No menu items!
30.9 C
Sri Lanka
24 August,2025
Home Blog Page 603

වර්ණවත් කෑම වෙලක්

 

ඒක විශේෂ වීදියක්. කෑම වීදියක්. මේසයක ඉඳගෙන බුරියානි එනතුරු අපි බලාගෙන හිටියා. ඉන්පස්සේ ටිංකිරි ටී එකක් බොන්නටත් අපේ බලාපොරොත්තුව තිබුණා. අතරමැද්දේදී තාත්තා කාලයකට කලින් මෙවැනි වීදි වෙළඳසැල් වලින් කෑම ගෙනාපු හැටි මතක් වුණා. හීනවල තිබුණු ඒ රසම අදත් කෑමවල තියෙනවාදැයි අනුමාන කරමින් හිටියා. කොහොමටවත් මේ වීදියෙන් සමහර කෑම වර්ග නොකා ඉන්නට තීරණය කරලා ගොඩක් කල් වෙනවා. මොකද ඒ කෑම වර්ගවල තිබුණු රසය හීනවල තියාගෙන හිටපු රසයක්. ඒ රසය නොසිතූ මොහොතක වෙන්ව ගිය තාත්තාගේ මතකයන් සමඟ ගැටගැහිලා තිබුණා. හීනවල මවාගෙන තිබුණු රසය අමෘතමය රසයක්. දැන් මේ වීදියෙන් හැබෑවට කෑවොත් ඒ මතක රස නැතිවේවි. ඒ නිසා බුරියානියක් විතරක් කන්න හිතුවා.

‘චරාරාස්ස්….’ හඬ ඇහුණා. වෙළෙඳසැලේ දොරටුව අසල දැවැන්ත තාච්චියේ තවත් යමක් බැදෙන්නට සූදානම්. කඬේ හැමෝම උඩට පහළට දුවන අයුරු පෙනුණා. ඒත් බුරියානි එක රැුගත් සහෝදරයා විතරක් මේසයට හෙමින් හෙමින් එන අයුරු දුටුවා. අනෙක් හැමෝම දුවද්දී ඔහු විතරක් හෙමින් එන්නේ ඇයිදැයි හිත මැසිවිලි නැඟු‍වා.

වෙළෙඳසැලේ රේඩියෝවෙන් දෙමළ සිංදුවක් ඇහෙද්දී හුරුපුරුදු ගති එළියට පැන්නා. සිංදුවේ අගමුල ගැන කල්පනාවකට මතකය දුවගෙන ගියා. දැන් ඒ අත්දැකීම ලියන්නට ඉඳගෙන සිටින මොහොතේ ඒ මතකයන් එක්ක සිංදුව ගැටගැහෙනවා. ‘සුන්දරී නීයුම් සුන්දරම් නානුම්…..’ මයිකල් මඩන කාම රාජන් චිත‍්‍රපටියේ සුන්දර ගීයක් ඒක. ඔය ගීය කමල් හසන් සහ එස්. ජානකී ගැයුවෙ. ඉලයරාජාගේ සංගීතයට. ගීතයෙ තිබුණු මන්දගාමී රිද්මයට ගැළපෙන විදියට චිත‍්‍රපටියෙ රූපරාමු ගලා යන්නෙ මඳ වේගයෙන්. සාමාන්‍ය වේගයට වඩා අඩක් මන්දගාමී කරලා තමයි රූපරාමු වාදනය කරන්නෙ. ඒ නිසා එදින රාත‍්‍රියේ සියලූ‍ මතක මන්දගාමීව සිහියට නැගෙනවා. කෑම මේසයෙහි ඉඳගෙන සිටි මොහොතට විනාඩි විස්සක් පමණ පෙර තැනකින් කතාව යළි පටන්ගන්නවා.

වෙලාව මහ ? දොළොහයි තිහට ඇති. කොළඹ උසාවිය පසුකොට මීරානියා වීදිය හරහා අබ්දුල් හමීඞ් වීදියට ආපු අපි ඒ වීදිය හරහා ගමන් කරන්නේ රාත‍්‍රී ආහාරය ගන්නට තැනක් සොයාගෙන. පැය විසිහතරේම අබ්දුල් හමීඞ් වීදියේ කෑම කඩ ඇරලා තියෙනවා. ඇතැම් කඩ විසිහතර පැයේම කාර්ය මණ්ඩල මාරු වෙමින් ක‍්‍රියාත්මක වෙනවා. තවත් කඩ රාත‍්‍රියෙහි පමණක් විවෘත වෙනවා. තවත් කඩ දහවලෙහි පමණක් විවෘත වෙනවා. කොළඹ කොටුව අවට කම්කරුවන්, රියැදුරන් ආදී බොහෝ දෙනෙක් දිව පිරෙන ආහාර වේලක් සොයාගෙන අබ්දුල් හමීඞ් වීදියට එනවා. ඇතැම්විට ඉහළම පැළැන්තියේ අය පවා කෑම වේලක් අත්දැකීමක් ලෙස විඳින්නටත් අබ්දුල් හමීඞ් වීදියට ඇවිත් කෑම වේලක් ගන්නවා. අප සමඟ කතාකළ වීදියට හුරුපුරුදු අය කී විදියට හමුදාවේ ඉහළ නිලධාරීන් අබ්දුල් හමීඞ් වීදියට පැමිණෙනවා.
වීදියේ ඇවිදිනවිට වියලි මුව වේගයෙන් තෙත් වෙනවා. තෝරාගැනීම් අතර අපි හිරවෙනවා. කුමක් තෝරාගන්නදැයි දහ අතේ කල්පනා කරනවා. ඔබ ඉන්නේ අබ්දුල් හමීඞ් වීදියේ නම් තෝරාගන්නා ආහාරය තොරාගැනීම ඉතා අසීරුයි. බර්ගර් කඩයක විවිධ බර්ගර් වර්ග අපව කන්නැයි කියමින් බලා සිටිනවා. තවත් තැනක තරුණයෙක් කුකුල් ගාතයක් බාබකියු කරනවා.

‘බුරියානි. ඩබ් බුරියානි. ස්ට‍්‍රයිගර්. සිංගර් ප්ලස් බුරියානි. බීෆ්. මැකරෝනි. ඉඳියාප්ප කොත්තු. රොටී කොත්තු. මැකරෝනි. පිට්ටු කොත්තු. ඩොල්ෆින්. මට්න් බුරියානි. නූඞ්ල්ස්. ෆ‍්‍රයිඞ් රයිස්. මට්න් කරි. මටන් බාබත්. මටන් ඩෙවල්. කරි චිකන්. මසාලා චිකන්. චිලි චිකන්. බාබකියු චිකන්. ඩෙවල් චිකන්. තන්දුරි චිකන්. කටල් ෆිෂ්. එග්. ප‍්‍රවුන්ස්. මාලූ‍. මාලූ‍ බිත්තර. මාලූ‍ ඔලූ‍. බැදපු මාලූ‍. මටන් බ්‍රේන් කරි. කටල්ෆිෂ් එග්. ඔය ඔක්කොම මෙතැන තියෙනවා.‘ තමන්ගෙ කඩයෙන් කතහැකි කෑම ගැන එක් කඩයක කෝකියෙක් එකදිගට කීවෙ රැුප් ගීයක් වගෙ.
බාබකියු කුකුල් ගාතයක් රුපියල් දෙසිය පණහක්. එය සාමාන්‍ය මිලට වඩා බොහෝ මිල අඩුයි. ආහාර වර්ග සියල්ලම පාහේ රුපියල් දහසකට අඩු මුදලකට ගත හැකියි. විශාල චිකන් නූඞ්ල්ස් සවානක් රුපියල් හයසීයයි. සිව්දෙනෙක්ට පමණ සවානක් ප‍්‍රමාණවත්. බුරියානි සවානත් රුපියල් දහසට අඩුයි. ඉතා අඩුම මිලකට එවැනි ආහාර වේලක් ගන්නට මේ වීදියෙන් පුලූ‍වන්.

අරාබි සහ පාකිස්ථානු ආභාෂය අබ්දුල් හමීඞ් වීදියේ ඇති ආහාර සියල්ලෙහි දැවටී තියෙනවා. මස් වර්ග බොහොමයක් දකින්න පුලූ‍වන්. එකම එක මසක් හැර. අරාබි සහ පාකිස්ථානු ආභාෂය ලද බහුතර මුස්ලිම් වෙළෙන්දක් පිරිසක් සිටින වීදියක දකින්න නොලැබෙන මස් වර්ගය ඔබට අනුමාන කළ හැකියි.

මාධ්‍යවේදියෙක් ආවහොත් අනිවාර්යයෙන් කතාවක් දාන්නේ ඔහු සමඟ රාත‍්‍රියේ කතාබහට එන්නට බොහෝ දෙනෙක් අකැමති වුණත් ඔහු බලෙන් මෙන් අප සමඟ කතාබහට එනවා. ඔහු ඩඞ්ලි අයියා. සැබෑ නම වෙන එකක් වුව ඩඞ්ලි අයියා යන නමින් ඔහුව සියල්ලන් හඳුන්වනවා.

‘එක්දාස් නවසිය පණස් හයේ ඉඳලා කඩ ඕපන් කරලා තියෙනවා. මේ කඬේ තමයි මුලින්ම පටන්ගත්තෙ. අපි පරම්පරාවෙන් යන්නෙ. හජ්ජි අවුරුද්දට තමයි කඬේ වහන්නෙ.‘ කතාව පටන්ගනිද්දීම නැවතෙනවා. ඩඞ්ලි අයියා කතාව වෙනතක යවලා එයා තව අතක දුවනවා.
‘ඔය නූඞ්ල්ස් එක දාන්න.‘ එහෙම කියන ඩඞ්ලි අයියා නූඞ්ල්ස් එකට බුල්ස් අයි එකක්, චිලිපේස්ට් සහ ලොකු කුකුල් ගාතයක් නූඞ්ල්ස් සවාන මතට දානවා. ‘මේකෙ ෆොටෝ එකක් ගන්න.’ ඔහු ඉල්ලනවා.

නූඞ්ල්ස් එක මේසයට යවලා ආයෙත් ඩඞ්ලි අයියා කතාවට එකතුවෙනවා. ඩඞ්ලි අයියාගෙ සම්පූර්ණ නම අපට කිව්වෙ නෑ. දෙතුන් පාරක්ම ඇහුවාට කියන්න උනන්දුවක් පෙන්නුවේම නැහැ. එයා මුස්ලිම් කෙනෙක්. මීරානියා වීදියේ පැරණිම විසිහතර පැයේ කෑම කඩයෙ එයා ඉන්නෙ. ‘චීෆ් කුක් තමයි මම.’ එයා කීවෙ එහෙම.

‘‘මම අවුරුදු හතළිස් දෙකක් වැඩ කරනවා. මම පොඩි කාලෙ ඉඳලා අයියලා මල්ලිලා එක්ක ඉන්නවා. මෙතැන වැඩ කරන්න පිටිනුත් කට්ටිය එනවා.’’ ඔහු විස්තරේ කියනවා. ‘මෙතැනට ටුවරිස්ලා එහෙමත් එනවා. ටුක් ටුක් සවාරි එන අය මෙහෙට එන්න කැමතියි. හැබැයි වැඩිපුරම එන්නෙ ගමේ කට්ටිය. ඇමතිතුමා කට්ටිය එනවා. ක‍්‍රිකට් ටීම් එකත් ඇවිල්ල තියෙනවා. ෆෝසස් කට්ටිය එනවා. හැමෝම හොඳට කාලා යනවා.’ වීදියට ඇවිත් කා බී යන අය ගැන ඩඞ්ලි අයියා විස්තර කළේ එහෙම.

ඒ ‍වෙළෙඳසැලෙන් පිටවෙන අපි තැන් කිහිපයකින්ම පුංචි කෑම වර්ග කනවා. සරම් හැඳගත් උදවිය වීදිය හරහා ගමන් ගන්නේ අද කන්නේ මොනවාදැයි’ කල්පනා කරමින් විය හැකියි. අපේ පැත්තෙ කට්ටිය ? වෙද්දී නින්දට යන්නෙ නෑ. ජීවිතේ ?ට විඳින්න දේවල් ගොඩක් තියෙනවා. සමහර අයට ?ට රාජකාරීත් ගොඩක් තියෙනවා. ඉතින්, අපි ? ලස්සන කරගන්න මෙතැනට ඇවිත් කෑම වේලක් කනවා.’ කෙනෙක් කීවෙ එහෙම.

‘අප්පපපපා..’ ප‍්‍රකාශ් රාජ් කියන රංගන ශිල්පියා උන් සමයල් ආරයිල් කියන දෙමළ චිත‍්‍රපටියේදී කෑම වර්ණනා කරපු හැටි සිහියට නැගෙනවා. අබ්දුල් හමීඞ් වීදියේ ඇති මස් වර්ගවලින් සැරසුණු ආහාරවල රසය පමණක් නොවෙයි, වීදියෙහි වර්ණ, හඬවල් ඇතුලූ‍ සියල්ල ආහාර ගැන අපූරු අත්දැකීමක් ගෙනෙනවා. ඓතිහාසික ආහාර වේලකට මඟ සැලසෙනවා.

අබ්දුල් හමීඞ් ධනවතුන්ගේ තැනක් නෙවෙයි. ඒත් ආහාර එක්ක ගැටගැහුණු, වේගයෙන් තරඟයක දිවයන මධ්‍යම පාන්තික ජීවිතවලට මඟහැරුණු යමක් මේ වීදියෙහි තියෙනවා. ඒක ආහාරමය අත්දැකීමක්. හැමදාම ගෙදරදී කන බත් වේලට හුරුවුණ වේගවත් මධයම පාන්තික ජීවිත විසින් මඟහැරගත් යමක් අබ්දුල් හමීඞ් වීදියට අසබඩ උදවිය භුක්ති විඳිනවා. මේ දිග කෑම වීදියේදී හිතමිතුරන් හමුවෙනවා. එක් තැනක හිඳ කෑම වේලක් කට පුරා කනවා.

මේක මා අත්දැකීමෙන් දන්නා දෙයක්. ‘ලූ‍ම්පන්’ යැයි සලකන කොළඹ නාගරික නිවාසවල ජීවත්වෙන පන්තියට අයත් මිනිසුන් පුදුම සහගත ලෙස දිවෙහි රසය ගැන කල්පනා කරනවා. පුංචි රැුකියාවකින් පුංචි ආදායමක් ලබන්නෙක් වුව රසවත්, විනෝදබර ආහාර වේලක් ගැනීම ගැන කල්පනා කරනවා. කොළඹ ආශ‍්‍රිත මධ්‍යම පන්තිය සමඟත් අත්දැකීම් ඇති මා වැඩිපුර අත්දැක ඇත්තේ කෑම රසවිඳීම වෙනුවට කුසගින්න නිවන්නට බත් මුලක් ගිලදමන මධ්‍යම පාන්තිකයන් බහුතරයක්. ඉතින්, ‘ලූ‍ම්පන්’ මිනිසුන්ගෙන් ‘මධ්‍යම’ පන්තියට ඉගෙනගන්නට විශාල ආහාර පාඩමක් තියෙනවා. අබ්දුල් හමීඞ් වීදියෙහි ඒ පාඩම චිත‍්‍රණය වෙලා තියෙනවා.

හැම කෑම වේලක්ම නැතත් ඉඳහිට හරි කෑම වේලක් අපූරු වර්ණයකින් පුරවාගන්නට අපට හැකිනම්. කාලය හරස් නොවුණානම් ඒ අත්දැකීම ජීවිතයම ලස්සන කරවන අත්දැකීමක් වේවි. ඉතින්, අබ්දුල් හමීඞ් වීදියට ඒ අත්දැකීම විඳින්නට අපූරු තැනක් යැයි හැගෙනවා.
කොහොම වුණත් අබ්දුල් හමීඞ් වීදියේදී මෙන්ම ලංකාවේ බොහෝ වීදි කෑම වලදී අපට ඇති අවදානම පිරිසිදුකම ගැන සහතිකයක් නැති වීමයි. පිරිසිදුව උයනවාද, නැද්ද යන්න අපි නිවැරදිවම දන්නේ නැහැ. ලංකාවේ මහජන සෞඛ්‍ය සේවයත් මස් අනුමත කරන සීල් එක මස් කඩයේ තබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිටින ජාතියේ සේවයක් නිසා අබ්දුල් හමීඞ් වීදිය ගැනත් සහතිකයක් දීමේ හැකියාවක් අපට නැහැ. එහෙත් ඇත්තෙන්ම ලංකාවේ වීදි ආහාරවල අත්දැකීම විඳින්නට ඒ පිරිසිදුකම ගැන කල්පනාව පසෙකට විසිකර දැමිය යුතුයි. මේ ආහාර පිරිසිදු වෙන්නත් පුලූ‍වන්, නොවෙන්නත් පුලූ‍වන්.

‘‘කවදාවත් අපි අපිරිසිදු කෑම දෙන්නෑ. කෑම අලෙවි කරනවා කියන්නෙ දෙවියන්ගෙ වැඩක්. අපි ජීවත්වෙන්නෙ කෑම විකුණලා. මිනිස්සුන්ට විස කැව්වොත් කවදාවත් අපට හරියන්නෙ නැහැ.’’ පිරිසිදුකම ගැන විමසද්දී අබ්දුල් හමීඞ් වීදියේ වෙළෙන්දෙක් හැඟීම්බර විදියට කියනවා. අපට ඇති සහතිකය ඒක විතරයි. ඒ සහතිකය විශ්වාස කරන්නට උත්සාහ කරමින් අපි වීදියෙන් එළියට එනවා.

සෝමලතා සුබසිංහ භූමිකාව ගැන චන්දන, කෞශල්‍යා සහ නදී ළමා නාට්‍ය කිව්වාම ටිකක් ළාමක විදියට හිතනවා..

නාට්‍ය කිරීමම අභියෝගයක්. ළමා නාට්‍යයක් කිරීම කුමනාකාර අභියෝගයක්ද?
චන්දන: ලංකාවේ සමස්ත සමාජය ඇතුළේ ළමා නාට්‍ය කිව්වාම ටිකක් ළාමක වැඩක් විදියට හිතනවා. පේ‍්‍රක්ෂකාගාරය එහෙම හිතද්දී ඒක තමයි අපි ළඟ තියෙන නළුනිළියන් ඇතුළු අයටත් තියෙන අදහස. ඉතින් අපට සිද්ධවෙනවා ඔවුන්ට ඒත්තු ගන්වන්න ළමා නාට්‍යයක් කියන්නේ බුද්ධිමය, භාවමය සහ නිර්මාණශිලී කලාවක් කියලා. අපි එක්ක සම්බන්ධ වෙන නළුනිළියන්ට මේවා ඒත්තු ගැන්විය යුතුයි. සමහරවිට අපි අවුරුදු ගණනාවක් වැඩ කරලාත් සමහර රංගන ශිල්පීන්ට තවම ඒක ඒත්තු ගන්වන්න බැරිවෙලා. දෙවැනි අභියෝගය තමයි ළමා නාට්‍ය කියන්නේ මොකක්ද කියලා සමාජයට ඒත්තු ගන්වන එක. සමහර රූපවාහිනී නාළිකාවල ළමා වැඩසටහන්වල තියෙන්නෙ බිම වැටෙනවා, කෑගහනවා, හූ තියනවා, කනෙන් අදිනවා වගේ දේවල්. ඒවාට ළමයාත් හිනාවෙනවා. හැබැයි ඒවා ළමයාගේ බුද්ධියට කරන නිගාවක් කියලා තමයි අපි දකින්නේ. ළමයා ඊට වඩා බුද්ධිමත්, විචාරශීලීයි. අභියෝග භාරගන්න සූදානම් කෙනෙක්. ඒ නිසා ඒකට ගැළපෙන විදියට තමයි නිර්මාණය සකස් විය යුත්තේ.

ලංකාවේ ළමා නාට්‍යවලට ලොකු සමාජ පසුබිමක් නැහැ නේද?
චන්දන: එහෙත් ලෝකයේ ඊට වඩා තැනක් ළමා නිර්මාණවලට ලැබෙනවා. විශේෂයෙන්ම සෝවියට් දේශය. නැගෙනහිර යුරෝපය ආශ‍්‍රිත රටවල ළමා නාට්‍ය කලාව මහා ඉහළින් විශ්වාස කළා. මම සෝවියට් දේශය කඩාවැටෙන්න කලින් චෙකොස්ලෝවැකියාව වගේ රටවලදී මේ නාට්‍ය බැලූ‍වා. ළමයින්ට වෙනම නාට්‍යාගාර පවා තිබුණා. මොස්කව්වල තිබුණු ළමා නාට්‍ය බලන්න මම ගියා. ඒ නාට්‍ය ශාලාවක ඇතුළට යද්දීම සමනල්ලූ‍, විවිධ වර්ණවත් රූප තියෙන අය ඉන්නවා. මාපියන්ට තියෙන්නෙ ළමයින්ව යොමු කරන්න. ළමයි දඟලනවා, වැටෙනවා. නාට්‍යය පටන්ගන්න කලින්ම ළමයාට වෙනම අත්දැකීමක් තියෙනවා. ඒ නිර්මාණවල ඉන්නෙ සුප‍්‍රකට නළුනිළියෝ. ළමා නාට්‍යවලදී ශාරීරික සංචලනය ගැන විශේෂ දැනුමක් තියෙනවා. ළමයින්ට නිර්මාණය කරන ඇනිමේෂන් චිත‍්‍රපටිවල ඉන්නේත් හොඳම රංගන ශිල්පියෝ. එඞී මර්ෆි ෂ්‍රෙක් චිත‍්‍රපටියෙ බූරුවාට ඉන්නවා, කුංග් ෆු පැන්ඩා චිත‍්‍රපටියේ ඩස්ටින් හොෆ්මන් සහ ඇන්ජලීනා ජොලී හඬකවනවා. මේ වගේ බොහෝ රංගන ශිල්පීන් ඉන්නවා.
කෞශල්‍යා: ළමා නාට්‍ය කියන්නේ පොඩි ළමයි රඟපාන නාට්‍ය කියලා අදහසකුත් තියෙනවා. එහෙත් ළමා නාට්‍යවල කුඩා දරුවන්ම රඟපාන්නේ නැහැ. සමහරු විහිළුවට වැඩිහිටි නාට්‍යයක් ගුණාත්මකව දුර්වල නම් කියනවා ‘ළමා නාට්‍යයක් වගේ’ කියලා. ඒක මා ඉදිරියේදීත් සමහරු කියලා තියෙනවා. සමහරු හිතන්නේ ළමා නාට්‍ය ගුණාත්මකව දුර්වල, බොළඳ ඒවා කියලා.

රංගන ශිල්පියෙක් ළමයා වෙනුවෙන් රඟපෑමේදී සැලකිලිමත් වෙන්න ඕනෑ දේවල් මොනවාද?
කෞශල්‍යා: අපි ප‍්‍රධාන වශයෙන් ළමයාගේ මානසිකත්වය අවබෝධ කරගන්න ඕනෑ. කොහොමත් කලාව කරන්න ඕනෑ යම්කිසි නොතිත් ආසාවක් තියෙන කෙනෙක්නේ. ළමා නාට්‍ය කරද්දී ඊටත් වඩා එහා යන්න වෙනවා. ළමයා කියන කෙනා ඉක්මනින් යමක් අත්හැරලා දානවා. ඉතින් ළමයාව පුබුදු කරලා තියාගන්න නම් රංගන ශිල්පියා ජවයක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. අම්මා (සෝමලතා සුබසිංහ* කළ නාට්‍යවලදී ළමයාව උද්දීපනය කරලා තියන්න උත්සාහ කරනවා. ළමයාව ප‍්‍රබෝධමත් කරන්න ඕනෑ. ළමයාව විස්මිත කරන්න ඕනෑ. එහෙම තමයි ළමයාට රසවින්දනය දෙන්න ඕනෑ. නලියන ළමයෙක්ව විනාඩි හතළිහක් විතර කළුවර කළ පේ‍්‍රක්ෂකාගාරයක තබාගෙන ඉඳීම පහසු නැහැ. දක්ෂ නළුවෝ ළමා නාට්‍යවල රඟපාන්න එන්නේ නැහැ. අපි සෑහෙන කතාකරලා තියෙනවා. චාන්දනී සෙනෙවිරත්න, නදී කම්මැල්ලවීර, මයුර කාංචන, නාමල් ජයසිංහ, චමිලා පීරිස්, ප‍්‍රියංකර රත්නායක වගේ ගොඩක් නළුනිළියන් ළමා නාට්‍ය රඟපෑමෙන් තමයි රංගනය අවබෝධ කරගත්තේ. හැබැයි දැන් සමහර ශිල්පීන් හිතනවා ළමා නාට්‍ය රඟපෑවාම ආපස්සට යනවා කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වෙන හොඳම රංගන ශිල්පියෙක් තමයි මයුර කාංචන කියන්නේ. විවිධ චරිත කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා.
නදී කම්මැල්ලවීර: ළමා නාට්‍ය බොළඳ වැඩක් කියලා ලෝකයේත් අදහසක් තියෙනවා. නළුවෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක් වුණත් ළමා නාට්‍යයකට එන්නේ නැහැ. තමන් ළමා නාට්‍යයවලින් ආ බව කියන්න කැමති නැහැ. සෝමලතා මිස් නිතර කිව්වෙ ළමයි වෙනුවෙන් රඟපෑම විශේෂ හැකියාවන් කිහිපයක් ඉල්ලා සිටින දෙයක් බව. ‘උඹලා හිතන්න එපා ලේසි වැඩක් කියලා.’ මිස් ඉස්සර කිව්වෙ එහෙම. මිස් නිතර කිව්වා ළමා ඕඩියන්ස් එකට බොරු කරන්න බැහැ කියලා. නිර්ව්‍යාජ වෙන්න ඕනෑ කියලා. දෑසින් පවා දේවල් පෙනෙන්න ඕනෑ. මං හිමකුමාරි රිහසල් කරද්දී මගෙ ඇස් දෙකේ ඇත්ත හැඟීම නැහැ කියලා බැන්නා මට මතකයි. ඉතින් රංගනය ගැන මම අධ්‍යාපනය ලැබුවෙ මිස් එක්ක ළමා නාට්‍ය ඉගෙනගත්ත නිසා.

කෞශල්‍යා සහ නදී කම්මැල්ලවීර ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ වඩා යථාර්තවාදී චරිත රඟපාන රංගන ශිල්පිනියන් විදියට. ළමා නාට්‍යයක රඟද්දී යථාර්ථවාදී නොවී නාට්‍යරූපී විය යුතුද?
කෞශල්‍යා: ඒක නිර්මාණය මත වෙනස් වෙනවා. අපි කරලා තියෙන්නෙ ටිකක් මායාකාරී ලෝකයක් මැවෙන සංගීතමය නිර්මාණ. ඒ නිසා ටිකක් නාට්‍යරූපීයි. හැබැයි අතිශයෝක්තියක් තිබුණත් ඒක ඇතුළෙ යථාර්ථවාදයක් තියෙන්න ඕනෑ. අපි ගමරාළ නම් ගමරාළම වෙන්න ඕනෑ. ඒ වගේ ඇක්ට් කරන්න බැහැ. මේ ගැන අම්මා කීව සමහර දේවල් තේරුණේ මටත් දරුවෝ ඉපදුණාම.
චන්දන: රංගනයේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම උච්චාරණය නිවැරදිම වෙන්න ඕනෑ. ඊළඟට නිමාව. දැන් සමහර නළුනිළියන් වාක්‍යයක් පටන්ගත්තාම හරියට අවසාන කරන්නෙ නැහැ. හැබැයි ළමයාට එහෙම බැහැ. මොකද ඒ වගේ අඩුවක් තිබුණොත් ළමයා හිතන්න ගන්නවා ඒ ගැන. ඇයි එහෙම වුණේ කියලා. ඊට පස්සෙ නාට්‍යයෙන් එයා ගිලිහෙනවා. ළමයා ව්‍යාකුල වෙනවා.
භාවයන් ළමයින්ට ඉදිරිපත් කිරීමේදී අන්තයට යන්නේ නැතිව ටිකක් මැද තැනකින් කියනවා. අපි හිතමු ලොකු ප‍්‍රශ්නයක් නම් ළමයින්ට තේරුම් යන විදියට කියන්න ඕනෑ. දුක, තරහ, වේදනාව ළමයාට තේරෙන විදියට නිශ්චිත විදියට කියන්න ඕනෑ.

ළමා ලෝකටක් සුදු නම් ලස්සනයි, කළු නම් කැතයි කියන අදහස බොහෝ ළමා නිර්මාණවලින් පෙන්වනවා. එහෙත්, සෝමලතා සුබසිංහගේ නළුනිළිවරණය සාම්ප‍්‍රදායික ළමා චිත‍්‍රපටි, ටෙලිනාට්‍යවල රංගන ශිල්පීන්ට වඩා වෙනස්. පිරුණු සුදු ළමයි නැහැ. උදාහරණයක් ලෙස හිමකුමරිය නාට්‍යයේදී අපි හැමෝගෙම ඔළුවෙ මැවෙන හිමකුමරියන් වගේ සුදු අය නැතිව නදී කම්මැල්ලවීර හිම කුමරියට ගත්තෙ ඇයි?
කෞශල්‍යා: අපේ අම්මාට හිම කුමරිය කියන්නෙ හමේ පාට නිසා නෙවෙයි. හදවතේ ලස්සන නිසා. නදීව තෝරාගත්තෙ හදවතේ ලස්සන නිසා අමාරුවේ වැටෙන, අහිංසක කෙනෙක් නිසා. නදීගේ ඇස් දෙකේ පවා ඒක තියෙනවා. අපි ගාල්ලේ ගිහින් නාට්‍යය පෙන්වුවා. නාට්‍යය ඉවරවුණාම ටීචර්ස්ලා ආවා. ‘‘අපි නම් අහලා තියෙන්නෙ හිම කුමාරි කියන්නෙ හම සුදු කෙනෙක් කියලා.’’ අපට හිනා ගියා. ගුරුවරයෙකුට ඒ ගැන කල්පනා කරන්න බැරිනම්..
චන්දන: ඔය ගැන සෝමලතා මිස් පස්සේ කාලයක කියලා තිබුණා හිම කුමරිය නාට්‍යය අප‍්‍රිකානු රටක කළා නම් හිම කුමරියක් හොයාගන්නෙ කොහොමද කියලා. ඇයට ඕනෑ වුණා ලස්සන කියන දේ සිරුරට පිටින් තියෙන දෙයක් නොවන බව ඒත්තු ගන්වන්න. මේ අදහස සංකේතවත් වෙන ලස්සන සිදුවීමක් තියෙනවා. අවුරුදු ගාණකට කලින් මිස්ට සුජාතා විද්‍යාලයේ නාට්‍යයක් කරන්න ආරාධනා කළා. සඳකිඳුරු ජාතකය තමයි තෝරාගත්තේ. ඒකට හොඳට සිංදු කියන්න ඕනෑ. නාට්‍යවලට කැමති ඔක්කෝම ළමයින්ව ගෙන්වාගත්තා. විවිධ සුදු, ළමයි ඉන්නවා, ලස්සන ළමයි ඉන්නවා..
කෞශල්‍යා: ඒ කාලෙ ජනප‍්‍රිය චිත‍්‍රපටියක රඟපාපු ළමයෙකුත් හිටියා. සුදු ළමයෙක්. ඉතින් හැමෝම යෝජනා කරනවා එයාව නාට්‍යයට ගන්න කියලා. අම්මා තදින් කිව්වා මම තමයි ඒක තීරණය කරන්නේ කියලා. ඔන්න අම්මා ළමයින්ට සිංදු කියන්න කියලා කණ තිය තිය අහමින් යනවා. එහෙම යද්දී හෙමීට සිංදු කියපු, හුඹහෙන් ආපු තලගොයෙක් වගේ කෙට්ටු පුංචි ගෑනු ළමයෙක් ඉන්නවා. අපේ නදී වගේ. එයා සිංදු කියනවා ඇහෙන්නෙත් නෑ. අම්මා ‘ඔයා එන්න’ කියලා එයාට කතාකළා. ළමයා බයවෙලා හිටියේ. ඒ ළමයාත් තමන්ට සිංදු කියන්න පුළුවන් කියලා දැනගත්තේ එදා තමයි. ඒ ළමයාව පුරුදු කරලා සඳ කිඳුරියට ගත්තා. ඒ ළමයා තමයි ප‍්‍රදීපා ධර්මදාස.
නදී: සෝමලතා මිස්ට හොඳ තෝරාගැනීමේ හැකියාවක් තිබුණා. එහෙම තෝරාගන්න මොහොත වෙද්දී ඒ චරිතය රඟපාන්න අවශ්‍ය හැකියාව රංගන ශිල්පියාට නැතිවෙන්න පුළුවන්. හැබැයි චරිතයේ ආත්මය තියෙනවා වෙන්න ඇති. මාව හිමකුමරියට ගනිද්දී ඒ චරිතයට නටන්න තිබුණා. සිංදු කියන්න තිබුණා. මම ඒවාට දක්ෂ නැහැ. මට හොඳට මතකයි මිස් මට උගන්වපු හැටි. මට ලැබුණු ආත්ම ශක්තිය සහ ආලෝකය මට මතකයි.

සූටෝපියා නම් ඇනිමේෂන් චිත‍්‍රපටියක් හොලිවුඩයේ තිරගත වුණා. මේ චිත‍්‍රපටියෙන් ජනවර්ග අතර සැකය පිළිබඳ අපූරු කතාවක් සත්ව ලෝකය ඇසුරෙන් කියනවා. ළමයින්ගේ ඔළුවට මේ ගැන අපූරු හැඟීමක් තියෙනවා. සෝමලතා සුබසිංහ මහත්මියත් රටක තියෙන ජාතික ප‍්‍රශ්න පිළිබඳ ළමා ලෝකයට කතාවක් කියන්න උත්සාහ කරනවාද?
චන්දන: ඔව්. විකෘති නාට්‍යය උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒකෙදී වැරදි කවුද කියන එක ගැන ඇඟිල්ල දිගුවෙන්නේ නැහැ. සිස්ටම් එකේ හැමෝම වගකීමකින් බැඳිලා ඉන්න බව ඒකේ කියනවා. මාපියන් හිතනවා දරුවන්ට හොඳම දේ දෙන්න ඕනෑ බව. වෛද්‍යවරයෙක් වීම ජීවිතයේ ගොඩ යන්න අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. හැබැයි ළමයින්ගේ ඔළුවේ දොස්තර වීමේ හීනයක් නෑ. මේ දැවැන්ත ප‍්‍රශ්නය ඉදිරිපත් කළේ තරුණයන්ගේ අවධානය ගැනීමේ අරමුණෙන්. හැබැයි එයා කිසිවිටෙක වෛරය ගෙනාවෙ නැහැ. අහවලා වගකිව යුතු බව කීවෙ නැහැ.
කෞශල්‍යා: තොප්පි වෙළෙන්දා නාට්‍යයේ එක් තැනක තොප්පි වෙළෙන්දා කියනවා තොප්පි විකුණලා ජීවත්වෙන්න බැරි බව. ‘පනම් දෙකක් හරි කතාව, හදාගන්න අම්මාට පනම් පහක් වියදම්. ඔහොම තමයි දැන් කාලේ, බොහොම හිඟයි මිනිස්සුන්ට. කොහොම වුණත් උත්සාහය, කෑම වේල පිරිමහන්න. මෙහෙම දේට කොහෙ මුදල්ද, මේවා කාගේ වැරදිද?’
චන්දන: ඔව්, සංකීර්ණ ආර්ථික ප‍්‍රශ්නයක් ළමයාගේ ඔළුවට සරල ලෙස කියනවා.
කෞශල්‍යා: තොප්පි වෙළෙන්දා නාට්‍යයේදී සන්සුන් බුද්ධියෙන් ගහගන්නෙ නැතිව ප‍්‍රශ්න විසඳන හැටි කියනවා. උපක‍්‍රමශීලීව තොප්පි ටික ගන්නේ් කොහොමද කියන එක තමයි ළමයින්ට තියෙන ආදර්ශය. එතැනදීත් මුලින්ම වඳුරන්ට ගහන්න උත්සාහ කරලා පස්සෙ තමයි තේරුම් ගන්නෙ සාමකාමීව මේක විසඳාගන්න පුළුවන් කියලා.
චන්දන: ‘‘සන්සුන් වූ වෙළෙන්දාට, තොප්පි නැවත ලබාගන්න, හොඳ නුවණක් පහළ වුණා.’’ කියලා ඒකේ කවියක් තියෙනවා.

ඇය සැබෑ සුරංගනා කතාවක් හෝ ජනකතාවක් ඇසුරෙන් නිර්මාණයක් කරද්දී මුල් නිර්මාණයේ තියෙන ඇතැම් දේවල් දරුවන්ට ගැළපෙන ලෙස වෙනස් කරනවා නේද?
චන්දන: ඔව්. උදාහරණයක් කීවොත් රතු හැට්ටකාරී කතාවේදී සැබෑ කතාවේදී වගේ නැතිව වෘකයා අන්තිමේදී ආච්චිව වමාරනවා. ආච්චිව ගිලින්නේ නැහැ. වලස් පවුල ගත්තාම, සැබෑ කතාවේදී මනුෂ්‍යත්වයට වඩා පහළින් තමයි වළස්සුන්ව තියන්නෙ. හැබැයි මනුෂ්‍යත්වයට ඉහළින් වළස් පවුල තියන්න අම්මාගේ නිර්මාණයේදී කටයුතු කරනවා.
නදී: වළස් පවුල කතාවේ වෘක මහත්තයාත් නරක කෙනෙක් නෙවෙයිනේ. හාමිනේට උදව්වට කෙනෙක්වනේ හොයන්නේ. ඇත්තටම සුරංගනා කතාවලදී සුදු සහ කළු චරිත හිටියාට මිස් ගොඩනඟන චරිත ඊට වඩා සංකීර්ණයි. නරක වැඩ කරන කෙනෙක්ට වුණත් හොඳ ගතිගුණ පෙන්වනවා. අන්තිමේදී සමාව දෙන්න පුරුදු වෙනවා. දුෂ්ට චරිත සමාව ඉල්ලනවා.

සුරංගනා කතා ලියැවුණේ යුග ගණනාවකට කලින්. ඒවා ලියැවුණු කාලයේදී දියුණු වෙන්න ඇති. හැබැයි මෑත යුගයේදී මේවා ප‍්‍රතිනිර්මාණය කරද්දී දියුණු සංකල්ප එක්ක ඒවා නිර්මාණය කරනවා. ඇන්ජලීනා ජොලී රඟපාන මෙලෆිසන්ට් වගේ චිත‍්‍රපටියක් මෑත කාලයේදී නිර්මාණය වෙන්නෙ කුඩම්මාගේ දෘෂ්ටි කෝණයෙන්. ඇත්තටම බටහිර මෙලෆිසන්ට් චිත‍්‍රපටිය නිර්මාණය වෙන්නත් කලින්ම සෝමලතා සුබසිංහ මහත්මිය මෙලෆිසන්ට් සුරංගනා කතාවට අලූ‍ත් අරුතක් දීලා තියෙනවා නේද?
චන්දන: ඔව්, මිස් ප‍්‍රතිනිර්මාණය කරපු මෙලෆිසන්ට් කතාවේදී අන්තිමේදී කුඩම්මාට දුක හිතෙනවා. ඇත්තටම සමහර වෙලාවට ලෝක සිනමාවේ දැන් ගෙනෙන අර්ථකථන අම්මා කාලයකට කලින් ගෙනෙනවා. උදාහරණයක් විදියට ටෝයි ස්ටෝරි චිත‍්‍රපටියේ එන සෙල්ලම් බඩු මනුෂ්‍ය ස්වරූපයෙන් කතාකිරීම කියන එක අම්මා වලස් පවුල නාට්‍යය ලියද්දී අවුරුදු හතළිහකට විතර කලින් ගෙනෙනවා.

සංගීතය වගේ කාරණා ගැන සෝමලතා සුබසිංහ මොනතරම් සැලකිලිමත් වෙනවාද?
කෞශල්‍යා: ළමා නාට්‍යයක් කරද්දි සංගීතය මොන තරම් බැ?රුම් විදියට සලකනවාද කිව්වොත් අම්මා දවස් ගණන් ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඇය කරන්නෙ පැදුරක් දාගෙන නාට්‍ය ප‍්‍රැක්ටිස් කරන තැන නිදාගන්නවා. චූලසිංහ මාස්ටර් බුලත්විට කකා තනු හදනවා. අම්මාව ඇහැරවලා තනුව අහන්න දෙනවා. හොඳ නම් හොඳ කියනවා. ගොඩක් තැන්වල අම්මා තනු නිර්මාණය කරලාත් තියෙනවා.
චන්දන: ගොඩක් තැන්වල අම්මා ගීතයක් ගායනා කරලා පෙන්වනවා. මට මෙහෙම ඕනෑ කියලා. චූලසිංහ සර්, ආ ඒක හොඳයි මිස් කියලා ඒකට තනුවක් නිර්මාණය කරනවා. විකෘති එකේ ‘විභාගේ විභාගේ’ සිංදුව සෝමලතා සුබසිංහ මහත්මිය ගායනා කරලා පෙන්වනවා. සමහර වෙලාවට අපට බනිනවා. මේ මොනාද මේ කරලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට පුංචි කෑල්ලක් අරගෙන ඒක ඇසුරෙන් නිර්මාණය කරන්න කියනවා. සමහර අත්දැකීම් හරි රසවත්. උදාහරණයක් විදියට චූලසිංහ සර් එක්ක සංගීතය කළ හැටි. චූලසිංහ සර්ට බුලත් විට නැතිව මියුසික් එන්නේ නැහැ. මහ ? බුලත්විට ඉවර වෙනවා. ඉතින් මම ගේ ඉස්සරහ පුවක් ගහකින් පුවක් හොයාගෙන, මාමාගේ ගෙදරට පැනලා බුලත් කඩාගෙන එනවා. පුවක් කපලා විටක් හදන්න පැයක් විතර යනවා. ඉවරවුණ ගමන් සංගීතය පටන්ගන්නවා.

ලංකාවේ දරුවන්ට උගන්වන්නෙ තරගකාරී ක්ෂේත‍්‍රවලට යන්න. වෛද්‍යවරු, ඉංජිනේරුවරු වෙන්න. එහෙම අනාගතයක් ගැන හීන දකින ළමයින්ට ළමා නාට්‍ය වැදගත් වෙන්නේ කොහොමද?
නදී: මම විශ්වාස කරනවා කලාව ඇසුරු කිරීමෙන් ළමයින්ට තමන්ව තේරුම් ගැනීමේ සහ ලෝකය තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. වෙන විෂයන්ගෙන් ඒක ලැබෙන්නේ නැහැ. මේ ළමයි තමයි වැඩිහිටියන් වෙලා රටේ ප‍්‍රධාන තැන්වලට යන්නේ. එයාලාගේ පෞද්ගලික ජීවිතත් එයාලා ගතකරනවා. ඒ කාර්යභාරය කරන්න නම් මනුෂ්‍යයන් ගැන, හැඟීම් ගැන අවබෝධයක් ඇතිවෙන්න ඕනෑ. සම්බන්ධතා යහපත් කරන අන්දම තේරුම් ගන්න ඕනෑ. ඒ අවබෝධය ලැබෙන්නෙ කලාව ඇසුරු කිරීමෙන්. මටත් දරුවෙක් ඉන්නවා. විෂයන් ගොඩක් මැද එයාට වැඩිහිටියෙක් වෙලා හොඳ තීරණ ගැනීමේ පුරුද්ද ලබාදෙන්න කලාවට යොමු කරනවා. නාට්‍ය බලන්න, පොත් කියවන්න, මියුසික්වලට යොමු කරන්නෙ මනුෂ්‍ය ජීවියා ගැන ඥානයක් එයාට ලබාදෙන්න. වෛද්‍යවරයෙක් හුදෙක් වෛද්‍ය ඥානයක් තියෙන කෙනෙක් පමණක් නම් ඒක ප‍්‍රමාණවත් නැහැ. රෝගියෙක්ට සුවය ලබාදෙන්න ඖෂධ පමණක් ප‍්‍රමාණවත් නැහැ.

චිත‍්‍රපටියක්, පොතක් කියැවීමට වඩා ළමයෙකු නාට්‍යයක් බලන්න රැුගෙන යෑමේ විශේෂත්වයක් තියෙනවාද?
නදී: නාට්‍යය කලාව කියන්නේ විශේෂ එකක්. ළමයෙකු නාට්‍යයක් බලන්න ගෙනගියාම විශේෂ අත්දැකීමක් ළමයාට ලැබෙනවා. අපි බලන ඞීවීඞී චිත‍්‍රපටියකින් පස්සෙ ඒ නිර්මාණය කළ අයව දකින්න බැහැනේ. හැබැයි නාට්‍යයක් බැලූ‍වාම එතැන හිටපු අයව අල්ලලා බලන්නත් පුළුවන්. නාට්‍යයක අරුමය වගේම ඒ අරුමය නිර්මාණය කළේ මේ අය කියලාත් මම පෙන්වනවා. ළමයි ඒකට කැමතියි. අනෙක පොතක් කියැවීම, චිත‍්‍රපටියක් බැලීම තනිවම කරන දෙයක්. ඒ මාධ්‍ය පවා හොඳයි. මගේ පුතාවත් චිත‍්‍රපටි, පොත්පත්වලට යොමු කරනවා. හැබැයි නාට්‍යයක් බලන්න ගියාම නාට්‍යයත් සාමූහික දෙයක්. පේ‍්‍රක්ෂකාග ාරයේ ඉඳන් නැරඹීමත් සාමූහික වැඩක්. දරුවෙකුට ඒක හරි ලස්සන අත්දැකීමක්. ඒ හරහා කලාවට වටිනාකමකුත් ලැබෙනවා.
කෞශල්‍යා: තවත් පුංචි කාරණයක් තියෙනවා. නාට්‍යයක් කියන්නේ යළි යළිත් ළමා පේ‍්‍රක්ෂකාගාරය ඉදිරියේදී පෙන්වලා ළමයින්ගේ ප‍්‍රතිචාර එක්ක මුවහත් වෙන එකක්. උදාහරණයක් කීවොත් මුලින්ම තොප්පි වෙළෙන්දා නාට්‍යය පෙන්වූවේ රෝයල් කොලේජ් එකේ පළවැනි වසරේ ළමයින්ට. නාට්‍ය අවසානයේදී තොප්පි වෙළෙන්දා වඳුරන්ගෙන් තොප්පි ටික එකතු කරගෙන යනවා. නාට්‍ය අවසාන වෙනවා. හැබැයි ළමයි තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියාලූ‍. අප්පුඩියක්වත් නැහැ. ළමයි දුකෙන්. අම්මා ඇහුවාලූ‍ ඇයි, නාට්‍ය හොඳ නැද්ද කියලා. එතකොට ළමයි ඇහුවාලූ‍ ‘එතකොට වඳුරො?’ කියලා. වඳුරන්ට තොප්පි නැති නිසා ළමයින්ට දුකයිලූ‍. අම්මා ඊට පස්සෙ ආයෙමත් තොප්පි වෙළෙන්දාව ගෙන්වලා වඳුරන්ට තොප්පි දුන්නාලූ‍. ළමයි ඊට පස්සෙ අත්පුඩි ගැහුවාලූ‍. එදා පටන් නාට්‍ය අවසානයේදී වඳුරන්ට තොප්පි බෙදනවා. මුල් නිර්මාණය වෙනස් වෙනවා. හැබැයි චිත‍්‍රපටියක්, පොතක් කවදාවත් ඒ විදියට වෙනස් කරන්න බැහැ.

ඇමති ෆොන්සේකා සහ පාතාලයෝ

0

 

ඇමති සරත් ෆොන්සේකා සහ පාතාලයෝ සිනමාපටය මේ දිනවල දිගහැරෙමින් තිබේ. ‘පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහාය දෙන ඇමති’ යන සිරස්තලය යටතේ 2018.07.16 දින හේමන්ත කහවලගේ නමින් නෙත් නිව්ස් වෙබ් අඩවියේ පළවූ ප‍්‍රවෘත්තියත් සමග මෙම සිනමාපටය තිරගත වීම ඇරඹුණි. දැන් එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වේ. මෙම ප‍්‍රවෘත්තියත් සමග අදාළ ඇමතිවරයා ප‍්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාට දුරකථනයෙන් බැන තර්ජනය කර අදාළ පුවත වෙබ් අඩවියෙන් ගලවා දමන්නැයි නියම කළ බවට තොරතුරු තිබෙන බව 2018.07.23 දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශ කළේය. මෙම ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළද ඉන් පිටත ද මාධ්‍ය හමු පවත්වමින්ද නොයෙකුත් අවලාද මෙම මාධ්‍යවේදීන්ට සහ අදාළ මාධ්‍ය ආයතනවලට එල්ලකරමින් බනිමින් තර්ජනය කරමින් සිටින මොහොතක මෙලෙස මෙම පුවත පිළිබදව තොරතුරු ලියන්නට සිතුවෙමු.

පසුගිය ජූලි 03 වැනිදා කේරළ ගංජා සමග අත්අඩංගුවට පත්වූ ගිහාන් සඳරුවන් මුදා හැරීමට පෑලියගොඩ පොලීසියට අමාත්‍ය සරත් ෆොන්සේකා බලපෑම් කර ඇතැයි යන සිද්ධියත් සමග මෙම ආන්දෝලනය කරළියට පැමිණියේය. මෙහිදී අමාත්‍යවරයා කෙළින්ම පෑලියගොඩ පොලීසියටද ඉන් අනතුරුව විෂයභාර අමාත්‍යවරයාටද කතාකර මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව පවසා ඇතැයි දැනගන්නට ලැබෙයි. පොලිසිය අසරණයන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්නා බවත් එවැනි අවස්ථාවලදී මැදිහත් වන්නට වෙන බවත් දිනක් මාධ්‍ය හමුවකදී සරත් ෆොන්සේකා පැවසුවා මතකය. ඒ මේ සිද්ධිය අරබයා වන්නට බැරි නැත. කෙසේ හෝ මේ පුද්ගලයන් කේරළ ගංජා ප‍්‍රවාහනය ජාවාරම කළාදැයි අප ටක්කයටම කියන්නට දන්නේ නැත. එහෙත් මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වූ විට ඔහු බේරාගැනීමට මෙම ඇමතිවරයා කටයුතු කළ බව නම් සත්‍යයක්ය.

මේ සමග මාධ්‍යට හෙළිවූ තොරතුරු මොනවාද? අප සොයා බැලිය යුතුය. කේරළ ගංජා සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධයැයි කියන අරුණ අත්තනායක නොහොත් පොලිස් නමින් හඳුන්වන පුද්ගලයෙකු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බව මෙම නෙත් පුවතින් වාර්තා කර තිබූ අතර එහිම ඔවුන් ප‍්‍රකාශ කර තිබුණේ කේරළ ගංජා ජාවාරමේ නිරත ප‍‍්‍රබලයන් ලෙස සැලකෙන පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට මෙම අමාත්‍යවරයාගේ උදව් උපකාර ලැබෙන බවය. මේ සිව් දෙනාම ප‍‍්‍රබල පාතාල ක‍්‍රියාකාරීකයෙකු ලෙස සැලකෙන මල්වත්තේ මංජු නමැත්තාගේ ගෝලයන් බවද එහිදී වාර්තා කර තිබිණ. ඒ ඔවුන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සමග සිටින ඡුායාරූපද සමගින්ය. ඉන් අනතුරුව මෙම පුවතම 2018.07.19 ‘ප‍්‍රබල ඇමතිගේ පාතාල රැුකවලූන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි’ නමින් යාවත්කාලීන කරන නෙත් නිව්ස් වෙබ් අඩවිය සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සමග සම්බන්ධතා පවත්වන පාතාලයට සම්බන්ධ බවට නම් ලැබූ තවත් පුද්ගලයන් රැුසක් පිළිබඳව ඡුායාරූප සමග වාර්තාවක් පළකර ඇත.

මෙහිදී ඉසුරු අත්තනායක නැතිනම් වරුණ නම් පෑලියගොඩ පොලිස් ස්ථානයේ කාලයක් සේවය කළ නිලධාරියෙකු පිළිබඳව තොරතුරු හෙළිකරමින් වෙබ් අඩවිය ප‍්‍රකාශ කරන්නේ මෙම හිටපු පොලිස් නිලධාරියා ප‍්‍රමුඛ පාතාල සාමාජිකයන් ලෙස සැලකෙන පෑලියගොඩ ගිහාන් ශාමිල් සඳරුවන් සහ බැරල් සංඛ යන දෙදෙනා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවය. මංජුල චමින්ද ඇල්වෙල නොහොත් මල්වත්ත මංජු නම් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් ඔවුන් තවදුරටත් කියන්නේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සමග සමීප සම්බන්ධතා පවත්වන මොහු පාතාල ක‍්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් කටයුතු සිදු කරගෙන යනු ලබන පුද්ගලයෙකු බවය. මෙම පුද්ගලයාට අනවසර ගිනිඅවි 03ක් සන්තකයේ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වන බව ප‍්‍රකාශ කරන ඔවුහු මොහුට විරුද්ධව නඩු රැුසක් ඇති බවද සඳහන් කරති. නිරෝෂන් නයනජිත් ඒකනායක පිළිබදව සඳහන් කරමින් සහ ඔහු සහ සරත් ෆොන්සේකා එකට සිටින ඡුායාරූප පළකරමින් වෙබ් අඩවිය කියන්නේ මේ පුද්ගලයා කැලණිය පෑලියගොඩ අවට ප‍්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකු බවය. වෙබ් අඩවිය කියන ලෙස මෙම පුද්ගලයා පෑලියගොඩ නගරසභා මැතිවරණය සඳහා ද ලියාපදිංචි වී සිට ඇත. මෙම පුද්ගලයාට පෑලියගොඩ ප‍්‍රදේශයේ පාතාලයේ ප‍්‍රබල සාමාජිකයෙකු සමග සමීප නෑකමක් තිබෙන බවද දැනගන්නට ලැබේ.
මෙම චෝදනා පිළිබඳව අපද තොරතුරු සෙවීමේදී අනාවරණය වුණේ අමාත්‍ය සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කරන තරම් මේ පුද්ගලයන් අහිංසක නැති බවය. 1977න් පසු ලංකාවේ දේශපාලනය තුළ වැඩි ප‍්‍රතිශතයකින් පාතාල ලෝකය ක‍්‍රියාත්මක බව සත්‍යයක්ය. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ අද දවසේ දේශපාලන කෙරුමන් අතර ඇත්තේ ගසට පොත්ත මෙන් සහ සම්බන්ධයක්ය. පොත්ත නැතුව ගසටද ගස නැතුව පොත්තටද පැවැත්මක් නැත. මෙම සිද්ධියේදී පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද කෑගසන බොහෝ මැති ඇමැතිවරුන්ටද පාතාලය සමග සමීප බැඳියාවක් තිබෙන බව කිව යුතුය. එහෙත් එය එසේ වූ පමණින් පොලීසිය භාරදීමට හැදු මේ අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය නිවැරදි හෝ අහිංසක හෝ වෙන්නේ නැත.

මෙම චෝදනා පිළිබඳව අමාත්‍ය සරත් ෆොන්සේකා කියන්නේ කුමක්ද? අපි ඔහුගේ හඬටද ඉඩ දිය යුතුය. ඔහු පසුගිය ජූලි 18 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ චෝදනාවලට පිළිතුරු ලබා දුන්නේය. මෙම ඡායාරූපවල සිටින මිනිසුන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධවී වැඩකර පුද්ගලයන් බව ඔහු එහිදී පිළිගන්නේය.

‘ඔවුන්ට විරුද්ධව නඩු නෑ. මේ ළමයි චෝදනා තියෙන අය නෙමෙයි. ඉන්න එක්කෙනෙකුට ඉස්සර එක නඩුවක් තිබිලා තියෙනවා. අපිට දේශපාලනය කරන කොට අපිත් එක්ක දේශපාලනය කරන්න මිනිස්සු එනකොට එන හැම කෙනාටම නඩු තියෙනවාද කියලා අපි අහන්නේ නෑ. ඒක කරන්න බෑ. අනික කලින් වැරැුද්දක් කරලා දඩුවම් ලබලා නිදහස් වුණ පුද්ගලයෙකුට දේශපාලනය කරන්න අයිතියක් නැද්ද?.. මේවා ලියන මාධ්‍යවේදීන් ඉන්නේ කොහේද? පහුගිය කාලයේ හිටියේ කොහේද? කියලා අපි දන්නවා. කාගේ උවමනාවටද මේවා කරන්නේ කියලාත් අපි දන්නවා.’

මෙහිදී ඔහුට එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙන අතරතුරම ඔහු එම මාධ්‍ය හමුවේ දී වැඩි කාලයක් මිඩංගු කරන්නේ මෙම හෙළිදරව්ව කළ මාධ්‍යවේදීන් රාජපක්ෂ සුරතලූන් බව කියන්නටය. මෙවැනි හෙළිදරව්වක් කළ මාධ්‍යවේදියෙකු රාජපක්ෂවරුන් සමග හිතවත් වූ පමණින් හෝ ඔවුන් සමීපව අසුරුකිරීම නිසා හෝ එම හෙළිදරව්ව තුළ අන්තර්ගත තොරතුරු සත්‍ය නම් එය වැරදි ක‍්‍රියාවක් වන්නේ නැත. එපමණින් එය අවලංගු, ගණන් නොගතයුතු වන්නේ ද නැත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සහ ඉන් පිටතදී මාධ්‍ය හමුවක් තබමින් පත්ම උදය ශාන්ත මන්ත‍්‍රීවරයාද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයාද කරුණු දැක්වූහ. ඔවුන් විපක්ෂය වූ පමණින් හෝ ඔවුන් රාජපක්ෂ හිතවාදී වීම මත හෝ මෙම තොරතුරු බොරු වන්නේ නැත. මෙම තොරතුරු බොරු නම් මාධ්‍යයට අවලාද තැබීම පසෙක ලා අමාත්‍යවරයා කළයුතු වන්නේ නිවැරදි තොරතුරු සමාජගත කිරීමය.

මෙම ලියුම්කරු මේ පිළිබඳව පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද ලොක්කන් ළඟ පාතාලයන් සිටිනා බව තම දෙපාර්තමේන්තුව දන්නා බවය. ඒ පිළිබඳ සවිස්තර වාර්තා ද තිබෙන බවය. එහෙත් ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ඒවා ඉවසන්නට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවී තිබෙන බවය. සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පොලිසිය විවේචනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ පොලිසිය භාර අමාත්‍යාංශය අදාළ අමාත්‍යවරයාට ලබාදෙන්නට යාමේදී පොලිසියේ යම්යම් උසස් නිළධාරීන් ඊට විරෝධය පළකිරීමද මේ විවේචනවලට හේතුවක් වන්නට පුළුවන් බවය.

මිලියන 100ක් කොමිස් ලැබුණා : අකිල

පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් හිමිවිය යුතු කොමිස් මුදල වශයෙන් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ලැබුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් පවසයි. ඔහු ඒ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
එම මුදල රුපියල් මිලියන 500 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම ලැබෙන කොමිස් මුදලෙන් සුරක්ෂා රක්ෂණයෙන් ආවරණය මිලියන 100ක් නොවන බරපතළ රෝගාබාධ සහිත දරුවන්ට සහන සැලසීමට අරමුදලක් පිහිටුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ජුලි 22 වැනිදා අනිද්දා පුවත්පත මගිින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුරක්ෂා රක්ෂණය ප‍්‍රතිරක්ෂණය කිරීමේ ගනුදෙනුව පිළිබඳ හෙළිදරව්වක් කරනු ලැබූ අතර එහිදී අප පෙන්වාදුන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර සිදුවන රක්ෂණ ගණුදෙනුවකදී කොමිස් මුදල් ලබාදීම හා ලබාගැනීම නීතිවිරෝධි බවට මුදල් අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් නිකුත්කර ඇති බවයි.

සුරක්ෂා රක්ෂණයේ පළමු වසරේ වාරික මුදල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 2700ක මුදලක් ගෙවා ඇති අතර ඒ රුපියල් මිලියන 810ක් බැගින් දෙවරකදී හා රුපියල් මිලියන 1080ක් වශයෙන්ය.

හකීම්, බදියුදීන් සීමා නිර්ණයට විරුද්ධයි

0

ඉඳුවර බණ්ඩාර

පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමයට පැවැත්වීම සඳහා සකස්කර ඇති සීමා නිර්ණය වාර්තාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්නේ රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් යන අමාත්‍යවරුන් බව වාර්තාවේ.

එම අමාත්‍යවරුන් දෙදෙනා ඔවුන්ගේ විරුද්ධත්වය පළකරන්නේ කේවල ඡන්ද ක‍්‍රමයේදී දැනට ඔවුන්ට හිමි මන්ත‍්‍රීධුර සංඛ්‍යාව නොලැබෙන බව ප‍්‍රකාශ කරමින් බවත් එහෙත් සමානුපාතික ක‍්‍රමයේදී ඔවුන්ට ලැබෙන මන්ත‍්‍රීධුර සංඛ්‍යාව ගැන කථා නොකරන බවත් වාර්තා වේ.
පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුව අනුමත නොකරන්නේ නම් එම වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පිහිටුවා ඇති කමිටුවේ වාර්තාව අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ මතය වී ඇත. එහෙත් එම සමාලෝචන කමිටුවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළත් වීමත් සීමා නිර්ණය කමිටුවේ සභාපතිත්වය දැරූ කේ. තවලිංගම් මහතා ඇතුළත්වීමත් නීති විරෝධි බව මැතිවරණ කොමිසමේ එම නිලධාරීහු පෙන්වා දෙති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ සමාලෝචන කමිටුව තුළ වතුකරයේ දෙමළ ජනතාව නියෝජනයට සාමාජිකයෙකු නොමැතිවීමද බලවත් අඩුපාඩුවක් බවයි. අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු එම සමාලෝචන කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ආර්. සම්බන්ධන්, මහින්ද දේශප‍්‍රිය හා කේ.තවලිංගම් යන අය ඇතුළත්ය.

ඩඞ්ලි මල්ලීගෙන් මෛත‍්‍රීට පාඩමක්

0

ඩඞ්ලි සිරිසේන මහතාගේ අරලිය හෝටලයේ රාත‍්‍රී සමාජ ශාලාවක් විවෘත කළ අන්දම සමාජ මාධ්‍යවල හුවමාරු විය. ඇතැම්හු සදාචාර ප‍්‍රතිපත්තිවලින් ඒ කටයුත්තට පහර දුන්හ. රාජපක්ෂවාදීන්ට මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලූ‍ ගසන්නට හොඳ සදාචාර අවියක් බවට සමාජ ශාලාව පත්විය. ඒ නිසාම ඒ සමාජ ශාලාවට දේශපාලන වැදගත්කමක්ද එක්විය.

එසේ වුව මේ කතාව ඩඞ්ලි සිරිසේන මහතාගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තකට අදාල එකකි. එහෙත් මේ අවස්ථාව විවෘතව අරලිය හෝටලයේ නිල ෆෙස්බුක් අඩවියෙන්ම සජීවී ලෙස සමාජ මාධ්‍යවල ප‍්‍රචාරය කර තිබුණු නිස‍ා එය පෞද්ගලික කටයුත්තක් නොවන බව කිව හැකිය.

කතාව මෙසේය. අරලිය ග‍්‍රීන් සිටි හෝටලයේ අලූ‍තෙන් නිර්මාණය කළ රාත‍්‍රී සමාජශාලාව විවෘත කරන්නට උත්සවයක් පවත්වා තිබුණි. එය එම හෝටලයේ නිල ෆෙස්බුක් පිටුව හරහා ජුලි 22 වැනිදා සජීවීව ප‍්‍රදර්ශනය කර තිබුණි. එහිදී ඩඞ්ලි සිරිසේන මහතා කෙටි කතාවක්ද පැවැත්වීය. කෙටියෙන්, අග මුල ගළපා කීවොත් ඔහු එතැන කීවේ ගුණාත්මක ලෙස රාත‍්‍රී සමාජශාලාව පවත්වාගෙන යන බවත් තමන් ලංකාවේම නයිට් ක්ලබ්වලට ගොස් ඒවායේ ආභාසය ලබා ලංකාවේ හොඳම නයිට් ක්ලබ් එක නිර්මාණය කළ බවත්ය.

‘මම ගිහින්, එව්වගෙන් දෙයක් අරගෙන ලංකාවෙ අංක එකේ නයිට් ක්ලබ් එක හැදුවා මිසක් මම ඒක කරේ දාගෙන නයිට් ක්ලබ්වල රිංගන්න ගියේ නැහැ.’ ඒ කතාවේදී ඩඞ්ලි සිරිසේන කියන්නේය. ඒ කතාව ඔහු කීමෙන්ද, එසේ කීම සමාජ මාධ්‍ය හරහා සජීවීව ප‍්‍රචාරය කිරීමෙන්ද පෙනෙන්නේ ඔහු සහෝදරයාගේ සදාචාරවාදී අදහස් පිළිනොගන්නා නිදහස්කාමී ව්‍යාපාරිකයෙකු බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන ක්ලබ්වලට විරුද්ධ, මත්පැන්වලට විරුද්ධ ව්‍යාජ සදාචාරයක් කර දමාගෙන දේශපාලනය කරන නායකයෙකි.
ඩඞ්ලි සිරිසේන මහතා ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හෝ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නොවීම ගැන අප සතුටු විය යුතුය. ඔහු ප‍්‍රසිද්ධියේ දේශපාලනය නොකරයි. (අප‍්‍රසිද්ධියේ කෙරෙන ඇතැම් දෑ ගැන ආරංචි පැතිරෙයි.) ඩඞ්ලි ව්‍යාපාරික අනන්‍යතාව අනුව කටයුතු කරන්නේය. ඒවා ගැන කතාව වෙනමය. මේ කතාවේ ඩඞ්ලි සිරිසේන මහතාට අගය කිරීමක් මිස චෝදනා නැත.

මේ සටහන සදාචාර අර්ථයකින් ඩඞ්ලි සිරිසේන මහතාගේ ව්‍යාපාර ගැන කියන්නට නොවේ. අප ඉල්ලන්නේ තවත් මෙවැනි ව්‍යාපාර අවස්ථා ලංකාව තුළ පුළුල් විය යුතු බවයි. සාමාන්‍ය ආදායමක් ඇති අයෙකුට වුව විනෝදයක් ලබන්නට මෙවැනි තැන් විවෘත විය යුතු බවයි.
වැදගත්ම කාරණාව නම්, කාන්තා පිරිමි භේදයක් නැතිව මෙවැනි අවස්ථාවලට සහභාගී වීමට නිදහස තිබිය යුතු බවයි.

අරලිය 555 වන් රාත‍්‍රී සමාජ ශාලාව විවෘත කිරීමේ උත්සවයට පැමිණි කාන්තාවන්ද නිදහසේ මත්පැන් තොලගෑ අයුරු අරලිය ග‍්‍රීන් සිටි නිල ෆෙස්බුක් පිටුවේ ඇති වීඩියෝ බලන්නෙකුට දැකිය හැකිය. එපමණක් නොව ගැහැනු පිරිමි භේදයක් නැතිව අරලිය නයිට් ක්ලබ් එකේදී කාන්තාවන්ට මත්පැන් ලබාදෙන බවත්, අරලිය හෝටලයේ ඇති මත්පැන්හලෙන්ද කාන්තාවන්ට මත්පැන් මිලට ගත හැකි බවත් හෝටලයේ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබුණි. නිල වශයෙන් ක‍්‍රියාත්මක නොවූ, රටේ යල්පැන ගිය නීතියක් ඉවත් කරන්නට උත්සාහ කළ මොහොතේ පෞද්ගලික සදාචාර මතයක් කරට ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ නීතිය යළි බලාත්මක කළේය.
වාසනාවකට ලංකාවේ මත්පැන් වෙළෙන්දන් සදාචාරවාදීන් නොවන නිසාත්, වෙළඳාම නැති කරගැනීමට අකැමති නිසාත් බොහෝ තැන්වල ප‍්‍රායෝගිකව ජනාධිපතිවරයාගේ නීතිය ක‍්‍රියාත්මක නොවෙයි. එහෙත් බොහෝ අවස්ථාවල කාන්තාවන්ට දැන් මීට පෙර මත්පැන් මිලට ගත් තැනකින් වුව මත්පැන් මිලට ගැනීමට අයිතිය නැතිවී ඇත. දැන් ඇතැම් මත්පැන් වෙළෙන්දෝ කාන්තාවකට මත්පැන් දෙන්නට බියක් දක්වති. එහි අසාධාරණය ඇත්තේ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන ආකාරය මත නොව එය නීතියක් ලෙස ආණ්ඩුව පිළි ගැනීම නිසාය. ඒ අයිතිය කාන්තාවක වීම නිසාම කාන්තාවට නැති වෙද්දී පිරිමින්ට ඒ අයිතිය ලැබෙයි. මත්පැන් නොබොන කාන්තාවන්ට වුව මේ නීතිය අයුතු ලෙස බලපායි. මේ වෙනස හරහා නීතිය විසින්ම කාන්තාව සහ පිරිමියා දෙවිදියකට පිළිගනු ලබන්නේය. එහි ප‍්‍රතිඵලය ලෙස කාන්තාව නීතිය ඉදිරියේ පිරිමියාට පහළින් තැබෙන්නේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බලපෑමෙන් රටේ නීතිය වී ඇත්තේ කාන්තාවන්ට මත්පැන් මිලට ගත නොහැකි බවයි. ඒ නීතියට ඉහළින් අරලිය හෝටලය තිබීම ගැන අපට ගැටලූ‍වක් නැත. චතුරිකා සිරිසේන ජනාධිපති දියණිය බාර් ලයිසමක් තබාගෙන අරක්කු විකිණීම ගැනද අපට ගැටලූ‍වක් නැත. කාන්තාවන් දහස් ගණනක් ලංකාවේ බාර් ලයිසන් ඇති අරක්කු වෙළෙන්දියන් වීමද කමක් නැත. එය යහපත්ය. ලංකාව තුළදී පිරිමියෙකුට කරන්නට ඇති ඕනෑම දෙයක් කිරීමේ නිදහස කාන්තාවන්ට ඇත. වෙනස්විය යුත්තේ ජනාධිපතිවරයාගේ ව්‍යාජ සදාචාර ප‍්‍රතිපත්තියයි.

අප පෙන්විය යුත්තේ ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර කාන්තාවන්ට මත්පැන් විකුණන්නට නොදෙන බව කියමින් කළ කී දෑ විකාරයක් බවය. එහි නිසරු බව ජනාධිපතිවරයාට පහසුවෙන් වටහාදෙන්නට දියණිය සහ සහෝදරයා ඉදිරිපත්වී සිටින බවය.
ඇත්තෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද තම සහෝදරයාගෙන් සහ දියණියගෙන් ඉගෙනගත යුත්තේ කාන්තාවන්, පිරිමින් භේද නැතිව විනෝද වීමෙහි වටිනාකමයි. මධුවිතක් තොල ගෑමට කැමති නම් එසේ තොල ගා සංගීත තාලයකට පුංචි නර්තනයක් සමඟ නිදහසේ ජීවිත රසය විඳීමෙහි වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයාට සහෝදරයාගෙන් පාඩමක් ඉගෙනගත හැකි වනු ඇත.

දැන්, සත්‍යය පිළිගැනීමට, දැනුවත් වීමට සහ සමාව දීමට කාලයයි ඩ්‍වෝන් අනැහීඩ් මකීන්

0

පළමු ලෝක යුධ සමයේ, 1915 අප්‍රියෙල් 24 වැනිදා ඔටෙ‍ාමාන් පාලනය යටතේ පැවති තුර්කියේ, යටත් විජිත වැසියන්ව සිටි ආර්මේනියානු විද්වතුන් සහ ප්‍රාදේශිය නායකයන් දෙසීය පනහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන එවකට කොන්ස්තන්ති‍නෝපල් ලෙස හැඳීන්වු (වර්තමානයේ ඉස්තාන්බුල්) නගරයෙන් පිටුවහල් කරනු ලැබුණු අතර, අනතුරුව ඔවුන් සියළු දෙනාම ඝාතනය කිරීම ආර්මේනියානු ජනසංහාරයේ ආරම්භය ලෙස සටහන් වෙයි. ඉන් අනතුරුව 1918 පමණ කාලය දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මුස්ලිම් සම්භවයක් ඇති ඔටෝමාන් පාලකයන් ඉතාමත් සංවිධානාත්මක ලෙස තුර්කියේ ජීවත් වූ ක්‍රිස්තු භක්තික ආර්මේනියානු වැසියන් සහමුලින්ම විනාශ කරදැමීම ඉලක්ක කරගනිමින් ඔවුන්ව විවිධ අයුරින් ඝාතනය කිරීම්, විවිධාකාරයෙන් තුර්කියෙන් පළවා හැරීම් සිදු කැරිණි. සවිශක්තිය ඇති පිරිමින් ඉතාමත් අහිතකර තත්වයන් යටතේ දුෂ්කර වැඩවල නිරත කිරීම, නිර්වස්ත්‍රයෙන්, නිරාහාරව, පිපාසාවෙන් මියෙන තුරුම දැඩි සූර්ය රශ්මිය ඇති කාන්තාර හරහා සිරියාව දක්වා පා ගමනින් යාමට සැලැස්වීම, කාන්තාවන් දරුවන් වයස්ගත පුද්ගලයන් ඝාතනය කිරීම, පිටුවහල් කිරිම වැනි මිලේච්ඡ ක්‍රියාවන් මඟින් තුර්කිය ආර්මේනියානුවන් ගෙන් මුක්ත කලාපයක් කිරීමට ඔටෝමාන් පාලකයෝ උත්සාහ දැරූහ. ඒ අනුව එම කාල වකවානුව තුළ  ආර්මේනියානුවන් මිලියන 1.5කට  අධික සංඛ්‍යාවක් වධ හිංසාවලට ලක්ව මිය ගොස් තිබුණි.

1943 වසරේ පෝලන්ත යුදෙව් සම්භවයක් ඇති විද්වතෙක් සහ නිීතිඥවරයෙක් වන රෆායල් ලෙම්කින්, එක් ජනවර්ගයක් සහමුළින්ම විනාශ කිරීම ඉලක්ක කරගනිමින්, මිනිස් ඝාතන සහ ඊට සම්බන්ධ මිලේච්ඡ ක්‍රියා සංවිධානාවත්මකව සිදුකිරීම ‘Genocide’ – ජනසංහාරය- ලෙස හැඳීන්වූ අතර ඉන් අනතුරුව සෙසු රටවල් බොහෝමයක්ම  1915 තුර්කියේ සිදුවුණු ජනඝාතනය ‘ආර්මේනියානු ජනසංහාරයක්’ ලෙස පිළිගනු ලැබූණි. මේ වන විට ලොව පුරා විසිරී සිටින ආර්මේනියානු ජනතාව සෑම වසරකම අප්‍රියෙල් 24 වැනිදා, සිය මුතුන්මිත්තන්  දුක් වේදනා විඳ මිය ගිය සැටි සිහිපත් කරති. නමුත් මේ දක්වා, ජ්‍යාතන්තර වශයෙන් කෙතරම් බලපෑම් එල්ල වුවද, 1915 දි තුර්කියේ සිදුවුයේ ආර්මේනියානු ජනසංහාරයක් බව තුර්කිය පිළිගෙන නැත. අද දිනද තුර්කිය තුළ, 1915 දී ආර්මේනියානුවන් හට කුමක් සිදුවේද යන්න කතා බහ කිරීම නීතියෙන් අවසර  නොලැබෙන ක්‍රියාවකි.

2007 වසරේ ‍ඩ්වෝන් අනැහීඩ් මකීන් නම් ආර්මේනියානු- ඇමරිකානු ජනමාධ්‍ය‍වේදිනිය නිව්යොර්ක් නුවර  ඇය සේවය කරමින් සිටි සඟරාවෙන් ඉවත් වන්නේ පවුලේ පුරාවෘත්තයක්ව පැවතුණ, ඇයගේ මව් පාර්ශවයේ සීයා ආර්මේනියානු ජනසංහාර‍‍යෙදී විඳි දුක් කන්දරාව ගැනත්, අවසානයේදි ඔහු ඉන් කෙ‍ෙස් හෝ ජීවිතය බේරාගත් සැටිත් ලියන්නටය. එපමණක් නොව ඇය, සීයා විසින් ලියන ලද දිනපොත්, මාර්ගෝපදේශකයන් ලෙස යොදා ගනිමින්, ඇයගේ සීයා ඇතුළු අනෙකුත් දහස් ගණනක් ක්‍රිස්තු භක්තික ආර්මේනියානුවන් ගමන් ගත්, තුර්කියේ සිට සිරියාව දක්වා වු සැතපුම් 900ක් පුරා දිවෙන මරණයේ පාගමන වැටී තිබුණු මාවත් දිගේ ඇය නැවත ගමන් කරයි. සිරියාවේදී ඇ‍යගේ සීයාව බේරාගත් මුස්ලිම් පවුලෙන් පැවත එන සාමාජිකයින්වද ඇය‍ට මුණ ගැසෙයි. The Hundred-Year Walk: An Armenian Odyssey යනු ඇයගේ සීයා, මිනිසාගේ විශ්වාස කළ නොහැකි තරම් දුෂ්ඨත්වය හා ගැටෙමින් ද   ඒ හා සටන් කරමින් ද දිවි ගලවා ගත් සැටි කියැවෙන කතාවයි. ජීවත්වීමට ආශා ඇති වුවද ඉසිලුම් නොදෙන වධ බන්ධයන් ඉදිරියේ අසරණව ජිවිතයෙන් සමුගත් සහ  රුදුරු මිලේච්ඡත්වයට එරෙහිව සටන් වැදී,  සිය ජීවිත රැක ගත් සියළු ආර්මේනියානුවන් ගේ කතාවයි.  එමෙන්ම මිනිසාට අඳුරු අතීත මතකයන් හා ජීවත් වීමට සිදු වුවද මිනිසා තුළ ඇති කරුණාව, සමාව දීම සහ ආදරය ගැන කියා පාන කතාවකි.

පහතින් දක්වා ඇත්තේ 2017 වසරේ ඩ්වොන් ඇනැහීඩි මකීන් සමඟ හෆින්ටන්පොස්ට් වෙබ් අඩවියේ ජනමාධ්‍යවේදිනියක වන මරියා පෝලින් කළ සංවාදයයි.

ඔබ ඇයි තීරණය කළේ ආර්මේනියානු ජනසංහාරයෙදි ඔබේ සියාගේ විශ්වාස කළ නොහැකි තරමේ ජීවිත බේරා ගැනිම ගැන ලියන්න අවශ්‍යයි කියලා?

මම හැදුනේ වැඩුනේ ඒ කතාන්දරයත් එක්ක. මගේ  අම්මා  ගතවන ඕනෑම මොහොතක් ඒ කතාව කීමේ මොහොතක් බවට පත් කරගැනීමේ සුදානමකිනුයි හිටියේ. ඒ කියන්නෙ උදෑසන ආහාර ගන්නා විට, රාත්‍රී කෑම මේස‍යේදි හෝ උපන් දින සාදයකදි. . ඇයගේ පියාට කුමක් සිදු වු‍යේද, ඔහු ජලය නොමැතිව කාන්තාරය හරහා ගමන් කළ  ආකාරය සහ ඔහුගේම මුත්‍රා පානය කිරීමට තරම් ඔහු කෙතරම් පිපාසයෙන් සිටියේද යන්න පැවසීමට ඇය  කෙසේ හෝ කොයි මොහොතක හෝ පුංචි මොහොතක් සොරා ගන්නවා. මටත් ඇත්තටම එවැනි දෙයක් කිරීමට කෙනෙක් පෙළඹෙන දුෂ්කර තත්වයක් ගැන ඒකාලේ හිතා ගන්නටවත් බැරි වුණා.

මම කුඩා කලයේදිම තමයි මගේ සීයා මියගියේ. ඒ නිසා මම එයා ගැන ගොඩක් දේවල් දැන සිටියේ නැහැ.  ඒ නිසා  එක්දහස් නමසිය හැට ගණන්වල ප්‍රකාශයට පත්වුණු, සීයා ලියපු සටහන් වගයක් අම්මා මට දුන්නා “හැමදේම  මෙතන තියෙනවා” යැයි කියමින්. මට ඒක කියවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ, මම ආර්මේනියානු භාෂාව දන්නෙ නැති නිසා. ඒත් වැඩිමහළු නෑදෑ කාන්තාවකගේ ආධාරයෙන් ඒක පරිවර්තනය කරගෙන කියෙව්වාම මම තේරුම් ගත්තා ඔහු දරා ගත් දුක් කන්දරාවන් කොයි තරම් බරපතලයිද කියන එක.

මම එහි එකින් එක පිටු පෙරළද්දි,  මට විශ්වාස කරන්න බැරි වුණා එතරම් දුක් කන්දරාවක් වින්දේ මගේ සියාද කියන එක. ඔබ දන්නවා, ඔබ කෙනෙකු අනතුරකට පත් වෙන කතාවක් කියවද්දි ඔබ නියපොතු සපන්න පටන් ගනියි, නැතිනම් පොරෝනාව අස්සෙ හැංඟන්න හිතයි..  ඒ ඔබට ඒ මොහොතේ ආරක්ෂාවක් ඕනෙයි වගේ දැනෙන නිසා. මම එය කළා.  හැම භයානක මොහොතක් එද්දීම මම හිතනවා දැන් මොනවයින් මොනවා වෙයිද, දැන් මේකෙන් බේරෙන්නෙ  කොහොමද.. ඊට පස්සෙ මට මෙහෙම හිතුණා. “එයා මේකෙන් ගැලවුනේ නැත්නම් මම දැන් මෙතන නැහැ. අම්මත් නැහැ.. මගේ මාමාලා නැන්දලා, ඥාති ස‍හෝදර සහෝදරියෝ කවුරුත් නැහැ.” එහෙම හිතලා මම හිත හදා ගන්නවා. මේ තරම් දරුණු මිලේච්ඡ ක්‍රියාවන් සිදු වෙලා අවුරුදු සියයකට පස්සෙත් තුර්කිය ඒක පිළිගන්නෙ නැති එක,  ඇත්තටම මට විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ නිසා මට මේ කතාව ලියනවා හැරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ.

ඔබගේ සීයා තමන්ගේ ජිවිතය බේරා ගැනිම ඇදහිය නොහැකි තරම් විශ්මයක්. Hundred-Year Walk කියවා ගෙන යන විට ඔබ කිව්වා වගේම, ඔබගේ සීයා ජිවිතය බේරා ගත්තා කියන එක මමත් දැන උන්නා වුනත්, සමහර තැන් කියවා ගෙන යන විට, “ඔහු කො‍හොමද දැන් ‍මින් ගැලවෙන්නෙ” කියන පැනය දන්නේම නැතිව මනස තුළට කඩා වදිනවා. ඔබගේ සීයා  මොනවගේ දුක් කන්දරාවකටද මුහුණ දුන්නේ කියලා යන්තමින් කියන්න පුළුවන්ද?

තුර්කි හමුදාව විසින් බලහත්කාරයෙන් ගෙන යන මරණයේ පාගමනට ඔහු මුහුණ දුන්නා. ඒ පා ගමනේ පිටුපසට  ඇදෙන අයට වෙඩි තියන  සැටි ඔහු  දැක්කා. ඔහු සිමාවක් නැති කුසගින්න දරා ගත්තා.. දවස් ගණන්  ආහාර නැතිව ගත කළා. අන්තිමේදි ඔහුට කුණු වුණු ඇපල් හරි කොමඩු කැබැල්ලක් හරි ලැබෙනවා කියන්නෙ එය ප්‍රීතියෙන් සමරන්න හේතුවක්. ඔහු අධික පිපාසාවෙන් පෙළුණා. ඔහු ඒ ගමනේදී දේවල් දරා ගැනීමේ උපරිම සීමාවට ලංවෙලා තිබුණා. එක් මොහොතකදි  ඔහු පරාජය බාර අරගෙන මේ සියළු විඳවීම් වලට සහනය මිය යාමෙන් ලබා ගත හැකි යැයි සිතනවා. එ්ත් ඔහුට ඒ මනෝභාවය ජයගන්න හැකි වෙනවා. ඔහු හිතා ගන්නාව‍ා ඔහු කෙසේ හෝ තමන්ගේ පවුලේ අයව නැවත දකින්න ඕනෙයි කියලා. මේ පොතේ තියෙන්නෙ ඒ ගැන. එහි කියන්නෙ ජනසංහාරය ගැන තමයි, ඒත් අවසානයේදි  පොතේ කියැවෙන්නේ පවුල ගැන.. මගේ සියාට නැවත පවුලේ අයව දකින්න තියෙන උවමනාව ගැන…ඔහු මගේ අම්මාට මේ කතාව කියන  ආකාරය ගැන.. ඇය මේ කතාව මට කියා දෙන ආකාරය    ගැන.

ඔබේ පොත ඓතිහාසික කරුණු ඇතුළත් කෘතියක් වගේම එය ඔබගේ මතක සටහන් ඇතුළත් කෘතියක් ද වෙනවා, මොකද එහි ඔබගේ සීයාගේ කතාන්දරය වගේම ඔහු ගිය ගමන් මඟ සොයා ඔබ තුර්කියේ සිට සිරියාව දක්වා කළ චාරිකාවේ මතක සටහන්ද ඇතුළත් වන නිසා. ඔබ තුර්කියට ගියේ  ආර්මේනියානු ජනසංහාරය ගැන ලියපු රැන්ට් ඩින්ක් නම් ජනමාධ්‍යවේදියා ඝාතනයට ලක් වෙලා මාස දෙකක් පමණක් ගතවුණු කාල වකවානුවක.  තුර්කියේදි ඔබට මොන විදියේ අත්දැකීමක් ද ලැබුණේ සහ ඔබට දැනුනද ඔබ එහි ගිය ඇත්ත කාරණය එහිදි වසන් කර ගතයුතු බව?

ඔව්. මට එහෙම දැනුනා. දේශපාලන වාතාවරණය නිසා මම එහි ගිය කාරණය මුලින් මම වසන් කළා. එවගේම අම්මා කියපු දරුණු ගණයේ දුෂ්ඨ ක්‍රියා ගැන අහලා මම හොඳමට බයවෙලා හිටියේ. 2007 දි රැන්ට් ඩින්ක් ගේ මරණයෙන් පස්සෙ ඒ කාරණා මගේ මනසේ හොඳටම තහවුරු වුණා. තුර්කිවරුන්ට අපහාස කරන්නේය යන කාරණය  පදනම්ව ලේඛකයන්ට හරිහැර විඳින්න සිද්ධ වුණා. මම මුලින් ඇත්ත නොකිව්වත්, පසුව මම ආර්මේනියානුවෙකු බවත් මාගේ මුල් බිම් ඇත්තේ එහි බවත් මම කියන්නට වුනා. බො‍හොමයක් උදවිය මට සීමා රහිත කරුණාවක් දැක්වුවා, මා සොයා යන කාරණාව සම්බන්ධයෙන් මොවුන් පිළිබඳ මා තුල තිබූ එකිනෙකට පරස්පර ආකල්පයන් ගැන මම පුදුමයට පත් වුනා. එම චාරිකාව යාමට ප්‍රථම මා වැඩියෙන්ම කෝප ගැන්වු කාරණයක් වුනු එනම්,  ආර්මේනියානු ජනසංහරායක් සිදු වු බවට පිළි නොගන්නා  අය පවා මට මුණ ගැසුණත් ඔවුන ද මට අන් අය සේම කාරුණික වුනා. ඔවුනට එවැනි අදහසක් කාවද්දා ඇත්තේ පාසල් අධ්‍යාපනය හරහායි, එම විශ්වාසයත් සමඟ ඔවුන් වැඩිහිටියන් වෙලා. එසේ මුළු සමාජය තුළට එම අදහස් කාන්දු වී ඇත්තේ පාසල් අධ්‍යාපනය තුළින්.

නමුත් මම හිතනවා මේ ඩිජිටල් යුගය විසින් මිනිසුන්ගේ දැක්ම පුළුල් කරනවා කියලා. විකල්ප තොරතුරු මුලාශ්‍ර වෙත ඉතා පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්.  මම බලාාපොරොත්තු වෙනවා ඒ දවස් වල මොනවද සිද්ධ වුනේ කියලා කිසියම් සැකයක් තියෙන තුර්කිවරයෙකුට වෙනස් තොරතුරු මුලාශ්‍ර ඇසුරු කරලා රජයේ දැක්මෙන් ඔබ්බට ගිය දැනුමක්  ඔහු හෝ ඇය සොයා ගෙන යයි කියලා. උදාහරණයක් ලෙස පළමු ලෝක යුධ සමයේ ඔටෝමාන් පාලනය හා මිත්‍රපාර්ශවයේ සමාජිකයකු වු ජර්මනියට අයත්  කොන්සියුල වාර්තා තුළ  ආර්මේනියානු ජනසංහාරය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු රැසක් අඩංගු වෙනවා.

එක් මුස්ලිම් පවුලක් සිරියාවේදි ඔබගේ සීයාගේ ජිවිතය බේරා ගන්නවා. ඔබගේ පොතේ සමාප්ති වාක්‍ය තුළ ඔබ සඳහන් කරනවා, ඔබගේ සියාගේ ජිවිතය බේරාගත් පවුලෙන් පැවත එන පුද්ගලයෙක් ඔබට කිවා කියා, වර්තමාන සිරියාවේ පවතින යුධ ගැටුම් අතර ඔවුන් ජිවත්වන විට, ඒ කාලේ ඔබගේ සීයා මොනතරම් දුෂ්කරතා වලට මුහුණ දුන්නාද කියන එක තේරුම් ගත්තාය කියන එක. ඔබට ඒ ගැන යමක් තවදුරටත් යමක් කිව හැකිද?

ඔහු සිටි ගැලෙහි සියළු දෙනාම ඝාතනය විමෙන් අනතුරුව මගේ සීයා සමුල ඝාතනයෙන් බේරි පලා යනවා. ඉතින් ඔහුට කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා.  ඔහුට අහන්න ලැබෙනවා මේ අරාබි ෂෙයික්වරයා(අරාබි ගමක හෝ ග්‍රෝතයක නායකයා) ගැන‍‍. ඉතින් ඔහු හෙමීට ඔහුට ලං වෙනවා. වෙනසක් නොදැනෙන්න ඔහු හිසේ බඳින ලේන්සුවක් සහ සම්ප්‍රදායික  ඇඳුමින් ද සැරසෙනවා. ඒත් ෂෙයික් වරයා මෝඩයකු නොවෙයි. ෂෙයික් වරයා දැනගන්නවා මගේ සීයා ක්‍රිස්තු භක්තික ආර්මේනියන්වරයෙක් කියලා.  ඔහු “භයානක ආර්මේනියානුවන්” ගැන අසා ඇති කුපිත කරවන සුළු කතා පසෙක තිබියදි මගේ සියා ඔහුගේ රැකවරණයේ තබා ගන්නවා. ඔහු වෛරයට ප්‍රතිවාදීව ක්‍රියා කරමින් ඒ මොහොතේ මගේ සීයා ඇතුළු ආර්මේනියාවනු  කිහිපදෙනෙකුටම  ආරක්ෂාව ලබා දෙනවා. මගේ සීයා ඒ ෂෙයික් වරයාට පුතෙක් වගේ. අනෙක යුප්‍රටීස් නදි නිම්නයේ වැඩ කරන ගොපල්ලෙක් ලෙස සේවය කරමින් ඔහු ෂෙයික් වරයාගේ ප්‍රජාවේ ක‍ොටසක් බවටද පත් වෙනවා. ඔහු සැබවින්ම ඒ තරුණයාට ආදරය දක්වනවා. මට  අනුව ඔහුගේ ජිවිත අත්දැකීම් ගොන්න අතරේ ඔහුගේ ජිවිතයට වඩාත්ම ශක්තියක්  සහ ජවයක් ලබා දුන් අත්දැකීම එය වෙන්න ඇති-  ආගමික සහ ජනවාර්ගික වෙනස ඉක්මවු මිනිස් බැඳීමක තිබුනු ආදරණිය උණුසුම.

තුර්කිය තවම පිළිඅරගෙන නැහැ ආර්මෙිනුයානු ජන සංහාරයක් සිදු වුනා කියලා. ඒවගේම තුර්කිය, ඇමෙරිකාවේ භූ දේශපාලනිකව වැදගත් මිත්‍රයෙක් නිසා, ඇමෙරිකාවත් මේ දක්වාම මිලියන 1.5කට  ආසන්න ආර්මේනියානුවන් සංඛ්‍යාවක් ඝාතනය කිරීම genocide – ජනසංහාරය- ලෙස හඳුන්වා දීම මඟ හරිමින් එයට වෙනත් වදන් (“mass atrocity”/ “terrible carnage.”) භාවිතා කරමින් සිටිනවා. ඔබ හිතනවද එම සිදුවීම “genocide” ලෙස හඳුන්වා දිම ඉතා වැදගත් කියලා?

ඔව් මම හිතනවා එය ඉතා වැදගත් කියලා.  වෙන කිසිදු වදනක් යොදා ගත්තාට එහි ඇති බර  අඟවන්න බැහැ. එය පාලන බලයක් විසින් මෙහෙයවනු ලැබූ සංවිධානාත්මක සමුල ඝාතනයක්. මෙය ඉලක්කසහගතව මිනිසුන් මරා දැමීමක්. එය සමුලඝාතනයක්( massacre) ලෙස පමණක් හැඳින්වීම ප්‍රමාණවත් නැහැ. එය ජනසංහාරයක්.  ආර්මේනුයානුවන්ට එය පිළිගනු ලැබීම අවශ්‍යයි, එවිට අපිට පුළුවන් අතීතයේ තුවාල සුවපත් කරගෙන ඉදිරියට යන්න. මම හිතනවා ගරු  ‍ෆ්‍රැන්සිස් පාප් තුමා පසුගිය අප්‍රියෙල් මාසයේ ආර්මේනියානු ශතසංවත්සර සැමරුමේදි කියූ දේ සත්‍යයක් කියලා. “දරුණු යමක් සිදුවිම සැඟවීම හෝ ප්‍රතික්ෂේප කිරීම යනු වෙළුම්පටි නොබැඳ තුවාලයෙන් ලේ ගැලීමට ඉඩදීමකි ”

මම හිතන්නේ සත්‍යය පිළිගැනීමට, ඒ පිළිබද දැනුවත් වීමට සහ සමාව දීමට දැන් කාලයයි.

සුභාෂිණි චතුරිකා

ඒකාබද්ධ වහල්භාවය

0

ඒකාබද්ධ විපක්‍ෂය වනාහි විවිධාකාර සංඝටක රාශියක එකතුවකි. එහි ප‍්‍රමුඛතම සංඝටකය වන්නේ, පසුගිය ආණ්ඩුවේ සියලූ දුෂිතයෝය. වර්තමාන ආණ්ඩුව මේ වන තෙක්, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා නිසි වේගයකින් විමර්ශනය කොට නඩු පවරා නීතිය ක‍්‍රියාත්මක කිරිමට අසමත්වීම නිසා ඔවුහු සියල්ලෝම නිරුපද්‍රැතව සුදු ඇඳුමෙන් සැරසී කටමැත දොඩවමින් තවමත් දේශපාලනය කරති. එහෙත්, ඩලස් අලහප්පෙරුම වැනි දුෂණයක් සම්බන්ධයෙන් නම ගෑවී නැති, කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස හා ජනවාර්ගික සාමය වැනි යහපත් අරමුණු වෙනුවෙන් පෙනීසිටි අයද ඒකාබද්ධ විපක්‍ෂය තුළ අතළොස්සක් හෝ සිටින බවද අමතක නොකළ යුතුය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින අනෙක් සංඝටකය වන්නේ, ඒ තුළ ගොනුවී තිබෙන කිසිම ජන පදනමක් නැති අටවාගත් කුඩා පක්‍ෂ කිහිපයයි. විමල් වීරවංශගේ අන්ත ජාතිකවාදී පක්‍ෂයේ සිට වාසුදේව නානායක්කාරගේ වාමාංශික පෙරමුණ හරහා උදය ගම්මන්පිළගේ සීමාසහිත සමාගමක් වැනි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය දක්වා මේ තීරුව නියෝජනය කරයි.

අනෙක් සංඝටකය වන්නේ, කාලයක් ප‍්‍රබල පක්‍ෂ හා දේශපාලන තාරකා බවට පත්ව සිට, දැන් දේශපාලන වශයෙන් යන එන මං නැතිව සිටින පක්‍ෂ හා පුද්ගල කණ්ඩායමය. වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැන්නවුන් ඉන්නේ ඒ කොටසේය. එහෙත්, තවමත්, ප‍්‍රතිසංස්කරණවාදී න්‍යාය පත‍්‍රයක් පිළිබඳ ඉඳහිටවත් නිර්භය අදහසක් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් බව, ඔවුන්ට කරන ගෞරවය පිණිස ලියා තැබිය යුතුය. උදාහරණයක් හැටියට, ගෝඨාභය රාජපක්‍ෂ වටා සිටින පරණ මිලිටරිකාරයන්, මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම එල්ලා මරාදැමීමට තර්ජනය කරන විට එය හෙළාදැකීමට කොන්දක් තිබුණේ වාසුදේවට පමණය. අලූතෙන් පිහිටුවන ත‍්‍රිපුද්ගල මහාධිකරණ දේශපාලන පළිගැනීමක් නොවන බවත්, ලංකාවේ නීතියට අනුකූල, ස්වාධීන ආයතන බවත් පසුගිය ඉරිදා ලංකාදීපයට කියා තිබුණේද වාසුදේව නානායක්කාරය. කොළඹ නගරය දියුණු කළේ ගෝඨාභය නොවේදැයි දෙරණ රූපවාහිනියේ ගෝඨාභයවාදී නිවේදකයකු දිගින් දිගටම අසන විට ‘නැත’ යැයි ඍජු පිළිතුරක් එකහෙළා දෙන්නට හැකිවුණේද වාසුදේවටය.
ඒකාබද්ධ විපක්‍ෂය තුළ බුද්ධිමය ස්ථරයක්ද තිබේ. එහෙත්, ඔවුහුද, ඒකාබද්ධ නායකයන්ගේ මනදොළ පිරවීම උදෙසා සිය බුද්ධිමය අභිමානය කැමැත්තෙන්ම මැඬගත්තෝ වෙති. ඒ සඳහා ඇති සදාකාලික කුප‍්‍රකට උදාහරණය වන, මහාචාර්ය ජීඑල් පීරිස් හැරුණු විට, සරල උදාහරණයක් හැටියට, වර්තමානයේ කැලණිය විශ්වවිදයාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර පෙන්විය හැකිය. පසුගිය ආණ්ඩුව කාලයේ මේ මහාචාර්යවරයා දකින්නට හැකිවුණේ බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේ ලිපිගොනු එහා මෙහා ගෙනයන කාර්යාල කාර්ය සහායකයකු හැටියටය. ඇමතිවරයා යන යන තැන ඔහුගේ ලිපිගොනු ඔසොවාගෙන යෑම නිල වශයෙන් භාරවී තිබුණේ ඔහුට විය හැකිය. මේ කිසිම ‘බුද්ධිමතකු’ට මහින්ද රාජපක්‍ෂ වනාහි අඩුගණනේ ‘හිටපු ජනාධිපති’වත් නොවේ. ‘ජනාධිපති’ ය. අඩු ගණනේ ‘හිටපු’ කෑල්ල පාවිච්චි කළොත් තමන් කැපී යා හැකි බව මේ බුද්ධිමතුන් විශ්වාස කරනවා විය යුතුය.
(ආචාර්ය දයාන් ජයතිලක, මින් කුමන තීරුවට අයත්දැයි කිව නොහැක්කේ, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ගෝඨාභය රාජපක්‍ෂට බනිමින් සිටි ඔහු, පසුව ගෝඨාභය එකම නායකයායැයි කියන තරමට ඔහුට සමීප වී දැන් යළිත් ඔහුට එරෙහිව දිනේෂ් ගුණවර්ධන ඉදිරියට දමාගෙන ගමන් කරන නිසාය. අනෙක් අතට, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ප‍්‍රබල විවේචකයකුව සිට, ආකස්මිකව මෙන්, ඒ ආණ්ඩුවේ රුසියානු තානාපති තනතුර භාරගන්නට කැමති වුණු නිසාය. හෙට, අනිද්දා, ඊටත් පසු දිනෙක ඔහු කොහේ සිවීවිදැ’යි දන්නේ දෙවියන් පමණි.)

මේ කුමන ප‍්‍රවණතාවක පක්‍ෂයක් හෝ පුද්ගලයකු වුණත්, ඒකාබද්ධ විපක්‍ෂය තුළ ඔවුන් සියලූ දෙනා එකට බැඳ තබන හුය නම් රාජපක්‍ෂ වන්දනාවයි. ඒ ශුද්ධ භූමිය තුළදී විමල් වීරවංශ වැනි අන්ත ජාතිවාදියකුටත්, වාසුදේව නානායක්කාර වැනි ජාත්‍යන්තරවාදී වාමාංශිකයකුටත් කිසිම පිළිකුලක් නැතිව කරට අත දා ගෙන රාජපක්‍ෂ සුරුවම් වන්දනා කළ හැකිවී තිබේ. රාජපක්‍ෂ වන්දනාව තුළ මේ සියලූ දෙනා එකම වහල්භාවයකට ස්වකැමැත්තෙන්ම පත්වී සිටිති.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දැන් ඒකාබද්ධ විපක්‍ෂය තුළ ඇත්තේ මරණීය නොඑකඟතාවකි. ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින මිලිටරිකාර මනසක් තිබෙන ජාතිවාදීන් හා අන්තවාදීන්ගේ තෝරාගැනීම ගෝඨාභය රාජපක්‍ෂ වන විට, වාසුදේව නානායක්කාරගේ තේරීම චමල් රාජපක්‍ෂය. එහෙත්, ඒ සියලූ දෙනාගේ කතාවල පොදු ගුණාකාරය වන්නේ, ජනාධිපති අපේක්‍ෂකයා තේරිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ විසින් බවය. ගෝඨාභයගේ පැමිණීමට බලවත් විරෝධතාවක් දක්වන කුමාර වෙල්ගම පවා, අවසානයේ එකඟවන දෙය නම් හිටපු ජනාධිපතිවරයා කියන ඕනෑම කෙනකු වෙනුවෙන් තමන් කැපවන බවයි. මහින්ද කියන්නේ ගෝඨාභය ගැන නම්, එවිට කුමක් කරන්නේද යන්න ඔහු තවමත් පැහැදිලි කොට නැත.

ලංකාව දැන් තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ කොර ගසමින් වුණත් ඉදිරියට යන තත්ත්වයකය. 2015න් පසු කුමන අන්දමේ පසුබැසීම් තිබුණත්, ඊට පෙර තිබුණු තත්ත්වයට වඩා ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පැත්තෙන් ඉදිරියට ගොස් තිබේ. ආණ්ඩුවට එක මතයක් නෑ, ආණ්ඩුවට හයියක් නෑ, ජනාධිපතිවරයා පණ මදි වැනි දේ කියන විට ඒ සියල්ලෙන් වක‍්‍රව කියැවෙන්නේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණවල පැවැත්ම බව කිව යුතුය. රාජ්‍යයේ අධිකාරිවාදී ස්වභාවය ලිහිල් වන්නට වන්නට ඊට ප‍්‍රතිලෝමව නැගී එන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හා ආධිපත්‍යයයි. එය යහපත් ලක්‍ෂණයක් නොවේද? මීට පෙර තිබුණු ආණ්ඩුවේ එවැනි ප‍්‍රජාතාන්ත‍්‍රික ලක්‍ෂණ තිබුණේ නැත. ඇමති මණ්ඩලයේදී රාජපක්‍ෂ චින්තනයට එරෙහි අදහස්වලට ඉඩ තිබුණේ නැත. ජනාධිපතිවරයා හෝ වෙනත් රාජපක්‍ෂවරයකු විවේචනය කිරීම වනාහි පරණ ෆයිල් එළියට ගන්නා වෑයමකි. අඩු ගණනේ ඒ ආණ්ඩුව මහා පරිමාණයෙන් කරගෙන ගිය හොරකම්වලට, යටිකූට්ටු ලෙස වැපිරූ ජාතිවාදයට, ආගම්වාදයට අනුගතව සිටිනවා, ඒවා අනුමත කරනවා හෝ නොදැක්කා වාගේ සිටිනවා විනා, විරුද්ධව කළ හැකි දෙයක් කිසිවකුට තිබුණේ ද නැත. ඒ සඳහා උත්සාහ කළ කෙනෙක්ද නැත. ජනතාවත්, ආණ්ඩුවේ සෙස්සනුත් සිටියේ වහල්භාවයට පත්වය. ඒ ජනතාවගෙන් බොහෝ දෙනකුත්, ආණ්ඩුවේ ක‍්‍රියාකාරිකයන් සියල්ලන්මත්, ස්වයංවහල්භාවය තෝරාගෙන තිබුණේය. ‘නටමු පේළි සැදී රජිඳා තුටුවන මෙන්‘ ඔවුන්ගේ උදාන වාක්‍යය විය.

2015දී සිදුවුණේ එක්තරා ආකාරයකින් රට ඒ වහල්භාවයෙන් මිදීමය. එහෙත්, රාජපක්‍ෂවාදීන්ට ඒ නිවහල්භාවයෙන් වැඩක් නැත. ඔවුන්ගේ පරම අභිලාෂය නැවතත් කෙසේ හෝ වහලූන් බවට පත්වීමයි. ඒබ‍්‍රහම් ලින්කන් අමෙරිකාවේ වහල්භාවය අහෝසි කරන විට ඊට මුලින්ම විරුද්ධවූවන් අතර වහලූන්ද සිටි බව කියැවෙයි. ගතින් මනසින් වහල්භාවය පුරුදු පුහුණුකළවුන්ට නිවහල්භාවය යනු අනවශ්‍ය දෙයකි. තමන්ට තමන් අහිමිවීමකි.

මේ තත්ත්වය මැනැවින් දන්නා මහින්ද රාජපක්‍ෂ, සිය ආධිපත්‍යය නැවත නැවතත් ප‍්‍රදර්ශනය කරමින් සිටියි. ඔහුගේ ඒකායන ප‍්‍රාර්ථනය, තමාගෙන් පසු කිරුල සිය පුත් නාමල් රාජපක්‍ෂට හිමි කරදීමයි. එහි තේරුම, යළිත් මහින්ද රාජපක්‍ෂට බලය හිමිවීම වූකලි ඊළඟ රාජපක්‍ෂ පරම්පරාවටද බලය හිමිවීම බවයි. එහි උරුමක්කාරයා නාමල් රාජපක්‍ෂය. එහෙත්, මහින්ද රාජපක්‍ෂගේ වැඩුමල් පුතා වීම හැරුණු විට, ඇත්ත වශයෙන්ම, නාමල් රාජපක්‍ෂ රටේ නායකත්වයට පත්වීම සඳහා පෙන්වා ඇති සුදුසුකම් කවරේද? රටේ වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති බුද්ධිමය දායකත්වය කුමක්ද? ඔහු තමන්ගේ නීතිඥ තනතුරේ පවා සුජාතභාවය කෙලෙසාගත්තෙකි. ජනාධිපති තාත්තාගේ බලය අතට ගෙන, රට පුරා පාරවල් වහමින්, කාර් රේස් පදිමින්, සිරුර පුම්බාගත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ඔහු වැන්නකුට මහින්ද රාජපක්‍ෂගේ පුතා යන්න පමණක් මිස රටක් පාලනයට ඇති සුදුසුකම කුමක්ද? උදාහරණයකට, ඩලස් අලහප්පෙරුම වැන්නකුට වඩා නාමල් රාජපක්‍ෂ උඩින් ඉන්නේ කෙසේද? ඩලස් වැන්නකු නාමල් රාජපක්‍ෂට යටත් විය යුත්තේ ඇයි? එහෙත්, වහල්භාවය කෙතෙක්ද යත්, සියලූ දෙනා මහින්දටත්, ඔහුගෙන් මතු නාමල්ටත් සේවය කිරීමට දැනටමත් කැපවී සිටිති.

2015 දේශපාලන පරාජයෙන් පසු, මේ වන තෙක්ම පරණ අගතීන්ගෙන් ඒකාබද්ධ විපක්‍ෂය වෙන්වී නැති බව පෙන්විය හැකි බලවත්ම උදාහරණය නම් මේ රාජපක්‍ෂ වන්දනාවයි. ඇත්ත වශයෙන්ම, 2015න් පසු රාජපක්‍ෂ පවුල් පාලනයෙන් මිදීමේ ස්වර්ණමය අවස්ථාවක් ඒකාබද්ධ විපක්‍ෂයට තිබුණි. රාජපක්‍ෂ පාලනය තුළ තිබුණු සියලූ අකටයුතුකම්, බලහත්කාරකම් හා චණ්ඩිකම් මේ සියල්ලෝම මැනැවින් දැන සිටියහ. අරලියගහ මන්දිරය තුළ සමහරුන් පහර කෑ බව ප‍්‍රවාදයක් විය හැකි වුණත්, එවැන්නකට පියාපත් ලැබී තිබුණේ ඒ රාජපක්‍ෂ අධිකාරිවාදය නිසාය. රාජපක්‍ෂ පවුල් පාලනයෙන් මිදීමට ඔවුන් වටා සිටි දුෂිතයන්ට, අපරාධකරුවන්ට වුවමනාවක් නොතිබීම වටහා ගත හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ, යළි රාජපක්‍ෂ පවුල් පාලනයක් කෙසේ හෝ පිහිටුවාගෙන ඒ දුෂණ චක‍්‍රයම පවත්වාගෙන යන්නටය. නීතියෙන් ගැලවී සිටින්නටය. එහෙත්, ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අවම උනන්දුවක්වත් දක්වන පිරිසටවත් ඒ ආධිපත්‍යයෙන් ගැලවීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?

ඒකාබද්ධ විපක්‍ෂය මතක තබාගත යුත්තේ 2015න් පසු රට වෙනස් වී ඇති තරමය. එය නොදැක්කා සේ, යහපාලනය කියන්නේ මොකක්දැයි ප‍්‍රශ්න කරමින් සිටීම, හුදෙක්ම රාජපක්‍ෂවරුන් වෙනුවෙන් පේවී සිටීම පෙන්වන කැඩපතකි. රාජපක්‍ෂ පවුලේ වහලූන් වීමට කැමැත්තෝ සිටිති. එහෙත්, රටක් හැටියට දැන් ලංකාව ඒ මගින් අපගමනය වී තිබේ. තවමත් රාජපක්‍ෂ, රාජපක්‍ෂ යනුවෙන් මතුරන පිරිසක් වෙති. එහෙත්, ඔවුන් තීරණාත්මක බලවේගය නොවේ. 2015, දැන් සිටියාටත් වඩා අතිවිශාල රාජපක්‍ෂ එහෙඑයියෝ පිරිසක් සිටියහ. (දැන් ඔවුන්ගෙන් පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන සමගය.) ඒ සියල්ලන්ද ඇතුළුව උපරිම සංඛ්‍යාව වුණේ ලක්‍ෂ 58ක් පමණකි.
කුමන පය පැකිළීම් තිබුණත්, මෛත‍්‍රීපාල සිරසේනගේත් රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව රට ගෙනගොස් ඇත්තේ පවුල්වාදයෙන් ස්වයංවහල්භාවයෙන් තොර දිසාවකටය. එහි, වහලූන්ට ඉඩක් නැත. අනාගත අපේ ආණ්ඩුවක් ගැන සිහින මවන දාසයන් හා වහලූන් තේරුම් ගත යුත්තේ, යළිත් ලංකාව ඒ පාරේ යන්නට සූදානමක් තිබිය නොහැකි බවය.

අකර්මණ්‍ය රාජ්‍ය සේවය පමණද?

0

අශාන් වීරසිංහ

මෙරට රාජ්‍ය සේවයේ අකර්මණ්‍යභාවය සහ පසුගාමීත්වය පිළිබඳ පසුග ිය කාලයේ සමාජ මාධ්‍යවල හුවමාරු වූ එක්තරා ඡායාරූපයක් නිසා ජනප්‍රිය කතාබහක් ඇති වු‚. කිසියම් රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු විසින් මුල් වරට පළ කර තිබුණු ඡායාරූපයක දැක්වෙන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවිකාවන් දෙදෙනකු රාජකාරී වේලාව ඇතුළත සිය මේස මත හිස තබාගෙන නින්දේ පසුවන දර්ශනයකි. මෙම සිද්ධිය පදනම් කරගෙන දින කිහිපයක් පුරාවට සමාජ මාධ්‍ය පුරාවටම මෙම ඡායාරූපය සංසරණය වූයේ සමස්ත රාජ්‍ය සේවයම ඊට ලඝු කරමින් පමණක් නොව අදාළ නිලධාරිනියන් පමණක් ඉලක්ක කරගෙන බැව් පෙනෙන්නට තිබු‚. පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා වැටුප් ලබන කිසිදු සේවකයෙකු තම රාජකාරී පැහැර හරිමින් නිදිකිරා වැටීම අප කිසිසේත්ම අනුමත නොකරන නමුදු මේ තනි සිද්ධිය සමස්ත රාජ්‍ය සේවා යන්ත්‍රණයෙන්ම වියුක්ත කරගෙන, තනි පුද්ගලයන් ඉලක්ක කරගෙන හුදු උපහාසාත්මක විරෝධයක ස්වරූපයෙන් මුදා හැරීම වෙනුවට සංකීර්ණ ලෙස සලකා බැලිය යුතු කතිකාවකට ඇරයුම් කරන බව අපගේ අදහසයි.

ඇත්තටම පුරවැසියන් ගෙවන බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය සේවය මේ තත්ත්වයට පිරිහීම ඉබේ වූවක්ද? හුදෙක්ම ජරාජීර්ණ දේශපාලන ක්‍රමයෙහි ගොදුරක් බවට පත්වීමෙහි ප්‍රතිඵලයක් පමණද? නැතහොත් පුරවැසියාගේ පැත්තෙන් මේ පිරිහීම වෙත දායකත්වය ලැබී නැද්ද? වැනි ප්‍රශ්න මතු කළ යුතු වන්නේ එහෙයිනි. මේ නිසා මෙම ලිපියේ වස්තු විෂය අදාළ කේවල ඡායාරූපය හෝ සිද්ධිය හෝ නොව, අකර්මණ්‍ය රාජ්‍ය සේවයේ ඉරණම සම්බන්ධයෙන් එය විවේචනය කරන පුරවැසි අපද වගකීම් දැරිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නය මතු කිරීමයි.

‍ආරම්භක යුගයේදී සිවිල් සේවය ලෙස හැඳින්වුණු ශ්‍රී ලංකා රාජ්‍ය සේවය වෘත්තීයමයභාවය අතින් ඉහළ තත්ත්වයක පැවැති අතර මූලික වශයෙන්ම ඊට හේතුව වූයේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් මුල් තැනට ගෙන අදාළ පත් කිරීම් සිදු කිරීමයි. එහෙත් පසුකාලීනව, විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව මගින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ බලතල කැබිනට් මණ්ඩලය වෙත පැවරීම වැනි විධිවිධානමය සංශෝධන හරහා එය ක්‍රමානුකූලව දේශපාලනික බලාධිකාරියෙහි zසෙල්ලම් බඩුවක්z බවට පත් වීමෙහි ප්‍රතිඵල අපි අද අත්දකිමු. රාජ්‍ය යන්ත්‍රණයෙහි වැදගත්ම සේවාවන් පුරවැසියන් වෙනුවන් සැපයීම අරමුණු කරගත් රාජ්‍ය සේවයක් ජරාජීර්ණ හා ප්‍රතිපත්ති විරහිත දේශපාලනික ක්‍රමයක ගොදුරක් බවට පත් වීමේ ඛේදවාචකය අපට පැහැදිලිව පෙනෙන්නට තිබේ. සියලූ‍ම තීන්දු ගැනීමේදී දේශපාලනික බලය නමැති සාධකයට යටත් වන්නට සිදු වීම නිසැක වශයෙන්ම දූෂණය, නාස්තිය, පෞද්ගලික වරදාන හා සැලකිලි, ස්ථාපිත රෙගුලාසි හා පරිපාටි උල්ලංඝනය කිරීම් ආදි මෙකී නොකී අකාර්යක්ෂම හා වගකීම් විරහිත ලක්ෂණ ඒ තුළට රිංගා පැලපදියම් වීමට බලපා ඇති බවට අමුතුවෙන් තර්ක කළ යුතු නැත.

මේ නූගත් දේශපාලන ක්‍රමය තුළ තම රාජකාරීන් ඉටු කිරීමේදී රාජ්‍ය නිලධාරීන් ප්‍රසිද්ධියේ ගස් බැඳීම්, විශේෂයෙන්ම අදාළ නිලධාරියා හෝ නිලධාරිනිය සිංහල-බෞද්ධ නොවන වාර්ගික කණ්ඩායමක් නියෝජනය කරන්නේ නම් ජනප්‍රිය පරිදිම ආගමික බලාධිකාරීන් සහ ඒ වටා එක්රැස් වන අවිචාරවත් දායක සභා පෙරටු කරගෙන තර්ජනය කිරීම්, වීඩියෝ කැමරා ක්‍රියාත්මක කරගෙන කාර්යාලවලට කඩා පනින, මහ පාරේ නිදියන තග්ස් පොලිටික්කන් ගෙන් ගර්ජනාවන්ට ලක් වීම් ආදි සිදුවීම් රැසක් ආසන්නතම අතීත මතකය තුළ රැඳී පවතී. සියලූ‍ම රෙගුලාසිමය කාරණා පසෙකින් තැබුවද එවන් පසුබිමක් තුළ තම රාජකාරී වපසරිය තුළ ආවස්ථීක තීරණ ගනිමින් සේවය කිරීමට අවකාශයක් පොදුවේ රාජ්‍ය සේවය තුළ පවතින බවක් සිතිය නොහැක. මෙවන් ජනප්‍රියවාදී සංදර්ශන වටකරගෙන ඒ දෙස ආශාවෙන් බලා සිටින්නේත්, ඒවා වීඩියෝ කොට තම තමන්ගේ විශ්ලේෂණ සමගින් සමාජ මාධ්‍යවල මුදා හරින්නේත්, රාජ්‍ය නිලධාරියා හෑල්ලූ‍ කරන දේශපාලන ක්‍රමය නඩත්තු කරන්නේත් එයට බනින අප විසින්ම බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

කාර්යක්ෂමතාව යන්න හදිසියේ ප්‍රාදූර්භූත කළ හැක්කක් නොවේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවය සලකා බැලීමේදී සේවයට බඳවා ගැනීම, උසස්වීම්, ස්ථාන මාරු, ප්‍රතිලාභ හා මානව සම්පත් කළමනාකරණ ඇතුළු තීරණාත්මක කාරණා විධිවත් හා ස්වාධීන පරිපාටියකට සිදු නොවන තාක් කල් හොඳම පුද්ගලයන් ඔවුනට සුදුසුම සේවාවන්හි අනුයුක්ත කිරීමක් සිදු නොවනු ඇත. යම් හෙයකින් එසේ සිදු කළද රාජ්‍ය සේවය තුළද ඉහළ පුටු තවදුරටත් දේශපාලනික එහෙයියන් ලෙසම පවත්වා ගන්නා තාක්කල් එහිද ප්‍රතිඵල භුක්ති විඳීම හිතලූවක් පමණක් වනු ඇත. විශේෂයෙන්ම පළාත් සභා වැනි ආයතන මගින් පාලනය වන රාජ්‍ය ආයතනවල සේවකයන් ජනාධිපති, අගමැති වැනි ඉහළ පෙළේ දේශපාලඥයන් සහභාගි වන, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සේ පෙනෙන්නට තිඛෙන අවස්ථා සඳහා නිවාඩු දිනවල පවා බලෙන් සහභාගි කරවීම අනිවාර්ය කරමින් ලිපි නිකුත් කරන අවස්ථා අප දැක ඇත. එසේ සහභාගි නොවන අයගේ නම් ලැයිස්තුවක් එකතු කිරීම වැනි වක්‍ර, බොළඳ තර්ජනය කිරීම්වලටද සාමාන්‍ය රාජ්‍ය සේවකයා ලක් වූ අවස්ථාද අප දැක ඇත. මේ සියල්ල සිදු වන්නේ සොච්චම් පඩියකටය. සමාජය තුළ රාජ්‍ය සේවකයා යන ප්‍රතිරූපය හෑල්ලූ‍ වීමට මූලික වශයෙන්ම මේ කියන කාරණා දෙකම, එනම් සමාජ තත්ත්වයක් පවත්වා ගැනීමට අප්‍රමාණවත් සුළු වැටුප් හා ඒ මධ්‍යයේම සිදු වන ඇඟිලි ගැහීම් හා තර්ජන ඍජුවම බලපාන බව සත්‍යයකි. එවන් පසුබිමක් තුළ රාජ්‍ය සේවකයාද වැඩ කිරීම වෙනුවට දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන අසීමාන්තික චක්‍රලේඛ හා පරිපාටි සංග්‍රහ ඉවසාගෙන සිටීමට තෝරා ගැනීම සමහරවිට පෞද්ගලික තෝරාගැනීමක් පමණක්ම නොවන්නට ඉඩ ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියා දෙයක් තිබුණද ඒ සඳහා සිදු කෙරෙන පත් කිරීම්ද සිදු වන්නේ ජනාධිපතිවරයා විසිනි. මින් පෙනී යන්නේද ස්වාධීන යැයි කියන ආයතන පවා ස්වාධීන වීමෙහි සීමා ඉම් නිල හෝ නොල නොවන ආකාරවලින් සලකුණු කර ඇති බව නොවේද? විශේෂයෙන්ම, සාධාරණව, විනිවිද බවින් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට, කාර්යක්ෂම, විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යන මෙහෙවර ප්‍රකාශය අනුව කටයුතු කරන ආයතනයක් දේශපාලනික අධිකාරියක බලපෑමට ලක් වීමට ඉඩ විවර කර තිබීමෙන් ප්‍රශ්න කිරීමට ලක් වන තවත් කාරණයක් තිබේ. එනම්, අමාත්‍ය මණ්ඩලයේ නියමයන්ට යටත්ව රාජ්‍ය නිලධාරීන් අරබයා ගනු ලබන තීරණ සම්බන්ධයෙන් අභියාචනා කළ හැකි බලාධිකාරිය වන්නේද එය වීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 58 (2) වගන්තියෙහි මේ බව පැහැදිලිව දැක්වේ. මේ නිසා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම යන්නෙන් අප අදහස් කරන්නේ මෙවැනි බොඳ වුණු සීමාවන් පිහිටුවීම නොව කිසිදු දේශපාලනික අධිකාරියක තීරණ මත රඳා නොපවතින, ස්වාධීන පරිපාලනාධිකාරියකට පමණක් යටත් යාන්ත්‍රණයක් තුළට එය ඇතුළත් කිරීමය. විශේෂයෙන්ම මෙවන් කොමිෂන් සභා ආදියට නිලධාරීන් පත් කිරීමේදී දේශපාලනික නායකයන්ට එහි බලතල පැවරීම යන්න අප තේරුම් ගත යුත්තේද ප්‍රායෝගි ක ලෝකයේ ගතිකයන් කෙරෙන් උගත් පාඩම් සහිතවය. ලලිත් වීරතුංග සිද්ධිය ආදිය කෙරෙන් උගත හැකි පාඩම වුවද මීට නිදසුන්ය.

අනෙක් අතට, දේශපාලන ක්‍රමය විෂයික යුතෝපියානු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප විශ්වාසය තබන්නේ නැත. එහෙත්, පවතින දේශපාලන ශරීරයෙහි මේ දැකිය හැකි කුණු වීම කෙරෙහි ප්‍රතිචාරාත්මක වීමට පුරවැසියාට තවදුරටත් නොහැකි බව පිළිගන්නේද නැත. අඩුම තරමින් එය බැන බැන හෝ නඩත්තු කරමින් සිටින්නේද පුරවැසියා විසින් බවවත් නොසලකා හැරීමටද නොහැක.

ඉහත සිද්ධියට අදාළ රාජ්‍ය නිලධාරිනියන් නැවත මේ කතාවට සම්බන්ධ වන්නේ මෙතැනදීය. රාජ්‍ය සේවයක් පුරවැසියන්ට හිතකර ලෙස නැවත ගොඩනගන්නට නම් කළ යුත්තේ තමන්ට සේවා ලබා දීමේදී ඇති වූ අක්‍රමිකතා මත උපන් කේන්තිය තනි සේවකයන් ඉලක්ක කොට මුදා හැරීම වැනි තාවකාලික ප්‍රතිචාර දැක්වීම නොවේ. වැඩ කරන්නට බැරි නම් ගෙදර නවතින්න යි කියන අයම පවා මේ ක්‍රමය පවත්වාගෙන යාමට තවත් තලයකදී දායක වීමේ පරස්පරයද අපි තේරුම් ගත යුත්තෙමු. මේ නිසා, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සහතික කරන පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ ක්‍රමය තල්ලූ‍ කිරීම හැර තිරසාර විසඳුමක් මේ ගැටලූවට නොමැත. පසුගිය රෙජීමයේ දූෂිතකම, මර්දනීය ස්වරූපය සහ ප්‍රජා පීඩකත්වය ආදිය සටන් පාඨවලට ග්‍රහණය කරගෙන බලයට පැමි‚ වත්මන් ආණ්ඩුව පවා, පැවැති ආණ්ඩුවට වඩා වැඩියෙන් වෙනස් එකක් ලෙස භාර ගැනීමට ජනතාව නොපෙළඹීමේත්, අප්‍රසාදයට ලක්වීමේත් එක හේතුවක් වන්නේ ඉහත කී අවශ්‍යතාව වැනි වැදගත් පුරවැසි අපේක්ෂා ඉටු කිරීම පසෙකට දැමීමයි. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමභාවය සම්බන්ධයෙන් වගකීමක් එය විවේචනය කරන පුරවැසියාටද ඇති බව හිතෙන්නේ එබැවිනි. මේ නිසා අප නඩත්තු කරන මෙම ක්‍රමය විසින් මතු කරන ඉච්ඡාභංගත්වයේ වගකීමද පැටවෙන්නේ අවසානයේදී අප මතය.•

අපි මේ පීඩනයෙ ප‍්‍රකාශනයන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර

ලංකාවෙ දේශපාලනය ගැන අසංවේදී විශ්වවිද්‍යාලයේ නීතිය ඉගෙනගන්නා කෙනෙක්ට වුණත් ඉන්න පුළුවන්. කොහොමත් කාන්තා පාර්ශ්වය දේශපාලනයේ යෙදෙන්නෙ අඩුවෙන්. එහෙම නොවී ඔබට දේශපාලනයේ යෙදෙන්න උත්තේජනයක් ලැබුණෙ කොහොමද?
මම දේශපාලන ක‍්‍රියාවලියට සම්බන්ධ වුණේ විශ්වවිද්‍යාලයේ හිටපු කාලයේදි. ඒ කාලයේ ෆුටා අරගලය තිබුණා. එතකොට විශ්වවිද්‍යාලය වැහිලා. ඒ දිනවල මම ඇතුළු‍ කණ්ඩායමක් උද්ඝෝෂණ ඇතුළු ක‍්‍රියාවලට සම්බන්ධ වුණා. දේශපාලන සංවාදවලට සම්බන්ධ වුණා. විකල්ප ධාරාවේ දේශපාලනයට ඒ කාලයෙ සම්බන්ධ වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයට කුරුඳුවත්තෙ මොන්ටිසෝරිය කීවේ ශිෂ්‍ය දේශපාලනය නොතිබුණු නිසා. ඒත් ඔබ විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍ය දේශපාලනය තුළ සක‍්‍රිය වුණා නේද?
කොළඹ විශ්වවිද්‍යාලයට මොන්ටිසෝරිය කියන බව ඇත්ත. දේශපාලනයක් කොළඹ තිබුණා. අපේ සමකාලීනයෙක් වන නජිත් ඉන්දික අන්තරයේ කැඳවුම්කරු වුණා. ඒ කාලයේදී ෆුටා ස්ට‍්‍රයික් එක කොළඹ ක‍්‍රියාත්මක වුණා, ඒකට නායකත්වය දුන් නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලයේ. අපේ පීඨයේ හිටපු ඇතැම් ආචාර්යවරු පවා දේශපාලනය කළා. ඒ කාලයෙ තිබුණු උණුසුම අපව දේශපාලනයට සම්බන්ධ කරන්න හේතු වෙන්න ඇති.

අක්ෂය සාමූහිකය කියලා ටිකක් වෙනස් වාමාංශික කණ්ඩායමක් නිර්මාණය කරනවා.
අක්ෂය සාමූහිකය නිර්මාණය කරද්දී හිටපු කණ්ඩායමේ ගොඩක් අය පෙ.ස.පෙ. හිටපු අය. අපේ අදහස ප‍්‍රකාශ කරන්නට ඉඩක් නිර්මාණය කරන්න හිතුව නිසා තමයි අපි අක්ෂය සාමූහිකය හැදුවෙ. ඒකෙ ප‍්‍රධානම අදහස වුණේ යම් අදහස් තලයේ මැදිහත්වීමක් කරන්නට. උදාහරණයක් කිව්වොත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය, සුළුතර ජනතාවගේ ප‍්‍රශ්නය ගැන වාමාංශය ඉදිරිපත් විය යුතු බව අපි කියනවා. මම වැඩිපුර කරන්නෙ ජනතාව සංවිධානය කිරීම. එහෙත් ඒ අතරේ අදහස් දේශපාලනයක් කරන්න අක්ෂය උදව් වෙනවා.

දේශපාලනය කරන්නට නිර්මාණශිලීත්වය, ආකර්ෂණය මොන තරම් අවශ්‍යද?
අක්ෂය සාමූහිකය හදනකොට අපි සාම්ප‍්‍රදායික වාමාංශික පක්ෂ වගේ නමක් නොදා හිටියා. වෙබ් අඩවිය වුණත් දැක්ක ගමන්ම නවීන විදියට ඉදිරිපත් කරන්න උත්සාහ කළා. අපි වෙබ් අඩවියෙන් පරණ වාමාංශික අදහසුත් කියනවා. සාම්ප‍්‍රදායික විදියටම කියන්න නොගි හින් අලූ‍ත් විදියට ඒක කියන්න උත්සාහ කළා.

වාමාංශිකයා කිව්ව ගමන් ඔළුවට එනවා ටිකක් අපිළිවෙළ, කොණ්ඩ රැවුල් වවාගත්ත විශේෂ ජීවන ශෛලියක් ගෙනයන පිරිසක්. ඒත් අක්ෂයේ අය ඊට වෙනස්.
මෙහෙම ඇන්දොත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් කියලා හිතුවෙ නැහැ. අපි වයසෙ හැටියට ඇන්දා. ඇත්තටම සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා ක‍්‍රියාකාරිකයෙක් වෙනස් වෙන්න බැහැ. මම ගො‍වියෙක්ට, කම්කරුවෙක්ට හෝ බැංකුවක සේවකයෙක්ට කියද්දී ඔබ දේශපාලනය කරන්න කියලා, ඒ කෙනාට දැනෙන්න ඕනෑ මේක කරන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි මම කැමති නැහැ වෙන වාමාංශිකයෙක් අඳින විදියට අගෞරවයක් කරන්න. සමහරවිට වෙන කෙනෙක් එකම ඇඳුම අඳින්නෙ ඇඳුම් නැති නිසා වෙන්න පුළුවන්.

වාමාංශිකයෙක් කියන්නෙ සමාජය දිහා වෛරයෙන් බලන, විනෝදයට අකැමති පිරිසක් කියලා අදහසක් තියෙනවා නේද?
වාමාංශිකයන් කිසි විනෝදයක් නැති අය කියලා කියන්නෙ සාම්ප‍්‍රදායික ජ.විපෙ. ක‍්‍රියාකාරිකයා ගැන අදහස එක්ක. අදටත් ජවිපෙ නොවන වාමාංශිකයන් සාමාන්‍ය මිනිස්සු. එහෙත් ජවිපෙ කට්ටිය යම් සදාචාරයක් නඩත්තු කරනවා. බොන්නෙ නැහැ, පවුල් ජීවිතය වෙනස්. සදාචාර නීතිරීති තියෙනවා. විනෝද වෙන්නෙ නැහැ කියන්නෙ ඒ නිසා වෙන්න ඇති. අපට එහෙම සදාචාර සීමා නැහැ. හැබැයි දැන් කාලයේ නම් වාමාංශිකයන් නොවන අයත් විනෝද වෙනවාද කියන ප‍්‍රශ්නය තියෙනවා. මිනිස්සු කාර් අරගෙන, ගෙවල් අරගෙන, ණය වෙලා ඒ ණය ගෙවාගන්න බැරිව ජීවත් වෙනවා. මම දන්න මගේ සමකාලීනයො ගොඩක් අය උදේට නැගිටලා දවල් වැඩ කරලා නිදාගන්න එක කරන්නෙ. ඒක විනෝදයක් නෙවෙයි.

ජනප‍්‍රිය නොවන තලයක පොදු ප‍්‍රශ්නවලට විරුද්ධව මිනිස්සුන්ව සංවිධානය කිරීමෙන් ඔබට විශේෂ ගෞරවයක් හිමිවෙන්නෙ නැහැ. ඉතින්, තරුණ කාලය වැය කරලා දේශපාලනය කිරීම නිෂ්ඵල දෙයක්ය කියලා වෙහෙසක් දැනෙන්නෙ නැද්ද?
ශාරීරිකව වෙහෙසක් හැමෝටම දැනෙනවා. හැබැයි අපට දිනපතා පෙනෙන ප‍්‍රශ්න පෙනෙනවා නම්. ව්‍යුහාත්මකව පීඩනයකට මුහුණදෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මට වීදි දරුවෙක් දැක්කාම අනේ පව් කියලා හිතෙනවා නම් ඒක වෙන දෙයක්. හැබැයි මම දන්නවා මේ ළමයා වීදියේ ඉන්නෙ පව් කළ නිසා නෙවෙයි කියා. මට අවබෝධයක් තියෙනවා මේ දරුවන් ඉන්නේ ව්‍යුහාත්මක පීඩනය නිසා කියලා. ඉතින් ඒක දැකලා මොකක්වත් නොකර ඉන්නවා නම් මට දැනෙන ශාරීරික වෙහෙසට වඩා මගෙ හිතට ලේසියි මෙහෙම ක‍්‍රියාකාරී වෙන එක. අරුන්දතී රෝයි කියනවා පීඩනයට හුරු වෙන්න එපා කියලා. මේක වෙනස් කළ නොහැකි යථාර්ථයක් කියලා පිළිගන්න බැහැ.

කලින් පරම්පරාවල වාමාංශිකයන් එක්වරම ලොකු කරණම් ගහපු හැටි අපි දැක්කා. ඔබත් දන් වාමාංශික දේශපාලනයක යෙදිලා අනාගතයෙ දවසක අවස්ථාවාදී පීල්ලකට මාරු වේවිද කියලා බයක් දැනෙන්නෙ නැද්ද?
එහෙම බයක් නැහැ. මට ඒ ගැන අදහසක් තියෙනවා. ලංකාවේ වාමාංශය පටන්ගන්නෙ 1935 දී. ඒක පටන්ගන්නකොට සෝවියට් රුසියාව හැදිලා ඉවරයි. ඉන් ටික කාලයකට පස්සෙ චීනය සමාජවාදය පිළිගන්නවා. ඒ කාලයේ සමාජවාදය කියන්නෙ ලෝකයේ දේශපාලන බලයක් සමාජවාදයට තිබුණු කාලයේදී. හැබැයි ඒ වෙනස අනූඑක වෙද්දී වෙනස් වෙනවා. ලංකාවෙ බහුතරයක් සමාජවාදීන් සමාජවාදය අත්හරින්නේ ඒ සිදුවීම් එක්ක. ඔවුන්ට තිබුණු සියලූ‍ හැඟීම් කඩාවැටෙනවා. ඒත් අපේ වයසේ වාමාංශිකයන් වාමාංශික වෙලා තියෙන්නෙ ඒ අදහස බලවත් නිසාම නෙවෙයි. අපි මේ පීඩනයෙ ප‍්‍රකාශනයන්. මේක බලවත්, ජනප‍්‍රිය අදහසක් නිසා නෙවෙයි අපි වාමාංශික වෙන්නෙ. ඉතින්, පීඩනය අවසාන වෙනකල් අපේ වාමාංශික දේශපාලනය අවසන් වේවි කියලා මම හිතන්නෙ නැහැ.