අපේ‍්‍රල්  18 වැනිදා, ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන සිරස්තල දෙකෙන් එකක් ‘ඡන්ද තීන්දුව ජනපති අතේ’  යනුවෙන් විය. ‘නීතිවේදීහු කියති’ යනුවෙන් උපශීර්ෂයක්ද එහි විය. ‘කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දමා ඇති මහමැතිවරණය පැවැත්වෙන දිනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 25 වැනිදාට පෙර ප‍්‍රකාශයට පත් නොකළහොත්, එම දිනය ප‍්‍රකාශයට පත්කිරීමේ බලය ‘ජනාධිපතිවරයාට පැවරෙන බව ‘නීති විශාරදයෝ’ පෙන්වාදෙති’ යනුවෙන් ප‍්‍රවෘත්තියේ පළමුවැනි ජේදයේ සඳහන් වෙයි.

දෙවැනි ජේදයෙන් කියන්නේ 20 වැනිදා කොමිසම රැස්වනු ඇතත්, ඡන්දය සඳහා දිනය එදින ප‍්‍රකාශයට පත් නොකෙරෙනු ඇති බවය.

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමට සිදුවී තිබෙන්නේ, අපේ‍්‍රල් 25 වැනිදා, ජනාධිපතිවරයා නියම කළ පරිදි ඡන්දය තියන්නට නොහැකි බව නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ කොමිසම නිවේදනය කළ බැවිනි. අපේ‍්‍රල් 1 වැනිදා, ජනාධිපතිට ලිපියක් යැවූ කොමිසම, මැයි මාසයේ අවසන් සතිය තුළදීවත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව තම ‘නිරීක්‍ෂණය’ වන බව කීවේය. ‘එනිසා, පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දින සිට මාස තුනක් ඉකුත්වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත්, කොමිසම තීරණය කරයි.’ යන තිරසාර නිගමනය එම ලිපියේදී කොමිසම දක්වා තිබිණ. මේ නිසා ඇතිවන ගැටලූ විසඳාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මගපෙන්වීමක් ලබාගන්නා ලෙසත් එය ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර, පිළිතුරු ලෙස කොමිසමට දැනුම්දුන්නේ, ඡන්දය කල් දැම්මේ කොමිසම විසින් නිසා, නැවත පැවැත්වීම ගැන තීරණයක් ගතයුත්තේද කොමිසම විසින් බවයි. 20 වැනිදා කොමිසම රැස්වීමට නියමිත ඒ ගැන තීරණයක් ගැනීමටය.

කොමිසමේ තීරණය

ජුනි 2ට පෙර ඡන්දයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස්කළ නොහැකි බව දැනටමත් කොමිසමේ පැහැදිලි තීරණයයි. කොමිසමට තමන්ගේ ‘නිරීක්‍ෂණය’ වෙනස් කරන්නට ප‍්‍රමාණවත් කරුණු යෙදී නැත්නම්, කොමිසමට 20 වැනිදා ඒ තීරණයට වෙනස් දෙයක් කියන්නට ඉඩක් නැත. සාමාන්‍ය සිහිබුද්ධියකින් යුක්ත  ඕනෑම කෙනකුට, තවමත් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මැයි අවසන් සතිය වන විට මහඡන්දයක් පැවැත්වීමට ඉඩක් නොලැබෙන බව සහතික දැනුමකි. අපේ‍්‍රල් 1දා වන විට, සිටියාට වඩා කොරෝනා ආසාදිතයෝ දැන් වැඩිය. මරණද වැඩිය. අගනුවර ජනාකීර්ණ පෙදෙස්වලින් ආසාදිතයෝ හමුවෙති. වසංගතය අඩුවන ප‍්‍රවණතාවක් තවමත් නොපෙනේ. වෛද විශේෂඥවරුන්, සෞඛ්‍ය අංශවල අනෙක් සියලූම විද්වතුන්ගේ අදහස වසංගතය අඩුවීමක් ගැන කිසිවක් නිරීක්‍ෂණය කළ නොහැකි බවයි. ඊටත් වඩා වසංගතය පසුපසින් ආර්ථික දුර්භික්‍ෂයක්ද පැමිණ ඇති බව අමතක නොකළ යුතුය.

ලංකාදීප පුවත්පත කියන විදියට, අපේ‍්‍රල් 25 වැනිදා ඡන්දය නොපැවැත්වුණහොත්, මැතිවරණ දිනයක් නියම කිරීමට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 යටතේ ජනාධිපතිවරයාට ලැබේද?

හොඳයි, ලැබේයැයි සිතමු. පනතේ 113 අනුව ඒ තීරණය ඔහුට ගතහැක්කේ අපේ‍්‍රල් 25 වැනිදා, සවස 4න් පසුවය. මැතිවරණ කොමිසම එදින ඡන්දය පවත්වන්නට නොහැකි වුණ බව ජනාධිපතිවරයාට වාර්තා කිරීමෙන් පසුවය. ඒ වගන්තිය අනුව යමින් වුවද, ඔහු අලූතෙන් නියම කළ යුත්තේ මැයි අවසන් සතියට පෙර දිනයකි.

20 වැනිදා රැස්වන කොමිසම, මැයි අවසන් සතියට පෙර මහමැතිවරණය පැවැත්වීමට නොහැකිය කියන ස්ථාවරයේම සිටියොත්, ජනාධිපතිවරයාට ඊට පෙර මැතිවරණයකට දිනයක් නියම කළ නොහැකිය.

‘විධායක ජනාධිපතිට ඔක්කෝම පුළුවන්ය,  ඕනෑම දෙයක් කරන්නට පුළුවන් විය යුතුය, බැරි ඇයි?’ යන පටු චින්තන සීමාවක සිටින්නන් උරණ විය හැකි නමුත්, මැතිවරණ කොමිසම මැයි අවසානයට පෙර මැතිවරණය පැවැත්විය නොහැකියැයි තීරණය කර ඇති විටෙක, ඊට පෙර දිනයක් නියම කරන්නට ජනාධිපතිට නොහැකිය.

ජනාධිපතිට බැරිය

ජනාධිපතිට මහමැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට පුළුවන් බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියයි. එහෙත්, ඒ ව්‍යවස්ථාවම අනුව, ඔහුට මැතිවරණ පවත්වන්නට බැරිය. ඒ සඳහා කිසිම නීතිමය බලයක්වත්, ආයතන ව්‍යුහයක්වත් ජනාධිපතිට නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 103(2) අනුව, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමේ එකම හා තනි බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පමණකි. කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයකු පත්කරයි. එම කොමසාරිස් ජෙනරාල්වරයා විසින්, කොමිසමේ තීරණ, කොමිසමේ විධානයට හා පාලනයට යටත්ව ක‍්‍රියාත්මක කරනු ලැබිය යුතුය. 

ඒ අනුව, ජනාධිපතිට දින නියම කළ හැකි වුණාට, මැතිවරණ පැවැත්වීම සඳහා කොමිසමට හෝ කොමසාරිස් ජෙනරාල්වරයාට විධාන දෙන්නට ජනාධිපතිට නොහැකිය. කොමිසම බැහැයි කියනවා නම්, ජනාධිපති නියම කළ දිනයෙන් වැඩක් ද නැත. (19ට ස්තුති වේවා. එය නොතිබුණි නම්, තනතුරේ ඉන්නා  ඕනෑම මැතිවරණ කොමසාරිස්වරයෙක් මේ වන විට ‘ආතතිය’ හැදී රෝහලේය.)

කොමිසම වීමසීමෙන් පසු

ජනාධිපතිවරයා අපේ‍්‍රල් 25 වැනිදා වුවද මහමැතිවරණය සඳහා නියම කර ඇත්තේ කොමිසම විමසීමෙන් පසුව බව අමතක නොකළ යුතුය. සාමාන්‍යයෙන් සිදුවන්නේ, මැතිවරණය පැවැත්විය හැකි දින කොමිසමෙන් ලබාගෙන, ඉන් දිනයක් ජනාධිපති විසින් නියම කරනු ලැබීමය. එනම්, ජනාධිපති දින නියම කළාට, එදාට මැතිවරණය පැවැත්විය හැකිදැයි විමසිය යුත්තේ කොමිසමෙන්ය. ආයතන දෙක වැඩ කළ යුත්තේ එකිනෙකාට සහයෝගයෙනි.

