No menu items!
23.4 C
Sri Lanka
11 May,2025
Home Blog Page 148

මංගලගේ වියෝව

0

■ මහාචාර්ය රොහාන් සමරජීව

මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද?

මංගල වෙන්ව ගියේ ඔහුගේ ජීවිතයේ උච්චතම අවස්ථාවක ය. මසකට පෙර, ජුලි 25 වැනි දා, ඔහු ෆ්‍රීඩම් හබ් මාධ්‍ය සමුළුව පවත්වන ලද්දේ තරුණ ජනයා පිරිවරාගෙන ය. එදින සහ ඉන් පසුව පැවති විවිධ මාධ්‍ය සාකච්ඡාවල දී, ඔහු තමා විශ්වාස කළ සහ ඔහුට දැනුනු දේ කෙලින්ම ප්‍රකාශ කළේ.

2020 දී ඔහු මහ මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්වීමට කල්පනා කරමින් සිටියදී, ඔහු මගේද උපදෙස් විමසීය. දේශපාලනයේ නොමැති අයෙකු වෙත මාධ්‍ය කැමරා එල්ල නොවනු ඇතැයි මා ඔහුට පැවසුවා මට මතක ය. ඔහු මා සමග එකඟ නොවෙමින් කීවේ මැතිවරණ දේශපාලනයේ නොසිටියත් ඔහු දේශපාලනයේ සිටිනු ඇති බව යි. කැමරා එනු ඇතැයි ඔහු කීවේය. රැඩිකල් මධ්‍යස්ථානය දියත් කිරීමෙන් පසු ඔහුට හිමි වූ මාධ්‍ය අවධානයෙන් පෙනී ගියේ ඔහු නිවැරදි බව සහ මා වැරදි බව යි.

1989-99 කාලයේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ යුද්ධය සමනය කිරීමේ කටයුතුවලදී මම ඔහු සමඟ කිට්ටුවෙන් වැඩ කළෙමි. දේශපාලනය යනු කළ හැකි දේ කිරීමේ කලාවය. ඔහු ප්‍රායෝගික දේශපාලනඥයෙක් විය. ඔහු වැඩ කාරයෙකි.

ලිබරල්වාදියකු ලෙස, ඔහු තමා සාමාජික වු සියලු අමාත්‍ය මණ්ඩලවල සහ වැඩ කළ සියලු පක්‍ෂවල සුළුතරයට අයත් විය. එහි දීල මැදුම් සම්මුතීන්ට එළඹීම අවශ්‍ය වෙයි. එසේ වුව ද, ඔහු සම්මුතිවලට එළඹුනේ අවශ්‍ය පමණට පමණකි. එක් සීමාවකින් පසු ඔහු යටත් වුයේ නැත. මෙම අවසන් මාසවල දී, ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ පක්ෂ නායකත්වයේ බහුතරය හෝ තමන්ගේ අදහස් ගැන කුමක් සිතන්නේ ද යන්න ගැන බියකින් තොරව ඔහු නිදහසේ කතා කළේ ය. එය ආහ්ලාදජනක වූවා නිසැකය.

මංගල ගැන හිතද්දී, බොහෝ දෙනෙකුගේ මතකයට එන්නේ ඔහු සාමය සඳහා කල මෙහෙවර සහ සුදු නෙළුම ව්‍යාපාරය ගැනයි. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සහ බහුතරවාදී චින්තනයට එරෙහිව ඔහු අඛණ්ඩව පෙනී සිටියේ ය. එසේ වුව ද, එල් ටී ටී ඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට කැනඩාව සහ යුරෝපා සංගමය පොළඹවා ගත් විදේශ ඇමතිවරයා වුයේ ද ඔහු ය.

අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් මහතා කළ වැඩ කටයුතු තමන් ඉදිරියට ගෙන ගිය බව ඔහු නිතර ම පැවසීය. එසේ වුව ද, කාර්යය අවසන් කළේ ඔහු විසිනි. අවසන් ඇණය ගැසුවේ ඔහුය. ප්‍රචණ්ඩ මුරණ්ඩු එල් ටී ටී ඊ සංවිධානයට එරෙහි එම තීරණාත්මක තීන්දු දිනා ගැනීමට ඔහුට හැකි වුයේ සාමය ගොඩනැගීමේ ජනාධිපති කුමාරතුංගයන්ගේ අවංක උත්සාහයට ඔහුගේ දායකත්වයේ දිගුව දිගට ම පවත්වා ගැනීම හේතුවෙනි. ඒ තුලින් ගොඩනැගුනු විශ්වාසය නිසාය.

ඔහු නායකත්වය දුන් ටෙලිකොම් ප්‍රතිසංස්කරණ ගැන වසර විස්සකට පසුව ද කවුරුත් කියන්නේ හොඳ පමණි. එය කොතරම් දුෂ්කර වී ද යන්න ඒ අරගලයේ කොටස් කරුවන්වූ අපි දනිමු. එම ක්‍රියාවලිය තුළ ඇතැම් මිත්‍රයන් අහිමි වුව ද, ඔහු ස්ථිරසාර ලෙස සිටියේය. ඔහු ප්‍රතිසංස්කරණ අත්හැර දැම්මේ නැත. තම සහචරයන් සටන් බිමේ අත්හැර දමා ගියේ නැත. ඔහුගේ පසුතැවිල්ල වුයේ ටෙලිකොම් සාර්ථකත්වය සහ 1990 ගණන් අග භාගයේ සාර්ථකව සම්පූර්ණ කල වරායේ දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය සහ එයාර් ලංකා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර මගින් ගොඩ නැගූ පදනම මත තවත් ප්‍රතිසංස්කරණයන් කරන්නට නොහැකි වීම ගැනයි.

නාගරික සංවර්ධනය භාරව මංගල සිටි කෙටි කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරියකු මට කතා කොට ඔහුගේ තත්ත්වය විමසා ඔහුට සුවය ප්‍රාර්ථනා කළේ ඊයේ ය. නීතියට පිටින් වැඩ කරන්නන්ට එරෙහිව ඔහු ක්‍රියා කරන විට ඔහුගේ ම පක්ෂයේ නායකයින් ඔහුට එරෙහි වූ ආකාරය බොහෝ දෙනාට මතක ය. එසේ වුව ද, ඔහු ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක දියුණු කිරීම් රාශියක් ගැන මගේ මිත්‍රයා කතා කළේ ය.

ඔහු මුදල් අමාත්‍යාංශය බාරගත් පසු වසර 63 කට පසුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කළේ ය. පොලී ගෙවීම් ඉවත් කොට රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායම වැඩියෙන් පවත්වා ගැනීම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස හඳුන්වනු ලැබේ. එදාටත් වඩා අදට එය අදාළ ය.ඔහුගේ අයවැය කතා සමස්තයක් ලෙස ප්‍රශස්ත විය. දින 52 කුමන්ත්‍රණය මගින් බාධා කරනු ලැබුව ද, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩ සටහන්වල විශාල විභවයක් තිබු අතර බොහෝ සුළු ව්‍යවසායකයින්ට ඉන් ප්‍රතිලාභ ලැබිණි.

මෝස්‌තර සැලසුම් ශිල්පියකු ලෙස පුහුණුව ලබා මුදල් ඇමති වරයකු දක්වා පැමිණීම, ඔහු මනින්නේ කෙසේදැයි දෙරණ නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී මෑතක දී ඔහුගෙන් විමසු විට ඔහු මතක් කළේ ඔහුගේ සාර්ථකත්වය නිසා තව තවත් මෝස්‌තර සැලසුම් ශිල්පීන් මුදල් ඇමතිවරුන් විය යුතු යයි තමා ප්‍රාර්ථනා කරන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ලගාර් කළ ප්‍රකාශය යි.

ඔහු වැඩි දුරටත් කීවේ ටෙලිකොම් අමාත්‍යංශය ලබා දෙන විට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආකාරය හැර වෙන කිසිවක් එම විෂය ගැන තමා දැන නොසිටි බව යි. එසේ වුව ද, ඔහුට හොඳ කණ්ඩායමක් සිටි අතර මුදල් ඇමති ධුරයේ දී ද එම තත්ත්වය තිබුණ බව ඔහු කීවේය. නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීමට ඔහුට තිබු හැකියාව (එමෙන් ම තමාට ලබා දුන් අය සමග වැඩ කිරීම) සහ ඔවූන් දිරිමත් කිරීම (සහ ඔවුන් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම) ආණ්ඩුකරණයේ දී පමණක් නොව අනෙක් සියලු කටයුතුවලදී ඔහුගේ වැඩ කිරීමේ විලාශයේ ප්‍රධාන අංගයන් වී ය.

මංගලගේ වියෝව හොඳින්ම නිරූපණය කළේ මෙම අවසාන මාසවල ඔහු සමග කිට්ටුවෙන් වැඩ කළ තරුණ ජනයා අතරින් කෙනෙකුගේ ෆේස්බුක් පෝස්ටුවකිනි. එය හිස් කළු කුහරයක පින්තුරයකි. මට එකතු කර ගත හැකි සියලු වචනවලට වඩා එය සත්‍ය ප්‍රකාශනයකි.

මා දුක් වන්නේ ඔහු වෙනුවෙන් නොව ඔහුගේ වියෝවෙන් තනිවූ අප වෙනුවෙනි. මෙම ආදරණීය දේශය අනපේක්ෂිත සහ බහුමාන අර්බුදයක වේදනාවෙන් තැලී වෙලී සිටින අවස්ථාවක, වඩාත් ප්‍රබුද්ධ, විවෘත සහ කාරුණික ශ්‍රී ලංකාවක් පිලිබඳ බලාපොරොත්තුව ඔහු අපට දුන්නේ ය.

එම බලාපොරොත්තු සමග අපි කුමක් කරමු ද? එම බලාපොරොත්තු සුන්වීමට ඉඩ දී බලා ඉඳිමුද?

වෙල්ගමගෙන් ‘අපි ශ්‍රී ලංකා’

වත්මන් නායකත්වය පිළිබඳ කලකිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමං වී සිටින පාක්ෂිකයන් හා රටේ වාමාංශික අදහස් ඇති පුද්ගලයන්, බලවේග ඒකරාශි කර ගනිමින් ‘අපි ශ්‍රී ලංකා පක්ෂය’ නමින් නව දේශපාලන බලවේගයක් ගොඩ නගමින් සිටින බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අනිද්දාට පැවසීය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවක් මෙරට ඇති කිරීම තම පක්ෂයේ මූලික අරමුණ හා ඉලක්කය බවත් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කළ 2019 තමන් සමගි ජන බලවේගය සමග එක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථාව නොදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභාවක්වත් කිසි දාක නියෝජනය නොකළ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දීම නිසා බව වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.■

හිෂාලිනීට යුක්තිය
හුදෙකලා නැත

0

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාරකමට ගෙනැවිත් ඛේදජනක ලෙස මියගිය හිෂාලිනි දැරියගේ සිදුවීම පිළිබඳ කම්පනය තවමත් සමාජයෙන් බැහැර වී නැත.

සමහර අය හා මාධ්‍ය ජාතිවාදී හා වෛරී ආකාරයෙන් මේ ප්‍රශ්නය දෙස බැලුව ද, හිෂාලිනීගේ මරණය හරහා ඉස්මතු වී ඇති සමාජ, ආර්ථික හා සංස්කෘතිකමය කාරණා ගැන සැලකිය යුතු පිරිසක් උනන්දුවක් දැක්වීම හා සංවාදයකට එළඹ සිටීම ගරු කටයුතු ය. එසේ නොවිණි නම්, හිෂාලිනිගේ ඛේදාන්තය ජාතිවාදී මාධ්‍ය හා සාකච්ඡා අතර තවත් බුලත් හපයක් බවට පත්වී අවසානයේ පිටතට විසිවන්නට ඉඩ තිබිණි.

කලින් කලට ඉස්මතු වන මේ ආකාරයේ සමාජ ආර්ථික ගැටලු ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව හුදෙක් හප බවට පමණක් පත්වීම අප හැමදා ම අත්දකින්නකි.

හිෂාලිනීගේ මරණයත් සමග අප ඉස්මත්තට ගත යුතු කාරණය නම් වතුකරයේ වසන දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික හා සංස්කෘතික තත්වයන් මෙන් ම ඔවුන්ගේ ඉරණම ය.

බි්‍රතාන්‍ය ආධිපත්‍යය යටතේ තිබුණු කාලයේ ලංකාවට ගෙන්වන ලද මේ ප්‍රජාව, අද වන විට පරම්පරා ගණනාවක් ම වතුකරයේ පොළව සමග හැපෙමින් සිය ජීවිත රටේ තේ වගාව පෝෂණය කිරීම සඳහා දිය කර ඇතත්, ලංකාවට ගෙන්වන විට ඔවුන්ගේ තිබුණු සමාජ තත්වයටත් වඩා පහළට ගොස් මිස ඉහළට ගොස් ඇතැයි පෙනෙන්නේ නැත. නගරයේ මධ්‍යම පන්තික ජනතාව තම නිවෙස්වලට ගෘහ සේවකයන් සොයන විට ඔවුන්ට නිරායාසයෙන් වතුකරයේ මේ ජනතාව මතක් වීමෙන් පැහැදිලි වන්නේ, මේ ජනකොටසට අපේ සමාජයේ ඇති පිළිගැනීම හා අවස්ථාවයි. වෙනත් විදියකට කිවහොත්, මධ්‍යම පන්තික ජනතාවට, වතු දෙමළ ජනතාව යනු තමන්ගේ නිවෙස්වලට ගෘහ සේවකයන් සේවිකාවන් සපයන මූලාශ්‍රයක් පමණි.

ලංකාවට ඇවිත් සියවස් කිහිපයක් ගත වුණ ද, අද ද සමාජයට ඔවුන් පෙනෙන්නේ මනුෂ්‍යයන් ලෙස නොවේ. මනුෂ්‍ය සාරය කිසිවකු විසින් උරා බී ඉවත දමන ලද මිනිස් ප්‍රතිරූප පමණක් හැටියට ය. මේ ජනතාව ද තමන්ගේ අසරණභාවය නිසා ම මේ ප්‍රතිරූප හැටියට ම ජීවත් වීම ඉරණම ලෙස සලකා ජීවත් වෙති. එලෙස මනුෂ්‍ය ප්‍රතිරූප හැටියට සිටීමෙන් තමන්ට ලැබෙන යමක් භුක්ති විඳ නිහඬ ව සිටිති.

ඔවුහු දැඩිතර ආර්ථික ගැටලුවලින් පීඩා විඳිති. ඒ තත්වය යහපත් කිරිම සඳහා වරින් වර විවිධ පැලැස්තර අලවනු ලැබුවද, අවසානයක් කරා ඔවුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරන දේශපාලන පක්‍ෂ හෝ ව්‍යාපාර නැතිවීමේ ඵලයක් ලෙස අදත් ඔවුන්ගේ මූලික ගැටලුව ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයයි. ඊළඟට ඒ හා බැඳුණු සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය ප්‍රශ්න අටෝරාසියක් විසින් ඔවුන් පීඩනයට පත්කරනු ලැබ තිබේ.

වතකර දෙමළ ජනතාව, ලංකාවේ ජන කොටස් අතරින් පහළ ම තැන සිටින ස්තරය බව අවිවාදිත ය. බුද්ධිමත් සමාජයක නම්, පළමුවෙන් ම ඔසොවා තැබීම සඳහා කටයුතු කෙරෙන්නේ එවැනි ජනතාවකි. එහෙත්, ලංකාවේ මේ ජනතාව වරින් වර ඡන්ද බැංකුවක් හැටියට මිස මිනිසුන් පිරිසක් හැටියට සැලකුම් ලබන්නේ නැත.

අද පුවත්පතේ හිෂාලිනිගේ මරණය විසින් ඉස්මත්තට ගෙනෙන ලද කාරණා ගැන සංවාදයක් ඇතුළත් ය. ඒ සංවාදය කියවන විට, ප්‍රජාවක් හැටියට ඔවුන් පසුවන අන්ත දුක්ඛිත තත්වය (යළිත් වරක්) චිත්‍රණය කෙරෙයි. එහෙත් මේ ඇත්ත අප අද අලුතෙන් අසන්නක් නොවේ. උනන්දුව තිබෙන අය හැමදා ම අසන දකින ඇත්තකි. ප්‍රශ්නය නම් එතැනින් එහාට අඩියක් වත් තබන්නට අප කිසිවකුට නොහැකි වී තිබීමයි.

හිෂාලිනීගේ මරණය සමග ගිනි තැබීමක් හෝ තබා ගැනීමක් ගෑවී ඇති නිසාත්, ඇය මෙහෙකාරකමට යොදවන ලද්දේ දේශපාලනඥයකුගේ, විශේෂයෙන් සුළුතර ජාතික දේශපාලනඥයකුගේ නිවසේ වීම නිසාත්, ඒ සඳහා විශාල අවධානයක් සමාජයෙන් මෙන් ම මාධ්‍යවලින් ද ලැබී තිබේ. එහෙත්, හිෂාලිනී මෙන් දිවි නසා නොගත් දහස් ගණනක් හිෂාලිනීලා, සරෝජලා අපේ රටේ නිවෙස්වල මෙහෙකාරකමේ යෙදී සිටිති. ෂන්මුගම්ලා, දේවරාජ්ලා ද ඒ අතරර හරි හරියට සිටිති. ලිංගික අපයෝජනයට හා අතවරයන්ට ලක්වන්නේ හිෂාලිනීලා පමණක් නොවේ. ෂන්මුගම්ලා හා දේවරාජ්ලාගේ ඉරණම ද ඊට සමගාමී ය. ඔවුන්ගේ වැඩිමහල් පරම්පරාවේ ද ඉරණම එයයි. ශිෂාලිනිගේ මරණය පිළිබඳ විමර්ශනවලදී පිටතට ආ, අවුරුදු විසි දෙකක තවත් තරුණියක පොලිසියට කියන දේ ඇත්ත නම්, හිෂාලිනිගේ සිදුවීම නොවන්නට ඒ සිදුවීම කාලයෙන් වැසී යන්නට ඉඩ තිබිණි.

ඒ නිසා නීතියවත් හරිහැටි ක්‍රියාත්මක නොවන සේවා නියුක්තියක් වන ගෘහ සේවයෙන් පීඩා ලබන්නේ ලොකු පොඩි හැම වයසක ම හිෂාලිනීලා, ෂන්මුගම්ලා සහ ඔවුන්ගේ වැඩිමල් සොයුරු සොයුරියන් මෙන් ම අම්මා තාත්තා වැනි අය ද බව අලුතෙන් කිව යුතු නැත.

ඇත්ත. මෙහෙකාරකමෙහි යෙදෙන්නේ වතුකරයේ දෙමළ සහෝදර සහෝදරියන් පමණක් නොවේ. වතුකරයේ නොවන සහෝදර සහෝදරියෝ ද එවැනි රැකියාවල යෙදෙති. ආණ්ඩුව කලබල වී ළමා මෙහෙකරුවන් සොයා ගොස් දින කිහිපයක දී හති ලා අතහැර දමනු ඇත. එහෙත් ඉන් එහාට මේ සංවාදය ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න බාර වී ඇත්තේ දැනුවත් පුරවැසියන්ට ය.■

අපරාධ, වර්ගවාදය හා
දේශපාලනය

0

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට ගෙනාවැයි කියන සොළොස් හැවිරිදි දැරියක ගිනි තබා ගෙන දිවි නසා ගත්තේ යැයි කියන සිදුවීම හා ඊට බැඳුණු අනෙක් සිදුවීම් අතිශය ඛේදජනක මෙන්ම හදවත කම්පා කරවනසුලු ය.

ලංකාවේ නීතිය අනුව, ළමයින් සේවයේ යෙදීමට සීමා තිබේ. ඒ නීතිමය සීමා කඩකර ඇය සේවයට ගැනීමත්, කිසිවකු විසින් හෝ ඇය අපයෝජනයට ලක් කිරීමත්, දිවි නසාගන්නට සිදුවන තැනට ඇය පත් කිරීමත් වනාහි අපරාධකාරී ක්‍රියා බව අලුතෙන් කිව යුතු නැත. විශේෂයෙන් ම රට වෙනුවෙන් නීති හදන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයකු වන මහජන නියෝජිතයකු එම ව්‍යවස්ථාදායකයෙන් ම පනවන ලද නීතියක් කඩ කරමින් ඇය සේවයට ගත්තේ නම් එය සමාව දිය නොහැකි වරදකි. ඒ වාගේ ම ජීවිතයේ එක් කාලයක දී උන්හිටි තැන් අහිමි කරනු ලැබ ඇඳි වත පමණක් ගෙන මන්නාරමෙන් කල්පිටියට සංක්‍රමණය වූ අඳුරු අතීතයක් හිමි බදියුදීන් වැනි ඇමතිවරයකුගේ නිවෙසෙහි එවැනි අපරාධයක් සිදුවීම තවත් බරපතළ කාරණයකි. මේ කිසිවක් ඉවසිය යුතු කාරණා නම් නොවේ.

එහෙත්, ඒ සියල්ලට මෙහායින්, විචක්‍ෂණ පුද්ගලයකු දිටිය යුතු තවත් කාරණා ද මේ සිදුවීම සමග ඈඳී තිබේ.

එකක් නම්, සිද්ධිය වාර්තා කිරීමේ දී මාධ්‍ය පරණ පුරුදු ක්‍රමයට ම, එනම් මුස්ලිම් විරෝධී, බදියුදීන් විරෝධී හා වර්ගවාදී ලෙස හැසිරීමයි. කලකට ඉහත දොස්තර සාෆි සම්බන්ධ සිදුවීමේ දී ද අපේ බහුතර මාධ්‍ය හැසිරුණේ මේ අන්දමට ම සාහසිකව ය. වර්ගවාදීව ය. අදත් සාෆිට විරුද්ධ කිසි ම චෝදනාවක් නැත. පොලිසිය පවා සිදුවීම අතහැර දමා ඇති ගාන ය. එහෙත්, මේ රටේ වර්ගවාදී පත්තර හා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය ඒ මොහොතේ හැසිරුණු ආකාරය, ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ කළු පැල්ලමක් වනු ඇත. මෙවර බදියුදීන් සම්බන්ධයෙන් සිදුවුණේ ද එවැන්නකි.

මේ දැරියගේ ඛේදවාචකය, අපේ රටේ මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ආරම්භයේ සිට සෑහෙන කලක් යන තුරු වාර්තා කළ ආකාරයෙන් අපට තේරුම් ගත හැක්කේ ඇය අපයෝජනය කළේත්, මරා දැම්මේත් රිෂාඩ් බදියුදීන් වන බව ය. එය ඇත්තක් දැයි අපි තවමත් නොදනිමු. එහෙත්, මේ වන විට පොලිස් පරීක්‍ෂණ සිදුවන ආකාරය ගැන සොයාබලන්නකුට සිද්ධියේ අග මුල තවත් දුර බව නම් පැහැදිලි වෙයි. බදියුදීන් කුරුසියේ තබා ඇණ ගැසීමට තරම් තවමත් සාක්‍ෂියක් නැත.

එසේ තිබියදීත්, අපේ මාධ්‍ය කටයුතු කළේ, මුලින් අල්ලාගත් පූර්ව නිගමනයක සිටින ආකාරයට ය. එලෙස සිතන්නට ඔවුන් පොළඹවන්නේ කවරක් විසින් ද? එය පැහැදිලි කර ගැනීමට, මෙවැනි ම ලිංගික අතවරයනට පන්සල් හා පල්ලිවලදී ලක්වුණු දරුවන් ගැන අපේ මාධ්‍ය වාර්තා කරන ආකාරය සලකා බැලිය හැකි ය. ඒවා මේ තරම් තලු මරමින් අපේ මාධ්‍යවලින් වාර්තා වේද? නැතිනම්, හැකි සෑම අයුරකින් ම වගකිවයුත්තන් ආවරණය කරන්නට ඒ මාධ්‍ය වෙහෙසෙන බවක් පෙනෙයි ද?

ඉතින්, බදියුදීන් සම්බන්ධයන් මේ මාධ්‍ය අපහරණය පැහැදිලි ය. ඒ ඔහුගේ මුස්ලිම් ජාතිකත්වය නිසා ය. බදියුදීන් චෝදනා රහිත මහජන නියෝජිතයෙක් නොවේ. විවිධ කාලවල ඔහු විවිධ චෝදනාවලට ලක්වූවෙකි. එහෙත්, ඒ චෝදනා බොහොමයක ම මුල දේශපාලනය සමග ඈඳි තිබෙන බව ද නොරහසකි. ‘අපේ ආණ්ඩුවේ’ සිටියදී උසාවියට ගල් ගසන විට බේරාගන්නා බදියුදීන්, අනෙක් පැත්තට ගිය විට ද්‍රෝහියෙක් වන්නේ ය. නඩු පිට නඩු දමා වරදකරුවකු කළ යුතු තත්ත්වයට පත් වන්නේ ය.

මේ දැරිය මිය යාම සම්බන්ධයෙන් ද ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ දැක්මෙන් යුක්තව ය. සිදුවීම පිළිබඳව ඉක්මන් පොලිස් විමර්ශන කරන ලෙස අද බොහෝ දෙනකුට පැමිණිලි කරන්නට පවා සිදුව තිබේ. ඒ වුවමනාවෙන් ම වාගේ විමර්ශන ප්‍රමාද කෙරෙන තත්වයක් පැහැදිලි ව පෙනෙන නිසා ය. පොලිස් විමර්ශන ප්‍රමාද වන විට දුෂ්තොරතුරුවලට තටු ලැබේ. පොලිසියත්, මාධ්‍යත්, දේශපාලකයෝත් ඒ දුෂ්තොරතුරු සිත් සේ විසුරුවමින්, බොර දියේ මාළු බාති.

රිෂාඩ් බදියුදීන් මේ අපරාධයට සම්බන්ධ කෙසේ දැයි තවමත් පැහැදිලි නැත. එහෙත්, ඔහු සම්බන්ධ වන ඕනෑ ම ආකාරයක් වෙනුවෙන් ඔහු නීතියේ විපාකයන්ට යටත් විය යුතු ය.

ඒ අතර ම පසළොස් ඇවිරිදි දැරියක, නිවෙසක මෙහෙකාරකමට යැවීමටත්, එහි දී දිවි නසා ගන්නට සිදුවන තත්ත්වයට පත් වීමටත් හේතු අප නොදන්නා අලුත් දේවල් නොවේ. අද ඊයේක හටගත් ඒවා ද නොවේ. එහෙත්, එවැනි හද කකියවන සිද්ධියකින් අපේ ඇස් ඇරෙන තුරු අපි ජාතියක් හැටියට, ඒ කිසිම ප්‍රශ්නයක් දෙස සැලසුම් සහගතව බලා නැත. බැලුවත්, ඊළඟ මොහොතේ දෑස් වසා ගෙන ය.

රිෂාඩ් බදියුදීන් නමැති විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන මුසල්මානුවා නිසා මේ සිදුවීමට වෙනත් හැඩයක් ලැබී ඇති බව පෙනේ. එහෙත්, සිංහල බෞද්ධ නිවෙස්වල ද මේ හා සමාන සිදුවීම් ඕනෑ තරම් සැඟ වී තිබෙන බව අලුතෙන් දැනුමක් නම් නොවේ.

අපි විසඳිය යුතු ප්‍රශ්නය පසෙක තබා, වර්ගවාදය යළිත් වටයකින් උත්කර්ෂයට පත් වීමේ ආහ්ලාදය විඳවමින් සිටිමු.■

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස්

0

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිත
Among Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත්
ලිපියක් ඇසුරෙන් සකස් කළේ
■ එම්.ඩී. මහින්දපාල

කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ සිට දිගු පඩිපෙළක් තරණය කළ යුතුවේ. විහාර භූමියට ඇතුළුවත්ම බැතිබර සිතිවිලි සිතට නංවන මහා දාගැබ් වහන්සේගේ දසුන වන්දනාකරුවන්ගේ සිත්තුළ ඇති කරන්නේ පහන් වූ සිතිවිලි මාලාවකි.

1937 වසරේ එක් ඉරුදින උදෑසනක කිසියම් බැතිමතුන් පිරිසක් මෙම පඩිපෙළ තරණය කරමින් විහාරස්ථානයට ඇතුළුවනු මම බලාසිටියෙමි. එකී දසුන මට සිහිකළේ සංසාර සාගරයෙන් එතෙරවී කිසියම් ලෝකෝත්තර තත්වයකට ළඟාවීමට ගන්නා උත්සාහයකි.

මා අසළ දැවැන්ත හස්තියෙකු සිය විශාල දෙකන් සොලවමින් රැඳී සිටියේය. විහාර භූමියට පිවිසෙන දොරටුවේ කුලුනු මත උදෑසන හිරු රැස් පතිත වී තිබිණ. විහාරගෙට ඇතුළුවන ගමන් මඟ දෙපස අලංකාර ලෙස කොඩිවැල් එල්ලා සරසා තිබිණ. ඒ දෙපස දෑස් දල්වා බලා සිටින බැතිමතුන්ගෙන් පිරී ගියේය. හදිසියේම සියලු දෙනා අතර සියුම් කසුකුසුවක් පැතිර ගියේය.

විහාරගෙය සඳහා අභිනවයෙන් එක්කළ ගොඩනැගිල්ල ඒ වන විටත් කඩිමුඩියේ සූදානම්ව තිබිණ. එහි ඇතුළු ගැබ තුළ ඇති බිත්ති අවසාන සාත්තුවද ලබා ඇති බැව් පෙනිණ. මෙකී නවතම ගොඩනැගිල්ල හැකි ඉක්මනින් සසුනට පූජා කිරීම, ඒ සඳහා බරපැන දැරූ ප්‍රධාන දායිකා හෙලේනා විජේවර්ධන මැතිනියගේ ඒකායන අභිලාෂය වී තිබිණ.
එය ඇත්තවශයෙන්ම ඉතා වැදගත් දවසකි. දස වසරක පමණ කාලයක් පුරා සැලසුම් කොට ගොඩනැඟූ මෙකී නව ගොඩනැගිල්ල සරල උත්සවයක් පැවැත්වීමෙන් අනතුරුව සඟ සසුනට පූජාකිරීම එහි අරමුණයි.

එහෙත් අවට පැවැතියේ සන්සුන්බවකි. මන්දයත් සියල්ලන්ගේම අපේක්ෂාව වූයේ විශාල සංදර්ශනයක් පැවැත්වීම නොව ආගමික වත්පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් සරල පූජාකර්මයක් හරහා එම කටයුත්ත ඉටු කිරීමයි. එබැවින් උත්සවය පිළිබඳ කිසිදු පූර්ව ප්‍රචාරණයක් සිදු නොකෙරිණ.

ගෘහ නිර්මාණ ශිල්පීන් සිය කටයුතු අවසන් කර තිබුණද චිත්‍ර ශිල්පීන් සිය කටයුතු ආරම්භ කළා පමණි.
විහාරගෙයි පැරණි ශාලාව හරහා ගමන් ගන්නා අයෙකුට මධ්‍යකාලීන බිතු සිතුවම් සහිත බිත්ති හමුවේ. ඉන් අනතුරුව අප පිවිසෙන්නේ ඇතුළු විහාරගෙටයි. එය හතරැස් හැඩැති විසිතුරු බඩු භාණ්ඩවලින් තොර අවකාශයකි. එහි ඇති කුලුනු අතරින් පතර සිංහල ආරේ මෝස්තර හා චිත්‍ර දැකගත හැක. එහි දොර ජනෙල් නුවර යුගයේ හැඩරුව ඇති ඒවායි. උස් සිවිලිම ආකාසය නිරූපණය කළේය. ඇතුළු කුටීරය හා මෙම කොටස වෙන්වූයේ මල්කම් ගෙත්තම් කළ දුහුල් තිරයකිනි. එකී කුටීරය තුළ රන් ආලේප කළ නවතම බුදු පිළිමයක් ස්ථාපිත වී ඇත. බුදුරුවේ සිරස පිටුපසින් බුදුරැස් මාලාවක් ද සිතුවම් වී ඇත.

සුභ නැකැත් වේලාව ආසන්න වත්ම මෙකී ඇතුළු කුටීරය සියලු නිකායන්ට අයත් භික්ෂූන්ගෙන් පිරී ඉතිරී ගියේය. ඔවුනගේ කසාවන් සිවුරු හේතුකොටගෙන අවට වර්ණවත් බව තවදුරටත් ඉහළ නැංවූවාක් මෙන් විය. එම කුටීරය මධ්‍යයේ ගලින් නෙලූ නෙලුම් මලක හැඩය ඇති කිසියම් නිර්මාණයක් වෙත සැමගේ අවධානය යොමු විය.
එකවරම බෙර හඬක් නිකුත්විය.

ප්‍රධාන දායිකාව රෝද පුටුවක තබා ශාලාව වෙත රැගෙන එනු ලැබීය. ඇගේ මුහුණ බැතියෙන් පුබුදුවූවාක් මෙන් පෙනිණ. එකී වියපත් මුහුණ සතුටින් පිරී ඉතිරී ගියේය. ඇගේ වැඩිහිටි දූ දරුවන් පසෙකින් සිටි අතර මුණුබුරු මිණිබිරියන්ගේ මුහුණුවල තිබූයේ විස්මයට පත් ස්වරූපයකි.

ප්‍රධාන දායිකාව වෙනුවෙන් නව විහාරගෙය බුදුන්ට පූජාකිරීමට අවසර දෙන ලෙස ඇගේ එක් පුත්‍රයෙකු විසින් සංඝයාවහන්සේගෙන් ඉල්ලා සිටියේය. එකී ඉල්ලීමට අවසර ලැබිණ. මෙකී පූජාව සංකේතවත් කිරීමට මෙන් ප්‍රධාන දායිකාව විසි්න් මල් පිරවූ රිදී බන්දේසියක් නායක ස්වාමීන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය. උන් වහන්සේ එය රැගෙන රන් ආලේප කළ බුදු පිළිමය ඉදිරිපස තැන්පත් කළ සේක.

ශාලාව පුරා හක්ගෙඩි නාදය දෝකාර දෙන්නට විය.

විහාරගෙය මධ්‍යයේ පිහිටි ශිලාමය නෙළුම් මල මතට පැන්වඩමින් ප්‍රධාන දායිකාව ‘ඉමං විහාරං බුද්ධස්ස පූජේමි’ නම් ගාථාව තෙවරක් ප්‍රකාශ කරන්නට විය. එකවරම නැවතත් හේවිසි හා හක්ගෙඩි නාදය දසත පැතිර ගියේය. පූජා කර්මය එලෙස අවසන් විය.

ශාලාව තුළ සිටි සුළු පිරිස අතර වූ වැඩිදෙනෙක් විජේවර්ධන පවුලේ සාමාජික සාමාජිකාවෝ හෝ දායක සභාවට අයත්වූවෝ වූහ. ඒ අතර සිටි, කිසිවකුගේ හෝ අවධානයට ලක් නොවූ, සාමාන්‍ය ගැමියෙකුගේ පෙනුමින් යුත් පුද්ගලයෙකු සියල්ල නිරීක්ෂණය කරමින් ඒවා මනසේ සටහන් කරගනිමින් සිටියේය. මන්දයත් පසුව මෙකී නව විහාර මන්දිරයේ බිත්ති පුරා සිතුවම් ඇඳීමට නියමව තිබුණේ තමනට වූ නිසාවෙනි. ඒ වන විටත් එහි යම් යම් පිළිම ඇඹීමේ කටයුතු ඔහු අවසන් කොට තිබිණ. ඒ අතර වාමන රූප කිහිපයක් හා අලි ඇතුන්ගේ රූප ද විය. එකී රූපවල ඉරියව් එකිනෙකට වෙනස්වීම මෙහි විශේෂත්වයයි. දැන් ඉතිරිව ඇත්තේ ඇතුළත බිත්තිවල චිත්‍ර පිංතාරු කිරීමේ කාර්යයයි.

විශිෂ්ටයෙකු (genius) යනු කිසිදිනෙක කෙනෙකුගෙන් ගුරුහරුකම් නොලත්, සහජ, අසාමාන්‍ය දක්ෂතා සහිත මනා පරිකල්පන ශක්තියකින් යුත් අයෙකු සේ හැඳින්වේ නම්; නූතන ශ්‍රී ලංකාව තුළ අඩුම තරමින් එවැනි එක් අයෙකු හෝ සීටීම පිළිබඳව අපට සතුටුවිය හැක. මේ නම් ඔහුය. හේ වලිමුනි සෝලියස් මෙන්ඩිස් නම් වූ කැලණි රජමහා විහාරයේ නව විහාරගෙයි බිතු සිතුවම් නිර්මාණය කළ කලාකරුවායි.

සරල ගැමියෙකු ලෙස උපත ලැබූ සෝලියස් මෙන්ඩිස් ගැමියෙකු ලෙසම ජීවත්විය. ඔහු කිසි දිනෙක කිසිවකුගෙන් හෝ චිත්‍ර ශිල්පය පිළිබඳ පුහුණුවක් ලැබූ අයෙක් නොවේ. හෙතෙම ගැමි වෙද මහතකුගේ පුතෙකි. එහෙත් ආයුර්වේද ශිල්පය කෙරෙහි ඔහුගේ ප්‍රිය මනාපබවක් නොවීය. තමා සමඟ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ මිතුරු මිතුරියන් වෙනුවෙන් යම් යම් දේ සිතුවම් කිරීම ඔහුගේ විනෝදාංශය විය. පසු කලෙක මීගමුව ආශ්‍රිත ගම්බද විහාරස්ථානවල බිතු සිතුවම් ඇඳීමට ඔහු පෙළඹිණ. ඔහුගේ තෙලිතුඩ හරහා විවිධ වර්ණ රටා සහිත අපූරු චිත්‍ර ශෛලියක් කලඑළියට පැමිණියේ නිරායාසයෙනි.

කැලණි රජමහා විහාරයේ නව විහාරගෙයි වැඩ කටයුතු භාරව කටයුතු කළ නැසී ගිය ඩී.සී. විජේවර්ධන මහතා එහි බිතුසිතුවම් නිර්මාණ කටයුතු පැවරීම සඳහා මෙම සුවිශේෂ කලාකරුවා සොයා ඔහුගේ නිවසටම පැමිණියේය. සෝලියස් මෙන්ඩිස් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකු ලෙස ද විජේවර්ධනයන්ට හැඟී ගියේය. මෙහිදී විජේවර්ධනයන්ගේ ඉල්ලීම පිට සෝලියස් මෙන්ඩිස් කලාකරුවා ඉන්දියාවේ අජන්තා, ඇල්ලෝරා හා බාග්හි පැරණි ලෙන් චිත්‍ර නැරඹීමට පිටත් කර හැරියේ පැරණි බෞද්ධ සිත්තරුන්ගේ ශෛලිය පිළිබඳව ඔහුට කිසියම් අවබෝධයක් ලබා දීම සඳහායි. සංචාරයෙන් පසුව මෙන්ඩිස් නැවතත් ලංකාවට පැමිණියේ එකී විශිෂ්ට නිර්මාණ දැකීමෙන් ප්‍රබෝධයට පත් මනසින් යුතුවයි. එහෙත් එකී චිත්‍ර පිළිබඳ කිසිදු සටහනක් හෝ ඡායාරූපයක් ලබා ගැනීමට ඔහු උත්සාහ නොකළේය. සියල්ල සටහන්ව තිබූයේ ඔහුගේ මනස තුළයි.

ඉන්දියානු ඉපැරණි චිත්‍ර සම්ප්‍රදාය, පැරණි ලාංකීය බිතු සිතවම් කලාව හා සිංහලයේ ඓතිහාසික සම්ප්‍රදායයන් එක් තැන්කොට තමාගේම පරිකල්පනය ඇසුරෙන් හෙතෙම නව චිත්‍ර ආරක් කැලණි විහාරයේ බිතුසිතුවම් වෙත ආරෝපණය කළාක් මෙන් විය. ඒ සඳහා ඔහු සිය ජීවිත කාලයෙන් වසර 20 පමණ කාලයක් වැය කළ බැව් පැවසේ.
එකී චිත්‍ර පොළොන්නරු යුගය හෝ සීගිරියට පසු මෙරට නව සම්ප්‍රදායක චිත්‍ර ශෛලියක් බිහි කළේය. ඒවායේ ඇතුළත්වූයේ අජන්තාහි චිත්‍ර තුළ පිහිටි විශිෂ්ට රූප සංවිධානයන්ය. එසේම නුවර චිත්‍ර සම්ප්‍රදායට අයත් කථාන්දරයක් ඉදිරිපත් කිරීමේ ශෛලියද එහි අපූරුවට පිළිබිඹු විය. එසේම පොලොන්නරුවේ බෝධිසත්ව සිතුවම් හා සීගිරි චිත්‍රවල පිළිබිඹු වූ රිද්මය හා ශිල්පීය නිපුණතාව ද ඒවායේ ගැබ්වී තිබිණ. මෙහිදී සෝලියස් මෙන්ඩිස් බෙංගාලි චිත්‍ර ශිල්පයේ ආභාසය ලැබුවාදැයි යන්න සෘජුව ප්‍රකාශ කළ හැකි නොවේ. විශේෂයෙන්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීම හා දන්තධාතූන් වහන්සේ සිරිලකට වැඩමවීම ඇතුළත් චිත්‍ර බෙංගාලි චිත්‍රශිල්පීන් වන නන්දලාල් බෝස් හෝ සාරදා උකිල් විසින් සිතුවම් කළාදැයි වැනි හැඟීමක් අප සිත තුළ ඇතිවීම වැළැක්විය නොහැක.

සෝලියස් මෙන්ඩිස් විසින් තවත් නව සම්ප්‍රදායයක් කැලණි චිත්‍ර හරහා හඳුන්වා දෙනු ලැබීය. පෙරදින මෙවැනි බිතු සිතුවම් බොහෝ විට බුදුන් වහන්සේගේ චරිතය හා ජාතක කථාවලට පමණක් සීමා වී තිබුණ ද කැලණි විහාරයේ මෙම චිත්‍ර ශ්‍රී ලංකාව හා අදාළ යම් යම් ඓතිහාසික සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. එකී සිතුවම්වල පෙනී සිටි චරිතයන්ගේ වස්ත්‍රාභරණ, පසුතලය හා ගෘහභාණ්ඩ වැනිදෑ නිරීක්ෂණය කිරීමේ දී සෝලියස් මෙන්ඩිස් කලාකරුවා කිසියම් පුළුල් අධ්‍යයනයක යෙදී ඇති බැව් පැහැදිලි වේ.

ආනන්ද කුමාරස්වාමි වැනි පඬිවරුන්ගේ මතය වූයේ සීගිරි බිතු සිතුවම් කිසියම් හුදකලා චිත්‍ර සම්ප්‍රදායකට අයත් වූ බවත් එය සීගිරිය චිත්‍රවලට පමණක් සීමාවූ, ඉන් අනතුරුව අභාවයට ගිය ශාස්ත්‍රයක් වන බවත්ය. එහෙත් පසුකාලීනව පොලොන්නරුව, මිහින්තලේ හා මහියංගණයේ මෙන්ම හිඳගල, දිඹුලාගල හා අනුරාධපුරයෙන් ද හමු වූ ඇතැම් නිර්මාණවල එකී සම්ප්‍රදායේ ගතිලක්ෂණ දැකිය හැකිවූ බව සොයාගැනිණ. එකී ශෛලිය 14වන ශතවර්ෂය දක්වාම පැවැති බැව් පෙනී යයි. සෝලියස් මෙන්ඩිස්ගේ චිත්‍ර ශෛලිය අජන්තා චිත්‍ර සම්ප්‍රදායේ සිට සීගිරිය හා නූතන යුගය දක්වා විහිදුණු, අතීතය හා වර්තමානය එක්තැන් කළ ශෛලියක් බැව් පෙනී යයි.

සෝලියස් මෙන්ඩිස් කැලණි රජමහා විහාරයේ නව විහාරගෙය තුළ අවසාන බිතු සිතුවම දක්වා වූ සියලු චිත්‍ර නිම කළේය. ඔහුට තවත් ඉතිරිව තිබුණේ ඇතුළත විහාරගෙයි ස්ථාපිත කර තිබූ රන් ආලේප කළ බුදු පිළිමය පිටුපස පසුතලය පිංතාරු කිරීම පමණි. කෙසේ වෙතත් කිසියම් නොදන්නා හේතුවක් නිසාවෙන් එකී පසුතල චිත්‍ර නිර්මාණය කිරීම ඔහුට නොපැවරීමට තීරණය විය. එකී කටයුත්ත පවරනු ලැබූයේ ආගන්තුක සුදු ජාතික විදේශීය චිත්‍ර ශිල්පියෙකු වෙතයි. එකී විදේශිකයා විසින් නිර්මාණය කරනු ලැබූ පසුතලය කැලණි විහාරයේ අනෙකුත් සිතුවම් සමඟ කිසිදු ආකාරයකින් ගැළපෙන්නේ නැති බැව් ඕනෑම අයෙකුට පැහැදිලි වනු නොඅනුමානය. ඒ සඳහා ආගන්තුක චිත්‍රශිල්පියා යොදාගෙන තිබූයේ නිල් හා සුදු වර්ණයෙන් යුතු හිමාලය කඳුවැටියේ දර්ශනයකි. එය සැබැවින්ම කැලණි චිත්‍ර අරබයා එල්ලවූ කිසියම් දැවැන්ත සංස්කෘතිකමය මිටිපහරක් මෙන් විය. මෙකී ක්‍රියාව, සිය ජීවිත කාලයම කැලණි විහාරයේ බිතු සිතුවම් වෙනුවෙන් කැප කළ අදීන කලාකරුවෙකුට කරනු ලැබූ ම්ලේච්ඡ ප්‍රහාරයක් සේ සැලකිය හැක.

සියල්ල විඳ දරා ගනිමින් නිහඬ වූ සෝලියස් මෙන්ඩිස් නැවතත් සිය ගම රට වෙත ගොස් ගොවියකු ලෙස ජීවත් වීමට තීරණය කළේය. ඔහු නැවතත් කිසිදිනෙක චිත්‍ර නොඇඳ සිටීමට ද තීරණය කර තිබිණ. කැලණි විහාරයේ චිත්‍ර කටයුතු වෙනුවෙන් තමා උපයාගත් මුදලින් හෙතෙම පොල් වත්තක් මිලදී ගත්තේය. එහි නිවසක් ඉදිකළ ඔහු පොල්වත්ත හා නිවස අනාථ නිවාසයකට පරිත්‍යාග කළේය. මිය යන තුරා ඔහු ගතකළේ නිහඬ ජීවිතයකි.■

මහපාරේ අරගලකාරයන්ගේ, ගෙදර අරගලය කෙසේද?

0

■ ප්‍රියාශා හෙට්ටිහේවා

ලංකා ගුරු සංගමයේ සභාපති

ප්‍රියන්ත ප්‍රනාන්දු
මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ නියෝජ්‍ය විදුහල්පතිවරියක්. මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙලාවක්, කාලයක් ගැන නොහිතා වැඩ කරන්න වෙනවා. පවුලේ දේවල් අතහරින්න බෑ කොහොමත්. එයාලගේ සුබසාධනය ඒ වගේ ම පවුලක් විදියට ජීවත් වෙනකොට කරන්න ඕනෑ දේවල් අඩුවක් නැතුව කරන්න වෙනවා.
බිරිඳගේ පැත්තෙන් විශාල සහයෝගයක් ලැබෙනවා මට නම්. අපි අරගල මාවතේදීම හමු වුණ අය නිසා බිරිඳට මා ගැන අවබෝධයක් තියෙනවා. ගෙදර පරිසරයත් පොදු සමාජ අරගල සම්බන්ධව නිර්මාණය වෙච්ච පරිසරයක්. ඒ නිසා දරුවන්ටත් මගේ වැඩ කටයුතු ගැන අවබෝධයක් තියෙනවා. ඔවුනුත් අපේ අදහස්වල ඉන්නවා. යහපත් සමාජයක් නිර්මාණය කිරීමට තාත්තා විදියට මම කරන දේවල් වෙනුවෙන් ගෞරවයක් තියනවා දරුවන්ගේ හිත්වල. ඒ නිසා මට පහසුයි මගේ වැඩකටයුතු කරගෙන යන්න.

බොහෝ විට තියෙන පීඩාවන් එක්ක අපේ මානසිකත්වය ටිකක් ආවේගකාරී වෙනවා. මුල් කාලේදී නම් මට ඒක ගොඩක් බලපෑවා. දැන් අවුරුදු 24ක් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් විදියට ඉහළ නායකත්වයට එනකම් වැඩ කරලා තියනවා. ඒ තියෙන අත්දැකීම් එක්ක ගොඩාක් දේවල් සම්බන්ධව බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදුවෙලා තියනවා. මානසික ආතතිය කළමනාකරණය කරගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙත් මගේ බිරිඳ දරුවෝ ගොඩක් ම මගේ වැඩ තේරුම් අරන් අවබෝධයෙන් කටයුතු කරන නිසා.
හැමෝට ම මේ දේවල් සමබර කරගන්න බැරි වෙන්න පුළුවන්. සමිතිවලට නායකත්වය දෙනකොට සමහරු පවුලෙන් වෙන්වෙලා ඒ දේවල් කරන්නේ. ඒ වගේ තත්ත්වයනුත් තියෙනවා.

මට මුල් කාලේ ගොඩක් බාහිර ප්‍රශ්න ආවා. මට පහර දීපු අවස්ථා තිබුණා. ඒ වගේ ම ගෙදරට පහර දුන්න අවස්ථා තිබුණා. හතර වතාවක් වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. සේවයෙන් පහකරලා තියෙනවා එක් වතාවක්. මේ සියල්ල ගෙදර අයට පුරුදු දේවල්. මගේ පැත්තෙන් උපරිම මට්ටමෙන් පුළුවන්කම තියෙනවා ඒ දේවල් සමග අවබෝධයෙන් කටයුතු කරන්න.

එහෙම පහරදීම් කළත් මේ ක්‍රමයට අභියෝග කරන්න ඕනෑ කියන එක, මේ දේවල්වලට උත්තර හොයන්න ඕනෑ කියන එක තමයි මම හිතුවේ. මගේ ඉල්ලක්ක සහ අරගල මාවතේ පරාජයක් භාරගත්තා වෙනවා මම ඒ පීඩන ගැන කලකිරුණා නම්. රැකියාවත් අහිමිවෙලා වැටුප් නැතුව අවුරුදු එකහමාරක් වගේ හිටියා. ඒ වෙලාවල මට ශක්තියක් වෙච්ච මිනිස්සු හිටියා. ඒකත් එක්ක මට තිබුණ පරාජිත හැඟීම් නැති කරලා මාව ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ඔවුන් හේතු වුණා.

සමිතිවල වැඩ කරනකොට එන ආතතියෙන් මිදෙන්න කියල විශේෂ දෙයක් කරන්නේ නැහැ. ඒත් කලාවට සම්බන්ධ නැඹුරුවක් තියෙනවා. ගීත අහනවා. සිනමාපට බලනවා. ඉස්සර ඉඳන් ම වෙලාව ලැබෙන හැටියට වේදිකා නාට්‍ය බලනවා. පුළුවන් හැම අවස්ථාවේදී ම සාහිත්‍ය සම්බන්ධ දේවල් කියවන, කරන එක තමයි කරන්නේ.

සමාජ පරිබාහිර සම්බන්ධතා ගත්තොත් ඥාතීන් සමග තිබෙන සම්බන්ධතා නම් ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඔවුන්ව අතහැරලා නෑ. මගේ නම් බිරිඳ ඒ සම්බන්ධතා රැකගන්න උනන්දුවෙලා වැඩ කරනවා. මගේ පැත්තේ ඥාතීනුත්, බිරිඳගේ පැත්තේ ඥාතීනුත් බිරිඳ සමග ඒ ඥාති සම්බන්ධකම් පවත්වාගෙන යනවා. විවේක ලැබෙන කාල විශේෂයෙන් අවුරුදු කාල වකවානුවල, පෝය වගේ දවස්වලට බිරිඳ සංවිධානය කරන දේවල් හරහා ඥාතීන් සමග සම්බන්ධතා පවත්වනවා. ගමේ සමිති සමාගම්වලට සම්බන්ධවෙලාත් කටයුතු කරන වෙලාවල් තියෙනවා. ගමේ අය, අසල්වැසියෝ එක්ක ඒ විදියට තමයි වැඩ කෙරෙන්නේ.

වෘත්තීය සමිති නායකයෙක් විදියට මගේ කාර්යය සම්බන්ධව මම තෘප්තිමත්. බලාපොරොත්තු එක්ක තමයි අපේ වැඩ ඉදිරියට යන්නේ. යහපත් සමාජයක් නිර්මාණය කිරීම කියන අපේක්ෂාව ඉටුවෙනකම් ඒ දක්වා යන්න තෘප්තිමත්ව වැඩ කරනවා. කලකිරුණු අවස්ථා නැතුව නෙමෙයි. අපි මෙච්චර දේවල් කරද්දීත් සමාජය යන පැත්ත දිහා බැලුවාම බරපතළ කලකිරීමක් තියනවා. ඒත් අපේ අරමුණ සඳහා යන්න තියෙන කැමැත්ත ඉහළ මට්ටමකින් තියෙන නිසා තෘප්තිමත්ව මේ ගමන යනවා.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්
ඇන්ටන් මාකස්
සංගමයේ වැඩ එක්ක ගෙවල්වල වැඩ වෙනුවෙන් වැය කරන්න වෙන කාලය සීමාවෙනවා. අපිට ඉරිදා වගේ දිනවල වැඩ වැඩියි. සංගමේ සාමාජිකයන් සමග රැස්වීම් තියන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඉරිදා වගේ දවස්වල. ඒ නිසා සති අන්තය ගෙදර වෙනුවෙන් වැය කරන්න වෙලාව අඩු වෙනවා වගේ ම සතියේ දවස්වල වුණත් සාමාජිකයන්ගේ ප්‍රශ්නයක් කිව්වොත් ඒ වෙනුවෙන් යන්න වෙනවා. ඒ දේවල් එක්ක පවුලේ දේවල් අතපසු වෙනවා.

ගෙවල්වල අයත් දන්නවා මම ජීවිතේ වෘත්තීය අරගල වෙනුවන් කැප කරලා තියෙන්නේ කියලා. විවාහ වුණෙත් අපි ඒක දැනගෙන. දරුවොත් දන්නවා තත්ත්වෙ. ඒ නිසා අවබෝධයෙන් ඉන්නවා අපි. ගෙදර දෙයක් වෙනුවෙන් කාලය වැය කරන්න අමාරු වුණ වෙලාවල ගැටුමක් ඇති වුණොත් සාකච්ඡා කරලා විසඳාගන්නවා. සමහර වෙලාවට ගෙදර අය කැමැත්තෙන් නෙමෙයි එකඟ වෙන්නේ ඒ දේවලට. අපි කොච්චර අනිත් අයගේ සාධාරණත්වය ගැන කතා කළත් වැඩක් නෑ ගෙදර අයගේ සාධාරණත්වය බලන්නේ නැත්නම්. හදිසි අවස්ථා එනවා ජීවිතේ වැඩ කටයුතු නිසා එහෙම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන.

අපි ඉන්නේ විශාල මානසික ආතතියක. ගෙදර ගියා ම ඒ ආතතිය එක්කම ගෙදර දේවලටත් ප්‍රතිචාර දක්වන අවස්ථා තියෙනවා. සේවකයන් 2000ක් ඉන්න ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වහන්න යන ප්‍රශ්නයක් ආවා. එතකොට මම ඉන්නේ ඒක ඔළුවේ තියාගෙන. ඒ වෙලාවට ගෙදර ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න වුණොත් ගෙදර අයට දරාගන්න අමාරු විදියේ ප්‍රතිචාර මගෙන් එන්න පුළුවන්. ඒත් අපි අවබෝධයෙන් ඉන්න නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

තියෙන ආතතියෙන් මිදෙන්න මනස රිලැක්ස් කරගෙන තමයි වැඩ කරන්නේ. හැමදාම දවසේ වැඩ ප්ලෑන් කරනවා. ව්‍යායාම එහෙමත් කරනවා. නැත්නම් අපිට හරි අමාරුයි මේක සමතුලිත කරගන්න.

ඥාතීන් හම්බවෙලා නෑ ගොඩක් කාලෙකින්. වෙඩින් එකකදි වගේ තමයි එයාලව හම්බවෙන්නේ. මිතුරන් ආශ්‍රය කරන්න වෙලාවක් නෑ. බාහිර සම්බන්ධතා බොහෝදුරට අඩුවෙලා තියෙන්නේ. ඥාතීන් ඒක දන්නවා. ඒ නිසා ඔවුන් ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නෑ.

විශාල පිරිසකගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන නිසා ඒ වෙනුවෙන් සමහර දේවල් කැප කරන්න වෙලා තියනවා. සමාජයට මගෙන් ඉටු වෙන්න ඕනෑ වගකීම් මම ඉටු කරලා තියෙනවා වගේ ම ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා මට තියෙන්නේ තෘප්තියක් ජීවිතේ ගැන.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති
චන්න දිසානායක

පවුලේ අය වෙනුවෙන් වෙන් කරන්න තියන කාලේ අඩුයි. නිවාඩු දවස්වලටත් ගෙදර නෑ. සතියේ දවස්වලත් ගෙදර යන්න රෑ වෙනවා. වයිෆ්ගෙන් තමයි මගෙන් වෙන්න ඕනෑ යුතුකම් ඉටු වෙන්නේ. දරුවන්ටත් අවබෝධයක් තියෙන නිසා අම්මා එක්ක එකතුවෙලා ඔවුන් වැඩ කරගෙන යනවා. ඒ නිසා සමබරව ජීවිතේ ගෙනියනවා. මගේ වෘත්තීය සමිති ජීවිතේ අවුරුදු 25කට වැඩියි. සංගමයේ සහ ගෙදර කටයුතු පටලවාගන්නේ නැහැ.

මම ගොඩක් ම ආගමික පැත්තට බරව කටයුතු කරනවා. පෞද්ගලිකව මම දකින දෙයක් තමයි ආගම තුළ අපට සහනයක් දෙන්න පුළුවන්කම තියනවා. ඒ වගේ ම මම කියවනවා. ප්‍රැක්ටිස් එකෙන් දන්නවා පීඩනය අවම කරගෙන ආතතිය දරාගෙන වැඩ කරන්න.

ඥාතීන්, යාළුවන් වගේ අනිත් සම්බන්ධතා වෙනුවෙන් කාලය යොදවන්න අපහසුයි. එයාලත් දන්නවා මගේ කාර්යබහුල රටාව ගැන. වට්සැප්, වයිබර් වගේ දේවල් හරහා සම්බන්ධ වෙනවා කට්ටිය. සුහද හමු තිබුණත් සහභාගි වෙන්න අමාරුයි. ඒත් ඒ වෙනුවෙන් සහයෝගය දෙනවා. ඒ වගේ සමාජ සම්බන්ධතා තියෙන එක සමාජ අවශ්‍යතාවක් වගේ ම මානසික අවශ්‍යතාවක්. නමුත් අපට ඒකට කාලය අහිමිවෙලා තියෙනවා.

බැංකුවක කළමනාකරුවෙක් වගේ වුණා නම් ඒකෙන් දෙයක් වෙන්නේ පවුලට වගේ ම සේවාදායකයන්ට විතරයි. නමුත් මේ අරගල හරහා ලොකු පිරිසකට සේවයක් වෙනවා. ඒ නිසා වෘත්තීය සමිති නායකයෙක් විදියට ගෙවන මේ ජීවිතේ ගැන කිසි ම කලකිරීමක් නැහැ.

සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සභාපති
උදේනි දිසානායක
වෘත්තීය සමිති නායකයෙක් විදියට කාලාන්තරයක් තිස්සේ මේ වැඩවලට අවතීර්ණවෙලා ඒවා ඇඟට කාවැදිලා තියෙන්නේ. මොන මර්දනයක් තිබුණත් බිරිඳ, දරුවෝ වුණත් කියන්නේ පරිස්සමෙන් යන්න කියන එක. වෘත්තීය සමිති නායකයන්ගේ බිරින්දෑවරු ඒ ගමන නවත්තන්න යන්නේ නැහැ. මගේ දරුවන්ගේ බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ නෝනා අතින්. බැනුම් අහන වාර අනන්තයි. ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා.

අපි උදේ ඉඳලා ඉන්නේ ප්‍රශ්න වැලක. ෆෝන් කෝල්ස් සෑහෙන ප්‍රමාණයක් එනවා. ඒවාට උත්තර දෙන්න ඕනෑ. මිනිස්සු එක්ක හැප්පෙන්න වෙනවා. ඒත් ඒවා ගෙදරට අරගෙන යන්නේ නෑ. ගෙදර ගිහින් සමහර දවසට කල්පනා කර කර හිටියාම නෝනා අහනවා මොකද කියලා. සිද්ධිය කිව්වාම ගණන් ගන්න එපා කියනවා. බිරිඳ මාව ඒ වගේ තේරුම් අරගෙන ඉන්න නිසා පහසුයි.

ඇත්තට ම සමහර දවසට අපට කන්න වෙලාවක් නෑ. ඒ විදියට තමයි ජීවිතේ ගෙවෙන්නේ වැඩ එක්ක.
වෘත්තීය සමිති වැඩ එක්ක එන ආතතියෙන් මිදෙන්න විශේෂ දෙයක් කරන්නේ නෑ. ක්ෂේත්‍රයේ ම වෘත්තීය සමිති නායකයන් එක්ක කතාබහ කරලා ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නවා. අපි ම කතා කරගෙන ඒ දේවල් සමනය කරගන්න එකෙන් තමයි ආතතිය නැති වෙන්නේ.

අම්මා, තාත්තා බලන්න යන්න වුණා ම වුණත් කලින් සැලසුම් කරලා යන්න බෑ. සැලසුම් කරලා කරන වැඩ කෙරෙන්නේ නැහැ. දොස් අහන්න වෙන වාර අනන්තයි ඒ නිසා. එහෙම වුණාට කිසි කෙනෙක් ඒ ගැන ඕනෑවට වඩා හිතන්නේ නෑ.

2016 තමයි සංගමේ සභාපති තනතුරට පත් වුණේ. සංගමයක් විදියට ඉල්ලීම් කිහිපයක් ම දිනා ගන්න හැකි වුණා. ඒ වැඩපිළිවෙළ තුළ මම තෘප්තිමත්ව ජීවිතේ ගෙවනවා.■

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු මනුෂ්‍යමය වර්ධනය කුමක්ද?

0

මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි පටු ආත්මීය නිර්වචන තුළ සිරගත නොවී අවශ්‍ය අවස්ථාවල එක් එක් ආත්මීයතා වෙත මාරුවෙමින් සුඛනම්‍ය ලෙස ජීවත්වීමට අවශ්‍ය අපේම ආත්මීයතාවේ බහුවිධ මුහුණවර හඳුනාගෙන ඒවා දියුණු කිරීම අපට ඉමහත් නිදහසක් ලබා දීමකි.

පේරාදණිය විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම වර්ෂයේ සිසුන් ඉලක්ක කොට පැවැත්වෙන දේශන මාලාවක කොටසක් ඇසුරිනි මේ ලිපිය සැකසෙන්නේ. මේ පදනම් දේශනවල අරමුණ තම තම විෂය ශාස්ත්‍රීය චින්තනය සහ සන්නිවේදනය වඩා හොඳින් කිරීමට අවශ්‍ය පදනම ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීමය. මේ ලිපි කෙරෙහි බාහිර පාඨකයන් වෙතින්ද උනන්දුවක් පළ වන හෙයිනි, මෙසේ පළ වන්නේ.

■ ලියනගේ අමරකීර්ති

මෙම ලිපියෙන් අපේක්ෂා කෙරෙන්නේ අප උගන්නා විෂයවලින් අපේක්ෂා කෙරෙන පුද්ගලමය, මනුෂ්‍යමය වර්ධනය හෝ මනුෂ්‍ය අභ්‍යන්තරික වර්ධනය කුමක්ද යන්න ගැන ආරම්භක ප්‍රවේශයක් ගැනීමටය. මා මේ කරුණු හඳුන්වා සංවාදයකට මුල පිරීමක් ලෙස පමණි.

අපි ශාස්ත්‍ර පීඨයක ඉගැන්වෙන සියලු විෂයයන් “නිදහස් කලා” යන නමින් හැඳින්වීමු. ඇමරිකානු සම්ප්‍රදායෙහි නිදහස් කලා යන්නට විද්‍යා පීඨවල උගන්වන ඇතැම් විෂයයන්ද අයිති නමුත් අපගේ කලා පීඨවල අධ්‍යාපනය නිදහස් කලා අධ්‍යාපනයට විශාල වශයෙන් සමාන බව අපි දුටිමු. එම නිදහස් කලා අධ්‍යාපනයෙහි එක් අරමුණක් “සම්පූර්ණ පුද්ගලයා නිදහස් කරගැනීම” යන අර්ථයෙන් යුක්තය. එහි අදහස මනුෂ්‍යයා බාහිර සහ අභ්‍යන්තර යන තල දෙකෙහිම “නිදහස” සොයන්නෙකු බවට පත් කිරීමය.

ඒ නිසා විශ්වවිද්‍යාලයෙහිදී ලැබෙන අධ්‍යාපනය ඔබ වටා පවතින ලෝකය ගැන ඔබේ දැනුම ප්‍රසාරණය කිරීමට අමතරව ඔබ තුළ ඇති ලෝකය ගැන දැනුමද ප්‍රසාරණය කරයි. හොඳින් අධ්‍යාපනය ලද පුද්ගලයා ලෝකය ගැන ඉගෙනීම පිණිස තමා අවට ඇති බාහිර ලෝකය දෙස බලන්නේ පමණක් නොව තමන් ගැනම ඉගෙනීම උදෙසා තමාගේම අභ්‍යන්තරය දෙසද බලයි. මෙම අන්තර්වර්තීභාවය හෙවත් ආත්ම පරීක්ෂාව පිළිබඳ ශක්‍යතාව “අන්තඃපුද්ගල බුද්ධිය” යැයි හැඳින්වේ. ඉංග්‍රීසියෙන් intrapersonal intelligence යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. තමාගේම පුද්ගල අභ්‍යන්තරය ගවේෂණය කිරීමෙහිලා අපට ඇති බුද්ධි ශක්තිය එයයි. සාහිත්‍ය කලා උගන්වන කෙනෙකු ලෙස මගේ කාර්යක් වන්නේ ඔබගේ ඒ ශක්තිය දියුණු කිරීමය. ඉදිරියේදී අපි සාහිත්‍ය කලා නිදර්ශන ඇසුරින් මේ කරුණ වෙත නැවත එමු.

know thyself හෙවත් “තමාවම දැනගනු” (ඔබව දැනගන්න) යන්න සොක්‍රටීස්ගේ සිට දර්ශනය වෙත බලපෑ අදහසකි. බුදුන්ගේ ඉගැන්වීම් දන්නා බෞද්ධ අයට මෙය අමුතු දෙයක් නොවිය හැකිය. තමා හෙවත් ආත්මීයතාව හෙවත් අහම ගවේෂණය බෞද්ධ දර්ශනයේ ප්‍රධාන ප්‍රයාමයක් වේ. මේ වූකලි අනෙක් ආගම්වලටත් නුහුරු අදහසක් නොවේ. අප මේ දේශනවලදී නිදහස් කලා යනුවෙන් හැඳින්වෙන ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙහිද ප්‍රධාන ඉලක්කයක් වන්නේ ආත්ම ගවේෂණයයි. මනුෂ්‍ය පුද්ගලාභ්‍යන්තරය නම් ලෝකය ගවේෂණයයි. අප ගැනම ඇති ඉතා පටු ආත්ම අවබෝධවලින් අප නිදහස් කිරීමට අධ්‍යාපනයට පුළුවන.

උදාහරණයකට යමු. මා පිරිමියෙකු නිසා මගේ “පිරිමිකම” නමැති පටු ආත්ම අවබෝධය තුළ මා සිරගතව සිටින්නට පුළුවන. ස්ත්‍රීන් සම්බන්ධයෙන්ද එසේමය. මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි පටු ආත්මීය නිර්වචන තුළ සිරගත නොවී අවශ්‍ය අවස්ථාවල එක් එක් ආත්මීයතා වෙත මාරුවෙමින් සුඛනම්‍ය ලෙස ජීවත්වීමට අවශ්‍ය අපේම ආත්මීයතාවේ බහුවිධ මුහුණවර හඳුනාගෙන ඒවා දියුණු කිරීම අපට ඉමහත් නිදහසක් ලබා දීමකි. සිංහලකම නමැති මගේ ආත්මීයතාවේ එක් මුහුණුවරක් මට ඉතා වැදගත් බව ඇත්තය. එහෙත් එය සෑම අවස්ථාවකම සෑම සන්දර්භයකමට මට වැදගත් වන එකම දේ නොවේ. මෙහි සිටින ඔබ සියලු දෙනාම ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තොත් අවශ්‍ය අවස්ථාවල ඔබේ සිංහලකම නමැති ආත්මීයතාව මොහොතකට පසෙකින් තබා ඉංග්‍රීසි භාෂාව තේරෙන ඕනෑම ජනපිරිසක් සමග මනුෂ්‍ය සම්බන්ධතා ඇති කරගන්නට පුළුවන. ඔබ දෙමළ භාෂාව දන්නේ නම්ද එවැනි අවස්ථාවක් ඔබට ලැබේ. අපේ ශාස්ත්‍ර පීඨවල විවිධ භාෂා ඉගැන්වීමේ ප්‍රධාන අරමුණ එය විය යුතු නොවේද? මේ දේශනය අසන ඔබ අතර සිටින වැඩිදෙනකු බෞද්ධ විය හැකිය. එහෙත් ඔබ හින්දු දහමේ සහ සංස්කෘතියෙහි මූලික කරුණුවත් හොඳින් දන්නේ නම් අවශ්‍ය අවස්ථාවල ඔබේ බෞද්ධකම මොහොතකට පසෙකින් තබා හින්දු කේන්ද්‍රීය සන්දර්භයක සුඛනම්‍ය ලෙස හැසිරෙමින් අර පටු ආත්මීයතාවෙන් නිදහස් විය හැකිය. අපේ පීඨයෙහි විවිධ ආගමික දර්ශන සහ සංස්කෘති ඉගැන්විය යුත්තේ ඒ සඳහා නොවේද?
මනුෂ්‍ය ආත්මීයතාව හෙවත් තමාබව බහුවිධ කෝණවලින් අවබෝධ කර ගැනීමට උපකාර කිරීම නිදහස් කලා අධ්‍යාපනයෙහි කාර්යයකි. එහිලා විසි එක් වෙනි සියවසෙහි ජීවත්වන සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආත්මීයතාව සකස්වී ඇති බහුවිධ මාන හඳුනා ගැනීමට අපට සිදුවේ.

අපි මනුෂ්‍ය ආත්මීයතාව සැකසී ඇති විවිධ මාන හඳුනා ගනිමු:

බුද්ධිමය මානය
පළල් දැනුමක් අත්පත් කරගැනීම, දැනුම ලබාගන්නේ කෙසේදැයි ඉගෙනීම, විචාරාත්මකව සිතන්නට ඉගෙනීම. අප මෙහි උගන්වන සියලුම විෂයයන් අඩුවැඩි වශයෙන් මීට දායක වේ.

භාවමය මානය
හැඟීම් තේරුම් ගැනීමට, පාලනය කරගැනීමට හා ප්‍රකාශ කිරීමට ඉගෙනීම. අප ඇතුළතින් උපදින විවිධ ආකාරයේ හැඟීම පැවතීම යනු මනුෂ්‍ය යථාර්ථයකි. ඒ යථාර්ථය සමග ස්වයං-ගවේෂණාත්මකව ජීවත් වෙමින් වඩා සුඛනම්‍ය ලෙස අපගේම හැඟීම් පාලනය කරගැනීමත්, අන්‍යයන් සහ සෙසු ලෝකය වෙත ප්‍රකාශ කිරීමත් උගන්වන විෂයධාරා රාශියක් අපගේ පීඨයෙහි තිබේ. සාහිත්‍යය සහ ලලිත කලා එහි ලා බෙහෙවින් වැදගත්ය.

ශාරීරික මානය
අපේ ශරීරය ගැන හොඳ අවබෝධයක් ලබා ගනිමින් ඒ දැනුම ලෙඩ රෝගවලින් නිදහස්වීමේ සිට අපගේම ශරීරය නිවැරදි ආකාරවලින් මෙහෙයවීම දක්වා අවබෝධයක් ලබා ගැනීම. ලංකාවේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පාඨමාලාවල මේ ආශ්‍රිත පාඨමාලා එතරම් ප්‍රමාණවත් නැත. එහිලා අනෙක් පීඨවලින් උපකාර ගෙන අපේ අධ්‍යාපනය පොහොසත් කරගත හැකිය.

ආධ්‍යාත්මික මානය
සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්න යැයි සැලකෙන ජීවිතයේ අරමුණ සහ අර්ථය කුමක්ද, මරණයෙහි නොවැළැක්විය හැකි බව, ජීවිතයෙහි සහ ස්වාභාවික ලෝකයෙහි ආරම්භය ආදි ප්‍රශ්න ගැන සිත යොමු කිරීම. මෙහිදී අපට විද්‍යාපීඨයෙහි උදව් තිබෙන්නේ නම් වඩා හොඳය. ජීවයෙහි ආරම්භය සහ විකාශනය පිළිබඳ පාඨමාලාවක් විද්‍යා පීඨයෙහි සිටින සන්නිවේදනයෙහි දක්ෂ මහාචාර්යවරයෙකු හෝ වරියක් විසින් මෙහිද පවත්වන්නට හැකි නම් හොඳයි නේද?

වෘත්තීය මානය
අපගේ කුසලතා, රුචි අරුචිකම් හෝ වටිනාකම්වලට අනුව යම් වෘත්තීය අවස්ථා ගවේෂණයත් නිදහස් කලා අධ්‍යාපනයෙහි කොටසකි. නූතන ලෝකයෙහි යම් වෘත්තියක යෙදීමේ කුසලතාව යනු මනුෂ්‍යයාට සාපේක්ෂ ආර්ථික නිදහසක් ලැබෙන එක විධියකි. එහෙත් අධ්‍යාපනය යන්න හුදෙක් මේ පටු ඉලක්කය වෙත පමණක් සීමා වී ඇත්නම් එය දුප්පත් අධ්‍යාපනයකි. මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යාපනය නම් කෙලෙසකවත් මෙය පමණක් නොවේ.

ආචාරධාර්මික මානය
කෙනෙකුගේ පෞද්ගලික තෝරා ගැනීම්, කෙනෙකු තමා සහ අන්‍යයන් පිළිබඳ ගන්නා විනිශ්චයන් සඳහා මග කියන අතරම කෙනෙකුගේ විශ්වාස සහ ක්‍රියා අතර සංගතභාවය ඇති කිරීමට මග කියන වටිනාකම් පද්ධතියක් ලබාදීම. මෙහි දෙවන කොටස තරමක් පැහැදිලි කළ මනාය. තමන්ගේ විශ්වාස හෝ දෘෂ්ටිවාද ගැන හරි ආඩම්බරයෙන් කතා කරන අතර ක්‍රියාවේදී ඒ විශ්වාසම පාවා දෙන අය සිටිති. වැදි බණ කියන අය යැයි මෙවැනි අය හැඳින්වෙති. කටින් බතල කොළ සිටවන අයද මෙවැනිය. අප කියන දේ සහ කරන දේ අතර යම් සංගතභාවයක්, ගැළපීමක්, එකඟතාවක් ඇති කරගැනීමට අපගේම ආචාරධාර්මික සැකැස්ම උපකාර වේ. මේ සංගතභාවය සියයට සියයක් අත්පත් කරගැනීම අමාරු විය හැකිය. එහෙත් එහි ලා නිරන්තර උනන්දුව සහ උත්සාහය අපගේ අධ්‍යාපනය නිසා ලැබෙන්නකි.

පෞද්ගලික මානය
තමාගේම පෞද්ගලික අනන්‍යතාව පිළිබඳ ශක්තිමත් හැඟීමක් ලබා ගැනීම අපේ පීඨයේ අධ්‍යාපනයෙහි කොටසකි. ඔබ සෑම දෙනාම උපාධිය අවසන් කර පිටව යා යුත්තේ “මා මෙවැනි කෙනෙකිය” යන සාධනීයවූ අදහසක් රැගෙනය. ඔබ ගැනම වන ඒ අනන්‍යතාව පිළිබඳ හැඟීම ඔබට වඩා වෙනස් අනෙක් මනුෂ්‍යයන් හා සුඛනම්‍ය ලෙස ජීවත්වන්නට තුඩු දෙන්නා වූ එකක් විය යුතුය. අපේ පීඨයෙහි අධ්‍යාපන කටයුතු හරියටම සිදුවුවහොත්, ඔබද ඔබගේ වැඩ කොටස හරියටම කළහොත්, මෙවැනි අනන්‍යතාවක් අත්පත් කරගැනීම දුෂ්කර නොවේ.

සමාජමය මානය
මෙයින් අදහස් වන්නේ ඔබ අන්‍යයන් හා සමග ඇති කරන ගන්නා සම්බන්ධතාවල ගුණය සහ ගැඹුර වර්ධනය කර ගැනීම. මෙය තරමක් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට අපි වෙන දේශනයක් කැප කරමු. සරලව කියන්නේ නම් මෙයයි. අප ජීවත් වන්නේ තවත් මනුෂ්‍යයන් සමගය. ඒ මනුෂ්‍යයන් සමග ඉතා සරල මට්ටමේ මතුපිට සම්බන්ධා පැවැත්විය හැකිය. ඉතා යාන්ත්‍රික සම්බන්ධතා පැවැත්විය හැකිය. එහෙත් මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා අධ්‍යාපනයක් මගින් ඔබ ඔබේ මිතුරන්, පවුලේ අය, නොදන්නා අය සමග පවත්නා සබඳතාවලට අලුත් ගැඹුරක් එක් විය යුතුය. සාහිත්‍ය ගුරුවරයෙකු ලෙස මා කරන්නට තැත් කරන්නේ එයයි. ඔබ අතරින් කීපදෙනෙකු සාහිත්‍ය කලා පාඨමාලාවලදී නැවත මුණගැසුණ විට අපි ඒ ගවේෂණය සාමූහිකව කරමු.

මේ සියල්ල චක්‍රීය දාමයකියන් එකිනෙක හා බැඳී තිබේ. මේවා මනුෂ්‍යයා පිළිබඳ සාකල්‍යවාදී වර්ධනයෙහි කොටස්ය. “සාකල්‍යවාදී” යනු “සියල්ල ආවරණය කරන” යන්නයි. මා මෙතෙක් දැක්වූ මේ අංග එකිනෙක බැඳී පවතී. තනි තනිව වෙන් කොට සිඳබිඳ ගත නොහැකිය.

අනික මා මෙහි පැහැදිලි කළේ අපගේ අධ්‍යාපනය පරමාදර්ශී වශයෙන්ම, හරියටම සිද්ධ වෙන අවස්ථාවක අපට අපේක්ෂා කළ හැකි දේය. මේ ඉලක්ක මේ ආකාරයෙන්ම සැපිරෙන ලෙස ඉගෙනීමට නොයෙක් හේතු නිසා අපට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබේ. කොවඩි 19 වසංගතය නිසා මෙම පාඨමාලාවට කෙලෙසකවත් නොගැළපෙන අන්තර්ජාලගත ස්වරූපයකින් ඉගෙනීමට සිදුවීමම පවා මෙම ඉලක්ක සපුරා ගැනීමට බාධාවකි. එහෙත් අපගේ අධ්‍යාපනයෙහි පරමාදර්ශී ඉලක්ක ගැන යම් අවබෝධයක් හෝ නොමැතිව ඒවා ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳාගැනීමට අරගල කළ නොහැකියි නේද?■

වැඩි දුර කියවීම්
Howard Gardner.(1999) Intelligence Reframed: Multiple Intelligence for the Twenty-first century.
N. Tubbs (2011) “Know Thyself: Macrocosm and Microcosm” Studies in Philosopy and Education, 30(1)

 

 

අහස් දාරයට ගොස් ආ අපේ කාලයේ කොක්කු දෙන්නාගේ හා ඉබ්බාගේ කතාව

0

■ රුක්‍ෂාන් පරණවිතාන

පොළවේ සිට ඈත පෙනෙන අහස්කුස දෙස නොනිමි කුතුහලයකින් බලා සිටින මිනිස් වර්ගයාගේ ජයග්‍රහණ චාරිකාවේ තවත් සන්ධිස්ථානයක් ලකුණු කරමින් එංගලන්ත ජාතික ප්‍රකෝටිපති, සුප්‍රකට වර්ජින් ව්‍යාපාරික සමූහයේ අයිතිකාර සර් රිචඩ් බ්‍රැන්සන්, තමන්ගේම මුදලින් නිර්මාණය කළ ස්පේස්ෂිප් (ඒ කියන්නේ ගුවන් යානයක් හා අභ්‍යවකාශ යානයක් කියන දෙවිදියටම හැසිරෙන) යානයෙන් අභ්‍යවකාශයේ පහළ දාරය, ඒ කියන්නේ අපේ අහසේ ඉහළ දාරය ස්පර්ශ කර නැවත පොළවට පැමිණියා. ඒ සඳහා ගතවුණු කාලය ආසන්න වශයෙන් පැයක්. දිනය ජුලි 11 වැනිදා.

අමෙරිකානු වේලාවෙන් උදේ 8:40 ට (ග්‍රිනිච් වේලාවෙන් 14.40ට) වර්ජින් ගැලැක්ටික් යුනිටි 22 පරීක්‍ෂණ පියාසැරියේ කාර්ය මණ්ඩලය අමෙරිකාවේ නිව් මෙක්සිකෝවේ ස්පේස්පෝර්ට් නම් වර්ජින්ටම අයිති අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වී පොළවේ සිට අභ්‍යවකාශයේ සීමාවට ටිකක් ඉහළට පියාසර කළා. සීමාව පැන්නාම යානාව ඇතුළේ හිටි කට්ටියගේ ශරීර බර අඩුවුණා. ගුරුත්වාකර්ෂණයෙන් මිදීම නිසා. බර අඩුවීමේ අත්දැකීම මිනිත්තු 4ක් විතර තිබුණු බවයි කියන්නේ. ඒ මිනිත්තු හතරේ කට්ටිය යානය ඇතුළේ හිනා වෙවී පාවෙනවා, දනහිස් නවාගෙන (ලංකාවේ) ධර්මචක්‍ර විලාසිතාවට කැරකෙනවා, සීට් අල්ලගෙන පා නොවී ඉන්න දතකනවා වගේ දේ අපි හැමෝටම දකින්න ලැබුණේ, වර්ජින් සමාගම නිකුත් කළ යානය තුළ සජීවී දර්ශනවලින්.

ඒක ‘ජීවිත කාලෙටම ලැබූ අත්දැකීමක්’ කියන එක අපි කාටවත් අමුතු දෙයක් නෙවෙයි. ඒත්, ‘මේක ජීවිත කාලයටම ලැබූ අත්දැකීමක් යැ’යි රිචඩ් බ්‍රැන්සනුත් කිව්වාලු. ඒ ගුවන් ගමනේ සජීවී විකාශනය අතරතුරදියි. රිචඩ් බ්‍රැන්සන් වගේ කෙනෙකුත් එහෙම කියනවා නම් ඉතින්..ෟ ‘අහා මොන දවසක්ද, මොන දවසක්ද, මොන දවසක්ද’ යනුවෙන් ඔහු තුන්වරක්ම උදාන වාක්‍ය පැවසූ බවත් මාධ්‍ය වාර්තා කරනවා.

යානය ස්පර්ශ කළ අභ්‍යවකාශයේ පහළ දාරය හෙවත්, අපේ අහසේ ඉහළ දාරය හෙවත්, අපේ අහස සහ අභ්‍යවකාශය වෙන්වන දාරය පිහිටා ඇත්තේ කොච්චර උහකින්ද? ‘ඇත්තටම මේ ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් නැහැ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත තනි සීමාවක් නැහැ.’ අභ්‍යවකාශ භෞතිකවේදී ජොනතන් මැක්ඩොවල් කියනවා. එහෙත් ඔහු තවදුරටත් කියන්නේ පොළවේ සිට කිලෝමීටර් 80කට ඉහළින් අභ්‍යවකාශය ආරම්භ වන බවයි. ජුලි 11 ඉරිදා අහසට ගිය බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්ටික් යානය කිලෝමීටර් 80කට හෙවත් අඩි 2,62,000කට වඩා ඉහළ ගියා.

මේක ජීවිත කාලෙක දුටු සිහිනයක් හැබෑවීමක් යැයි බ්‍රැන්සන් එදා කිව්වා. ඒක ඇත්ත. මීට අවුරුදු 17කට ඉස්සෙල්ලා ඒ කියන්නේ 2004දී බ්‍රැන්සන් සිය ‘වර්ජින් ගැලැක්ටික්’ සමාගම අරඹන්නේ, මුදලට කට්ටිය අභ්‍යවකාශයට ගිහින් නැවත ගෙනඒමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසින්. ඒකට කියන්නේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය හෙවත් ස්පේස් ටුවරිසම් කියලා. ඉන් වසර 17කට පස්සේ ඔහුගේ සිහිනය සැබෑ කරගත්තා. වැඩේ කියන්නේ. මුල්ම සාර්ථක ගමනට බ්‍රැන්සන්ම එකතුවීමයි. තමන්ගේ අනාගත අභ්‍යවකාශ සංචාරක කස්ටමර්ස්ලාගේ බය-හැක දුරුකරන්න ඔහු එසේ කළායැයි කවුරු හරි කියන්නට පුළුවන් නමුත්, ඒ වාගේ අත්දැකීමක් තමාම ලබන්න ඉතින් කවුද අකමැති? අනෙක ‘මයි කාර්, මයි පැට්රල්’ තත්වයක් යටතේ වැඩේ කොහොමටත් පහසුයි. ‘අභ්‍යවකාශය අපි ඔක්කොටම අයිතියි’ කියලා බ්‍රැන්සන් කියූ වාක්‍යයයෙන් ඒ කතාවෙ ඉතිරි ටික සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ ‘මයි ස්පේස්’ කෑල්ලත් එහි අග්ගිස්සට කළ හැකියි. මයි කාර්,

මයි පැට්රල්, මයි ස්පේස් !

බ්‍රැන්සන්, තමාම මේ චාරිකාවටට සහභාගි වීමේ අනෙක් හේතුව තමයි, සාමාන්‍ය මනුස්සයකු හැටියට තමා විඳි අත්දැකීම තමාම සටහන්කර තබාගැනීම. ඒක අනාගත කස්ටර්මර්ස්ලාට කියාදෙන්නට ඔහු අදහස් කරනවා. ‘මෙන්න සර් බ්‍රැන්සන්ගේ අත්දැකීම’ කිව්වාම කවුද ආස නොහිතන්නේ? සර් රිචඩ් බ්‍රැන්සන්, එංගලන්තයේ ඉපදිච්ච, නවෝත්පාදක ව්‍යාපාර කරන්න හීන දැකපු, වයස අවුරුදු 16දීම පළමුවැනි ව්‍යාපාරය පටන්ගත්ත, මේ වනකොට ඩොලර් බිලියන 5.7ක වත්කමක් තියෙන ප්‍රකෝටිපතියෙක්. ගුවන් යානා සමාගම්, දුම්රිය සමාගම් ඇතුළු විවිධ වර්ගයේ සමාගම් 400ක් විතර ඔහුගේ නමට ලැයිස්තුගත වෙලා තියෙනවා.

‘මගේ සටහන් පොත මා ළඟ තියාගෙන ඉන්නවා. අපි එක්ක අභ්‍යවකාශයට යන ඊළඟ අයට අත්දැකීම් වඩාත් හොඳ කරවන කුඩා දේවල් 30ක් හෝ 40ක් මම ලියා ගත්තා.’ බ්‍රැන්සන් මේ සංචාරය අතරතුරදී කිව්වා. ‘ඔබට මේ කුඩා දේවල් සොයා ගත හැකි එකම ක්‍රමය වන්නේ අභ්‍යවකාශ යානාවකට නැගලා අභ්‍යවකාශයට ගොස් එය ඔබම අත්දැකීමයි.’

ඩොලර් 250,000 ගණනේ වැයවෙන මේ අභ්‍යවකාශ සංචාර සඳහා ආස හිතපු 500ක විතර පිරිසක් මේ වෙනකොටත් ඇඩ්වාන්ස් කරලා තියෙනවාලු. ඉතින්, බ්‍රැන්සන් මේ කට්ටියටත්, පළමු පරීක්‍ෂණ පියාසැරිය බලන්න ආරාධනා කළා. බ්‍රැන්සන්ගේ එක් මිතුරෙකු වගේම තරගකාරයකුද වන ‘ස්පේස්එක්ස්’ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ එලොන් මස්ක්ද ප්‍රේක්ෂාගාරයේ සිටි බවයි කියන්නේ. ඔහුත් ගමනෙන් පසු පොළවට ආ බ්‍රැන්සන්ට සුබ පැතුවාලු.

හැබැයි, අහසට ගිය මේ කට්ටිය, අභ්‍යවකාශගාමීන් හැටියට නිල වශයෙන් පිළිගන්නවාද කියලා විවාදයක් තියෙනවා. ඒ කියන්නේ, යානය අභ්‍යවකාශයටම ගියාද කියන එකයි. එක්සත් ජනපද මිලිටරිය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (එෆ්ඒඒ) සහ නාසා විසින් නියම කරන ලද ප්‍රමිතීන්ට අනුව අභ්‍යවකාශයේ මායිම හැතැප්ම 50ක්. කොහොම වුණත් ඒක හැතැප්ම 62 (කිලෝමීටර 100)ක උසකින් ආරම්භ වන අභ්‍යවකාශයේ තවත් ජනප්‍රිය පිළිගත් මායිමක් වන ‘කර්මන් රේඛාව’ට පහළින් පිහිටා ඇති බවයි කියන්නේ.

වර්ජින් ගැලැක්ටික්ගේ තරගකරුවකු වන ඇමසන්ඩොට්කොම් පවුලට අයත් බ්ලූ ඔරිජින්හි ජෙෆ් බෙසෝස් මේ වගේම ගමනක්, ඊළඟ සතියේ එනම් ජූලි 20 වන දින දියත් කරනවා. ඔහුගේ ගමන කර්මන් රේඛාව පසුකර යනු ඇති බවයි කියන්නේ. ඒත් බ්‍රැන්සන්ගේ ගමන ගැන කී අනාවැකිවල සඳහන් වුණේත්, ඇත්තටම ගිය දුරට වඩා වැඩි දුරක් බව මතක තබාගන්න ඕනෑ. අභ්‍යවකාශ යානය දියත් කිරීම, මුදා හැරීම, අභ්‍යවකාශයට පියාසර කිරීම සහ අභ්‍යවකාශයට ගොඩබෑම සඳහා නැවත පෘථිවිය දෙසට ගමන් කිරීම ඇතුළුව මුළු ගුවන් ගමනට මිනිත්තු 90ක් පමණ ගත වන බව ගමනට කලින් බ්‍රැන්සන් ප්‍රකාශ කළා.

බ්‍රැන්සන් මේ අවස්ථාව තෙක් ආ පරීක්‍ෂණ ගමන්මග පසුබෑම්වලින්ද, මහා පරිමාණ පාඩුවලින්ද සමන්විත එකක්. 2007දී අත්හදාබැලීමක සිදුවූ මාරාන්තික අනතුරකින් සේවකයින් තිදෙනෙකු මිය ගියා. 2014 දී වර්ජින් ගැලැක්ටික්හි පළමු අභ්‍යවකාශ යානාව වන වීඑස්එස් එන්ටර්ප්‍රයිස් පරීක්ෂණ ගමනකදී නියමු දෝෂයක් නිසා විනාශ වුණා. එක් නියමුවෙක් මියගියා. අනෙකා බලවත් ලෙස තුවාල ලැබුවා. අතිවිශාල මුදල් කන්දරාවක් අහක ගියා. ඒත් එවැනි දේ නැවත සිදුනොවෙන්න නව ආරක්ෂක පද්ධති සංවර්ධනය කරගැනුණා. ජුලි 11 ගමන ඒ බව සනාථ කළා.

ජුලි 11 වැනිදා වර්ජින් ගැලැක්ටික් යුනිටි 22 ගුවන් යානයෙන් හය දෙනෙක් අහසට ගිය නමුත් යානය සැලසුම් කර ඇත්තේ පුද්ගලයන් අටදෙනෙකු (ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හයදෙනෙකු) අනාගතයේ රැගෙන යාම සඳහායි. බ්‍රැන්සන්ට අමතරව ගැහැනුන් දෙදෙනකුගෙන් සහ පුරුෂයකුගෙන් ‘කැබින්’ කණ්ඩායම සමන්විත වුණා. ඔවුන් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්ටික් සමාගමේ විද්‍යාඥයන්. සාමාන්‍ය මිනිසකුගේ සිරුරෙහි බර අඩුවන විට සිදුවන වෙනස්කම් මැනීම ආදි විද්‍යාත්මක දත්ත ලබාගැනීම ඔවුන්ට පැවරී තිබුණා. ඉන් එක කාන්තාවක්, ඉන්දියානු සම්භවයක් ඇත්තියක්. අනෙක් දෙදෙනා යානයේ නියමුවන්.

ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක්, එනම් සිරිෂා බන්ද්ලා, මේ මොහොතේ බ්‍රැන්සන් සමග අභ්‍යවකාශයේ දාරයට ගිහින් පැමිණීම, කොරෝනා වසංගතයෙන් පැත්ත වැටී සිටින ඉන්දියාවට, ජීව වායුවක් පිඹීමක් වැනියි. ඇය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි සම්භවය ඇත්තියක්. ඉන්දියාවේ උප ජනාධිපතිගේ පටන් විවිධ දේශපාලනඥයන් ඇයට සුබපැතුම් එකතු කර, ඇගේ ගමන ‘ජාතික මංගල කාරණයක්‘ බවට පත්කළේ, දේශපාලනඥයන් නිසා ඉන්දියාවේ ඇතිවී තිබෙන ව්‍යසනය ටික වෙලාවකට හරි අසරණ මිනිසුන්ට අමතක කරවන්නට වෙන්න ඇති. 2003 දී කොලොම්බියා අභ්‍යවකාශ ෂටලය නැවත ගුරුත්ව බලයට ඇතුල්වීමේදී අනතුරට පත්වීමෙන් ඉන්දීය ජාතික කල්පනා චව්ලා මියගිය පසු අභ්‍යවකාශයට ගිය දෙවන ඉන්දීය කාන්තාව සිරිෂායි. ඉතින් ඒක ඉන්දියාවට ආඩම්බරයක් නොවෙයිද?

යුනිටි ගමන, කොක්කු දෙන්නා කටින් අල්ලාගත් කෝටුව මැදින් අල්ලාගත් ඉබ්බාගේ අහස් ගමන සිහිගන්වන තාලයේ එකක්. හැබැයි මෙදා වෙනස, ඉබ්බා කැමැත්තෙන්ම කොකුන්ගෙන් මිදී වෙන ගමනක් යාමයි. සුදුපාට ගුවන්යානා දෙකක් මැද ඉබ්බෙකු හා මඩු මාළුවකු අතර හැඩයක් ගත් යුනිටි යානය රඳවා තිබුණා. දෙපැත්තේ ඇති නමුත් එකිනෙකට ඈඳුණු වීඑස්එස්-ඊව් නමැති ගුවන් යානා දෙකේ නියමුවන්ගේ කාරිය වුණේ, අඩි 50000කට පමණ ඉහළට ගෙනගොස් ඉබ්බා හෙවත් වීඑස්එස් යුනිටි යානය අහසේදී අතහැරීමයි. (ඔවුන් පළමුව පොළවට ආවා.) ඒ සමගම යුනිටි යානයේ දෙමුහුන් රොකට්ටුව දැවීම ආරම්භ වී එහි ඇති ද්‍රවීකෘත හා ඝනීකෘත ගුවන්යානා ඉන්ධනවල ශක්තියෙන් යානය, අභ්‍යවකාශයේ දාරය පන්නනවා. එවිට එහි වේගය ශබ්දයේ වේගය මෙන් තුන් ගණයක් පමණ වන බවයි කියන්නේ. මිනිත්තු 4ක පමණ ඒ ඇසිල්ලේ, ඇතුළේ හිටි බ්‍රැන්සන් ඇතුළු කට්ටිය පාවෙන්නටත්, ගුවන්යානාවක වීදුරු කවුළුවලට සමාන වූ කවුළුවලින් පොඩි එවුන් මෙන් පොළව හා අභ්‍යවකාශය දෙස බලා අප්‍රමාණ ලෙස සතුටුවන්නටත් පටන්ගත්තා. ඉන්පසු නැවතත් යානය පොළව පැත්තට එන්න පටන් ගන්නවා. ඒ වන විට කට්ටිය නැවතත් ආසනවල තැන්පත් වී හමාරයි. යානයේ තටු දෙක කෙළවරින් ඉහළට එසැවී ගමන පාලනය කරනවා. එය තමන් ඉහළ නැගි ගුවන් පථයටම නැවත ළඟා වුණේ සාමාන්‍ය ගුවන්යානයක් වගේයි.
කතාව කෙටියෙන් මෙහෙමයි. එකට ඈඳුණු ගුවන්යානා යානා දෙකක් මැද සවිකළ යානයක්, ගුවන්යානයක් මෙන් (අභ්‍යවකාශ යානයක් මෙන් විදිනවා නෙවෙයි) ගුවන් පථයක් දිගේ ගොස් ගුවන්ගත වෙනවා. ඒක අඩි 50,000ක් විතර උඩ ගියාම, මැද තියෙන යානය වෙන්වෙලා රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයේ සීමාව පන්නනවා. එය ආපසු බිමට එන්නේ, ගුවන්යානයක් වගේමයි. මෙහෙම කිව්වාට මේක ඉතාම සංකීර්ණ විද්‍යාත්මක හා වියදම්කාර වැඩක්. යුනිටි යානය ගිය උස කිලෝමීටර් 85ක් හෙවත් අඩි 282,000ක් හෙවත් සැතපුම් 53ක් බව කියැවෙනවා. මේ විදියට නැවත නැවත අභ්‍යවකාශ සංචාරකයන් අරගෙන ගුවන්ගතවෙලා යළි එන බිස්නස් එක තමයි මෙතන අභ්‍යවකාශ සංචාරය කියන්නේ. ටිකට් එකක් ඩොලර් 250,000ක්.
‘ඒක මැජිකල්!’

අවුරුදු හැත්තෑවක් වයස රිචඩ් බ්‍රැන්සන් ගුවන්ගමන අවසන් කර සන්තෝසෙට ෂැම්පේන් බෝතලයක් කඩන ගමන් කීවා. සර් රිචඩ්ගේ මේ ගමන, අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ භෞතික දියත්කිරීම හැටියට හැඳින්වීම වරදක් නැහැ. මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර හිතන්නටවත් බැරිව තිබුණු එය, දැන් තරගකාරිව දියුණුවට පත්වෙමින් තියෙනවා. ඊළඟ සතියේ එහි දෙවැනි අවස්ථාව උදාවෙනවා. ■

කියනු මැන දිවි අරුත

ජීවිතය යනු කුමක්ද යන්න වටහා ගත නොහැකියැයි කීම ප්‍රලාපයකි. ‘ජීවිතං අනියතං මරණං නියතං’ යනු සොබාදහමේ නියමයයි. ඒත් ජීවිතය යනු කුමක්දැයි අනෙකෙකුගෙන්ද අසා දැන ගැනීමේ නොනිත් ආශාවකින් සහ කුතුහලයකින් අපි නිරන්තරව පෙළෙමු. මේ උත්සාහය එවැන්නක් සඳහාය‍.

මනුෂ්‍යත්වයට ඇති තවත් පර්යාය ශබ්දයක්
සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ
ජීවිතය පිළිබඳ දෙයාකාරයකට හිතන්න මා කැමතියි. එකක් ජීවිතයේ භෞතික පැත්ත. ඒ කියන්නේ හැදෑරීම් කර, රැකියාවකින් පසුව විවාහවෙලා සාමාන්‍යයෙන් අප ගත කරන බාහිර ජීවිතයයි. අනෙක, ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තයි. ඒ කියන්නේ ගුණධර්මයි. මිනිසෙකුට ගුණධර්ම නැත්නම්, භෞතික සාර්ථකත්වයෙන් ඵලක් නැහැ කියන අදහස මම දරනවා. කෙසේ නමුත්, ජීවිතය ගැන සිතන්න ආගමින් තොර වුණු චින්තනමය බලවේගයක් මට තවමත් හමුවී නැහැ.

මා බැසගෙන ඇති නිගමනයන්ට අනුව, මට ජීවිතය වටින්නේ ඇයි, ජීවිතය වටිනා විදියට ගත කළ යුත්තේ කෙසේද, සමාජයේ සිටින අනෙක් ජීවිතවලට මගේ ජීවිතය බලපාන්නේ කෙසේද, ඒ අයට මගේ ජීවිතයෙන් අවැඩක් වෙනවා නම් මගේ ජීවිතයෙන් ඵලක් තිබෙනවාද යන දේ මා සිතනවා. ඒ කියන්නේ ජීවිතේ ස්වාර්ථකාමීද, පරාර්ථකාමීද යන්නයි. ජීවිතයක් ඕනෑවට වඩා ස්වාර්ථවාදී නම් එය වටිනා ජීවිතයක් නෙවෙයි.

පරාර්ථකාමී වීම ඇත්තටම පහසු දෙයක් නෙවෙයි. මිනිස්සු ජීවත්වන සමාජයට අනුව ජීවිතේ ආත්මාර්ථයේ හෝ පරාර්ථයේ හැඩය වෙනස් වෙනවා. සමාජයේ ඇති අර්ථ ක්‍රමය අනුවයි සමාජයේ ජීවන ක්‍රමය සකස් වන්නේ. පවතින අර්ථ ක්‍රමය ඒ සමාජයේ මිනිසුන්ව පෙළෙනවා නම්, පීඩිතයන් බවට පත්කරනවා නම් එවැනි පීඩක අර්ථ ක්‍රමයක් තුළ පරෝපකාරයෙන් තොර ජීවිතය වටිනා ජීවිත නෙවෙයි.

ආගමට අනුව ‘සතර බඹ විහරණ’ ඔබ අසා ඇති. ‘බඹ’ කියන්නේ උතුම් යන්න මිස බ්‍රහ්මයා නෙවෙයි. මෙත්තා කියන්නේ මෛත්‍රියයි. කරුණාව කියන්නේ අනෙකාගේ දුකේදී උණුවීමයි. මුදිතාව කියන්නේ අනෙකාගේ සතුටේදී අපට සතුටුවීමට හැකිවීමයි. උපේක්ෂාව කියන්නේ නරක හෝ හොඳ සියල්ල සම සිතින් විඳදරා ගැනීමයි. මෙයින් කියැවෙන්නේ නියම මනුෂ්‍යත්වයයි. නියම ජීවිතය කියන්නේ මනුෂ්‍යත්වයට කියන තව පර්යාය ශබ්දයක්. නියම ජීවිතය කියන වචනය සතු අර්ථය අර්ථවත් වන්නේ මනුෂ්‍යත්වය තුළිනුයි. මේ උතුම් ගුණධර්ම බුදුන්ගේ දේශනා වුණාට, ලෝකයේ මනුෂ්‍යයන් සිටින කුමන සාමාජයකට වුවත් මනුෂ්‍ය ජීවිත උතුම් කරගන්න මේවා යොදවන්න පුළුවන්. එවැනි ජීවිත තමයි මා නියම මනුෂ්‍ය ජීවිත කියන්නේ.

මා තුළ මනුස්සයකුත්, අමනුස්සයෙකුත් එකවර ජීවත් වෙනවා. හැමෝම ලෝකයට මව්කුසින් එන්නේ කිසිම කිලු‍ටක් නැතිව ඉතාම නිර්මලවයි. මේ බිලිඳා සමාජයත් සමඟ වැඩෙද්දී මිනිහා, නොමිනිහා විදියට දෙන්නා බෙදිලා එක සිරුරක ජීවත්වන්න පටන් ගන්නවා. නියම මනුස්ස සමාජයක ඉපදුණා නම් අප තුළ වැඩෙන්නේ මනුස්සයෙක්මයි. සමාජයේ අමනුස්සයන් සිටී නම්, අප තුළත් අමනුස්සයන් වැඩෙනවා. ආගම් කර්තෘවරු උත්සාහ කර තිබෙන්නේත් ඒ අමනුස්සයා දුරුකරන්නයි. ඒත් ආගම විසිනුත් අමනුස්සයන් වැඩි කරන අවස්ථා තිබෙනවා. ජීවිතේ තෘප්තිමත් වීමට තමා තුළ සිටින අමනුෂ්‍යයා සියයට යම් ප්‍රමාණයකින් හෝ දුරු කරගන්න මහන්සි ගතයුතු වෙනවා.

දැනගන්න තියෙන දේවල් පිරුණු තැනක්
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
ජීවිතේ අපි අදියර ගණනාවක් ගතකරනවා. ළමා කාලය ගත්තාම ඒ ජීවිතය සුන්දරයි. අප ජීවත් වන්නේ විවිධ සම්බන්ධකම් අතරයි. මගේ අත්දැකීමට අනුව සිංහල, දෙමළ සහ මුස්ලිම් හැමෝම එක්ක මා ගතකළ ළමාවිය හරිම සුන්දරයි. ජීවිතය අර්ථවත් වන්නේ අපට ළමාවියේ පටන් මුණගැසෙන සබඳතා සහ ඒ අයගේ ඇසුරත් සමඟයි. අප කුඩා වියේ ලැබූ අත්දැකීම් අද ජීවත්වන ළමුන්ට නැහැ කියලා මං හිතනවා.

මම ක්‍රිස්තියානි ආගමිකයෙක් වුවත් සෑම වෙසක් පොහොය දිනකම මං පන්සල් යනවා. චතුරාර්ය සත්‍යය ජීවිතේට අත්‍යවශ්‍යම වන බව මා කල්පනා කරනවා. පිටතින් එන සීමාවන් තුළ ජීවිතේ කොටු කරගන්න අවශ්‍ය නැහැ.
මනුෂ්‍යත්වය හොඳින් හඳුනන කෙනෙක් බවට පත්වීමට නිදහස් මිනිස් ඇසුර බලපානවා. මං දැන් ජීවත් වන්නේ මගේ මුණුබුරා වෙනුවෙන් සහ ජීවිතයේ අපෙන් රටට ලෝකයට විය යුතු වගකීම් වෙනුවෙන්. ඒවා සිහින නෙමෙයි.
තවමත් මුළුමනින්ම ඉටුවෙලා නැති වගකීම් තිබෙනවා කියා මා සිතනවා. මගේ ජීවිතේ නම්, කිසිම මොහොතක් එක තැන පල්වෙලා නැහැ. එක තැන නතර වෙනවා නම්, මං එතැනින් පනිනවා. ජීවිතේ ඉදිරියට යන්නේ එහෙමයි. ජීවිතයේ මනුෂ්‍යත්වය වගේ දේවල් විශ්වාස කරන්න මට පුළුවන් වුණේ ක්‍රිස්තියානි, බෞද්ධ සහ මුස්ලිම් යන ආගම්වලින් කරන උගැන්වීම් පිළිබඳ තිබුණු උනන්දුව නිසායි. කිසිවක් මා ප්‍රතික්ෂේප කළේ නැහැ.

ජීවිතේ පටු සීමාවන් ගැන මං තරුණ කාලේ වුණත් සිතුවේ නැහැ. ස්ත්‍රී – පුරුෂ කියලා භේදයක් ගැන වුණත් මං කල්පනා කරන්නේ නැහැ. මගේ අම්මා මගේ ජීවිතේ නායකත්වය සමඟ කටයුතු කරන්න විශාල බලපෑමක් කළා. ජීවිතේ අපට අනේක හැලහැප්පීම් වේදනා එනවා. ඒවා මඟහැර යන්න අපට බැහැ. සංගීතය, කලාව එවැනි අවස්ථාවල අපේ ජීවිතවලට අස්වැසිල්ලක් වෙනවා. ජීවිතේ අප ඉගෙනගෙන අවසන් කරන්නේ නැහැ.

මං කල්පනා කරනවා ඉදිරියේදී ඔන්ලයින් හරහා ආචාර්ය උපාධියක් කරන්න. ජීවිතේ කියන්නේ නිරන්තරව දැනගන්න තියෙන දේවල් පිරුණු තැනක්. හැම නිතරම අලු‍ත් වන තැනක්. ගලන ගඟකි ජීවිතේ කියන දේ මා තදින්ම විශ්වාස කරනවා. මං වගේ ගැහැනියකට මේ ලෝකයේ කිසිම දයාවක් නැහැ කියලාත් මං දන්නවා. මං ඉදිරියට යන්නේත් ඒ බව හොඳින්ම දැනගෙනයි.

සුඛිත මුදිත කරන්න ආගමටත් බැරිවෙලා
මහාචාර්ය සෝමරත්න බාලසූරිය
කුඩා කාලයේ විනෝදකාමීව සිට, නියම වශයෙන් සමාජ ජීවිතයේ වගකීම් දරද්දී අප කල්පනා කරනවා අප ජීවත් වන්නේ කුමකටද, කා සඳහාද කියලා. සියලු‍ මිනිසුන් එක හා සමානයි, සියල්ලෝ හොඳින් ජීවත් විය යුතුයි, අනෙකාට උපකාර කළ හැකි නම් හොඳයි යන ආකල්පය සමාජයේ තිබෙනවා. ඒත් මෙය බොහෝ විට ආර්ථික පදනම මත වෙනස් වනවා. ආර්ථික පදනම සමාන නොවෙද්දී සමාජයේ කිසියම් කොටසක් පොහොසතුන් වෙනවා සහ තවත් කොටසක් පීඩා විඳිනවා. මෙවැනි සමාජයක් තුළ ඝට්ටනයක්, ඊර්ෂ්‍යාවක් ඇතිවනවා. එය පහසු දෙයක් නෙමෙයි. මෙය දේශපාලනිකව මාක්ස්වාදීනුත්, ඒ වගේම ආගමික කර්තෘවරුනුත් විසඳන්න හැදුවා. ඒත් ආර්ථික වශයෙන් සමානාත්මතාවක් සමාජයේ ඇති කරගන්න තවමත් අසමත් වෙලා තිබෙනවා. ලෝකයේ කොහේවත් එය සිදුවී නැහැ. දැන් අපට සිදුවී තිබෙන්නේ අපට ඇති ශක්තීන්ගෙන් පුළුවන් තරමින් දේවල් අත්පත් කර ගැනීම සහ ලද දෙයින් තෘප්තිමත් වීමයි. සමාජයේ භාවිතයට ඇති පාරිභෝගික වස්තූන් වැඩි වෙද්දී නැවත ජීවිතය තුළ අසහනයක්, ව්‍යාකූලත්වයක්, තරගයක් සහ දුක්ඛිත තත්ත්වයක් ඇතිවනවා. මෙවැනි විසම චක්‍රයක් තුළ සමාජයේ යහපත් ජීවිතයක් ගතකරන්න අමාරුයි. ඉන් මිදෙන්නට නම් සාධාරණ දේශපාලන ක්‍රමයක් අවශ්‍ය යැයි මා සිතනවා.

ලෝක ඉතිහාසයේ විවිධ ශාස්තෲවරු, දේශපාලන නායකයන්, දාර්ශනිකයන් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා විවිධ මතවාද සමාජයට ගෙනාවා. එමගින් ලොකු සේවයක් වී තිබෙනවා. ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය බෞද්ධාගම නිසා බොහෝ දුරට අඩු වුණා. ඒත් මිනිස් ජීවිත සුඛිත මුදිත කරන්න ආගමටත් බැරිවෙලා තිබෙනවා.
ජීවිතේ තෘප්තිමත්භාවය ගැන කියද්දී, මිනිසුන්ට තියෙන්නේ එකම විදියේ ආශාවන්. ලෝකයේ තිබෙන්නේ එකම ආකාරයක කෑම-බීම, යාන-වාහන සහ අවම හෝ මධ්‍යම ප්‍රමාණ සෞඛ්‍ය පහසුකම්. ඒවා භුක්ති විඳීමට සමාජයේ සැමට ඉඩ දෙනවා නම් හැමෝගේම ජීවිත සුඛිත මුදිත වන්නට පුළුවන්. හැමදේම එක පිරිසක් බදාගෙන භුක්ති විඳිනවා නම්, ඒවාට ළඟා වීමට මාර්ගයක් සාමාන්‍ය ජනයාට නැත්නම් දැඩි නොසන්සුන්තාවක් ඇතිවනවා. දැඩි ඝට්ටනයක් ඇති වී විනාශයට හෝ ජයග්‍රහණය කරා යනවා.

කෙසේ නමුත් අප ජීවත් වෙන ලෝකය අද විශාලයි. ඉස්සර ගම, නගරය, රට වශයෙන් තිබුණත් අද ලෝකය කියන සාධකය ජීවිතවලට බලපා තිබෙනවා. ලෝකයට සාපේක්ෂව අපේ ජීවිත අඩුපාඩුකම් සහිත පුංචි ජීවිත බවට පත්වෙලා තිබෙනවා.

සංස්කෘතික මිනිසා පුබුදුවාගත යුතුයි
මාධ්‍යවේදී මනුබන්දු විද්‍යාපති
උත්පත්තියේ සිට මරණය දක්වා අපි අත්දකින, අපට හැඟෙන පරිකල්පනයන් සහ මතුපිට අප ස්පර්ශ කරන සියලු‍ දේ ජීවිතයයි. මරණය දක්වා අප පරිකල්පනය කරන සමස්තය ජීවිතය තුළ අඩංගුයි. ජීවිතේ කියන්නේ අප හුදෙක්ම එදිනෙදා පැවැත්ම නැත්නම් භෞතික පැවැත්ම කියන කාරණයෙන් එහාට යන දෙයක්. ඉන් එහා ඇති හැඟීම් ක්ෂේත්‍රයේ පවතින දේවල් ගොන්නක් තුළින් ජීවිතය සැකසෙනවා. කිසියම් විදියක මනුෂ්‍ය සංස්කෘතියකට අයිති, මිනිසා නම් විශේෂ සංස්කෘතික ජීවියාගේ හැඟීම් සමස්තයක් එක්ක අපි ජීවිතය දකිනවා. මූලික භෞතික පැවැත්ම වගේම අපේ ආත්මීය වූ මනස පිළිබඳ වූ ඉතිහාසයක් ඉදිරියට රැගෙන යාම ජීවිතය කියා කියනවා.

එය කලාව සහ සාහිත්‍යයට බොහොම කිට්ටුයි. අපේ ජීවිතයේ අප තුළ හටගන්නා මනෝභාවයන්, ඇත්ත වශයෙන්ම ජීවිතයේ අප දන්නා හඳුනන හැඟීම් පළමුව අප තුළ හටගන්නේ අපේ ජීවිතයෙන්ම නෙමෙයි, සමහර විට කවියකින්, කතාවකින්, සිනමා රූපයකින් වෙන්න පුළුවන්. ආදරය පිළිබඳ මූලික හැඟීම අප ඇත්තටම පළමුව අත්දකින්නේ අපේ ජීවිත තුළින්ම නෙමෙයි. බොහෝවිට ඒ අප ළමාවියේ කියවූ පොත්පත්වලින් හෝ කිසියම් කලා නිර්මාණයකින් වෙන්න පුළුවන්. පසුව එය නැවත නැවත අප තුළ ජීවිතයේ උපදිනවා. පසු කාලයක තමන්ගේම ජීවිතයෙන් ඒ භාවයන් හටගන්නවා. ජීවිතය ඇසුරේ තිබෙන බොහෝ දේවල් අපට උගන්වන දේවල් කියලා කියන්න පුළුවන්.

සමස්ත ජීවිතය ගත්තාම, පුද්ගලයෙකුට හසු කරගන්න පුළුවන් වෙන්නේ අල්පයයි. ලෝකයේ තිබෙන කීර්තිය, ධනය, මුදල් සහ මුදල් සමඟ ගැට ගැසී ඇති සැප සම්පත් සියල්ල දෙස මිනිස්සු බලන්නේ තරගකාරී ලෙසයි. ඒ දැවැන්ත තරගය දෙස නැවතී බලන්න පුළුවන් නම්, බොහෝ වේදනාකාරී දේවල්වලින් මඳක් ඉවත් වී ජීවිතේ ගැන සුපහන් හැඟීමකට එන්න හැකි වෙනවා. ඉතිහාසයේ පටන් අපට පුරුදු කර ඇති ආකාරයට එයින් ගැලවීයාම පහසු දෙයක් නෙමෙයි. ඒත් දැඩි අනුරාගයකින් යුතුව තරගය තුළ හැප්පෙනවාට වඩා, ආපස්සට අවුත් බලා සිටියොත් අපට විඳීමක් තිබේවි.

අපට උත්පත්තියේ සිට මරණය දක්වා වින්දනීය හැඟීමකින් ජීවිතේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වන්නේ මේ තරගයෙන් ඉවත් වුණොත් පමණයි කියා මා සිතනවා. මෙය කරන්න පහසු දෙයක් විදියට මා දකින්නේ නැහැ. ඒත් ඒ ඉවත්වීම කිසියම් ආකාරයෙන් හෝ අපට කළ හැකි නම් ජීවිතේ සුවපහසු තැනක් වේවි.

මේ කතා කරන්නේ ශෝකී හෝ වේදනාකර ලෙසින් ජීවිතය දෙස බලා සිටීමක් නෙමෙයි සහ ආගම් විසින් යෝජනා කරන දේත් නෙවෙයි. මෙය අපම අත්පත් කරගත යුතු දෙයක් ලෙසයි මා සිතන්නේ. තරගකාරී ලෝකයේ මේ ක්‍රියාවලියෙන් ගැලවෙන්න පුළුවන් වන්නේ ඒ තරගයෙන් මෑත්වීමෙන් පමණයි.

අප තුළ සිටින සංස්කෘතික මිනිසා මතු කරගන්න, නැත්නම් පුබුදුවා ගන්න අපට හැකි නම්, එයින් අපේ ජීවිතයේ එක අර්ධයක් තෘප්තිමත් කරගත හැකි වෙනවා. එය කළ හැකි වන්නේ කලාව සාහිත්‍ය යන මාධ්‍යයන් සමඟයි. අපේ මනුෂ්‍යය ජීවිතයේ මනෝභාවයන් පුබුදුවා ගැනීම තුළින් අප සිටින කටුක යථාර්ථය තුළම කිසියම් විදියක ආත්මීය සුවයක් ලබන්න එයින් අපට හැකිවෙනවා. ඒ වගේම මනුෂ්‍ය ආත්මභාවය පිළිබඳ විශාල අවබෝධයක් ලබාගන්නත් එනයින් හැකි වෙනවා.■

බටහිර විදියට අපට ආදරය කරන්න බෑ – රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ ඇගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල සිනමාවේ මායිම් ලකුණක් වන ඒ චිත්‍රපටය ඇගේ සිනමා දිවියේත් විශේෂ සලකුණක්.

නරි බෑනා නාට්‍යයේ ගම දුවගේ චරිතය රඟපාමින් ඔබ වේදිකාවට පැමිණියා. නරි බෑනා සහ ගම දුව පිළිබඳ මතකය කොහොමද?
නරි බෑනා නාට්‍යයේ ගම දුව විදියට රඟපෑවේ ශ්‍රියානි වීරකෝන්, ශ්‍රියානි අමරසේන නෙමෙයි. මගේ කලා ජීවිතයේ පෙර දැක්ම වුණු නරි බෑනා අතිශය ජනප්‍රිය වූ ගැමිවහරේ කතාවක්. රබන් පද ඇසුරෙන් සකසා තිබූ ගීතයන්ට ලයනල් අල්ගම සංගීතය සැපයුවා. නාට්‍යයේ චරිත තිබුණේ අඩුවෙන්. නාට්‍යයේ නරියෙක් සහ බල්ලෙක් රඟපානවා කිව්වාම මිනිසුන්ට විශාල කුතුහලයක් මුලින් තිබුණා. නරියාගේ චරිතය අසීරු චරිතයක්. නාට්‍යයේ සාර්ථකත්වයට නරියාගේ නැත්නම් ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ රංගන කෞශල්‍යය ප්‍රබල හේතුවක් වුණා. නරියාගේ චරිතයේ ආකෘතිය හැදුවේ ඔහුයි. අනෙක් පැත්තෙන්, ගම දුව මගේ චරිතය මිනිස්සු කැමැත්තෙන්ම වැළඳගෙන තිබුණා. ‘කුමටද සොඳුරිය කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්’, ‘තෝව දෙන්නෙත් නරියටයි තෝව ගන්නෙත් නරියමයි’ වැනි වේග රිද්මයක් තිබුණු කෙටි ගීතවලට ප්‍රේක්ෂකයන් ආශා කළා.

හැත්තෑව සහ අසූව දශකවලදී ඔබව හැඳින්වූවේ ‘සිනමාවේ අහිංසකාව’ විදියටයි. චරිත තෝරා ගැනීමේදී කටයුතු කළේ කොහොමද?
සිනමාවේදී මුලින් මට ලැබුණේ අහිංසක ගැමි චරිත. ඒ චරිත මිනිස්සු අතරට ගියා. කල්‍යාණි ගංගා, රත්තරං අම්මා, අපරාධය සහ දඬුවම, හතරදෙනාම සූරයෝ වැනි චිත්‍රපටවල මා රඟපෑ භූමිකාවන් ප්‍රේක්ෂකයන් වැළඳගත්තා මතකයි. මා චරිත තෝරාගැනීමක් කළේ නැහැ. විවිධාකාරයේ චරිත රඟපෑම මගේ පමණක් නෙමෙයි, සෑම කලාකරුවෙකුගේම කැමැත්තක්. සිනමාවේ අහිංසකාව යන නාමය ඒ කාලයේ පටබැදුණා සහ මං එය සතුටින් භාරගත්තා. ‘නිවෙන ගින්න’ චිත්‍රපටයේ මා රඟපෑවේ ප්‍රධාන චරිතය, නිවසක මෙහෙකාරියක්. ඒ වලව්වේ සිටි එකම සෙල්ලක්කාර තරුණ පුතාට රඟපෑවේ රොබින් ප්‍රනාන්දුයි. ඔහු අතින් මෙහෙකාරිය අනාථ වෙනවා සහ අවසානයේ ඇයව වලව්වෙන් පන්නනවා. පසුව දරුවා බිහිකරන ඇය වලව්කාර පවුලෙන් බොහොම සූක්ෂ්මව පළිගන්නවා. ටී.බී. ඉලංගරත්නගේ නවකතාවක් ඇසුරෙන් අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ මගේ චරිතයට මා අදත් ආසයි. අහිංසක චරිතයක් වුණත් ඉන් සමාජයට දෙන පණිවුඩය විශාලයි. කවදාකවත් වලව්වල හාම්පුතුන්ට ප්‍රේම කළාට මොහෙකාරියකට ඔහු හා විවාහ වෙන්න බෑ, දරුවො ලැබුවත් ඒ පරතරය හරිම දුරස්ය යන්න අපූරුවට විදහා දක්වනවා.

එදා චිත්‍රපටයටත් වඩා සමහරවිට චිත්‍රපට ගීත ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. චිත්‍රපට ගීත පටිගත කිරීම්වලදී එදා සහ අද ඔබ අත්දකින විශේෂ වෙනසක් තිබෙනවාද?
මම සිනමාවට පිවිසුණේ සිනමාව කළු සුදු වර්ණයෙන් පවතින කාලයේයි. ‘පුතුනේ මේ අහගන්න’, ‘පැතුම් මල්ලකි ජීවිතේ’ යන ගීත ජනතාව අතරට ගියේ ඒවායේ රූපයත්, සංගීතයත්, රගපෑමත් සහ පසුබිම් තලයත් යන හැමදේම නිසායි. එදා චිත්‍රපට ගීතවලදී විශේෂයෙන්ම සංගීතයට, පසුබිම්තලය විශාල බලපෑමක් කළා. ‘පැතුම් මල්ලකී ජීවිතේ’ ගීතය විජය චිත්‍රාගාරයේ දර්ශන තලයක ගෙපැළක් හදලා එහි තමයි රූපගත කළේ. ගෙපැළේ මගේ කාමරය ඉතාමත් පුංචියි. විවාහ මංගල්‍යයට අඳින ඇඳුමකින් සැරසිලා මා ජීවිතේ ප්‍රාර්ථනාවන් ගැන සිතනවා. මෙතනදී ලෙනින් මොරායස්ගේ කැමරා ශිල්පීය ඥානය සහ ඔහු කැමරාවෙන් කළ හරඹය නිසා කාටවත් තේරුණේ නැහැ මේ ගීතය එක තැනක කළ රූපගත කිරීමක් කියලා. ‘පුතුනේ මේ අහගන්න’ ගීතයත් රූපගත කළේ ලංකා චිත්‍රාගාරයේ දර්ශන තලයක. අපි පිටතට ගියේම නැහැ. ධර්ම ශ්‍රී කල්දේරාගේ අධ්‍යක්ෂණයෙන් සිදු වුණු ඒ ගීතය ගැයුවේ සුජාතා අත්තනායකයි. එදා චිත්‍රපට ගීතවල ජනප්‍රියත්වයට, ගීතයේ පද, ගායනය, සංගීතය, රංගනය සහ පසුබිම්තලය සමසේ උපයෝගි වුණායි මා සිතනවා.

ඒත් අද තත්ත්වය ඊට වෙනස්. ඉස්සර චිත්‍රපටයක ගීත පහක් හයක් තිබුණා. අපි සිනමාවට එන්නට පෙර චිත්‍රපටයක ගීත විස්සක් පමණ තිබුණා. පැය තුනක් පමණ විහිදෙන චිත්‍රපට එදා තිබුණා. අද පැය එකහමාරක් දෙකක් පමණ කාලයකදී චිත්‍රපටය අවසන් වනවා. අද සමහර චිත්‍රපටවල ගීත නැහැ. ගීත තිබුණත් බොහොම අමුතු විදියට ඉදිරිපත් කරන්නේ. එදාට වඩා අද සංගීත භාණ්ඩ පැත්තෙනුත් දියුණුයි. අපේ කාලයේ ගීතයක් පටිගත කරන්න දින තුන හතරක් ගතවනවා. ඒත් අද නව තාක්ෂණයත් සමග හැමදේම පහසු වෙලා තිබෙනවා. අද සිනමා පටයක ගීතයක් ගැන බරපතළ විදියට හිතන්නේ නැහැ. ඒත් නව තාක්ෂණය සමග ඇස ප්‍රිය කරන ගීතයක් අවසන් කිරීමට විශාල මුදලක් වියදම් කරන්න සිදුවී තිබෙනවා.

සිනමාවේ කලින් කලට ජනප්‍රිය වූ දැවැන්තයන් සිනමාපටවලදී ඔබගේ පෙම්වතුන් වී තිබෙනවා. ඔවුන්ගේ රංගන පෞරුෂයන්ගේ විවිධත්වය ඔබට අභියෝගයක් වුණාද?
ගාමිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, එච්.ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග, ඩග්ලස් රණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ඔස්වල්ඩ් ජයසිංහ, සනත් ගුණතිලක, තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක යන අය සමගම මා සිනමාවේ රඟපා තිබෙනවා. එය මට විශාල සතුටක්, භාග්‍යයක්.

රංගනයේදී මුලින්ම පිටපත අධ්‍යයනය කරනවා. චිත්‍රපටයේ මගේ චරිතය නන්දා නම් මා තවදුරටත් ශ්‍රියානි අමරසේන නෙමෙයි, රූප රාමුව තුළ මා හැඩ ගැසෙන්නේ නන්දාගේ ජීවිතයටයි. අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම අනුවත් අප චරිතය හදා ගන්නවා. ඇත්ත මම කවුද කියලා දර්ශන තලයේදී සහමුලින්ම අමතක කරනවා. පෙම්වතියක් නම් ආදරය කරනවා, ගුටිබැට හැළහැප්පීම් සිදුවෙනවා, එකිනෙකාට එරෙහිව තලාපෙලා ගැනීම සිදු කරනවා. ඒ හැම දෙයක්ම රගපෑමක්. දර්ශන තලයේදී අප වටා කාර්මික ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් බලා සිටියත් අපට අවට අමතක වෙනවා. රංගනය කියන්නේ භාවනාවක් වගේ දෙයක්. ඉතින් මට ජෝ අයියා හමුවන්නේ ඔහුගේ චරිතයෙන්. ඇත්ත ජෝ අයියා නෙමෙයි. සහාය නළුවා වෙනුවට ඒ නළුවා රඟන චරිතය සමග කටයුතු කරනවා. අධ්‍යක්ෂවරයා දර්ශනතලයේදී සයිලන්ට් කියද්දී, මා මොහොතක් නිහඬ වී සිට ඒ චරිතයට පිවිසෙනවා. අධ්‍යක්ෂවරයා ඇක්ෂන් කියද්දී, ඒ සිටින්නේ මා නෙවෙයි. අවසානයේ කට් කියන තුරු මා සිටින්නේ ඒ මූඩ්එකේයි. එය ඇත්ත වශයෙන්ම භාවනාවක් වගේ දෙයක්. ඒ තෘප්තිය වෙනත් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට ලබන්න බැහැ. කලාවේ රංගනයේ තිබෙන විශේෂත්වය ඒකයි.

රත්තරන් අම්මා, දෑස නිසා, අහසින් පොළවට කියන්නේ අපේ රටේ සිනමාලෝලීන්ට අමතක නොවන චිත්‍රපටයි. රත්තරන් අම්මා චිත්‍රපටයේදී ඔබ ආරම්භයේදී ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය විදියටත්, දෙවනුව ඔහුගේ අම්මා විදියටත් රඟපානවා. එවකට තරුණ ඔබ මේ අභියෝගය ජය ගත්තේ කොහොමද?
මේ චිත්‍රපටයේ රඟපාද්දී මා තරුණියක් තමයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා සහ චිත්‍රපටයේ වේෂ නිරූපණය කළ ඊබට් විජේසිංහ මට මේ භූමිකාවන් දෙකට පිවිසීමට විශාල දායකත්වයක් දුන්නා. චිත්‍රපටයේ මුලින් මම ගාමිණී අයියාගේ පෙම්වතිය සහ බිරිඳ. ඔහු මිය යාමෙන් පසුව චිත්‍රපටයේ මගේ භූමිකාව වෙන්නේ අම්මාගේ චරිතයයි. එහිදී තරුණ සෙල්ලක්කාර පුතා වෙන්නේත් ගාමිණී අයියාමයි. මේ දඩබ්බර පුතා සමඟ අම්මා හැප්පෙන ආකාරය තමයි රත්තරන් අම්මා චිත්‍රපටය කතා කරන්නේ. වේෂ නිරූපණයෙන් පසුව කන්නාඩිය ඉදිරියට ආවාම, මට පෙනෙන්නේ නැහැ මම ශ්‍රියානි විදියට. මා දකින්නේ, මා ඉදිරියේ සිටින වයසක ගැහැනියක් පමණයි. චරිතයට පිවිසෙන්න ඒ විදියට පහසුයි. මෙහිදී කටහඬ, දෙබස් උච්චාරණය කරන ආකාරය, ගමන බිමන සහ සහාය නළුවාගෙන් ලැබෙන සහාය වැදගත් වනවා. මේවා අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒත් එදා අපට රංගනය පිළිබඳ හදාරන්න ආයතන තිබුණේ නැහැ. ඒත් මම එදා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබූ විදෙස් චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන සිටියා. ඒවායේ රඟපාන ඉතාමත් දක්ෂ නළු නිළියන්ගෙන් මා ඉගෙන ගත්තා. ඔවුන් ආදරය කරද්දී, උද්වේගකර අවස්ථාවලදී මුහුණදෙද්දී, මුව හසුරුවන ආකාරය සිරුර චලනය කරන ආකාරය මා අධ්‍යයනය කර මතකයේ තබා ගන්නවා. පසුව ඒවා අනුකරණය කරන්නේ නැහැ. මොකද එම හැසිරීම් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ. එම හැසිරීම් අපේ විදියට මා සකසා ගන්නවා. ඔවුන් ආදරය කරන විදියට අපට ආදරය කරන්න බැහැ. බටහිර රටවල හැසිරීම් රටා වෙනස්. අපට සීමාවන් බොහොම තිබෙනවා. අවස්ථාවට උචිත ආකාරයට අපේ සංස්කෘතික සීමාවන් තුළ අපට රඟපාන්න ඒ විදියට ඉගෙන ගත්තා.

සිනමා පුවත්පත් කලාවේ ප්‍රවීණයකු වන ආතර් යූ. අමරසේන ඔබගේ ජීවන සහකරුයි…
ළමාවියේ සිය මා ලිවීම සහ පොතපත කියවීම කරනවා. කියවීම තුළින් තමයි, ලිවීමට හිත දෙන්නේ. කියවන්න කියවන්න ලියන්න හිතෙනවා. ලිවීම මට ජීවිතයේ විනෝදාංශයක් වී තිබුණා. මේ අතරතුරදී මටත් වඩා හොඳට ලියන්න පුළුවන් ලියන මහත්තයෙක් එක්ක මට විවාහ වෙන්න ලැබුණා.

සති අන්ත රිවිරැස පුවත්පත පළමුවරට මංගල දැන්වීම් පිටුවක් ආරම්භ කරද්දී ආයතනයේ අවිවාහක අයම දැන්වීම් දාලා තිබෙනවා. මොකද ආරම්භක පිටුවට දැන්වීම් පිටින් එන්නේ නැති නිසා. එහි තිබුණු එක දැන්වීමක් ‘කලාවට කැමති, රූමත් තරුණියක් පින්තූරය සමග විමසන්න’ කියා තිබුණා. මගේ මව ඊට පිළිතුරු ලියා තිබුණා. පසුව තරුණයන් දෙදෙනෙක් අප මුණගැසෙන්න ඇවිත් කතාබහ කළා. ඒ අය බොරු නම්වලින් තමයි මුලින් කතා කළේ. පසුව අපගේ කැමැත්තක් ඇති බව දැකලා, ඔවුන් ඇත්ත නම් කිව්වා. ඒ ආතර් යූ අමරසේන සහ ඔහුගේ මිත්‍රයා ඔගස්ටස් විනයාගරත්නම්. මම ආතර් යූ අමරසේන සමග විහාහ වුණා.

චිත්‍රපටයක මංගල දර්ශනය නරඹන්න එදා ප්‍රේක්ෂකයන් සිනමාශාලා ඉදිරියේ පොරබැදුවා. අද සිනමාව සහ සිනමාශාලා වැසීයාම ගැන ඔබගේ අදහස කුමක්ද?
අපේ රටේ දශක තුනක් තිස්සේ තිබුණු ජනවාර්ගික යුද්ධය සිනමාවේ බිඳවැටීමට මුලින්ම බලපෑවා. ඒ කාලයේ රටේ සිනමාහල් බොහෝමයක් ගිනිබත් කළා. විශේෂයෙන්ම උතුරේ සිනමාහල් අපට අහිමි වුණා. අදටත් අපට ඒ ප්‍රශ්නය තිබෙනවා. යුද්ධය අවසන්වෙලා නව තාක්ෂණයත් ඇවිත් සිනමාව තුළ නැම්මක් ඇති වෙද්දී කොවිඩ් වසංගතය ආවා. යුද සමයේ වගේම අදත් සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නරඹනවා කියන්නේ තරමක අවදානමක් ඇති දෙයක්. මේ නිසා අද සිනමාශාලා හිමිකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිනමා ශාලා වසා තැබුවත් යන්ත්‍ර ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් ඒවා අකාලයේ දිරාපත් වනවා. මේ තත්ත්වය තුළ අද සිනමා ශාලාවල යන්ත්‍ර, පුටු වශයෙන් වෙන වෙනම විකුණලා හෝල්එකත් විකුණනවා. අද රටේ උසස් නිර්මාණ බිහි වන්නේ නැත්තේ, මේ තත්ත්වය තුළයි. එවැනි නිර්මාණයකට යොදවන මුදල පෙරළා නිෂ්පාදකයින්ට ලබාගන්න බැහැ. ඉස්සර සිනමා ශාලා ප්‍රමාණයෙන් ඉතා විශාලයි. උදාහරණයකට බොරැල්ලේ ලිඩෝ ශාලාව. කොළඹින් පිටත දුර පළාත්වල ගත්තත් සිනමා ශාලාවක පන්සියයක් හයසියයක් දාන්න පුළුවන් තරම් විශාලයි. ඒත් ඒ කාලේ සිනමා ශාලා හවුස් ෆුල්. අද සිනමා ශාලාවලට මිනිස්සු එනවා බොහොම අඩුයි.■