No menu items!
28 C
Sri Lanka
27 August,2025
Home Blog Page 194

ඕයි, ජෙනීවා !

0

■ උදන් ප්‍රනාන්දු

වසර කිහිපයක් තිස්සේ එකතු කළ පර්යේෂණ දත්ත හා ඇසුරු කළ න්‍යායික පොත පත එකට කළතා නව දැනුම් දේහයක් ගොඩ නගනු වස් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලිවීම එම දීර්ඝ දුෂ්කර ක්‍රියාදාමයේ අවසාන හා තීරණාත්මක අවධිය යි. මෙහි දී බුද්ධිමය අභියෝගය මෙන්ම වැදගත් වන්නේ මානසිත ඒකාග්‍රතාව හා සන්සුන්භාවයයි. බොහෝ ආචාර්ය උපාධි අපේක්ෂකයන් ‘හැළෙන්නේ‘ ඔවුන්ගේ බුද්ධිමය දෝෂයක් නිසා නොව අවසන් වසරේදී මුහුණපාන මානසික වියවුල නිසා ය. අත්දැකීම් බහුල පරිණත මහදුරුවරියක යටතේ මා කලකට පෙර මෙම ක්‍රියාදාමය අත්වින්දේ තරමක් වෙනස් හා සාධනීය ආකාරයකට ය. ඕලන්දයේ අධ්‍යයනය කළ අපගේ අවසන් අදියරේ නිබන්ධනය ලිවීම හා අවසන් කිරීම කරනාතුර කෙටි නිවාඩුවකට දෙකකට අසල පිහිටි රටකට අප යැවීම ඇගේ සිරිත විය. ඉන් ලැබෙන මානසික විරාමය කියා නිම කළ නොහැක. මේ කෙටි විරාම සඳහා යාමට මා හැම විට ම අවසර ඉල්ලා සිටියේ ජෙනීවා නුවරට ය. මොකක් ද ඔය හැටි ඔයාට ජෙනීවා එක්ක තියෙන ලවු එක කියා විහිළුවක් කරමිනි ඈ මගේ හැම ගමන් වාරයක් ම අනුමත කළේ. ඇගේ සැහැල්ලු විහිළුව මා සැම විටක ම දිගු කල්පනාවක අතරමං කළ බව මතක ය.
ජෙනීවා, යුරෝපීය නුවර අතර මනස්කාන්ත ම නුවරකි. එහි ඇති විශේෂත්වය වන්නේ නගරය හා සබැඳි ස්වාභාවිකත්වය ය. නගරයේ හරි මැදින් ම පිහිටා ඇත්තේ ජෙනීවා විල ය. විසල් පෙදෙසක් වසාගෙන ඇති එම ජල දේහය නුවර පුරා සිසිලසක් ජනිත කරයි. විල දෙපස කඳු බෑවුමක පිහිටා ඇත්තේ ප්‍රෞඪ පෙනුමකින් සපිරි අතිපැරණි ගොඩනැගිලි ය. විල් තෙරට ඔබ්බෙන් ඈතින් වට වී ඇති කඳුයාය ද්වයකි. ඉන් එකක වන්නේ ප්‍රකට හිම කඳුයායක් වන ඇල්ප්ස් වන අතර අනෙක ජූරා වේ. ලෝකයේ වාණිජ හා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යාල ද, ජාත්‍යන්තර රතු කුරුස මූලස්ථානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතට එන ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය, ජාත්‍යන්තර සරණාගත සංවිධානය, ජාත්‍යන්තර මානව හිමිකම් කාර්යාලය යනාදි ආයතනයන්හි ප්‍රධාන කාර්යාල බොහොමයක් පිහිටා ඇත්තේ ජෙනීවා නුවර ය.
‘ජෙනීවා යනවා‘ යන්න ලාංකීය (දකුණේ) ජන වහරට පැමිණියේ අසූව දශකයේ අග ය. නිශ්චිත ව කියතොත් 87-89 කාලයේ ‘භීෂණ සමය‘ ලෙස ලෙයින් වැකුණ වකවානුවේ ය. එවකට පැවැති රජය විසින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ව්‍යාපාරයට එරෙහි ව කළ ප්‍රචණ්ඩ මර්දනය හා සන්නද්ධ ව්‍යාපාරය විසින් කළ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන් මානව හිමිකම් කෝණයෙන් දැඩි අවධානයකට ලක් විය. මේ පිළිබඳ ව ජාත්‍යන්තර අවධානය හා මැදිහත්වීම අරභයා විවිධ සිවිල් සමාජ කොටස් ද එවකට සිටි විපක්ෂ බලවේග ද වැදගත් වැඩ කොටසක් ඉටු කළේ ය. තොරතුරු එකතු කිරීම ප්‍රාථමික අවධියක තිබූ ඒ යුගයේ අවදානම් ම කටයුත්ත වූයේ අදාළ තොරතුරු රැගත් පුවත්පත් කොටස් කපා, ඒවා යම් පැමිණිල්ලක සාක්ෂි ලෙස සකසා ජෙනීවා නුවරට ගෙන යාමයි. එකල මේ අවදානම ගත් වීර චරිත ද්වය වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය වාසුදේව නානායක්කාර ය.
ජෙනීවා යෑම ඉන් පසු ව සිදු වුණේ ජනවාර්ගික ගැටුමෙන් ඇවිළුණු යුද්ධය උත්සන්න වීමත් සමග ය. 83න් පසු රටින් බැහැර වූ දමිල ඩයස්පෝරිකයෝ බටහිර රටවල ක්‍රමයෙන් ස්ථාපිත වූ හ. ඔවුන්ගෙන් යම් පිරිසක විවිධාකාරයෙන් දේශපාලනික ව සංවිධානගත වීම දක්නට ලැබිණ. මොවුන්ගෙන් සමහරෙක් උතුරේ සන්නද්ධ කණ්ඩායම් හා බැඳුණු අතර සමහර කණ්ඩායම් ලංකාවේ පවතින යුක්තිය හා අසාධාරණයට එරෙහි ව ක්‍රියාකාරී වූ හ. මේ පිරිස් සියල්ල ම තම අවනඩු කීමට ගියේ ජෙනීවා නුවරට යි. ඒ අතර ශ්‍රී ලංකාවේ වෙසෙන දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියාකාරකයෝ ද වූ හ. බොහෝ කාලයක් මේ පිරිස ජෙනීවා හි පැවතෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවාරවල බලපෑම් කණ්ඩායම් ලෙස වැජඹුණ හ. මොවුන්ගේ භූමිකාව අහියෝගයට ලක් වූයේ ලංකාවේ නව පන්නයේ ජෙනීවා ට්‍රැෆිකයක් බටහිර වෙසෙන සිංහල ඩයස්පෝරිකයින් හා මෙරට සිටින සිංහල-බෞද්ධ පසුබිම නියෝජනය කරන ක්‍රියාකාරිකයන් විසින් නිර්මාණය කිරීමෙනි. යුද්ධයේ අවසාන වසර හා ඉන් පසු මෙම රැල්ල ගොඩ නැගිණ. මේ කෝටාවෙන් ජෙනීවා ගිය අයවළුන් කළේ ශ්‍රී ලංකාවට එරෙහි ව ඇති මානව හිමිකම් චෝදනා පදනම් විරහිත බව ඒත්තු ගැන්වීම හා ලංකා රජය හා හමුදාව විසින් කරන ලද සාධනීය කාර්යභාරය ගැන කරුණු දැක්වීම ය. මේ රැල්ල දිගේ ජෙනීවා ගිය ප්‍රධාන ක්‍රියාකාරිකයෝ දෙදෙනෙක් අද සිටින්නෝ පාර්ලිමේන්තුවේ ය. කැබිනට් ඇමති කෙනෙකු හා රාජ්‍ය ඇමති කෙනෙකු වශයෙනි. ජෙනීවා ආනුභාවයේ තරම ඉන් පෙනෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපනය කෙරුණේ 1952 වසරේ වන අතර ශ්‍රී ලංකාව එහි සාමාජිකයෙකු ලෙස බැඳුණේ 1955 වසරේ ය. ඒ යට කී සංවිධානය ස්ථාපනය කර වසර දෙකකට පසු ව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්-රාජ්‍ය සංවිධානයකි. එනම් එහි සාමාජිකයින් වන්නේ කේවල රාජ්‍යයන් ය. දැනට රාජ්‍ය 193ක් එහි සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ ක්‍රමය තුළ මානව අයිතීන් ගැන මුලින් කටයුතු කළේ එම සංවිධානයේ ආර්ථික හා සාමාජික කවුන්සිලය යටතේ පැවති කොමිසමක් මගිනි. එහි දක්නට ලද අකාර්යක්ෂමතා මග හරවා ගැනීමට 47ක කුඩා සාමාජිකත්වයකින් යුතු මානව හිමිකම් කවුන්සිලය දියත් කෙරුණේ 2006 වසරේ ය. දැනට බලපාන යාන්ත්‍රණය එය ය. පෙබරවාරි 22 හා 23 දෙදින මානව හිමිකම් කවුන්සිලය ජෙනීවා හිදී රැස් වන අතර ලංකාව ගැන දැඩි අවධානයක් මෙවර ඇති බවට තතු කියැවිණ. මෙවර සැසි වාරය ලංකාවට කුමන වරයක් දුන්නේ ද යන්න මේ කොලම පළ වන විට අපට දැනගත හැක.
යම් ආකාරයකට ‘රොක්‘ හා ‘බ්ලූස්‘ ආරෙන් තමන්ගේ ම සංගීත ශෛලියක් තනා ගත් නිර්මාණකරුවෙකි අජිත් කුමාරසිරි. ඔහුගේ සංගීත නිර්මාණ අතුරින් ජනප්‍රිය වූ ගීයක් වූයේ ‘හේයි, ජෙනීවා‘ ය. උපහාසය හා ව්‍යංග්‍යාර්ථය මත පිහිටවා ගොතන ලද පද මාලාව විවිධාකාර අනුභූතීන් ජනිත කරයි. මීට වසර කිහිපයකට පෙර ය අජිත් කුමාරසිරි හේයි ජෙනීවා ගීතය නිර්මාණය කළේ. තත්කාලීන ලාංකේය ජෙනීවා අනුභූතිය දරුණු පරිවර්තනයකට භාජනය වී ඇති බව මේ දිනවල අසන්නට දකින්නට ඇති දේ යෝජනා කරයි. බැරිවෙලාවත් අජිත් කුමාරසිරි පැරැණි නිර්මාණයේ රී-මික්සයක් කරනට කල්පනා කරතොත් එය ‘ඕයි, ජෙනීවා‘ ලෙස ප්රති-සූත්‍රගත වීමට ද ඉඩ ඇත.■