එනිසා, 113 යටතේ ජනාධිපතිට බලය ආවත්, එය කොමිසමේ එකඟතාවෙන් ක‍්‍රියාවේ යෙදිය යුතු බලයක් බව දැනගැනීම වැදගත්ය. ‘තීන්දුව ජනපති අතේ’ යි කියන විශාරදයන් ජනතාවගෙන් හංගන්නේ ඒ ඇත්තයි.

ව්‍යවස්ථා අර්බුදය

ඉතින්, අවසානය කුමක්ද? රට ව්‍යවස්ථාමය අර්බුදයකට දින කිහිපයක් ඇතුළත තල්ලූවී යාමයි. මැතිවරණ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නටයැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ මේ අවුල දුර දැකීමෙන් විය යුතුය. එහෙත්, ජනාධිපතිවරයාගේ අහංකාරකමත්, ඔහුගේ නීති උපදේශකයන්ට එළැඹ සිටි සිහිය නොමැතිකමත් නිසා, දැන් ආණ්ඩුවේ සියල්ලන්ම එකතුව රට ඇදගෙන යන්නේ  ව්‍යවස්ථාමය අර්බුදයකටය. පාර්ලිමේන්තුවක් නැති අධිකාරවාදී පාලනයකටය. එය ඉතා පැහැදිලිය.

මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩඑන්නේ කෙසේද යන්න ගැන උපායමාර්ග මේ වන විටත් විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ සඳහා ඇති පහසුම, අවදානම අඩුම, වියදම් අඩුම, ව්‍යවස්ථාවට කිසිම ප‍්‍රශ්නයක් නොමැති මාර්ගය නම් විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. සැප්තැම්බර් 1 වැනිදා දක්වා, ඒ පාර්ලිමේන්තුව සමග වසංගතය මර්දනය කිරීම සඳහා සහයෝගී පාලනයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි එකඟතාවකට එළැඹීමයි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ සියලූම පක්‍ෂ, මේ වන විටත් වසංගතය මර්දනයට කිරීම සඳහා ආණ්ඩුව කරන හොඳ දේට සහාය දෙන බව නැවත නැවතත් අවධාරණය කර තිබේ.

රට ඇත්තේ විශාල අර්බුදයක එළිපත්තේය. එයින් ගැලවීමට රාජ්‍යතාන්ත‍්‍රික මනසක් අවශ්‍ය වේ. මිලිටරි හෝ අධිකාරවාදී මනසකින් කටයුතු කොට ඊට පිළිතුරු ලබාගත නොහැකිය. තිබිය යුත්තේ අහංකාර එළැඹුමක් නොව, සංවාදශීලී එළැඹුමකි. හරි නම්, ජනාධිපතිවරයා, මහමැතිවරණයට තරග කරන රටේ සියලූම පක්‍ෂ මෙන්ම මැතිවරණ කොමිසම සමගද වහාම විවෘත සංවාදයකට යා යුතුය. ගැලවීමේ මගක් පෙනෙනු ඇත්තේ එවිටය. රට ව්‍යවස්ථා අර්බුදයකට ඇදදැමීමෙන් කිසිවකුට කිසිම සෙතක් නැත. 2018 ඔක්තෝබරයේ මෙන් අරාජක කාලයක් උදාවුවහොත්, දැනටමත් දියවී තිබෙන ආණ්ඩුවේ තුනෙන් දෙකේ සිහිනය, වියැකී යන්නටම ඉඩ තිබේ.

ඊටත් වඩා, අහංකාර පාලකයන්ගේ පෞද්ගලික බලාශාවන් මුදුන්පත් කරවා ගැනීමට රටක් උගසට තියන්නට ඉඩ දිය යුතු නැත. කොරොනා වසංගතය, අප බිංදුවටම ඇද දමා තිබේ. එයින් නිපන් සෞඛ්‍යමය, ආර්ථික, සමාජමය, වාර්ගික ආදි ගැටලූ කප්පරක් විසඳා ගත යුතුව තිබියදී, ව්‍යවස්ථා ගැටලූවකුත් ඇදගැනීමට කිසිවකුට අයිතියක් නැත. 

ඡායාරූපය: Getty Images