No menu items!
21.5 C
Sri Lanka
6 November,2024

ගැහැනු 1919කගේ කර මත පිරිමි 2298ක්

Must read

පි‍්‍රදර්ශනි ආරියරත්න

ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරි කරගෙන මිශ‍්‍ර ක‍්‍රමය යටතේ 2018 පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් ස්ත‍්‍රී සභිකයන් 1919ක් හා පිරිමි සභිකයන් 6702 ක් ලෙස 8721 ක සභික සංඛ්‍යාවක් පත් වූහ. මීට පෙර එනම් 2011 දී තේරී පත් වූ සභික සංඛ්‍යාව 4486ක් වූ අතර ඉන් 82ක් පමණක් ස්ත‍්‍රීහු වූහ. 2011 දී 4404ක් වූ පිරිමි සභික ප‍්‍රමාණය 2018 දී 6702ක් බවට පත්ව ඇත. එය වෙනත් අයුරකින් කියතොත් ගැහැනු 1919ක් පත් කර ගැනීම උදෙසා (6702-4404=2298) පිරිමි සභිකයන් 2298ක බරක් රටට දරන්නට සිදුව ඇත. වැඩිවුණු ගැහැනු ප‍්‍රතිශතය 22% ක් වන විට වැඩි වූ පිරිමි ප‍්‍රතිශතය 26%කි. මෙම තත්වය උදා වූයේ 70%ක් සෘජු හා 30%ක් සමානුපාතික ලෙස වූ මුල් යෝජනාව පාර්ලිමේන්තුවේදී, විශේෂයෙන් කුඩා පක්ෂවල අවශ්‍යතාව මත පිළිවෙළින් 60% හා 40% වූ නිසාය. මුල් යෝජනාව ක‍්‍රියාත්මක වූවා නම් මුළු සභික සංඛ්‍යාව 6000 නොඉක්මවන්නට තිබූ අවස්ථාව එනිසා ගිලිහී ගියේය.

එනිසා ගැහැනු 1919කගේ කර මත පිරිමි 2298ක් ද පළාත් පාලන ආයතනවලට නව නීතිය යටතේ පත්ව ඇතැයි කීවොත් වැරදි නැත.
අලූත් දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටත් කෘශ වී ගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනාවලට අවශ්‍ය නිර්ණායක සැපිරෙන ලෙස අපේක්ෂකයන් සොයා ගැනීම විශාල අභියෝගයක් විය. එනිසා එම අපේක්ෂක ලැයිස්තුවල එහෙන් මෙහෙන් සොයාගත් අපේක්ෂක අපේක්ෂිකාවෝ බොහෝය. පළාත් පාලන ආයතන 231ක බලය පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික සංඛ්‍යාව 3369කි. එම සභාවල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ස්ත‍්‍රී සභික ප‍්‍රමාණය එම පක්ෂයේ පිරිමි සභිකයන් ප‍්‍රමාණයෙන් 10%ක් වැනි සුළු ප‍්‍රමාණයකි. උදාහරණයක් ලෙස කඩුවෙල මහ නගර සභාව ගතහොත් එහි මුළු සභික සංඛ්‍යාව 48කි. ඉන් 26ක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන අතර එජාප 11 ක්ද ජවිපෙ හා ශ‍්‍රීලනිප 5 බැගින්ද ස්වාධීන 1ක් ද වේ. එහි කොට්ඨාස 28ක් වන අතර ඉන් 26ක්ම ශ‍්‍රීලපොපෙ දිනා ඇති අතර ශ‍්‍රිලනිප හා එජාප 1 බැගින් දිනා ඇත. එල්ලන ලද සභික ධුරද 2කි. ශ‍්‍රීලපොපෙ 26න් 3ක් ස්ත‍්‍රී වන අතර එජාප 11න් 4ක්හා ශ‍්‍රීලනිප හා ජවිපෙ 5න් 2 බැගින්ද ස්ත‍්‍රීහු වෙති. මුළු ස්ත‍්‍රී සභික ප‍්‍රමාණය 48න් 11කි (23%). කඩුවෙල මහ නගර සභාව තුළ ස්ත‍්‍රී නියෝජනයේ ව්‍යාප්තිය විසමය. එය එජාප සභික සංඛ්‍යාවෙන් 37%ක් හා ශ‍්‍රීලනිප හා ජවිපෙ සභික සංඛ්‍යාවෙන් 40% බැගින් වන අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභික සංඛ්‍යාවෙන් 11% කි. එනිසා මුළු නියෝජනය 23%ක් ගැහැනු වුවද බලය ඇති ශ‍්‍රීලපොපෙහි සිටිනුයේ තම පිරිසෙන් 11%ක් හෙයින් තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ට කළ හැකි බලපෑම ඉතාම අල්පය. කෝට්ටේ මහා නගර සභාව ගතහොත් එහි බලය ඇති ශ‍්‍රීලපොපෙ සභිකයන් 18න් ගැහැනු දෙදෙනෙකු පමණි. මුළු ස්ත‍්‍රී නියෝජනය වන 8න් 4ක්ම එනම් 50%ක් එජාප අයය. සමස්ත මැතිවරණ ප‍්‍රතිඑලය අනුව පළාත් පාලන ආයතන අතිබහුතරයක එජාප දෙවැනි තැනට පත් වූ අතර ස්ත‍්‍රී නියෝජනයේ බර වැඩිපුරම දරා ගැනීමට සිදු වූයේ ඔවුන්ටය. මෙය ලංකාවට අලූත් දෙයක් වන අතර විවිධ ආයතන මගින් ඔවුන් වෙනුවෙන් පුහුණු සැසි පවත්වති. එහෙත් පිරිමි අයට එවැනි ඒවා නැත. පිරිමි සභිකයන් 6702 අතර බහුතරය අලූත්ම අයය. ශ‍්‍රීලපොපෙ වැනි පක්ෂ එහෙන් මෙහෙන් සොයාගන්නා ලද, තමා ජයග‍්‍රහණය කරතැයි හීනෙකින්වත් නොසිතූ අයද මේ අතරය. එවැනි විශාල පිරිසක්ද සහිතව පළාත් පාලන ආයතන 341න් 231ක (68%)ක ශ‍්‍රීලපොපෙ බලය පිහිටුවා ඇත. එවැනි සන්දර්භයක් තුළ කිසියම් හෝ පුහුණුවක් වත් ලද ස්ත‍්‍රී සභිකයන් දෙතුන් දෙනෙකු පාලක කණ්ඩායම තුළ සිටියද ඔවුන් සැලකිය යුතු ලෙස දායක කර ගන්නේදැයි යන්න ප‍්‍රශ්නගතය. එසේම ආයතනය තුළ සිටින ස්ත‍්‍රී සභිකයන්ගෙන් 75%ක් පමණද විපක්ෂවලය. එම ප‍්‍රමාණයෙනුත් වැඩිම පිරිසක් එජාප අයය. මෙනිසා පළාත් පාලනයේ ස්ත‍්‍රී නියෝජනයෙන් අපේක්ෂිත මතවාදී දායකත්වය ලබාගැනීම සිදුවනුයේ ඉතාම සුළු වශයෙන්ය. මෙම කරුණු ද සලකා බලා ඉදිරියේදී තරග කිරීමට ඉදිරිපත් කළ යුතු අවම ස්ත‍්‍රී ප‍්‍රතිශතය වැඩිකිරීම, ස්ත‍්‍රීන් පමණක් තරග කරන කොට්ඨාස මැතිවරණයෙන් මැතිවරණයට නම් කිරීම වැනි නීති සංශෝධනවලට යා යුතුය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි