No menu items!
23 C
Sri Lanka
14 September,2024

ජාතිවාදය ගැන පොහොට්ටුවේ ගැටුම්

Must read



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන කණ්ඩායම් විසින් සිංහල ජාතිවාදය ශක්තිමත් කරමින් දේශපාලන බලය ලබාගැනීමට ගන්නා උත්සාහය පිළිබඳව පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්ව කිහිපයකින්ම විරෝධය එල්ලවී ඇති බවත් ඉදිරි කාලයේදී මැතිවරණ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජාතිවාදී කණ්ඩායම් හා එම පාර්ශ්ව අතර දැඩි මත ගැටුම් ඇතිවිය හැකි බවත් ‘අනිද්දා’ සමග අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැවසූහ.
බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම්, දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම් ජාතිවාදී ප්‍රවණතාවට විරෝධය දක්වා ඇතැයි අදහස් දැක්වූ එම මන්ත්‍රීවරු කීහ.
සිංහල ජාතිවාදය වැඩි වැඩියෙන් ශක්තිමත් කිරීම බලය ලබාගැනීම සඳහා ඉතාම අසාර්ථක උපක්‍රමයක් බව ඒ පිළිබඳව අනිද්දා සමඟ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය. මැතිවරණයකදී තීරණාත්මක බලවේග වන මධ්‍යම පන්තිකයන් හා තරුණ කණ්ඩායම් අතර සිංහල ජාතිවාදය ශක්තිමත් මතවාදයක් නොවන බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
මේ අතර අනිද්දා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පැවසුවේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නවීන අදහස් මත පදනම් විය යුතු බවයි. තමන් ජාතිවාදය ශක්තිමත් කිරීමේ දේශපාලනයට අකැමති බවද ඔහු පැවසීය. තමා විදේශ රටවලදී සුළුතරය ලෙස ජීවත්වීමේ අත්දැකීම ලබා ඇති අයෙකු බවත් සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් කීවේ, සුළුතරය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස් කළ යුතු බවයි.
අනිද්දා සමග නිර්නාමිකව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ, සිංහල ජාතිවාදී පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ඇතුළු කණ්ඩායම් පොදුජන පෙරමුණේ අවශේෂ කණ්ඩායම් ලෙස තබාගත යුතු බවත්, සිංහල ජාතිවාදය පොදුජන පෙරමුණේ ප්‍රධාන දේශපාලන මතවාදය කර නොගත යුතු බවත් බැසිල් රාජපක්ෂගේ අදහස වන බවයි. කෙසේ වුණත් මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණට සමීප නායකයන් රැසක් සිංහල ජාතිවාදයේ නියෝජිතයන් වන නිසා එම අදහස පොදුජන පෙරමුණේ අනාගතය කෙරෙහි කෙසේ බලපානු ඇතිදැයි විශ්වාසයක් නොමැති බවද එම මන්ත්‍රිවරයා කීය. මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස සිංහල ජාතිවාදය නියෝජනය කරන බවත්, බැසිල් රාජපක්ෂ එයට වෙනස් මාවතක් ගැනීමට උත්සාහ කරන බවත් එම මන්ත්‍රීවරයා කීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි