No menu items!
22.5 C
Sri Lanka
13 May,2025
Home Blog Page 136

රට නගන්න රජෙක් හොයන
රාජ මිථ්‍යාව

0

ජනතාව විසින් බලයෙන් පහකරනු ලැබීමට පෙර බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතෙන් මිථ්‍යාවක් වන ‘සුන්දර රාජ සිහිනය’
තවමත් පහව ගොස් නොමැත.

සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් 7 දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහාසනාරූඪ වූ අයගෙන් 26 දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරාදමා බලයට පැමිණි රජවරු
29 දෙනෙකි.

■ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත එන්නේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ

රජෙකු ලැබුණෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤම්
පෙරහැර කරඤ්ඤම්
සාදු නාදෙන් ගිගුම් දෙඤ්ඤම්


නුවර රජකම් කළ ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කළ පසු, එකල විසූ කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතළය. නන්දා මාලිනිය ‘පවන’‍ ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරළියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් ‘ලලනාවෝ’‍, රට කිරීමට රජෙකු පැතූහ. ඒ මෙම කව ලියූ හිමිනම ගැන හෝ ලංකාව පාලනය කළ රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද නැද්ද යන්න ගැන නිසි අවබෝධයකින් තොරව විය යුතුය.


පළමුව මෙය ලියූ කුංකුනාවේ ධම්මරක්ඛිත හිමිනම ගැන විමසමු. 1963 වර්ෂයේ එම්.ඩී. ගුණසේන සමාගම විසින් පළකරන ලද ඇම්. මේලියස් සිල්වා මහතාගේ ‘අපේ අන්තිම රජතුමා’ පොතෙහි, කුංකුනාවේ හිමිනම ගැන වැදගත් තොරතුරු රැසක් ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වන්දිභට්ට කවි කීමට තිබු කවිකාර මඩුවේ සාමාජිකයෙකුවූ උන්වහන්සේ වඩා ප්‍රසිද්ධව සිටියේ වස් කවි කීමටය. නුවර නාථ දේවාලයේ වහලට බාධාවක්වූ බෝ අත්තක් උන්වහන්සේ වස්කවියක් කීමෙන් ඉවත් කළ බව එහි සඳහන් වේ. මල්වත්තේ මහනාහිමි පුද්ගලික තරහකට කුංකුනාවේ හිමිනම සිටි වල්ලාගල පන්සලින් ඉවත් කළ විට, උන්වහන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සෙත් පතා පාලි බසින් ‘රාම සංදේශය’ නම් කව් පොතක් ලිවීය. තමන් අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන ගාථා හැටකින් යුතූ එයින් සතුටුවූ රජ, උන්වහන්සේට අලු‍ත් පන්සලක් තනාදුනි. එමනිසා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුද්දන් විසින් පැහැරගෙන යනු ලැබීම ගැන උන්වහන්සේ දුක්වීම සාධාරණය. උන්වහන්සේ බි්‍රතාන්‍යයන් විසින් සිරගත කළ බැව් සනාථ වන මූලාශ්‍රයක් මට හමුවී නැත. මුක්කමක් සහිත මුහුණක් තිබූ, විපත් ගෙනදෙන වස්කවි ලියූ උන්වහන්සේ අමනාප කරගැනීමට රජ පවා බියවිය. ගැමි විශ්වාසයන්ට අනුව වස්කවි ලියන්නෙකුගෙන් සෙත්කවි ලියාගැනීම ඉතා අසුබය. ඔවුන් සිතන ආකාරයට එවන් කවියකින් සිදුවන්නේ අවැඩකි. වස්කවියක් බඳු මෙම කවිය අපට අවැඩක් කර ඇත්තේ එය ‘රට නැගිය හැක්කේ රජෙකුට පමණි’‍ යන මිථ්‍යාව හොඳින් ජනගත කර ඇති නිසාය.


ලංකාවේ සිටි රජවරුන් නිසාත්, රාජවංශයන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කළ නිසාත් ලංකාව චිරාත් කාලයක් තිස්සේ ලොවෙහි මුදුන් හිනිපෙත්තේ වැජඹුණු බව ශ්‍රී ලංකික බොහෝ දෙනාගේ විශ්වාසයයි. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ජනගත වී ඇති මිථ්‍යාව වන්නේ ‘වසර දෙදහස් පන්සියයක් තිස්සේ මේ උතුම් දිවයින සිංහල, බෞද්ධ, ධාර්මික, අභීත, ජනතා සුවසෙත සැලසූ රජවරු පාලනය කර විජාතිකයන්ගෙන් රැකගෙන නිර්මල, ථෙරවාදී බුදුදහමද ආරක්ෂා කළෝය.’ යන්නයි. ‘අනාගතයේදීද මේ රට ලොව විශිෂ්ටතම දේශයක් කළ හැක්කේ එවන් රජකුට පමණි.’ යන්නයි. ලංකාවේ සත්‍ය ඉතිහාසය දෙස විමසිල්ලන් නොබැලීම මෙම වැරදි වැටහීමට හේතුවයි. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීම කළ යුතු කල එළඹ තිබේ.


විජය රජුගෙන් ඇරඹෙන ලාංකික රාජවංශය අවසන් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙනි. මේ කාලය තුළ ලංකාවේ අගනුවර ලෙස පැවති ස්ථානයන්හි රජවූ රජවරුන් ගණන 182කි. මෙම අය අතුරින් ඉතිහාසයේ සනිටුහන් වන යමක් කළ රජවරුන් ඇත්තේ 10කට අඩු වැඩි ප්‍රමාණයකි. ඒ පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, වසභ, මහාසේන, ධාතුසේන, සීගිරි කාශ්‍යප, විජයබාහු, පණ්ඩුකාභය, සවැනි පැරකුම්බා, මායාදුන්නේ, රාජසිංහ රජුන් පමණි.


සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් 7 දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහාසනාරූඪ වූ අයගෙන් 26 දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරාදමා බලයට පැමිණි රජුන් 29 දෙනෙකි. අප රජවරුන් අතුරින් 39 දෙනෙක් සෙනෙවියන්, තම සොයුරන්, දරුවන් හෝ තම බිරිඳ අතින් ඝාතනය වූහ. තවත් එක් රජෙකු (කානිරජානුතිස්ස, ක්‍රි.ව. 30-33) මිහින්තලා විහාරයේදී භික්ෂූන් වහන්සේලා හැට නමකගේ මුෂ්ටි ප්‍රහාරයකට ලක්ව අසීරුවෙන් දිවිගලවා නොගත්තේ නම්, මෙම ලැයිස්තුව තවත් එකකින් දිගුවනු ඇත. අප රජුන් අතුරින් ආක්‍රමණිකයන් අතින් ඝාතනය වී ඇත්තේ කිහිපදෙනෙකි. 23 දෙනෙක් අභ්‍යන්තර කැරලි කෝලාහල නිසා බලයෙන් පහවූහ. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයවූ අනුරාධපුර යුගයේ විසූ රජවරුන්ගෙන් දෙදෙනෙකු මියගියේ බීමත්කමිනි. මෙයට නුවර යුගයේ නරේන්ද්‍රසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ එක්වූ විට ලංකාවේ රජවරුන්ගෙන් 4 දෙනෙක් ප්‍රසිද්ධ බේබද්දෝ වූහ. අනුරාධපුරයේ රජවරුන්ගෙන් 4 දෙනෙක් සතුරන් සමඟ යුදයට ගොස් පරාජය වී සිය දිවි හානි කර ගත්හ. ඒ පරසතුරන් සමඟ නොව තම රටෙහි සතුරන් සමඟ සටන් කොටය.
වසර 2300 පමණ වන අප ඉතිහාසයෙන් බි්‍රතාන්‍යයන් යටත් කර ගැනීමට පෙර කාලයේදී පවා වසර 181ක් සිරිලක අගනුවර පාලනය කළෝ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝය. ලංකාවේ රජවරුන් බොහොමයක් විජාතිකයන්ට විරුද්ධව සටන්කොට රට රැකි බවද අසත්‍යයකි. විජාතික ආක්‍රමණිකයන් පන්නා දමා බලයට පැමිණ ඇත්තේ රජවරුන් 6 දෙනකු පමණි. මෙයට ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන්කළ දඹදෙණි පරාක්‍රමබාහු, මායාදුන්නේ, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය හා දෙවැනි රාජසිංහ රජවරුන්ද එක්කළ විට එය 10කට අඩුවැඩි ගණනක් වේ.


විජය රජු ලංකාවේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම රජු වුවත් ඔහුගේ ක්‍රියාකලාපය අගය කරන අයෙකු නැති තරම්ය. අපගේ විමසුමට ලක්වන රජවරුන් අතරින් අගය කළ යුතු රජෙකු ලෙස ජනගත වී ඇති පළමු රජු පණ්ඩුකාභයයි. ඒ අනුරාධපුරය නගරය ගොඩනැගීමත්, ලංකාවේ ප්‍රථම වැව යැයි සැලකෙන බසවක්කුලම තැනීමත් නිසාය. එතුමා ලංකාවේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් හා ඉන්දියානු සංක්‍රමණිකයන් එක්කොට සිංහල ජාතියට අඩිතාලම දැමුවේ යැයි මතයක් මෑත කලෙක ඇතිවී තිබේ. එතුමා පවා බලයට පැමිණියේ තම මාමාවරුන් 8 දෙනෙකු සහ මහා පිරිසක් මරා දමාය. අවසන් යුද්ධයේදී කැපූ හිස් ලබු ගෙඩි මෙන් එකතු කළ ‘ලබ්බුගාමක’‍ අද දින ලබුනෝරුවයි.


දේවානම්පියතිස්ස රජු ලංකාවේ බුදුදහම ස්ථාපිත කිරීමට කළ මෙහෙය අතිමහත්ය. ඉන්පසු දුටුගැමුණු, සද්ධාතිස්ස දෙබෑයන් අබෞද්ධ එළාර පලවා හැර රට එක්සේසත් කළ අයුරු මහාවංශයේ මැනැවින් පැහැදිලි කරයි. එයට පරම්පරා තුනකට පසු වළගම්බා රජු දවස නැවත පරසතුරෝ අගනගරය යටත් කර ගත්තෝය. වළගම්බා රජු රට නැවත අත්පත් කරගැනීමට සටන් කළ නමුත්, දැඩි මානයෙන් යුතු අයෙකු නිසා, ඔහුගේ සෙබළු කිහිපවිටක් ඔහුට විරුද්ධව කැරලි ගැසුවෝය. මහායානය ලංකාවේ ස්ථාපිත වීමට මුල්වූ අභයගිරිය තැනුවේ එතුමාය. මෙයින් ථෙරවාදයට වන හානිය වටහාගත්, නියඟයකින්ද බැටකෑ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ රාජ්‍ය අනුග්‍රහයෙන්, අගනුවර වූ අනුරාධපුරයේදී නොව, ඇමතිවරයෙකුගේ උදවුවෙන් මාතුල දනව්වේ දිය.


අනුරාධපුර යුගයේ විසූ රජවරුන්ගෙන් අවම වශයෙන් 10 දෙනෙක් මහාවිහාරයට පිටුපා, ථෙරවාදයට වඩා මහායානයට උදවු දුන්හ. මෙයිනුත් මහාසේන රජුගේ අනුග්‍රහයෙන් ලෝවාමහාපාය කැබලි වුණි. මහාසේන ප්‍රසිද්ධියට පත්වුණේ විශාල වැව් තැනූ නිසා වුවත් මහා වංසය ඔහුගේ කතාව සමාප්ත කරන්නේ හොඳ නරක දෙකම කළ රජෙකු ලෙස සඳහන් කරමිනි. මින්නේරි දෙවියන් ලෙස වැඳුම් ලබන එතුමා, මියයන විටද මහායානය අත් නොහැරි බැව්, මහා වංස කථාවෙන් පැහැදිලිවේ.


වසභ රජු ගැන බොහෝ අය නොදැනගත්තත්, ඊට පෙර රජකළ සුබ රජු මරා බලයට පැමිණි ඔහු, විශාල වාරිකර්මාන්ත ආරම්භ කළේය. පරදේසක්කාර සතුරන් පලවා හැර, කලාවැව වැනි මහා වාපි කර්මාන්ත කළ නිසා ගෞරවයට පාත්‍ර වන ධාතුසේන රජතුමාද, නොකළ වරදකට තම සොයුරිය පණපිටින් පුළුස්සා දැමීමටද, අහිංසක තවුසෙකු පණපිටින් වළලා දැමීමටද තරම් සැහැසි විය. අවසානයේදී තම පුතුගේ අණින් කලාවැවේ බැම්මට තබා වැළලුණු එතුමාගේ පුත් කාශ්‍යප, සීගිරිය තනා ඉතිහාසගත වුවත්, තම සොයුරා සමඟ යුද වැද සියදිවි හානි කරගත්තේය.


මේ රජවරුන් අතර මහා විජයබාහු අද්විතීය ස්ථානයක් ගනී. රජෙකුට දාව නොඉපිද, දකුණු ලක දුෂ්කර පෙදෙසක ගඩාගෙඩි කමින් ජීවත්ව, තම උත්සාහයෙන් ගරිල්ලා හමුදාවක් තනා, ඉන්දුනීසියාව දක්වා තම බල පරාක්‍රමය පතුරුවා සිටි චෝල අධිරාජ්‍යය පරාජය කිරීමට එතුමාට හැකිවිය. සසුනට වැඩ කළද, මහා දාගැබ් නොතැනූ නිසාදෝ, එතුමාගේ නම විරු නාමාවලියේ සඳහන් වන්නේ මඳක් පහළිනි. වැවු අමුණු තනා රට සශ්‍රීක කළ, බුරුමයට පවා පහරදුන්, බලවත් ශාසන සංශෝධනයක් කළ මහා පරාක්‍රමබාහු රජතුමා අපගේ ගෞරවයට පාත්‍රවේ. එහෙත් එතුමා ජනතාවගෙන් අධික ලෙස බදු අයකළ බව, ඉන්පසු බලයට පැමිණි රජවරුන්ගේ සෙල්ලිපි කිහිපයකින් පැහැදිලිවේ. රුහුණෙහි පැවති රාජධානිය විනාශකොට, එහි අගනුවර මුළුමනින්ම ගිනිබත් කොට, නැවත හිස නොඔසවන තැනට බිම හෙළීමට, විජාතික භටයන්ගෙන් සැදි හමුදාවන් එතුමා යෙදවූ අයුරු ‘පුරාතන රෝහණය’‍ ග්‍රන්ථයෙහි ආචාර්ය අලු‍ත්වැව සෝරත හිමි මැනැවින් පැහැදිලි කරයි.


අපගේ ඉතිහාසය, විමසිල්ලෙන් හදාරා පාඩම් උගත යුතු විෂයයක් නොකොට, නොවිමසා පිදිය යුතු පූජා භාණ්ඩයක් බවට පත්කිරීම, මෑත කාලීන ප්‍රවණතාවකි. මෙම ප්‍රවණතාවේ ප්‍රතිඵලයක් ලෙස පරම සුන්දර දශරාජ ධර්මයෙන් රජ කර, අප රට නැවතත් ලොවෙහි උතුම් රට බවට පත්කරන රජෙකු සොයමින් අද දින ලාංකිකයෝ අඳුරෙහි අතපතගාති. 15 වෙනි සියවසේ ලියැවුණු ‘පැරකුම්බා සිරිත’‍ කව් පොතෙහි සඳහන් වන කවි පදයක් ඇසුරින් 1950 දශකයේ සිට ජනතාව තුළ පැළපදියම් කළ ‘දියසෙන් කුමරු’ මිථ්‍යාවද මෙයට පොහොර දමයි. අද දින ලාංකිකයන්ට වඩා තම රජුන් ගැන යථා අවබෝධයකින් සිටි අනුරාධපුර යුගයේ මිනිසුන්, ගරු කළයුත්තන්ට ගරු කළත්, රජවරුන්ට වන්දනාමාන නොකළ බව මහාවංසයේ ඔවුන් හැඳින්වෙන වන ඇතැම් නම්වලින් පැහැදිලි වේ. වංකනාසික (ඇද නහයක් ඇති) තිස්ස, චෝර (හොර) නාග, ගෝථාභය (මිටි අභය), කුඨකණ්ණ (ඇද කනක් ඇති) තිස්ස මෙවන් නම් වේ. එනමුත් ඇතැම් රජවරුන්ගේ ගුණාංග අගය කිරීමටද ඔවුන් පසුබට නොවූ වග සමහර රජවරුන්ගේ පූර්ව නාමවලින් පෙනේ. සධ්ධා (ශර්ධාව ඇති) තිස්ස, වෝහාරික (නීති ගරුක) තිස්ස, ආමන්ද (සිත් සතුටු කළ) ගාමිණී මෙවන් නම් වේ.


පාලි බසින් ලියැවුණු නිසාදෝ වත්මන බොහෝ දෙනා ‘මහාවංසය’ වංස කතාවක් ලෙස නොසලකා ආගමික ග්‍රන්ථයක් ලෙස පුදති. එනමුත් මහාවංස කතුතුමා පවා රජවරුන්ගේ ක්‍රියා දෙස වියුක්තව බැලූ බව මහාවංසයේ එක් එක් පරිච්ඡෙදයෙහි සමාප්ත වාක්‍යයන් කියවන විට පැහැදිලි වේ. උදාහරණයක් ලෙස විජය රජුගේ කතාව අවසන් කරෙන්නේ ඔහු ‘විෂම වූ සිය පෙර සිරිත් අතහැර’ රාජ්‍යය කළ බව පැවසීමෙනි. ලංකාවේ රජකළ රජවරුන් දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනීයන්නේ මෙරටට විශිෂ්ට සේවයක් කළ රජවරුන් අතලොස්සක් සිටියද, බහුතරයක් කිසිදු වැදගත් දෙයක් නොකළ අය බවයි.
මෙය අත්විඳි, ලොව ඇති බහුතරයක් රටවල මිනිස්සු රජුන් බලයෙන් පහ කළහ. ඇතැම්හු මරාදැමුණහ. අද රජුන් වසන සෑම රටකම ජනතාව ඔවුන්ගේ බලය අඩුකොට, නාමික රජුන් බවට පත්කොට ඇත. ආසියාවේ පවා රජවරුන් සිටි රටවල් ස්වෝත්සාහයෙන් රජවරුන් එළවා දමා හෝ බල සුන්කර තිබේ. ජපානය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල එවන් දළ සිඳුණු රජුන් සිටින අතර, බි්‍රතාන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඉන්දියාවේ මහාරාජාවරුන්ගේ දළ බිඳුණේ නිදහස ලැබුණු පසුයි. මෙම රටවල් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දෙන ලද නිසා අපට නොගැළපෙන්නේ යැයි ඇතැම් ඊනියා දේශප්‍රේමීන් පවසන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉදිරියට ඇදෙයි. ජනතාව විසින් බලයෙන් පහකරනු ලැබීමට පෙර බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතින් මිථ්‍යාවක් වන ‘සුන්දර රාජ සිහිනය’ තවමත් පහව ගොස් නොමැත. අද දින ලොවෙහි සැලකිය යුතු පිරිසක් රට තැනීමට රජෙකු සොයන යම් රටක් ඇත්නම්, එය ශ්‍රී ලංකාව පමණක් විය යුතුය. බටහිර වේවා පෙරදිග වේවා හොඳ දේ අනුගත කරගැනීමට තරම් විචාර බුද්ධියක් අපට නොමැත.


මෙම ‘රාජ මිථ්‍යාව’ දෙස නැවත සිත්යොමු කිරීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹුණු අනෙක් හේතුව නම් රජෙකුට තරම් බලතල ඇති ජනපති ධුරයක් 1978 දී ඇති කිරීමයි. අලු‍තෙන් තැනූ ඒ රජ පුටුවේ වාඩි වියයුත්තේ රජෙකු පමණි යැයිද, ඔහු රජෙකු ලෙස හැසිරිය යුතුයැයිද, ඇතැම්හු සිතා සිටිති. ගෙදරින් තම කෑමවේල ගෙන ඒම රජෙකුට නොහොබින්නේ යැයිද, රජෙකු ආහාර ගත යුත්තේ රජෙකු ලෙසද බැව් කියමින්, ඇතැම් ජනපතිවරුන් විහිළුවටද ලක්වුණි. උද්ධච්ඡකමද, දැඩි මානයද, අධික ලෙස ජනතාවගේ මුදල් වියදම් කිරීමද සැබෑ රජෙකු සතු ගුණධර්ම ලෙස සිතා, රජු බලයේ සිටි කල සිදුවූ සියලු‍ හොඳ දේ රජුගේ ගිණුමට පමණක් බැර කර, රජු දුටු තැන වැඳ වැටීම යහගුණයක් යයි සිතන ජනතාවක් සිටින තුරු නවීන ලෝකය සමඟ ඉදිරියට යාම සිහිනියකි. නිහතමානිකම, අන් මතවලට සවන්දී තීරණ ගැනීම, දරදඬු නොවීම, නොදන්නා දේ නොදන්නේ යැයි පැවසීම, ‘රජෙකුට’‍ නොගැළපෙන ගතිගුණ යැයි සිතන ‘රජුන්’ ‍අපට මග පෙන්වන තුරු, රට ගොඩනැගිය නොහැක. මෙවන් ‘රජෙකු ලෙස හැසිරෙන රජෙකු’ පතන ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බැලු‍වහොත්, අප පත් කර ගන්නා රජෙකු හොඳ රජෙකු වීමේ සම්භාවිතාව සියයට හතකට (7%) වඩා අඩු බව වටහා ගනු ඇත. අප ඉතිහාසයෙන්, අප උගතයුතු පාඩම එයයි.


(මෙම ලිපිය ලිවීමට මහාවංසයේ විවිධ සංස්කරණත්,University of Ceylon- History of Ceylon ග්‍රන්ථ ද්විත්වයත්, එහි සංක්ෂිප්ත සංස්කරණයත් උපයෝගි කරගතිමි.)

(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ යාවජිව සාමාජිකයෙකි.)

පැන්ඩෝරාවෙන් හෙළිවුණු
නිරූපමා-නඩේසන් රහස් වත්කම්

0

■ අමන්දිකා කුරේ

ලෝකයම මේ වන විට ”පැන්ඩෝරා පේපර්ස්” සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ නායකයන්, ක්‍රීඩකයන්, කලාකරුවන්ගේ හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් හෙළිදරවුවක් කර තිබුණි. ලොව පුරා විසිරී සිටින ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැලෙන්නන් විසින් රැස් කරගත් තොරතුරු මෙලෙස මුදාහැර තිබුණි. එහි තිබූ කරුණ වූයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ද ඇතුළත් වී තිබීමය.


හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ තොරතුරු මෙලෙස හෙළිදරවු වී තිබුණේ සිංගප්පූරුව මූලික කරගෙන පවත්වාගෙන යනු ලබන මූල්‍ය සේවා ආයතනයක ලියකියවිලි සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ දී ය. එහිදී හිටපු ඇමතිවරියට හා ඇගේ සැමියාට අයත්ව ඇති අක්වෙරළ සමාගම් හා ශෙල් සමාගම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. එහිදී එම සමාගම් හරහ සිදුකරන ලද ගනුදෙනු, මිලදීගත් සුඛෝපභෝගී නිවාස, කලාකෘති සම්බන්ධයෙන් හෙළිදරවු වී තිබේ.


තිරුකුමාර් නඩේසන් හා නිරූපමා රාජපක්ෂ විසින් සිය අක්වෙරළ සමාගම්, ශෙල් සමාගම් පිහිටුවීමට යොදාගෙන ඇත්තේද ලිහිල් මූල්‍ය හා බදු ප්‍රතිපත්ති ඇති කුඩා දූපත් රාජ්‍යයන්, ප්‍රංශයට එපිටින් පිහිටි කුඩා දූපත් රාජ්‍යයන්, පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයන්ය. පක්ෂපාතී බදු ප්‍රතිපත්ති පවත්වාගෙන යාම හේතුවෙන් එම දූපත් යුරෝපා සංගමය විසින් අසාදු ලේඛනගත කර ඇත.


මෙම යුවළ 1991 දී එවැනි දූපත් රාජ්‍යයක සිය ශෙල් සමාගම ආරම්භ කර ඇත්තේ ”රොසෙට්ටි ලිමිටඩ්” යනුවෙනි. එය ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන සම්බන්ධයෙන් උපදේශන සපයන සමාගමකි. ඔවුන් මෙම සමාගම හරහා ඕස්ට්‍රලියාවේ සිඩ්නිහි ඩාර්ලිං වරාය අසල පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක් සහ එංගලන්තයේ තේම්ස් නදිය ආසන්නයේ නිවාස තුනක් මිලදීගෙන ඇත. පසුව තේම්ස් නදිය අසල පිහිටි නිවාස තුන විකුණා ඇත. ඔවුන්ගේ මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ට අයත් සමාගම්වල සේවය කරන ඒ ඒ රටවල සිටින නියෝජිතයන් විසින් සොයා බලනු ලබයි.


ඊට අමතරව ඔවුන් වාණිජ පදනම මත කුලී පදනමට ගොඩනැගිලි ලබාගෙන ඇත්තේ ද මේ සමාගම උපයෝගී කරගෙනය. මෙම දේපළවල සෘජුවම තිරුකුමාර් නඩේසන්ගේ හා නිරූපමාගේ නම් සඳහන් නොවූවද ඔවුන්ට අයත් ශෙල් සමාගමකට එහි අයිතිය ඇති බැවින් ඒවා ඔවුන්ට අයත් දේපළ බවට ඔප්පු වී තිබේ.


මෙවැනි වත්කම් කුලී පදනම මත ලබා දීමෙන් වසරකට ඩොලර් මිලියන 4ක් පමණ උපයාගෙන ඇත.


මීට අමතරව 1990දී මොවුන් දෙදෙනා දූපත් රාජ්‍යයක ආරම්භ කළ භාර හා ශෙල් සමාගම්වල සේවාදායකයෙකු වශයෙන්, 1991 දී ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයට එයාර් බස් සැපයූ ජර්මානු බෙදාහැරීම් සම්බන්ධ සමාගම්ද සිට ඇත.


2010දී නිරූපමා රාජපක්ෂ රජයේ අමාත්‍යධුරයක් දරන අතර ඒ අනුව ඔවුන් සේවා ලබා ගත් ඒෂියා සිටි මූල්‍ය ආයතනය නඩේසන් ”දේශපාලනිකව හෙළිදරවු වූ පුද්ගලයන්ගේ ලැයිස්තුව”ට ඇතුළත් කර තිබේ.


2010 වසරෙන් පසුව මොවුන් දෙදෙනාගේ සමාගම්වල ලියකියවිලි තුළ නිරූපමාගේ නම සඳහන්ව නොමැති අතර ඒ වෙනුවට බොහෝවිට ”පදිංචිකරුවාගේ බිරිඳ, හිමිකරුවාගේ බිරිඳ” වැනි යෙදුමක් යොදා ඇත.


මේ වන විට ඒෂියාසිටි සමාගමට තිරුකුමාර් නඩේසන්ගේ ගිණුම් හරහා සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් සැකසහිත බවක් උද්ගත වී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් ද සිදු කර තිබේ. නමුත් එම සමාගමේ සේවකයන් පවසන්නේ නීති විරෝධී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සොයා බැලීමට සිටි නිලධාරීයා නඩේසන් සම්බන්ධ නිවැරදි තොරතුරු සමාගමට ලබා දී නොමැති බවයි.


2012 වසරේදී නඩේසන් විසින් නවසීලන්තයේ භාරයක් ආරම්භ කරන අතර මුදල් විශුද්ධිකරණ ගැටලු ඇති වේ යැයි සිතා එය සමෝවා දූපත් රාජ්‍ය වෙත ගෙන ගොස් ඇත. මෙම දූපත් රාජ්‍ය මීට පෙර සඳහන් කළ පරිදි යුරෝපා සංගමය විසින් අසාදු ලේඛනගත කර ඇති රාජ්‍යයකි.


මෙම කාලය වන විට නඩේසන්ට අයත්ව තිබූ අයෝජන උපදේශන ලබා දීම සම්බන්ධයෙන් තිබූ සමාගමට විවිධ වටිනා කලාකෘතීන් එකතුවක හිමිකමක් තිබී ඇත. ජෝර්ජ් කීට්, ජාමිනී රෝයි, මක්බුල් ෆ්‍රීඩා හුසේන් වැනි කලාකරුවන්ගේ වටිනා කලාකෘති රැසක් මෙලෙස ඔවුන්ට අයත්ව තිබී ඇති අතර 2014 වන විට ඔවුන්ට කලාකෘති 51ක් පමණ අයත්ව තිබූ බවට අනාවරණය වී ඇත.


2018 දී ලන්ඩනයේ සිට තෙල් සායම් සිතුවම් ස්විට්සර්ලන්තය දක්වා යවා ඇති අතර ඒවා යායුතු ලිපිනය ලෙස සඳහන්ව ඇත්තේ සමෝවා රාජ්‍යයේ ලියාපදිංචි සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් ලිමිටඩ් ආයතනයයි. එලෙස රැගෙන ගිය එක් සිතුවමක් වන 19 වන සියවසේදී මාර්ටර් රාජා රවිවර්මා විසින් සිතුවම් කරන ලද ලක්ෂ්මි දේවියගේ රූපය සහිත තෙල් සිතුවමේ වටිනාකම පමණක් ඩොලර් මිලියන එකකි. ඒෂියාසිටි මූල්‍ය ආයතනයේ කාන්දුවූ ලිපි ලේඛනවලට අනුව ලංකාවේ දේශපාලනයට සම්බන්ධයක් ඇති තිරුකුමාර් නඩේසන් මේවායේ සැබෑ හිමිකරුවා බවට මේ වන විට හෙළිව තිබේ.
ඒශියාසිටි සමාගමේ ඊමේල් පණිවුඩ මඟින් හෙළිවන නඩේසන්ගේ නිරූපමාගේ භාරවල මූල්‍ය ප්‍රකාශනවල සඳහන් පරිදි 2017 වන විට ඔවුන්ගේ අක්වෙරළ සමාගම සතුව ඩොලර් මිලියන 18ක වත්කමක් තිබී ඇත.


2014 වසරේදී ලංකාවේ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය ලබගැනීමට අනුමැතිය ලැබීමත් සමග නඩේසන් විසින් සයිප්‍රස් රාජ්‍යයේ පුරවැසිභාවය අයැදුම් කර ඇති අතර ඒ සඳහා ඔහු සයිප්‍රසයේ බැංකුවක ඩොලර් මිලියන 1.3ක් තැන්පත් කර ඇත. සයිප්‍රසයේ මෙලෙස පුරවැසිභාවය මුදලට ලබා ගෙන යුරෝපා රටවල සිය ව්‍යාපාර කටයුතුවල නිරත වීම ව්‍යාපාරිකයන් විසින් යොදාගන්නා කූට උපක්‍රමයකි. ඔහුගේ මෙම වෑයම සාර්ථක වූවාදැයි එම ලිපිගොනුවලින් නිවැරදිව අනාවරණය වී නොමැත.


රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් හා නඩේසන්ගේ ඇති සම්බන්ධය සෘජුවම අනාවරණය වූයේ කුප්‍රකට මල්වාන දැවැන්ත නිවස සම්බන්ධ සිදුවීමේදීය. එවකට මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රාවය පුවත්පතේ පළ කළ ලිපියක මේ සම්බන්ධයෙන් අනාවරණය කර තිබුණි. වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ යැයි කියන එම නිවස අයත් භූමියේ අයිතිය සම්බන්ධයෙන් ඉහත ලිපියේ සඳහන් උපුටාගැනීම පහතින් දැක්වේ.


”අංක 27364 දරන ඔප්පුව අනුව එම ඉඩමේ වත්මන් හිමිකරුවා වන්නේ ජාතික හැඳුනුම්පත් අංක 542121009 හිමි අංක 95, හෝර්ටන් පෙදෙස, කොළඹ 07හි පදිංචි තිරුකුමාර් නඩේසන්ය. මේ තිරුකුමාර් නඩේසන් යනු වෙන කවුරුවත් නොව මන්ත්‍රීනි නිරූපමා රාජපක්ෂගේ සැමියා ය”


මොහු දේශපාලනයේ දී පෙනී නොසිටියත් රාජපක්ෂවරුන්ගේ බල ව්‍යාපෘතියේ ඉදිරිපෙළ සිටින සාමාජිකයෙකි. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල ලැබෙමින් තිබියදී බල හුවමාරුවේ සාකච්ඡාව සඳහා රනිල් වික්‍රමසිංහ හා අරලිය ගහ මන්දිරය යන්නේ තිරුකුමාර් නඩේසන් ය.


2016 දී මල්වාන ඉඩමේ ගැටලුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විට නඩේසන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහට ලියූ පෞද්ගලික ලිපියක් ද පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි වී තිබේ. තමා මේ සම්බන්ධයෙන් නිවැරදි බවත් සාධාරණයක් ඉටු කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.


ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරවුව සිදු කිරීමත් සමගම පාකිස්ථානු ජනාධිපති ඉම්රාන් ඛාන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මෙහි නම් සඳහන් සියලුම පකිස්තානු ජාතියකයන් සමබන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බවයි. රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.


ඉහත හෙළිදරවු කරන ලද කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන්ගෙන් විමසීම් සිදු කර ඇති අතර ඔවුන් ඒවාට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ.


පසුගිය ඔක්තෝබර් 6 වන දින නඩේසන් විසින් ඔහුගේ බිරිඳගේ ඥාති සහෝදරයා, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, තමා හා තමාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් නිර්දෝෂී බවත්, තමන් අහිංසක බවත්, මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළ බව ඔක්තෝබර් 6 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ නිරූපමාට එම දේපළ විවාහයෙන් ලැබුණු ඒවා වන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයට හෝ තම පවුලට වගකීමක් නැති බවයි. ඊට අමතරව ඔවුන් මෙම වත්කම් උපයා ඇත්තේ 1990-98 කාලවකවානුවේදී බවයි. එහිදී ඇමතිවරයා එවැනි වත්කමක් ඔවුන්ට ඇති බවට පිළිගෙන ඇති බවක් සිදුකරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වේ. කෙසේවුවත් මේ වන විට හෙළි වී ඇති ලිපිලේඛන අනුව නිරූපමා හා ඇගේ සැමියා යන දෙදෙනාම එක්ව මෙම වත්කම් ඉපැයූ බවට සාක්ෂි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් හෙළි කර තිබේ. ඊට අමතරව ඔවුන් 2000 පසුව සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් ද ඔවුන් හෙළිදරවු කර තිබේ.


මොවුන්ගේ මෙම හෙළිනොකළ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරවු කිරීමට සති කිහිපයකට පෙර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් හෙළිනොකළ වත්කම් තබාගෙන සිටින්නන්ට 1%ක මුදලක් රජයට ගෙවා එම මුදල් අයෝජනය කිරීමට – කළු සල්ලි සුදු කිරීමට මුදල් පනතක් සම්මත කරගැනීම ද අවධානය යොමු කළ යුතු විශේෂ කාරණයකි.■

ඊළඟ නායකයා රටට සපථ
කළ යුතු සුදුසුකම්

ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි සියලු දෙනාටම කඩිනමින් දඬුවම් ලබා දෙන්නට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ය. මේ වූ කලී අවශ්‍යතාවක් ඇත්නම් කළ හැකි කටයුත්තකි.

වත්මන් ආණ්ඩුව පවතින්නේ වසංගතයට මුවා වී බව නොරහසකි. ආණ්ඩුවේ හෝ නායකයාගේ පිරිහෙන්නට තවත් කිසිවක් ඉතිරිව නැත. මොනම අන්දමකින්වත් යළි තමන්ට බලය නොලැබෙන බව ආණ්ඩුවේ සියල්ලන්මත්, නායකයාත් මැනවින් අවබෝධ කරගෙන ඇත. කළ හැකි හැම විපතක්ම රටට සිදු කිරීම තව දුරටත් වේගවත් අන්දමින් සිදු කොට පළායාමට කල් මනින බවත් පැහැදිලිය. යන්නේ කොරහ බිඳගෙන නොව මැටි කෝප්පයක්වත් ඉතිරි නොකරමිනි.


රට බේරාගැනීමට දිවි පරදුවට තබා කැපවුණ භික්ෂුවකගෙන් රජයේ නිලධාරිණියක් නොබෝදා මෙසේ ඇසුවේලු.


”ඔබ වහන්සේලා කියපු දේවල් අහලා අපිත් ඡන්දෙ දුන්නා, අනේ හාමුදුරුවනේ රට විනාශයි නේද හැම පැත්තෙන්ම?”


භික්ෂුව මේ පැනයට පිළිතුරක් දෙනු වෙනුවට ප්‍රශ්නයක් අසා ඇත.


”අපිව අල්ලගන්න ලෑස්ති වෙන්න එපා. තම තමුන් කරපු පව් තමයි තම තමුන් විඳවන්නෙ. අපි කියපු හින්දා ඡන්දෙ දෙන්න පුළුවන් නම් ඇයි අපි කියන විදිහට පන්සිල් රකින්නැත්තෙ?”

අලුත් නායකයා කවුරුන් ද?


සිංහල බෞද්ධ නායකයා ගැනත් – සිංහල බෞද්ධ ආණ්ඩුව ගැනත් කට උත්තර නැති තැනට කරුණු යෙදී තිබෙන පසුබිමක හැම පැත්තෙන්ම විමසන්නේ ඊළඟට බලයට පත් වෙන්නේ කවුරුන් ද? යන්නය. මේ පැනය අසමින්ම මතු කරන කාරණාවක් ද ඇත. එය නම් ‘පේන මානයක කවුරුවත් නෑනෙ‘ යන්නය.


ආණ්ඩුවක් තෝරා පත් කරගැනීම ද සරම පැත්ත මාරු කර අඳින තත්වයකට පත්ව තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත් අද වන විට තත්වය වඩාත් සංකීර්ණ පසුබිමකය පවතින්නේ. එසේ පවසන්නේ ඇයි? කලක සිටම ඊළඟ නායකයා තීන්දු කරන්නේ සැබවින්ම මහජනතාව නොවන බැවිනි. මේ නිසාය අලුත් නායකයෙකුට බිහිවෙන්නට ඉඩක් නැත්තේ.


ලංකාවට ගැළපෙන; ඊළඟ නායකයා තීන්දු කිරීමේ තීරක බලය ඉන්දියාව සහ ඇමෙරිකාව පවරාගෙන තිබෙන බව අද වන විට නොරහසකි. මේ තීරක බලයට බලපෑම් කරන්නට අද චීනය පෙරට පැමිණ ඇත. වසංගතය ද නොසලකා ඉන්දියාව හා ඇමෙරිකාව ලංකාවේ ජන විඥානය හැසිරවීමට හැකි නායකයා සොයා ගැනීමට ‘පරියේෂණ‘ පටන් ගෙන ඇත. ඔවුන් මේ වන විට සොයාගෙන තිබෙන කරුණක් වන්නේ ජන විඥානය තුළ චීන විරෝධය සැලකිය යුතු මටට්මකින් වැඩී වර්ධනය වෙමින් තිබෙන බව ය. එහි වාසිය ලබන්නට ඉන්දියාව හා ඇමෙරිකාව අතිනත ගනු ඇත.


ගෝඨාභය රාජපක්ෂ ඊළඟ නායකයා බවට ඉන්දියාව සහ ඇමෙරිකාව තීන්දු කරන විට ඔහුට නිල වශයෙන් අපේක්ෂකත්වයද ලැබී නැත. ඒ සූදුවේ දී චීනය පැත්තකට වෙන්නේ නිතරඟ ජයක් එහි තමන්ට හිමි බැවිනි. මේ අවස්ථාව ඊට වෙනස්ය. චීනය අද කිසිසේත්ම රාජපක්ෂවරුන්ගෙන් පිටට රටේ පාලනය යනවාට කැමතිම නැත. එබැවින් ඊළඟ නායකයා තීන්දු කිරීමේ න්‍යාය පත්‍රය අලුත්ම එකක් වෙන්නට පුළුවන. මේ න්‍යාය පත්‍රය සම්පාදනය කිරීමට කිසි ලෙසකින් හෝ චීනයට මැදිහත් වන්නට නොහැකිය. චීනයට එය අවශ්‍ය නැතුවා ද විය හැකි ය. චීනය මේ වන විට රාජපක්ෂවරුන් හරහා ඊළඟට කවර නායකයෙකු පත් වුවත් කේවල් කිරීමේ බලය හා හැකියාව තමන් අතට පත් කරගෙන හමාරය. භූ දේශපාලනයේ යථාර්ථය මත ජන විඥානයෙහි අලුත්ම නායකයෙකුට නිර්මාණය වෙන්නට අවසරයක් තබා නැති බවය පෙනී යන්නේ. මේ උගුලෙන් ගැලවෙන්නට බැරි ද?

දිළිඳුකම තවත් වැඩි වීම


බැසිල් රාජපක්ෂගේ දේශපාලන දැක්මෙහි ඉහළින්ම ඔහු තබාගෙන සිටින්නේ ‘දිළිඳුකම තව තවත් වැඩි කිරීම‘ ය. දිළිඳුකම වැඩි වෙන විට ආධාර දෙන්නට පුළුවන. ආධාර ලැබීම පසුබිමේ ඔහු රටේ ඡන්දදායකයන්ගෙන් විශාල තීරුවක් මත සිය අණසක පැතිරවීමට සමත් වේ. මේ ව්‍යායාමය ජවිපෙට නොව අනෙක් පක්ෂවලට ද පහසු නැත. රාජ්‍ය බලය නැතත් ආධාර යාන්ත්‍රණයක් රට තුළ දියත් කිරීමට බැසිල් රාජපක්ෂට හැකියාව ඇත. බැසිල්ගේ න්‍යාය අවලංගු කර දමන්නට හැකි එකම මාර්ගය වන්නේ රටේ අධිකරණ නිලධාරීන් ප්‍රමුඛ වෘත්තිකයන් – උගතුන් සහ සිවිල් ක්‍රියාධරයන් නිශ්චිත අරමුණක් මත පිහිටා රට ගැන හිතන්නට පෙළඹීම ය. බැසිල් හැමදේම කරන්නේ තමන්ට හානියක් නොවන අන්දමට නෛතික අවකාශය සකස් කරගෙන ය. මේ සාහසික පිළිවෙත පරාජය කළ යුතු ම වේ.


පාස්කු ප්‍රහාරය ගැන නිල වශයෙන් සිදු කෙරුණ විමර්ශන හෝ කොමිෂන් වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන්නේ ඒ විනාශය සිදු වන්නට ඉඩ දී බලා සිටි යථාර්ථයකි. එසේ බලා සිටීම අවශ්‍ය වන්නේ ද ඊළඟ නායකයා වෙනුවෙන් බව නොරහසකි. ඊළඟට දියත් වන්නේ මනුෂ්‍ය ඝාතන ප්‍රහාරයක් නොවන්නට පුළුවන. ඒ ප්‍රහාරය දිළිඳු ජනතාව තුළ පමණක් නොව මැද පන්තිය තුළ ද අසහනය ගොඩ නඟන ‘අහේනිය‘ විය හැකි ය. අහේනිය තුළ අසරණ වීම ලාංකේය සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි. එවිට සැලකිය යුතු ජනතාවක් තුළ අපේක්ෂාවන් දල්වන්නට චීනය අවශ්‍ය තරමට රාජපක්ෂවරුන්ට ආයෝජනය කරනු ඇත. එය යටපත් කරන්නට ඉන්දියාව සහ ඇමෙරිකාව සමත් වේ ද? පොලී මුදලාලි ණයට දෙන අන්දමට බැංකුවකට ණය දෙන්නට අසීරුය. අහේනිය ඇති කරන අහේනිය බැංකුවට සමනය කරන්නට අපහසු විය හැකිය. පොලී මුදලාලිට හැකි විය හැකි ය.


ඊළඟ සංකීර්ණ කාරණාව වන්නේ ආණ්ඩුව හෙවත් මොළ හත ඉන්දියාව – අමෙරිකාව සහ චීනය තුන් පාද කණප්පුවක් ලෙසින් සමබර කර තබා ගැනීමට දරා ඇති සමත්කමය. දරුවන් සෑහීමකට පත් නොවන අන්දමට දේපළ බෙදා දීම කරන්නට දෙමාපියන් අසමත් වුණත් දරුවන්ට ඉවසා සිටින්නට හැකි අන්දමට දේපළ බෙදා දීමෙන් අවම හානි මත පැවතිය හැකි ය.


දැන් ඉතා පැහැදිලිව පෙනෙන්නේ භූ දේශපාලනය විෂයෙහි බරපතළ සාකච්ඡාවක් හා දැනුමක් රටට – ජනතාවට අවශ්‍ය බව ය. ඒ වෙනුවෙන් ‘සාමූහික බලයක‘ කැපවීම අවශ්‍ය වේ. මෙහි අර්ථය නම් ජන විඥානය වෙනස් කිරීමට ‘අලුත් දැනුමක්‘ අවශ්‍ය බව ය. විපක්ෂය පාර්ශ්වයෙන් ඉදිරියෙන් සිටින නායකයන්ට එය කළ හැකි ද? කළ හැකි කිසිවෙකු සිටින්නේ නම් රටට සපථ කළ යුතු ප්‍රධාන සුදුසුකම් කීපයක් ඇත.

සපථ කළ යුත්තේ මොනවාද?


පසු ගිය දින කීපය පුරාම රඟ දැක්වෙන්නේ ‘පැන්ඩෝරා‘ නාඩගම ය. දැනටම නාඩගමේ රසය විදින්නට හැකි වී තිබේ. එය නම් ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කෙටි කලක් තුළ කඩිනමින් විමර්ශනයක් සිදු කොට වාර්තාවක් ලබා දෙන්නට යන්නය. මේ නියෝගය පිස්සු පූසෙකුට පැවරුවා නම් රසය උපරිම ය. කෙසේ වුව අඩුවක් වනු නැත.


දූෂණ හෝ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක හැකියාවක් තිබේ ද?


ලංකාවේ නීති ගරුක පුරවැසියන් ඕනෑවටත් වඩා බරපතළ මූල්‍ය අපරාධ ගැන අසා ඇත. ජන මාධ්‍ය ඒවා අලංකාර අන්දමින් අලෙවි කිරීමද සිදු කරන්නට සමත් වී ඇත. ජන මාධ්‍ය ඔස්සේ ජනතාව මුසපත් කළ මූල්‍ය අපරාධවලින් සියේට අනූවකටත් වඩා සිදු කර තිබෙන පිරිස වත්මන් ආණ්ඩුව විවිධ ස්වරූපවලින් නියෝජනය කරන පුද්ගලයෝ වෙති. ඉතින් සිහි විකල් වූ පිරිමියෙකුට පමණි සිය රහසඟ කපා විසි කළ හැක්කේ, හා සතුටු විය හැක්කේ.


අලුතෙන් පත්වන නායකයෙකුට තමන්ට අවශ්‍ය පුද්ගලයන් නීතියෙන් බේරා දමන්නට හැකිනම්, හිරගෙවල්වලින් මුදා ගන්නට හැකිනම්, ඇයි අලුතින් පත්වන නායකයෙකුට නීතියෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබා දෙන්නට හිර ගෙවල්වලට යැවිය යුතු අය යවන්නට නොහැක්කේ?


ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි සියලු දෙනාටම කඩිනමින් දඬුවම් ලබා දෙන්නට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ය. මේ වූ කලී අවශ්‍යතාවක් ඇත්නම් කළ හැකි කටයුත්තකි. යහ පාලන ආණ්ඩුව නින්දිත අන්දමට අවභාවිත කළේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ලැබුණ ස්වර්ණමය අවස්ථාවය. ලංකාව ගොඩ ගැනීමට යහ පාලනයක් වෙනුවෙන් රටට දුන් ප්‍රතිඥා අදටත් එලෙසින්ම වලංගුය. ප්‍රශ්නය වන්නේ ඒ ප්‍රතිඥාව යළි සපථ කරන්නේ කෙසේ ද?, කවුරුන් ද? යන්නය.


රට සංවර්ධනය කිරීම – ප්‍රවාහනය වැඩි දියුණු කිරීම – සෞඛ්‍ය සේවය දියුණු කිරීම – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – බඩු මිල අඩු කිරීම… යනාදි අලංකාර රස බස් අලුත් නායකයෙකුගෙන් රටේ සංවේදී පුරවැසියන් අපේක්ෂා නොකරමු. අපේක්ෂා කරන ප්‍රබලතම සාධකය වන්නේ නීතියෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබා දීම හා හිරගෙවල්වලට යැවිය යුතු අය හිරගෙවල්වලට යැවීමය. ඉතින් ඔය කියන විදිහට ඒවා කළ හැකි ද? ඇයි බැරි? මරණ දඬුවම් ලබා සිටි උදවිය නිදහස් කොට රජයේ උසස් පදවි පිරිනමනවා නම්, අධි චෝදනා පත්‍ර ලබා සිටි උදවිය නිදොස් කොට නිදොස් කරනවා නම්….තව තවත් දේ සිදු කරන්නට සමත් නම් අලුත් නායකයෙකුට හොරකම සහ අපරාධ සම්බන්ධයෙන් කල් නොමරා නෛතික රාමුවක් තුළ පියවර ගත නොහැක්කේ මන් ද?

බොරුකාරයන් ‘ඉවර විය‘ යුතුය


රනිල් වික්‍රමසිංහ – මෛත්‍රීපාල සිරිසේන රටේ අභිවෘද්ධියට ලැබුණ ස්වර්ණමය අවස්ථාව මත මල පහ කළ බොරුකාරයන් දෙන්නෙකි. මේ දෙන්නාගෙන් වඩාත් භයානක බොරුකාරයා රනිල් වික්‍රමසිංහ යයි සිතමි. සිරිසේනට තවත් විශේෂණ ඇත. ඒ අතර, අවස්ථාවාදීකම – ලැජ්ජාබය නැතිකම – කයිරාටිකකම හා දරුණුකම දැක්විය හැකි ය. මේ විශේෂණ පද වික්‍රමසිංහටත් සුදුසුය. එහෙත් අප ඒවා වටහා ගත්තේ 2015න් පසුව නොවේ. සෑහෙන කලක සිට ය. සිරිසේන මුළ සිටම රඟපෑවේ බුදු පුතෙකුගේ චරිතයකි. තතු කෙසේ වුව මේ දෙන්නාම දේශපාලන වැඩ බිමෙන් පන්නා දැමිය යුතුව ඇත. වික්‍රමසිංහව ජනතාව පළවා හැරියත් හිතමිත්‍ර මහින්ද රාජපක්ෂ ඔහුව දේශපාලන වැඩ බිම තුළ තව දුරටත් ජීවිතයක් උරුම කර දුන්නේය. අභාග්‍යය වන්නේ රටට නරකම – දරුණුම අනර්ථය කළ සිරිසේන ජන වරමකින් යළි දේශපාලන වැඩ බිමට පැමිණීමය.
නායකයෙකු නැති අවකාශය තුළ රනිල් වෙර දරන්නේ සජබ කුඩු කර දමා යළි උපදින්නටය. සිරිසේන වෙර දරන්නේ මොන තාලෙකින් හෝ සියලු බලවේග එකතු කොටගෙන පොදු අපේක්ෂකයා වන්නටය. එය නොහැකි වුවහොත් ලංකාවේ ඉදිරි පාලකයා ලෙස ඉන්දියාව හා අමෙරිකාව තෝරනු ලබන පුද්ගලයාට එකතු වීමටය. මේ සූදුව දැන් හොඳටම ඇත. මොවුන් දේශපාලන වැඩ බිමෙන් ඉවරම කර දැමිය යුතුය.
ඉතින් මේ බොරුකාරයන් ඉවර කරන්නට නම් මොවුන් සමඟ පයුරුපාසානයකින් නායකයා වීමට වෙර දැරීමක් නැති බව අලුත් චරිතයක් සපථ කළ යුතු ය. ඒ ඒ අයගෙ මෙච්චර මෙච්චර ඇත යන ගණං බැලීම ඔස්සේ කරළියට නොඑන අලුත් චරිතයක් රටට අවශ්‍ය වේ. ඊට හේතුව බලයට පත්වුණ පළමු මොහොතේ සිටම ‘තනතුරු වරදාන‘ බෙදන්නට සිදුවන බැවිනි. රටට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, රටට නොකියූ දේවල් නොකිරීමට ‘නිර්භීත පෞරුෂයක්’ දැන් රට ඉල්ලයි. ඉතින් රටට අලුත් චරිතයක් එබඳු ප්‍රතිඥා සපථ කරන්නේ කෙසේ ද?

ප්‍රති විරෝධය


මෙහි මුළින් සඳහන් කළේ ලංකාවේ පාලකයා තීරණය කිරීම ඉන්දියාව – ඇමෙරිකාව මැදිහත් වන බව ය. එමෙන්ම චීනයද ලංකාවේ පාලකයා සම්බන්ධයෙන් තීරණාත්මක තැනක සිටින බව ය. එසේ නම් ඉතින් අලුත් චරිතයකට අවසරයක් කොයින් ද?
ඇත්තකි. මේ ඉතා තියුණු පැනයකි.


ලංකාවේ පාලකයා තීන්දු කිරීමේ දී ‘ජන විඥානයේ හැසිරීම‘ පරිස්සමෙන් නිරීක්ෂණය කරන බව සත්‍යයකි. ඒ නිරීක්ෂණය ඔස්සේය ඔවුන් එකඟතාවලට එළඹෙන්නේ. අද ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස ක්‍රියාවට නංවන්නේ බලයට පත් වෙන්නට පෙර ඇති කර ගත් එකඟතාවන්ය. ඒ එකඟතා ඉටු කර නොගෙන ඉදිරියට ගමනක් නැත. තත්වය කොතරම් භයානක ද?


දැන් අප සිටින්නේ ‘ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී‘ වැනි තත්වයක ය.

විසඳුම කුමක් ද?


විනාශ වුණ රටක් අලුතින් ගොඩ නැඟිය හැකි ය. එහෙත් විපරීත වුණ රටක් ගොඩ නැඟීම පහසු නැත.


රුවන්ඩාව ගැන කරුණු කාරණා දන්නා මිතුරෙකු පසුගිය දවසක විස්තර සිටියේ රුවන්ඩාව අලුත් චරිතයක් විසින් ගොඩ නඟන ලද සැටි ය. සැබවින්ම විස්මිත ය.එහි රහස කුමක් ද? රහසක් නැත. එසේ නම්? අලුත් චරිතයකට තිබුණ දැක්ම හා ‘අවංකකම‘ ය.


ලංකාව තවම විනාශ වී නැත, විනාශය මුව විට ය. අප විනාශ වන තුරු බලා සිටීම එක විසඳුමකි. ඒ විනාශය තුළ දැනට බලය පරිහරණය කරන අය හා පරිහරණය කරන්නට මාන බලන අයත් ඉවර වෙනු ඇත. ‘දැක්මක් හා අවංකකම‘ ඇති අලුත් චරිතයකට අලුත් රටක් ගොඩ නැඟීමට එවිට නිසැකවම හැකි වනු ඇත. මේ මොන පිස්සු කතාවක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇත්තකි. අප දැන් බැලිය යුත්තේ ළඟ නොව දුර ය. ඉපදී සිටින හා ඉපදෙන්නට පෙරුම් පුරන දරුවන් වෙනුවෙන් රටක් ගොඩ නැඟීමට පුළුවන් දැක්මකි අප පෝෂණය කළ යුත්තේ.


ලංකාව දැන් විපරීතව තිබෙන රටකි. එහෙම පිටින්ම විකාරයකි. හොරකම – දූෂණය පමණි විධිමත්ව සිදු වන්නේ. කැබිනට් මණ්ඩලය යනු ‘ගතම්‘ එක ගැන සිතන පිරිසකගෙන් සැදුම් ලද්දකි. ජනාධිපති කාර්ය සාධක බලකාය තමන්ට ඉහළින් තිබෙන එක පවා ප්‍රශ්නයක් නැත. විදුලි බල ඇමති විවෘතව පැවසුවේ ගිවිසුම තමා නොකියවූ බව ය. ඒ ඉතා අවංක කතාවකි. කියවූවා කියා කුමක් කරන්න ද? තමන්ටත් ලැබෙන දෙයක් ලබාගෙන සැනසීමය නහින දෙහින කාලේ කළ යුතු වන්නේ.

විකෘතිය


ලංකාවේ දේශපාලන බලය පරිහරණය කිරීමට ජන වරමක් කෙසේ හෝ ලබාගෙන පුළුවන් වීම එකකි. පිනට හැකිවීම තව එකකි. එය මොන තරම් විකෘතියක් ද යත් පුළුවන් තරම් පිස්සු කෙළීමට තමන්ට පුළුවන් යයි සිතා කටයුතු කරන අන්දම හිරිකිතයකින් තොරය. ලංකාව යළි ගොඩ නඟන්නට නම් පිනට බලය පරිහරණයට ඇති හැකියාව අවසන් කළ යුතුය. එපමණක් නොව පිනට උරුම කරගෙන තිබෙන සියලු මහජන මුදල් සහ දේපළ රජයට පවරා ගත යුතුය. එය කළ හැක්කේ කාට ද?


යහ පාලනය රජය බලයට පැමිණි වහාම පිනට රැස් කරගෙන සිටි ධනයට කෙළවෙන බව දැනගත් විට කලබලයක් ඇති විය. බෙල්ලටම තොණ්ඩුව වැටෙන්නටය තිබුණේ. එහෙත් සිදු වුණේ කුමක් ? නිල වශයෙන් වරප්‍රසාද සහිතව ඩුබායිවලට ගොස් සියල්ල නිරාකරණය කරගැනීමට සමත්වීම ය. මේ නින්දිත ක්‍රියාව දැනගත් උදවිය එවක විදේශ අමාත්‍ය මංගල සමරවීර මුණ ගැසී ප්‍රශ්න කළ විට ඔහුගේ පිළිතුර කුමක් ද?


මට අගමැති ජනාධිපති දෙන්නම කතා කළා. ‘ඉතින් පුදපු ගමන් කාපි යකා‘ කියලා ඝට්ඨනයක් ඇති කර ගණන් බැරි නිසා මට සිද්ධ වුණා අකමැත්තෙන් හරි උදව් කරන්න. ඒ වුණාට ඉස්සරහට නං මගෙන් බුරුලක් ලැබෙන් නෑ.’ ඒ හුදු කටමැත දෙඩවීමක්ම විය. මහින්ද රාජපක්ෂට විදේශ ඇමති බයිපාස් කරගෙන අවශ්‍ය හැම දේම කරගන්නට පුළුවන් විය. එපමණක් නොව නීතිය හා සාමය ඇමති – අධිකරණ ඇමති ළඟට ගෙන්වාගෙන උපදෙස් දී සේවය ලබා ගන්නට ද ඔහු සමත් විය.


මේ තතු පවසන්නේ කුමක් ද? යහ පාලනයක් වෙනුවෙන් කිසි කෙනෙකුට දැක්මක් හෝ අවංකකමක් නොතිබුණ බව ය. ඉතින් ඊළඟ නායකයා රටට ලබා දිය යුතු ප්‍රබලම ප්‍රතිඥාව නම් ‘ගජ මිතුරු දේශපාලනයට තිත තබන‘ බව ය. එපමණක් නොව ‘ඩීල්වලින් රාජ්‍ය පාලනය‘ හෝ ‘බලය තහවුරු කර ගැනීම‘ අත් හරින බව ය.
මේ කාරණා වඩාත් ලස්සණට වචනවලින් කියන්නට පුළුවන. පලක් නැත. ලියා පළ කරන්නට පුළුවන පලක් නැත.

එසේ නම්?


ඊළඟ නායකයා තමන්ගේ දැක්ම හා අවංකභාවය විවෘතව සපථ කළ යුතුය. එය කරන්නේ කෙසේ ද?


ජන වරමක් ලබා ගත් පසුව දිවුරුම් දිය යුත්තේ සාම්ප්‍රදායික රාමුවෙන් වියුක්තවය. එය කරන්නේ කෙසේ ද?


මේ කාරණා ගැන දීර්ඝව කරුණු සාකච්ඡා කළ යුතුව ඇත.■

පහන්තුඩාවේ නීතිය සහ
ලොහාන්ගේ නීතිය

0

‘එක රටක් තුළ එක නීතියක්’ පවත්වා ගන්නා බවට පොරොන්දු දී බලයට පත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ අඩක් ගතවන්නටත් පෙර ම ඒ උද්යෝග පාඨය දැන් විහිළුවක් බවට පත්ව තිබේ. එය එසේ වී තිබෙන්නේ, ආණ්ඩුවේ ඇත්තන්ගේ ම ක්‍රියාකාරිත්වය නිසා ය.

කාන්තාවක සහ පුරුෂයකු බලංගොඩ පැත්තේ පහන්තුඩාව නමැති දිය ඇල්ල ආශ්‍රිතව නිරුවතින් හැසිරෙමින් සකස් කළ වීඩියෝ දර්ශනයක් බැලූ භික්‍ෂුවක් ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් තුළ දී එම යුවළ කවුදැයි සොයා ගන්නට පොලිසිය සමත් විය. මේ වන විට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ, වරද පිළිගැනීම නිසා දඩයකට හා අත්හිටුවූ සිර දඬුවමකට ලක් ව දැන් නිදහස් ව ගොසිනි.

එහිදී පොලිසිය කටයුතු කළ ඉතාමත් ශීඝ්‍ර ආකාරයත්, නීතිය ක්‍රියාත්මක වුණු ශීඝ්‍ර ආකාරයත් කාගේත් පැපසුමට ලක්වනු නොඅනුමාන ය.

ඒ කාලයේ ම, බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස්, එහි රඳවා සිටින එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු වාට්ටුවලින් පිටතට කැඳවා දණ ගස්වා, ඔවුන්ගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළ බවට වාර්තා විය.

දිය ඇල්ලක් අසල නිරුවතින් සිටීම අත්හිටුවූ සිරදඬුවම් සහ දඩයක් ලැබීමට තරම් වන සුළු වරදක් වන විට, පිස්තෝලයක් ඔළුවට තබා පුද්ගලයකුට මරණ තර්ජන කිරීම බරපතළ දඬුවම් ලැබෙන අපරාධයක් බව අලුතෙන් කිව යුතු නැත. එහෙත්, පහන්තුඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ වේගයෙන් හා ආකාරයෙන් ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමතිවරයා කෙරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බව පෙනේ.

සිදු වූ එක ම දෙය නම්, තමා ගැන තිබෙන කතන්දර පිළිබඳ පරීක්‍ෂණයක් කරගෙන යාමට සහායක් හැටියට බන්ධනාගාර ඇමති ධුරයෙන් ඔහු ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, ඉල්ලා අස් නොවුණා නම් තමා අස් කරන්නට සිටි බව ජනාධිපතිවරයා රාජ්‍ය ඇමතිවරයාට කිව් බවත් මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු සියල්ල සතුටෙන් අවසන් වීම ය.

සාමාන්‍ය පුද්ගලයකු තවත් පුද්ගලයකුට හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනයක් කළහොත්, නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් රත්වත්ත ඇමතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ රත්වත්තේ ඇමතිවරයාගේ තර්ජනයට ලක්වූ රැඳවුවන් අටදෙනා, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එහි මුල් අවස්ථාවේ දී ම, මේ අටදෙනාට බන්ධනාගාරය තුළ ආරක්‍ෂාව සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතර ව දෙමළ දේශපාලන නායකයන් මේ සිදුවීම සම්බන්ධයෙන් ඇති තරම් පැහැදිලි කිරීම් හා විරෝධය පෑම් කර තිබේ. ආණ්ඩුවට හිතවත් පුවත්පත්වල පවා, ඇමතිවරයා (වැලිකඩ හා) අනුරාධපුර බන්ධනාගාරයට ගිය වේලාව, සිද්ධිය සිදුවුණු අනුක්‍රමය ආදි වශයෙන් මුළු සිද්ධිය ම වාර්තා කර තිබේ.

එසේ තිබියදීත්, ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාට කිසි ම නෛතික ප්‍රතිවිපාකයක් නැත.

ඊටත් වඩා විහිළුව නම්, අධිකරණ ඇමතිවරයා මේ සිදුවීම ගැන විමර්ශනය කර වාර්තා කරන්නට හිටපු විනිසුරුවරියකගේ සාමාජිකත්වයෙන් යුක්ත ඒකපුද්ගල කොමිසමක් පත් කිරීම ය. ලංකාවේ කොමිෂන් සභා, කමිටු පත් කරන්නේ, ආණ්ඩුවට වුවමනා විදියට ඕනෑ ම සිද්ධියක් මහජන අවධානයෙන් ගිලිහෙන තුරු කල් මරන්නට බව කියන ආප්තය, අධිකරණ ඇමතිවරයාගේ මේ කමිටුවෙන් ද යළිත් තහවුරු කෙරෙයි.

නැතිනම් මුළු රට ම හොඳින් ම දන්නා සිදුවීමක් වී තිබියදී, ඒ ගැන තොරතුරු හා සාක්‍ෂි තිබියදී, නීතිය නිසි පිළිවෙළට ක්‍රියාත්මක කරනවා වෙනුවට, කමිටු දමමින් කල් මරන්නේ කුමට ද?

පහන්තුඩාව සහ අනුරාධපුරය අපට කියන්නේ, එක රටක් එක නීතියක් යනුවෙන් අප තේරුම් ගන්නා දෙයට වඩා වෙනස් දෙයක් ආණ්ඩුවේ නායකකාරකාදින්ට පෙනෙන බව ය. ඔවුන්ගේ තේරුම් ගැනීම අපට වඩා වෙනස් බව ය.

ඔවුන්ට අනුව, තමන්ගේ එවුන්ටත්, බලය ඇත්තන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ එක විදියකට ය. ලොහාන් රත්වත්ත, තවමත් නීතියට යටත් නොවී සිටින්නේ ඒ මහානුභාවය නිසා ය. පහන්තුඩාවේ සිදුවීමට වග කිව යුතු දෙදෙනාට, ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වී දඬුවම් පවා ලැබෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට වෙනත් විදියකට නීතිය ක්‍රියාත්මක කෙරෙන නිසා ය.

රටක නීතියේ පාලනය යන්නෙන් අදහස් කරන්නේ තරාතිරම නොබලා සියලු දෙනා නීතියට එක සේ යටත් බව ය. එය සිදුවන බව පෙනෙනවා නම් පමණක් රටේ ජනතාව, නීතියට අවනත වීම කළ යුතුයැයි විශ්වාස කරති. එය එසේ නොවන විට, තමන් නීතියට යටත් වන්නේ කුමකටදැයි ප්‍රශ්න කරති. එක රටක් එක නීතියක් තනන්නට ආ අය මේ වන විට කර ඇත්තේ ජනතාවට නීතියේ පාලනය ගැන විශ්වාසය නැති කිරීම ය.■

ඒ බුද්ධිමතා
කරළියට පැමිණ තිබේ

0

‘මේ රටේ මිනිසුන් බුද්ධිමතකු සෙව්වා නම් ඒ බුද්ධිමතා දැන් කරළියට පැමිණ තිබේ. ඔබ හෙව්වේ මානව හිතවාදී නායකයකු නම් ඒ මානව හිතවාදී නායකයා කරළියට පැමිණ තිබේ. ඔබ සෙව්වේ දුර දක්නා නායකයෙක් නම් ඒ දුර දක්නා ප්‍රඥාවන්ත නායකයා මේ කරළියට පැමිණ තිබේ.’ සීතා අරඹෙපොල

පළවෙනි ප්‍රශ්නෙ තමයි, තේ වවන්නො ලොකු අමාරු තත්වෙක ඉන්නේ. පලදාව සීයට 30-50ක් අඩු වුණොත් ඒගොල්ලන්ට ඒ කර්මාන්තෙ කරගෙන යන්න බෑ. එහෙම වුණොත් ඒ මිනිස්සු තේ නිෂ්පාදනයෙන් එළියට යයි.’

■ පුලස්ති දන්තුරේබණ්ඩාර

‘නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු ය. ඒ සඳහා ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදන වේගවත් කළ යුතු ය.’


එහෙම ලියා තිබෙන්නේ, ‘සෞභාග්‍යයේ දැක්මේ’ය. 39 වැනි පිටුවේය. එහි මාතෘකාව ‘පොහොර භාවිතයේ නව පෙරළිය’යි. ඒ පිටුවේ තවදුරටත් ලියා තිබෙන්නේ මෙහෙමය.


‘මුළුමනින් ම බිඳ වැටී ඇති අපේ ගොවියා නැවත නඟා සිටුවීම සඳහා පොහොර සහනාධාර ක්‍රමය වෙනුවට වගාවට අවශ්‍ය පොහොර සහ කාබනික පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කෙරේ. ක්‍රමානුකූල ව ගොවියා පූර්ණ වශයෙන් කාබනික පොහොර භාවිත කරන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා දිරි ගන්වනු ලැබේ.’ඒ පිටුවේම ඊළඟ වාක්‍ය මෙහෙමය. ‘කාබනික එළවඵ හා පලතුරු පරිභෝජනය ගෘහ මට්ටමෙන් පුඵල් කිරීම සඳහා ගෙවතු ලක්ෂ 20ක් වගා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.’


සෞභාග්‍යයේ දැක්ම කියන්නේ, 2019 නොවැම්බර් 16 වැනිදා, ලංකාවේ හරිහමන් රස්සාවක්වත් නැතිව හිටපු ගෝඨාභය රාජපක්‍ෂ මහතා, රටේ ජනාධිපති පුටුවටම ඔසොවා තැබූ ලියැවිල්ලය. ඒ තරම් ආනුභවසම්පන්න ලියවිල්ලක තියෙන්නේ, ‘ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු’ය කියාය. ඒ කියන්නේ 2019 සිට අවුරුදු දහයකිනි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික කරන්නේ 2029දී බවය.


එහෙත් දැන් වැඩ සිද්දවෙන්නේ එහෙම නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවුරුදු දහයකින් පිළිවෙළට, ක්‍රමේට ඉවසීමෙන් කරන්නට ආ, එහෙම කරන බවට ජනතාවට පොරොන්දුවක් දුන්, රටක් වටින ප්‍රතිපත්තියක් අවුරුද්දකටත් අඩු කාලයකින් තදියමේ කරන්නට ගොස් වැඩේ අනාගෙන කන තත්වයකට පත්වෙන විදියටය. කවුරු අනාගෙන කෑවත් රටේ මහජනතාවට අවුලක් නැත. අවුල ඇත්තේ, කවුරු හරි රටත් අනාගෙන කන්නට හදන විටය.


ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ‘ඉන්ස්ටන්ට්’ කාබනික ගොවිතැන් ව්‍යාපෘතිය, රටේ මුළු මහත් කෘෂිකර්මාන්තයම උලා කා දමමින් තිබෙන බව නොතේරෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටම පමණක් විය යුතුය. පොහොට්ටු ආණ්ඩුවේ හැම මැති ඇමතිවරයෙකුම, ලොකු පොඩි හැම නිලධාරියෙකුම තම තමන්ගේ යාළු මිත්‍රාදීන් එක්ක පෞද්ගලිකව කතාකරන විට හොරාට හොරාට කියන්නේ, එහෙත් කිසිසේත්ම ප්‍රසිද්ධියේ නොකියන්නේ, ‘ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩේ නම් ඓතිහාසික අනාගැනීමක්’ කියාය. කොටින්ම එය, මීට අවුරුදු එකහමාරකට පෙර ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිතූ පැතූ ආකාරයටම සපුරා පරස්පර බවය.


කාබනික එළවඵ හා පලතුරු පරිභෝජනය ගෘහ මට්ටමෙන් පුඵල් කිරීම සඳහා ගෙවතු ලක්ෂ 20ක් වගා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ’ යනුවෙන්ද සෞභාග්‍යයේ දැක්මේ ඒ පිටුවේම සඳහනක් වෙයි. ඒ වනාහි කාගේ හෝ හිසේ පහළ වූ තවත් මනෝ විකාරයකි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය අවුරුදු 5ක්මය කියා හිතුවත්, ඒ කාලය ඇතුළත ගෙවතු ලක්‍ෂ 20ක් වගාකරන්න නම්, එක දවසකට ගෙවතු 1096ක් ගානේ රට පුරා වගාකරන්න පටන් ගත යුතුය. එච්චර ගානක් දිනකට වගාකරන්න පුළුවන් විය හැකිය. එහෙත්, දවස් 1825ක් නොනවත්වා ඒ වැඩේ කරගෙන යෑම නම් (දැනටමත් දවස් 700කට කිට්ටුවෙන්න ගෙවී ගිහින්ය.) පුදුමයක්ය. ඒ තරම් ගෙවතු ප්‍රමාණයක් වගාකිරීම දවසකට කරන්නට හැකි ජගතෙකු ඉන්නවා නම්, විශ්වකර්මයා වහාම ඉල්ලා අස්වී තමන්ගේ පුටුව ඒ ජගතාට පූජා කර, පැරදී මනුස්ස ලෝකයට පැමිණිය යුතුය.


ගෝඨාභය ජනාධිපතිතුමාට විතරක් නොතේරෙන, රටේ අනෙක් හැම දෙනාටම තේරෙන (සමාවෙන්න, සමහර රාජපක්‍ෂ නිකායේ හාමුදුරුවරුන්ටත් නොතේරෙන) එකම දේ නම්, කිසිකිසියේ කාබනික පොහොරට රට යටකරන්නට ගිය විට වගාවත් රටත් දෙකම කිසිකිසියේ කාබාසිනියා වන බවය. දැන් සිදුවෙමින් තිබෙන්නේ එයයි.


කාබනික පොහොර මනෝවිකාරය මුලින්ම කර තියාගෙන යන්නට පටන්ගත් වෙලාවේ, කවුරුත් පෙන්නා දුන්නේ තනිකර කාබනික පොහොරවලින් වගාකරන කිසිම රටක් ලෝකයේ නැති බවයි. එවිට ජනාධිපතිතුමා දුන් උද්දච්ච පිළිතුර මෙසේය.


‘එහෙම කරන පළමුවැනි රට බවට ලංකාව පත්කරනවාෟ’


බැලූ බැල්මට එය අධිෂ්ඨන සහගත නායකයකුගේ අරමුණකි. එහෙත්, අධිෂ්ඨානය වැඩ කරන්නේ අනිත් පැත්තට නම්?


‘මම පහුගිය කන්නයේ විදෙස් බීජ අර්තාපල් කිලෝ 50ක් රුපියල් 18000ක මිලට ගෙන වගාකළා. එමගින් නිෂ්පාදනය කරගත් බීජ අර්තාපල් හොණ්ඩර 8ක් සපුගොල්ල කුඹුරු යායේ වගාකළා. මේ වගාවට රසායනික පොහොර කිලෝ 250ක් ඕනෑ. රසායනික පොහොර නැති නිසා කැප්පෙටිපොළ අනුමත කර ඇතැයි කියන පුද්ගලයකුට අයත් කාබනික පොහොර ඇසුරුමක් රුපියල් 550 ගානේ ඇසුරුම් 20ක් මිලට ගත්තා. ඒ පොහොර යොදා වගාකළත් දින 45ක් ගතවෙලාත් වගාවේ වර්ධනයක් නෑ. වගාව අවසාන භාගයේදී රජයෙන් පොහොර කිලෝ 50ක් දුන්නා. කාලය ඉක්ම ගියාට පස්සේ පොහොර දාලා වැඩක් නැහැ. යාබදව වෙනත් ගොවියෙක් රසායනික පොහොර දාලා ඉතාමත් සරුවට අර්තාපල් වැව්වා. වගා දෙකේ ගස්වල කොළ පාට වෙනස්. නිසරු වගාවක් බවට පත්වෙලා තියෙන මගේ අර්තාපල් අස්වනු අඩුවීම හා ප්‍රමිතියෙන් තොරවීම මත අලෙවි කිරීමත් ගැටලුවක්.’ මේ වැලිමඩ, ඌව පරණගම සපුගොල්ල පදිංචි ටීඑම් මුතුබණ්ඩා ඔක්තෝබර් 4 වැනිදා ලංකාදීපයට කියා තිබුණු කතාවය.


ඒ ගමේම ප්‍රසන්න කුමාර ලංකාදීපයට කියන්නේ මෙහෙමය. ‘මගේ කැරට් වගාවට දින 40ක් විතර වෙනවා. වගාවේ මුල් අවස්ථාවේ රසායනික පොහොර මිලදී ගන්න බැරිවුණා. ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පොහොර ලැබුණේ දැනට දවස් කීපෙකට පෙරයි. අපේ කැරට්වල ඇත්තේ අල වෙනුවට කොළයි. කැරට් අල කේඬෑරි වෙලා. විකෘතියි. මේ වගේ අස්වනු අලෙවිකරගත නොහැකි වීමෙන් ඉදිරි කන්නයට වගාකරන්නත් මුදල් නැහැ.’


මේ අර්තාපල් සහ කැරට් වගාවට ගෝඨාභය රාජපක්‍ෂගේ ඉන්ස්ටන්ට් කාබනීකරණයෙන් සිදුවී තිබෙන වින්නැහිය පිළිබඳ ‘භූමියේ යථාර්ථය’ය. විඳවන්නේ මහපොළවේ ඉන්නා ගොවියාය.


අවුරුද්දේ ලොකුම කන්නය, මහ කන්නය පටන්ගන්නේ ඔක්තෝබර් 15 වැනිදා තරම් සිටය. එහෙත්, ඒ කන්නය වගාකරන්නට රසායනික පොහොර නැත. සම්පූර්ණයෙන් කාබනික විදියට මහ කන්නය වගාකිරීම ආණ්ඩුවේ දරදඬු ප්‍රතිපත්තියයි. ඒ වුණාට කාබනික පොහොරද නැත. මහ කන්නයේදී රට පුරා හෙක්ටෙයාර් ලක්‍ෂ 8ක් පමණ වගාකරන්නට සැලසුම් කර තිබෙන බව කියයි. හෙක්ටෙයාර් එකකට කාබනික පොහොර මෙටි්‍රක් ටොන් ගණනක් අවශ්‍යය. ඒ ඉල්ලුම සපුරන්නට ලංකාවේ කාබනික පොහොර නැති නිසා, චීනයෙන් ගෙන්වන්නට හැදූ කාබනික පොහාර මේ වන විට තුන්පාරක්ම ‘ක්ලිනිකලි ෆේල්’ය. ඒ කියන්නේ, රසායනාගාරයේදී ඒවා අසමත් වූ බවය. චීන කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවන්නට ආණ්ඩුව තීරණය කළ බව පසුව නිවේදනය කෙරුණේය. දැන් ගොවියාට කාගේ පිහිටක්ද?


‘මටත් කුඹුරු තියෙනවා. පොහොර ප්‍රශ්නය නිසා මාත් බයෙන් ඉන්නේ’ පරිසර ඇමති මහින්ද අමරවීර බිය පළකළේ තම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


ආණ්ඩුවේ බැංකුවලින් 4% පොලියට පසුගිය කාලයේ පෝලිමේ දුන් ණය අරගෙන නිෂ්පාදනය කෙරුණු දේශීය කාබනික පොහොර නිස්පාදකයන්ගේ පොහොර සාම්පල් බොහොමයක්ද ‘ක්ලිනිකලි ෆේල්’ය. ෆේල් විතරක් නොවේ, ඒවායේ ප්‍රතිඵලදායි බව ගැන කිසිම සහතිකයක්, ප්‍රමිතියක්ද ගොවියන්ට නැත. දැන් කියන්නේ, ලංකාවේ පොහොරවල තත්වය පරීක්‍ෂාවට තදින් ලක් නොකරන හැටියට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලොක්කෙකු ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ රජයේ පොහොර සමාගම්වල නිලධාරීන්ට නියම කළ බවයි. (ඔක්තෝබර් 4 දිනපතා අරුණ) ඒ අතරේ රසායනික පළිබෝධ නාශක ආනයනයද තහනම් කිරීමෙන් වගා බිම්වල වල් මර්දනයට වල්නාශකත් නැති තත්වයක් උද්ගත වී තිබේ.


‘පොහොර ප්‍රශ්නෙ ලොකුවට බලපාලා තියෙනවා තේවලට. අපි තේ වවන අය ඔක්කොම ලොකු කරදරයක මේ දවස්වල ඉන්නේ. ඊයේ තිබුණා කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම. අප එතෙන්දීත් කිව්වේ, (අපි ජනාධිපතිතුමාටත් මේ ගැන ඉදිරිපත් කළා,) මේකෙන් ලොකු හානියක් රටට වෙනවා කියලා. ඩොලර් බිලියන් 1.4ක් විතර තේවලින් ලැබෙනවා. දැන් අපි හිතන විදියට, මාස තුනක් හතරක් පහක් යනකොට සීයට තිහත් පනහත් අතර පලදාව අඩුවෙයි. ඊට අමතරව තේවල කොලිටි බහිනවා. අපේ තේ පුරුදු වෙච්ච රටවල් තියෙනවා. ඒගොල්ලන්ට දැනුණාම කොලිටි එක වෙනස් කියලා, මාකට් එක ආපහු ලබාගන්න ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙ තමයි, තේ වවන්නො ලොකු අමාරු තත්වෙක ඉන්නේ. පලදාව සීයට 30-50ක් අඩු වුණොත් ඒගොල්ලන්ට ඒ කර්මාන්තෙ කරගෙන යන්න බෑ. එහෙම වුණොත් ඒ මිනිස්සු තේ නිෂ්පාදනයෙන් එළියට යයි.’


එහෙම කියන්නේ ලංකාවේ ප්‍රමුඛ තේ වෙළෙන්දකු වන ඉම්පීරියල් ටී පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ, ජයන්ත කරුණාරත්නය. ඔහු එසේ කීවේ සිරස රූපවාහිනියට ඇවිත් නොවේ. ආණ්ඩුවට හොඳටම හිතවත් දෙරණ රූපවාහිනියට ඇවිත්ය. චතුර අල්විස්ගේ මූණටය. ගෝඨාභයගේ ඉන්ස්ටන්ට් කාබනීකරණයෙන් තේ වගාවට හැම පැත්තකින්ම විය හැකි හානිය, ඔහුගේ මේ වචනවල භයානක විදියට කැටිවී තිබෙනවා නොවේද?


‘රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමත්, ඊට විකල්ප ලෙස සුදුසු පොහොර වර්ග සපයා ගැනීමට නොහැකි වීමත් යන කාරණා මත තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, ආර්ථිකය රැක ගැනීම සඳහා සංවේදී තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.’ එහෙම ඉල්ලන්නේ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයයි. ඒ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.
රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය තහනමට තමන් විරුද්ධ නැති බව පවසන සංගමය, තහනම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුව තිබුණු බවත්, සුදුසු විකල්ප සොයාගැනීමෙන් පසුව එම තීරණය සඳහා රජය යා යුතුව තිබුණු බවත් පවසයි. සංගමය කියන විදියට තේ අපනයනයෙන් ලැබෙන ආදායමට සාපේක්‍ෂව පොහොර සඳහා වැයවන්නේ 2%ක් පමණකි. ඉතින් මෙවැනි දත්තවත් නොසලකා රසායනික පොහොර තහනම් කිරීමෙන් පෙනෙන්නේ, දත්ත මත පදනම්ව මේ ආණ්ඩුව තීරණ ගන්නා බවට කියන පුරාජේරු අමු බේගල් බව නොවේද?


මේ බටු වගාකරුවෙකු කාබනීකරණය ගැන නාලිකාවකට කියන දේය.


‘බටුගස් හොඳට තියෙනවා. නමුත් පලදාව නෑ. තියෙනවා කොළදාව. කොළ කන්න හොඳයි බටුවල. නමුත් ගෙඩි හැදෙන්නේ නැහැ. හේතුව බටුවලට අනිවාර්යයි යුරියා. අද යුරියා නෑ. රුපියල් 4000ට 5000ට යුරියා අරගෙන මේ බටුවගාවේ වැඩක් නෑ.’

හැමදාකම පාහේ රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්තිවලත්, පත්තරවලත් දිගඇරෙන මේ විලාපය සහ විරෝධය, හැමෝටම ඇසෙයි. පෙනෙයි. හැමෝටම ඒ වෙන්න යන බහුවිධ විනාසය ගැන ඇත්තේ ඇඟ කිලිපොලා යන අවබෝධයකි. බියකි. එහෙත්, රටේ එකම එක්කෙනෙකුට පමණක් ඒ බව නොවැටහේ. නැත්නම් නොතේරෙන ගානට සිටියි. අවාසනාවකට ඔහු මේ රටේ විධායක ජනාධිපති නිසා, තමන් දන්නා, තමන්ට තේරෙන භයානක ඇත්ත ඔහුට කියා දෙන්නට රටේ කිසිම ඇමති-මැතිවරයෙක්, රාජ්‍ය නිලධාරියෙක් ඉදිරිපත් නොවෙයි. අඩු ගණනේ ‘රජ්ජුරුවෝ හෙළුවෙන් ඇවිදිනවෝ’ යැයි පෙන්වා දුන්නු පන්නයේ පොඩි එකකුවත් නැත. එවැනි රටක් කවදා හරි ඉතිහාසගත වනු ඇත්තේ, එක මිනිසකු තනියෙන්ම විනාශයට ඇදගෙන ගිය රටක් ලෙසය. එසේ විනාශයට ඇදගෙන යද්දී, අන් කිසිවකු ඊට විරුද්ධ නොවුණු රටක් ලෙසය.


ඉන්ස්ටන්ට් කාබනීකරණය පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙ 22 වැනිදා ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් රූපවාහිනියෙන් විකාශය වුණාට පස්සේ අප්‍රේල් 27 වැනිදා කැබිනට් මණ්ඩලය, කෘත්‍රිම රසායනික පොහොර සහ කෘත්‍රිම පලිබෝධනාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමත් සමගය.


කෘෂිනාශක, වල්නාශක, පොහොර මේවාට අපි කොච්චර විදේශ විනිමයක් වැය කරනවාද කියලා බැලුවොත්, ඒ අනුව අස්වැන්න වැඩි වෙනවාද කියලා බැලුවොත්, ගොවියට නිකං ඒ සල්ලි ප්‍රමාණය දුන්නත් අපිට ලාබයි. අපි මේ කන්නයෙ ඉඳලා, ‘ඔයා කාබනික පොහොර සහ අපි නිෂ්පාදනය කරන පොහොර පාවිච්චි කරලා රසායනික පොහොර පාවිච්චි කරන්නේ නැතිව වැඩ කරන්න’ කියලා ගොවියාට කියන්න ඕනෑ. ගොවියා කියනවා නම් මට මෙච්චර පාඩු වෙනවා කියලා, ඒ පාඩුව සල්ලිවලින් දුන්නත් රජයට ලාබයි. පොහොර අද ඉඳලා නවත්තවානං ඒ තරම් මේ රටට වෙන කිසිම ලාබයක් නෑ. අපිට ගොවියා දැනුවත් කරන්න පුළුවන්. අමාත්‍යාංශයට කියන්න පුළුවන්. ඔයා බය නැතිව වගා කරන්න. අස්වැන්න අඩු වුණොත් අපි ඒ මුදල අපි දෙනවා. ඒක ලාබයි අපිට. කවුරු මොනව කිව්වත් රසායනික පොහොර ගෙන්වීම සහ කෘමිනාශක තහනම් කරනවා. මොනව කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින්.’ නිලධාරින් පිරිවරගෙන ගෝඨාභය කීවේ එහෙමය.


ඒ වචන අවසන් වෙනවිට, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාව නිලධාරීන්ගේ අත්පොළසන් නාදයෙන් ගිගුම් දුන්නේය.


එවැනි දූරදර්ශී නායකයකු රටට පහළ වන්නට නියමිත බව 2019 නොවැම්බර් 16ට පෙර පෙරදී, වියත් මග රැස්වීමකදී කියැවුණේ මේ විදියටය.


‘මේ රටේ මිනිසුන් බුද්ධිමතකු සෙව්වා නම් ඒ බුද්ධිමතා දැන් කරළියට පැමිණ තිබේ. ඔබ හෙව්වේ මානව හිතවාදී නායකයකු නම් ඒ මානව හිතවාදී නායකයා කරළියට පැමිණ තිබේ. ඔබ සෙව්වේ දුර දක්නා නායකයෙක් නම් ඒ දුර දක්නා ප්‍රඥාවන්ත නායකයා මේ කරළියට පැමිණ තිබේ.’


ඔව්. එහෙම උදාන වාක්‍ය කිව්වේ සීතා අරඹෙපොළ නම් වියත් මැතිනියකි.■

දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව

වර්තමානයේදී දේශපාලනයෙහි සාර්ථක වීමටත්, මැතිවරණවලින් ජයගැනීමටත්, දේශපාලනඥයන්ටත්, දේශපාලන පක්‍ෂවලටත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් වීම මෙන්ම මාධ්‍ය ව්‍යාපාරවල ආයෝජකයන් වීමද අත්‍යවශ්‍ය වේ.

දූෂණය සහ දේශපාලනය නිවුන් සොහොයුරන් දෙදෙනකු බවට පත්වී ඇත යන අප රටේ කවරුත් දන්නා සත්‍යය නැවත වරක් ජාතික සහ ජාත්‍යන්තර මටට්මේ මහජන සාකච්ඡාවේ තේමාවක් බවට මතුවී තිබේ. ඒ ‘පැන්ඩෝරා පේපර්ස්’ යනුවෙන් හැඳින්වෙන, ලෝකයේ බොහෝ රටවල දේශපාලකයන්ගේද, ව්‍යාපාරිකයන්ගේද වෙනත් කීර්තිමත්

පුද්ගලයන්ගේද රහස් බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලේඛන ලෝකය පුරා පැතිරීමත් සමගය. ලංකාවේ දේශපාලන-ව්‍යාපාරික පවුලක නම් දෙකක්ද එම ලැයිස්තුවේ තිබෙන බවට වාර්තා වේ. ලංකාවේ නම් ප්‍රමාණය දෙකකට සීමා වීම ඇත්තටම පුදුමයට කරුණකි. තවත් ලාංකික නම් අනාවරණය වන්නේ නම් අප පුදුමයට පත්විය යුතු නැත. මන්ද මහා පරිමාණ වශයෙන් දූෂණයේ යෙදීමත්, විදේශීය රටවල ආයෝජනය කිරීමත්, ලංකාවේ දේශපාලන සහ ව්‍යාපාරික පන්තිවල සාමාන්‍ය වෘත්තීය කටයුත්තක් බවට පත්ව ඇති හෙයිනි.


දූෂණය හා දේශපාලනයත්, ව්‍යාපාරික ලෝකයත් අතර ඇති සම්බන්ධය දෙස බැලිය හැකි එක් ආකාරයක් වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන විනාශය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් මඳක් විමසා බැලීමයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවී ඇති ප්‍රධාන අනතුරක මූලාශ්‍රය වන්නේ දූෂණයයි. මේ ලිපියෙන් කෙරෙන්නේ එවැනි විග්‍රහයක් සඳහා උත්සාහයක් ගැනීමකි.


මෙම සාකච්ඡාව උප තේමා කිහිපයක් ඔස්සේ ඉදිරියට ගෙන යා හැකිය.

දූෂණය විසින් දේශපාලනය ගිලගැනීම

අපට ප්‍රයෝජනවත් පළමුවැනි උප තේමාව, දූෂණය විසින් දේශපාලනය ගිලගනු ලැබීම යන්නයි. සරලව අර්ථකථනය කරන්නේ නම් දූෂණය යනු නීතියට පිටින්ද, නීතිය උල්ලංඝනය කරමින්ද, නැතහොත් හොර රහසේද, තමන්ට අයත් නොවන මුදල්, දේපළ සහ ද්‍රව්‍යමය වත්කම් යනාදිය කෙනකු තමන් හෝ තම පවුල සඳහා අත්පත් කරගැනීම සහ එක්රැස් කර ගැනීමයි. වෙනත් ආකාරවලින්ද දූෂණ සිදු විය හැකි නමුත්, පැන්ඩෝරා පේපර්ස්වලින් අනාවරණය වන්නේ ධනය අත්පත් කරගෙන රැස්කිරීම යන බහුලව සිදුවන දූෂණ ක්‍රමයයි. ලංකාවේද, අනෙක් රටවලද අත්දැකීම්වලින් පෙනෙන පරිදි, දූෂණය විසින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කර ඇති විශාලම හානිය නම්, එය දේශපාලනයේ අරමුණ කුමක්ද? යන්න අලුතෙන් අර්ථකථනය කිරීමයි. එම අලුත් අර්ථකථනය නම්, ‘දේශපාලනය යනු පුද්ගලයකුට තමන්ටත් තම පවුලටත් පරම්පරා ගණනාවක්ම සඳහා කවර මාර්ගවලින් හෝ අසීමිත ලෙස ධනය සහ වත්කම් එකතු කර ගැනීමේ නොවරදින මාර්ගයයි.’ මෙම අර්ථකථනය අනුව දේශපාලනයේ අරමුණ වන්නේ අසීමිත ලෙස පුද්ගලිකව බලය හා ධනය රැස්කර ගැනීමයි.


දේශපාලනය සහ එහි අරමුණ පිළිබඳ මෙම නව අර්ථකථනයට අනුව, ‘ජනතාවට සේවය කිරීම’, ‘පොදු යහපත’, ‘රටට වැඩක් කිරීම’ යන මේවා හුදෙක් සටන් පාඨ සහ මන්තර පාඨ පමණි. තමන් දේශපාලනයට පිවිසෙන්නේ ඉහත කී දීර්ඝකාලීන සහ විශාල අරමුණ වෙනුවෙන් බව පුද්ගලයෝ මනා අවබෝධයෙන් සිටිති. එබැවින්, දේශපාලනය යනු ජීවිත කාලයක් පුරාද, තමන් පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ද, දරු මුණුබුරන්ද අනිවාර්යයනේම සහභාගි විය යුතු, පවුල් ව්‍යවසායක් බවට පත්වී ඇති ලංකාවේ අත්දැකීමේ අර්ථයද එයයි.


දූෂණය විසින් දේශපාලනය සහ ආත්මාර්ථය අතර ඇති කරන ලද මෙම දැඩි සහ ඓන්ද්‍රීය සම්බන්ධයෙන් වඩාත්ම හානියට පත්වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප කවුරුත් දන්නා දේශපාලන ක්‍රමයයි. දේශපාලන බලය පවුල් වෙත මෙන්ම පුද්ගලයන් වෙතද කේන්ද්‍රගත කර ගැනීම, එක් ධුර කාලයක් නොව ධුර කාල ගණනාවක්ම ආණ්ඩු බලයේ සිටීමට පුද්ගලයන්ද දේශපාලන කණ්ඩායම්ද, දේශපාලන පක්‍ෂද සතු අධිෂ්ඨානය, එම අරමුණු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තමන්ට රුචි පරිදි වෙනස්කර ගැනීම, මැතිවරණ ජයග්‍රහණය යන්න අසීමිතව සහ ලෝභ නැතිව ධනය වියදම් කිරීමේ ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කිරීම යන මේ ලක්‍ෂණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට පැමිණ තිබෙන්නේ දේශපාලනයේ අරමුණ, දේශපාලන ක්‍රියාවලිය සහ දේශපාලන සංස්කෘතිය යන මේවා යළි ගැඩගැස්වීමට දූෂණයේ ඇති පුදුමාකාර බල මහිමය නිසාය. මේ අතර වර්තමාන කාලයේ දේශපාලන දූෂණයේ විශේෂ ලක්‍ෂණයක් තිබේ. එනම් එය සාම්ප්‍රදායිකව සිදුවූ මහජනයාගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමට සීමා නොවී, මහා පරිමාණව සිදුවන රාජ්‍ය දේපළ කොල්ලකෑම දක්වා ව්‍යාප්ත වීමයි.

දේශපාලනය යනු
දූෂකයන්ගේ මහා සන්ධාන වීම

අප දේශපාලනයේ, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සහ ආණ්ඩුකරණ ක්‍රියාවලියේදී, දකින්නේ දේශපාලන පක්‍ෂ සහ දේශපාලන කණ්ඩායම් අතර ගොඩනැගෙන දේශපාලන සන්ධානයි. ලංකාවේ පසුගිය දශක කිහිපය තුළ ප්‍රධාන පක්‍ෂ සියල්ලේම මූලිකත්වයෙන් සිදුවී තිබෙන්නේ, අන්තර්-පක්‍ෂ සන්ධාන, දූෂණය, එනම් මූල්‍ය සහ ද්‍රව්‍යමය ප්‍රතිලාභ යන සාධකය මත පදනම්ව බිහිවන, පවත්වාගෙන යන, කැඩෙන සහ අලුතෙන් ගොඩනැගෙන හවුල් සමාගම් ලෙස දේශපාලන සන්ධාන ගොඩනැගීමයි. මෙලෙස සන්ධාන ආණ්ඩු ගොඩනැගුණු පසු මෙන්ම කැඩුණු පසුද, ඒවාට විරුද්ධ වන දේහපාලනඥයන් නිතරම කරන චෝදනාවක් වන්නේ තම සගයන් තමන් අතහැර ගියේ විශාල මුදල් ප්‍රමාණ ලබාගෙනය යන්නයි. 2018 ඔක්තෝබර් මාසයේ සිදුවූ තාවකාලික ආණ්ඩු වෙනසේදී, මෙවැනි චෝදනා සහ ප්‍රතිචෝදනා නිදහසේ සංසරණය විය. මෙයින් අපට ඉගෙන ගැනීමට තිබෙන පාඩමක් නම්, සභාග ආණ්ඩු සහ දේශපාලන සන්ධානත් අතර තිබෙන්නේ ‘ඓන්ද්‍රීය’ සම්බන්ධයක්ය යන්නයි. එනම්, එකම ශරීරයක කොටස් ලෙස, එකක් මත අනෙක රඳා පවතින, මුළු දේහයේම ක්‍රියාකාරිත්වය සඳහා එම කොටස් දෙකම අවශ්‍ය වන, තත්වයන් සභාග දේශපාලනයේ තර්කණය බවට පත්වීමයි.

අදෘශ්‍යමාන සන්ධාන

‘දූෂකයන්ගේ සන්ධාන’ යන්න දේශපාලනය තුළ තවත් මට්ටමකින් නිර්මාණය වී ක්‍රියාත්මක වේ. ඒවා නිර්මාණය වන්නේ දේශපාලන පක්‍ෂ අතර සන්ධාන මෙන් දෘශ්‍යමාන, පෙනෙන, සන්ධාන නායකයන් ඡායාරූපගත කළ හැකි දේවල් ලෙස නොවේ. එබැවින් එවැනි සන්ධාන හැඳින්විය හැක්කේ අනුභූතික යථාර්ථයට පහසුවෙන් හසු නොවන දේශපාලන සංසිද්ධීන් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදයට ඒවායින් වන හානිය ගණන් බැලිය නොහැකි තරම් විශාල එකක් වන්නේද එබැවිනි. දේශපාලනඥයන්ගේ නායකත්වයෙන් බිහිවන මෙම ‘දූෂකයන්ගේ අදෘශ්‍යමාන සන්ධාන’ ගැන මනා ඉවක් පුරවැසියන් අතර පවතින බවද මෙහිදී කිවයුතු වේ.


මෙම අදෘශ්‍යමාන දූෂකයන්ගේ සන්ධානවල සාමාන්‍යයෙන් පුළුල් කණ්ඩායම් ප්‍රමාණයක් සිටිති. දේශපාලනඥයන්, දේශපාලන පක්‍ෂ නායකයන්, ‘බිස්නස් ටයිකූන්’ යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන මහා පරිමාණ ව්‍යාපාරිකයන්, මූල්‍ය කළමනාකාරණ සහ උපදේශක සමාගම් හිමියන්, බැංකුකරුවන්, ඉහළ පෙළේ නීතිඥයන්, ගණකාධිකාරී සහ මූල්‍ය පරිපාලන වෘත්තිකයන්, ඉහළ මටට්මේ රේගු නිලධාරීන්, ගුවන් සමාගම් හිමිකරුවන්, පොලිසියේ ඉහළ නිලධාරීන්, ඇතැම් රටවල අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ නඩු පවරන්නන් සහ විනිශ්චයකරුවන්, ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් යනාදි පුළුල් සමාජ සහ වෘත්තික පරාසයක් වසාගෙන යන සාමාජිකත්වයක් මෙම දෙවැනි මාදිලියේ දූෂකයන්ගේ සන්ධානවලට තිබේ. ඒවා ජාතික රාජ්‍ය සීමා ඉක්මවා ගිය ජාත්‍යන්තර මට්ටමේ සන්ධානද වීම ඒවායේ ඇති විශේෂ ලක්‍ෂණයකි. දූෂණය සිදුවීම, දූෂණ ක්‍රියා සැඟවීම, දූෂකයන් ආරක්‍ෂා කිරීම, දූෂකයන්ට විරුද්ධව පරීක්‍ෂණ සිදු නොවීම, පරීක්‍ෂණ සිදුවුවද නඩු නොවැටීම, නඩු වැටුණද ඒවායින් නිදහස් වීම යනාදි පුළුල් පරාසයක් තුළ මෙම සන්ධානයේ ක්‍රියාකාරකම් පැතිරී තිබෙන බවද අපට පිළිගැනීමට සිදුවේ. ‘පුළුවන් නම් උසාවියේ ඔප්පු කරනවා’, ‘ඕවා අපට මඩ ගහන්න කියන ඒවා’, ‘ඇයි පොලිසියට පැමිණිලි කරන්නේ නැත්තේ?’, ‘ඇයි නඩු දාන්නේ නැත්තේ?’, ‘කෝ සාක්කි තියෙනවද?’, ‘අයුතු ලෙස හම්බකරපු සතයක්වත් මගේ හෝ මගේ පවුලේ හෝ බැංකු ගිණුම්වල තියෙන බව ඔප්පු කළොත් මම හෙටම දේශපාලනයෙන් ඉවත් වෙනවා’ වැනි නිර්භීත ප්‍රකාශ පාර්ලිමේන්තුවේ හෝ පුවත්පත් සාකච්ඡාවල ප්‍රකාශ වනු අසන පුරවැසියන්ට කළ හැක්කේ කට කොනකින් සිනාසීම පමණක් වීමෙන් පෙනෙන්නේ මෙම දෙවැනි සන්ධානය කොතරම් බල සම්පන්නද යන්නයි.

දූෂණය සහ ජනමාධ්‍යය

‘දූෂකයන්ගේ අශුද්ධ සන්ධානයේ’ සාමාජිකත්වය ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්ටද ඇතැම් ජනමාධ්‍යවේදීන්ටද හිමි වන බව අපි ඉහත සඳහන් කළෙමු. එය සාමාන්‍යයෙන් ඔවුන් සිය කැමැත්තෙන් කරන තෝරාගැනීමකි. ජනමාධ්‍ය ආයතන සහ වෘත්තිකයන්ද, දේශපාලනඥයන්ද, දේශපාලන පක්‍ෂද, ආණ්ඩුද සමග වෘත්තීයමය සම්බන්ධතා පවත්වා ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් අපගේ මෙම තේමාවේදී මතු වන ප්‍රශ්නය ඊට වඩා වෙනස් එකකි. එය නම්, ජනමාධ්‍ය ආයතනත්, ඇතැම් ජනමාධ්‍යකරුවනුත් තම වෘත්තීය වගකීම් සහ බැඳීම් ඉක්මවා ගොස්, දේශපාලනඥයන්ගේ ආර්ථික දූෂණ ක්‍රියාවලියේ කොටස්කරුවන් වීමයි. දූෂණ ආරක්‍ෂා කිරීමයි. ඒ මගින් දූෂිත සන්ධානයක හවුල්කරුවන් වීමයි. එම හවුල්කාරත්වයෙන් විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබීමයි.


වර්තමානයේදී දේශපාලනයෙහි සාර්ථක වීමටත්, මැතිවරණවලින් ජයගැනීමටත්, දේශපාලනඥයන්ටත්, දේශපාලන පක්‍ෂවලටත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් වීම මෙන්ම මාධ්‍ය ව්‍යාපාරවල ආයෝජකයන් වීමද අත්‍යවශ්‍ය වේ. ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමේ දේශපාලනඥයන් බොහෝ දෙනා මාධ්‍ය ව්‍යාපාරවල හිමිකරුවන් සහ ආයෝජකයන් වීමට සමාන ක්‍රියාවලියක් ලංකාවේද සිදුව තිබේ. බොහෝ විට මෙම ආයෝජන වනාහි අයථා ලෙස උපයන ලද ධනය වීම අහම්බයක් නොවේ. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් දිනාගැනීම වෙනුවෙන් ආයෝජනයක යෙදීම මහත් ඵලදායී ක්‍රියාවක් බව දේශපාලනඥයෝ දනිති. ලංකාවේ මෑතකාලීන මැතිවරණ දෙස ආපසු හැරී බලන විටත්, මාධ්‍ය ආයතනවල චර්යාව දෙස විමසිල්ලෙන් බලන විටත්, දේශපාලන දූෂණය සහ ජනමාධ්‍ය අතර ඇති සම්බන්ධය ගැන සුළු මට්ටමේ හෝ අවබෝධයක් ලබාගැනීමට කෙනකුට පුළුවන. එය විජේවර්දන පවුලේ සහ ලේක්හවුස් ආයතනයේ ඉතිහාසය කිහිප ගුණයකින් අලුත් කර, අලුත් දේවල්ද එකතු කර, යළි නිපදවීමක් බවද කෙනෙකුට පෙනෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය

දූෂිත දේශපාලන ධනය සහ ජනමාධ්‍ය ව්‍යාපාර අතර ඇති මෙම අලුත් සම්බන්ධය ජනමාධ්‍ය පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායේ උපකල්පන පිළිබඳවද අලුත් සහ දුෂ්කර ප්‍රශ්න මතුකරයි. දහ අටවැනි සියවසේ සිට යුරෝපයේ සහ ඇමරිකාවේත්, 19 වැනි සියවසේ සිට ලංකාව වැනි රටවලත්, ජනමාධ්‍යය ගැන තිබි එක් වැදගත් ප්‍රවාදයක් වූයේ ජනමාධ්‍යය ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවාය’ යන්නයි. එකල තිබුණේ මුද්‍රිත පුවත්පත් සහ වාර සඟරා පමණි. අද මෙන් ක්‍ෂණික ප්‍රවෘත්ති සහ ව්‍යාජ ප්‍රවෘත්ති ගැන අදහසක් එකල තිබුණේ නැත. පුවත්පත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා ලෙස සැලකුණේ, ජනමතය හැඩගැස්වීමට, මහජනතාවට තොරතුරු සැපයීමට, දේශපාලකයන් සහ ආණ්ඩු පිළිබඳවත්, බලවත් පුද්ගලයන් පිළිබඳවත් විචාරාත්මක අදහස් පළකිරීමට, අධිපති මතවලට වෙනස් මත ප්‍රකාශ කිරීමට, තම අදහස් සහ මතිමතාන්තර සමාජය වෙත ගෙනඒමට ඇති ස්වාධීන සහ නිර්භය මාධ්‍යය පුවත්පත වූ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුවත්පත් අතර සාධනීය සම්බන්ධතාවක් පිළිබඳ ප්‍රවාදය ගොඩනැගුණේද එම පසුබිම තුළය. මාධ්‍යවේදීන් බලවතුන් ඉදිරිපිට දෙකට නැමුණේ නැත්තේද ඒ කාලයේය.
ජනමාධ්‍ය/පුවත්පත් නිදහස පිළිබඳ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ගොඩනැගුණේද මෙම පසුබිම තුළය. අදහස් පළකිරීමේ අයිතිය, වෙනස් මත දැරීමේ අයිතිය සහ සමාජයේ බහුතරයේ මතයට වෙනස් මත ප්‍රකාශ කිරීමේ සුළුතරයේ අයිතිය පිළිබඳව ජෝන් ස්ටුවට් මිල් නමැති 19වැනි සියවසේ සිටි ඉංග්‍රීසි දේශපාලන චින්තකයා ON LIBERTY නම් කෘතියේ ගොඩනැගූ ප්‍රබල තර්කය ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායේ ඇති සම්භාව්‍ය ප්‍රකාශනයයි. ආණ්ඩු සහ දේශපාලනඥයන් සිදුකරන දූෂණය සහ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම එළිදරව් කිරීම, විවේචනය කිරීම සහ ඒ පිළිබඳව මහජන මතයක් ගොඩනැගීම ජනමාධ්‍යය සතු ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් සහ වගකීමත් වන්නේය යන මූලධර්මය ගොඩනැගීමේ සංකල්පීය මූලයත් එයයි.

ජනමාධ්‍ය නිදහස

දේශපාලනඥයන් සහ බලයේ සිටින ආණ්ඩුද, දේශපාලනඥයන්ද, නිලධාරීන්ද සිදුකරන දූෂණය සහ බලය අවභාවිත කිරීම ජනමාධ්‍ය විසින් හෙළිදරව් කිරීමට ලක්කරනු ලැබූ විට එය සාධනීය ප්‍රතිඵලවලට තුඩු දෙනු ඇත යන්න ජනමාධ්‍ය නිදහස පිළිබඳව, ජනමාධ්‍යකරණය පිළිබඳ අපගේ විශ්විද්‍යාලවල තිබෙන ඩිප්ලෝමා පාඨමාලාවල පවා උගන්වන, එහෙත් දැන් ලංකාවේ වැරදි බවට දිගින් දිගටම ඔප්පු වන, තවත් උපකල්පනයකි. එම උපකල්පනයේ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය විශ්වාස කළ ඒ කාලයේ වැදගත් වූ අදහස් කිහිපයක් තිබුණි. පළමුවැන්න, දේශපාලන දූෂණය, අල්ලස, බලය අවභාවිත කිරීම පිළිබඳ තොරතුරු පුවත්පත්වලින් අනාවරණය වී එය තම ඡන්දදායකයන්ද, හිතවතුන්ද, මහජනතාවද දැනගත් විට, ඒ මගින් එම දේවල් කළ බලවතුන්ට ‘ලජ්ජාව’ ඇතිවී ඉන්පසු සමාව ගැනීම, තනතුරුවලින් අස්වීම, අධිකරණ දඬුවම් පිළිගෙන දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම යනාදිය එම දේශපාලනඥයන්ගෙන් සිදුවනු ඇත යන ප්‍රතිඵලය අපේක්‍ෂා කිරීමයි.


දෙවැන්න, දූෂණය සහ බලය අවභාවිත කිරීම ගැන සිදුවීම්ද, ඒවාට සම්බන්ධ පුද්ගලයන් ගැනද තොරතුරු පුවත්පත්වල පළවූ විට, අල්ලස, දූෂණය හා ඒවායේ යෙදෙන දේශපාලනඥයන්ට විරුද්ධව ප්‍රබල මහජන මතයක් ගොඩනැගෙනු ඇත යන්නයි. මේ අපේක්‍ෂා දෙකම සැබෑ ඒවා නොවන බව ඔප්පු කිරීමට ලංකාවේ දේශපාලනඥයන් සමත් වී ඇති බව අප රටේ සියලු පුරවැසියෝ දනිති. මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදුවූ පාර්ලිමේන්තු විවාදය මතක් කිරීමත්, පැන්ඩෝරා එළිදරව් ගැන පාර්ලිමේන්තුවේ සිදුවන විවාදත් යළි මතක් කරගැනීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත්ය.

කුමක් කරන්නද?

දූෂණය වැළැක්වීම, ජනමාධ්‍යය සහ මහජන මතය අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඇතිවිය යුතු මෙම සම්බන්ධතාව ඛණ්ඩනය වී තිබෙන පසුබිමක, අප රටේ පුරවැසියන්ද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී සිටින දේශපාලන ක්‍රියාකාරීන්ද, සිවිල් සමාජ කණ්ඩායම්ද, මාධ්‍යවේදීන්ද ඉදිරියේ ඇත්තේ බරපතළ අභියෝගයකි. එය ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙතින් මතුවූ ප්‍රශ්නය තරම්ම බරපතළ එකකි. ලසන්තගේ මරණය, දූෂණය එළිදරව් කළ ජනමාධ්‍යවේදියකුට ලැබුණු දඬුවමකි. එහි අනෙක් පැත්තක්ද තිබේ. එනම් දූෂණය වැසීම වෙනුවෙන් ජනමාධ්‍ය ආයතනවලටත්, ජනමාධ්‍ය හිමිකරුවන්ටත් ප්‍රතිලාභ වරප්‍රසාද ලැබීමයි. මහා පරිමාණ දූෂණ පිළිබඳ වාර්තාවලින් සමාජයේ හෘදය සාක්‍ෂිය කැළඹෙන්නේ නැති තත්වයක් තුළ, දූෂණයෙන් තොර මහජන ජීවිතයක්ද, මහජන අවකාශයක්ද, දේශපාලන ප්‍රජාවක්ද, දේශපාලන වෘත්තිකයන්ද සහිත අනාගතයක් ගැන සිතීම පහසු කාර්යයක් නොවේ. ■

ඉහළ යන මිලගණන් පිළිබඳව කළ හැක්කේ කුමක්ද?

0

“වැටලීම්“ කරන විට කැමරා කණ්ඩායම්වලට අභිමානවත් ස්ථානයක් ලබා දීමෙන් පෙන්නුම් කළ පරිදි, මෙම තත්ත්වයන් යටතේ මිල පාලනය බොහෝ දුරට මැදිහත් වීමේ රංගනයකි.

■ රොහාන් සමරජීව

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මූල්‍ය විනයට ආණ්ඩුව දක්වන ප්‍රතිරෝධය මගින් අප අර්බුදයේ ගිලීම වේගවත් කරයි. පාරිභෝගික භාණ්ඩ හිඟ වීම සහ සීමා කිරීම මහජනයාට දැනෙන්නට පටන්ගෙන තිබේ. ආණ්ඩුවේ ආනයන පාලන හේතුවෙන් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟ වීම් සෑම අංශයකම නිෂ්පාදකයන්ට දැනෙන්නට පටන්ගෙන ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඇතැම් විට මේ කිසිවක් නොදැනෙනවා විය හැකි ය.


පුරවැසියන්ට එක පසෙකින් වැඩි වන මිල ගණන්වලින් පහර වැදී ඇති අතර අනෙක් පසින් ආදායම් අඩු වීමෙන් (වැඩ කළත්, නැතත් වැටුප් ලැබෙන රජයේ සේවකයන් බහුතරය සහ ඉහළ ම මට්ටමේ සිටින සුළු පිරිසක් හැරුණු විට) පහර වැදී ඇත. ආණ්ඩුව පසු බැස ඇත්තේ, මිල පාලනය, හැම දෙයකට ම බලපත්‍ර සහ සලාක ක්‍රමය යන 1970 ගණන්වල අසාර්ථක වූ වට්ටෝරුවටය.


සහල් මිල සම්පූර්ණයෙන් පාලනයෙන් තොර වීම මගින් පෙන්නුම් කළ පරිදි, හදිසි නීතිය සහ හමුදා බලය යොදා ගත්ත ද, මිල පාලනය අසාර්ථක වී ඇත.

ඉන්ධන මිල


යෙදවුම් මිලට අඩුවෙන් විකිණීමට ආණ්ඩුව සමාගමකට බල කළහොත්, ලැබිය හැක්කේ එක ම ප්‍රතිඵලයකි. සමාගම සැපයුම් නතර කිරීම යි. මේ අවස්ථාවේ දී උදාහරණය ලාෆ්ස් සමාගම යි. යෙදවුම් මිල ඩොලර්වලින් නියම වී ඇති සහ අවප්‍රමාණ වන රුපියල්වලින් සිල්ලර මිල තීරණය වන භාණ්ඩ සියල්ලටම මෙය වලංගු වනු ඇත. එසේ වුව ද, සමාගම ලිට්රෝ මෙන් රජයට අයිති නම්, මහජන මුදල් දවමින් එය දිගට ම පවතිනු ඇත. පසු කලෙක මහජන මුදලින් එය ගොඩ ගැනීමට සිදු වනු ඇත.


එක විසඳුමක් වන්නේ, සමීකරණයකට අනුව පාලන මිලට වැඩි වන්නට ඉඩ දීම යි. පෙට්‍රෝල්/ ඩීසල් සහ ගෑස් (එල්පීජී) වැනි නියාමනයට යටත් සැපයුම්කරුවන් සීමිත සංඛ්‍යාවක් ඇති, නියාමනයට යටත් උපයෝගිතා සඳහා මෙය සුදුසු වෙයි.


එවිට විදුලි සැපයුම්කරුට ද මිල වැඩි කිරීමට ඉඩ ලබා දීම තර්කානුකුල වන්නේ, එහි එක් ප්‍රධාන යෙදවුමක ද මිල ඉහළ යන හෙයිනි. මෙය ආර්ථිකය පුරා රැලි ලෙස පැතිර යෑම දිගට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස පානීය ජලය සැපයීමේ වියදමේ සියයට 30කට ආසන්න ප්‍රමාණයකට හේතු වන්නේ විදුලිය යි.


ඉන්ධන සඳහා සමීකරණ පදනම් කරගත් මිල ක්‍රමයක් භාවිත කළහොත් ඉන් පසුව ඇති භාණ්ඩ බොහොමයක ද මිල ඉහළ යනු ඇත. විකල්පය වන්නේ පාඩු පිට පවත්වාගෙන යන ලෙස විදුලිය සහ ජල සැපයුම් ක්‍රියාත්මක කරන ආයතනවලට බල කිරීම යි.


එසේ වුවත්, ලෝක වෙළෙඳපොළේ වෙනස්වීම් සහ /හෝ විනිමය අනුපාත ඉහළ පහළ යෑම් නිසා සිදුවන මිල ඉහළ යෑම, පාරිහෝගිකයාට කෙලින් ම බලපාන්නට ඉඩ දීම ආණ්ඩුවට කළ හැකි ද? බොහෝ රටවල මෙය සාමාන්‍ය දෙයකි. නමුත් ශ්‍රී ලංකාවේ භාවිතය සහ බලාපොරොත්තු වෙනස් ය. 2016 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණයේ (HIES) දත්ත පදනම් කර ගනිමින් ආහාර පිසීමේ වායු (ගෑස්) සම්බන්ධ උදාහරණය අපි බලමු.


බස්නාහිර පළාතේ කුටුම්බවලින් අඩකට වැඩි ප්‍රමාණයක ආහාර පිසීම කරන්නේ ගෑස් භාවිතයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 74.1 කට වැඩි ප්‍රමාණයක් එල් පී ගෑස් භාවිත කරති. 2016 සමීක්ෂණයට අනුව භූමිතෙල් භාවිත කරන්නේ සියයට 4 ක් පමණක් වන අතර ඉතිරි පිරිස දර භාවිත කරති. 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය නියමිත කාලයේ නිකුත් කළේ නම්, අපට මීට වඩා එල්පී ගෑස් භාවිතයක් බලා ගන්නට හැකි වන්නට ඉඩ තිබිණි.


මෙයින් අදහස් වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නාගරික සහ අර්ධ නාගරික ජනයා බොහෝ දුරට ගෑස් භාවිතා කරන බව යි. ඔවුන් ගෑස් ලිප් සඳහා ආයෝජනය කොට ඇත. භූමිතෙල් සැපයීමේ පැරණි ක්‍රම තව දුරටත් නොපවතී. භූමිතෙල් කරත්ත ඇදගෙන ගිය ගොන්නු තව දුරටත් ජීවතුන් අතර නොවෙති. බොහෝ ආකාරවල නාගරික නිවාසවල වාසය කරන උදවියට දර විකල්පයක් වන්නේ නැත. අභ්‍යන්තර දුම් දූෂණයේ අහිතකර බලපෑම හොඳින් දන්නා කාරණයකි. කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සහ අර්ධ නාගරික කොටස් සඳහා සත්‍ය වන කාරණා අනෙකුත් නාගරික මධ්‍යස්ථාන බොහොමයකට ද සත්‍ය වෙයි.


හිඟයන්ට ඉඩ නොතැබීම සඳහා, මෙම භාණ්ඩවල මිල තීරණය කළ යුතු වන්නේ පිරවූ වියදම් ඇතුළු කිරීම වැළැක්වීම සඳහා පරිස්සමින් සැලසුම් කළ සමීකරණ යොදා ගනිමිනි. එනම්, උදාහරණයක් ලෙස ගෑස් මිල දී ගැනීම සඳහා සැබවින් ම ගෙවූ මිල භාවිත නොකළ යුතු ය. ‘හෙන්රි හබ්’ වැනි යම් මිනුම් සලකුණු මිලක් සුදුසු ගැළපුම් සමග යොදාගත යුතු ය. එසේ නොකළහොත් කොමිස් සහ අයථා ගෙවීම් අනුමත මිලට ඇතුළත් වීමට ඉඩ ඇත.


ශ්‍රී ලංකාව ඉතාමත් අසමාන වූ සමාජයක් නිසා (කුටුම්බ ආදායම් ගිනි සංගුණකය 0.45 කි (නාගරික ක්‍ෂේත්‍රයේ ගිනි සංගුණකය 0.48 ක් ලෙස තවත් නරක ය) ආහාර පිසින ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක මිල වැඩි කිරීම, පහළ දශමකයන්හි කුටුම්බවලට වේදනාකාරී විය හැකි ය. එසේ වුව ද, මෑත කාලීන අත්දැකීම් පෙන්නුම් කළ පරිදි, අතාර්කික මිල පාලනයන් මගින් වඩා නරක ප්‍රශ්නයක් වන හිඟ ඇතිකළ හැකි ය. නාගරික වතු නිවාසවල සිටින උදවියට කප්රුක වෙබ් අඩවිය වෙතින් දර මිටි මිල දී ගත නොහැකි ය.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිය විට, දුප්පතුන් සඳහා කළ හැක්කේ කුමක් ද? එල්පී ගෑස් සඳහා අතිවිශාල සහනාධාර වැඩ පිළිවෙළක් ඉන්දියාව ක්‍රියාත්මක කරයි. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත්වලට ලබාදෙන වට්ටම් මගින්, සමෘද්ධි සහ වෙනත් හඳුනාගත් ප්‍රතිලාභී කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාව සහනාධාර ලබාදෙයි. එක් දින ධීවර යාත්‍රා සහ ඇතැම් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා භූමිතෙල් සහනාධාර සඳහා 2018 දී ආණ්ඩුව රුපියල් බිලියන 5 ක් වියදම් කළේ ය. එලෙස, සමීකරණ පදනම් කරගත් මිල කිරීම් නිසා අපහසුතාවලට මුහුණ දෙන පහළ ම අඩු ආදායම්ලාභී පහළ ම දශමකවල අයට ඒකාබද්ධ අරමුදලින් ඍජු ඉලක්කගත සහනාධාර ලබාදීමේ හැකියාව ඇත. එයින්, සැපයුම්කරුවන්ගේ පාඩු පියවීමට/සියලු‍දෙනාට සහනාධාර දීමට, වියදම් කරනවාට වඩා භාණ්ඩාගාරයට දරන්නට වන වියදම අඩු වනු ඇත.


මේ ආකාරයේ වගන්ති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථායිකරණ වැඩ සටහනකට ද ඇතුළත් කළ හැකි ය. අපගේ මුල්‍ය තත්ත්වය කළමනාකරණය ගැන අප බරපතළ ලෙස කල්පනා කරන බව ණය හිමියන්ට ඒත්තු ගැන්වීමට එය ආධාර විය හැකි අතර අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවක් ඇතිකර ගැනීමට එය උපකාරී විය හැකි ය. මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැක්කේ, දේශීය මිල ලෝක මිල ගණන් සමග එකට සම්බන්ධකර නැති විට, ඛනිජ තෙල් නිෂ්පාදන මිල තීරණය කිරීමේ තාර්කික ක්‍රමයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අවධානය යොමු කිරීමට පටන්ගෙන ඇති නිසා ය. පුරවැසියන්ගේ අවශ්‍යතා පිළිබඳව සංවේදී බව පෙන්නුම් කරන මෙම සහනාධාර දයානුකම්පිත ද වෙයි.

අපගේ භාණ්ඩවල මිල ගණන්


වෙළෙඳුන් සමූහයක් විසින් විකුණනු ලබන භාණ්ඩ සහ සේවා විශාල ප්‍රමාණයක් ලබාගත හැකි වීම නූතන ආර්ථිකයක ලක්ෂණයකි. පාරිභෝගික ආරක්ෂණයේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ, මිල දී ගන්නා සහ වෙළෙන්දා අතර ඇති තොරතුරු අසමමිතිය අවම කිරීමට උත්සහ දැරීම සහ සඳහන් කර ඇති ගුණාත්මකභාවය සහතික කිරීමේ යාන්ත්‍රණයක් පවත්වා ගැනීම යි. සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩ මිල පාලනය කිරීමට උත්සාහ දැරීම අසාමාන්‍ය තත්ත්වයකි. එසේ වුව ද, පෙනී යන්නේ ආණ්ඩුව එබඳු මානසිකත්වයකින් සිටිනවා විය හැකි බව යි.


“වැටලීම්“ කරන විට කැමරා කණ්ඩායම්වලට අභිමානවත් ස්ථානයක් ලබා දීමෙන් පෙන්නුම් කළ පරිදි, මෙම තත්ත්වයන් යටතේ මිල පාලනය බොහෝ දුරට මැදිහත් වීමේ රංගනයකි. විදේශ විනිමය හිඟය සහ /හෝ අධික ලෙස මුදල් මුද්‍රණය නිසා උද්ධමනය වැඩිවීම නිසා සැපයුම් සීමා වන විට, රජයට අවශ්‍ය වන්නේ යමක් කරන බව පෙන්වීමට ය. ඵලදායීතාවේ වැදගත්කමක් නැත.


මිල පාලනය සාමාන්‍යයෙන් මග පාදන්නේ හිඟයන්ට සහ /හෝ ගුණාත්මකභාවය පිරිහීමට සහ /හෝ කළු කඩයට සහ දූෂණයට යි. සුදුලූණු වංචාව සහ සීනි වංචාව නිදර්ශන වෙයි.


සහල්, සීනි, පොල්, සහ එවැනි දෑ සම්බන්ධයෙන් වෙළෙඳපොළේ මිල පාලනයන් පවත්වාගෙන යාමට නොහැකි ය. මිල පාලනයට යටත් වූ පෞද්ගලික ක්‍රමයක දී, විවිධාකාර අයුතු ක්‍රම ඉවත්කිරීමේ හැකියාව අතිශයින් සීමිත නිසා, රංගනයෙන් ඔබ්බට ගොස් ප්‍රමාණවත් සැපයුමක් සහ ගුණාත්මකබවක් සහතික කරන්නට රජයට අවශ්‍ය නම් එය රජයට අයත් සිල්ලර වෙළෙඳසල් මගින් සහ / හෝ තදින් නියාමනය කරනු ලැබූ රාජ්‍ය අනුග්‍රහය සහිත වෙළෙඳසල් සීමිත සංඛ්‍යාවක් මගින් සැපයුම් ලබා දීමට ක්‍රමානුකුලව තල්ලු‍ වෙනු ඇත. මිල පාලනය කළ යට ඇඳුම් ඇතුළු සියලු‍ දේ සතොස වෙළෙඳසල් මගින් විකිණීමට වෙළෙඳ ඇමතිවරයාට අවශ්‍ය වී තිබීම මෙයට පෙර නිමිත්තකි. එසේ වුව ද, 1970-77 කාලයේ හොඳින් ම පෙනීගිය ආකාරයට, රජයේ ක්‍රමය තුළ ද, අයුතු ක්‍රියා නැවත ඇතිවීම වැළැක්විය නොහැකි ය.


විකල්පය කුමක්ද? රෝග ලක්ෂණවලට නොව නිදානයට පිළියම් කළ යුතු ය. ඉල්ලු‍ම සපුරාලීමට ප්‍රමාණවත් සැපයුමක් නැති නම් මිල ගණන් ඉහළ යනු ඇත. මිල ගණන් සම්බන්ධීකරණය කළ හැකි ලෙස සැපයුම්කරුවන් සිටින්නේ කිහිප දෙනෙකු නම් (විශාල පරිමාණයේ හාල් මෝල් හිමියන් එකේ වේදිකාවේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමෙන් පෙන්නුම් කළ පරිදි) සැපයුමේ අඩු වීමක් හෝ ඉල්ලු‍මේ ඉහළ යාමක් නොමැතිව වුව ද, මිල ගණන් ඉහළ යා හැකි ය. උද්ධමනකාරී බලපෑම් රුපියල අවප්‍රමාණ වීම ආදියෙන් ඔබ්බට ගිය හේතු මේවා ය.


අරලිය, නිපුන වැනි අයගේ වෙළෙඳපොළ බලය සීමා කිරීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. පළමුවැන්න කුඩා සහල් මෝල් හිමියන් බලගතු කිරීම යි. බලගතු හතර දෙනා හෝ පස් දෙනාට පිළිගත හැකි මට්ටමේ තර්ජනයක් එල්ල කිරීමට ඔවුන්ට හැකිවන පරිදි, කුඩා මෝල් හිමියන් සමුපකාර ව්‍යුහයකට ගොනු කිරීමට උත්සහ දැරූ ශක්ති සහල් මුලපිරුම එවැන්නකි.


අවාසනාවකට, මැතිවරණයෙන් පසු එම මුලපිරුම අතහැර දමනු ලැබී ය. දේශීය ක්‍රීඩකයන් සමග ක්‍රියා කරන එම විසඳුමේ දී, ආනයනවල සම්බන්ධයක් නැත. එබඳු සැපයුම්කරුවන්ගේ මිල අඩු නම්, සහල් ආනයනය මගහැරීමේ දර්ශනය පිළිබඳ විවාදය තවත් දවසකට කල් දැමිය හැකි වෙයි.


අනෙක් විසඳුම වන්නේ කාටලය (cartel) පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීම යි. විවිධ කාලවල සැපයුමේ විශාල වැඩි වීම් ඇති වෙළෙඳපොළේ ස්වභාවය අනුව, මෙය එක වරක් විය නොහැකි ය. මෙහි තර්කය වන්නේ විශාල මෝල් හිමියන් සමග තරග කිරීම නොවේ. ඔවුන් ඉතා අධික මිලක් නියම කළ හොත් ඔවුන්ට යටින් කැපිල්ලක් ඇති කළ හැකි බවට සාධාරණ බියක් ඇති කිරීම යි.


මේ දක්වා ආණ්ඩුව විශ්වාසය ගොඩනගා ගැනීමේ අංශයේ හොඳින් කටයුතු කොට නැති බැවින්, එහි සාර්ථකත්වය පිළිබඳ සැකයක් ඇත. විශාල මෝල් හිමියන්ගේ මිල නියම කිරීමේ උත්සාහයන් අසාර්ථක වන තෙක්, සහල් ආනයනය කරමින් අඩු මිලට විකිණීම පවත්වාගෙන යාමට හැකියාව සහ කැපවීම ආණ්ඩුවට තිබේ ද? පොහොර, වල්නාශක ආදිය තහනම් කරමින් තමන් ම කරගත් හානි නිසා සැපයුම අඩු වීමේ සන්දර්භය තුළ මේ සියල්ල සිදු වන්නේ කෙසේ ද? ආනයනය කරනු ලබන මිල අඩු සහල් කාබනික නොවන නිසා ආණ්ඩුවට උත්තර දීමට අපහසු ප්‍රශ්නයක් තිබිය හැකි ය. ■

කරන්නාගොඩ ගැන
නීතිපතිගේ දෙබිඩි භූමිකාව කුමක්ද?

අයුක්තිසහගත හා අසාධාරණ ලෙස මෙවැනි බරපතළ අපරාධවල විත්තිකරුවන් මුදාහැරීමට නීතිපති කටයුතු කරන්නේ කුමන බලවේගවලට යටත් වීමෙන්ද? එවැනි විත්තිකරුවන් මුදා හැරීමෙන් නඩුවේ වින්දිතයන්ට සිදුවන අප්‍රතිකාරි අගතිය සම්බන්ධයෙන් නීතිපති සන්ජේ රාජරත්නම් වගකියන්නේද?

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු පැහැරගෙන ගොස්, ඔවුන්ගේ ඥාතීන්ගෙන් කප්පම් ඉල්ලා, පසුව අතුරුදහන් කළේ යැයි කියන අපරාධයට අදාළ චෝදනා යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවේ 14 වැනි විත්තිකරු වන, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නට නීතිපතිවරයා බලාපොරොත්තු නොවන බව, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එම අධිකරණයට කළ දැනුම් දීම නීති හා මානව හිමිකම් ක්‍ෂෙත්‍රයේ බලවත් සංවාදයට බඳුන් වී තිබේ. නීතිපතිවරයා අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ 2021 අගෝස්තු 4 වැනිදාය.
කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා නීතිපතිවරයා ඉවත්කර ගැනීම, පසුගිය දා ස්විට්සර්ලන්තයේ ජිනිවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ විවේචනයට ද ලක්විය.
චම්පා ජානකි රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චයාසනය සමන්විත වේ.


2008 අගෝස්තු 8 වැනිදාත්, 2009 සැප්තැම්බර් 21 වැනිදාත් අතර කාලය තුළදී වැල්ලවත්ත, දෙහිවල, කොටහේන, ඇතුළු ප්‍රදේශවලදී මේ පැහැරගෙන යෑම් සිදුවී ඇති අතර, මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව චෝදනා 667ක් යටතේ මේ නඩුව පවරා ඇත. චුදිතයන් වන්නේ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩීකේපී දසනායක, බුද්ධි අංශයේ ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ඇතුළු 14 දෙනෙකි. 14 වැනි විත්තිකරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩය. ඔහුට එරෙහිව චෝදනා 36ක් තිබිණි. පුද්ගලවයන් රඳවා ගැනිම සහ මිනීිමැරුමට කුමන්්‍රණය කිරිම ගැන fාච්දාන දෙකක් ද ඒ අතර විය.


කරන්නාගොඩට එරෙහි චෝදනා අස්කර ගැනීම ගැන කතාකරන්නට පෙර තවත් කරුණු කිහිපයක් දැනසිටීම වැදගත් වෙයි.


එකක් නම්, මේ නඩුවට නිමිත්ත වන මුල්ම පොලිස් පැමිණිල්ල කරනු ලබන්නේ වසන්ත කරන්නාගොඩ විසින් බවය. 2009 මැයි 28 වැනිදින ඔහු පොලිස්පතිට ඒ පැමිණිල්ල කළේ, කොළඹ නාවික හමුදා මූලස්ථානයේ නේවාසිකාගාරයෙහි කාමරයක සිටි සම්පත් මුණසිංහ ගැනය. ඒ පැමිණිල්ල කරන විටත්, සම්පත් මුණසිංහගේ කාමරය, නාවික හමුදාවේ විනයාරක්‍ෂක නිලධාරීන් විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබිණ. එම පරීක්‍ෂාවේදී ඔවුන්ට කාමරය තුළ තිබී විවිධ පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, ක්‍රෙඩිට් කාඩ් හා මුදල් දැකගන්නට ලැබිණ. කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ලට මුල් වන්නේ එයයි. කරන්නාගොඩ මහතාගේ මුල් පැමිණිල්ලේ සාරාංශය වන්නේ, සම්පත් මුණසිංහ තමාගේ ඉපැයීමට සමානුපාතික නොවන ඉහළ ජීවන විලාසයක් පළ කරන බවත් ඔහු එල්ටීටීඊය සමග සම්බන්ධදැයි සැකයක් පවතින බවත්ය.


පොලිස් අපරාධ විමර්ශනය ඇරඹෙන්නේ එතැනිනි.


එහෙත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් විමර්ශන කරගෙන යද්දී පැහැදිලි වන්නේ, මේ කාමර සෝදිසිය සිදුවන විටත්, 11 දෙනකු නාවික හමුදා නිලධාරීන්ගේ අත්අඩංගුවේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ගන්සයිට්හි පසුවන බව කරන්නාගොඩ මහතා දැනසිටි බවයි.


විමර්ශනයේදී හෙළිවුණේ, අවස්ථා තුනකදී කරන්නාගොඩ මහතාට ඒ ගැන දැනගන්නට ලැබී තිබෙන බවයි. එක, බණ්ඩාර නමැති කොමදෝරුගෙනි. දෙක, කොමදෝරු ශමල් ප්‍රනාන්දුගෙනි. තුන, හිටපු ඇමතිවරයකු වූ ෆීලික්ස් පෙරේරාගේ දැනුම්දීමකිනි. මේ නිසා, අවශ්‍ය නම් සියලු මැදිහත්වීම් කර, සිය බලතල පාවිච්චි කර, මේ පුද්ගලයන් 11 දෙනා මරාදැමීමේ ඉරණමෙන් ගලවාගන්නට කරන්නාගොඩ මහතාට අවකාශ තිබුණු නමුත් එය කෙරුණේ නැති බවත් පදනම් කරගෙන කරන්නාගොඩ මහතාට අධිචෝදනා 36ක් නගා තිබුණි.


පුදුමයකට මෙන්, මේ පැහැරගෙනයෑම් ගැන දැන තිබියදීත්, පැහැරගැනීමට ලක්වූ අයගේ හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර ආදිය සම්පත් මුණසිංහගේ කාමරයෙන් ලැබී තිබියදීත්, කරන්නාගොඩ මහතාගේ මුල් පැමිණිල්ලේ මේ පිරිස ගැන කිසිම සඳහනක් නැත. පැමිණිල්ලේ ඇත්තේ, මුණසිංහ, ඉපැයීමට වැඩි හොඳ ජීවිතයක් ගතකරන බවයි.
තමා ඒ වන විටත් දැනසිටි පැහැරගැනීම් හා රඳවාතැබීම් ගැන සිය මුල්ම පැමිණිල්ලේ ඔහු සඳහන් නොකළේ ඇයි? එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයකි.


කරන්නාගොඩ මහතා ඇතුළු 14කට එරෙහිව නඩු පැවරෙන්නේ, සීඅයිඩීය කළ ඉතාමත් දුෂ්කර විමර්ශනයක ප්‍රතිඵල හැටියටය. එම විමර්ශන අඩපණ කරන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට පහළට විවිධ ස්තරවලින් එල්ලවුණු බාධා එකක් දෙකක් නොවේ.


නීතිපතිවරයා නඩුවක් පවරන්නේ, විත්තිකරුට/විත්තිකරුවන්ට එරෙහිව බැලූබැල්මට සාක්‍ෂි ඉදිරිපත් කළ හැකි නඩුවක් පවතින බව පෙනෙන්නේ නම් පමණකි.
මෙහිදී තවත් විශේෂයක් සිදුවිය. මේ නඩුවට අදාළ අපරාධයේ සුවිශේෂ බවත්, ඉන් මහජන කැළඹිල්ලක් ඇතිවන්නට ඇති ඉඩකඩත්, ඒ කෙරෙහි යොමුවී ඇති සමාජ අවධානයත්, යුක්තිය ඉක්මනින් ඉටුකරගැනීමේ වුවමනාවත් සලකා බැලූ එවකට නීතිපති දප්පුල ද ලිවේරා, නඩුව විභාග කරන්නට ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණයක් ඉල්ලා සිටියේය. ඒ අගවිනිසුරුගෙනි.


අගවිනිසුරුගෙන් එම ඉල්ලීම කරන විට, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කිරීමට අවශ්‍ය ඇයි යන්නට පිළිතුරු ලෙස විත්තිකරු/කරුවන්ට විරුද්ධව තිබෙන චෝදනා හා සාක්‍ෂි ගැන අධිචෝදනාද සමගින් ආවරණ ලිපියකින් පැහැදිලි කිරීමක් නීතිපති කළ යුතුය. ඒ අනුව, කරන්නාගොඩ මහතාට එරෙහිවද බලවත් සාක්‍ෂි තිබෙන බව නීතිපති ලිවේරා පැහැදිලි කළේය. අගවිනිසුරුවරයා, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත්කරන්නේ එම කරුණු මැනවින් සලකා බැලීමෙන් පසුවය.


විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව පවරා, අධිචෝදනා පත්‍ර ලබාදීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස සිතාසි නිකුත්කර තිබියදී කරන්නාගොඩ මහතා දිගින් දිගටම අධිකරණය ඉදිරියට ආවේ නැත. ඒ නිසා අධිචෝදනා පත්‍රය ලබාදෙන්නට ඉඩ ලැබුණේද නැත. ඒ නිසා පොලිස්පති, නාවික හමුදාපති වැනි අයගේ මාර්ගයෙන් අධිකරණය මගහැර සිටින කරන්නාගොඩට සිතාසි නිකුත් කරන්නට අධිකරණයට සිදුවිය. එහෙත් පොලිසිය උසාවියට වාර්තා කළේ ඔහු ලිපිනයෙහි නැති බවය.


එහෙත්, එලෙස මහාධිකරණය මගහරිමින් සිටි කරන්නාගොඩ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත්කළ ‘පළිගැනීමේ කොමිසම’ ඉදිරියට ගියේ එහි පළමුවැනි පැමිණිලිකරු හැටියටය. ඔහුගේ ඒ පැමිණිල්ල අනුව, මහාධිකරණ නඩුව පවරා ඇත්තේ ‘රණවිරුවකු වන තමාගෙන් දේශපාලන වශයෙන් පළිගන්නට’ය. උපාලි අබේරත්නගේ විකාරසහගත පළිගැනීමේ කොමිසම සිය අවසන් වාර්තාවෙන් කරන්නාගොඩ නඩුවෙන් නිදොස්කර නිදහස් කරන ලෙස නිර්දේශයක් කළේය. ඒ අනෙක් විත්තිකරුවන්ද සමගය.
මහාධිකරණය මගහරිමින් සිටි කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය ඉදිරියේ සීඒ රිට් 77/2020 නඩුව පවරමින් ඉල්ලා සිටියේ, මහාධිකරණය ඉදිරියේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන්නට අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙසය. අභියාචනාධිකරණය එවැනි අතුරු තහනමක් පැනවිය. එනම්, කරන්නාගොඩට එරෙහිව මහාධිකරණය ඉදිරියේ ඇති නඩුව, අත්හිටුවන ලෙසය.


ඒ රිට් ආඥා නඩුව තවමත් විමසමින් තිබේ. ඒ විමසීම අවසන් කොට තීරණයක් දෙන තුරු කරන්නාගොඩට එරෙහි මහාධිකරණ නඩුව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. මෙම අභියාචනාධිකරණ නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්නය. ඔහු ඉතාමත් දැඩිව අභියාචනා අධිකරණයට කිව්වේ, කරන්නාගොඩ මහතාට විරුද්ධව බැලූබැල්මට පෙනෙන සාක්‍ෂි තිබෙන බැවින් මහාධිකරණ නඩුව අත්හිටුවීම නොකළ යුතු බවය.
කෙසේ වෙතත් නඩුව අත්හිටුවූ අභියාචනාධිකරණය, එම තීරණයට විරුද්ධව විරෝධතා ගොනුකරන ලෙස නීතිපතිට දැන්වීය. එම විරෝධතාවලින්ද නීතිපතිවරයා නැවතත් අවධාරණය කළේ, පෙර ස්ථාවරයමය. එනම් කරන්නාගොඩ මහතාට එරෙහිව බැලූබැල්මට නඩුවක් තිබෙන බවය. තමා නිදොස් නම් මහාධිකරණ නඩුවේදී විත්තිවාචකය හැටියට එය පැහැදිලි කරන ලෙසය.


කොවිඩ් වසංගතය නිසා මේ නඩුව මේ දිනවල අසන්නේ නැත. දැන් නීතිපතිවරයා වෙනුවෙන් එහි පෙනීසිටින්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේනයි.
කරන්නාගොඩට එරෙහි මහාධිකරණයේ නඩුව ඉල්ලා අස්කරගත්තත්,

අභියාචනාධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් තර්ක කරන්නේ, කරන්නාගොඩට එරෙහි බැලූබැල්මට චෝදනා තිබෙන බැවින්, මහාධිකරණ නඩුව අත්හිටුවීමට දුන් අතුරු නියෝගය ආපසු කැඳවිය යුතු බවය. මහාධිකරණ නඩුවේදී, තමන් චෝදනා ඉල්ලා අස්කර ගත් බවක් නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී නැත.


එහෙම තිබියදී, පුදුමයකට මෙන්, අගෝස්තු 4 වැනිදා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර කීවේ කරන්නාගොඩට එරෙහි නඩුව ඉල්ලා අස්කරගන්නට නීතිපති සන්ජේ රාජරත්නම් බලාපොරොත්තු වන බවයි.


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (1) වගන්තිය යටතේ, තම අභිමතය අනුව නඩුවක් ඉල්ලා අස්කර ගන්නට නීතිපතිට හැකිය. අතීතයේ චන්දන කත්‍රිආරච්චි මහතා සම්බන්ධයෙන් අනුගමනය කළේ ඒ වගන්තියයි. එහිදී නීතිපතිවරයාගේ අත්අකුරු හෝ අත්සන සහිත ඉල්ලීමක් අධිකරණයට කළ යුතුය. නැතිනම් නීතිපති පෞද්ගලිකව අධිකරණයේ පෙනීසිට ඉල්ලීම කළ යුතුය. අ.න. විධාන සංග්‍රහයේ 400 වගන්තියට අනුව එය නීතිපතිගෙන් වෙනත් කෙනකුට පැවරිය හැකි බලයක් නොවේ.


194(3) යටතේද නීතිපතිට නඩු ඉල්ලා අස්කර ගන්නට ඉල්ලිය හැකිය. එහෙත් එයට අධිකරණයේ අනුමැතිය අවශ්‍ය වේ. අනුමැතිය දුන්නොත්, එහි වගකීම උසාවියට පැවරෙයි. අධිචෝදනා පත්‍රයක් ගොනු කළ විට එය උසාවියේ දේපළක් බවට පත්වන අතර ඒ ගැන තීරණ ගත හැක්කේ උසාවියට පමණකි. 194(3) යටතේ නීතිපති කරන ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කර දිගටම නඩුව පවත්වාගෙන යන්නට නියම කිරීමටද මහාධිකරණයට හැකිය.


කරන්නාගොඩගේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් වගකීම ඇත්තේ නීතිපතිටය. රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර උසාවියට කීවේ, නඩුව ඉදිරියට ගෙනනොයන බවට නීතිපතිවරයා දන්වා සිටින බවය. එහිදී රජයේ අධිනීතිඥවරයා කරන්නේ නීතිපතිගේ නියමය අධිකරණයට ප්‍රකාශ කිරීම පමණකි.
දැන් පැනනගින ප්‍රශ්න ගණනාවකි.

  1. මුලින්ම බැලූබැල්මට සාක්‍ෂි තිබේය යන පදනමෙන්, මහාධිකරණය ඉදිරියේ නඩු පවරන්නට තීරණය කළ නීතිපති පසුව චෝදනා ඉල්ලා අස්කරගත්තේ ඇයි?
  2. විත්තිකරුවන් සියලු දෙනාටම එරෙහිව ඇති සාක්‍ෂි මත ත්‍රිපුද්ගල මහාධිකරණයක් ලබාගැනීමට අගවිනිසුරුවරයා සෑහීමට පත්වන පරිදි ඉල්ලීමක් කළ නීතිපතිවරයාම, පසුව චෝදනා ඉවත්කරගන්නේ කෙසේද?
  3. කරන්නාගොඩගේ අභියාචනාධිකරණ රිට් පෙත්සමේදී, බැලූබැල්මට කරන්නාගොඩට එරෙහි නඩුවක් තිබෙන බවට ස්ථාවරයක් ගත් නීතිපති, තවමත් ඒ ස්ථාවරයේ සිටියදීම, මහාධිකරණය ඉදිරියේදී චෝදනා ඉල්ලා අස්කර ගන්නේ කෙසේද?
  4. එක නීතිපතිවරයකු ගන්නා තීරණයක් අනෙක් නීතිපති ඉල්ල අස්කරගන්නේ කෙසේද? එවිට නිවැරදි තීන්දුව කොයි නීතිපතිගේද? තමන්ගේ තීරණය ගැන නීතිපතිට තිබෙන වගකීම කුමක්ද?
  5. නීතිපතිගෙන් නීතිපතිට දෙපාර්තමේන්තුව ගන්නා තීන්දු තීරණ වෙනස් වන්නේ කෙසේද?
    මේ අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණය නීතිපතිට කියා ඇත්තේ, අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගය මගින්, මහාධිකරණ නඩුවේ කිසිදු පියවරක් ගැනීම වාරණය කර ඇති බැවින්, කරන්නාගොඩට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙනයාම මෙන්ම, චෝදනා ඉල්ලා අස්කර ගැනීමද වාරණය කර ඇති බවයි. එනම්, අභියාචනාධිකරණ විමසීම අවසන්වී තීරණය ලැබෙන තෙක්, මහාධිකරණ නඩුවේ කිසිම වෙනසක් සිදුකළ නොහැකි බවයි.
    කෙසේ වෙතත්, ආණ්ඩු මාරු වන විට, නීතිපතිවරුන් මාරු වන විට, විත්තිකරුවන්ට එරෙහි නඩු මේ ලෙස ඉල්ලා අස්කර ගන්නේ නම්, නීතිපතිගේ භූමිකාව දෙබිඩ්ඩකුගේ තත්වයට පත්වන බව පැහැදිලි වෙයි. අයුක්තිසහගත හා අසාධාරණ ලෙස මෙවැනි බරපතළ අපරාධවල විත්තිකරුවන් මුදාහැරීමට නීතිපති කටයුතු කරන්නේ කුමන බලවේගවලට යටත් වීමෙන්ද? එවැනි විත්තිකරුවන් මුදා හැරීමෙන් නඩුවේ වින්දිතයන්ට සිදුවන අප්‍රතිකාරි අගතිය සම්බන්ධයෙන් නීතිපති සන්ජේ රාජරත්නම් වගකියන්නේද? යුක්තිය ඉල්ලා සිටින තමන්ගේ දරුවන්, සැමියන්, සහෝදරයන් අහිමිවූ අහිංසක මිනිසුන්ට යුක්තිය කවදාවත් ඉටු නොවීම ගැන නීතිපති සන්ජේ රාජරත්නම් වගකියන්නේද? නඩු පැවරීමේදී නීතිපතිගේ ස්වාධීනත්වය ගැන සන්ජේ රාජරත්නම් දෙන ආදර්ශය මේ දෙබිඩිකමද?■

නිරූපමාගෙන් නිරූපණය වන
‘අපේ ඇත්තන්ගේ විත්ති’

පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘශ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට ඉඩක් නැත යන්නයි. එහෙත් ලංකාවේ දේශපාලනඥයා බලන්නේම සියල්ල ජනතාවගෙන් වසං කොට තබා ගැනීමටයි. සමහර අවස්ථාවක විමර්ශන කොමිෂන් සභා පත්කරන්නේද, කරුණු අනාවරණය කිරීමට නොව, තිබෙන කරුණු වැසංගීමට හෝ විකෘති කිරීමටයි. මේ ආණ්ඩුව බලයට පත් වූ පසුව පත්කරන ලද ‘දේශපාලනික පළිගැනීමේ කොමිසම’ ඊට මනා නිදසුනකි.


පොදු කටයුතු තුළ පැවතිය හැකි රහස්‍ය භාවය ඉරා දමන බලගතු අවිය වන්නේ විධිමත් තොරතුරු සන්නිවේදනයයි. මේ විධිමත් තොරතුරු සන්නිවේදනය, මුද්‍රණ යන්ත්‍රය සොයාගත් දා සිටම තිබුණි. එහෙත්, විශේෂිත බල කණ්ඩායම් තමන්ගේ රහස්‍ය භාවය දේව වාක්‍යයක් සේ නීති මාර්ගයෙන්ම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට, මේ නූතන යුගයේ පවා සමත් වූහ. කෙසේ වෙතත් අද වන විට, විශේෂයෙන් දියුණු ලෝකයේත්, සාමාන්‍ය වශයෙන් නොදියුණු ලෝකයේ බොහෝ රටවලත්, පාලකයන්ගේ තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය නීතියෙන්ම පිළිගෙන තිබේ. එහිදී, වෙනත් කරුණුවලට අමතරව, වඩාත් වැදගත් වන්නේ, පාලකයාගේ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවකට ඇති අයිතියයි.


ඒ ඇයි? රටේ සම්පත් සහ ධනය කළමනාකරණය පිළිබඳ භාරකාරත්වය තිබෙන්නේ පාලකයාට ය. රටක් යනු කුකුල් කොටුවක් නම්, එහි පාලකයා නරියෙකු නොවිය යුතුය. මේ නිසා, සමාජයේ වෙන කිසිවෙකුටත් වඩා, පාලක පංතියේ වත්කම් සහ බැරකම් පිළිබඳ පාරදෘශ්‍ය භාවය ජනතාවට වැදගත් ය. තවත් විදිහකින් කිවහොත්, තිරු නඩේසන්ගේ ගනුදෙනුවලට වඩා, නිරූපමා රාජපක්ෂගේ ගනුදෙනු ගැන දැනගැනීම ජනතාවට වැදගත් ය.

කළු සල්ලි සුදු කිරීමේ කලාව


තිරු නඩේසන්ට මුක්තියක් ඇති බවක් මෙයින් නොකියැවෙයි. අද ලෝකයේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළත්, මේ පාරදෘශ්‍ය භාවය නීති මගින්ම අපේක්ෂා කෙරේ. ‘කළු සල්ලි’ යනුවෙන් හැඳින්වෙන යමක් තිබේ. එනම්, නීතියට පිටින් හම්බ කරගත් ධනයයි. හෙවත්, හම්බ කරගත් මාර්ගය හෙළිදරව් නොකරන සල්ලි ය. මේ ‘කළු සල්ලි’ ගොඩගසා තබා ගත හැකි විවිධ මාර්ග තිබේ. එහි වඩාත් දියුණු එක් ආයතනික ක්‍රමයක් හැඳින්වෙන්නේ, ‘අක්වෙරළ සමාගම්’ හෝ ‘අක්වෙරළ ගිණුම්’ වශයෙනි. ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයන්ට සහ ව්‍යාපාරිකයන්ට පමණක් නොව, අවි ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පාතාලයන් පවා තමන්ගේ කළු සල්ලි සඟවන්නේ මේ ‘අක්වෙරළ’ සමාගම්වලයි. කෙසේ වෙතත්, ඉස්සරට වඩා අද මේ ‘කළු සල්ලි’ පස්සේ ජාත්‍යන්තර නීතිය පන්නන ප්‍රවණතාවක් තිබේ. එහිදී තිරු නඩේසන් අර කී ‘පාරදෘශ්‍ය භාවය’ නමැති කොන්දේසියෙන් නිදහස් කෙරෙන්නේ නැත.


අක්වෙරළ සමාගමක් යනු, සමාගමේ අයිතිකරුවා එය පිහිටුවන රටේ පුරවැසියෙකු නොවන, අදාළ සමාගම එම රටේ සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු නොකරන, ඒ නිසාම එම රටේ සාමාන්‍ය සමාගමකට පැනවෙන බොහෝ සීමාවන්ට යටත් නැති, තවත් විදිහකින් කිවහොත් බොහෝ බදුවලින් නිදහස් සමාගමකි. නිදර්ශනයක් වශයෙන් ගතහොත්, ශ්‍රී ලාංකිකයෙකු වන තිරු නඩේසන්, ජාවාරම්කාරයන්ගේ කළු සල්ලි ආරක්ෂා කරදීම ගැන කුපතළ කුක් දූපත්වල මෙවැනි අක්වෙරළ සමාගමක් පිහිටුවතැයි උපකල්පනය කරමු. එම සමාගමෙන් කෙරෙන්නේ උපදේශන සේවා සැපයීමයි. එම උපදේශන සේවාවට අයත් වන්නේ, ලංකාවේ යම් ලාබදායි ව්‍යාපාරයක් පටන් ගැනීම සඳහා එක්තරා බි්‍රතාන්‍ය ජාතිකයෙකුට හෝ සමාගමකට නීතිමය සහ ව්‍යාපාරික උපදෙස් ලබා දීම විය හැකිය. එම සමාගමේ ව්‍යාපාරය ලංකාවේ පටන් ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම්, අදාළ ව්‍යාපාරිකයාට හෝ සමාගමට බොහෝ වාසි ලැබෙන පරිද්දෙන්, තමාගේ ළඟම නෑයෙකු වන රාජපක්ෂ පවුල ලවා කරවා දීමට හැකි යැයි අර බි්‍රතාන්‍ය ජාතිකයාට සහතික වීමට ඔහුට හැකිය. තවත් නිදර්ශනයක් ගතහොත්, මේ අක්වෙරළ සමාගමේ නමින්, එංගලන්තයේ නිවසක් මිල දී ගැනීමට තිරු නඩේසන්ට පිළිවන. එසේ වූ විට, ඔහුට එංගලන්තයේ එවැනි නිවසක් ඇති බව, ලංකාවේ කොතැනකවත් සටහන් වන්නේ නැත. හෙවත්, ඔහුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් ඔහුගේ ඒ ධනය හඳුනා ගැනීමට ලංකාවේ පුරවැසියන් වන අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැත. කොටින් කිවහොත්, අක්වෙරළ සමාගමක් යනු, තමාගේ ධනය උපයාගත් ක්‍රමය සඟවා තබා ගත හැකි සහ තමාගේ රටට හෝ වෙනත් රටකට බදු නොගෙවා එම ධනය රහසේ සඟවාගෙන රිසි සේ පාවිච්චියට ගත හැකි ස්ථානයකි.

පැන්ඩෝරා පත්‍රිකා


මෙසේ තිබියදී, “ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය”, දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී, මෙවැනි අක්වෙරළ සමාගම් හරහා රහස් ධනය එක්රැස් කරගෙන ඇති වර්තමාන රාජ්‍ය නායකයන් 10 දෙනෙකු ඇතුළු හිටපු රාජ්‍ය නායකයන් 35 දෙනෙකුගේ සහ තවත් 300 දෙනෙකුට අධික ව්‍යාපාරිකයන් ඇතුළු (මැතිඇමතිවරු, නඩුකාර මහත්තුරු, හමුදා ජෙනරාල්වරු, සුප්‍රකට ක්‍රීඩකයන් ආදි) තවත් පිරිසකගේ තොරතුරු පසුගිය දා හෙළිකර ගත්තේය. රටවල් 90 කට අධික සංඛ්‍යාවක පුද්ගලයෝ ඊට අයත් වෙත්. මේ නිරාවරණය කරගැනීම හැඳින්වෙන්නේ, ‘පැන්ඩෝරා පත්‍රිකා’ නමිනි. විවිධ මූලාශ්‍රවලින් රහසින් ලබා ගත් ලියවිලි ලක්ෂ ගණනක් ඊට අයත් ය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දාව දරුවෙකු සිටින රුසියානු ජාතික කාන්තාවක, රුසියානුවන්ට හොරෙන්, ප්‍රංශයේ ඉතා මිල අධික සහ නම්බුකාර පෙදෙසකින් අධි-සුඛෝපභෝගී නිවසක් මිල දී ගෙන ඇති බව මේ ලියවිලි මගින් නිරාවරණය වී ඇති එක සිද්ධියකි. මේ ‘පැන්ඩෝරා පත්‍රිකා’ තුළ, නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන්ගේ නම් සඳහන් වෙයි.


නිරූපමා රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගේ ලේලියයි. ඇය කලක් ලංකාවේ රාජ්‍ය ඇමතිවරියක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. තිරු නඩේසන් යනු ඇගේ සැමියා ය.


(2015 ජනවාරි 8 වැනිදා පරාජයෙන් පසුව, ජයග්‍රාහක ‘යහපාලන’ පාර්ශ්වයට රාජ්‍ය බලය පැවරීමේ කටයුතු සහ තමාට නිරුපද්‍රිතව මැදමුලනට යාමට අවශ්‍ය පහසුකම් සැලැස්වීමට අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහව අරලියගහ මන්දිරයට එක්කරගෙන ඒමට මහින්ද රාජපක්ෂ යැව්වේ තිරු නඩේසන්ව ය. ඒ අනුව, 2015 ජනවාරි 9 වැනිදා උදේ පාන්දර රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට යන්නේ තිරු නඩේසන් සමගයි. තිරු නඩේසන් සමග ‘ජෝඩු දාගෙන’ රනිල් වික්‍රමසිංහ එදා පාන්දර අරලියගහ මන්දිරයට ගිය සිද්ධිය, පසු කාලයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ බලවත් නෝක්කාඩුවට හේතුවක් වූ බව මේ ලියුම්කරු දනී. කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාපාරික මෝරුන් ලංකාවේ හැම පාලක පංතියක් සමගම සමීප සබඳතා පවත්වාගන්නා බව මෙවැනි සිද්ධිවලින් ස්ඵුට වෙයි. ඒ නිසා, කිසි දවසක මේ කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා දඬුවමට ලක්වන්නේ නැති බව හොඳින් මතක තබාගන්න. මේ තොරතුරු ලියන්නේ, ප්‍රජාචාරය පාඩමක් වශයෙන් දැනගැනීම සඳහා පමණි).


නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන්ට අදාළව මේ කියන ‘පැන්ඩෝරා පත්‍රිකා’ තුළින් එළියට පැමිණ ඇති තොරතුරු ගැන සාරාංශයක් දැනගැනීමට දැනට ඇති හොඳම ක්‍රමය වන්නේ, මේ තොරතුරු හමුවීමෙන් පසුව, ඉහත කී මාධ්‍ය සාමූහිකය විසින් තිරු නඩේසන්ගේ සහ නිරූපමා රාජපක්ෂගේ අදහස් ඉල්ලා ඔවුන්ට යවන ලද ප්‍රශ්නාවලිය පාඨකයාට ඉදිරිපත් කිරීමයි.

නිරූපමා රාජපක්ෂට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය

  1. අප සතුව ඇති ලේඛනවලට අනුව, 1990 මුල් භාගයේ සිට 2010 මුල් කාලය දක්වා (ලංකාවේ යුද්ධය පැවති කාලය අතරතුර) ඔබ, අක්වෙරළ සමාගමක් වන “රොසෙට්ටි සමාගමේ” එක් ‘පාලන පාර්ශ්වයක්’ වූ බවත්, ඒ සමාගම මගින් උපදේශන සේවා ගාස්තු උපයාගෙන ඇති බවත්, සිඩ්නි නුවර (ඔස්ටේ්‍රලියාව) සහ ලන්ඩන් නුවර (බි්‍රතාන්‍ය) දේපළ එම සමාගම හරහා මිල දී ගෙන ඇති බවත් දැක්වෙයි. එය ඇත්තක්ද? ඒ සම්බන්ධයෙන් ඔබේ සහභාගිත්වය කුමක්ද?
  2. ඔබ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අවස්ථාවේ, මේ “රොසෙට්ටි සමාගමේ” අයිතිය පිළිබඳ තොරතුරු, ඒ අවස්ථාවේ ලංකාවේ එවැනි නීතියක් තිබිණි නම්, ලංකාවේ අදාළ බලධාරීන් වෙත ප්‍රකාශයට පත්කෙළේද? මේ දේපළ පිළිබඳ අයිතිය ඔබේ වත්කම් ප්‍රකාශ තුළ සඳහන් කෙළේද?
  3. මේ සමාගමේ අයිතිය පිළිබඳ කාරණය, කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් ඔබේ සමාගමේ සේවාවන් පාවිච්චියට ගත් ආණ්ඩුවේ බලධාරීන්ට ඔබ හෙළි කෙළේද? එසේ නොකෙළේ නම් ඒ ඇයි?
  4. අප සතුව ඇති ලියවිලි පෙන්වා දෙන පරිදි, ඩොලර් මිලියන 51 ක් වටිනා කලාකෘති එකතුවක් සහිත “පැසිපික් ට්‍රස්ට්” සමාගමේ ඔබ එක් ප්‍රතිලාභිනියකි. එය නිවැරදිද? නිවැරදි නම්, බදු බලධාරීන් වෙත ඔබේ ඒ වත්කම් ප්‍රකාශ කොට සිටියේද?
  5. ඔබේ සැමියා වන නඩේසන් විසින් පිහිටුවා ඇති, “ශ්‍රී නිති ට්‍රස්ට්”, “පැසිපික් ට්‍රස්ට්”, “පැසිපික් කොමොඩොටීස්”, “පැලේන්”, “චලාන් ඔයිල්” සහ “රෙඩ් රූත්” යන සමාගම්වල ඔබේ භූමිකාව කුමක්ද?
  6. වර්ෂ 2014 දී ඔබ දුන් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔබ මෙසේ කීවාය: “ගෑනු විදිහට අපි ගත්තොත්, පිරිමින්ට වඩා ගුණ යහපත්, පිරිමින්ට වඩා අවංක සහ පිරිමි තරම් අල්ලස සහ දූෂණයට නොනැමෙන කොට්ඨාසයක්.” කරුණාකර, ඒ කීවේ කුමක්දැයි විස්තර කළ හැකිද?
    අවසාන ප්‍රශ්නයේ අන්තර්ගතය තුළ ලංකාවේ බල දේශපාලනඥයාගේ වංචනික චරිත ස්වභාවය, ගැහැනියක් තුළ වුව අගේට ප්‍රකාශයට පත්වන සැටි විශද කෙරෙන අපූරුව බලන්න.

තිරු නඩේසන්ට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය

  1. අපට දැකගන්නට ලැබී ඇති 2011 ලේඛනයකට අනුව, ඔබේ පවුලට අයත් ධනය ඩොලර් මිලියන 160 ක් වෙයි. 2017 දී “ශ්‍රී නිති ට්‍රස්ට්” සහ “පැසිපික් ට්‍රස්ට්” සතුව ඩොලර් මිලියන 18 ක් තිබුණි. මෙය නිවැරදිද? මේ ධනය ඔබ සොයාගත්තේ කොහෙන්ද?
  2. අප දැක ඇති ලේඛනවලට අනුව, බදු පාරාදීසයක් වශයෙන් සැලකෙන ජර්සි කොදෙව්වේ ඔබ “රොසෙට්ටි” සහ “පැසිපික් කොමොඩොටීස්” නමැති උපදේශන සමාගම් පිහිටුවා ඇත. මේ සමාගම් මගින් උපදේශන සේවා ලබා දී ඇත්තේ, ලංකාවේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලට අදාළවයි. ඒ කියන සමාගම් ලංකාවේ නොපිහිටුවා, විදේශයක පිහිටුවූයේ ඇයි?
  3. ඔබේ “පැසිපික් කොමොඩොටීස්” සමාගම උපදේශන සේවා සැපයූ සමාගම් අතර, “සුමිටෝමෝ සමාගම” සහ ජර්මානු සමාගමක් වන “ජී.එම්.බී.එච්” සමාගම් තිබේ. (ඒවා ලංකාව සමග ව්‍යාපාරික කොන්ත්‍රාත් ඇති සමාගම් ය). ඔබ ඒවාට සපයන ලද උපදේශන සේවාවන්ගේ ස්වභාවය කුමක්ද? මේ කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා රාජපක්ෂ පවුල සමග ඔබට ඇති දේශපාලනික සම්බන්ධතා ඔබ පාවිච්චි කෙළේද?
  4. වාර්තාවලට අනුව, “රොසෙට්ටි” සමාගම හරහා ඩොලර් මිලියන 4 කට වඩා වටිනා දේපළ සිඩ්නි නුවරින් සහ ලන්ඩන් නුවරින් ඔබ මිලදී ගෙන තිබේ. මේ තොරතුර නිවැරදිද? එවැනි දේපළ කෙළින්ම ඔබේ නමින් මිල දී ගන්නවා වෙනුවට සමාගමක නමින් මිල දී ගත්තේ ඇයි?
  5. ලන්ඩන් නුවර ඔබ සතු දේපළවලින් එන ආදායම වශයෙන් ඩොලර් දහස් ගණනක් ඔබ ලබාගෙන ඇත්තේ (බැංකු මාර්ගයෙන් නොව) මුදල් නෝට්ටුවලිනි. ඇයි මුදල් නෝට්ටුවලින්?
  6. 2013 දී ඔබ සයිප්‍රස් රටේ පුරවැසි භාවය සඳහා ඉල්ලුම් කර ඇති බව ලිපිගොනු මගින් පෙන්නුම් කෙරේ. ඔබේ දරුවන්ට පුරවැසි භාවය ලැබී තිබේ. ඔබ අයදුම් කළේ ඇයි? ඔබට පුරවැසි භාවය ලැබුණේද?
  7. කලා කෘති 51 යුත් එකතුවක් ඔබට තිබුණු බව අපේ වාර්තා පෙන්නුම් කරයි. ඒවා අතරේ, ඩොලර් මිලියන 4 ක් පමණ වටිනා, රාජ් රවි වර්ණාගේ සහ ජෝර්ජ් කීට්ගේ කලා කෘතිද විය. 2018 දී මේවා ඔබේ ‘පැසිපික් කොමොඩොටීස්’ සමාගම හරහා, ස්විට්සර්ලන්තයේ පිහිටි ‘ජිනීවා ෆ්‍රී පෝට්’ නමැති බදුවලින් නිදහස් ජාත්‍යන්තර ගුදම වෙත යවා තිබේ. මේවා ඔබ එහි ගබඩා කළේ ඇයි? එසේම ඒවායේ අයිතිය ඔබේ අක්වෙරළ සමාගමක නමින් ඔබ තබාගත්තේ ඇයි?
  8. 2015 දී, ඔබේ ලිපිගොනු (සාමාන්‍ය ක්‍රමයට වෙනස්) ‘කුරියේ සර්විස්’ නමැති විශ්වසනීය මාර්ගයෙන් එවන්නැයි “ඒසියාසිටි” නමැති සිංගප්පූරුවේ පිහිටි මූල්‍ය සේවා සමාගමකින් ඔබ ඉල්ලා තිබේ. එසේ ඉල්ලීමට හේතුව වශයෙන් ඔබ දක්වා ඇත්තේ, ඔබට මුදල් ලැබුණු ආකාරය “අභියෝගයට ලක්විය හැකි” බවයි. කරුණාකර එය තවදුරටත් පැහැදිලි කළ හැකිද?
  9. 2016 දී ඔබව (ලංකාවේදී) අත්අඩංගුවට ගැනුණි. චෝදනාව වුණේ මුදල් වංචාවයි. ඔබ බැසිල් රාජපක්ෂගේ පෙරකලාසිකරු වශයෙන් සිටි බවටත්, ඔබට අයත් මල්වානේ ඉඩමක රුපියල් මිලියන 250 ක මහජන මුදල් වියදම් කොට මන්දිරයක් ඉදි කළ බවටත් ඔබට විරුද්ධව චෝදනා එල්ල විය. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද? ඒ පරීක්ෂණයේ අද තත්වය කුමක්ද?
  10. බැසිල්, මහින්ද සහ ගෝඨාභය වැනි රාජ්‍ය කරවන්නන් සමග ඔබේ ඇති සම්බන්ධය කුමක්ද?
  11. කවුරුත් දන්නා බදු පාරාදීස වශයෙන් සැලකෙන ජර්සි දූපත්, කුක් දූපත් සහ සමෝවා දූපත් වැනි තැන්, ඔබේ සමාගම් ලියාපදිංචි කිරීමට ඔබ තෝරාගෙන ඇත්තේ ඇයි?
  12. ඔබේ මේ කිසි සමාගමක් සහ ඔබේ වත්කම් ගැන ඔබ ලංකාවේ බලධාරීන්ට වාර්තා කොට තිබේද?
  13. ඔබේ මේ සියලු සමාගම් සහ ව්‍යාපාරවල ඔබේ භාර්යාවගේ භූමිකාව කුමක්ද?

මහා අයිස් පරයක මතුපිට පොත්ත


මේ ලියුම්කරු සිතන විදිහට, නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන්ගේ මේ රහස්‍ය ධනය, ලංකාවෙන් මේ වන විට විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන් විසින් හොරෙන් පිට කොට තිබිය හැකි සමස්ත ධනස්කන්ධයෙන් සොච්චමක් පමණි. තිරු නඩේසන් සහ නිරූපමා රාජපක්ෂ ගැන ‘අපක්ෂපාතී’ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටීම විහිළුවකි. පාලකයන්ගේ රංගනයට අපද මෝඩයන් සේ දායක වීමකි. මෙයින් සතයක්වත් ආපසු රටට ගෙන්වා ගැනීමටවත්, වත්කම් හෙළි නොකළ ‘කළු සල්ලි’ මෝරුන් කිසිවෙකු නීතියේ රැහැනට හසු කරගැනීමටවත් හැකියාවක් පේනතෙක් මානයක නැත.■

කොළඹ වරායේ සේවා සැපයුම් ව්‍යාපාරත් චීනයට

කොළඹ වරාය පර්යන්තයන් පෞද්ගලීකරණය ආරම්භ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදීය. ඒ කොළඹ වරායේ රැජින පාලම හෙවත් පර්යන්තය පෞද්ගලීකරණය කරමින්ය. අද එම පර්යන්තයේ කොටස් අයිතිය මුල් අයිතිකරුවන්ගෙන් කිහිප දෙනෙකුට මාරු වී ඇත. කොළඹ වරායේ පෞද්ගලීකරණය වූ දෙවන පර්යන්තය වූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීනයට ලබාදුන් කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් හෙවත් කොළඹ දකුණු වරායය. වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කොළඹ බටහිර වරාය ඉන්දියාවේ අදානි හා ජෝන් කීල්ස් සමාගම්වලට නිල වශයෙන් ලබා දුන්නේ පසුගිය සතියේය.


මේ කිසි පෞද්ගලීකරණයකදී එම පර්යන්තයන් ලබාදීම සහ එම පර්යන්තයන් කරා එන නැව්වල භාණ්ඩ මෙහෙයුම් කටයුතු හැර වෙනත් වරාය සේවා කටයුත්තක් එම සමාගම්වලට හිමි නොවීය. එහෙත් දැන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ වරාය සේවා සැපයුම් කාර්යයන්ද අන්සතු කිරීමට පිඹුරුපත් සකසා අවසන්ය.


ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන 2021.07.21 දින සහිතව ඉදිරිපත් කර ඇත. එහි උද්ධෘතය වන්නේ ‘කොළඹ වරායේ දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා වූ ආයෝජනය’ යන්නය. මේ සඳහා වූ ස්වෙච්ඡා යෝජනාව සුපුරුදු පරිදි ඉදිරිපත් කර ඇත්තේ දැනට කොළඹ දකුණු වරායේ මෙහෙයුම් කරන චීනයට අයත් සීඅයිසීටී හෙවත් කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගමය.


එම සමාගම දකුණු, බටහිර, නැගෙනහිර හා සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් හෙවත් රැජින පර්යන්තය යන පර්යන්තයන්ට මායිම්ව පිහිටි වරායට අයත් අක්කර 13ක හිස් බිම් කොටස ඩොලර් මිලියන 150 ක ආයෝජනයකින් යුත් සේවා සැපයුම් කොට්ඨාසයක් ගොඩනැංවීම සඳහා ඉල්ලා ඇත. මෙම ආයෝජනය බීඕටී හෙවත් ඉදිකර, මෙහෙයුම් සිදුකර වසර 35කට පසු ආපසු බාරදීමේ යෝජනාවක්ය. එහි වරාය අධිකාරියට හිමිවන්නේ සියයට 15ක කොටස් අයිතියක් පමණය. තවත් සියයට 15ක කොටස් අයිතියක් දේශීය ආයෝජකයෙකුට හිමිවන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇතත් ඒ කවුද යන්න සඳහන් කර නැත. සියයට 70ක ඉතිරි කොටස් අයිතිය හිමිවන්නේ සීඅයිසීටී සමාගමටය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වරාය අධිකාරියට එක් වරක් පමණක් ගෙවන වාරියක් ගෙවීමට නියමිත සඳහන් වන අතර කල් බදු කුලියේ වාර්ෂික වැඩිවීම සියයට 3කි.


මෙම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ලේකම්වරු තිදෙනෙකුගෙන් හා භාණ්ඩාගාර නියෝජිතයකු ඇතුළත් තාක්ෂණික නිපුණතාවෙන් හෙබි පුද්ගලයන් හතර දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන ලෙස කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.


මේ යෝජනාවට වරාය වෘත්තීය සමිතිවලින් එල්ල වූයේ දැඩි විරෝධයකි. නැගෙනහිර පර්යන්තයේදී මෙන් යළි වර්ජනයක් සිදුකරන බවට අනතුරු ඇඟවීමත් සමග වරාය වෘත්තීය සමිතිවලට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණ අතර එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙන්ම වරාය පාලනාධිකාරිය පාර්ශ්වයෙන් වෘත්තීය සමිතිවලට ලැබුණ පිළිතුර වූයේ එම යෝජනාව සාකච්ඡා මට්ටමින් තවමත් පවතින්නක් බවය. එහිදී වරාය වෘත්තීය සමිති දැනුම් දෙනු ලැබුයේ යෝජනාව සලකා බැලීමේ කමිටුවට ඒ සම්බන්ධයෙන් දැනුම ඇති වරාය සේවා සැපයමු කොට්ඨාසයේ නිලධාරියකු පත්කළ යුතු බවය.


වෘත්තීය සමිති ඉල්ලීම අනුව සේවා සැපයුම් කොට්ඨාසයේ නිලධාරියකු එම කමිටුවට පත්කළද එම කමිටුව සලකා බලමින් සිටින්නේ කමිටුවට ඉහළින් ලැබෙන දේවල් බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බව මෙම කමිටු සාකච්ඡා පිළිබඳ අලුත් තත්වය විමසීමේදී වරාය ස්වාධින සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ ‘අනිද්දා’ ට පැවසීය.


වෘත්තීය සමිති මෙම චීන යෝජනාවට විරුද්ධ වීමට බලපා ඇති ප්‍රධාන කාරණය වන්නේ මෙම චීන යෝජනාව ක්‍රියාත්මක වීමත් සමග කොළඹ වරායේ ආදායම් තත්වය තවදුරටත් පහළ යෑම අනිවාර්ය වීමය. ඊට හේතුව මෙතෙක් සෑම පර්යන්තයක් සම්බන්ධයෙන්ම භාණ්ඩ මෙහෙයුම් හැර වරාය අධිකාරියෙන් ලබාදුන් සේවා මෙම නව සේවා මධ්‍යස්ථානයටත් සිදු කිරීමට අවසර ලැබීමය. ඒ අනුව අර්ධ බහලු ගුදම්ගත කිරීම, බන්ධිත ගුදම් සේවා ආදිය වරාය අධිකාරියට අහිමි වනු ඇත. ඊට හේතුව මෙසේ ලබාගන්නා භූමිය තුළ වර්ග මීටර් 200,000ක පමණ ගුදම් සංකීර්ණයක් ඉදිකරන බවට මේ පිළිබඳ පැවති සාකච්ඡාවලදී අනාවරණය වී තිබීමය. මේ ආකාරයට සේවා සැපයුම් පහසුකම් ලබාදීම සඳහා පර්යන්ත සමාගමකට අවසර ලබාදෙන්නේ පළමු වරටය. ඉදිරියේ ඉදිකිරීමට නියමිත බටහිර පර්යන්තයේ ඉන්දියානු අදානි සමාගම ගුදම් පහසුකම් සැපයීම ඔවුන්ට ඉල්ලුවොත් සිදුවනු ඇත්තේ කුමක්ද?


කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති එකතුව මේ වනවිටත් කර ඇති ගණනය කිරීම් අනුව මෙම ගනුදෙනුව වරාය අධිකාරියට පාඩු එකකි. ඊට හේතුව සේවා සැපයුම් මගින් වරාය අධිකාරිය වසරකට උපයන මුදලට වඩා අඩු මුදලක් මෙම ගනුදෙනුවෙන් ලැබීමය. 2020 වසරේදී වරාය අධිකාරියේ මුළු ආදායම රුපියල් බිලියන 52ක් වී ඇති අතර ඉන් සියයට 6.5ක දායකත්වයක් දක්වා ඇත්තේ සේවා සැපයුම් කොට්ඨාසය විසින්ය. එමෙන්ම ගුදම් ගතකරන අර්ධ බහලුම් මෙහෙයුම් සියයට 52ක් 2013 වර්ෂයේදී වරාය අධිකාරිය මෙහෙයවන පර්යන්තයන් මගින් කර ඇති අතර එම වර්ෂයේදී දකුණු වරායේ චීන සමාගම සිදුකර ඇත්තේ සියයට 17ක් පමණි. එසේ වුවද 2021 වර්ෂයේදී එම මෙහෙයුම් ප්‍රමාණය වරාය අධිකාරියේ පර්යන්තවල සියයට 15 දක්වා අඩුවී ඇති අතර චීන පර්යන්තයේ සියයට 70 දක්වා වැඩිවී ඇත. ඒ අනුව කොළඹ වරාය ආදායමට තව වසර 35ක කාලයකට සිදුවීමට යන දේ පැහැදිලිය.


ඒ මෙම ගනුදෙනුවේ එක් කරුණක් පමණය. අනෙක් කරුණ වන්නේ මෙම ඉඩම චීන සමාගමට බදු දීමට යන්නේ මෙතෙක් වරායේ ඉඩම් බදු දුන් ආකාරයට නොවීමය. ටෝකියෝ සිමෙන්ති ආදි සමාගම් වෙත වරායේ ඉඩම් එම සමාගම්වල ඇසුරුම් කිරීම් ආදි කටයුතු සඳහා මෙතෙක් බදු දී ඇත්තේ ආරම්භක ගෙවීමක්ද සහිතවය. චීන සමාගමට ලබාදීමේදී ආරම්භක ගෙවීමක් නැත. උදාහරණයකට ටෝකියෝ සිමෙන්ති සමාගමට අක්කර 1යි පර්චස් 11ක ඉඩමක් ලබාදීමේදී ඒ සඳහා ආරම්භක ගෙවීම වශයෙන් රුපියල් මිලියන 925ක මුදලක් අයකර ඇති අතර මුළු ඉඩමට මාසික කුලිය වශයෙන් රුපියල් මිලියන 3ක මුදලක් අයකර ඇත. එහෙත් චීන සමාගමට අක්කර 13ක් ලබාදීමට යන මෙම ගනුදෙනුවේදී ආරම්භක මුදලක් අය කිරීමක් අය නොකරන බව ඒ සඳහා පැවති කමිටු සාකච්ඡාවලදී අනාවරණය වී ඇති අතර මුළු ඉඩමටම මාසිකව ලබා ගන්නා කුලිය රුපියල් 850,000ක් බවද අනාවරණය වී ඇත.


චීන සමාගමේ මෙම යෝජනා යථාර්ථයක් බවට පත්නොවී නැවතීම සඳහා කිසිදු ඉඩක් නැතැයි අපට දැනට අනුමාන කළ හැකිය. ඊට හේතුව මෙතෙක් චීනය ගෙනා ස්වෙච්ඡා යෝජනා කිසිවක් රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කර නැති වීමය. එසේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් රාජපක්ෂවරුන්ට තිබෙන බවක්වත් ඔවුන් මෙතෙක් පෙන්නුම් කර නැත. චීන කුණ්ඩාවෝ සමාගමේ කාබනික පොහොර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අනාවරණය වීමෙන් පසු ගෙන්වන්නේ නැති බව ප්‍රකාශ කිරීමත් සමග මේ වනවිටත් චීනය ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන් කියන්නේ සමීප හිතවතුන් ශ්‍රී ලංකාව අමනාප කරගත යුතු නැති බවය. ඒ අනුව කිනම් නමකින් හෝ චීන කාබනික පොහොර මේ රටට සැපත් වනු ඇත. චීනයෙන් කාබනික පොහොර නොගෙන්වීමේ තීරණයක් නැතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ ඒ නිසා විය යුතුය. වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන චීන සමාගමට ලබාදීමට යන මෙම ඉඩම සම්බන්ධයෙන් වෘත්තීය සමිති පෙන්වාදෙන මිල ගණන් බොරු යැයි කියමින් ප්‍රතික්ෂේප කරන්නේ ඇත්තටම ඔහු ඒ ගැන නොදන්නවා විය හැකි නිසාය. මන්ද මේ චීන යෝජනා යනු විෂයභාර ඇමත්තන්ට ඉහළින් රාජපක්ෂවරුන් මගින් එන ඒවා නිසාය.


කොළඹ වරායේ චීන ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වී ඇති මේ මිල ගණන් වැරදි නම් වරාය ඇමතිවරයාට අපට කියන්නට ඇත්තේ සැබෑ මිල ගණන් ප්‍රකාශයට පත්කරන ලෙසය. එය ප්‍රසිද්ධියේ කළ නොහැකි නම් අඩුම තරමේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට හෝ ප්‍රකාශ කරන ලෙසය.■