2020 පළමු මාස 06 කොම්පියුටර් සාක්ෂරතාව 32%යි

0

■ ඉඳුවර බණ්ඩාර

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2020 පළමු මාස 6ට අදාලව ශ්‍රී ලංකාවේ කොම්පියුටර් සාක්ෂරතාව ගැන වාර්තාවක් එළිදක්වා තිබේ.
මෙහිදී රටේ අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයින් සමස්ථය වශයෙන් ගෙන ප්‍රතිශතයන් ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.මෙම වාර්තාවේ කොම්පියුටර් සාක්ෂරතාව හා ඩිජිටල් සාක්ෂරතාව ලෙස වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කර ඇත.
කොම්පියුටර් සාක්ෂරතාව ලෙස සලකා ඇත්තේ ඉහත වයස් කාණ්ඩයේ යම් පුද්ගලයෙක් සතුව පරිගණකයක් තිබීමය. උදාහරණයකට වයස අවුරුදු 5ක දරුවෙක් පරිගණකයක් මගින් පරිගණක ක්‍රීඩාවක නිරත වෙනවානම් එම දරුවාද කොම්පියුටර් සාක්ෂරතාව ඇත්තෙකු සේ සැලකේ.
ඩිජිටල් සාක්ෂරතාව ලෙස සලකා ඇත්තේ ඉහත වයස් කාණ්ඩයේ යම්කිසි පුද්ගලයෙක්ට කොම්ප්යුටරයක්, ලැප්ටොප් පරිගණකයක්, ටැබ්ලට් එකක් හෝ ස්මාර්ට් දුරකථනයක් තිබීමය.
ඒ අනුව 2020 වසරේ පළමු මාස 06 දී මුළු රටේම කොම්පියුටර් සාක්ෂරතාව 32%ක් වන අතර ඩිජිටල් සාක්ෂරතාව 49.5%කි. ඒ අනුව රටේ නිවාසවලින් 22.2%කට ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් තිබී ඇත. එහෙත් පළාත් ලෙස සැලකූ කළ එම ප්‍රතිශතයන් වන්නේ බස්නාහිර 33.8%ක් වැඩිම හා නැගෙනහිර 11%ක් අඩුම වශයෙන්ය. එය තවදුරටත් විශ්ලේෂණය කළහොත් නාගරික 36.3%ක්, ග්‍රාමීය 20.2%ක් හා වතුකරයේ 3.4%ක් වශයෙන් හඳුනා ගෙන ඇත.
එය තවදුරටත් වාර්තාවේ විග්‍රහ කර ඇත්තේ නාගරික ජනතාවගේ කොම්පියුටර් සාක්ෂරතාව 43.5%ක් හා ඩිජිටල් සාක්ෂරතාව 65%ක් වශයෙන්ය. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ කොම්පියුටර් සාක්ෂරතාව 30.7%ක් හා ඩිජිටල් සාක්ෂරතාව 47.6%ක් වශයෙන්ය. වතුකරයේ කොම්පියුටර් සාක්ෂරතාව 12.1%ක් හා ඩිජිටල් සාක්ෂරතාව 23.1%ක් වශයෙනි.
එය ස්ත්‍රී පුරුෂභාවය අනුව ගණනය කිරීමේදී පිරිමින්ගේ කොම්පියුටර් සාක්ෂරතාව 33.9%ක් වන අතර කාන්තාවන්ගේ සාක්ෂරතාව 30.4%ක් වේ. පිරිමින්ගේ ඩිජිටල් සාක්ෂරතාව 53%ක් වන විට කාන්තාවන්ගේ එම සාක්ෂරතාව 46.%කි.
රැකියා ක්ෂේත්‍ර අනුව වැඩිම පරිගනක සාක්ෂරතාවක් ඇත්තේ ලිපිකරුවන් හා ඊට අදාල කටයුතුවල යෙදෙන්නන්ටය. එහි ප්‍රතිශතය 92.7%කි. එහි අඩුම ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ කෘෂිකර්මාන්තය, වන ව්‍යාපෘති හා ධිවර ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ය. එම ප්‍රතිශතය 20.2%කි.
නිවාස සංඛ්‍යාවෙන් 34.4%කට අන්තර්ජාල පහසුකම් ඇතත් ඒ අයගේ ඊමේල් භාවිතාව 13.1%කි. අන්තර්ජාල භාවිතයේ අඩුම ප්‍රතිශතය ඇත්තේ වතුකරයට වන අතර එය 11.6%කි. එහි ඊමේල් භාවිතය 2.1%කි.
භාවිතා කරන උපකරණ ලෙස ගත්කළ පිරිමින්ගෙන් 21.7%ක් ඩෙස්ක්ටොප් හා ලැප්ටොප්ද, 75.6%ක් ස්මාර්ට් දුරකතනද, 1.5%ක් ටැබ්ලට්ද, 1.2ක් සාමාන්‍ය ජංගම දුරකතනද භාවිතා කරයි. කාන්තාවන් සම්බන්ධයෙන් ගත්කළ 11.9%ක් ඩෙස්ක්ටොප් හා ලැප්ටොප්ද, 40.5%ක් ස්මාර්ට් දුරකතනද, 0.9%ක් ටැබ්ලට්ද, 0.6%ක් සාමාන්‍ය ජංගම දුරකතනද භාවිතා කරයි.
එම සංඛ්‍යා ප්‍රදේශ වශයෙන් ගත්කළ නාගරික ජනයාගෙන් 6.8%ක් ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණකද, 19.8%ක් ස්මාර්ට් දුරකතනද, 0.4%ක් ටැබ්ලට්ද, 0.1%ක් සාමාන්‍ය ජංගම දුරකතනද භාවිතා කරයි. ග්‍රාමීය ජනයා සම්බන්ධයෙන් එය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් 14.8%ක්, ස්මාර්ට් දුරකතන 54.6%ක්, ටැබ්ලට් 1.1%ක් හා සාමාන්‍ය ජංගම දුරකතන 1%ක් වේ. වතුකරයේදී එය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් 0.1%ක්, ස්මාර්ට් දුරකතන 1.2%ක්, ටැබ්ලට් 0%ක් හා සාමාන්‍ය ජංගම දුරකතන 0%ක් වේ.■

මහින්දානන්ද කියන හමුදා ලොක්කන්ගේ කෙරුවාව

  • මේ එක් එක් අමාත්‍යාංශය එකින් එක ගෙන බැලූ විට පෙනෙන කාරණය වී ඇත්තේ මේ හමුදා නිලධාරීන්ගේ ආගමනයෙන් පසු රටට දැනෙන විශේෂ සමත්කමක් එම අමාත්‍යාංශ පෙන්වා නැති බවය.

යුද්ධය කළ හමුදාවට කොවිඩ් මර්දනය මහා කජ්ජක්දැයි ඇසුවාට එහි කෙරුවාව දැන් රටම දනී. ඒ ගැන විස්තර කිරීම පුන පුනා කීමක් වැනිය. යුද්ධය කළ තමාට රට කරවන්නත් දෙන්න යැයි ගෝඨාභය රාජපක්ෂ කී නිසා ඔහුට දැන් ජනතාව දැන් රටත් භාර දී ඇත. එහි කෙරුවාව ද අමුතුවෙන් විස්තර තළ යුතු නැත. දිනෙන් දින හා තැනින් තැන ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුවේ සාමාජිකයින් ඒ බව අපට පෙන්නුම් කරමින් සිටිති.
අමතරව යුද්ධයේදී ඔහු සමඟ කටයුතු කළ හා ඔහු සමඟ සිටි හමුදා සාමාජිකයින්ටත් දැනට සිටින අයට වඩා හොඳින් රටේ පරිපාලන වගකීම් දැරිය හැකි යැයි කියමින් ජනාධිපතිවරයා ඔවුන්ව රටේ තීරණාත්මක තනතුරුවලට පත්කරනු ලැබූහ. එහි එක් ප්‍රතිඵලයක් මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශයට පත්කර තිබේ. ඒ ඔහු අමාත්‍ය ධුරය දරණ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්කමෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාට ඉල්ලා අස්වන ලෙස කියූ බව කියමින්ය. ඊට හේතු වශයෙන් ඔහු කියා තිබුනේ ලේකම්වරයාගේ සෙමින් ගමන අමාත්‍යාංශයේ වේගවත් ගමනට නොගැලපෙන බවය.
මහින්දානන්ද ඇමතිවරයා එම ප්‍රකාශය කර තිබුනේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්කමින් සුමේධ පෙරේරා ඉවත්වූ බවට මාධ්‍ය වාර්තා පලවීමෙන් පසුය. ඇමතිවරයාගේ එම අදහස් දැක්වීම්වලින් පසු ඊට ප්‍රතිචාර වශයෙන් පෙරේරා මහතා මේවනවිට කියා ඇත්තේ ඔහුගේ ඉල්ලා අස්වීම වෙනත් කාරණා මත සිදුවන්නක් බවත්, එම තනතුරෙන් මුදා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඔහු ඉල්ලීමක් කර ඇති බවත්ය.
මෙහිදී ඇත්ත කියන්නේ මහින්දානන්ද ඇමතිවරයාද නැතහොත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාද යන්න පැහැදිලි නැතත්, ජනාධිපතිවරයාගේ අති සමීපයෙක් වන සුමේධ පෙරේරා සම්බන්ධයෙන් හේතු රහිතව මහින්දානන්ද ඇමතිවරයා එවැන්නක් කියනු ඇතැයි සිතිය නොහැකිය. මන්ද සුමේධ පෙරේරා යනු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්කමට පත්කිරීමට පෙර ජනාධිපතිවරයා පත්කරන ලද කාර්යසාධක බලකා කිහිපයකම සාමාජිකයකු ලෙස පත්කරන ලද විශ්වාශවන්තයකු වන බැවිනි. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා රට හමුදාව අතට ගන්නට ගිය මෙහෙයුමේ ප්‍රධානියකු වශයෙන් සිටියේද ඔහුය. ඒ අනුව මෙය ජනාධිපතිවරයාට එරෙහි ආණ්ඩුව අභ්‍යන්තර ඝට්ටනයේ ප්‍රකාශනයක් ලෙසින්ද අයකුට විග්‍රහ කරගත හැකිය.
එහෙත් අපේ අවධානය ඒ සඳහා නොවේ. මේ හමුදා ලොක්කන්ගේ වැඩකාර කම සාකච්ඡා කිරීම සඳහා පමණය. සුමේධ පෙරේරා පත්කළා යැයි කියා අප දන්නා රටට දැනෙන විප්ලවයක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිදුවූයේ නැත. පොහොර මිලදී ගැනීම් සම්බන්ධයෙන් ගත්කළ කාර්යක්ෂම හා අඩුමිල වැනි රටට වැඩදායි කිසිවක් වී නැත. මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ වී මිලදී ගැනීමේ බලය බිඳින්නට කිසිවක් කිරීමට හැකිවී නැත. සමහර විට එම කටයුතු තිබෙන්නේ බාහිරට පෙනෙවාටත් වඩා අසතුටුදායක මට්ටමෙන් විය හැකිය. මන්ද මේ හමුදා ලොක්කන්ට සිවිල් පරිපාලනයට අදාල දේවල් මුල සිට අලුතෙන් ඉගෙන ගන්නට සිදුවී ඇති නිසාය. පරිපාලනයේ එකේ පන්තියට ඇතුලත් කළ යුතු අය උසස් පෙළට ඇතුලත් කළ විට සිදුවන්නේ මේ වැනි දේය.
මේ වනවිට කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම ධුර දරණ හිටපු සහ ඉන්නා හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 06කි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (ඔහු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේද ලේකම්වරයාය ) ඉහත කී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, වනජීවි රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී ආර් සිල්වා යන අයය.
මේ එක් එක් අමාත්‍යාංශය එකින් එක ගෙන බැලූ විට පෙනෙන කාරණය වී ඇත්තේ මේ හමුදා නිලධාරීන්ගේ ආගමනයෙන් පසු රටට දැනෙන විශේෂ සමත්කමක් එම අමාත්‍යාංශ පෙන්වා නැති බවය. විදෙස් සංචාරක බුබුළු, නිදහස් දින සංදර්ශන පැවැත්වූවන්ගේ බුබුළු කොවිඩ් පතුරුවමින් දැන් පුපුරා ගොස් ඇත. රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන මැදපෙරදිග ශ්‍රමිකයින් නිවැදි ලෙස රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් නැත. එම රටවල ඔවුන් ඉන්නේ අන්ත අසරණ තත්වයේ අනාථවීය. රටේ පාතාලය යහතින් කටයුතු කරන බව සිදුවන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සිදුවීම් වලින් පෙනේ. අධික අවදානම නිසා බන්ධනාගාර ගතවූවන්ගේ නොසන්සුන්තා අතිමහත්ය. කොවිඩ් එන්නත් කරනයද දැන් ප්‍රමුඛතා අනුපිළිවෙලින් පිට පැන ඇත. ඒ අස්සේ රටේ බොහෝ ගම්මානවලට අලි කරදරේය. ඒ නිසා උපවාසද පටන් ගෙන ඇත.
මේ ලැයිස්තුව මේ ආකාරයට දිගටම ලිවිය හැකිය. පොදුවේ රටේ දුර්වලතාවය අතරේ හමුදා ලොක්කන්ට භාර දී ඇති අමාත්‍යාංශ විෂයන්ට අයත් කාරණා ඉස්මතු වී පෙනේ. යුද්ධයේ දී සමත් මෙන් පෙන්වූ ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ හමුදා ලොක්කන්ගේ සිවිල් පරිපාලනයේ වැඩ කිඩ හෙවත් කෙරුවාව එසේය. එයද රාජ්‍ය ආයතනවලට පත්කර ඇති හිටපු හමුදා ලොක්කන්ගේ කෙරුවාවට අමතරවය.■

ජාවාරම්කරුවන්ගේ දෙපා මුලට ගිහින් විධායකය රැවටෙනවා – පරිසරවේදී සජීව චාමිකර

මෑත කාලයේ වැඩිපුර පරිසර හානි සිද්ධවෙන බව, සමාජ මාධ්‍යවලින් මැවූ කතාවක්ද?
මීට කලින් ආණ්ඩුව කාලයේ රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට වනාන්තර විනාශය තිබුණේ නෑ. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය ව්‍යූහය ඇතුළේ ඒක තිබුණේ නෑ. ජනාධිපති, පරිසර ඇමති, වනජීවී ඇමති වගේ අයගේ නියෝග මත, ආශිර්වාද මත වනාන්තර හෙළි කළේ නෑ. ඒ කාලයේ පරිසර හානි සිද්ධ වුණා. ඒත්, ඒවා බොහොමයක් දේශපාලන බලය අවභාවිත කරමින් කරපු දේවල්. දැන් මේකට අනුග්‍රහයකුත් ලැබෙන පසුබිමක තමයි සමාජ කතිකාව පුළුල් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක සමාජ මාධ්‍යවලින් මැවූ දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ වැඩ නිසා සිද්ධවෙච්ච දෙයක්. මට උදාහරණ ඇසුරෙන් තහවුරු කරන්න පුළුවන්.
ගිය ආණ්ඩුව තිබුණ කාලයේ වනාන්තර විනාශයන් සිදුවෙද්දී, ඒවා අනාවරණය වුණා. ඒවායේ ප්‍රතිඵලයක් විදියටයි වර්තමාන ආණ්ඩුව බලයට ආවේ. ඒ කාලේ හැමදේම පාහේ සමාජ මාධ්‍යවලින් අනාවරණය වීම තමයි බලයට එන්න පසුබිම හැදුවේ. දැන් ඒවා අනාවරණය කරනකොට කියන්න බෑ, වැඩිපුර අනාවරණය වෙනවා කියලා. මේ පළ වෙන කතා බොරු නම්, ඒ බොරුවට පැවැත්මක් නෑනේ.

මොනවද උදාහරණ..
ආණ්ඩුව බලයට ඇවිත් ඉතා කෙටි කාලයක් ඇතුළත කරපු පළවැනි දේ තමයි වැලි, මැටි සහ පස් ප්‍රවාහනයට තිබුණ බලපත්‍ර කැබිනට් අනුමැතියකින් සම්පූර්ණයෙන් ඉවත් කළා. ඒක නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක්. පාර්ලිමේන්තුවේ සම්මත වූ පතල් හා ඛණිජ සම්පත් පනතේ තියෙනවා ඕනෑම ඛණිජ ද්‍රව්‍යයක් ගවේෂණය කිරීම, කැණීම් කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ අපනයනය කියන අවස්ථා පහේදීම බලපත්‍රයක් ඕනෑ බව. ඒක පනතේ තියෙන්නේ. පනතේ තියෙන දෙයක් කැබිනට් අනුමැතියක් යටතේ වෙනස් කරන්න බෑනේ. ඒ නිසා නීතියේ ආධිපත්‍යය කැඩුවා. කැබිනට් බලපත්‍රයට කිසිම නිත්‍යානුකූල බවක් නෑ. ඒත් ඒක ක්‍රියාත්මක වුණා. නීති ක්‍රියාත්මක කරන ආයතන නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ප්‍රවාහන බලපත්‍රයෙන් තමයි කැණීම් කටයුතු නියාමනය වෙලා තිබුණේ. ඒක වෙන්නේ කොහොමද කියලා මම මෙතැන දීර්ඝව විස්තර කරන්නේ නෑ. ඒත් මම පෞද්ගලිකවම ඔය ක්‍රියාවලිය හැදීම සඳහා නඩුවකටත් ගිහින් මැදිහත් වුණා. ඒකෙන් නීතිවිරෝධී කැණීම් යම් දුරකට පාලනය වුණා. මේ ආණ්ඩුවේ නීතිවිරෝධී ප්‍රතිපත්තිය නිසා නීතිවිරෝධී කැණීම් බරපතල විදියට වැඩි වුණා.
දෙවැනි සිදුවීම තමයි 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම. මුලින්ම මේක කරන්න හැදුවේ හොර රහසේ. අපට ඒ සූක්ෂමව තොරතුරු ආවා. අපි ඒක හෙළිදරව් කළා. ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඒ පාර ඒකටත් කැබිනට් අනුමැතිය ගත්තා. ඒකත් නීති විරෝධීයි. මොකද 05/2001 චක්‍රලේඛයෙන් ප්‍රාදේශීය ආයතන යටතේ පාලනය වූ සියළු වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතට පැවරුවා. 2009 දී වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කළා. ඒකෙන් අර චක්‍රලේඛයේ තිබුණ කරුණු සේරම පනතේ 20 වැනි වගන්තියට එකතු- කළා. දැන් බලාත්මක වෙන්නේ 2009 සංශෝධනය කරන ලද පනත. ඒක පාර්ලිමේන්තු පනතක්. පනතකට උඩින් කැබිනට් තීන්දු ගන්න බෑ.

ඊට පස්සේ සිංහරාජයට ජනාධිපතිම ගියා..
ඔව්, පාර කැපීමේ ක්‍රියාවලියක් පටන්ගත්තා. ලංකාවේ තියෙන පනත් තුනක් ප්‍රධාන වශයෙන් උල්ලංඝනය කරලා තියෙනවා. පනත් උල්ලංඝනය කරලා පාරක් කපලා ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම නීතියේ ආධිපත්‍යයත් වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් ගිහින් ඕවා කරන්න බෑ. ඒකට නිවැරදි ක්‍රියාවලියක් තියෙනවා. පරිසර ඇගයීම් බලපත්‍ර අරගෙන පාර කැපීමට ක්‍රියාවලියක් තියෙනවා. ඒ යටතේ අඩුම පරිසර හානියක් එක්ක පාර කපන්න තිබුණා. ඒත් ඒක නොකර බලහත්කාරයෙන් යුධ හමුදාව දාලා පාර කැපුවා. එතකොට ජනතාවට අදහසක් එනවා නීතිය කිසි වැදගම්මකට නෑ කියලා. ජනාධිපතිට ඕනෑ නම් නීතිය කඩන්න පුළුවන් බව හිතුවා.

ගම සමඟ පිළිසඳරේදී ගම්වල අය කැලෑ කපන්න ඉල්ලුවානේ..
ඕක පුපුරපු තැන තමයි ගම සමඟ පිළිසඳර. ලංකාවේ දරිද්‍රතාව ඉහළම මට්ටමක තියෙනවා. වකුගඩු රෝග, ජල ප්‍රශ්න, කන්නවලට වතුර නැති ප්‍රශ්න, වෙළඳපොළ යාන්ත්‍රණයක් නැතිකම ආදී ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ එක ප්‍රශ්නයක්වත් ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී මතු වුණේ නෑ. ඔක්කොම ඉල්ලුවේ කැලෑ කපලා වගා කරන්න. මේවා පිටිස්සේ හිටපු අය ජාවාරම්කාරී ව්‍යාපාරිකයන් බව අපි හොඳටම දන්නවා. ඔවුන් විධායකය අන්දනවා. විධායකය රැවටිලා තීන්දු ගන්නවා. මිනිසුන් බලාපොරොත්තු වුණේ මෙහෙම විධායකයක්ද. මේකෙන් කැළෑ කපන්න අනුමැතිය ලැබෙනවා. ජනතාවගේ විරෝධය සමනය කරන්න හමුදාව දාලා ගමේ පිට්ටනියක් හදලා දෙනවා. ඇත්තටම ඒ ගම්මානවල තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

අන්දනවාද, විධායකයේත් අනුදැනුම සහිත නාට්‍යයක්ද?
ඒ තිරය පසුපස කාරණා පැත්තකට දාමුකෝ. අපිත් සාමාන්‍ය පුරවැසියන්. අපි දකින්නේ ඔය මතුපිටින් පේන දේවල්නේ. අපි කාලයක් තිස්සේ ඔය විවිධ ප්‍රදේශවල වැඩ කරපු නිසා ඔය ජාවාරම්කරුවන් හඳුනනවා. ප්‍රසිද්ධියේ ඔවුන් කියන දේවල්වලට රැවටිලා විධායකය තීන්දු ගන්න බව අපි දකිනවා. මේවා වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නෙවෙයිනේ. ඒ ගම්වලටම ගිහිල්ලානේ. ජාවාරම්කරුවන්ගේ දෙපා මුලට ගිහින් විධායකය රැවටෙනවා. දැන් හැටනවලක්ෂයක් ඡන්දය දීලා පත් කරගත්තේ මෙහෙම විධායකයක්ද. දහයියාගල වගා කරන්න දෙන්නේ නෑ කියලා ගංජා හේන්කාරයන් කියනවා. අපි අවුරුදු ගාණක් වැඩ කරලා ගංජා හේන් වවන අය දන්නවා. ඒවා වටලපු හැටි, ඒවා වටලන්න රක්ෂිත ප්‍රකාශයට පත් කරපු හැටි, ඒවා පාලනය කරන්න විදුලි වැටවල් ගහපු හැටි අයන්නේ ඉඳන් අපි හොඳටම දන්නවා. මිනිසුන් දැන් හිතන්නේ රක්ෂිත වනාන්තර අවභාවිත කරන්න ජනාධිපතිගේත් අවසර තියෙනවා කියලයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ කොච්චර රක්ෂිත වනාන්තර අවභාවිත කරනවාද. දැන් නිලධාරීන් බල්ලාට දාලා තියෙන්නේ.

ජනාධිපතිම දැන් කියනවා සමාජ මාධ්‍යවලින් තමන් කැලෑ කපන බව කියනවා කියලා..
දැන් ප්‍රශ්නය සමාජ මාධ්‍යවලින් ඒවා පේන එකද. ඒ පෙන්වන නිසයි මේක පාලනය වෙන්නේ. මිනිසුන්ට දැකගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ සියලු පත්තර පෙළට තැබුවත්, සිද්ධවෙන වන විනාශයන් අතරින් කීයෙන් කීයද වාර්තා වෙන්නේ. මෙතෙක් සිදු වූ සිදුවීම එකසිය ගණනක ලැයිස්තුවක් මා සතුයි. ඒවායින් පත්තරවල ගියේ කීයද. ඉතින්, අපට තියෙන්නේ සමාජ මාධ්‍ය තමයි. විධායකයෙන් ලැබෙන ආශිර්වාදය නිසයි මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය නෙවෙයි ප්‍රශ්නය.

ජනාධිපතිවරයා කිහිප වතාවක් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කී දෙයක් තමයි නීති ක්‍රියාත්මක කරනකොට මිනිසුන්ගේ පහසුව ගැන හිතන්න, සමහර නීති සංවර්ධනයට බාධාවක් නම් ඒවා නොතකා වැඩ කරන්න කියලා..
ඒක තමයි හොඳම කතාන්දරය. අපි පහුගිය කාලය පුරා සාකච්ඡාවට ලක් කළේ ඕක. ඔය නීති හැදුවේ අපි. ඒ කියන්නේ පරිසරවේදීන් නෙවෙයි. සියළු පුරවැසියන්. ලංකාවේ පුරවැසියන්ට බලයන් පහක් තියෙනවා. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ කියන ආණ්ඩුවේ බලය මිනිසුන්ට අයිතියි. ඊට අමතරව ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් මිනිසුන් සතු බලයන්. අපි ඡන්ද බලය පාවිච්චි කරලා ව්‍යවස්ථාදායකය හා විධායකය ගොඩනගනවා. අධිකරණය ඒ හරහා පත්වෙනවා. පාර්ලිමේන්තුව අපේ බලය පාවිච්චි කරමින් අණ පනත් සකස් කරනවා. ජනාධිපතිවරයා අඩු ගාණේ මේ පාලන ව්‍යූහය දන්නවාද. මේ පත් කරගත්ත විධායකය පාලන ව්‍යූහය දන්නේත් නැති විධායකයක්ද. මේ ඇමෙරිකාවෙන්, රුසියාවෙන් හෝ චීනයෙන් ගෙනාපු අණ පනත් නෙවෙයි. වෙන කාගේවත් අවශ්‍යතාවට හදපු අණ පනත් නෙවෙයි. මේවා හදලා තියෙන්නේ වර්තමානයට විතරක් නෙවෙයි. ඊළඟ පරම්පරාවටත් මේ සම්පත් පාවිච්චි කරන්න අයිතිය තියෙනවා. විධායකයෙන් අණ පනත් ගැන එහෙම කිව්වාම ජනතාව මොකද හිතන්නේ. මේ පනත් කිසිවකින් වැඩක් නෑ කියා හිතනවානේ. ඒ පනත් තියෙන්නේ තමන් හිර කරන්න කියා හිතනවානේ.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න කියා තිබුණා හාමුදුරුවන් කෙනෙක් ත්‍රිකුණාමලයේ කැලෑ කපන බව..
අන්න ප්‍රශ්නය. කමල් ගුණරත්න මහත්තයා මේක අස්සට හාමුදුරුවන් කෙනෙක් ගෙනත් දැම්මේ ඇයි. මේක තමයි දැන් සමාජගත කරන්න හදන දේ. දැන් අර හාමුදුරුවන් කෙනෙක්ද මෙච්චර වනාන්තර හෙළි කරන්නේ. දැන් දේශපාලනඥයන් නෙවෙයි මහා විනාශය කරන්නෙ. කොහෙවත් යන හාමුදුරුවන් කෙනෙක්ද. විධායකය කිසිදේකට වගකියන්න ඕනෑ නැද්ද. දැන් තියෙන කුණු පිට කාගේ හරි පිටින් යවන්න හදනවා. කමල් ගුණරත්න මහත්තයා රටේ වෙන දේවල් දන්නේ නැද්ද. බුද්ධි අංශ එච්චරම දුර්වලද. මාධ්‍යවේදීන් මගෙන් ඇහුවා කමල් ගුණරත්න කියන කතාව ගැන අදහස. මම කිව්වා හාමුදුරුවන් කැලෑ හෙළි කරගත්තාවේ. වැඩිම වුණොත් ඔය හාමුදුරුවන් අක්කරයක් දෙකක් හෙළි කරයි. මම කිව්වා, ඕනෑ නම් අක්කර සිය ගණන් හෙළිකරන හැටි කියන්නම් කියලා. හාමුදුරුවන් කපන ටික අපි බලාගන්නම්, අර අක්කර දස දහස් ගණන් හෙළි කරන සිදුවීම් ගැන ලියන්න කියා මම ඉල්ලුවා.

පරිසරය ආරක්ෂා කරන්නේ දේශගුණ අර්බුදයෙන් ගැලවෙන්නට බව, දේශගුණ අර්බුදයට විසඳුම් සෙවීම ලොකු රටවල් කරන්න ඕනෑ දෙයක් බව, අපි දුප්පත් රටවල් විදියට මේ සම්පත් පාවිච්චි කරන්න ඕනෑ බව දැන් ජනප්‍රිය අදහසක්..
මේක තමයි දෘෂ්ඨිවාදී එළඹුම. අපි නම් කියන්නේ කාලගුණික, දේශගුණික විපර්යාසවලට බයේ නෙවෙයි අපි වනාන්තර ටික රැකගන්න කියන්නේ. මේ වනාන්තර එක්ක බැඳුණ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. මේක මත තමයි කෘෂිකර්මාන්තය බැඳිලා තියෙන්නේ. වැසි චක්‍රය බැඳලා තියෙන්නේ. ආපදා පාලනය වෙලා තියෙන්නේ. පානීය ජල අවශ්‍යතාව සුරක්ෂිත වෙලා තියෙන්නේ. ජනතාව රෝගාබාධවලින් ආරක්ෂා වෙලා ඉන්නේ. වැසි චක්‍රය හරි විදියට ක්‍රියාත්මක වෙන්න නම් වනාන්තර තියෙන්න ඕනෑ. මේක නිකං වචනවලට කියන හැඟිම්බර කතා නෙවෙයි. විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් දේවල්. වැස්සේ නැත්නම් ඉහළ වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. ඊසාන දිග, නිරිතදිග සුළංවලින් එන වළාකුළු උෂ්ණත්වය වැඩි වෙන නිසා ප්‍රසාරණය වෙනවා. හුළඟට ගහගෙන යනවා. පහළට වැස්ස වැටෙන්නේ නෑ. දැන් අපේ රටේ වකුගඩු රෝගය පැතිරෙනවා. ඒකට හේතුව විදියට සමාජගත කරලා තියෙන ප්‍රධාන එක තමයි ආසනික්. ඊට කලින් කිව්වේ කැඩ්මියම් කියලා. ඕනෑ නම් තවත් කෙනෙක්ට වකුගඩු රෝගයට බලපාන රසායන ද්‍රව්‍ය යෝජනා කරන්න පුළුවන්. ඒත්, සම්පූර්ණ චිත්‍රය කවුරුත් වැඩි වෙන්නේ නෑ. උතුරු නැගෙනහිර පසේ ලවණතාව වැඩියි. එතකොට ජලයේත් ලවණතාව වැඩියි. ඒ කලාපයේ අධික ලෙස කෘෂි රසායන පාවිච්චි කරනවා. ඒවාත් පසට එකතු වෙනවා. ඉස්සර නම් හරි විදියට වැස්ස වැටුණා. පසේ ලවණ සහ කෘෂි රසායන වැස්ස එක්ක හේදිලා ගියා. දැන් අවශ්‍ය තරම් වැස්ස නෑ. වනාන්තර ආවරණය අඩුයි. වනාන්තර නැති නිසා පායනකොට තියෙන ජලය ඉක්මනින් වාෂ්ප වීමත් වැඩියි. එතකොට අපේ වැව්වල වැඩිපුර අයන රැඳෙනවා. අන්තිමේ අපට වකුගඩු රෝගය. මේ ගැන කතා කරන්නේ කවුද. දැන් ආසනික් ගැන, කැඩ්මියම් ගැන විතරක් හිතන්නේ කොහොමද. ඒ විදියට විසඳුමක් දෙන්නේ කොහොමද. ඕවා තමයි ප්‍රශ්න. මම වනසතුන්ගේ පැත්තෙන් නැතිවයි ඔය කිව්වේ. මේවා අපේ රටට ඍජුව බලපාන ප්‍රශ්න. එහෙම නැතිව, දේශගුණ විපර්යාසය වගේ ගෝලීය ප්‍රශ්නයක කොටසක් විදියට අපේ පරිසරය රැකීමේ අවශ්‍යතාව සලකන්න ඕනෑ නැහැ.■

මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවේ වගවීම ඉටුකරන්න තවත් කල් දෙයිද? – ලංකාව ගැන ජිනීවාහි ඉදිරිපත් කෙරෙන යෝජනාවේ මූලික කරුණු

0

මහ කොමසාරිස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න

අතුරු දහන්වූවන්ගේ කාර්යාලය ශක්තිමත් කරන්න

ජනපති කොමිසම පුස්සක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන්න

■ අරුණ ජයවර්ධන

පෙබරවාරි 22වැනිදා ඇරඹුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසිවාරයට, ලංකාවට අදාල ක්‍රියාකාරි කණ්ඩායම විසින් ඉදිරිපත් කැරෙන යෝජනාවේ මුල් කෙටුම්පතෙන්, ලංකාවේ වගවීම ඉටුකිරීම සඳහා තවත් වසරක කාලයක්, එනම් 2022 අග දක්වා කාලයක් ලබාදීමට යෝජනා කර තිබේ.
මේ අනුව, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ නිර්දේශ කළ පරිදි, ලංකාවේ මානව හිමිකතම් කඩකිරීම් පිළිබඳ දැඩි පියවර ගැනීම කෙටි කාලයකට කල්දැමීමට වුවද ඉඩ තිබේ. වසරක කාලයක් ලංකාවට ලැබෙන නමුත්, ඒ කාලය තුළ ලංකාව ඉටුකළ යුතු මූලික වගකීම් රැසක්ද, මේ යෝජනාවේ මුල් කෙටුම්පතට ඇතුළත් වී තිබේ. ඉන් ප්‍රමුඛ වන්නේ ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා ගන දේශීය යාන්ත්‍රණයක් මගින් විමර්ශනය කිරීමට යෝජනා කිරීමයි.
2022 සැප්තැම්බර් පැවැත්වෙන 51වන සැසිවාරයට ලංකාවෙහි වගවීම ඉදිරියට ගෙනයාම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහ කොමසාර්ස් කාර්යාලයට මේ යෝජනාව මගින් බලය පැවරෙයි.
ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටෙනීග්‍රෝ, මලාවි හා උතුරු මැසිඩෝනියාව යන රටවලින් සැදි ලංකාවට අදාළ ‘කෝ ගෲප්‘ හෙවත් ක5ියාකාරී කණ්ඩායම විසින් මේ යෝජනාවේ මුල් කෙටුම්පත, සැසිවාරය ආරම්භ වූ 22 වැනිදා වන විට, මානව හිමිකම් කවුන්සිලයේ තානාපති කාර්යාල වෙත යවා තිබුණි.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබෙන අතර, ඒ අදහස් මත යෝජනාවේ අන්තර්ගතය වෙනස්වීමටද ඉඩ තිබේ.
යෝජනාවේ 6වැනි ඡෙදයෙන්, ලංකාවේ වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. තවද නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහාය වීම සඳහාත්, අනාගත වගවීමේ ක්‍රියාවලීන් උදෙසා උපාය මාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීමටත් තීරණය කරයි.
මෙයින් අදහස් කරන්නේ, ලංකාවේ චෝදනාලාභීන් සම්බන්ධයෙන් නිසි අධිකරණ බලය තිබෙන වෙනත් රටවලදී නඩු කටයුතු පැවැත්වීම සඳහා මහකොමසාරිස් කාර්යාලය සහාය විය යුතු බවයි. 2015-2019 කාලය තුළ ශ්‍රී ලංකාවෙහිදී කරන ලද පොලිස් පරීක්ෂණ මගින් සොයාගත් කරුණු ද මහ කොමසාරිස් කාර්යාලය යටතේ සංරක්ෂණය කිරීම මෙමගින් අදහස් වන බව පැවසේ. එසේම අනාගතයේදී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මහ කොමසාරිස් කාර්යාලයට අවශ්‍ය අරමුදල් මෙන්ම මානව සහ ද්‍රව්‍යමය සම්පත් ලබාදීමටද යෝජනාව හරහා බලාපොරොත්තු වේ.
යෝජනාවේ සඳහන් මූලික කාරණා මෙසේය.

මහකොමසාරිස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න
2015 – 2019 කාලයේ ලංකා රජය සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අතර තිබුණු සාධනීය සම්බන්ධතාව සාදරයෙන් පිළිගනිමින්, එවැනි කටයුතුවල අඛණ්ඩව නියැලී සිටින ලෙස ඉල්ලා සිටිමින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ශක්තිමත් කරන්න
අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතරතුර, ඒවායේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරමින්, ඒවායේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා තාක්ෂණික පහසුකම් ලබාදෙමින්, හානියට පත් සහ අවදානමට පත්විය හැකි පවුල් සඳහා අතුරු සහන ක්‍රියාමාර්ග ගැනීමට ඒවාට ඉඩ සලසා දෙමින් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයගේ ඉරණම සහ ඔවුන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ පවුල්වලට දැන ගැනීමට හැකිවන පරිදි කාර්යාල දෙකටම සහාය ලබාදිය යුතුය.

වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම
2015 සැප්තැම්බර් මස මහලේකම් කාර්යාලයේ ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ හෙවත් ධෂීඛහි දක්වා ඇති පරිදි, දෙමළ ඊලම් විමුක්ති කොටි විසින් කරන ලද ඒවාද ඇතුළුව ලංකාවේ සිදුවූ සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරනු ලැබේ.

ජනපති කොමිසම පුස්සක්
ලංකාවේ දේශීය යාන්ත්‍රණයන් හරහා වගවීම සිදුනොවීය. 2021 ජනවාරි 22 දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැත. අතීතයේ පැවති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ඇතිකිරීම සඳහා බල අධිකාරියක් එයට ඇතුළත් නොවීම ගැන කනගාටු වෙමු.

සාක්‍ෂි සංරක්‍ෂණය
වගවීම ඉදිරියට ගෙනයාමේ අරමුණින් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගනු ලැබේ. බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහාත්, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනීසිටීම සඳහාත්, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහායවීම සඳහාත්, අනාගත වගවීමේ ක්‍රියාවලීන් උදෙසා උපායමාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කළ යුතුය.

වත්මන් ලංකාවේ පිරිහෙන මානව හිමිකම්
ලංකාවේ පිරිහෙන මානව හිමිකම් තත්වය පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා දෙන, පසුගිය වසර තුළ නැගී එන ප්‍රවණතා පිළිබඳව බරපතළ කනස්සල්ල පළකරනු ලැබේ.
එම ප්‍රවණතා අතරට, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වේගයෙන් මිලිටරිකරණය කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතනද ඇතුළුව අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනය වීම, අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සංකේතාත්මක සිද්ධීන්වලදී වගවීම පිළිබඳ දුර්විපාක අඛණ්ඩව නොලැබීම සහ දේශපාලන බාධා කිරීම්, ආගම් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති, සිවිල් සමාජය ආවේක්‍ෂණය කිරීම හා බියගැන්වීම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සංකෝචනය කිරීම, අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් ක්‍රෑර, අමානුෂික අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්, ලිංගික හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනාදිය ඇතුළත්ය.
පසුගිය වසරවලදී ලබා ඇති සීමිත නමුත් වැදගත් ජයග්‍රහණ ආපසු හැරවීමේ හා අතීතයෙහි දරුණු උල්ලංඝනයන්ට මගපෑදූ ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අවදානමක් මෙම ප්‍රවණතා විසින් ඇති කෙරෙයි.

බලහත්කාර ආදාහනය
කොවිඩ් 19 වසංගතය, ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ අයිතිවාසිකමට බලපා ඇති අතර, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ආන්තිකකරණය සහ වෙනස් කොට සැලකීම උග්‍ර කර තිබේ. මියගිය සියලු දෙනාම ආදාහනය කිරීමටලංකා රජය ගත් තීරණය මගින් මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයන්ට තමන්ගේ ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම වළක්වා ඇති අතර, එමගින් ආගමික සුළුතරයන්ට අසමාන ලෙස සලකන පීඩාවන් හා ආතතීන් උත්සන්න කර තිබීම පිළිබඳ වැඩිදුරටත් කනස්සල්ල පළකෙරෙයි.

කඩිනම්, අපක්‍ෂපාතී පරීක්‍ෂණ කරන්න
කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙසත්, අවශ්‍ය වුවහොත්, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සහ දිගු කලක සිට පවතින සංකේතාත්මකව වැදගත් වන සියලු චෝදනාවලට එරෙහිව නඩු පවරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ආයතන ශක්තිමත් කරන්න
ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයේ ඵලදායී හා ස්වාධීන ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

සමාජ ක්‍රියාකාරීන් ආරක්‍ෂා කරන්න
සිවිල් සමාජ ක්‍රියාකාරීන්/ක්‍රියාකාරිනියන් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ට එරෙහි ඕනෑම ප්‍රහාරයක් පිළිබඳ විමර්ශනය කරන ලෙසත්, බාධා, අනාරක්ෂිතබව සහ පළිගැනීම්වලින් තොරව සිවිල් සමාජයට ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රිය පරිසරයක් සහතික කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ඕනෑම නීතියක් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

ආගමික නිදහස සහ බහුත්වවාදය
සියලු ආගමික ප්‍රජාවන්ට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් සහ විවෘතව හා සමාන පදනමක් මත සමාජයට දායකවීමෙන් ආගමික නිදහස සහ බහුත්වවාදය පෝෂණය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

සහයෝගයෙන් කටයුතු කරන්න
පොරොත්තු ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි ආයතන සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන සේ ලංකා රජය දිරිමත් කරනු ලැබේ.

ලංකාවට උපදෙස් දෙන්න
ලංකා රජයේ එකඟතාවෙන් හා සාකච්ඡා කර, ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදෙන සේ මහකොමසාරිස් කාර්යාලය සහ විශේෂ ක්‍රියා පටිපාටි ආයතන දිරිමත් කරනු ලැබේ.
ප්‍රතිසන්ධානය හා වගවීම පිළිබඳ ප්‍රගතිය ඇතුළුව ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ සිය අධීක්ෂණය සහ වාර්තාකරණය ප්‍රවර්ධනය කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිනු ලැබේ. 49 සැසියේදී මානව හිමිකම් කවුන්සිලයට ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් 51 සැසියේදී වගවීම ඉදිරියට ගෙනයාම සඳහා තවත් විකල්ප ඇතුළත් ප්‍රළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තා දෙකම කවුන්සිලයෙහි අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවන්ට ඉදිරිපත් කරන ලෙසත් ලංකාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.■

නලින්වාදය නම් සීතාම්බර පටය

0

■ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
■ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
■ විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිශ්චන්ද්‍ර

අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම නලින් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු. මෙම පොත්වල සුවිශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකූලභාවයයි. එතුමාගේ දර්ශනයේ ව්‍යාකූලත්වය විස්තර කිරීම කළ යුතු වන්නේ ලිපි පෙළකින් නිසා එයට ප්‍රථම එම පොත් හා ලිපිවල ඇති අන් ලක්ෂණ මුලින්ම විස්තර කරමු.
මෙම පොත්වල ඇති අනෙක් විශේෂ ලක්ෂණය නම් එකම කරුණ නැවත නැවත ලිවීමයි. එසේම එක් කරුණක සිට තවත් කරුණකට පනිමින් යාමත්, එක් තැනක එකිනෙකට නොබැඳුණු විවිධ කරුණු රාශියක් පැවසීමත් පොදුවේ මේ ලේඛනවල දක්නට ලැබෙන මූලික ලක්ෂණයන්ය. එම නිසා නලින් ද සිල්වා මැතිතුමාගේ පොතක පිටු දෙක තුනක් කියවූ පසු පාඨකයා දැඩි මානසික පීඩනයකට හා වෙහෙසකට පත්වෙයි. එසේම එම පිටුවල ඇති කරුණු තේරුම් ගැනීමට ද අපොහොසත් වේ. මෙසේ කරුණු තේරුම් ගැනීමට අපොහොසත් වන පාඨකයා තමන්ට ඒවා තේරුම්ගත නොහැක්කේ තමන්ගේ මුග්ධභාවය නිසා යැයි ස්වයං නිගමනයකට එලඹීමට ඉඩ ඇත. තමන්ගේ මෙම නිගමනය අන් අයට පැවැසීමට නොහැකි නිසා කියවන්නා නලින්වාදය අතිශය ගැඹුරු දර්ශනයක් යැයි සිතීමට පටන් ගනී. කියවන්නාගේ මතකයේ ඉතිරි වන්නේ එම පිටුවල සඳහන් වාක්‍යයක් දෙකක් පමණි. අපට හමුවී ඇති නලින්වාදීන් මෙම වාක්‍ය දෙක තුන වමාරා නලින් ද සිල්වා නම් මහා සිංහල දාර්ශනිකයා බරපතළ මතවාදයක් සිය ස්වයංභූඥානයෙන් පසක් කර ගෙන ඇති බව පවසා ඇත. නමුත් නලින්වාදය කුමක්දැ යි විමසූ විට අතනින් මෙතනින් අගක් මුලක් නොමැති වාක්‍ය සමූහයක් කීමට මිසක් පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කිරීමට ඔවුහු අසමත් වෙති.
නලින් ද සිල්වා මැතිතුමාගේ පොත් කියවීම නම් අසීරු කාර්යය අපි සිදු කළෙමු. නොතේරන දේ නොතේරෙයි කියා නොපැවැසීමට තරම් හීනමානයක් අපට නැත. යමක් නොතේරෙන්නේ ඇත්ත වශයෙන්ම අපට එය නොතේරන නිසාද, එසේත් නැත්නම් එය ලියූ කෙනාගේ මනසේ ඇති ව්‍යාකුලබව නිසාද බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් අපට ඇත.
නලින් ද සිල්වා මැතිතුමාගේ ලිපියක් හෝ පොත් කියවන අයගේ මනසද එතුමාගේ මනස මෙන්ම වියවුල් වේ. ද්විකෝටිකය, ත්‍රිකෝටිකය, චතුෂ්කෝටිකය වැනි එතුමා පවා හරි හැටි අවබෝධ කරගත් නොගත් උභතෝකෝටික වදන් ඒ දාර්ශනික ආහාරයේ ඇත. බෝර්, නිව්ටන්, අයින්ස්ටයින්, කෙප්ලර්, කොපර්නිකස්, ධර්මපාලතුමා, ඕල්කොට්තුමා, මාක්ස්, කේන්ස් වැනි අයගේ නම් කේක් ගෙඩියක තැනින් තැන දැමූ මුද්දරම්පලම් ලෙස ඒවායේ විසිර ඇත. ඒ අතරතුර අනුකාරක මානසිකත්වය, පරගැති චින්තනය, දේශීය අගයන් වැනි වචන අයිසින් ලෙස එහි තවරා ඇත. කාටීසියානු තාප්පය, කාල අවකාශය සම්බන්ධය වැනි ලු‍ණුමිරිස්ද එහි තවරා ඇත. එතුමා මේවායින් පිළියෙළ කල දාර්ශනික ආහාරය දෙස බලන අයෙකුට මෙය හත්මාළුවක්ද, පුඩිමක්ද, බිබික්කමක්ද යන්න වටහාගත නොහැක. එහෙත් එම ආහාරය “ජාතික චින්තනය“ ලෙස එතුමා ලෙස හඳුන්වන නිසා සැබෑ දේශප්‍රේමීන් සමහරක් මේ හත්මාළුව/පුඩිම/බිබික්කම ආහාරයට නොගෙනම ඉතා රස යැයි පවසති. ව්‍යාජ දේශප්‍රේමියෝ තමන්ගේ බඩවඩා ගැනීම සඳහා මෙම හත්මාළුවේ ගුණ කියති.
අපට ඇති වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙම හත්මාළුව /පුඩිම/ බිබික්කම ජාතික චින්තනය යැයි හඳුන්වාගැනීමට එතුමාට බලය දුන්නේ කවුරුන්ද කියාය. එතුමාගේ වාසනාවට හා මේ රටේ අවාසනාවට අපගේ ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත්තේ ජාතික ගීය හා ජාතික කොඩිය පමණි. එමනිසා ජාතික චින්තනය යන වචනය ප්‍රාණ ඇපයට ගෙන, එම වචනයට මුවාවී, එය අවභාවිත කිරීමට එතුමාට ඉඩ ලැබී ඇත. මෙසේ අවභාවිත කරන නලින්වාදී චින්තනය බොහෝ දෙන පිළිනොගත්තත් ඇතැම් සිංහලයන්ගේ මනස විකෘති කරයි. මෙම හත්මාළුව /පුඩිම/ බිබික්කමට ඇඟිල්ලෙන් ඇන පමණක් රසබැලූ මොවුහු ඉතා ඉක්මනින් අතිශයින්ම ඝෝෂාකාරී වෙති. තමන්ට සිතෙන සිතෙන විෂයයන්ගේ විශාරදයන් බවට පත්වෙති. තමන් පඬි වදන් දෙසන විෂයයන් ගැන ගැඹුරු දැනුමක් නැති මෙම ඝෝෂකයන්ගේ මතය සිංහලයන්ගේ මතවාදය යැයි සිතා අන් අයගේ විහිළුවට අප සියල්ලන්ම පාත්‍ර වෙයි.
නලීන් මැතිතුමාගේ ලේඛන හා දර්ශනය පිළිබඳව අපට සිහියට නැඟෙන්නේ රජුගේ සීතාම්බර පටය ගැන කතාවයි. මෙම කථාව විවිධ අයුරින් කියැවේ. එය මෙසේය. එකෝමත් එක කාලෙක එක් රටක රජ කෙනෙක් රජකම් කළේය. තම රටවැසියන්ගේ හිතවත්භාවය නිසැකයෙන්ම දැනගැනීමට රජු උපක්‍රමයක් යෙදීය. එනම් නිරුවතින් රාජ්‍ය සභාවට ගොස් අද තමා සීතාම්බර පටය නම් ඉතා අගනා සළුවක් ඇඳ සිටින බවත්, එය පෙනෙන්නේ නුවණ ඇත්තන්ට පමණක් බවත් පැවැසීමයි. තමන් නුවණ නැත්තන් යැයි අන් අය දැනගැනීමට බියෙන් ඇමතිවරු සියල්ලම එම සීතාම්බර පටය ඉතා අලංකාර යයි පැවැසූහ. ඉන් පසුව එම අගනා සීතාම්බර පටය රටවැසියන්ට පෙන්වීම සඳහා නිරුවත් රජතුමා ඇතෙකු පිට තබා වීදී සංචාර කරවීය. තමන් නුවණ ඇත්තන් යයි හැඟවීමට රටවැසියෝද සීතාම්බර පටය ඉතා අලංකාර යයි පැවැසූහ. එහෙත් පාරක් අයිනේ සිටි එක් හිතුවක්කාර කොල්ලෙක් මෙම විගඩම දැක “හූ, හූ රජ්ජුරුවෝ හෙළුවෙන්”‍ යැයි කෑ ගැසීය. එවිට තමන් කළ බොරුව ගැන ලැජ්ජා වූ රටවැසියෝද රජතුමාට “හූ“ කීහ.
අප ඒ පාර අයිනේ සිටි හිතුවක්කාර කොල්ලා වැනිය. එනමුත් කුඩා වෙනසක් ඇත. අප සිනහ වන්නේ නලින් ද සිල්වා මැතිතුමාට නොව ඔහුගේ නිරුවතට වීමයි. එසේම ඒ රජතුමාත්, මැතිතුමාත් අතර වෙනසක් ඇත. එනම් ඒ රජතුමා තමන් නිරුවතින් සිටින බව දැනගෙන සිටියද නලින් ද සිල්වා මැතිතුමා තමන් නිරුවතින් සිටින බව නොදැන සිටීමයි.
නලින් ද සිල්වා මැතිතුමාගේ හත්මාළුවේ/පුඩිමේ/බිබික්කමේ පිළුණු බව හා අමිහිරි බව එය කා බලා අත්විඳි අපි එම ආහාරයේ ඇති අප්‍රසන්න බව අපගේ ඉදිරි ලිපිවලින් හෙළිකරමු.■

කොමිෂන්, කොමිෂන්, කොමිෂන්

0

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් වුණේ රටේ තිබෙන සකලවිධ රෝග හා ඒවාට තිබෙන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ගැන දීර්ඝ කාලයක් තිස්සේ තමා වටා සිටි වියතුන්, උගතුන් හා ප්‍රාමාණියක් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව සකස් කළ වැඩපිළිවෙලක් හා දැක්මක් ඇතිව බව, සෞභාග්‍යයේ දැක්ම කියවන විට ඒත්තු යයි.

එහෙත්, දැන් හැම පඳුරක් ගානේ ම විශේෂ ජනාධිපති කොමිෂන්, සාමාන්‍ය ජනාධිපති කොමිෂන්, ජනාධිපති කාර්ය සාධක බලකා, ජනාධිපති කමිටු පිහිටුවන විදියට පමණක් නොව විවිධ අවස්ථාවලදී රජයේ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට පාවිච්චි කළ යුතු විවිධ ‘ටූල් කිට්’ ගැන උපදෙස් දෙන අන්දමට, ඒ කිසි ම රෝගයක් ගැන කිසි ම රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් ඔහු විසින් සකස් කරගනු ලැබ නැතැ’යි කිසිවකුට පෙනී යාම හැම අතින් ම සාධාරණ ය. පසුගිය කාලය තුළ නිකුත් කරන ලද සාමාන්‍ය හා අතිවිශේෂ ගැසට් පත්‍ර, නියෝග පමණක් සැලකුවා වුව ද මේ අන්ධකාරයේ අතපත ගෑම් යහමින් ප්‍රදර්ශනය වෙයි.

එක උදාහරණයක් පෙන්විය හැකි ය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නේ රටේ ගම් 25000ක ඇවිද ලබා ගත් තොරතුරු හා අත්දැකීම් ඔස්සේ ගම නගන විශිෂ්ට වැඩසටහනක් ගෝටාභය රාජපක්‍ෂ අපේක්‍ෂකයා සතුව ඇති බව ය. එහෙත්, ජනාධිපති පදවියට පත්වූ පසු මේ වන විට, ජනාධිපතිවරයා ‘ගම සමග පිළිසඳරක්’ නමින් අතිවිශාල මුදලක්, නිලධාරීන්ගේ වැඩ කාලයක් මෙන් ම මහජනතාවගේ කාලයත් නාස්ති කරමින් වැඩසටහනක් පවත්වමින්, ජනාධිපතිවරයා ම ගොස් ජනතාවගේ ප්‍රශ්න අසා දැන ගෙන විසඳුම් දීමේ පිළිවෙතක් පවත්වාගෙන යයි. තනතුරට පත්වීමට පෙර ගම් 25000ක සැරිසරා ගැටලු හඳුනා ගත්තේ නම්, මේ සා විශාල වියදමක් කරමින් යළිත් ගම්වලට යන්නේ මන්ද? ඒ සමහර කුඩා අනුකුඩා ප්‍රශ්න ග්‍රාමනිලධාරීන්ට, කෘෂිකර්ම නිලධාරීන්ට, සමෘද්ධි නිලධාරීන්ට, වනජීවී නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය නිලධාරීන්ට විසඳිය හැකි ඒවා නොවේ ද? විධායකයේ සාමාජිකයන් වන ඔවුන් ඒවා කාර්යක්‍ෂම ව විසඳන්නේ නැතිනම් එහි වගකීම විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා භාර ගත යුතු නැද්ද?

ජනාධිපති කොමිෂන් සභා ද දැන් සතියකට එකක් පත් කරන අන්දමට රට කාර්යක්‍ෂම වී තිබේ. කොමිෂන් සභා පත් කරමින් ද, ඒවාට සාමාජිකයන් පත් කරමින් ද, පත්වන අය ඉල්ලා අස්වන විට අලුත් අය පත් කරමින් ද, කොමිෂන්වල විධාන පත්‍ර සංශෝධනය කරමින් ද, කොමිෂන්වල කාලය දිගු කරමින් ද නිකුත් වන ගැසට් පත්‍ර ගැන මාධ්‍යවල පළවන වාර්තා සුළුපටු නොවේ.

ඇත්ත. රාජ්‍ය නායකයකු අත්තනෝමතික නොවී, අනුන්ගේ අදහස් විමසමින් ප්‍රශ්න හඳුනා ගැනීම හා තීන්දු තිරණ ගැනීම කළ යුතු ය. එහෙත් ඒ සාමාන්‍ය නායකයෙක් ය. ගෝඨාභය රාජපක්‍ෂ යනු එවැනි සාමාන්‍ය නායකයකු නොව, මෙතෙක් පහළ නොවූ ආකාරයේ විශේෂ නායකයෙකි. ඔහු ආවේ ම වියත් මග හරහා රටේ දැවෙන ප්‍රශ්නවලට අතැඹුලකාකාරයෙන් සැකසුණු විසඳුම් ගෙන බව කීවෝ ඔහු සහ ඔහුගේ ම අනුගාමිකයෝ ය. දැන් පරස්පරය නිර්මාණය වී තිබෙන්නේ, ඔහු කී දේ හා ඔහු ම කරන දේ අතර ය.

කොමිෂන් සභා යනු රටේ ප්‍රශ්න අමතක කිරීමටත්, සමහර විට අවුල් කිරීමටත්, තවත් විටෙක තමන්ට වුවමනා විදියට දේශපාලන වශයෙන් පළිගැනීමටත්, අනුන්ට මඩ ගැසීමටත්, ප්‍රශ්නගත කාරණා ගැන කිසිම වැදගත් නිරීක්‍ෂණයක් සිදු නොවීමටත් හේතු වන ආකාරයේ ව්‍යුහයක් බව ඒ ගැන අතිීත අත්දැකීම් අපට කියා දෙයි. රාජ්‍ය ආයතනවල දූෂණ, අකාර්යක්‍ෂමතාව ආදිය සම්බන්ධයෙන් පෙර සිටි ජනාධිපතිවරුන්/වරියන් පත් කර ඇති කොමිෂන් හා කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක කළේ නම්, ලංකාවේ හැඩය මීට වඩා බොහෝ වෙනස්වන්නට ඉඩ තිබිණි. ඒ අත්දැකීම් සමග බලන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කොමිෂන්, කමිටු හා කාර්ය සාධක බලකා ව්‍යාපෘති ද අපට ගෙනෙන්නේ පරණ පන්නයේ කල්පනාවන් ම ය.

කොමිෂන් යනු අධිකරණ ද නොවේ. ඒවාට අපරාධ විමර්ශන ද කළ නොහැක. එහෙත් රටේ ජනමාධ්‍යත්, මහජනතාවත් ඒ බව නොදනිති. කොමිෂන් දේවත්වයට නංවා ඒවායින් කියැවෙන දේ අවසානාත්මක නිගමනය හා දෙවියන්ගේ තීන්දුව ලෙස සලකා විනාශ කළ යුත්තන් විනාශ කිරීමට පෙළ ගැසෙති. හැම දෙයක දී මෙන් ම කොමිෂන් ගැන ද ලංකාවේ ඇත්තේ අඳුරේ දී සතුරාට විදීමේ අත්දැකිීමකි.■

යාපනයේ දූපත් විදුලි ව්‍යාපෘති චීනයට දිය යුත්තක්ද?

  • එවන් තත්වයක් තුළ පැන නඟින ප්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාවෙන් ප්‍රශ්නයක් ඇති කර නොගෙන මෙම කුඩා ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයටම ක්‍රියාත්මක කිරීමට නොහැකිද යන්නය. ඊට හේතුව එය සතුව විදුලි ඉංජිනේරුවන් 1000ක් පමණ, විදුලි අධිකාරිවරුන් 1800ක් පමණ හා තාක්ෂණ නිලධාරින් 8000ක් පමණ යන 10,000ක පමණ තාක්ෂණ සේවකයන් පිරිසක් සිටින නිසාය.
  • ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියේ ලොකුම කොටස යාපනයේ දූපත්වල සිදුකරන කොටස නොවේ. ඒ නිසාම ඔවුන්ගේ භූමිය අසලටම පැමිණ චීන සමාගමකට තරම් නොවටිනා ව්‍යාපෘතියක් සිදුකිරීම ගැන ඉන්දියාව සැක සිතීමත්, එයට විරෝධය පෑමත් තාර්කික බව පෙනේ.

ඇමරිකානු අධිරාජ්‍යවාදය, බටහිර කුමක්ත්‍රණ ගැන කියූ කතාවලට වඩා දැන් රට තුළ කතාබහ අලුත් වන්නේ චීනය ව්‍යාපෘති ගැනය. එයට කියන නම චීන නව යටත්විජිතවාදයද නැතහොත් ව්‍යාප්තවාදය දැයි නොදනිමි. ඊට යෙදිය හැකි නම කුමක් වූවත් ඒ ගැන රට තුළ සිටින ආණ්ඩු විරෝධී පාර්ශව පමණක් නොව අසල්වැසි ඉන්දියාව පවා විරෝධය පාන්නට පටන්ගෙන ඇත. ඒ යාපනයේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදීම සඳහාය. ඉන්දියාව කියා තිබුනේ එම දූපත් තුනේ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලබාදිය හැකි බවත්ය. එසේම චීනය සිය භූමියට ඉතා ආසන්නයේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එය ඉන්දියාවේ ස්වාධිපත්‍යයට කරන බලපෑමක් බවත් ඔවුන් කියා තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පසු ඒ ආකාරයට අසල්වැසි ඉන්දියාවේ අලුත්ම විරෝධය එල්ල වූයේ යාපනයේ අනලතිව්, නයිනතිව්(නාගදීප ) හා ඩෙල්ෆ් දූපත්හි සිදුකරන්නට නියමිත විදුලි ව්‍යාපෘතිය ගැනය. එම ඉන්දීය විරෝධයට හේතුව වන්නේ එම විදුලි ව්‍යාපෘති චීනයට සම්බන්ධ සමාගමක් ක්‍රියාත්මක කිරීමය. ඩොලර් මිලියන 12ක ව්‍යාපෘතියක් වන මෙය චීනයට සම්බන්ධයක් ඇති ීසබදිද්ර – ෑඑයැජයඅසබ සමාගමට ලබාදී ඇත.
දෙමුහුන් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිත අතර ඊට සුළං, සූර්ය බල, කාර්යක්ෂම ඩීසල් හා බැටරි ගබඩා යන ක්‍රම හතර භාවිතා කිරීමට නියමිතය. චීනයට ලබාදී ඇති මෙම කොටස වූ කලී ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ඩොලර් මිලියන 115ක ණයකින් යුත් ව්‍යාපෘතියක පළමු කොටස වන අතර ඉතිරි කොටස් තුනට අයත් වන්නේ රටපුරා විවිධ ප්‍රදේශවලට සම්ප්‍රේෂණ මාර්ග ඇදීමේ කටයුතුය. ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියේ ලොකුම කොටස යාපනයේ දූපත්වල සිදුකරන කොටස නොවේ. ඒ නිසාම ඔවුන්ගේ භූමිය අසලටම පැමිණ චීන සමාගමකට තරම් නොවටිනා ව්‍යාපෘතියක් සිදුකිරීම ගැන ඉන්දියාව සැක සිතීමත්, එයට විරෝධය පෑමත් තාර්කික බව පෙනේ.
එමෙන්ම ඉන්දියාවේ එම සැකයට පදනමක් ඇති බව සිතෙන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් චීන සමාගමට ලබාදීමට යන බවට ඇති ආරංචියත් සමඟය. සුළං විදුලි උත්පාදන උපකරණ සවි කිරීමට යම් කාලයක් වැය වෙතැයි සිතිය හැකි වූවත් මෙම කුඩා ව්‍යාපෘතිය සඳහා අවුරුදු දෙකක කාලයක් අවශ්‍ය නොවන බව විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රමානිකයින්ගේ මතයය. සූර්ය කෝෂ සවිකිරීමටවත්, ඩීසල් ජෙනරේටර් සවිකිරීමටවත්, බැටරි ගබඩා සවිකිරීමටවත් එතරම් කාලයක් වැයවිය නොහැකි බව ඔවුන්ගේ මතයය. මන්ද සකස් කර ඇති ඒ ආකාරයේ විදුලි ජනක උපාංග සවි කිරීම පමණක් සිදුකළ යුතු නිසාය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන දූපත් තුනේ ජනතාවට විදුලිය නැති කමක් නැති අතර එම දූපත් වැසියන්ට විදුලිය ලබාදීම සඳහා දැනට විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ලංකා විදුලි බල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකසා ඇති දත්ත අනුව අනලතිව් දූපතේ සිටින මුළු පවුල් සංඛ්‍යාව 540ක් වන අතර විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 460කි. ක්‍රිලෝ වොට් 180, 250 හා 100 බැගින්වූ ජෙනරේටර් තුනක් එහි විදුලිය ලබාදීම සඳහා ක්‍රියාත්මක වේ. එහෙත් එහි උපරිම ධාරිතාව කිලෝ වොට් 150ක් වේ. නයිනතිව් දූපතේ සිටින මුළු පවුල් සංඛ්‍යාව 1040ක් වන අතර විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 917කි. ක්‍රිලෝ වොට් 500 හා 250 බැගින් ජෙනරේටර් දෙකක් විදුලිය ලබාදීමට එහි ක්‍රියාත්මක වේ. එහි උපරිම ධාරිතාව ක්‍රිලෝ වොට් 380කි. ඩෙල්ෆ් දූපතේ මුළු පවුල් සංඛ්‍යාව 1430ක් වන අතර විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 1250කි. ක්‍රිලෝවොට් 330 හා 250 බැගින් ජෙනරේටර් දෙකක් විදුලිය ලබාදීමට එහි ක්‍රියාත්මක වේ. එහි උපරිම ධාරිතාව ක්‍රිලෝ වොට් 380කි.
ණය මුදල සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව අත්සන් කර ඇති ගිවිසුමේ විස්තර අනුව එම දූපත් තුනට විදුලිය ලබාදීම සඳහා දෙමුහුන් ක්‍රමය යටතේ කොතරම් ධාරිතාවක පුනර්ජනනීය විදුලි ජනන ඒකක සවිකරනවාදැයි සඳහන් වන්නේ නැත. එහෙත් එය දැනට එම දූපත්වල අවශ්‍යතාව අනුව හා ඉදිරි අවශ්‍යතාව අනුව මෙගාවොට් එකකට වඩා වැඩි ධාරිතාවක් යැයි අනුමාන කළ නොහැකිය.
එවන් තත්වයක් තුළ පැන නඟින ප්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාවෙන් ප්‍රශ්නයක් ඇති කර නොගෙන මෙම කුඩා ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයටම ක්‍රියාත්මක කිරීමට නොහැකිද යන්නය. ඊට හේතුව එය සතුව විදුලි ඉංජිනේරුවන් 1000ක් පමණ, විදුලි අධිකාරිවරුන් 1800ක් පමණ හා තාක්ෂණ නිලධාරින් 8000ක් පමණ යන 10,000ක පමණ තාක්ෂණ සේවකයන් පිරිසක් සිටින නිසාය.■

ඊළඟ වසංගතය

0

කොවිඩ්-19 වසංගතයටත් වඩා භයානක ඉදිරියේදී මතු විය හැකියි. ඇතැම් විට භයානක වසංගතයක් ලංකාවෙන් වුණත් මතු වෙන්න පුළුවන්.

■ අමිල රත්නායක

කොරෝනා වෛරසය ගැනත්, දැන් වසංගතය ගැනත් දැන් අපි බොහෝ දේ දන්නවා. දැන් ප්‍රශ්නය දැන දැනත් වසංගතයෙන් ගොඩ එන්නට බැරිව අසමත් වීම.

අපි ඊළඟ වසංගතය ගැන දන්නේ නෑ. මේ මොහොත ඊළඟ වසංගතය ගැනත් කතා කරන්නට සුදුසුම මොහොතක්. කලින් වසංගතයෙන් ජීවිත හානි මෙන්ම ආර්ථික හානි කරගත් අපට ඒ බලපෑම තිබියදීම ඊළඟ වසංගතය ගැන අනතුරු හැඟවීම කර තැබීම යහපත්.

2020ට කලින් ‘ඊළඟ වසංගතය’ යන ලේබලය අයිති වුණේ කොවිඩ්-19 වසංගතයට. සාර්ස්, මර්ස් සහ ඉබෝලා පැමිණීමත් එක්ක විද්‍යාඥයන් මේ ‘ඊළඟ වසංගතය’ ගැන අනතුරු හැඟවීම් කළා. වඩා වේගයෙන් පැතිරෙන, රෝග ලක්ෂණ මතුවීමට දවසක් දෙකක් ගත වෙන මාරාන්තික වෛරසයක් ගැන ඔවුන් තිතට අනාවැකි කීවේ ඒ අනාවැකිය ඇසූ අයගෙන් ගාණ කඩාගන්නට නෙවෙයි. එවැනි වසංගතයකට සූදානම් විය යුතු බවට සැලසුම් සකසන්නට.
දැන් අන්තර්ජාලයේ වැඩිම පිරිසක් නරඹා ඇති අනාවැකිය තමයි බිල් ගේට්ස් මේ වසංගතය ගැන කල් තියා කළ අනතුරු හැඟවීම. එහෙත් තවත් අනතුරු හැඟවීම් ගණනාවක් තියෙනවා.
අවුරුදු 17කට කලින්, 2004 දී වසංගත පිළිබඳ විශේෂඥයෙකු වන පීටර් ඩැසෙක් මිනිත්තු 60 නම් රූපවාහිනී වාර්තාමය වැඩසටහනේදී අනතුරු හැඟවීමක් කළා.

‘ඊළඟ වසංගතය සාර්ස් (පවුලේ) වෛරසයක් විය හැකියි. එහෙත්, එය සාර්ස් වෛරසයට වඩා වේගයෙන් ලෝකයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා යන්න පුලුවන්. සාර්ස් වෛරසයට වඩා බොහෝ මාරාන්තික වේවි. ඒ ගැන බියෙන් රෑට නින්ද යන්නේත් නෑ.’
මේ අනාවැකිය කෙතරම් නිශ්චිතද කීවොත්, ඔහු විශේෂ ශක්තියකින් තවත් අනාවැකි කියා තිබෙනවාදැයි හොයන්නට හිතෙනවා. ඇමෙරිකානුවෙක් ලංකාව නම් රටට ගිහින්, ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන, ආරක්ෂක ලේකම් වී, පසුව ජනාධිපති වේවි කියලාත් ඔහු අනාවැකියක් කියා තිබුණාදැයි හොයා බලන්න හිතෙනවා.

අවුරුදු 17කට කලින් මෙවැනි අනතුරු හැඟවීමක් කිරීම කෙතරම් පුදුම සහගතද. විද්‍යාඥයන් මේ තරම් නිශ්චිතව කල් තියා අනතුර පෙන්වුවත්, කිසිවෙකුට කිසිවක් කරගන්නට නොහැකි වීම කෙතරම් ඛේදජනකද. ඔහු කී ලෙසම කොවිඩ්-19 කියන්නේ සාර්ස් වෛරසය අයිති පවුලට අයත් එකක්. සාර්ස්-කොව්-19 නමින් එය හඳුන්වන්නේ ඒ නිසයි.

මහාචාර්ය කැතරීන් එෆ් ස්මිත් ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් 2014 දෙසැම්බර් 06 වැනිදා පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙවැනි වසංගත පැතිරීම ගෝලීය මට්ටමෙන් වර්ධනය වෙමින් පවතින බව අනතුරු හැඟවූවා. 1980 සිට වසංගත තීරණාත්මක ලෙස වැඩි වූ බව එම පත්‍රිකාවේ සඳහන් වුණා. 2003 සාර්ස්, 2009 එච්1එන්1, මෑත කාලයේ ඉබෝලා වසංගතය, 2015 මර්ස්, සිකා, නිපා ආදී වසංගත ඒ අතරින් අපට සිහියට නඟා ගත හැකි ඒවා.
අප පරෙස්සම් නොවුණොත් ඊළඟ වසංගතය ඊටත් වඩා භයානක විය හැකියි.

වයිස් නම් නාලිකාවේ වාර්තා වැඩසටහනකට පසුගිය වසරේ මැද එක් වූ ග්ලෝබල් වයිරෝම් ප්‍රොජෙක්ට් ආයතනයේ ප්‍රධානී ඩෙනිස් කැරල් මේ ගැන අනතුරු හැඟවූවා. ‘දැනටත් වනජීවීන් අතර වෛරස ගමන් කරනවා. සාමාන්‍යයෙන් 60 සිට 70 දක්වා ප්‍රතිශතයක් ආසාධිත මිනිසුන් මරා දැමීමට හැකියාව ඇතැම් වෛරසවලට තියෙනවා.’

‘ඒ කියන්නේ කොරෝනා වෛරසය අනාගතයේ එන භයානක වසංගතයකට පෙර පුහුණුවක් විතරද?’ වයිස් ආයතනයේ මාධ්‍යවේදියා ඔහුගෙන් විමසනවා.

‘මෙය සොබාදම් මාතාවට අප වෙත දෙන්නට තියෙන භයානකම දේ බව අපේ තර්ක බුද්ධියට අනුව කිසිසේත්ම හිතන්න බෑ.’ ඩෙනිස් කැරල් අනතුරු හඟවනවා.

කෙනෙක් සිතාවි, දැන් අප එක් වසංගතයකින් බැට කෑ නිසා ඊළඟ වසංගතයට සූදානම් වීමට ලොව පුරා නායකන් කල්පනා කරනවා ඇති බව. එහෙම හිතනවා නම් ඒ කෙනා පසුගිය වසර පුරා වසංගතයට මුහුණදුන් නායකයන් දෙස විමසිල්ලෙන් බලා ඉඳලා නෑ. මේ වසංගතයට හරිහැටි මුහුණ නොදුන් නායකයන්, අනාගතයේ එන වසංගතයකට සූදානම් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්නේ කොහොමද.

පැන්ඩමික් නම් කෘතිය ලියූ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී සෝනියා ෂා ඒ අනාගතය ගැන අනතුරු හඟවනවා. ‘මේ වගේ දෙයක් අවසන් වූ විගස අපි සුපුරුදු දිවි පෙවෙතට මාරු වෙනවා. අපට අවශ්‍ය එන්නත් ලැබුණු ගමන්, වසංගතය පාලනය කරපු ගමන් අපි, ජීවිතයක් ගත්තාට පසු අවශ්‍ය සමාජ වෙනස කරන්නේ නෑ.’

ඇගේ අනුමානය විශ්වාස කිරිම අසීරු නෑ. පේන්නේ නැතිද? අප අවුරුදු තිහක යුද්ධයක් අවසාන වුණාටත් පස්සේ නැවත යුද්ධයක් ඇති නොවෙන්නට ප්‍රතිකර්ම නොකර, යුද්ධයකටම යන්න දඟලන හැටි.

අප දැන් පීඩා විඳින කොරෝනා වෛරසය ආවේ සතුන්ගෙන් මිනිසුන්ට. ඒක කිසිසේත්ම අහඹුවක් නෙවෙයි. 2007 දී පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෑත ඉතිහාසයේ වසංගතවලින් සීයට 75ක්ම සතුන්ගෙන් මිනිසුන්ට ආ ඒවා.

ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයක් වන අයිපීබීඊඑස් ආයතනය 2020 දී ජෛව විවිධත්වය හා වසංගත යන තේමාවෙන් විශේෂ වාර්තාවක් පළ කළා. ඔවුන් එහි සඳහන් කළේ අනුමාන කරන ආකාරයට තවමත් හඳුනා නොගත් වෛරස් මිලියන 1.7ක් පමණ කුරුල්ලන් හා ක්ෂීරපායී සතුන්ගේ සිරුරුවල තිබෙන බව.

බොහෝ සතුන්ට මේ වෛරස දරා සිටිය හැකියි. අපට පැතිරවිය හැකියි. කුරුල්ලන් හා ඌරන්ට ඉන්ෆ්ලුවැන්සා දරා සිටිය හැකියි. චිම්පන්සින්ට එච්අයිවී දරා සිටිය හැකියි. ඉබ්බන්ට සැල්මනෙල්ලා දරා සිටිය හැකියි. නිපාහ්, ඉබෝලා, කොරෝනා ආදී වෛරස් බොහොමයක් දරා සිටිය හැකි සතුන් වර්ගය වන්නේ වවුලන්.

වවුලන් හැම තැනම පාහේ ඉන්නවා. ලංකාවේ තිබෙන පූජනීය ස්ථානයක් වන දිවා ගුහාවට හෝ වෙනත් ගුහාවකට ගියොත් වවුලන් එල්ලී සිටිනු දැකිය හැකියි. එහෙත්, වවුලන් ඉන්නේ ඒ ගුහාවල විතරක් නෙවෙයි. කොළඹ නගරයේ උද්‍යානවල මෙන්ම නාට්‍ය ශාලාවලත් වවුලන් එල්ලී ඉන්නවා.

2016 දී පීබීඑස් රූපවාහීනි නාලිකාවේ ‘නිව්ස් අවර්’ වැඩසටහනකදී සංචාරකයන් යන එන ගුහාවකදී අප කලින් උපුටා දැක් වූ 2014 දී අනාවැකි කී විශේෂඥයා වන පීටර් ඩැසෙක් තවත් අනතුරු හැඟවීමක් කර තිබුණා. ඔහු ගුහා වහලේ එල්ලී සිටින වවුලන් පෙන්වමින් වෛරස් රෝග බෝ වී මේ අනතුර කීවා.

‘එක් සංචාරකයෙක් මේ ගුහාව තුළ ඇවිදින විට, උඩ සිටින වවුලෙක් මුත්‍රා හෝ මළපහ කළොත්, ඒ වැරදි මොහොතේදී සංචාරකයෙක් හුස්මක් ඇතුළට ගත්තොත් වෛරසයක් ශරීරයට එකතු විය හැකියි. එය ඒ සංචාරකයාගේ ජීවිතයට අනතුරක් විය හැකියි. ඒ වගේම ඊළඟ වසංගතයක් මතු විය හැකියි.’

වවුලන් වසංගත පැතිරවීමට හේතු ගණනක් තිබෙනවා. එකක් ඔවුන් පියාඹන නිසා විශාල දුර ප්‍රමාණයක් ආවරණය කළ හැකි වීම. ඔවුන්ට සුවිශේෂී ප්‍රතිශක්තීකරණ පද්ධතියක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබුණාට ඔවුන් අසනීප වන්නේ නෑ. ලොව පුරා ක්ෂීරපායින්ගෙන් සීයට 15ක් වවුලන්ලු.

දැන් සරල යෝජනාවක් තිබෙනවා. ‘ඔක්කෝම වවුලන් මරමු.’ ඒක හේතු ගණනක් නිසා නරක යෝජනාවක්. ප්‍රධාන හේතුවක් තමයි ස්වාභාවික පරිසර පද්ධතිවලට වවුලන් අවශ්‍ය වීම.
අනෙක් අතට අප ටවුමක දකින වවුලන්ගේ සිරුරේ ඔය කියන වෛරස් නොතිබිය හැකියි. සාමාන්‍යයෙන් වෛරස් අප හොයාගෙන අප ළඟට එන්නේ නැහැ. වෛරස් හොයාගෙන මිනිසුන් ඒ වෛරස් ළඟට යෑමයි සිද්ධ වෙන්නේ.

වනාන්තර මධ්‍යයේ සිටින සතුන් තුළ අප මෙතෙක් නොදුටු වෛරස් ආදිය තිබිය හැකියි. දිගින් දිගටම වනාන්තර වැනසීම, සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම ආදී ක්‍රියාවලින් ඒ වෛරස් සමාජයට නිරාවරණය විය හැකි බව වෛරස් විශේෂඥයන් බොහෝ දෙනෙක් අනතුරු හඟවා තිබෙනවා.

වායුගෝලය පිළිබඳ විශේෂඥතාවක් දක්වන රසායන විද්‍යාඥයෙකු වන රොබට් වොට්සන් මෙසේ කියා තිබුණා. ‘ලොවපුරා තෙත් බිම්වලින් සීයට 90ක් දැනටමත් විනාශ කරනවා. වනාන්තර සහ තණ බිම් සම්පූර්ණයෙන්ම පාහේ මනුෂ්‍ය ශිෂ්ඨාචාරයෙන් විනාශ කරලා.’
ලෝක ආර්ථික සමුළුව 2019 ජනවාරි මාසයේදී පළ කරන ලද ප්‍රකාශනයක සඳහන් වන්නේ අලුතින් මතු වන වසංගතවලින් සීයට 31ක් වනාන්තර හෙළි කිරීමට සම්බන්ධ බව. එවැනි සිදුවීම්වලට උදාහරණ ගණනාවක් කිව හැකියි.

මෙය ඇමසන් වනාන්තරයට හෝ කොංගෝ වනාන්තරයට අයිති කාරණයක් නෙවෙයි. අපේ රටවල වනාන්තරවල පවා වෛරස් ජීවත් විය හැකියි. ඊළඟ ගෝලීය වසංගතයට හේතුව අපේ ක්‍රියාකාරකම් විය හැකියි. ඕනෑ නම් එලෙස වෛරසයක් බෝ කර ගැනීමෙන් පසු අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් හෝ ජෛව අවියක් ලෙස ඒ වෛරසය ලේබල් කරන්නත් අපට හැකි වේවි.

දිගින් දිගටම වන සතුන් ගම් වැදීම, නව වනාන්තර හෙළි කිරීම්වලින් ඔවුන් නිරාවරණය වීම අලුත් වසංගතයක් සඳහා හේතුවක් විය හැකියි.

ලංකාවේ වන සතුන්ගේ මස් විකිණීම සිදු නොවුණත්, ලෝකයේ එවැනි මස් විකුණන පිරිස් නිසාත් වසංගතය බෝ විය හැකියි. ඇතැම් තැන්වල ලෝකයේ විවිධ තැන්වලින් ගෙන ආ සතුන් ගබඩා කර තිබෙන්නේ ඒ සතුන් අතර පවා වෛරසයක් බෝ වී සත්ව මස් ගන්නා අයට වසංගතයක් බෝ කිරීමේ හැකියාව ඇතිව.

ඒ වගේම මාංශ සඳහා සතුන් ඇති කරන තැන්වල පවා වෛරස් පැතිරීමේ අවදානම තිබෙනවා.
ඒ සියල්ල එසේ තිබුණත්, අපට ඇතැම් දේවල් නැවැත්වීමේ හැකියාවක් නෑ. වසංගතයක් එපා කියා ඇතැම් ක්ෂේත්‍රවල දැඩි තීන්දු ගැනීමේ හැකියාවක් නෑ. එහෙත් ගත යුතු පියවර බොහොමයක් තිබෙනවා. වනාන්තර විනාශ කිරීම හැකි තරම් අඩු කිරීමත්, වන සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩකඩ තැබීම එක් පියවරක්.

ජනතාව දැනුවත් කිරීම තවත් විසඳුමක්. සතුන් ඇති කරන උදවිය, ග්‍රාමීය වැසියන්ට අසාමාන්‍ය රෝග තත්වයක් සතුන්ගේ හෝ ගම්වැසියන් අතර දුටුවොත් ක්ෂණිකව සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට ඉඩ ලබා දීම තවත් පියවරක්. වසංගතයක් වළකාගන්නට කළ යුතු මුල්ම දේ තමයි කල් තියා තත්වය හඳුනා ගැනීම. චීනය කලින්ම තත්වය හඳුනා ගෙන තොරතුරු හෙළි කළා නම් කොවිඩ්-19 වසංගතය ලෝකයටම නොගොස් වුහාන් නගරයෙන් නවත්වන්න තිබුණා.

පීසීආර් යන්ත්‍රවලින් පමණක් වෛරස් හඳනාගැනීම අසීරුයි, ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර වැනි අවශ්‍ය යන්ත්‍ර මිලට ගෙන තබා ගැනීම තවත් පියවරක්.

ලොව පුරා විද්‍යාඥයන් බොහෝ දෙනෙකු පසුගිය කාලයේ වෛරස් පිළිබඳ පර්යේෂණ රැසක් කළා. ලොව පුරා වැඩිම ආධාර ලැබෙන්නට ඇත්තේ එවැනි විද්‍යාඥයන්ට. එහෙත්, මේ වසංගතය අවසාන වූ පසු ඔවුන්ට ලැබුණු ආධාරත් නතර වේවි. ඔවුන්ගේ පර්යේෂණ මග නවතීවි. ඒ ගැන විද්‍යාඥයන් පවා ඇතැම් අවස්ථාවල සැක පළ කළා. ලංකාවේ අපට නම් මහා පරිමාණයෙන් පර්යේෂණ කරන්නට බැහැ. එහෙත්, වෛරස් පිළිබඳ සමාජ දැනුම වැඩි විය යුතුයි. වෛරස් පිළිබඳ පර්යේෂණ කරන අය සිටී නම්, ඔවුන්ට පහසුකම් සැලසිය යුතුයි.
ඊළඟ වසංගතය එන්නේ කොහෙන්ද කියා අප කවුරුත් දන්නේ නැහැ. එහෙත්, සූදානම් වී සිටීම වැදගත්.■

තව දුරටත් අවශ්‍ය ලීසිං සහනය

කොවිඩ් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙන්නට පටන් ගත්තේ 2020 මාර්තු මාසයේ අග පටන්ය. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ජන ජීවිතයට විවිධ සීමා පනවන්නට රජය කටයුතු කළේය. ඒ සීමා රටේ ආර්ථිකයත්, පුද්ගල ආර්ථිකයත් දුර්වල කළේය. ගැටලු අති විය හැකි විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරිපත් කළ ගැටලු සලකා බලා රජය විසින් විවිධ විසඳුම් යෝජනා කළේය. ඒ අතර බැංකු ණය, ලීසිං වාරික ගෙවා ගැනීමට අපොහොසත්ව සිටින මහජනයාට සහන කාලයක් ලබා දෙන්නැයි මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතනවලට රජය නියෝග කළේය.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2020 මාර්තු 23 වන දා නිකුත් කළ පීඑස්/සීඑස්ඒ/16/2000 චක්‍රලේඛයෙන් ත්‍රී රෝද රථ සඳහා ගෙවිය යුතු ලීසිං වාරක සඳහා මාස හයක සහන කාලයක් ලබා දී තිබිණි. 2020 මාර්තු 30 වන දා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ පීඑස්/සීඑස්ඒ/18/2020 චක්‍රලේඛයෙන් ත්‍රී රෝද රථ, ට්‍රක් රථ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ හා ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ සඳහා සහන කාලයක් ලබා දී තිබිණි. එම චක්‍රලේඛයෙන් පහලොස් ලක්ෂයකට ආසන්න පිරිසකට සහන සැලසෙන බව ද රජය සඳහන් කළේය.

චක්‍රලේඛ නිකුත් කළද ඇතැම් මුල්‍ය සමාගම් ණය වාරික අය කිරීම හා ණය වාරිකයට පොලී මුදල් එක් කිරීම හා වාහන වාරික් නොගෙවූ වාහන අත්පත් කර ගැනීම අඛණ්ඩව සිදු කිරීම නිසා මාස හයක කාලයක් යන තුරු ලීසිං වාරික හෝ ණය වාරික නොගෙවීම් ගැන මුල්‍ය සමාගම්වලින් පොලිසියට කරන පැමිණිලි හා වාහන අත්පත් කර ගැනීමෙන් පසු කරන පැමිණිලි බාර ගැනීමෙන් වැලකී සිටින්නැයි 2020 ජුනි 12 වන දා ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දුන්නේය.

2020 ජූලි මාසයේදී සංචාරක කර්මාන්තයේ නියැලෙන මග පෙන්වන්නන්ගේ වාහන සඳහා එම සහන කාලය වසරක් දක්වා දීර්ඝ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

මාර්තු 30 වනදායින් ආරම්භ වූ සහන කාලය 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් විය. ඉන් පසු එම සහන කාලය 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කළේය.

කොවිඩ් වෛරසයෙන් රටේ ඇති වූ තත්වය නිසා සංචාරක මග පෙන්වන්නන්ට, පාසල් බස් රථ හා වෑන් රථ හිමියන්ට, ත්‍රී රෝධ රථ හිමියන්ට, මගී ප්‍රවාහන බස් රථ හා වෙනත් ව්‍යාපාර කටයු සඳහා ලබාගත් වාහන හිමියන්ට තම වෘත්තිය කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වීය. ඔවුන් ආදායම් උත්පාදනය කළේ ලීසිං හෝ බැංකු ණය මත ලබා ගත් මේ වාහනවලින් සේවා සැපයීමෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සේවයේ නිරත බස් හා වෑන් රථ හිමියන් මින් වඩාත් පීඩාවට පත් වූයේ සෙසු පළාත්වල පාසල් ආරම්ඹ කළත් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ නොකළ නිසාය.

ලීසිං හෙවත් කල් බදු සහන යටතේ වාහන හිමියන් මුහුණ දී ඇති ප්‍රශ්නය පිළිබඳව මැදිහත් කරවකු සේ කටයුතු කරන නීතිඥ සඳරුවන් සේනානායක කියන්නේ මෙවැනි කතාවකි.
‘ලීසිං සමාගම්වල ගිවිසුමේ මෙවැනි වෛරසයක් නිසා රටක ආර්ථිකය කඩා වැටුණු විට මොකද කරන්නේ කියලා සඳහන් වෙන්නේ නෑ. ඒ නිසා සමාගම් යම් තරමක පසුබෑමක් එක්කයි වාහන හිමියන්ගෙන් වාරික අය කරගන්න බලන්නේ. ඒ අයට අය කිරීම් කරන්න වෙන්නේ ආණ්ඩුවේ චක්‍රලේඛවලට යටත්වයි. චක්‍රලේඛයකින් මාස ගාණ සඳහන් කරලා සහනයක් දුන්නා කියලා තියනවා නම් ඒ මාස සඳහා පොලී අය කරන්න සමාගමට බෑ. 2020 මාර්තුවල ඉඳලා වාරික ගෙවලා නෑ. ඒ නිසා වාහනේ අත්පත් කරගන්නවා කියලා සමහර සමාගම් වාහන හිමියන්ට කියලා තියනවා. සහන කාලයක් දීලා තියෙන්නේ. ඒ නිසා සමාගම්වලට එහෙම කියන්න අයිතියක් නෑ.

මේ වෙනකොට ඇති වෙලා තියන ප්‍රශ්න අතර වාහන අත්පත්කරගැනීමේ ප්‍රශ්නය තියනවා. ඉදිරියට ගෙවන්න තියන පොලිය අය කිරීම පිළිබඳ ප්‍රශ්න තියනවා. දඩ පොලී එකතු කරලා ලෝන් දෙකක් දීලා ඒ ලෝන්වලටත් පොලිය එකතු කරපු ප්‍රශ්න තියනවා. හිඟ වාරික තියනවා කියලා වාර්ශිකව වාහනේ ආදායම් බලපත්‍රය ගන්න වාහනේ පොතේ කොපියක් නිකුත් නොකිරීම පිළිබඳ ප්‍රශ්න තියනවා. මුල්‍ය සමාගම් වාරික හිඟ හිටපු ඒ අයගේ මුදලයි පොලියයි ආවරණය වෙන්න ගෙවලා තියන වාහන අත්පත් කරගන්න පටන් අරන් තියනවා. ඒ වාහන විකුණලා සමාගම්වලට සැලකිය යුතු ලාභයක් ලබන්න පුළුවන්.’

දීර්ඝ කළ සහන කාලය අවසන් වන්නේ 2021 මාර්තු 31 වන දාය. සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ තම සංගමයේ සාමාජික පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ තුනක් ලීසිං සමාගම් රැගෙන ගොස් ඇති බවය.

කොළඹ පාසල් ආරම්භ නොකිරීම නිසා පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ හා වෑන් රථවල ආදායම සම්පූර්ණයෙන්ම ඇහිරී තිබේ. පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලීසිං ක්‍රමයට ලබා ගත් වෑන් රථයක් හිමි නම සඳහන් කරන්නට අකමැකි දෙහිවල ප්‍රදේශයේ කාන්තාවක් තම අත්දැකීම ප්‍රකාශ කළේ මෙලෙසය.

‘මම හරි අමාරුවෙන් මූලික මුදල හොයාගෙන, ඉතිරි මුදල ලීසිං කරලා වාහනයක් අරන් පාසල් ළමුන් ප්‍රවාහනය කළ කෙනෙක්. මගේ මහත්තයා තමයි වාහනේ එලෙව්වේ. ඒකෙන් ලැබෙන ආදායමින් තමයි වාහනේ වාරිකේ ගෙවලා අපි දෙන්නා කාලා ඇඳලා හිටියේ. කොළඹ දි්ත්‍රික්කයේ පාසල් විවෘත නොකළ නිසා අපට ආදායම් නැතුව ගියා. අපි ගෙවන්න අපහසු බව කියලා සහන කාලයට පොලී හදන්න එපා කියලා ලීසිං සමාගමට ලිඛිතව දැන්ම් දීමක් කළා. ඒකට උත්තරයක් ලැබුණේ නෑ. පහුගිය දාක සමාගම අපට වාරික හා පොලී ගැන සඳහන් කරලා දැනුම් දීමක් කළා. අපි කිව්වා සහන කාලය ඉල්ලලා අපි ලියුමක් දුන්නානේ කියලා. එහෙම ලියුමක් දීලා නෑ කියලා ඒ අය කියනවා. වාහනේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වෙලා. ඒක ගන්න දුම් සහතිකේ ගන්න ඕනෑ. ඒකට පොතේ කොපියක් ඉල්ලුවා, වාහනේ වාරික හිඟයි කියලා දුන්නේ නෑ.’

ආදායම් බලපත්‍රය යාවත්කාලීන කර ගැනීම සඳහා ලීසිං සමාගම් විසින් පොතේ කොපියක් නිකුත් නොකිරීම පැන නැගී ඇති මූලික ගැටළුවකි. සංචාරක කර්මාන්තයේ හෝ පාසල් ළමුන් ප්‍රවාහනයේ යෙදුණු බොහෝ වාහන හිමියන් පසුගිය කාලය පුරා ජීවත් වූයේ පාර අයිනේ වාහනය නවත්වා පොල්, බිත්තර, කරෝල එළවළු, සැනිටයිසර් වැනි දේ අලෙවි කිරීමෙනි. ආදායම් බලපත්‍රය යාවත් කාලීන කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ඒ අදායම් මාර්ගයද ඇහිරී යයි.

සමස්ථ ලංකා ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවේ ලේකම් දිමිත්‍රි නාලක පවසන්නේ මෙවැනි අදහසකි.

‘මාර්තුවල ඉඳන් අපිත් එක්ක ලීසිං ගෙවාගන්න නොහැකි අය 120000 ක් විතර එකතු වෙලා ඉන්නවා. අපි දැනට විරෝධතා දෙකක් කරලා තියනවා. වාරික ගෙව්වේ නෑ කියලා වාහන අත්පත්කරගන්න එක නවත්වන්න, සහන කාලයට හදලා තියන දඩ පොලිය අයින් කරන්න, 2022 පෙබරවාරි වෙනකන් මේ සහන කාලය දීර්ඝ කරන්න කියලා අපි ඉල්ලන්නේ.
අවුරදු ගණනාවක් මිනිස්සුන්ගෙන් අධික පොළියක් අය කරලා ලබාගත් අධික ලාභයක් මේ සමාගම් සතුයි. ඒ නිසා මුලු ලෝකයේම, මුලු රටේම මිනිස්සු දුෂ්කර අවස්ථාවකට මුහුණපාලා ඉන්න මේ වෙලාවේ අපිට මේ සහනය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. මේ මුදල් අනිවර්්‍යයෙන් ගෙවන්න ඕනෑ බව අපි පිළි ගන්නවා. ඒකට වෙලාව මේක නෙමෙයි. මිනිසුසු ඉන්න දැඩි ආර්ථික පීඩනයක.’■