No menu items!
22.4 C
Sri Lanka
25 August,2025
Home Blog Page 161

අලුත් ගැලවුම්කාරයකු වුවමනා කර තිබේ

0

‘සොමෝසා ක්‍රීඩාංගණයේදී සොමෝසා සෝමෝසාගේ පිළිරුව නිරාවරණය කරයි’ කීර්තිමත් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයකු වූ නිකරගුවානු ජාතික අර්නස්තෝ කාදෙනාල් පියතුමා ලියූ කවියක මාතෘකාවයි මේ (Somoza unveils the statue of Somoza in Somoza Stadium). 1936 සිට 1979 දක්වාවූ වසර 43ක කාලය තුළ නිකරගුවාව තම පරවේණි බූදලයක් මෙන් පරිහරණය කළ සොමෝසා පිය පුතුන් තිදෙනාගේ පවුල් පාලනය පිළිබඳව තැබුණු සටහනකි මෙම කවිය.

මානව හිමිකම් කඩකිරීම, ජාතික සම්පත් මංකොල්ලකෑම හා පවුල් වන්දනාව සොමෝසා ඒකාධිපතිත්වයේ මූලිකාංග විය. 1975 දැවැන්ත භූ චලනයකින් විනාශ වූ මනාගුවා අගනගරයේ වැසියන්ට ලැබුණු විදේශාධාර පවා සොමෝසා පවුල තම ගිණුම්වලට බැර කර ගත්තේය. 1979 බලය අහිමි වන විට එරට කෘෂි ඉඩම්වලින් 22%ක්ද, කර්මාන්ත හා ව්‍යාපාර බොහොමයක්ද හිමිවූයේ අනස්තාසියෝ සොමෝසා ජනපතිවරයාටය. නිකරගුවානු ජාතික ගුවන් සේවය, නැව් සමාගම් 2ක්, බැංකු රක්‍ෂණ සමාගම් පාලක පවුලේ බූදලය අතර විය.

ජනතා සහාය අහිමි වුවද දශක 4කට වැඩි කලක් නිකරගුවාවේ ඔටුනු නොපළන් රජුන් ලෙස ක්‍රියාකිරීමට සොමෝසා පවුලට හැකිවූ ප්‍රධාන හේතු දෙකකි. එකක් නම්, හමුදා ශක්තියයි. සොමෝසාවරු හමුදාව පාලනය කළෝය, හමුදාව සොමෝසා පාලනය රැක්කේය. අනෙක් සාධකය නම් ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් දේශපාලන, යුද්ධමය හා ආර්ථික සහයෝගයයි.

ඇමරිකා-සෝවියට් ශීතල යුද්ධය තුළ මහා බලවතුන් දෙදෙනාම තමන්ගේ පිළ වර්ධනය කරගැනීමේ තරගයක නිරත වූහ. මේ තරගය සහ බල ව්‍යාපෘතිය වෙනුවෙන් භාවිත කිරීමට සොමෝසා පවුල සමත් විය. නිකරගුවාව ඇමරිකාවේ උපග්‍රහයකු බවට පත්කිරීමට සොමෝසාවරු ක්‍රියාකළහ. ඊට ප්‍රතිඋපකාර ලෙස සොමෝසා පාලනය සුරැකීමට ඇමරිකාව ඉදිරිපත් විය.

අද ලෝකය සිටිනුයේ ඇමරිකාව හා චීනය අතර නව ශීතල යුද්ධයක ආරම්භයේය. 1949-1989 කාලය තුළ මෙන් දැන්ද මහා බලවතුන් දෙපළ තම පිළ ලොකු කර ගැනීමේ තරගයක නිරතව සිටී. මෙම තරගය ඉතාමත් තියුණු ලෙස ක්‍රියාත්මක වනුයේ ආසියාවේය. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේය.
චීනය රාජපක්‍ෂවරුන්ට දක්වන සහායත් රාජපක්‍ෂවරුන් චීනයට දක්වන සහායත් වටහාගත හැක්කේ මේ සංදර්භය තුළය.

රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය චිරාත් කාලයක් තම බලය රැකගැනීමටය. වසර ගණනාවක් දරදිය අදිමින් තමන්ට කැඹුරූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ වැනි ඇමතිවරුන්ට මේ දිනවල ලැබෙන සැලකිල්ල තුලින් පෙනීයනුයේ තමන්ගේ පිළ තුළ පවා තම බලයට වචනයකින් හෝ හරස් වීම රාජපක්‍ෂවරුන් නොඉවසන බවය. තමන්ට සුවච කීකරුවූවන්ට බලය නම්වූ කේක් ගෙඩියෙන් කුඩු ටිකක් හා ඉඳහිට අයිසිං රෝසමලක් දීමට රාජපක්‍ෂවරුන් ක්‍රියාකළද, කේක් ගෙඩියේ අයිතිකාරත්වය පවුලෙන් පිටට යාමට ඉඩදීමට ඔවුන් සූදානම් නැත.

2010දී මහින්ද රාජපක්‍ෂ පාලනය 18වන සංශෝධනය ගෙනාවේත් 2020දී ගෝඨාභය-මහින්ද පාලනය 20වන සංශෝධනය ගෙනාවේත් මේ පවුල් බලය රැකගැනීම වෙනුවෙනි. ද්විත්ව පුරවැසියන්ට දේශපාලන බලය අහිමි කරන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට රාජපක්‍ෂවරුන් දැඩි බරක් දුන්නේද එබැවිනි. පවුලේ දැක්ම අනුව ගෝඨාභය මහින්ද පාලනයෙන් පසු බිහිවිය යුත්තේ බැසිල්-නාමල් පාලනයකි. තම ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට බැසිල් රාජපක්‍ෂ මහතා අකැමති බව ඔහුම කියා ඇත. ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කිරීම ගැන ආණ්ඩුව තුළම විමල්-උදය පිළෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ බැසිල් ආගමනය වළක්වාලීමට තිබූ උවමනාව නිසාය. ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කිරීමට රාජපක්‍ෂවරුන් එකා මෙන් පෙනීසිටියේද බැසිල් ආගමනය සමස්ත පවුලේම අවශ්‍යතාවක් වූ නිසාය.

තම පවුල් බලය ස්ථාපිත කොට ව්‍යාප්ත කිරීමේදී දේශපාලන විපක්‍ෂයෙන් හා සාමාන්‍ය සමාජයෙන් පමණක් නොව තමන්ගේම පිළෙන් විවිධ බාධාවන් මතුවන බව රාජපක්‍ෂවරු දනිති. ලොව බොහෝ ඒකාධිපති පාලකයන් මෙන් ඔවුන්ද විදෙස් අනුග්‍රාහකයන් සොයනුයේ එබැවිනි. තමන්ට මිල මුදලින් උදව් කරන, අවි බලයෙන් රැකවරණය දෙන, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී තමන් වෙනුවෙන් පෙනීසිටින බලවත් ආරක්‍ෂකයකු රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය විය. ඉන්දියන් සාගරයේ තම බලය පැතිරවීම සඳහා ආරම්භයක් චීනයට අවශ්‍ය විය.
රාජපක්‍ෂ-චීන සහසබඳතාව නිර්මාණය වූයේ මෙලෙසෙය. මෙම බැඳියාව මෙරට අනාගත ගමන හා ඉරණම තීන්දු කරන තීරණාත්මක සාධකයකි. ‘චී-ලංකා’ යෙදුම හුදෙක් දේශපාලන සටන්පාඨයකින් ඔබ්බට යන අනාගත යථාර්ථයක පිළිබිඹුවක් විය හැක්කේ එබැවිනි.

වැඩකරන විරුවා ෂෂ
2019 වන විට මෙරට දේශපාලනයේ ප්‍රධාන ධාරාවන් තුනේ නායකයන් වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයාත්ය. මේ තිදෙනාගෙන් එක් අයකුටවත් ඊළඟ ජනපති වීමේ ව්‍යවස්ථාමය/යථාර්ථවාදී හැකියාවක් නොවිණි. එහෙත් මෙරට ප්‍රධාන පක්‍ෂ දෙක වූ එජාපය හා ශ්‍රීලනිපය විශාල නායයාමකට මුහුණ දෙන බව 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සනාථ කළේය. 19වන සංශෝධනය නිසා මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් ජනපතිවරණයට තරග කිරීමේ අවස්ථාවක් නොවුණි.
මේ යථාර්ථවාදී නොහැකියාවන් තුළින් ජනපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට විරල ඉඩක් නිර්මාණය විය. ජනපති වරම් නැති මේ ප්‍රධාන ධාරාවේ නායකයන් තිදෙනා එක් වුණා නම්, ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු සහායත් ජනතා සහායත් ලබාගැනීමට හැකියාව තිබුණි. එසේ වූවා නම් ලංකාව හා ලාංකිකයන් වන අප අද තරම් අසරණ හා අනාරක්‍ෂිත තත්වයකට වැටෙන්නේ නැත.

නමුත් තමන්ට ජනපති වරම් අහිමිය යන යථාර්ථය පිළිගැනීමට සිරිසේන ජනපතිවරයාත් වික්‍රමසිංහ අගමැතිවරයාත් මැලිවූහ. ඔවුන් දෙදෙනාම ජනපති සිහිනය අත්හැරියේ නැත. තම මූලිකම අරමුණ වූ රාජපක්‍ෂ පවුල් පාලනය යළි ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා විධායක ජනපති ක්‍රමය සුදුසු බව මහින්ද රාජපක්‍ෂ මහතාද දැන සිටියේය. බල තණ්හාව නිසා ජනපති ක්‍රමය වෙනස් කිරීමේ තවත් අවස්ථාවක් මෙසේ වැළලුණි.

‘රට රකින අපේ විරුවා’ චරිතයට පණ පෙවුණේ ඉන් පසුය. පාස්කු ඉරිදා සංහාරයෙන් ඊට කදිම වටාපිටාවක් නිර්මාණය විය. ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුම් දීමක් ලැබී වුවද එය වළක්වාගත නොහැකි වූයේ 19වන සංශෝධනයෙන් පසුවත් ජනපතිවරයා සතු වූ අත්තනෝමතික බලය නිසා බව කාටත් අමතක විය.

ජාතික ආරක්‍ෂාව බාරව සිටින ජාතික ආරක්‍ෂක මණ්ඩලය ආරම්භ වූ දින සිට මේ දක්වාත් එයට නිසි ආයතනමය හා නීතිමය රාමුවක් ලැබී නොතිබුණි. එහි රැස්වීම්වලට කැඳවීම් ලැබුණේ ජනපතිවරයාගේ අභිමතය පරිදිය. දින 52 කුමන්ත්‍රණයෙන් පසු මෛත්‍රීපාල ජනපතිවරයා අගමැතිවරයාව හෝ ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයාව හෝ පොලිසිය බාර ඇමතිවරයාව ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට කැඳවූයේ නැත. ඒ වෙනුවට ඔහු තමන්ට හිතවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පමණක් නොව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට ඇරියුම් කළේය. එවැනි වගකීම් විරහිත හා ළාමක හැසිරීමකට අවශ්‍ය අත්තනෝමතික බලය 19වන සංශෝධනයෙන් පසුවද ජනපතිධුරයට හිමිවිය.

එක් පුද්ගලයකුට අසීමිත බලයක් ලබාදෙන පාලන ක්‍රමයක සාර්ථක-අසාර්ථකත්වය තීන්දු කරන ප්‍රධානතම සාධකයක් වනුයේ ඒ පුද්ගලයාගේ හැකියාව හා නොහැකියාවයි. විවිධ ප්‍රචාරණ උපක්‍රම හරහා පුද්ගලයකු බැලුමක් මෙන් පිම්බිය හැක. එවන් පුද්ගලයකුට මැතිවරණයන්ද මහා ඉහළින් ජයගත හැක. එහෙත් බලය ලත් විට ඔහුගේ/ඇයගේ පාලන ස්වභාවය තීරණය වනුයේ පිට ඔපය මත නොව ඇතුළත හිස්බව මතය.

යෝධයකුට සරිලන පාවහන් යුගලක් ළදරුවකු හෝ සාමාන්‍ය උස-මහතැති පුද්ගලයකු පය ලෑවොත් කුමක් වේද? එහි ප්‍රතිඵලය වේගවත් ඉදිරි ගමනක් නොව දැවැන්ත කඩාවැටීමකි.
අද ලංකාවත් අපත් පත්ව ඇත්තේ එවන් තත්වයකට නොවේද?

රාජපක්‍ෂවරුන්ට පවුල් පාලනය ඉදිරියට ගෙන යා හැකි පවුලේ අපේක්‍ෂකයකු අවශ්‍ය විය. සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ වැරදි හා දුර්වලතා නිසා දුර්මුඛව පාස්කු ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටි ජනතාවට අලුත් බලාපොරොත්තුවක් අවශ්‍ය විය. මේ උවමනාවන් දෙක සමපාත වූයේ ‘වැඩ කරන විරුවා’ නම්වූ අපූර්ව චරිතය තුළය. එය හුදෙක් මැතිවරණ වේදිකාව මත කරන රංගනයක් බව කාට කාටත් අමතක විය.

රංගනය පිටුපස වූ යථාර්ථය වටහාගැනීමට ඉඩකඩ නොතිබුණාම නොවේ. 2019 ජනපතිවරණයට පෙර පොදු ජන පෙරමුණ පැවැත්වූ එකම මාධ්‍ය හමුවේදී ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ නැගුණු ප්‍රශ්න අතලොස්සට වුවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැක්වූ ප්‍රතිචාරය ඉන් එකකි. වියත් මගේ පෙරටුගාමී වියතුන්ගේ වියත් බවත් ඔහුගේ වියත් බවත් අතරැති සමානත්වය වටහා ගැනීමට ඒ ප්‍රමාණවත් විය.

තවත් එවැනි උදාහරණයක් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ පාලනය යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අත්වූ ඉරණමයි. ආරම්භයේ සිටම ලාබ ලැබූ නාගරික සංවර්ධන අධිකාරිය ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ පාලනයට ලක්වූ පසු පාඩු ලබන්නට විය. ලාබ ලැබූ ආයතනයක් පාඩු ලබන තත්වයට පත්කළ පුද්ගලයකුට රටක ආර්ථිකයක් බාරදුනහොත් අත්විය හැකි ඉරණම සිතාගැනීමට අපහසු විය. නමුත් ජනපතිවරණ ව්‍යාපාරය තුළ මේ පිළිබඳව කතිකාවක් නොවීය. එක් දිනකට රුපියල් බිලියන 240 ගණන් අච්චු ගසන තැනට ලංකාව පත්ව ඇත්තේ මේ නිසාය.

මෙරට ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩිම අසාර්ථකත්වයක් ලැබූ ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතිහාසයට එක්ව හමාරය. රාජපක්‍ෂවරුන් වන්දනාමාන කරන සුළුතරයක් මේ යථාර්ථය පිළිනොගත්තද, රාජපක්‍ෂ පවුලත් ආණ්ඩුවේ බහුතරයකුත් එය දන්නා බව පැහැදිලිය. නියඟයෙන්, ආර්ථික කඩාවැටීමෙන් හා පරිසර විනාශයෙන් පීඩිතව අපේක්‍ෂා භංගත්වයට හා කෝපයට පත්ව සිටින අතිබහුතරයක් ලාංකිකයන්ට බැසිල් නම්වූ ‘නවකතම මිරිඟුව’ නිර්මාණය කිරීමට රාජපක්‍ෂ පවුලත් ආණ්ඩුවේ කොටසකුත් උත්සාහ කරන්නේ එබැවිනි.

ගෝඨාභය අයියාට වඩා බැසිල් මල්ලි දක්‍ෂයකු විය හැක. නමුත් ඔහුට තබා විශ්වකර්මයාටවත් රාජපක්‍ෂ බලය හා රට යන දෙකම රැකිය නොහැක. වසංගත පාලනය මායාවක් වී ඇත්තේත් ආර්ථිකය කඩා වැටී ඇත්තේත් රාජපක්‍ෂ නොහැකියාව නිසාය. ලංකාව චීනයේ අතකොළුවක්ව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ බල තණ්හාව නිසාය. නීතිය විහිළුවක්ව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ අවනීතිකභාවය නිසාය. මේ ප්‍රශ්නවලට මූලික හේතුව රාජපක්‍ෂ පාලනයයි. ලංකාව නොනිල රාජාණ්ඩුවක් කොට පරපුරෙන් පරපුරට එහි ඔටුනු නොපළන් රජවරුන් වීමට රාජපක්‍ෂවරුන්ට ඇති ලෝභයයි. අයියාගෙන් ගිලිහී ඇති ‘වැඩකරන විරුවාගේ’ සළු පිළි හා වෙස්මුහුණ මල්ලිට පළඳවා මුල් චරිතය ඔහුට දුන්නාට මේ කිසිවක් වෙනස් වන්නේ නැත. වනුයේ තවත් මිරිඟුවක් හඹා ගොස් හතිවැටීම පමණි.

ගැලවුම්කරුවාගේ දේශපාලනය පිළිබඳ දෙවරක් සිතීම
වැඩකරන විරුවා ෂෂ හෙවත් බැසිල් ගැලවුම්කාරයාගේ ආගමනයෙන් පසු රාජපක්‍ෂ පවුලේ මූලික අවධානය යොමුවනු ඇත්තේ තම පිටපොත්ත යළිත් ඔපමට්ටම් කොට ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වන්නට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගැනීමය. ඒ අතරමැදි මැතිවරණය හොඳින් හා නරකින් ජයගත හැකි නම් රාජපක්‍ෂ පවුලේ දේශපාලන අවසානය නතර කොට පවුල් ව්‍යාපෘතියට නව පණක් දිය හැකි වනු ඇත.

එකම භාෂාවක් හෝ හරිහැටි නොදන්නා අයකු තමන් ෂඩ්භාෂා පරමේශ්වර යයි සිතා කටයුතු කළහොත් එහි ප්‍රතිඵලය ව්‍යසනය හා විගඩම අතර දෝලනය වනු ඇත. අද රාජපක්‍ෂ පාලනයට අත්ව ඇත්තේද, ඒ ඉරණමය. මුදල් අච්චු ගැසීමෙන් මූල්‍ය අර්බුද විසඳිය හැකි නම් ආර්ථික විද්‍යාවක් හෝ මුදල් ඇමතිවරයකු හෝ මහ බැංකුවක් අවශ්‍ය නොවේ. එවිට ඕනෑම දුප්පත් රටකට සෞභාග්‍යය අත් කරන්නට අවශ්‍ය වනුයේ මුදල් නිර්මාණය කිරීම පමණි. මේ සරල සත්‍යය වටහා ගන්නට අසමත් පාලනයකින් ව්‍යසනය වැඩිවීම විනා වෙන කිසිවක් අපේක්‍ෂා කළ නොහැක. ජනතාවටද එය වැටහෙමින් පවතී.

එළඹෙන පළාත් සභා මැතිවරණය දිනාගැනීමට රාජපක්‍ෂ පවුලේ නව ගැලවුම්කාරයාට හැකි වුවහොත් ඒ විපක්‍ෂයේ අසමගිය නිසාය.

2015 ජනපතිවරණය දිනාගත හැකිවූයේ විපක්‍ෂයේ සමගියත් ආණ්ඩුවේ අසමගියත් නිසාය. අද ආණ්ඩුව අසමගිය. ඊටත් වඩා විපක්‍ෂය අසමගිය. විපක්‍ෂයේ නායකයෝ බොහෝ දෙනෙක් ජනපති සිහිනයෙන් මත්ව සිටිති. කොතරම් මත්ව සිටින්නේද යත්, අතරමැදි මැතිවරණ දිනාගැනීම ජනපතිවරණය දිනාගැනීමට හොඳම මග යැයි වටහාගන්නටවත් ඔවුන් අසමත් සේය. රාජපක්‍ෂ පාලනයෙන් හති වැටී සිටි ජනතාවගේ ඊළඟ ගැලවුම්කාරයා බවට පත්වීම හා ඒ හරහා ජනපති පුටුවේ වාඩිවීම ඔවුන් බොහොමයක අභිප්‍රායයි. ගැලවුම්කාර දේශපාලනයේ මිථ්‍යාව හෙළිදරව් කරනවා වෙනුවට ඒ මිථ්‍යාව තමන්ගේ ඉදිරිගමන සඳහා යොදාගැනීමට ඔවුහු බොහෝ දෙනෙක් තැත් දරති.

2019 ‘වැඩ කරන විරුවා’ රංගනයට ජනතාව රැවටීම සඳහා ඉමහත් මෙහෙයක් කළ, කෙන්ද කෙන්ද බව දැනත් එය නිකම්ම කන්දක් නොව මහා මේරුවක් ලෙස හුවා දැක්වූ භික්‍ෂු දේශපාලකයන් පිටුපසින් යාමට තරම් විපක්‍ෂයේ ඇතැම් නායකයන් ප්‍රතිපත්ති විරහිත වී ඇත. ඊළඟ ‘දියසෙන්’ ලෙස මේ භික්‍ෂු-දේශපාලකයන්ගෙන් වරම් ලැබීමට විපක්‍ෂයේ ඇතැම් නායකයන් අතර ඇත්තේ තරගයකි.

දේශපාලනයත්, ආගමත් බද්ධ වීම දේශපාලනයට මෙන්ම ආගමටද අහිතකරය. 1956 සිදුවූයේත් අද සිදුවන්නේත් එයයි. ආගම හා දේශපාලනය අතර බෙදුම් රේඛාව යළි නිර්මාණය කිරීම තුළින් ආගමින් දේශපාලනයත් දේහපාලනයෙන් ආගමත් රැකගැනීමට මේ හොඳම කාලයයි. ඒ කර්තව්‍යය කරනු වෙනුවට පොදු සමාජයේ පමණක් නොව තමන්ගේ අනුගාමිකයන් අතර පවා අපකීර්තියට, අප්‍රසාදයට හා අපහාසයට පත් දේශපාලනික භික්‍ෂූන් වන්දනා කරමින් ඔවුන්ගේ සහාය දිනාගැනීමට විපක්‍ෂයේ ඇතැම් පිරිස් දරන උත්සාහයෙන් පෙනීයනුයේ බල තණ්හාවෙන් බුද්ධිය කුරුවල් වීම රාජපක්‍ෂවරුන්ට සුවිශේෂ වූ රෝගයක් නොවන බවය.

ශානි අබේසේකර නඩු තීන්දුව ප්‍රමුඛ අධිකරණ ක්‍රියාකාරකම් ගණනාවකින් සනාථ වනුයේ අධිකරණයේ කොඳු නාරටිය දුර්වල කිරීමට රාජපක්‍ෂ පාලනය ගත් උත්සාහයන් අපේක්‍ෂිත සාර්ථකත්වය ලබා නොමැති බවය. සිවිල් ක්‍රියාකාරික අසේල සම්පත් සිද්ධියෙන් පැහැදිලි වනුයේ 2015ට පෙර තිබූ අයුරින් සමාජය යළිත් භීතියෙන් අකර්මණ්‍ය කිරීම අපහසු බවය. ‘අපි තරම් හොඳින් කවුරුවත් වසංගතය පාලනය කළේ නැහැ, අපි තරම් හොඳින් කවුරුවත් පරිසරය රැක්කේ හෝ පාතාලය මට්ටු කළේ හෝ අපරාධ අඩු කළේ හෝ නීතිය ක්‍රියාත්මක කළේ හෝ නැ’ වැනි චේතිය රජ පන්නයේ ප්‍රචාරයන්ට ජනතාව රැවටීම දිනෙන් දිනම අපහසු වේ. විපක්‍ෂයකට ආණ්ඩුවක් විසින් මෙතරම් ඉක්මනින් හා මෙතරම් සාර්ථක දේශපාලන තෝතැන්නක් නිර්මාණය කළ වෙනත් අවස්ථාවක් නොමැත.

රාජපක්‍ෂ පවුල් පාලනය පරාජය කිරීම අපහසු නැත. 2015දී එය දෙවතාවක් සිදුවිය. අවශ්‍ය ඒ පවුල් පාලනයට ඉඩ සැලසූ දේශපාලන මතවාදය හා භාවිතාවන්ගෙන් ඉවත් වීමයි. සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ මූලික වරද නම් රාජපක්‍ෂ ක්‍රමය අනුකරණය කිරීමට උත්සාහ කිරීමයි. අද විපක්‍ෂයේ ඇතැම් නායකයෝද ඒ වැරැද්දම කරති. තමන් ගැලවුම්කාර වේශ ගන්නේත් ගැලවුම්කාර දේශපාලනයේ යෙදෙන්නේත් එබැවිනි.

ගැලවුම්කාරයන් අයිති ආගමට විනා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නොවේ. එය පිළිගැනීම මේ රටට පිළිකාවක්වූ පවුල් දේශපාලනයෙන් හා එහි වත්මන් ප්‍රතිමූර්තිය වූ රාජපක්‍ෂ පාලනයෙන් බැහැර වීමේ පළමු පියවරයි.■

මාධ්‍ය ආයතනවල ලිංගික හිංසනයට විරුද්ධව හඬ නැගෙයි

‘මීටූ’ ශ්‍රී ලංකා ව්‍යාපාරය හරහා සාරා කැල්ලපත මාධ්‍යවේදිනිය මෙරට මාධ්‍ය ආයතනයකදී තමා ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කිරීම පිළිබඳ කාරණය ජාත්‍යන්තරයට ප්‍රසිද්ධ කිරීමත් සමඟ, ලංකාවේ මාධ්‍යවේදිනියෝ හිංසනයට එදිරිව පෙරට පැමිණෙමින් සිටිති.

දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන මීටූ (ඵැ ඔදද- ‘මටත ‘මටත්’) ව්‍යාපාරය වූකලි ලිංගික අපයෝජන සහ ලිංගික හිරිහැරවලට එරෙහි සමාජ ව්‍යාපාරයකි. ලිංගික හිරිහැරවලින් ගැලවුණු සමාජ ක්‍රියාකාරිනියක වන තාරනා බර්ක් මුල් වරට මෙම නම භාවිත කර ඇත්තේ 2006 වසරේදීය. හිංසනයට ලක්වූ ස්ත්‍රීන් සන්නිවේදනයෙන් සහ සහයෝගිතාවෙන් බලගැන්වීම එහි මූලික අභිප්‍රාය වී තිබේ.

වසර 2000 සිට 2017 දක්වා කාලය තුළදී මෙරට නම් නොකරන ලද මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී පිරිමි කාර්ය මණ්ඩල නිලධාරියෙකු තමාව දූෂණය කරන බව කියමින් තර්ජනය කළ බව සිහිකැඳවමින් මාධ්‍යවේදී සාරා කැල්ලපත පසුගිය සතියේ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි. ඇගේ ගිණුමේ ප්‍රකාශයට සහාය පළකරමින් නන් දෙසින් මාධ්‍යවේදිනියන් හිංසනයට එදිරිව කතා කිරීම ආරම්භ කිරීමත් සමඟ ලංකාවේ මාධ්‍යවේදිනියන්ට මාධ්‍ය ආයතනවල මුහුණ දෙන්නට වන හිංසනයන් පිළිබඳ තත්ත්වය විවෘතව කතා කරන්නට පසුබිම එනයින් ආරම්භ කෙරුණි.

සාරා කැල්ලපත ඒ ආකාරයෙන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණු කරුණුවලට එනම් සිය අත්දැකීම්වලට සහ මීටූ ව්‍යාපාරයට සහාය වන ආකාරයෙන්, මෙරට නම් නොකරන ලද මාධ්‍ය ආයතනයක රාජකාරී කරන මාධ්‍යවේදිනියක වන දිනිති ධර්මපාල පසුගිය සතියේ සිය ට්විටර් ගිණුමේ සටහන් තැබීමත් සමඟ මෙම කතාබහ තවත් පුළුල් වන්නට විය. දිනිති ධර්මපාල සිය ගිණුමේ සටහන් තැබීමෙන් අනතුරුව ඇය රාජකාරි කළ ආයතනය එම පණිවුඩය වහාම ඉවත් කරගන්නා ලෙසට බල කරමින් ඇය පීඩනයට පත්කරන්නට කටයුතු කරන්නට පියවර ගනිද්දී ඇය ආයතනයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා පෙන්වා දී ඇත්තේ මාධ්‍ය ආයතන තුළදී කාන්තාවන්ට සිදු වන ලිංගික හිංසන පිළිබඳව විවෘත සංවාදයක් ගොඩ නඟන ‘මීටූ ශ්‍රී ලංකා’ ව්‍යාපාරයට සහාය දක්වමින් තමා පළ කළ ට්විටර් ගිණුමේ ප්‍රකාශයන් වහාම ඉවත් කර ගත යුතු බට තමන්ට දැනුම් දුන් බවයි.

දිනිති තමන්ගේ අත්දැකීම සහ ඉදිරිගාමී තීන්දුව ගැන අනිද්දා වෙත පැවසුවේ මෙවැන්නකි.

‘සාරා කැල්ලපතට සහාය දෙන මගේ ට්විටර් පණිවුඩය ඉවත් කරගන්නා ලෙස එවිට මම රාජකාරි කළ මාධ්‍ය ආයතනයෙන් මට බලපෑම් කලා. සමාජ මාධ්‍ය තුළ මා ලියූ මාගේ පෞද්ගලික අදහස, ඉවත් කරගන්නට කටයුතු නොකරන බව මා පෙරලා පැවසුවා. ආසන්නතම වශයෙන් මේ කාරණය හේතු කොටගෙන මා ආයතනයෙන් ඉල්ලා අස්වුණා. මා ආයතනයේ නම හෙළිකරන්නේ නැහැ. මාධ්‍ය ආයතන තුළ කාන්තාවන්ට තිබෙන හිංසනය පිළිබඳ දැන් මතුවී ඇති සංවාදයට ආයතනවල නම් හෙළි කිරීම බාධාවක් වන බවක් මා සිතනවා. ආයතනයකට එරෙහිව කටයුතු කරනවාට වඩා රටේ කාන්තාවන්ට තිබෙන හිරිහැර ගැන කතා කිරීම තමයි දැන් අපේ අරමුණ වී තිබෙන්නේ. මීටූ ශ්‍රී ලංකාහි සාරා කැල්ලපත ඇයගේ අත්දැකීම කතාකළා. ඇගේ සටහන ප්‍රසිද්ධ වීමෙන් පසුව ලංකාවේ සහ විදෙස් රටවලත් කාන්තාවන් තමන්ගේ අත්දැකීම් සහ තමන්ගේ කාර්යාල මිතුරියන් මුහුණ දුන් අත්දැකීම් මෙම වේදිකාවේ හුවමාරු කරගන්නට පෙළඹුණා.

මම රාජකාරී කරද්දී මා පෞද්ගලිකවම මගේ ආයතනයේ ගැහැනු ළමයින්ට අත්විඳින්නට වෙන දේවල් මා දුටුවා. මාධ්‍ය ආයතනවල, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය අංශවල වැඩකරන අය වෙනසක් නැතිව හිංසනයට ලක්වෙනවා. සිංහල අංශයේ රාජකාරි කරන කාන්තාවන් අල්ලනවා, අශෝභන වදනවලින් කතා කරනවා, අනවශ්‍ය ආකාරයට කෑගහනවා සහ බියවද්දවනවා වැනි දේවල් බහුල වශයෙන් සිදුවනවා මා දකිනවා. ඉහළ පරිපාලනයට මේ පිළිබඳව නිරන්තරව දැනුවත් කළත් ඔවුන් කිසිදු පියවරක් ගන්නේ නැහැ. හිංසනයට ලක්වන හැමෝම වෙනුවෙන් මා ආයතනයේදී කතා කළා. සමහරුන් මාසික වැටුප වෙනුවෙන් හිංසනය විඳදරා ගෙන සිටින බවක් පේනවා. මම වැටුප වෙනුවෙන් අනවශ්‍ය බලපෑම්වලට මුහුණ දෙන්නේ නැතිව ඉවත් වුණා සහ ඒ පණිවුඩය අනෙක් අය තුළත් ඇතිවන්නට සැලැස්සූවා. මෙය ලංකාවේ එක ආයතනයක් තුළ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ලංකාවේ බොහෝ අයතනවල සිදුවන දෙයක්. ගැහැනු ළමුන් මුහුණදෙන හිරිහැරවලදී ගැහැනු ළමුන් ඊට නොබියව මුහුණදීමට සූදානම් කරවීම තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ.’

තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලංකාවේ ලිංගික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හිංසනයට ලක් වෙමින් සිටින ස්ත්‍රීන්ට මඟපෙන්වීමක් වන බව ඇගේ අදහසයි. මෙවැනි අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විවෘතව කතා කිරීම සහ ඒ පිළිබඳව විධිමත් දැනුමක් ස්ත්‍රී කාර්ය මණ්ඩලයට ඇති බව දැනගනිද්දී ආයතනයේ පරිපාලන ව්‍යුහය කළ යුත්තේ ආයතනය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමය. එහෙත් දිනිතිගේ අත්දැකීමට අනුව තමන් රාජකාරී කරන මාධ්‍ය ආයතනයේ ක්‍රියාමාර්ගය වූවේ අදාළ හෙළිදරව් කිරීම එදිරිවාදීකමක් ලෙස දකිමින් තමන් බලහත්කාරයෙන් නිහඬ කිරීමට බව දිනිති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් අවධාරණය කර තිබේ. ඇයගේ අදහසට අනුව තමන් සහ තමන්ට සමගාමීව රාජකාරී කළ කාර්යාලයීය සගයන්ට දෛනික විඳ දරාගැනීමට සිදු වූ ඉතාමත් අවඥාසහගත අත්දැකීම් පිළිබඳ ආයතනයේ පරිපාලන ව්‍යුහය ඉතාමත් හොඳින් දැන සිටින කාරණයකි.

ආයතනයේ ඉහළ කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකාරීත්වය ආයතනයේ මුල් බැසගෙන ඇති කාන්තා හිංසනයේ ස්වරූපය සහ කාන්තාවන් එනයින් පත්ව ඇති පීඩනය පිළිබඳ අවබෝධයෙන් යුතුව නිහඬ පිළිවෙතකට යොමුවී එම පිළිවෙත ආරක්ෂා කිරීමේ වෑයමක යෙදී සිටින බවත් ඇය අවධාරණය කරයි. දිනිති තවදුරටත් කියන්නේ, සිය ඉල්ලා අස්වීම ආයතනයට ලබාදීමට මත්තෙන්, ආයතනයේ කාන්තාවන් දිගින් දිගටම මානව සම්පත් කළමනාකාරීත්වයට කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ සිද්ධි වශයෙන් වාර්තා කළද ඔවුන් කිසිවිටෙකත් මුනිවත රැකීම අබිබවා ගොස් ක්‍රියාමාර්ගක් ගැනීමට පියවර ගත්තේ නැති බවයි.

මෙහිදී සමාගමේ නිවැරදි ප්‍රතිචාරය විය යුතුව තිබුණේ මේ පිළිබඳව වහාම විමර්ශනය කිරීම සහ ලිංගික, ශාරීරික, වාචික හා මානසික හිරිහැර ඇතුළු සේවා ස්ථානයේ සියලු ආකාරයේ හිරිහැර මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමය. එවැනි පසුබිමක් තුළ තමන් සියලු කාර්ය මණ්ඩලයට විඳදරා ගැනීමෙන් ඔබ්බට ගොස් අයිතිවාසිකමක් රැකගනු වස් එනම් ලිංගික හිංසනයෙන් හෝ වෙනත් අඩන්තේට්ටම්වලින් මීදී රාජකාරි කිරීමට තමන්ට ඇති අයිතිය විදහා දක්වමින් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් ඇය ඉතාමත් ඕනෑකමින් අවධාරණය කර ඇත්තේ, ආයතනය තුළ රාජකාරී කරන කාන්තාවන් ආයතනය තුළම මුහුණ දෙන හිංසනයෙන් අරක්ෂා කර ගැනීම සඳහා කරන මැදිහත්වීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක් නැති බවයි.
මේ අතර ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත එනම් ප්‍රාදේශීය වශයෙන් සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද, මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල එනම් ගිණුම් පරිපාලන වැනි රැකියා කරන කාන්තාවන්ට ද මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව, කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩආරච්චි පැවසීය. දිනිති ධර්මපාලගේ ඉල්ලා අස්වීමත් සමඟ එම සංගමය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින ස්ත්‍රීන්ට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදු වන ලිංගික හිංසනයන් නතර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පිටපතක් යොමු කරමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරාට දැනුම් දී තිබේ. එම සංගමයේ ලේකම් පවසන්නේ ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා ඊට ප්‍රතිචාර ඔවුන් වෙත පෙරළා ලැබී නැති බවය.

සටහන: දිනිති ධර්මපාලගේ ඉල්ලා අස්වීමේ ලිපිය හිරු මාධ්‍ය ජාලයේ ගෝල්ඩ් එෆ්එම් ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ වෙත ඉදිරිපත් කර ඇති බව අපගේ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබිණි. අප ඔහුගෙන් මේ පිළිබඳව කරුණු විමසීමක් කළ විට අපගේ විමසීමට සවන් දී සිටි ඔහු ‘පසුව කතා කරන්නැ’යි කීවේය. එහෙත් පසුව සම්බන්ධ කරගත නොහැකි වූයෙන්, කෙටි පණිවුඩයක්ද තැබූ නමුත් ප්‍රතිචාර ලැබුණේ නැත.■

මින්නේරියේ වනජීවී නිලධාරීන්ට මේජර් ජනරාල්ගේ සත්තම

“මගේ හොඳ නෙමෙයි, මේ ආමි එකේ තියෙන සිස්ටම් එක. පොලීසියෙන් අත දැම්මොත් මම නතර කරනවා. උඹ අත දැම්මොත් මම නතර කරනවාද වාහනේ? උඹලා වගේ පිම්පිලා නෙමේ අපි. කන පලනවා ප…”

මේ අනුරාධපුර දිස්ත්‍රික්කය භාර මේජර් ජනරාල් මොහාන් රත්නායක මින්නේරිය ජාතික උද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා ඇතුළු වන ජීවී නිලධාරීන්ට හමුදා හා පොලිස් හබරණ මරදන්කඩවල අතර පළුගස්වැව මුරපොළක් අබියසදී ආමන්ත්‍රණය කළ ආකාරයය. මේ වචන සටහන් වී තිබුණේ එම අවස්ථාවේ එම සිද්ධියට මුහුණ දුන් වන ජීවී නිලධාරීයෙකුගේ දූරකථනයේ සටහන් වූ වීඩියෝවකය. තමන් අනුරාධපුර දිස්ත්‍රික්කය භාර මේජර් ජනරාල් මොහාන් රත්නායක බව මේජර් ජනරාල්වර්යාගේ කටහඬින්ම එහි සටහන් වී තිබේ.

මෙම ගැටුමට හේතු වූයේ ජුනි 23 වනදා රාත්‍රියේ මින්නේරිය ජාතික උද්‍යානයට අයත් වනජීවී රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ විදුලි වැට ආසන්නයෙන් ගමන් ගත් යුද හමුදාවට අයත් යුහ 51348 හා යුහ 80494 කැබ් රථ දෙක වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට ගත් උත්සාහයත් සමගය.

මින්නේරිය ජාතික උද්‍යානයෙන් අලි පැටියෙකු පැහැර ගැනීමට සූදානමක් ඇති බවත්, ලංකාවේ කුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ කණ්ඩායම දින කිහිපයක් තිස්සේ හබරණ ප්‍රදේශය අවට හෝටල් කිහිපයක ලැගුම් ගෙන සිටින බවට වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ. මින්නේරිය උද්‍යානයේ වනජීවී නිලධාරීහු තම බල ප්‍රදේශය ආවරණය වන ලෙස පැය 24 පුරා රැකවල් ලා සිට ඇත්තේ ඒ නිසාය.

ජුනි 23 වන දා මින්නේරිය ජාතික උද්‍යානයේ, බටහිර මායිමේ, හබරණ කිට්ටුවෙන් වන ජීවී රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ විදුලි වැට ආසන්නයේ කැබ් රථ දෙකක් අතුරු මාර්ගයක පැමිණ තිබේ. එය නතර කරන්නැයි වනජීවී නිලධාරීන් සංඥා කළ ද එම රථ දෙක වන ජීවී නිලධාරීන්ගේ අණ නොතකා ඉදිරියට ධාවනය කර තිබේ. ඉදිරියෙන් තිබූ තවත් වනජීවී මුර කපොල්ලකින් ද වාහන දෙක අණ නොතකා ධාවනය කර ඇත. වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය වන මෙම රථ දෙක පසුපස වනජීවී නිලධාරීන්ගේ වාහන දෙකක් ද ලුහු බැඳ ගොස් ඇත. ඉදිරියෙන් යන රථ දෙක යුද හමුදා රථ දෙක්ක බව හඳුනාගත් වනජීවී නිලධාරීන් ඒ පිළිබඳව ගල්කුලම යුද හමුදා පොලිස් මුරපොලට දන්වා තම අණ නොතකා පැමිණෙමින් තිබෙන හමුදා රථ දෙක නතර කර දෙන ලෙස ඉල්ලා තිබේ.

එම රථ දෙක තමන්ට නැවැත්විය නොහැකි බවත් එම රථ දෙකෙන් එකක ගමන් කරන්නේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු බවත් යුද හමුදා පොලිස් මුරපොලේ නිලධාරීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත. එම යුද හමුදා රථ දෙක අනුරාධපුරයේ 21 වන සේනාංක මූලස්ථානයට ඇතුළු වී තිබෙන්නේ ඉන් පසුවය.

ඒ බව නිරීක්ෂණය කළ වනජීවී නිලධාරීන් මෙහෙයුම නවතා ආපසු එන්නට පිටත් වී තිබේ. අනුරාධපුරයේ 21 වන සේනාංක මූලස්ථානයේ සිට වාහන කිහිපයක් වනජීවී වාහන දෙක පසුපස ලුහු බැඳ පැමිණ තිබෙන්නේ ඉන් පසුවය. හබරණ මරදන්කඩවල අතර පලූගස්වැව ආසන්නයේ හමුදා මුරපොලේදී වන ජීවී නිලධාරීන් පැමිණි වාහන දෙක නතර කර තිබේ. ඉන් සුළු වේලාවකට පසු එම ස්ථානයට වන ජීවී වාහන පසුපසින් පැමිණි හමුදා වාහනයකින් බිමට බැස ආ මේජර් ජනරාල් මොහාන් රත්නායක සහ මින්නේරිය ජාතික උද්‍යානයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන්, එම්.ඩබ්.කේ. වාසල ඇතුළු පිරිස අතර ගැටුමක් ඇති වී තිබේ.
වාහනයෙන් බිමට බැස තවත් හමුදා නිලධාරීන් පිරිසක් පිරිවරා පැමිණි මේජර් ජනරාල් මොහාන් රත්නායක පරුෂ වචනයෙන් බැන වැදී වනජීවි නිලධාරියෙකුට පහර දුන් බවත් තමන්ගේ ජංගම දූරකථන පැහැරගත් බවත් පවසා වනජීවී නිලධාරීන් හබරණ පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධව කළ දැනුවත් කිරීමකින් පසුව හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට පැමිණ තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා නොපැමිණෙන්නට වන ජීවී නිලධාරීන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවන්නට ඉඩ තිබූ බව වන ජීවී නිලධාරීහු පැවසූහ. සිද්ධිය සම්බන්ධව මින්නේරිය ජාතික උද්‍යානය භාරකරු භාතිය මඩුගල්ලේ හබරණ පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ ඉන් පසුවය.

සාමාන්‍යයෙන් අලි පැටියෙක් සොරාගෙන යන්නේ ධනය බලය ඇති පුද්ගලයන් නිසා වනජීවී නිලධාරීන් මෙම වාහන දෙකේ අලි පැටියා රැගෙන යනු ඇතැයි කියා සැක පහළ කළ බවත් මේජර් ජනරාල්වරයා ඒ අවස්ථාවේ වාහන දෙක නවත්වා ඒවා පරීක්ෂා කිරීමට අවසර දුන්නේ නම් මේ ගැටලුව ඇති නොවන බවත් වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා පැවසීය.

වාහනය නවත්වන්නට සංඥා කළ අවස්ථාවේ මේජර් ජනරාල් මොහොන් රත්නායක ගමන් කළ වාහනයේ ඔහුගේ බිරිඳ හා දරුවන් සිටි බැවින් වන ජීවී නිලධාරීන් ඔහුගේ වාහනය පරීක්ෂා කිරීම යුතු නැති බව හමුදා නිලධාරියෙකු පවසන අයුරු සිද්ධිය සිදු වූ අවස්ථාවේ ජංගම දූරකථනයක සටහන් වී තිබේ. හමුදා මේජර් ජනරාල්වරයෙකුට වන ජීවී නිලධාරීන්ට මෙවැනි අකාරයෙන් කතා කළ හැකිද? හමුදා මේජර් ජනරාල්වරයෙකුගේ වාහනයක් පරීක්ෂා කිරීම කළ නොහැකිද? මේ පිළිබඳව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධනගෙන් අපි විමසුවෙමු.

“තමන්ගේ ආරක්ෂිත ප්‍රදේශයක් තුළ නීති විරෝධී ලෙස ඇතුල් වුණොත් ඇතුල් වෙන්න තැත් කළොත්, හෝ වන ජීවී අපරාධයක් කරන්න සැරසෙන බවට සාධාරණ සැකයක් තියෙනවා නම් හෝ වන ජීවී අපරාධයක් කරමින් ඉන්නවා නම් හෝ කරලා තියෙනවා නම් වන ජීවී නිලධාරියෙකුට රටේ ඕනෑම පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න හැකියාව තියෙනවා. රාජකාරියට බාධා කරනවා නම් පොලීසියට හෝ ඕනෑම සාම නිලධාරියෙකුට ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන්. වන ජීවී නිලධාරීනුත් සාම නිලධාරීන් හැටියට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 66 වන වගන්තිය අනුව නම් කරලා තියෙන්නේ. තමන්ගේ නිල බලය භාවිත කරලා හෝ නොකර රාජකාරියට බාධා කරන ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න දණ්ඩ නීති සංග්‍රහය අනුව පොලීසියටත් බලය තියෙනවා.”

“රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක රාජකාරී කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කයක් වැනි විශාල පරිපාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් වගකීම් දරන හමුදා හමුදාවේ ඉහළ නිලධාරියෙකු තම බල ප්‍රදේශය තුළ පවතින අනෙකුත් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා ආයතන, ආයතන අතර ඇති වගකීම්, නීතිමය තත්වයන් පිළිබඳව කිසිදු වැටහීමක් නැතිව උද්දච්ච ආකාරයෙන් හැසිරීමකින් යුද හමුදාවේ කීර්ති නාමයට ඇති කරන්නේ අඳුරු පැල්ලමකි.

මේජර් ජනරාල්වරයා වන ජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මෙසේ හැසිරීම සම්බන්ධයෙන් යුද හමුදාව කිනම් ක්‍රියාමාර්ගයක් ගත්තේ දැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ යුද හමුදාපතිවරයා මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමට මේජර් ජනරාල්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවත් යුද හාමුදාව පාර්ශ්වයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති බවත් බාහිර පාර්ශ්වයන්ගෙන් කරුණු විමසමින් සිටින බවත්ය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියට අදාළ යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ හබරණ පොලිස් ස්ථානාධිපතිවරයාට ජුනි 30 වන දා නියෝග කර තිබූ අතර ජූලි 1 වන දාම යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි. එදින ඔහුට ඇප නියම කර තිබිණි.■

ලිබරල්වාදය සහ සමාජවාදය නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව

ලිබරල්වාදය සහ සමාජවාදය ආශ්‍රයෙන් මනුෂ්‍යයන්ගේ නිදහස හා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමේදී, අප අවධානය යොමු කළ යුත්තේ, ලිබරල්වාදය සහ සමාජවාදය යන දේශපාලන න්‍යාය/දෘෂ්ටිවාද දෙකට පමණක් නොවේ. ධනවාදය සහ සමාජවාදය යන සමාජ, දේශපාලන සහ ආර්ථික ක්‍රම දෙකද එම සාකච්ඡාව සමග සම්බන්ධ කළ යුතුය. ලිබරල්වාදය ධනවාදී සමාජ-ආර්ථික ක්‍රමය සමග සම්බන්ධ දෘෂ්ටිවාදය වන අතර එය සමාජවාදය ගැන විවේචනයක්ද ඉදිරිපත් කර තිබේ. සමාජවාදය, ධනවාදය ගැන විවේචනයක්ද, එයට විකල්ප සමාජ-ආර්ථික-දේශපාලන ක්‍රමයක්ද යෝජනා කර තිබේ. අත්හදා බලාද තිබේ.

වර්තමාන කාලයේ ‘සමාජවාදය’ ගැන අපට කතා කරන්නට සිදුවී තිබෙන්නේ දහනව වැනි සියවසේත්, විසිවැනි සියවසෙහි 1970 ගණන් දක්වාත් පැවැති ඓතිහාසික සන්දර්භය තුළ නොවන බව, අපට පළමුවෙන් පිළිගන්නට සිදුවී තිබේ. ඉහත කී අවුරුදු දශක 14ක පමණ කාලය තුළ සමාජවාදය පෙනීසිටියේ ධනවාදයටත්, ලිබරල්වාදයටත් සැබෑ විකල්පයක් ලෙසය. 1980 ගණන්වලදී සිදුවූ සමාජවාදී ක්‍රමයේ බිඳවැටීමෙන් පසුව, සමාජවාදයේ එම විකල්පීය ශක්තිය පිළිබඳව ඊට පෙර නොවූ ආකාරයේ ප්‍රශ්න මතු වී තිබේ. එයට හේතුව, සමාජවාදී විකල්පය වශයෙන් විසිවැනි සියවසේ මතුවූ දෙය පිළිබඳව සමාජවාදීන් අතරම විශාල සංශයක් ගොඩනැගීමයි. මනුෂ්‍ය වර්ගයාගේ සමාජවාදී අනාගතය පිළිබඳව තවමත් භක්තියෙන් සිතන ලෝකයේ ටික දෙනකු හැර, බොහෝ දෙනා සමාජවාදය අතහැර දමා ඇත. තවත් සමහර සමාජවාදීන් සිතන්නේ, විසිවැනි සියවසේ සමාජවාදයේ නිෂේධනීය අත්දැකීම් පිළිබඳ අවංක විවේචනයක් වෙතින්, සමාජවාදය යන අදහස යළි පරිකල්පනය කළ යුතු බවය. මේ ලියන මා අයත් වන්නේද මේ සුළුතරයටය.

එම නව පරිකල්පනයකදී ‘මනුෂ්‍ය නිදහස සහ අයිතිවාසිකම්’ යන කාරණයද ලිබරල් සහ සමාජවාදී යන ද්විත්ව විභේදනයේ සිරකරුවන් නොවී සිතා බැලීමට සමාජවාදී ව්‍යාපෘතිය දෙස අලුතෙන් බලන සමාජවාදීන්ට සිදුවේ. එවැනි නව සිතීමක් සඳහා පළමු පියවර විය යුත්තේ විසිවැනි සියවසේ සමාජවාදී අත්දැකීම පිළිබඳව පහත සඳහන් ප්‍රශ්නය ගැන අලුතෙන් සිතා බැලීමයි. විසිවැනි සියවසේ සමාජවාදයේ ප්‍රධාන දේශපාලන අඩුව සහ දුර්වලතාව කුමක්ද?

මෙම ප්‍රශ්නයට යෝජනා කළ හැකි එක් ප්‍රධාන පිළිතුරක් වන්නේ දේශපාලන ලිබරල්වාදයට ප්‍රබල සහ කල් පවත්නා විකල්පයක් වීමට සමාජවාදය අසමත් වීය යන්නයි.

විසිවැනි සියවසේ සමාජවාදී දේශපාලන මාදිලිය හැඩ ගැසුණේ 1917 රුසියානු විප්ලවයෙන් පසුව රුසියාව තුළ ගොඩ නගන ලද රාජ්‍ය ක්‍රමය පදනම් කරගෙනය. එයට සංකල්පමය පදනම වැටුණේ ලෙනින්ගේ ‘නිර්ධන පංති ආඥාදායකත්වය’ යන ප්‍රවාදය වෙතිනි. ධනවාදී රාජ්‍යය ධනේශ්වර පන්තියේ ආඥාදායකත්වය වන්නේ යම් සේද කම්කරු පන්ති විප්ලවයෙන් පසු රාජ්‍යය කම්කරු පන්තියේ ආඥාදායකත්වයේ ප්‍රකාශනය වන බව ලෙනින් එම ප්‍රවාදයෙන් ප්‍රකාශ කළ අදහසයි. ලෙනින් මෙහිදී ‘ආඥාදායකත්වය’ යන සංකල්පය භාවිත කළේ ‘ආධිපත්‍යය’ යන අර්ථය සඳහා මිස, ‘ඒකාධිපති පාලන ක්‍රමයක්’ යන අර්ථය දීමට නොවේ. එහෙත් විප්ලවයෙන් පසුව ඇතිවූ සිවිල් යුද්ධය, විදේශ ආක්‍රමණ සහ දරුණු ආර්ථික අර්බුදය පිළිබඳ පසුබිම තුළ, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේම සිදුවූයේ, ඇත්ත වශයෙන්ම ‘ආඥාදායක’ පාලන තන්ත්‍රයක් බවට පළමුවැනි සමාජවාදී රාජ්‍ය කෙටි කාලයක් තුළදී පත්වීමයි. 1924දී සිදුවූ ලෙනින්ගේ මරණයෙන් පසුව බලයට පත්වූ ජෝසප් ස්ටාලින්ගේ නායකත්වය යටතේ සිදුවූයේ, සමාජවාදී රාජ්‍යය ඒකබලවාදී ආඥාදායක සහ අත්‍යන්තයෙන්ම නිලධාරිවාදී රාජ්‍ය මාදිලියක්ද, දේශපාලන මාදිලියක්ද බවට පත්වීමයි. පසු කාලයේදී නැගෙනහිර යුරෝපය, චීනය, කියුබාව, දකුණු කොරියාව සහ කාම්බෝජය වැනි සියලු සමාජවාදී රාජ්‍යවල නිර්මාණය කරන ලද්දේ මෙම ස්ටාලින්වාදී ආකෘතියට අනුව ගැඩගැසුණ ආඥාදායක දේශපාලන සහ රාජ්‍ය ක්‍රමයි.

මෙම දේශපාලන මාදිලිය ගොඩනැගුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණ නිෂේධනයක් ලෙසය. ඒ අනුව පුද්ගල අයිතිවාසිකම්, පුද්ගල නිදහස, දේශපාලන බහුත්වවාදය, දේශපාලන තරගය, දේශපාලන තරගය මත ගොඩනැගෙන දේශපාලන නියෝජනය, බහු පක්‍ෂ ක්‍රමය, පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, සිවිල් සමාජය, ආණ්ඩුවේ නිල මතවාදයට වෙනස් මත දැරීම, ආණ්ඩුව විවේචනය කිරීම, ආණ්ඩුවට එරෙහි වීම, බහුපක්‍ෂ ක්‍රමය, නිදහස් මැතිවරණ යන මේවාට සමාජවාදී ක්‍රමය තුළ ඉඩ නොලැබිණ. ඒවා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ලිබරල් උරුමය වන බැවින්, ධනවාදී ක්‍රමයේ නිෂේධනය වන සමාජවාදී ක්‍රමය තුළ ඒවාට පැවතීමට අයිතියක් නැත යන සමාජවාදීන් අතර වර්තමානයේද පවත්නා දැඩි ස්ථාවරය වනාහි, විසිවැනි සියවසේ වර්ධනය වූ ‘රාජ්‍යවාදී සමාජවාදී මාදිලියේ’ උරුමයෙහිම කොටසකි. සමාජවාදය පිළිබඳව රැඩිකල් ලෙස අලුතින් සිතන සමාජවාදීන් ප්‍රශ්න කළ යුත්තේ මෙම උරුමයයි.

එසේ ප්‍රශ්න කිරීමට ආධාර වන ප්‍රවේශයක් ගැනීම සඳහා අපි පහත සඳහන් ප්‍රශ්න අසමු. ලංකාවේ වැසියන්, දැනට තමන් භුක්ති විඳින, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි නිදහස මෙන්ම අයිතිවාසිකම්ද නිෂේධනය කරන සමාජවාදී දේශපාලන ක්‍රමයක් තෝරා ගත යුතුද? එසේ නම් ඒ මන්ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි නිදහස සහ අයිතිවාසිකම් සීමාවන්ට සහ විකෘතිවීම්වලට පාත්‍ර වී තිබෙන බව ඇත්තය. එහෙත් ඒවා අතහැර අලුතෙන් වැළඳගත යුතු වඩා ප්‍රජාතන්ත්‍රවාදී, පුරවැසියන්ට වඩාත් නිදහස සහ වඩාත් අයිතිවාසිකම් ඇත්තටම ලබාදෙන සමාජවාදී ක්‍රමයක් පිළිබඳ පොරොන්දුවක් නැත්තේ මන්ද? යන ප්‍රශ්නයද මේ සමගම පැන නැගේ. සාම්ප්‍රදායික සමාජවාදය සතුව ඉහත කී ප්‍රශ්නයට තිබෙන්නේ එක් පිළිතුරකි. එය නම් සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් මෙන්ම රැකියා, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය යනාදි පුරවැසි සුභසාධන අයිතීන්ද, සමාජ සමානත්වයද සහතික කරනු ඇත යන්නයි. ඒවා ධනවාදී ක්‍රමයෙන් නොලැබෙන, සමාජවාදය තුළින් පමණක් ලැබෙන පොරොන්දුය. එහෙත් ගැටලුව වන්නේ, ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් සඳහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අතහැර දැමීමට, මනුෂ්‍යයන්ට එම පොරොන්දුව විසින් බලකරනු ලැබීමයි.

මෙම ප්‍රශ්නයම ධනවාදය සහ ලිබරල්වාදය සම්බන්ධයෙන්ද තරමක් වෙනස් කර මෙසේ ඇසිය හැකිය. ලිබරල්වාදය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මනුෂ්‍යයන්ට ලබාදෙයි. එහෙත් එය ආර්ථික සහ සමාජ අයිතිවාසිකම්ද, සමාජ ආර්ථික අසමානතාද නොසලකා හරියි. දරිද්‍රතාවට සහ සමාජ අසාධාරණයන් ඉදිරියේ ඇස් පියාගෙන සිටියි. දුගී ජනතාව වෙළෙඳපොළේ කරුණාවට පමණක් තල්ලු කරයි. මනුෂ්‍යයන් මෙම ආර්ථික හා සමාජ විෂමතා සහ අසාධාරණතා සහිත ක්‍රමය තව දුරටත් ඉවසිය යුතුද?

ඉහත ආකාරයේ ප්‍රශ්න නගමින් සිතන විට අපට ලිබරල්වාදය සම්බන්ධව සමාජවාදය පැත්තෙන්ද, සමාජවාදය පිළිබඳව ලිබරල්වාදය පැත්තෙන්ද බලමින්, ඒ දෙකෙහිම සාධනීය සහ නිෂේධනීය ලක්‍ෂණ සහ පැතිකඩ හඳුනාගැනීමට හැකිවනු ඇත. ලිබරල්වාදය සහ සමාජවාදය අතර සංවාදයක් ඇතිවිය යුත්තේ මෙතෙක් කල් සිදුවී ඇති ආකාරයට, ඒ දෙක අතර වෙනස්කම් හඳුනාගැනීමටත්, අලුත් වෙනස්කම් සොයා ගැනීමටත් පමණක් නොවේ. සමාජ විමුක්තිය පිළිබඳ ලිබරල් පොරොන්දුව සහ සමාජවාදී පොරොන්දුව අතර සහයෝගයක් ඇතිකළ හැකිදැයි සොයා බැලීමටය. එකකට අනෙක වෙතින් උගත හැකි සාධනීය පාඩම් තිබේදැයි විමසා බැලීමටවය.

අන්‍යොන්‍ය පාඩම්
එවැනි නව සිතීමක් ආරම්භ කිරීම සඳහා ‘අයිතිවාසිකම්’ සහ ‘නිදහස’ යන ප්‍රතිමානීය නිෂ්ටා දෙක ආශ්‍රයෙන් ප්‍රවේශයක් සාදාගනිමු. මෙම නිෂ්ටා දෙක වනාහි මනුෂ්‍ය වර්ගයා දේශපාලන ඒකක වශයෙන් සංවිධානය වීම ආරම්භ කළ අවධියේ සිට මනුෂ්‍යයන් විසින් වැදගත් කොට සලකනු ලැබූ ’විමුක්තිවාදී’ අරමුණු දෙකකි. ඕනෑම ආකාරයක පීඩනයකට, මර්දනයකට, අහිමිකරනු ලැබීමට, වෙනස්කම් කරනු ලැබීමට, දුගී දුක්ඛිතභාවයට පත්වූ මනුෂ්‍යයන් ගෝත්‍රික යුගයේ පටන් අද දක්වා, අපේක්‍ෂා කරන විමුක්තිවාදී අරමුණු ‘නිදහස’ සහ ‘අයිතිවාසිකම්’ යන සංකල්ප දෙකෙහි ගැබ්වී තිබේ. මනුෂ්‍ය වර්ගයා අලුත් දේශපාලනයක්, අලුත් සමාජයක් සහ අලුත් ශිෂ්ටාචාරයක් ගැන සිතූ සෑම අවස්ථාවකම ඔවුන්ගෙන් ප්‍රකාශ වූ අභිලාෂ සහ බලාපොරොත්තු මෙම සංකල්ප දෙක තුළින් විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත්වීම නිසා, ඒවා අපගේ මෙම සාකච්ඡාවට ප්‍රවේශයක් කරගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

‘නිදහස’ සහ ‘අයිතිවාසිකම්’ සිවිල් සහ දේශපාලන වශයෙන්ද, ‘ආර්ථික’ සහ ‘සමාජීය’ වශයෙන්ද ප්‍රභේද දෙකකට බෙදා, ඒවා එකිනෙක සමග නොපැහෙන ප්‍රභේද ලෙස සැලකීම පොතේගුරුවාදී ලිබරල්වාදයේද, පොතේගුරුවාදී සමාජවාදයේද උරුමයකි. තමන් අවධාරණය කරන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට පමණකැයි පොතේගුරු ලිබරල්වාදීහු කියති. ඒ සමගම තමන් අවධාරණය කරන්නේ ආර්ථික සහ සමාජ අයිතිවාසිකම්වලට පමණක් බව පොතේගුරුවාදී සමාජවාදීහු කියති. ලිබරල්වාදීන්ගේ පුද්ගලික අයිතිවාසිකම් කතිකාවත්, සමාජවාදීන්ගේ සාමූහික අයිතිවාසිකම් කතිකාවත් එකිනෙකට පරස්පර කතිකා දෙකක් ලෙස පවතින්නේද ඒ නිසාය. එහෙත් සමාජයක ඇත්තටම නිදහස සහ මනුෂ්‍ය අයිතිවාසිකම් පවතින්නේ එවැනි එකිනෙකට වෙනස් අයිතිවාසිකම් ප්‍රභේද ලෙස නොවේ. පසුගිය දිනවල පොහොර, සහනාධාර, ක්‍ෂුද්‍ර මූල්‍ය ණය බර වැනි ප්‍රශ්න පිළිබඳව ගොවි ජනතාව හෝ වැඩි වැටුප් ලබාදෙන ලෙස වෘත්තීය සමිති හෝ ජීවන බර සැහැල්ලු කරගත නොහැකිව පීඩා විඳින ධීවර ජනතාව හෝ කළ උද්ඝෝෂණ වනාහි හුදෙක් ආර්ථික ඉල්ලීම් සඳහා වූ අරගල පමණක්ම නොවේ. රාජ්‍යයේ උදහසට සහ ප්‍රහාරයට ලක් නොවී, තම ආර්ථික අයිතිවාසිකම් සඳහා උද්ඝෝෂණය කිරීමටත්, සංවිධානය වීමටත් අවශ්‍ය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්ද, එම ආර්ථික අයිතිවාසිකම් සඳහා උද්ඝෝෂණය සිදු කරන ගමන්ම, එම දුගී ජනකොටස් භාවිත කරති. ආර්ථික අයිතීන් සඳහා එලෙස උද්ඝෝෂණය කළ හැක්කේ, අප රටේ තවමත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්ද නිදහසද යම්කිසි ප්‍රමාණයකට හෝ තිබෙන නිසාය. ධනවාදී ක්‍රමය තුළ පවා ආර්ථික හා සමාජ අයිතිවාසිකම් රැකගැනීම සහ දිනාගැනීම සඳහා පූර්ව කොන්දෙසියක් වන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්ද, පුද්ගල අයිතිවාසිකම්ද සමාජයක පැවතීමයි. රාජ්‍යය සහ නීතිය විසින් ඒවා සීමා හෝ නිෂේධනය හෝ කරනු නොලැබ තිබීමයි.

මේ වෙතින් අලුතෙන් සිතන සමාජවාදීන්ට උගත හැකි පාඩමක් තිබේ. එය නම්, නිදහස සහ අයිතිවාසිකම් ප්‍රභේද අතර එකිනෙකට සතුරුවාදී බෙදීමක්ද, ධුරාවලියක්ද තිබෙන්නේය යන පැරණි පොතේගුරුවාදී ස්ථාවරය ප්‍රශ්න කිරීමයි, ප්‍රතික්‍ෂෙප කිරීමයි. විශේෂයෙන්ම ධනවාදී ක්‍රමයක් තුළ සමාජ හා ආර්ථික අයිතිවාසිකම් සඳහා කරන අරගල සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්ද, පුද්ගල අයිතිවාසිකම්ද පිළිබඳ පසුබිමක් තුළ පමණක් සාමකාමීව සිදුකළ හැකි ඒවාය. සිවිල්, දේශපාලන හා පුද්ගල අයිතිවාසිකම් නැති ධනවාදී රටවල – තුර්කිය, ඊජිප්තුව, චීනය, රුසියාව වැනි රටවල- කම්කරු පන්තියේ සහ දුගී ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා අරගල කිරීමට සිදුවන්නේ, රාජ්‍යයේ මර්දනයටද, නිර්දය ප්‍රහාරයටද, ආරාධනා කරමිනි. රාජ්‍ය මර්දනය දියුණු ධනවාදී රටවලද තිබේ. එහෙත් ධනේශ්වර ප්‍රජාතවන්ත්‍රවාදය විසින් සහතික කෙරෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වල අවකාශය, එම රටවල වසා දමා නැත. අනාගත සමාජවාදී ක්‍රමවලද ආර්ථික, සමාජ, දේශපාලන, සමාජීය, පුද්ගලික සහ සාමූහික අයිතීන් සඳහා කතා කිරීමට, සංවිධානය වීමට, උද්ඝෝෂණය සහ අරගල කිරීමට පුද්ගලයන්ට නිදහස සහ අවකාශය නිර්මාණය කරන නව දේශපාලන සිතීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. ■

ජාතියෙන් කොටසක් ඇමතීම

0

පසුගිය සතිය අවසානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කළ ජාතිය ඇමතීම මේ වන විට බලවත් විවේචනවලට බඳුන් වෙමින් තිබේ. ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් මේ වන විට පත් වී තිබෙන ජන-අප්‍රියභාවය සමනය කර ගැනීමට මේ ජාතිය ඇමතීම සංවිධානය කරන්නට ඇති නමුත්, එම ඇමතීමෙන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ඇති එම ජනතා නොමනාපය තවත් වර්ධනය වූවා මිස සමනය නොවී යැයි ඉන්තේරුවෙන් ම කිව හැකි ය.

ජාතිය ඇමතීමට පෙර දින ජනාධිපතිවරයා, තමාගේ දේශපාලන ජීවිතයට තවත් අපකීර්තිමත් පැල්ලමක් එකතු කර ගත්තේ ය. ඒ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් ජනාධිපති සමාව ලබා දීමයි. ඊට පසු දින ජාතිය අමතන විට බොහෝ අය කල්පනා කළේ ඒ සමාව දීම ගැනවත් යමක් පැහැදිලි කරන්නට ජනාධිපතිවරයා ජාතිය අමතන බව ය. එම ජනාධිපති සමාවත් සමග ජනාධිපතිවරයා කෙරෙහි රටේ නීතියේ පාලනය ගරු කරන ජනතාවගේ කැමැත්ත තවත් වටයකින් පහළ ගිය නිසා ය.

2019 නොවැම්බර් 19 වැනි දා අනුරාධපුරයේ රුවන්වැලි සෑය ඉදිරිපිට දිවුරුම් දීමෙන් පසු ජාතිය ඇමතූ ජනාධිපතිවරයා කිව්වේ, දැන් තමා මුළු රටේ සියලු පුරවැසියන්ගේ ජනාධිපති බවයි. එහෙත්, ඔහු දිවුරුම් දුන් පසුබිම, ආගමික සංකේත ඇතුළු සියල්ලෙන් ම පැහැදිලි වුණේ, ජනාධිපතිවරයා මේ අමතන්නේ රටේ එක් කොටසකට පමණක් බවයි. ඒ බව තහවුරු කරමින් තමා ජනාධිපති ධුරයට පත් කර ගත්තේ රටේ බහුතර සිංහල ජනතාව බව ජනාධිපතිතුමා එහි දී අවධාරණය කෙළේ ය.

තමන් පත් කළේ කිසියම් විශේෂ ජනකොටසකගේ ප්‍රමුඛ සහායෙන් වුණත්, රාජ්‍ය නායකයකුගේ නායකත්ව ගුණය විය යුත්තේ, තමා මුළු රටේ ම ජනතාවගේ නායකයා බව වචනයෙන් මෙන් ම ක්‍රියාවෙන් ද ඔප්පු කර සිටීමයි. ඊළඟ ඡන්දයක දී එම ඇමතීම වැදගත් වන බව ප්‍රජාතන්ත්‍රවාදී රටවල ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් ඇති රාජ්‍ය නායකයෝ දනිති. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා වුවමනාවෙන් ම තමා කිසියම් ජනකොටසකගේ පමණක් ජනාධිපති බව වචනයෙන් මෙන් ම ක්‍රියාවෙන් ද පෙන්වමින් සිටියි.

පසුගිය සතියේ ජාතිය ඇමතීම ද මූලිකව ගෙන දුන්නේ ඒ පණිවුඩය ම ය. රුවන්වැලි සෑයේ පසුබිම සහිතව ජාතිය අමතන විට ම ඒ අමතන්නේ ජාතියට ම නොව ජාතියෙන් කොටසකට බව දකින ඕනෑ ම කෙනකුට පැහැදිලි වෙයි. එයින් පෙන්වන්නේ සිංහල හා බෞද්ධ වන රටේ බහුතර ජනතාව හැරුණු විට, දෙමළ මුස්ලිම් ආදි සියලු සුළුතරයන් ජනාධිපතිවරයාගේ ඇමතීමෙන් බැහැර කෙරෙන බව නොවේ ද?

සාමාන්‍යයෙන් නායකයකු තමාගේ රටවැසියන් අමතන්නේ, ඔවුන්ට අමතන බව ඒත්තු යන පරිදි ය. එහිදී ‘ඇසට ඇස ගැටීම’ ඉතාමත් වැදගත් කාරණයකි. එනම්, අමතන්නාගේ හා ඇමතීම ලබන්නාගේ ඇස් එකට හමුවීමයි. නායකයකු ජාතියක් අමතන විට එය වඩාත් වැදගත් වන්නේ, තමාගේ ආධිපත්‍යය මෙන් ම සමීපබව ද ඒ මගින් තම ජනතාවට සන්නිවේදනය කළ හැකි නිසා ය. එනිසා ලෝකයේ රාජ්‍ය නායකයන්, ජාතිය අමතන විට අව් කන්නාඩි පළඳින්නේ නැත. නැතිනම් ඉතා ම අඩුවෙනි. එහෙත්, ගෝඨාභය ජනාධිපතිතුමා අව්කන්නාඩි ද පැළඳ, වුවමනාවෙන් ම ජනතාව හා තමා අතර දූරස්ථභාවයක් ඇති කර ගත්තේ ය. එවැනි නායකයකුගේ කතාවක්, පැයකටත් වැඩි කාලයක් අසා සිටින්නට සාමාන්‍ය මහජනතාවක් පෙළඹෙනවා ද යන්න නැවත සිතා බැලිය යුතු කාරණයකි. මීට පෙර ජාතිය ඇමතූ අවස්ථාවලදී, ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුබිම මත එය කෙරුණු අතර, ඒ හරහා ජනාධිපතිවරයකුගේ අභිමානවත්බවත්, ජනතාවට සමීපබවත් පවත්වා ගන්නට ගෝඨාභය ජනාධිපතිවරයා ම සමත් වී තිබුණි. අවාසනාවකට මෙන් මෙවර වෙනත් මාධ්‍ය උපදෙස් ලැබීමෙන් දෝ තත්වය නරක අතට වෙනස් වී තිබුණි.

ජනාධිපතිවරයාගේ කතාවේ වැඩි කොටසක් සංඛ්‍යාලේඛන ආශ්‍රිතව ගෙවුණු අතර, එම සංඛ්‍යා ලේඛන මේ වන විට දැනුවත් පාර්ශ්වයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන වැරදි බව, ඊට අදාළ බොහෝ පාර්ශ්ව තහවුරු කර තිබේ. එවැනි වැරදි රාශියක් සිදු වන විට ජනාධිපතිවරයා ගැන තිබෙන මහජන විශ්වාසය හා ගෞරවය තවත් අඩු වන බව අලුතෙන් කිව යුතු නැත.

මේ කියන ලද්දේ ජනාධිපතිවරයාගේ කතාවේ තාක්‍ෂණ පැත්ත ගැන පමණක් යම් කාරණා ය. ඒ කතාවේ අන්තර්ගතය ද ඉතාම දුර්වල ස්වභාවයක් ගත් බව අලුතෙන් කිව යුතු නැත. මෙවැනි තීරණාත්මක අවස්ථාවක ජනාධිපතිවරයකු ප්‍රදර්ශනය කළ යුතු දුර දැක්ම එතුමාගේ කතාවෙන් කිසිසේත් ප්‍රකට නොවී ය. මුළු කතාවේ ම වාක්‍යයක සාරාංශය හැටියට, ‘අපි තමයි හොඳට ම කළේ’ යනුවෙන් සමාජ මාධ්‍යවල සිටින තරුණ තරුණියන් හකුලා දැක්වීම ඒ අතින් යුක්ති සහගත ය.

රටේ වසංගත තත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින තත්වයක් යටතේ, රටේ ජනජීවිතය විශාල ලෙස අඩපණව ඇති තත්වයක් යටතේ, රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන තත්වයක් යටතේ ජනාධිපතිවරයකුට පුරසාරම්වලට වඩා තම මහජනතාවට කියන්නට තිබෙන දේ බොහෝ ය. ඒවා මගහැර පුරසාරම් කියන්නට යන විට, එය සමහර විට ‘ජාතියෙන් කොටසක් ඇමතීම’ වත් නොවන්නට පිළිවන.■

රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි

0

ඊටත් වඩා, ඔහු කළ වැදගත් කාර්යය නම්, ජනාධිපතිවරයාගේ කොවිඩ් කාර්ය සාධන බලකාය බලවත් ලෙස විවේචනය කිරීමයි. දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් තිබෙන එවැනි අංශයකට රටේ සියලු අංශ පාලනය කිරීමට බලය ලැබෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කෙළේය.

■ අරුණ ජයවර්ධන

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජුනි 23 වැනිදා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම් දුන්නේය.
ඔහුගේ නැවත පාර්ලිමේන්තු පැමිණීම එක්සත් ජාතික පක්‍ෂය පෙන්වන්නට හැදුවේ විශාල පෙරළියක් හැටියටය. පක්‍ෂයේ ලේකම් රංගෙ බණ්ඩාර කීවේ, රනිල් එක් පුද්ගලයකු වුණත් පාර්ලිමේන්තුවේදි එය හැටක පිරිසක් වනු ඇති බවයි. එයින් ඔහු උත්සාහ කළේ, රනිල් පාර්ලිමේන්තුව තුළදී යම් බලවේගයක් හදනු ඇතැයි කියා පෙන්වන්නටය. එසේ පෙන්වා සමගි ජන බලවේගය තුළ කිසියම් අවුලක් නිර්මාණය කිරීමටය.

රනිල්ට ලැබුණු පාර්ලිමේන්තු ආසනය කිසිසේත් දේශපාලන ජයග්‍රහණයක සංකේතයක් නම් නොවේ. පරාජයක සංකේතයක්ය. එක්සත් ජාතික පක්‍ෂය 2020 අගෝස්තු මහ මැතිවරණයේදී මුළු රටෙන්ම දිස්ත්‍රික් සමානුපාතික නියෝජනය යටතේ එක් ආසනයක්වත් දිනාගන්නට අපොහොසත් වීමත්, මුළු රටෙන්ම ඊට ලැබුණු ඡන්ද ප්‍රමාණය එකතු වුණු නිසා ජාතික ලැයිස්තුවෙන් ආසනයක් ලැබීමත්, රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් තම ආසනයවත් සුරක්‍ෂිත කරගන්නට නොහැකි වීමත් කියන ලජ්ජා සහගත දේශපාලන පරාජයන් සියල්ලම සංකේතවත් කරන්නකි, මේ පාර්ලිමේන්තු ආසනය. ඒ නිසා යළිත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම් දීම කිසිසේත් ජයග්‍රහණයක් නම් නොවේ. එය, රනිල් රටට අවශ්‍ය යැයි රටේ මිනිසුන් මේ මොහොතේ ඉල්ලන නිසා සිදුවූ දෙයක්ද නොවේ. ඒ නිසා රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය මුල් කරගෙන ව්‍යාජ වාගාලංකාර නිර්මාණය කරන්නට යෑමෙන් පරෙස්සම් විය යුතුය.

එහෙත්, රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම දේශපාලනඥයෙකි. එකක්, එක පාර්ලිමේන්තු ආසනයක් පමණක් තිබෙන එජාපයට, ඊට ගැළපෙන අය හැටියට රනිල් හැර අන් කිසිවෙකු පක්‍ෂය තුළින් සොයා ගත නොහැකි නිසාය. රනිල් නොයවා යවන්නට සුදුසු කිසිවෙක් දැනට එජාපයේ නැත. ඇත්ත වශයෙන්ම, හරි හෝ වැරදි හෝ වේවා, එජාපයේ සිටි සියලුම බුද්ධිමය හා දේශපාලනමය චරිත දැන් සිටින්නේ සමගි ජන බලවේගය තුළය. ඒ නිසා එජාපය තුළ දැන් සිටින්නේ එක්තරා ආකාරයකට පෙනේරයකින් හැලූ විට ඉතිරි වන අන්දමේ පිරිසකි. එවැනි පිරිසක් අතරින් එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ හැර අන් කවරෙක්ද?

ඊට අමතරව, ජීවත්වන තුරාම වුණත් (ලංකාවේ දේශපාලනයේ එහි අමුත්තක් නැත) පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු දේශපාලනඥයෙකි, ඔහු. හෙතෙම දැඩි පාර්ලිමේන්තුවාදියෙකි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැනත්, පාර්ලිමේන්තු ක්‍රමය ගැනත්, රාජ්‍ය පාලන ආයතනවල බලතල බෙදීම හා සංවරණයන්, තුලනයන් ගැනත් ඔහු ඉතා ඉහළ දැනුමක් ඇත්තෙකි. ජනාධිපතිවරයාද අසුන් ගන්නා වර්තමාන පාර්ලිමේන්තුවේ වුවද, ඔහුගේ ඒ දැනුමට ඉහළින් සිටින කිසිවකු සිටින්නේදැයි සැක සහිතය. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව පමණක් නොව, ආර්ථිකය, බුද්ධ ධර්මය, සංස්කෘතිය, කලාව, සාහිත්‍යය, ලෝක දේශපාලන ප්‍රවණතා, සමයාන්තර ඥානය යනාදිවූ අද කාලයේ දේහපාලකයන්ට ළඟාවීමටත් බැරි දැනුම් ක්‍ෂෙත්‍ර බොහොමයක ඔහු ප්‍රාමාණිකයෙකි. එපමණක් නොවේ. ඔහු බලය ලබාගැනීම සඳහා බහුතර ජනවර්ගය උත්කර්ෂයට නැංවූ හෝ සුළුතර ජනවර්ගයන් පහත හෙළා දැමූ හෝ නායකයෙක් නොවේ. ලංකාවේ පමණක් නොව වෙනත් රටවලද දේවාල, දේවස්ථානවල පිහිට පතා ගියත්, අන් බොහෝ දේශපාලකයන්ට වඩා ආගම මෙන්ම ජාතියද තම දේශපාලනයෙන් පිටත තැබූවෙකි. ඒ සියලු ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු දේශපාලකයකු බවයි.

මන්ත්‍රීවරයකු හැටියට කළ මංගල කතාවේදී තමන්ගේ ප්‍රාමාණිකභාවය ඔහු නැවතත් තහවුරු කළේය.

ඊටත් වඩා, ඔහු කළ වැදගත් කාර්යය නම්, ජනාධිපතිවරයාගේ කොවිඩ් කාර්ය සාධන බලකාය බලවත් ලෙස විවේචනය කිරීමයි. දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් තිබෙන එවැනි අංශයකට රටේ සියලු අංශ පාලනය කිරීමට බලය ලැබෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කෙළේය. ඒ ප්‍රශ්න කිරීම, මේ තාක් සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයකු වෙතින් සිදුවූ බවක් අප දන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ද කරමින් සිටින්නේ රාජපක්‍ෂවරුන්ගේ රණවිරු වන්දනාවමය.

එහෙත්, අවාසනාවකට මෙන් රනිල් වික්‍රමසිංහ යළිත් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ අවමානයට පාත්‍රවූ මෑත කාලීන දේශපාලන භාවිතයක් සහිතවය. ඔහුගේ පක්‍ෂය සිය ඉතිහාසයේ අතිශය අවමන් සහගත දේශපාලන පසුබෑම ලබා තිබේ. ඒ, රටේ දැවැන්තම දේශපාලන පක්‍ෂය හැටියට විරුදාවලි ලද පක්‍ෂයයි. එම පක්‍ෂයට එවැනි ඉරණමක් අත් කර දෙන්නට වගකිව යුතු පුද්ගලයා හැටියට, පක්‍ෂයෙන් කැඩී සමගි ජන බලවේගයට ගිය කොටස් මෙන්ම ඉන් පිටත සාමාන්‍ය දේශපාලන උනන්දුවක් ඇති අයද සිතන්නේ රනිල් වික්‍රමසිංහය. ඊට පැහැදිලි හේතුවක් තිබේ.

පක්‍ෂයක සියලු ස්තර සහ බල කේන්ද්‍ර ඇතුළුකරවා ගැනීමේ ගුණයෙන් කටයුතු කළ යුත්තේ නායකයාය. පක්‍ෂ නායකයකුට ඒ හැකියාව තිබිය යුතුමය. වාමාංශික විප්ලවවාදී පක්‍ෂයක් හැරුණු විට, දේශපාලන පක්‍ෂයක් වූ කලි කිසිම විටෙක සමාන අදහස් දරන, සමාන අභිලාෂ ඇති අයගෙන් සමන්විත වන්නක් නොවේ. විශේෂයෙන් එජාපය වැනි සියලු ආගම්, ජනවර්ග, සමාජ ස්තර එක්සත් කිරීමේ අරමුණෙන් බිහිවූ පක්‍ෂයක, අනිවාර්යයෙන්ම එවැනි ඒකමිතියක් නැත. (ලංකාවේ වාමාංශික විප්ලවීය දේශපාලන පක්‍ෂ වුවද, නැති ඔටුනුවලට සණ්ඩු සරුවල් කරමින් ඇමීබාකරණය වන අන්දම දකින විට කිසිම පක්‍ෂයක එවැනි ඒකමිතියක් නැතැයි බය නැතිව කිව හැකිය.) එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වූයේ හුදෙකලා එක සිදුවීමක ප්‍රතිඵලයක් හැටියට නොව, කාලාන්තරයක් තිස්සේ විවිධ බල අභිලාෂවලින් යුක්තව කටයුතු කළ දේශපාලකයන් කළ පක්‍ෂ අභ්‍යන්තර අරගලවල ප්‍රතිඵලයක් ලෙසය. ඒ අභ්‍යන්තර අරගලවලදී, හුදෙක් ක්‍රම සහ විධිවලින් ඒවා පරාජය කරන්නට උත්සාහ කළා විනා, ‘ඇතුළත් කර ගැනීමේ’ කෝණයකින් ඒවා විග්‍රහ කර, ආරාවුල් සමථයකට පත්කිරීමේ ප්‍රතිපත්තියක් රනිල් වික්‍රමසිංහ පවත්වාගෙන ගියේ නැත. ඒ ‘නොකිරීමේ’ සංකේතය නම්, තවමත් එජාප නායකයා රනිල් වික්‍රමසිංහ වීමයි. ඒ සිදුවීම් සන්තතියේදී, අඩු ගණනේ සියයට පනහක්වත් රනිල් වික්‍රමසිංහ නිවැරදි ආස්ථානයක සිටියේ යැයි කියන්නට පහසු නැත.

ඒ ක්‍රියාවලිය උච්චස්ථානයට පත්වුණේ, 2020 මහ මැතිවරණයට පෙර එජාපය දෙකඩ වී සමගි ජන බලවේගය බිහිවීමෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරුණු විට, එවැනි බියකරු දෙකඩවීමකට බඳුන් වුණු ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. පොදු ජන පෙරමුණට කැඩී යාමෙන් ශ්‍රීලනිපය අතිශය දුර්වල වුණත්, එජාපය මෙන් බිහිසුණු පරාජයක් ශ්‍රීලනිපයටවත් අත්වුණේ නැත.

එැනි බිඳී යාමක් හුදු බිඳී ගිය පාර්ශ්වයේ වරදක් පමණක් නිසා සිදුවූයේ යැයි කළගුණ දන්නා-නොදන්නා වැනි ප්‍රතිපක්‍ෂ සදාචාරවාදී මිනුම් දණ්ඩකින් විනිශ්චය කළ හැකි නමුත්, දේශපාලනය තුළදී නම්, ඒ දේශපාලන මොහොත සඳහා අදාළ සියලු පාර්ශ්වවලට වගකීම අඩු වැඩි වශයෙන් දරන්නට සිදුවෙයි. රනිල් වික්‍රමසිංහ ඒ අර්ථයෙන් පළමුවැනි විත්තිකාරයෙකි.

නොබෝදා දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී සිටින්නට සිදුවන්නේ පිරිවර නමැති නායකයකු හැටියටය. අඩු ගණනේ පාර්ලිමේන්තුවට එන යන විට පක්‍ෂ නායකයකුගේ පරිවාරයෙන් යන-එන පක්‍ෂයේ දේශපාලකයන් දෙතුන් දෙනකුවත් අද රනිල් වික්‍රමසිංහට නැත. එනයින් සංකේතාත්මකව ඔහු තනි අලියෙක්ම වන්නේය. ඒ වටපිටාව තුළ, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පාර්ලිමේන්තුවේදී බලාපොරොත්තු විය හැක්කේ හුදෙක් සාරගර්භ දේශන පමණකි.

මුලින් කියූ පරිදි, රනිල්ගේ පාර්ලමේන්තු පැමිණීම සැලකිය යුතු දේශපාලන කලබැගෑනියක් ඇතිකරන දෙයක් නොවේ. එහෙත් එය කලබැගෑනියක් බවට පත්කරන ලද්දේ සමගි ජන බලවේගයේ සමහර දේශපාලකයන් විසිනි. වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙන බවට නිවේදනය කිරීමේ අවස්ථාවේ සිට මේ දක්වා, ඔවුන් කටයුතු කරන අමනොඥ හා වෛරී ස්වභාවය විසින් රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගමනයට විශාල බලයක් ආරෝපණය කරනු ලැබ තිබේ. ඒ සමහර අය රනිල්ගේ ආගමනය දුටුවේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් සිදුවන සියලු විනාශයන්ටත් වැඩි විනාශයක් ලෙසටය.

රනිල්ගේ පැමිණීම විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා වෙත ප්‍රමාණාත්මක බලපෑමක් එල්ල නොකරන බව සැබෑය. එහෙත්, කැරිස්මැටිකමය වශයෙන් ඔහුට රනිල් වික්‍රමසිංහ වෙතින් අභියෝගයක් එල්ල විය හැකි බව දැනටමත් ඔහුටම පවා වැටහී තිබෙනවා වන්නට පුළුවන. ඒ වාගේම, සජිත් ප්‍රේමදාස වටා ප්‍රමාණාත්මක වශයෙන් ගොනුවී සිටින තමන්ගේම පක්‍ෂයේ හිටපු දෙවැනි තෙවැනි පෙළ දේශපාලකයන් පිරිසගේ ක්‍රියාකාරකම්ද, ඔවුන්ගෙන් සජිත් ප්‍රේමදාසට ලැබෙන ශක්තියද විසින් පෙරළා රනිල් වික්‍රමසිංහට බලපෑමක්ද සිදුකෙරෙනු ඇත. අවසානයේ ඉන් ජයගනු ඇත්තේ කවරකුදැයි දැන් කියන්නට නොහැකිය. එහෙත්, මේ දෙපැත්තට ගමන් කරන බලපෑම්වලින් විපක්‍ෂයේ භූමිකාව දියුණු හා තියුණු වනවා දකින්නට පුළුවන් නම්, මේ මොහොතේ අත්‍යවශ්‍ය දේශපාලන වුවමනාවක් ඉන් ඉටු වන්නටද ඉඩ තිබේ. ■

ගෙට කඩාපැන සරම පිටින් කුදලාගෙන යාම හෙවත් සමාජ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේ අලුත්ම කලාව

නිරෝධායන පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට පැමිණි අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් අසේල සම්පත් හතර ගාතයෙන් කුදලාගෙන වායු සමීකරණය කළ වෑන් රථයක පටවාගෙන යන්නේ ඔහුට මුව ආවරණයක් ලබා ගැනීමටවත් ඉඩ නොතබා ගෙදරට ඇඳ සිටි සරම පිටිනි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගත්තේ ජුනි 25 වන දාය. 26 වනදා ඔහු කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ. ඔහු වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා, මංජුල පතිරාජ ඇතුළු නීතිඥවරුන් පිරිසක් ඉදිරිපත් වී තිබිණි.

ජුනි 25 වන දා රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව ජාතිය ඇමතීමට නියමිතව තිබිණි. අසේල සම්පත් සිටියේ පන්නිපිටියේ තවමත් සාදා නිම නොකළ තම නිවසේ බිත්ති නැග්ගීම සඳහා පෙදරේරුවන්ට අත් උදව් දෙමිනි. අසේල සම්පත්ගේ බිරිඳ, දියණියෝ දෙදෙනා හා පිරිමි දරුවෝ දෙදෙනා ද නිවසේ රැඳී සිටියෝය.
දෙදෙනෙකු යතුරු පැදියකින් ඔහුගේ නිවස පිහිටා ඇති කුඩා පාරේ පැමිණ ඔහුගේ නිවස ඉදිරිපිටින් හරවාගෙන ආපසු හැරී ගියද අසේල සම්පත් එය ඒ හැටි ගණන් ගත්තේ නැත. ජනාධිපතිවරයාගේ කතාව ඇරඹීමට මිනිත්තු 4ක් තිබිය දී යළිත් යතුරු පැදියක දෙදෙනෙක් පැමිණියෝය. තමන්ගේ හිතවතෙක් පැමිණියේදැයි සැක කළ අසේල සම්පත් මිදුලට බැස ඔවුන් දෙස බැලුවේය. ‘හා අසේල මහත්තයා කොහොමද’ කියා යතුරු පැදියේ පැමිණි එක් පුද්ගලයෙක් ඔහුගෙන් ඇසුවේය. කරුවල නිසා ඔවුන් නිශ්චිතව හඳුනාගත නොහැකි වූ බැවින් අසේල සම්පත් තවත් ඔවුන් සමීපයට ගියේය. එතැන් සිට ඔහුට සිදු වූයේ කුමක්දැයි ඔහු විස්තර කළේ මෙසේය.

“එතකොට පාර පැත්තේ ඉඳලා විශාල පිරිසක් ඉක්මනින් අපේ පැත්තට එනවා දැක්කා. ඒ අතරින් කෙනෙක් ඇවිත් කාඩ් එකක් පෙන්නලා අපි සීඅයිඩී කියලා කීවා. ‘ඇයි මේ වෙලාවේ ආවේ, මොකක්ද මම කරපු වරද?’ කියලා මම ඔවුන්ගෙන් ඇහුවා. හැඳුනුම්පත ඇරෙන්න කිසි ලියවිල්ලක් ඔවුන් මට පෙන්නුවේ නෑ. ඒ වෙලාවේ මගේ ලොකු පුතා හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙලා හිටියේ. ‘මේ අය මාව ගෙනියන්න හදනවා ඉක්මනින් ලයිව් වීඩියෝ එකක් ගන්න’ කියලා මම ළමයින්ට කෑගහලා කිව්වා. ඒත් එක්කම මගේ අත් දෙක පිටිපස්සට කරලා, පහත් කරලා බෙල්ලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ කිහිප දෙනෙක් එක් වෙලා මාව උස්ස ගත්තා. සරම විතරයි මම ඇඳලා හිටියේ. ‘මෙන්න සීඅයිඩී එකෙන් මාව මරන්න ගෙනියනවෝ’ කියලා මම කෑගැහුවා. කෑගහනකොට කෙනෙක් මගේ කට හයියෙන් තද කරලා මට පහර දුන්නා. මගේ ගෙදර ඉඳලා කුඩා පාරට වැටෙන තැන සුදු පාට කේඩීඑච් වෑන් රථයක් පැත්තේ දොර ඇරලා නවත්තලා තිබුණා. ඒකේ පිටිපස්සේ සීට් එකට මාව වීසි කළා. මට හුස්ම ගන්න බැරි වෙන්න ආයෙත් කෙනෙක් මගේ මුහුණ අතින් තද කරගෙන හිටියා. ඒ වෙනකොට මගේ අතකට මාංචු දාලා තිබුණේ. මම හයියෙන් දඟලනකොට ‘යමංකෝ උඹට දෙන්න’ කියලා මාව අතෑරියා. දොර වහලා වෑන් එක වේගයෙන් පල්ලමට බැහැලා ගම ඇතුළ පැත්තට ගියා.”

එතැනින් පසු කතාව වෙනස් වෙන්නේ සුදු වෑන් රථයකින් 20 දෙනෙකු පැමිණ තම පියා පැහැහැරගෙන ගිය බවට පවසා, උදව් කරන්නැයි ඉල්ලමින් ඒ මොහොතේම අසේල සම්පත්ගේ දියණිය මුහුණු පොතට සජීවී වීඩියෝවක් මුදා හැරීමත් සමගය.

සෙනසුරාදා දිනයක් වූ බැවින් ඒ මොහොතේම බොහෝ පිරිසක් ඒ වීඩියෝව නරඹා තිබුණු අතර අසේල සම්පත් අත්අඩංගුවට ගත් පුවත වේගයෙන් සමාජය පුරා පැතිර ගියේය. ඒ අතරවාරයේ වෑන් රථය තුළ සිදු වූ සිදුවීම අසේල සම්පත් විස්තර කළේ මෙසේය.

“මාව මරනවා නම් මරන්න. කොරෝනා නිසා රට වහලා තිබිලා ඇරිය ගමන් මම සීඅයිඩීයට පැමිණිල්ලක් භාර දෙන්නත් ගියා. ඒ වෙලාවේ මාව ගන්න තිබුණානේ? උඹලා රෑ ආවේ ඇයි උඹලා බකමූණොද? කියලා මම ඇහුවා. ඒ කියලා වැඩි දුරක් යන්න වුණේ නෑ. එක නිලධාරියෙකුට කෝල් එකක් ආවා. ‘හරි සර්, නෑ.. නෑ. අපි ගාව ඉන්නවා.’ කියලා නිලධාරියා කිව්වා. එතැනින් පස්සේ ඒ අයගේ සැර බාල වුණා. ඊට පස්සේ දිගටම කෝල් එන්න ගත්තා. ‘අරගොල්ලන්ට කියන්න විත්ඩ්‍රෝ වෙන්න කියලා. පොලීසියට මැසේජ් එකක් දෙන්න කියලා කියන්න.’ ඒ නිලධාරියා ළඟ හිටපු කෙනෙක්ට කිව්වා. මාව ගෙනියන්න ගියේ කොළඹ පැත්තට නෙමේ අනික් පැත්තට. ඒත් කෝල් එකෙන් පස්සේ මාව කෙලින්ම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනිච්චා.’

ඕනෑම වෙලාවක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට රහස් පොලීසියට බලයක් ඇති බව පැහැදිලිය. ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් ඇතුවත්, ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නැතිවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි බවත් සැබෑවකි. එසේ වුවත් රාත්‍රි කාලයේ, විශාල නිලධාරීන් පිරිසක් සුදු වෑන් රථයකින් ගොස් නිවස වටලා අත්අඩංගුවට ගන්නට තරම් වරදක් අප දන්නා තරමින් අසේල සම්පත් කර තිබුණේ නැත. අනෙක් අතට ඔහුට දිනයක් නියම කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දූරකථන ඇමතුමක් දී පැවසුවේ නම් එය මගහරින්නට තරම් හේතුවක් හෝ වරදකාරී හැඟීමක් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඔහුට තිබෙන්නේ දැයි අප දන්නේ නැත.

26 වෙනිදා ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබුණේ නිරෝධායන පනත යටතේ බවය. ඒ ‘ජුනි 15 වන දා අසේල සම්පත් තම නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සමාජය නොමග යවනසුලු වරදක් සිදු කිරීම’ යන චෝදනාවටය.

නිරෝධායන පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට පැමිණි අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් අසේල සම්පත් හතර ගාතයෙන් කුදලාගෙන වායු සමීකරණය කළ වෑන් රථයක පටවාගෙන යන්නේ ඔහුට මුව ආවරණයක් ලබා ගැනීමටවත් ඉඩ නොතබා ගෙදරට ඇඳ සිටි සරම පිටිනි. අසේල සම්පත් පවසන ආකාරයට ඔහුට මුව ආවරණයක් ලැබී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී තමන්ට මුව ආවරණයක් දෙන්නැයි ඉල්ලා සිටියාට පසුවය.

“සීඅයිඩියේදී මට කන්න ගෙනාවා. මම එපා කීවා. මට මුව ආවරණයක් දෙන්න කිව්වාම ගෙනැල්ලා දුන්නා. මට ගෙදරත් එක්ක හෝ නීතිඥයෙක් එක්ක කතා කරන්න දුන්නේ නෑ. චීනයෙන් කෙමිකල් ගෙනැත් පල්ලේකැලේ පුරවන එන්නත විස වෙන්න පුළුවන් කියලා මම කියපු කතාවේ වීඩියෝව දාලා මාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේවා කියන්න වෛද්‍ය දැනුමක් තියෙනවාද කියලා මගෙන් ඇහුවා. සංවිධාන කීයක් තියෙනවාද කියලා ඇහුවා. සංවිධාන 7ක් තියෙනවා කියලා මම කිව්වා. කව්ද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා ඇහුවා.”

අසේල සම්පත් සිය නිවසේ පැවැත් වූ මාධ්‍ය හමුව රූගත කිරීමට ගිය විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක් මාධ්‍යවේදීන් දෙදෙනෙකුගෙන්ද ජුනි 25 වන දා උදේ වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කට උත්තර ලබාගෙන තිබේ.

මහජනයා පීඩාවට පත්වන අවස්ථාවල අසේල සම්පත් විටින් විට මාධ්‍ය හමු පවත්වමින් නොබියව අදහස් දක්වන සමාජ ක්‍රියාකාරිකයෙකි. ඇතැම් විට ඔහු එසේ කරන්නේ ඔහුට අභිමත දේශපාලන අදහසක් වෙනුවෙන්ද විය හැකිය.

මීට පෙර අප්‍රේල් මාසයේ 13 වන දා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික අධිකාරිය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශක් නිසාය. ඒ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ මග පෙන්වීම මත සතොස ආයතනයෙන් ලබා දුන් බඩුමල්ලේ අඩුපාඩු ඔහු නිර්දය ලෙස විවේචනය කරමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සමග ගැටුණේය. කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට දැඩි චෝදනා එල්ල කළේය. ඒවාට එම අමාත්‍යවරුන්ද ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා තිබිණි.

කෙසේ නමුත් මේ තරම් ඔහුට හිරිහැර කරන්නට හේතු වී තිබෙන්නේ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට එම අමාත්‍යවරුන්ගෙන් එල්ලවන බලපෑම් නිසාදෝ යන සාධාරණ සැකයක් අප තුළ ඇති වන්නේ නම් එය සාධාරණය. සත්‍ය තත්වය එසේ නම් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන අපට අමුතුවෙන් හිතන්නට සිදුවන කාලය වැඩි ඈතක නොවනු ඇත.

අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පන්නිපිටියේ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන් හැසිරුණු ආකාරය ගැන ඔහුගේ බිරිඳ අපට විස්තර කළේ මෙසේය.

“මම කුස්සියේ උයන ගමන් හිටියේ. අසේල ඉස්සරහ මේසන් බාස්ලාට උදව් කර කර හිටියේ. පොඩි දුවත් ලොකු දුවත් කාමරේ හිටියේ. ලොකු පුතා ඔන්ලයින් පන්තියක. හිටපු ගමන් දෙවෙනි පුතා කුස්සියට දුවලා ඇවිත් ‘අම්මේ තාත්තා පොලීසියෙන් අරන් යන්න හදනවා’ කිව්වා. මම ඉස්සරහට දුවගෙන ගියා. දුවලා දෙන්නත් දුවගෙන ආවා. ලොකු පුතාත් ආවා. එතකොට කිහිප දෙනෙක් අසේලගේ බෙල්ලෙන් අල්ලගෙන පහත් කරගෙන හිටියා.

එතකොට ලොකු පුතා අතේ ෆෝන් එක තිබුණා. ‘පුතේ වීඩියෝ කරන්න’ කියලා අසේල කෑ ගහලා කිව්වා. ඒත් එක්කම එක නිලධාරියෙක් ඇවිත් පුතාගේ අතේ තිබුණු ෆෝන් එක උදුරගන්න හැදුවා. මමයි, දුවලා දෙන්නයි, පුතායි එයාගේ අතේ එල්ලිලා කෑගැහුවා. ඒ අතර තවත් නිලධාරියෙක් එතනට ආවා. පුතාට ගහපු පාරට පුතා ගිහින් බිත්තියේ හැප්පුණා. අපි ඔක්කොම වැටුණා. අර නිලධාරියා අනෙක් නිලධාරියාගේ සහාය ඇතිව පුතාගේ ෆෝන් එක අරන් ගියා. ගමේ මිනිස්සු ඔක්කොම පාර ගාවට ආවා. ‘මුන් මාව මරන්න ගෙනියනවා කාට හරි කතා කරලා කියන්න’ කියලා අපිට හිතවත් අසල්වැසියෙකුට අසේල කිව්වා. එයා සාක්කුවෙන් ෆෝන් එක අතට ගත්තාම එක නිලධාරියෙක් එයාට ගහන්න ගියා.”

සමාජ අසාධාරණයන් පිළිබඳව නොබියව අදහස් දක්වන පුද්ගලයෙකුගේ නිවසට 15 ක් 20 ක් පැමිණ එම පුද්ගලයා කුදලාගෙන යන විට එම පුද්ගලයාටත්, ඔහුගේ පවුලේ අයටත් භීතියක් හා සැක සංකා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ රටේ එවැනි කුදලාගෙන යාම් බොහෝමයක් කෙළවර වූයේ එක්කෝ රැගෙන ගිය පුද්ගලයා අතුරුදන්වීමෙනි. නැත්නම් ඝාතනය කිරීමෙනි. අසේල සම්පත්ගේ ක්‍රියාකලාපයන් ගැන අපට විවේචනයන් තිබුණත් ජූනි 25 වන දා ඔහුට එවන් දෙයක් සිදු නොවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අපට සතුටු විය හැකිය.■

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (පළමු කොටස)

රසායනික පොහොර භාවිතය සහ වකුගඩු රෝගය අතර සහසම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි කිසිවක්ම නැත. එහෙත් එවැනි සම්බන්ධයක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ සමහරුන් කියන නිසා එම තර්කය අපි මොහොතකට පිළිගනිමු. එහෙත් රසායනික පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කිරීම, කෝවිඩ් වසංගතයේ අභියෝගය ගැන පමණක් හෝ සිතා තව මාස හයකින් හෝ අවුරුද්දකින් කල් දැමීමට බැරි
හේතුව කුමක්ද?

අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ සත්‍යතාව පිළිගැනීමට කෙනෙකු මැළි නොවේ. එහෙත් එදාම, වෘෂභ ලග්නයට අයත් තවත් ලක්ෂ ගණනක් මිනිසුන්ට ඒ ‘හදිසි ධන ලාභය’ නොලැබුණු බව එම තැනැත්තා සැලකිල්ලට ගන්නේ නැත. ජ්‍යොතිෂය යනු මුළුමණින් අවිද්‍යාත්මක දෙයක් වුවද, සම්භාවිතා පරාසයකින් එකක් හෝ කිහිපයක් නිශ්චිත මොහොතක නිශ්චිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් නිවැරදි වීම නමැති ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන් ජ්‍යොතිෂය තව චිරාත් කාලයක් නඩත්තු කෙරෙනු ඇත.

ජ්‍යොතිෂයට වඩා රේස් දැමීම තර්කානුකූල ය. එහිදී අශ්වයාගේ වයස, බර සහ මීට පෙර ජයග්‍රහණය කොට ඇති තරග සේම, ජොකියාගේ බර සහ අතීත අත්දැකීම් සමග, ඒ එක එක තරග ඉසව්වේ දුර ප්‍රමාණය සහ ඒ දුර ගෙවීම සඳහා ගතකොට ඇති කාලය ආදි සියලු භෞතික දත්ත රේස් කොළයේ මුද්‍රණය කොට තිබේ. දැන් රේස්කාරයාට ඇත්තේ එම දත්ත නිවැරදිව තුලනය කොට කිරා බලා ඔට්ටුව ඇල්ලීම පමණි. බැලූ බැල්මට, කිසි රේස්කාරයෙකු පරාජය වීමට හේතුවක් නැත. එහෙත්, රේස්කාරයන් දුසිම් ගණනක් දීර්ඝ කාලයක් ළඟින් ඇසුරු කොට ඇති මට මේ දක්වා රේස් දැමීමෙන් ගොඩ ගිය කිසිවෙකු සොයාගැනීමට ලැබී නැත. ඒ වෙනුවට, රේස් මුදලාලිලා පාර්ලිමේන්තුවට ගිය අවස්ථා දැක තිබේ.

රටක ආර්ථිකයක් පිළිබඳ කියැවෙන පුරෝකථන ඉහත කී අවස්ථා දෙකට වඩා තර්කානුකූල ය. එහෙත් ඒ සමගම, ඒ දෙකට වඩා සංකීර්ණ ය. තවත් විදිහකින් කිවහොත්, නිගමනයක් සඳහා පාදක කරගන්නා දත්තවලට වඩා ඒ දත්ත අතරේ පවතින සහසම්බන්ධතා ස්වරූපයේ සියුම් වෙනස්කම් පවා අවසාන නිගමනය යළි යළිත් සංස්කරණය කිරීමට හේතුකාරක විය හැකිය. රටක ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් මහබැංකුවක් ඉදිරිපත් කරන පුරෝකථන එකම වසර තුළ සමහරවිට දෙවරක් තුන්වරක් වෙනස් කිරීමට සිදුවන්නේ එබැවිනි.

රටක දේශපාලනයේ හෙට දවස ගැන කීම යම් තාක් සමාන වන්නේ ඉහත කී ආර්ථික පුරෝකථන ප්‍රභේදයටයි. එහෙත් ආර්ථිකයේදී තරම් නිශ්චිතභාවයක් දේශපාලනික දත්ත විශ්ලේෂණය කිරීමේදී අත්පත් කරගත නොහේ. ඒ අස්ථාවරත්වයට පාදක වන හේතු රාශියක් අතරින්, එක හේතුවක් කැපී පෙනේ. එනම්, වෙනත් පොදු සාධකවලට අමතරව, තනි පුද්ගල සාධකය දේශපාලනයේදී තීරණාත්මක විය හැකි බවයි. උදාහරණයක් වශයෙන්, දෙවැනි ලෝක යුද්ධයට හේතුකාරක වූ සමාජ-ඓතිහාසික සහ ජාතික කාරණා රාශිය එසේම තිබියදීත්, හිට්ලර් නමැති පුද්ගලයෙකු නොවුණි නම්, දෙවැනි ලෝක යුද්ධය එයාකාරයෙන්ම ඇති නොවීමට ඉඩ තිබිණි යැයි සාධාරණ පදනමක සිට කෙනෙකුට තර්ක කළ හැකිය. දේශපාලන විවරණයේදී කෙනෙකු කරන්නේ, සමාජ කාරණා සමග පුද්ගලයාගේ සහ සාමූහිකයේ හැසිරීම සැලකිල්ලට ගැනීමයි. එහිදී පාවිච්චියට ගැනෙන්නේ එක්තරා ‘තර්කානුකූල’ මාදිලියකි. එහෙත් තර්කානුකූල නොවන මිනිස්සුද සිටිති. තර්කානුකූල නොවන අවස්ථාද තිබේ. එවැනි මිනිසුන් සහ එවැනි අවස්ථාවන් අරභයා වන දේශපාලනය, අර කියන තාර්කික විශ්ලේෂණය තුළ පෙළගැස්වීම දුෂ්කර ය. “බුරන බල්ලා සපා නොකයි” යන්න දීර්ඝ කාලයක් තිස්සේ මිනිසා විසින් නිරීක්ෂණය කරන ලද යම් ප්‍රපංචයක් පිළිබඳ තාර්කික ප්‍රකාශනයකි. එහෙත්, මෙය සියයට සියයක සත්‍යයක් විය හැක්කේ, සියලු බුරන බල්ලන් තාර්කික වන්නේ නම් පමණි.

2024 දී ගෝඨාභය වෙනුවට
වෙනත් රාජපක්ෂ කෙනෙක්?
මේ දීර්ඝ විස්තරය කිරීමට සිදුවීමේ අරමුණු දෙකකි. එකක් වන්නේ, අපේ ඉදිරිය ගැන කෙරෙන ඕනෑම පුරෝකථනයක් වැරදීමට ඉඩ ඇති බව පිළිගැනීමයි. දෙවැන්න වන්නේ, එම විශ්ලේෂණය සඳහා වස්තු විෂය වන ප්‍රධාන පුද්ගල චරිතය අතිශය අතාර්කික ස්වභාවයක් ගන්නා නිසා, නිශ්චිත පුරෝකථනයක් කිරීම තවදුරටත් දුෂ්කර විය හැකි වීමයි. ගෝඨාභය රාජපක්ෂ යනු අත්‍යන්තයෙන් අතාර්කික නායකයෙකි. අතාර්කික වූ පමණින් යමක් සැණෙකින් අභාවයට යන්නේ නැත. උදාහරණයක් වශයෙන්, අතාර්කික සමාජවාදී අත්හදාබැලීම අවුරුදු හැත්තෑවක් වැනි දීර්ඝ කාලයක් පැවතියේය. අතාර්කික උතුරු කොරියාව සහ කියුබාව ඊට කිට්ටු කාලයක් තිස්සේ තවමත් අල්ලාගෙන සිටී. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂගේ අතාර්කිකත්වය විසින්ම ඔහු පරාජයට පත්කරනු ඇතැයි සිතීමට තරම් කෙනෙකු ඉක්මන් විය යුතු නැත.

මේ සියලු කරුණු සැලකිල්ලේ තබාගෙන, අපේ ඉදිරිය ගැන පහත සඳහන් පරිදි සිතීමට හැකියාව තිබේ.
සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුය. එතැනින් එහාට යන ඔහුගේ උරුමයක් ගැන සිතාගත නොහැක. ඇත්ත වශයෙන්ම, 1956 දී සහ 1970 දී එක්සත් ජාතික පක්ෂයත්, 1977 දී සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණත් සිටියාට වඩා අන්ත දුර්වල තැනක 2024 වන විට ගෝඨාභය රාජපක්ෂගේ පාලන තන්ත්‍රය පවතිනු ඇත. සංයුක්ත සහ ඒකාග්‍ර බලවේගයකින් තොර, විසිරුණු විරෝධතා ව්‍යාපාරයකට පවා ඒ වන විට ඔහුව පරාජය කිරීමට අපහසු නැත. (තමාගේ අභ්‍යන්තර දේශපාලන කවයේ සෙසු සාමාජිකයන්ට මෑතකදී ඔහු කියා ඇතැයි කියන කතාවක් මෙහිදී මතකයට නැඟේ. එනම්, 2024 දී තමාට ජයග්‍රහණය කළ නොහැකි බවත්, ඒ නිසා තම කඳවුරෙන් එදාට ජයග්‍රහණය කළ හැකි වෙනත් අපේක්ෂකයෙකු දැන් සිටම සොයාගන්නා ලෙසත් ඔහු දැනුම් දී ඇති බවයි. එම අපේක්ෂයා, රටේ සුළුතරයේ කැමැත්ත දිනාගත හැකි නායකයෙකු විය යුතු බවද ඔහු කියා තිබේ. හේතුව වන්නේ, තමා බලයට පත්කරන ලද තනිකර සිංහල-බෞද්ධ බලවේගය 2024 දී ඒ ආකාරයෙන්ම තම කඳවුරේ පිහිටට නොසිටින බවට දැනටමත් සාක්ෂි තිබීමයි. සංඝයා වහන්සේලා පවා තමා කෙරෙහි උරණ වී ඇති නිසා, ඊළඟ නායකයා ඒ සියල්ලන් යළි දිනාගත හැකි නායකයෙකු විය යුතු බව ඔහු පෙන්වා දී ඇත. බැසිල් රාජපක්ෂ ඉදිරියට පැමිණීමත්, නාමල් රාජපක්ෂ උතුරේ ජනතාව වෙනුවෙන් යම් ආකාරයකින් මේ මොහොතේ මැදිහත් වීමත් සමග මේ කියන කතාව එක්තරා සහසම්බන්ධයක් දරතියි සිතේ).

පෙර නොවූ විරූ ජනතා අප්‍රසාදය
ගෝඨාභය රාජපක්ෂ පාලනය කෙරෙහි වර්තමානයේ නැඟෙන අප්‍රසාදය, එක්තරා දුරකට විරෝධතා දේශපාලනය සඳහා රටකට නිතර නොලැබෙන අවස්ථාවකි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක් උදාවන්නේ පාලන තන්ත්‍රයක අවසාන අදියරේදී ය. එහෙත් තවම වසර දෙකක්වත් ගත වී නැති ගෝඨාභය රාජපක්ෂ පාලනය තරුණ වියේදීම මහලු වී ඇති සෙයකි. 2019 දී ඔහු වෙනුවෙන් සිටි 69 ලක්ෂය කටඋත්තර නැති තත්වයට පත්කොට ඇත්තේ සජිත් ප්‍රේමදාසගේවත්, අනුර කුමාර දිසානායකගේවත් දේශපාලනයෙන් නොවේ. ඔවුන්ගේ විශේෂ අනුග්‍රහයකින් තොරව, ගෝඨාභය රාජපක්ෂගේ තනි සම්මාදමෙන් පමණක් මේ වන විට රටේ ජනතාව තිත්ත සත්‍යය දෛනිකව පසක් කරගනිමින් සිටිත්. ඒ අතින් ගත් විට, ගෝඨාභය රාජපක්ෂ යනු, පාලක භූමිකාව තුළම හිඳිමින් විරුද්ධ පක්ෂ දේශපාලනයක නිරත වන නායකයෙකි. ඔහු බලයට පත් වූ දා සිට ජනතාවගේ ආදරයට සහ ප්‍රසාදයට පත්වන ඔහු කළ එකම දෙයක්වත් සිහියට නඟාගැනීමට පුළුවන්කමක් තිබේද?
මේ තත්වය සමග යහපාලන කාලයේ චර්යාව සසඳා බලන්න:

(1) රාජ්‍ය සේවය, පොලීසිය, අධිකරණය වැනි ආයතන සාපේක්ෂ ස්වාධීනත්වයක් අත්කර ගැනීම. (2) විධායක ජනාධිපතිගේ බලතල අවම කිරීම (3) ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කිරීම (3) රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම (4) ඖෂධ වර්ග 64 ක මිල අඩු කිරීම (5) ස්ටෙන්ට් සහ අක්ෂි කාච නොමිලේ සැපයීම (6) සුරක්ෂා රක්ෂණය හඳුන්වා දීම (7) සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීම (7) විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම (8) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබා දීම (9) ජී.ඇස්.පී ප්ලස් සහනය යළි ලබා ගැනීම ඒ අතරින් සමහරකි.

මේ කියන ලද කාරණා අතරින් දෙවැනි කාරණය හැරුණුකොට, සෙසු සියලු දේවල් ගැන සමස්ත ජනතාව සියයට සියයක් ප්‍රසාදයෙන් කතා කරනවාට කිසි සැකයක් නැත. එහෙත් දෙවැනි කාරණය හෙවත් විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කිරීම ගැන සමහරු දැරුවේ වෙනස් මතයකි. ඒ කුමක්ද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදු කරන ලද ජනාධිපති තනතුරේ බල කප්පාදුව නිසා විධායකයේ තීරණ ගැනීමේ ශක්තිය බෙලහීන කෙළේය යන්නයි. (ජනාධිපති සිරිසේනමත් ඒ කතාව පසු කලෙක කීවේය). ඒ අනුව, රාජ්‍ය පාලනය සහ රටේ පරිපාලනය අරාජක තත්වයකට වැටුණේ යැයි කියැවුණි. එම තත්වය තුළ, යළි ජනාධිපති බලතල ශක්තිමත් කළ යුතුය යන ඉල්ලීම 2019 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුර විසින් මතු කරන ලද අවස්ථාවේ ඊට ප්‍රතිවිරුද්ධ තර්කය ගොඩනැඟීම බුද්ධිමය අර්ථයකින් සහ ප්‍රජාතන්ත්‍රීය අර්ථයකින් කළ හැකිව තිබුණත්, එය සනාථ කොට කොට පෙන්වීමේ අවස්ථාවක් යහපාලන කඳවුරට නොවුණි. හේතුව, පුඩින්වල රස දැනෙන්නේ අනුභවයෙන් පමණක්ම වන නිසා ය.

මේ කාලය, ඒ පුඩිමේ රස බලන කාලයයි. අද වන විට, 20 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල, මහින්ද රාජපක්ෂගේ කාලයේ තිබුණාටත් වඩා ශක්තිමත් කොට ඇති බව අපි දනිමු. දැන් මා මතු කරන ප්‍රශ්නය මෙයයි. ඒ සා බලතල සියල්ලමත් තමන් අතේ තබාගෙන ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසර එකහමාරක කාලය තුළ රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සිදුකොට ඇත්තේ කෙසේද? එය, යහපාලන කාලයේ සිටි ජනාධිපතිවරයා තීරණ ගත් සහ තීරණ ක්‍රියාවේ යෙදවූ ආකාරයට වඩා කාර්යක්ෂම සහ වැඩදායී ආකාරයකින් සිදු වී තිබේද? ගැසට් නියෝග කීයක් මේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කෙළේද? ඒ නියෝග කීයක් ආපසු හරවා ගත්තේද? ප්‍රතිපත්ති කීයක් ප්‍රකාශයට පත්කෙළේද? ඒ ප්‍රතිපත්ති කීයක් ආපසු හරවා ගත්තේද? සමාජ පිළිල වශයෙන් සැලකෙන මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීම, රාජ්‍ය පාලනයේ කාර්යක්ෂමතාව ඇති කිරීම, සහල් මාෆියාව නැති කිරීම, රාජ්‍ය ව්‍යවසාය ලාබ ලබන තත්වයට පත්කිරීම සහ ඒ සියල්ලටමත් වඩා, දූෂණය පිටුදැකීම ආදි ඕනෑම ක්ෂේත්‍රයක්, මේ කියන ජනාධිපති බලතල පාවිච්චියෙන් යහපත් තත්වයකට ගෙන එන ලදැයි කිව හැකිද? ඒ වෙනුවට ඔහු සිය බලතල මේ වන තෙක් වඩාත් සාර්ථකව පාවිච්චි කොට ඇති එකම ක්ෂේත්‍රය වන්නේ, සිය පවුලේ සහ කඳවුරේ චුදිතයන් සහ අධිකරණයෙන් පවා වැරදිකරුවන් කොට ඇති අයවළුන් ‘නිfදාස් කොට නිදහස් කරන’ ක්ෂේත්‍රය පමණක්ම නොවේද?

ඒ අනුව බලන විට, ඉහතින් කී කරුණු නවයම යහපාලනයේ සාධනීය අත්දැකීම් වශයෙන් පිළි ගැනීමට බාධාවක් නැති බව සාධාරණව කෙනෙකුට පෙනී යා යුතුය. ඒ සමග වර්තමාන පාලනය සසඳා බලන්න: පෙන්වා දිය හැකි එවැනි එක දෙයක්වත් ගෝඨාභය රාජපක්ෂගේ මේ අවුරුදු එකහමාරක කාලය තුළ ඇත්තේද යන්න මගේ ප්‍රශ්නයයි.

(යහපාලනයේ අවුරුදු පහක කාලය සමග ගෝඨාභය රාජපක්ෂගේ අවුරුදු එකහමාර සැසඳීම අසාධාරණ බව ඇත්ත. මන්ද යත්, වැඩ පෙන්වීමට තව අවුරුදු තුනහමාරක් ඔහුට ඉතිරිව ඇති බැවිනි. එහෙත් සාපේක්ෂ චිත්‍රයක් ඇඳ ගැනීමට ඒ සැසඳීම අයෝග්‍ය නැත. අනික, ඉහත කී කරුණු නවය, සමස්තයෙන් අල්පයක් පමණක් බවත් කිව යුතුය. අද දකින්නට ලැබෙන ආර්ථිකයේ කඩාවැටීම, එක දවසකට රුපියල් බිලියන 240 ක් අච්චු ගැසීමට තරම් මහබැංකුව බංකොළොත් වීම සහ අදූර්දර්ශී වීම, බංග්ලාදේශයට පවා ණයකාරයෙකු වීමේ විළිලැජ්ජාව දරාගැනීම ආදී වෙනත් බොහෝ කරුණු මගේ සන්සන්දනයට පාවිච්චි කොට නැත).

ගොවි ජනතාවට වෙනම වයිරසයක්
මේ ලිපියේ විෂය කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වය ගැන සාකච්ඡා කිරීම නොවෙතත්, රටේ ඉදිරිය ගැන කතාව ඔහුගේ අසාර්ථකත්වය සමග සෘජුව බද්ධ වී ඇති නිසා ඒ ගැන කෙටියෙන් හෝ කීම අනිවාර්ය කෙරේ. එම අසාර්ථකත්වය පෙන්නුම් කරන කරුණු රාශියක් අතරින් කරුණු දෙකක් ගැන පමණක් මෙහි සඳහන් කිරීම වටී. ඒ කාරණා දෙක, මේ දක්වා බොහෝ දෙනාගේ සැලකිල්ලට ලක් වී නොමැත. ඉන් එකකින් කියැවෙන්නේ, රාජ්‍ය නායකයෙකුගේ පටු දැක්මයි. අනෙක් කාරණයෙන් කියැවෙන්නේ, තාර්කිකත්වයක් ඇති කරගත හැකි තැනක පවා තාර්කිකත්වයක් ඇති කරගැනීම ගැන ඔහු තුළ ඇති නොතැකීමයි.

මුලින්ම පළමුවැන්නට: කෝවිඩ් වසංගතයෙන් අඩුවෙන්ම බැට කෑ ජන කොට්ඨාසය වන්නේ ගැමි ගොවි ජනතාවයි. රෝගය අඩුවෙන්ම බෝ වුණේ ඔවුන්ට ය. එසේම, රට වසා තිබුණු කාලයේ පවා තමන්ගේ කර්මාන්තය (කෘෂිකර්මාන්තය) බාධාවකින් තොරව කරගෙන ගිය එකම වැඩ කරන ජන කොට්ඨාසය වුණේත් ඔවුන් ය. නගරයේ ජනතාව කෝවිඩ් නිසා අත්විඳි දරිද්‍රතාව ඔවුන් අත්වින්දේ නැත. එසේ තිබියදී ගෝඨාභය එක රැයකින් පොහොර තහනම් කෙළේය. එහි ප්‍රතිඵලය වුණේ, කෝවිඩ් වසංගතයෙන් බැටකෑ නාගරික ජනතාවටත් වඩා බැටකන තත්වයකට ගැමි ගොවි ජනතාව පත්වීමයි. තවත් විදිහකින් කිවහොත්, කෝවිඩ් වයිරසයටත් ආක්‍රමණය කළ නොහැකි වූ ජන කොටසක්, ගෝඨාභය වයිරසයෙන් ගැළවුණේ නැති බවයි. අද වන විට වැඩියෙන්ම කුපිත වී සිටින ජන කොටස බවට ඔවුන් පත්ව ඇත.

රසායනික පොහොර භාවිතය සහ වකුගඩු රෝගය අතර සහසම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි කිසිවක්ම නැත. එහෙත් එවැනි සම්බන්ධයක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ සමහරුන් කියන නිසා එම තර්කය අපි මොහොතකට පිළිගනිමු. එහෙත් රසායනික පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කිරීම, කෝවිඩ් වසංගතයේ අභියෝගය ගැන පමණක් හෝ සිතා තව මාස හයකින් හෝ අවුරුද්දකින් කල් දැමීමට බැරි හේතුව කුමක්ද? ඒ ආධානග්‍රාහී තීරණය සඳහා කිසි සාධාරණ හේතුවක් ගැන සිතා ගැනීමට පුළුවන්කමක් නැත.

ඊළඟට දෙවැනි කාරණයට: තාර්කිකත්වය කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ තුළ ඇති නොතැකීම, දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පෙන්නුම් කෙරේ. දුමින්ද සිල්වා එල්ලුම්ගසට නියම වුණේ, පළිගැනීමක් හෝ අධිකරණයේ පක්ෂපාතීත්වයක් නිසා යැයි මොහොතකට අපි සිතමු. ඔහුගේ නිදහස වෙනුවෙන් රාජපක්ෂ කඳවුරේ අර්ථකථනය වන්නේ අඩු වැඩි වශයෙන් එවැනි මතයකි. සත්‍යය එය නම්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සමග මේ වරදටම වැරදිකරුවන් වී එල්ලුම්ගසට නියම වූ ඉතිරි පුද්ගලයන් සිව් දෙනාටත් නිදහස ප්‍රදානය කළ යුතුව තිබුණි. මන්ද යත්, ඔවුන්ද අර කියන පළිගැනීමේ සහ අධිකරණමය පක්ෂපාතීත්වයේ වින්දිතයන් විණැයි සිතිය යුතුව ඇති බැවිනි. එකම අපරාධයකට වරදකරුවන් වූ හතර දෙනෙකු අතරින් එක් අපරාධකරුවෙකු පමණක් නිදහස් කිරීම පැහැදිලිවම අතාර්කික ය. හිතුවක්කාරී ය. (ඉතිරිය ඊළඟ සතියට)■

ඛනිජ තෙල් සංස්ථාව නැත්තටම නැතිකරන කැබිනට් යෝජනා

ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාස භංග යෝජනාව විපක්ෂය කතානායකවරයාට බාරදී තිබේ. ඉන්ධන මිල වැඩි කිරීම එම විශ්වාස භංගයට හේතු වී තිබේ.

ඛනිජ තෙල් මිල සම්බන්ධ එම කතාව එසේ තිබියදී ඛනිජ තෙල් සම්බන්ධයෙන් රට ලොක්ඩවුන් සමයේ මතුවූ තීරණාත්මක කතාවක් දැන් යට ගොස් තිබේ. ඒ 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවය.
‘ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් හා දැවි තෙල් ආදි ඛනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය, පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය කිරීම, මිශ්‍ර කිරීම හා බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ සුදුසුකම් ලබන ඕනෑම පාර්ශ්වයක් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවසර ලබාදීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට බලතල ලබාදීමට’ හා

‘ඛනිජ තෙල් පිළිබඳ නූතන නිර්වචනය ඇතුළත් කිරීමට’ එම කැබිනට් යෝජනාවෙන් බලය ඉල්ලා තිබේ.
මෙම යෝජනාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විපක්ෂ දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති පමණක් නොව ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිතියද විරුද්ධය. එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් දැනට මේ තත්වයේ හෝ පවතින ඛනිජ තෙල් සංස්ථාව නැත්තටම නැතිවී යන බව එහි වෘත්තීය සමිතිවල අදහසයි. එම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද භයානක අනතුරක් මතුවන බව එම වෘත්තීය සමිතිවල අදහසයි. ඊට හේතුව ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ආයතනවලට අඛණ්ඩ ඉන්ධන සැපයීමක් පෞද්ගලික සැපයුම්කරුවන් මගින් සහතික කළ නොහැකි වීමය. දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකුවලට රුපියල් බිලියන ගණනින් ණය වී ඇත්තේ ඔවුන්ට ලංවිම, ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන රුපියල් බිලියන ගණනින් ණය නිසාය.

ඛනිජ තෙල් හා සෘජු ඉන්ධන ගෙන්වීම, පිරිපහදු කිරීම, නිෂ්පාදනය, බෙදාහැරීම ආදි සියලු බලතල තිබුණේ ඛනිජ තෙල් සංස්ථාව සතුවය. ඒ 1961 අංක 28 දරන පනත අනුවය. එය වෙනසකට ලක්කරනු ලැබුයේ 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත මගින්ය. එම පනත මගින් සිදුකළේ අයිඕසී හෙවත් ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන පිරවුම්හල් ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ තුනෙන් එකක කොටසක් ලබාදීමය. ඊට අමතරව සිදුවූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් හා චීන වරායේ ජැටිය අවුරුදු 35ක කාලයකට අයිඕසීයට ලබාදීමය. එම 2002 විශේෂ විධිවිධාන පනතේ බලතල දැන් දැන් බලාත්මක නැතැයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිය කැබිනට් පත්‍රිකාවේ අවධාරණය කරයි. එහි තේරුම වන්නේ කුමක්ද? ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන ගෙන්වීම, පිරිපහදුව, බෙදාහැරීම ඇතුළු බලතල ඉදිරියේදී කිසිවකුට ලබාදීමට අවශ්‍ය බවයි.

අයිඕසී සමාගමේ ඉන්ධන පිරවුම්හල් ගිවිසුම 2023 වර්ෂයේදී අවසන් වේ. පනත සංශෝධනයේ එක් අරමුණක් බව පෙනෙන්නේ, ඉන්දීය අයිඕසී සමගමටම එම කොටස නැවත ලබාදීමය. එමෙන්ම අයිඕසීයට එම කොටස ලබාදීමේදී තවත් පාර්ශ්වයකට ලබාදීම සඳහා වෙන්කර මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවටම ලබාදී ඇති තුනෙන් එකක කොටස යළි වෙනත් පාර්ශ්වයකට ලබාදීමද මෙහි අරමුණක් විය හැකිය. විදේශයන්ට හෝ සමාගම්වලට ලබාදී ඇති ජාතික සම්පත් නැවත ලබා ගන්නවා යැයි කියා බලයට පැමිණි මේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ ලෙස බව දැනටත් බොහෝ උදාහරණවලින් පෙන්නුම් කර ඇත.

දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බොරතෙල් පිරිපහදු කිරීමේ බලතල වෙනත් පාර්ශ්වයකට ලබාදීමට අවශ්‍ය බව මෙම කැබිනට් පත්‍රිකාවේම සඳහන් කරයි. එහි සඳහන් කරන්නේ දෛනික නිෂ්පාදන ධාරිතාව බැරල් 100,000ක් වන නව පිරිපහදුවක් ගොඩනැඟීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීමේ පදනමින් (ඊධඔ) ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතින බවත් ඊට 1961 පනත බාධාවක් බවය. මේ ආකාරයටම ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව සතු බලයද නව පනත තුළින් අහෝසි නොවේ යැයි කිසිදු සහතිකයක් නැත. එහි අවසන් ප්‍රතිඵලය විය හැක්කේ රාජ්‍ය ආයතනවලට ණයට ඉන්ධන දී හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ මත භූමිතෙල් අලාභයට දීම සඳහා උපකාර කරගත් ගුවන් යානා ඉන්ධන විකිණීමද නැතිවීමෙන් ඛනිජ තෙල් සංස්ථාව නැත්තටම නැති වීමය.

මේ අවස්ථාවේ ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන අධිවේගී මාර්ග ඇතුළු ගුවන් පාලම් ඉදිකිරීම සඳහා දැනට තිබෙන ණය ගෙවා ගැනීමට බැරි තත්වය යටතේත් අතිවිශාල ණය ලබා ගන්නා ආණ්ඩුව එම ණය පියවීම සඳහා රාජ්‍ය සම්පත් හා දේපළ නොවිකුණාවි යැයි සහතිකයක් ලබාදීමට බැරිය. ඒ එවැන්නක් මෙතෙක් ඔවුන් පෙන්නුම් කර නැති නිසාය.

ඒ සම්බන්ධයෙන් තවත් උදාහරණයක් අපට පෙන්වන්නේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයෙන්මය. ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ඊට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ 2021 ජනවාරි 25 වැනිදාය. ඊට අදාළ කැබිනට් මණ්ඩල තීරණයේ එය ‘නව ඛනිජ තෙල් සම්පත් පනතක් පැනවීම’ මැයෙන් දැක්වෙන්නේ මේ ආකාරයටය.

‘2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් ශ්‍රී ලංකාවේ දේශීය ඛනිජ තෙල් හා වායු ගවේෂණ සහ නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණ පුළුල් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම අංශයන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අයුරින් අර්ථ නිරූපණය කර නොමැති බව පෙනී ගොස් ඇත. ඒ අනුව අදාල පාර්ශ්වයන් සමඟ පැවති සාකච්ඡාවලදී එම පනත අවලංගු කර අවශ්‍ය අර්ථදැක්වීම්, නියාමනය, ප්‍රතිපත්තිය හා ජාතික මෙහෙයුම්කරු වෙන්කොට දැක්වීම සඳහා නව පනතක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, 2003 අංක 26 දරන ඛනිජ තෙල් සංවර්ධන පනත අවලංගු කර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’
2

003 අංක 26 දරන පනතින් සිදුකර ඇත්තේ ඛනිජ තෙල් ගවේෂණයට අදාළ වාතාවරණය සැකසීමය. එම පනතේ ගවේෂණ කටයුතුවලට අදාළ බාධා පැවති බව මෙම කැබිනට් යෝජනාව එනතෙක්ම කිසිම සාකච්ඡාවක් තිබුණේ නැත. ගවේෂණ කටයුතු සඳහා ක්‍රියාකිරීමට එම පනත යටතේ ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයක්ද පිහිටුවා තිබේ.

දැනට හඳුනාගෙන ඇති මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් කැණීම් හා ගවේෂණයන් බදුදීම හෝ ආයෝජනය වැනි නමකින් විකිණීමට නොහැකිකමේ යම් අවුලක් එම පනත තුළත් ඇතිවාට සැක නැත. මේ පනත් සංශෝධන ගෙනඑන්නේ එම විකිණීම් සඳහා විය හැකිය.■

යහපාලනයේ ටොප් ටෙන් වංචාවක් කී වෙහිකල්ස් ලංකා වාහන 2250 ව්‍යාපෘතිය මේ ආණ්ඩුවෙන් කරළියට දැන් ගම්මන්පිල ඒ ගැන කියන්නේ මොකක්ද?

පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන වංචා දූෂණ වත්මන් ආණ්ඩුව එදා විපක්ෂයේ සිටියදී හැඳින්වූයේ ‘ටොප් ටෙන්’ වංචා දූෂණ ලෙසින්ය. එම ටොප් ටෙන් වංචා දූෂණවලින් කිහිපයක් සමබන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද එදා විපක්ෂය පැමිණිලි කළේය. යහපාලනයේ එම වංචා දූෂණ ගැන එදා රටට ප්‍රකාශයට පත්කළ ප්‍රධානීන් වූයේ වත්මන් කැබිනට් අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා උදය ගම්මන්පිලය.
එම ටොප් ටෙන් වංචා දූෂණ අතරින් එකක් වූයේ නීති විරෝධී වීම හේතුවෙන් පැවති ආණ්ඩු කිහිපයක් යටතේම ක්‍රියාවට නංවන්නට නොහැකි වූ කූප්‍රකට වෙහිකල්ස් ලංකා සමාගමේ වාහන ව්‍යාපෘතියය. යහපාලන සමයේදී ඒ සඳහා උත්සහ දැරුවේ එහි මුදල් අමාත්‍ය රවී කරුණානායකය. භාවිත කරන ලද අමතර කොටස් ගෙන්වා වසරකට වාහන 750 බැගින් වසර තුනක කාලයේදි වාහන 2250ක් එකලස් කිරීම එම ව්‍යාපෘතිය විය.

ලියුම්කරු කිහිපවරක්ම එම ව්‍යාපෘතියේ නීති විරෝධිභාවය ගැන හා එම නීති විරෝධී ව්‍යාපෘතිය නීත්‍යනුකූල නොවන මාර්ගයන්ගෙන් ක්‍රියාත්මක කරන්නට යෑමේ අවස්ථා ගැන ලියා තිබේ. අවසන් වරට වත්මන් ආණ්ඩුව යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට උත්සහ දරන බව ‘අනිද්දා’ වාර්තා කළේ ‘වාහන 2250 ව්‍යාපෘතියට මුදල් ලේකම් අත ගසයි’ යනුවෙන් 2020 අප්‍රේල් 19 දින කලාපය මගින්ය.

එහිදී අප පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රේගුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වෙහිකල්ස් ලංකා හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වා කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවය.

මේ කියන්නට යන්නේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් වී තිබීම ගැනය. MF/TIP/10/CM/2021/06 අංකය යටතේ 2021 මැයි 06 දින සහිතව මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් වී ඇති අතර එහි උද්ධෘතය වන්නේ zFR අංක 304/2011 මූලික අයිතිවාසිකම් අයදුම්පත සඳහාවූ ශ්‍රේෂ්ඨාධිකරණ සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා ගැනීම (වෙහිකල්ස් ලංකා (පුද්.) සමාගම)’ යන්නය.

මෙම කැබිනට් පත්‍රිකාවෙන් කියන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සහ නීතිපතිවරයා ඉහත කී අයිතිවාසිකම් නඩුවේ සමථකරණයකට එළඹුණු බවයි.

එම සමථකරණ තීන්දුව අනුව වර්ෂයකට එකලස් කරන ලද වාහන 750ක් බැගින් වර්ෂ තුනක කාලයකට වාහන 2250ක් ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ කොමසාරිස් ජනරාල් එකඟ වී ඇති බවයි. එම මෝටර් රථ එකලස් කිරීම සඳහා අවසර නොදෙමින් වරින්වර සිදුකළ ප්‍රතිපත්ති සංශෝධන නිසා එම එකලස් කිරීමේ ව්‍යාපාරික කටයුතුවලට බාධා එල්ල වූ බවයි. තම ව්‍යාපාරයට අවහිර කිරීම සම්පන්ධයෙන් එම සමාගම රජයෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර ඇති බව හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි. එම නඩු කටයුතු සිදුවන අතර වාරයේ එම සමාගම මෝටර් රථ එකලස් කිරීම නැවත ඇරඹීම සඳහා අවසර දෙන මෙන් බලධාරීන් වෙත නියෝජනයන් සහ ඉල්ලීම් ඉදිරිපත් කිරීම අඛණ්ඩව සිදුකොට ඇති බවයි.

දීර්ඝ විස්තර කිරීමකින් පසු එම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සමථකරණ නඩු තීන්දුව හා අනුකූලව කටයුතු කිරීමට එම පත්‍රිකාවේ ඇති කරුණු 08කින් යුත් යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැති ලබාදෙන ලෙසයි.
එම යෝජනා අතරින් කිහිපයක් වන්නේ,

මෙම ව්‍යාපෘතියට අදාළව, රජය හෝ රජයේ නිලධාරීන්ට එරෙහිව වෙහිකල්ස් ලංකා (පුද්.) සමාගම විසින් කිසියම් අධිකරණයක පවරනු ලැබ විභාග වෙමින් පවතින නඩුවක් හෝ කිහිපයක් වේ නම් ඒ සියල්ල ඉවත් කර ගැනීම,
එම සමාගම විසින් ආනයනය කරනු ලැබූ භාවිත කළ මෝටර් රථ කොටස්/උපාංගවලින් එකලස් කරනු ලැබූ හා ඒ දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කරනු නොලැබූ සියලු මෝටර් රථ සංඛ්‍යාව එකලස් කරනු ලබන මෝටර් රථ 2250 ප්‍රමාණයට ඇතුළත් කිරීම,

එම සමාගම දැනටමත් එකලස් කරනු ලැබූ සහ ලියාපදිංචි නොකළ මෝටර් රථ සංඛ්‍යාව සහ රේගුවෙන් නිදහස් කර ඇති භාවිත කළ මෝටර් රථ කොටස්/උපාංග තොග ප්‍රමාණය අඩු කිරීමෙන් පසුව උපරිම වශයෙන් තවත් මෝටර් රථ 2250ක් එකලස් කිරීම සඳහා අවශ්‍ය භාවිත කළ මෝටර් රථ කොටස් /උපාංග තොග අලුතින් ආනයනය කිරීම සඳහා අවසර දීමය.

ඒ අනුව පෙනෙන්නේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිටත් ඇති නෛතික ක්‍රියාමාර්ග අධිකරණයෙන් පිට විසඳීමට, දැනට රේගු පරීක්ෂණවලට භාජනය වන එම සමාගමේ ආනයනික කන්ටේනර් මුදා හැරීම, ගෙවිය යුතු රේගු බදු නොගෙවීම හේතුවෙන් ලියාපදිංචිය නොලැබූ නීති විරෝධී වාහන සඳහා ලියාපදිංචිය ලබාදීම, දැනට ඇති වාහනවලටත් අමතරව තවදුරටත් වාහන 2250ක් එකලස් කිරීම සඳහා භාවිත කරන ලද අමතර කොටස්/උපාංග ගෙන්වීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් උත්සාහ කරන බවය.

මෙම කැබිනට් පත්‍රිකාව වූ කලි මේ සම්බන්ධයෙන් මෙතෙක් ලබාදී ඇති අධිකරණ තීන්දු මඟහැර යන, මහා පරිමාණ රේගු බදු වංචාවකට අනුමැතිය ලබාදෙන, රටේ මෝටර් රථ ආනයන නීතියට පටහැනි හා පරිසර හිතකාමී නොවන එකකි.

ඊට හේතු වන්නේ මෙම කැබිනට් පත්‍රිකාවෙන් අවධාරණය කරන අධිකරණ තීන්දුවට පසු එම තීන්දුව පාදක කරගනිමින් ඊට පසු ලබාදී ඇති අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමය.

එය සිදුවුණේ කෙසේද යන්න හා කාගේ වුවමනාව අනුවද යන්න දන්නේ කැබිනට් පත්‍රිකාව සකස් කළ අය පමණය. සමහර විට එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ පවා ඒ ගැන නොදන්නවා විය හැකිය. එසේ නොදන්නවා නම් දැන් ඒ ගැන දැනගන්නට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජක්ෂටද අවස්ථාවක් ලබාදී ඇත. ඒ මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කර ක්‍රියාත්මක කළහොත් ඒ මගින් මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති තීන්දු උල්ලංඝනය වන බැවින් අධිකරණ අපහාසයක් වන බවට ඔවුන්ට ජුනි 25 දින සහිතව නීතිඥ එන් එස් වෙල්ගම විසින් ඔහුගේ සේවාදායක අංක 260/2020 මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කාර සහකාර රේගු අධිකාරි ඩබ්ලිව් එම් ආර් පී විජේකෝන් වෙනුවෙන් දැනුම් දී තිබීමය.

එම දැනුම්දීම් ඊට අමතරව ජනාධිපති ලේකම්වරයාට, අගමැති ලේකම්වරයාට, කැබිනට් මණ්ඩල ලේකම්වරයාට, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට, නීතිපතිවරයාට හා කැබිනට් මණ්ඩල සාමාජිකයින්ටද ලැබෙන්නට සලස්වා ඇත.
අප මීට පෙර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලියා ඇති පරිදිම මෙම දැනුම් දීම මගින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට අවධාරණය කරන්නේ කැබිනට් මණ්ඩල තීන්දුවට පාදක කරගෙන ඇති අංක 304/2011 මූලික අයිතිවාසිකම් පෙත්සම් සමථකරණ තීන්දුවේ එකලස් කරන වාහන ලියාපදංචි කිරීමට එකඟතාවක් මිස එසේ එකලස් කිරීම සඳහා භාවිත කරන ලද වාහන කොටස් ආනයනයට අවසර ලබාදීමක් සිදුකර නැති බවය.

එමෙන්ම වත්මන් ජනාධිපති ලේකම් එවක මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ අංක 304/2011 මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම සමාගමට වාහන ආනයනය කිරීමට අවසර නැති බවත් ආනයනයට අදාළ භාණ්ඩ අත්හිටුවීම හෝ රාජසන්තක කරන ලෙසත්ය.

එම නියෝගයට අභියෝග කරමින් මෙම සමාගම අභියාචනාධිකරණයට අංක 57/2013 යනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර ඉන්ද පිළිගෙන ඇත්තේ අංක 304/2011 මූලික අයිතිවාසිකම් නඩුවේ සමථකරණය වංචනික ආකාරයට භාවිත කරමින් එම සමාගම ආනයන හා අපනයන පාලකවරයාගෙන් වාහන කොටස් ආනයන බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් එම සමාගමට වාහන කොටස් ආනයනයට අවසර නැති බවත්ය. එමෙන්ම එම තීන්දුවට එරෙහිව එම සමාගම ඉදිරිපත් කළ SC/SPL/LA/76/2013 යන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිශ්ප්‍රභ කර ඇති අතර CA writ 446රැ2014 යන අභියාචනාධිකරණ පෙත්සමද ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අවසානාත්මක ලෙස පිළිගෙන ඇත.

රටේ මොටර් රථ නීතිය අනුව වසර 03කට වඩා පැරණි වාහන ආනයනය තහනම්ය. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව මෙන්ම මීට පෙර මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ කරුණු අනුවද පෙන්වා දී තිබුණේ එකලස් කිරීමට යැයි කියා එම සමාගම ගෙන්වන අමතර කොටස් හා උපාංග වසර තුනකට වඩා පැරණි බවය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මෝටර් රථ පනත උල්ලංඝනය කරන්නක් බවහා පරිසර හිතකාමී නොවන එකක් බව පැහැදිලිය.

අනෙක් කරුණ රේගු බදු සම්බන්ධයෙන් පැන නඟින ගැටලුවය. මෙම ව්‍යාපෘතිය එකලස් කරනවා යැයි කියන වාහන සඳහා සම්පූර්ණ වාහනයක් සඳහා බදු අයවීමක් මෙතෙක් සිදුවී නැත. විශාල රේගු ආදායමක් අහිමි ඇත්තේ ඒ මගින්ය. අමතර කොටස් හා උපාංග ආනයනය කරනවා යැයි කීවද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ භාවිත කර ඉවත දැමූ වාහන කොටස් කිහිපයකට ගලවා රටට ගෙනැවිත් සවි කිරීමය.

ඉතිහාසය පුරාම මෙම සමාගමත්, එහි හිමිකරුත් සම්පූර්ණ වාහනයක් සඳහා නිසි බදු නොගෙවූ එකලස් කරනවා යැයි කියන ඔවුන්ගේ වාහන ලියාපදිංචි කර ගත්තේ අධිකරණ තීන්දු මගින් නොව එම නඩුවලට සම්බන්ධ රජයේ නිලධාරීන් හා ඇමතිවරුන් සමඟ සමථකරණයන්ට එළැඹීමෙන්ය. එම සමථකරණයන්ට එළැඹීමට රජයේ නිලධාරීන්ට හා දේශපාලනඥයින්ට නඩු පිට නඩු දමමින් කරන බලපෑම් මෙන්ම වෙනත් ආකාරයට සිදුකරන බලපෑම්ද හේතුවනවා ඇත. වත්මන් කැබිනට් පත්‍රිකාවෙන් සිදුකිරීමට යන්නේ එවැන්නකි.

මෙහිදී සිහියට නැගෙන්නේ එදා යහපාලන සමයේදී මේ ආකාරයටම මෙම වාහන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙද්දී වත්මන් අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යයට කී කතාය. ඔහු එදා කීවේ මෙම වෙහිකල්ස් ලංකා ව්‍යාපෘතිය මගින් රුපියල් බිලියන 6.6ත් 25ත් අතර පාඩුවක් නියමිත රේගු බදු මඟහැරීම මගින් රජයට සිදුවන බවත්, එම ව්‍යාපෘතිය මෝටර් රථ පනත උල්ලංඝනය කිරීමක් බවත් හා ඒ සම්බන්ධයෙන් එවක මුදල් අමාත්‍ය රවී කරුණානායකට විවාදයකට අභියෝග කරන බවත්ය.

දැන් අපට වත්මන් අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් අසන්නට ඇත්තේ ඔහුගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට යන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැන් කියන්නට ඇත්තේ කුමක්ද යන්න හා එදා විරෝධය එසේම ප්‍රසිද්ධියේ වත්මන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට පළකරනවාද යන්නය.■