නමින් ඉදිකොට, නෙළුම් පොකුණ ඉදිරියේ ආනන්ද කුමාරස්වාමි නම් ශේෂ්ඨ බුද්ධිමතාගේ නමින් තිබුණු මාවතට නෙළුම් පොකුණ මාවත යැයි නම් යෙදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීය. අන්තිමේදී මහින්ද රාජපක්ෂට යාතිකා ගැයූ සහේලි ගමගේ වැනි ආධුනික කලාකරුවන්ගේ නම්වලින්ද මංමාවත් නම් කරන තැනට රාජපක්ෂ ආණ්ඩුවේ බාලාංශ පුරුද්ද දුරදිග ගොස් තිබුණි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ බාලාංශ පුරුද්ද නොමැති නායකයෙකු ලෙස මීට පෙර පෙනී සිටියේය. ඔහු මොරගහකන්ද ව්‍යාපෘතියට ඉංජිනේරුවරයෙකුගේ නම යෙදීය. ගුවන් පාලමකට සෝභිත හිමියන්ගේ නම යෙදීය. මොනවා නැතත් මේ පුරුද්ද යහපත් පුරුද්දක් ලෙස අගය කිරීමට හැකියාව තිබුණි. එහෙත් ධුර කාලය අවසාන වෙමින්, බලය අහිමිවෙන තත්වය තුළ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මෙවැනි බාලාංශ ක‍්‍රියා අනුමත කරමින්, පාසැල් ගොඩනැඟිලිවලට තමන්ගේ නම යොදන තත්වයකට වැටී තිබෙන්නේය.

ඉසුර දේවප‍්‍රිය මහඇමතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසාම මහඇමතිධුරයට පත්වූවෙකි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කළ පළාත් ආණ්ඩුකාරවරුන්, අනුරුද්ධ පොල්ගම්පොල වැනි ඇතැම් ආයතන ප‍්‍රධානීන් දෙස බලද්දී, තමන් සමීපයෙහි විශ්වාස කළ හැකි අන්දමේ අත්දැකීම් සහගත පුද්ගලයන් නැතිවීමේ අඩුවක් ඔහුට තිබෙන බව පැහැදිළිය. කටුස්සන් බොහෝ දෙනෙකුගේ කරේ රත්තරන් බඳින්නට ජනාධිපතිවරයාට සිදුවුණේ ඒ නිසාය. 2015 ට පෙර පළාත් ඇමතිධූරයක්වත් නොතිබුණු ඉසුර දේවප‍්‍රිය මහතාට මහඇමතිකම ලැබීමද එලෙස කටුස්සෙකුගේ කරේ රත්තරන් බැඳීමක් විය. ඉසුර දේවප‍්‍රිය මහඇමතිවරයා විසින් පසුගිය කාලයේදී කළ බොහෝ ක‍්‍රියා මෙන්ම, මේ ක‍්‍රියාවෙන්ද පෙනෙන්නේ එය සැබෑවක් බවය.

කෙසේ වෙතත් වැදගත්ම කතාව මෙසේ පාසැල්වලට හිතූ හිතූ නම් යෙදිය හැකිද යන්නයි. අපට දැනගන්නට ලැබී ඇති ආකාරයට පාසැලේ ගොඩනැඟිල්ලෙහි සමරු ඵලකයක් විවෘත කිරීම හැරුණුකොට මේ පාසැලේ නම වෙනස්කිරීම විධිමත් ක‍්‍රමවේදයකට අනුව සිදු කරන්නට මහඇමතිවරයා කටයුතු කර නැත. ඒ පිළිබඳව විමසන්නට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රියව ¥රකථනයෙන් සම්බන්ධ කරගන්නට අප ගත් උත්සාහය අසාර්ථක විය.
මෙම පාසැල පළාත් විෂයට අයත් පාසැලකි. අප කළ විමසීමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී. විජයබන්දු මෙසේ කීය. ‘ඉසුර දේවප‍්‍රිය මහ ඇමතිතුමා මාදිවෙල රාහුල විද්‍යාලයට ඔහුගේ නම දාගත්තේ අපේ කිසිම මැදිහත් වීමක් නැතිව. ඔහුගේ තනි කැමැත්තට තමයි මාදිවෙල රාහුල විද්‍යාලයේ නම වෙනස් කරලා තියෙන්නේ. ඔය පාසැලේ නම වෙනස් කරන්නට මහඇමතිවරයා බස්නාහිර පලාත් අධ්‍යාපන ලේකම් කාර්යාලයෙන් කිසිම අවසරයක් ගත්තේ නැහැ. ඒ නිසා ඒ පිලිබඳව මගෙන් අහලා වැඩක් නෑ. අහන්න ඕන මහ ඇමතිවරයාගෙන්ම තමයි.‘


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මෙසේ අදහස් දැක්වීය. ‘බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියගේ මේ ක‍්‍රියාවට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක‍්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ජීවත් වෙලා ඉන්න කිසිදු පුද්ගලයෙකුගේ නමක් කිසිදු පාසලකට හෝ පාසල් ගොඩනැගිල්ලකට දාන්න බැහැ කියලා. මේ අත්තනෝමතික ක‍්‍රියාව පිලිබඳව අපි බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාත් සාලීට පැමිණිල්ලක් භාර දීලා තියෙනවා. ඉසුර දේවප‍්‍රිය මහත්මයාගේ මේ ක‍්‍රියාව දැන් තවත් අය ආදර්ශයට අරගෙන. කිරිදිවෙල සංඝමිත්තා විද්‍යාලයේ අලූතෙන් හදපු ගොඩනැගිල්ලකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන උපාලි ගුණරත්නත් තමන්ගේ නම දාන්න සුදානම් වෙලා සිටින බව අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේක නරක සම්ප‍්‍රදායක්.‘


මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් ඉසුර දේවප‍්‍රිය මහඇමතිවරයාටත් නැවත ඔය තනතුරුවලට පත්විය නොහැකි බව ස්ථීරයි. ඉතින්, සිය ධුරයේ අවසාන කාලයේදී මෙවැනි බොළඳ ක‍්‍රියාවල යෙදීම පුදුමයක් නොවේ. එහෙත් එය ඉදිරියට පැවතිය යුතු නොවන සම්ප‍්‍රදායක් නොවන බව පැහැදිළිය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි