No menu items!
30.5 C
Sri Lanka
24 September,2025
Home Blog Page 112

වැලිකඩ ඝාතනයවූවන්ට
යුක්තිය කෙතරම් දුරද?

බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය. ඒ නිසා ‘ආණ්ඩුවේ පව් හෝදන්නට’ කෙරුණ පරීක්ෂණවල ප්‍රතිඵල ගැන පුදුම විය යුතු නැත.

ලංකාව නැවත වරක් ම්ලේච්ඡත්වයේ දේශයක් බවට පත්කළ, වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ කුප්‍රකට රැඳවුවන් සමූහ ඝාතන නඩුවේ තීන්දුව 12 වැනි බදාදා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබාදෙන ලදි. එමගින් නඩුවේ පළමු විත්තිකරුවූ එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් මෝසස් රංගජීව නිදොස් කොට නිදහස් කෙරුණු අතර, එවකට මැගසින් බන්ධනාගාර අධිකාරි ලෙස සේවය කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කෙරිණි. නඩුවේ තවත් විත්තිකරුවකු නඩුව අතරමගදී නිදොස් කොට නිදහස් කරන ලදි.


සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය ජූරි සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට නියම කරන ලෙස එවකට නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසුරියගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මහාධිකරණ විනිසුරු මඬුල්ල පත් කෙරිණි. ඉන්පසු ඔවුන්ට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මිනිමැරුම් පිළිබඳ අධිචෝදනා ඉදිරිපත් කෙරුණු අතර, පසුගියදා තීන්දුව ලැබුණේ ඒ නඩුවෙහිය. ගිහාන් කුලතුංග (සභාපති), ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ නඩුව විභාග විය.


2012 නොවැම්බර් 9 වැනිදා අපරභාගයෙන් පටන්ගෙන 10 වැනිදා උදේ දක්වා, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වුණු මේ බිහිසුණු අපරාධ මෙහෙයුම නිසා රඳවුවෝ 27ක් ඝාතනය වූහ. 43 දෙනෙක් පමණ තුවාල ලදහ. බන්ධනාගාරයට කඩා වැදුණු එස්ටීඑෆ් හා යුද හමුදා භටයන් ඊට වගකිවයුතු විය. එහෙත් අවසානයේ නඩු පැවරුණේ ඝාතන 8ක් සම්බන්ධයෙන් ඉහත කී විත්තිකාරයන් දෙදෙනාට පමණි.


බන්ධනාගාරය තුළ රඳවුවන් සතු නීති විරෝධී දූරකථන හා වෙනත් දේ සොයාගැනීම පිණිසයැ’යි කියමින් සැලසුම් කරන ලද මේ මෙහෙයුමේදී සිදුවූ ඝාතන, ඉතාමත් සැලසුම් සහගතව, රඳවුවන්ගේ නම් කතාකොට ඉදිරියට ගෙන්වාගෙන බිත්තියට හේත්තු කොට, ඉතා සමීපයේ සිට වෙඩි තැබීමෙන් සිදුවූ ඒවාය. එහිදී මරා දැමුණේ නිරායුද රඳවුවන්ය. එහෙත්, ආයුධ සන්නද්ධ ගැටුමක් බව ලෝකයට පෙන්වීම සඳහා නිරායුද මළසිරුරු අසළ ටී56 ගිනි අවි පසුව දමා තිබුණි.


මේ සමූහ ඝාතනය ගැන නියම ආකාරයෙන් අපරාධ විමර්ශනය කැරුණේද, මෙලෙස නඩු පැවරුණේද 2015 යහපාලන ආණ්ඩුව පත්වුණු පසුවය. ඊට පෙර පැවැති රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදී මේ සමූහ ඝාතනය අවස්ථා හතරකදී අපරාධ විමර්ශනයට භාජනය වූ නමුත්, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුදීන් ඝාතන මෙන්ම අවසානයේදී ‘වසා දමන ලද ලිපි ගොනුවක්’ බවට පත්කර තිබිණ.


මහාධිකරණ නඩු තීන්දුවේද විශේෂයෙන් දක්වා ඇත්තේ, මේ අපරාධය පිළිබඳ පරීක්‍ෂණ ප්‍රමාදවී තිබී 2017දී නැවත ආරම්භ වී වේගවත් ලෙස සිදුවී ඇති බවයි. එහෙත් එමගින් විත්තිකරුවන්ට කිසිදු අගතියක් සිදුවී නැති බවද විනිහ්චය මණ්ඩලය නිරීක්‍ෂණය කර තිබේ.

ආණ්ඩුවේ පව් හෝදන්නයි ආවේ


පළමුවැනිව, ඝාතන සිදුවූ වහාම, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය පරීක්ෂණයක් ආරම්භ කළේය. සීඅයිඩීයට සාක්ෂි දුන් සිද්ධිය ඇසින් දුටු රඳවුවන්ගේ ප්‍රකාශ පවා සටහන් කරගත්තේ කෑලි අඩුවෙන් බව රඳවුවෝම ප්‍රකාශ කළෝය. එක් බන්ධනාගාර නිලධාරියකු සීඅයිඩීයට සාක්ෂි දෙන්නට සැරසෙන විට සීඅයිඩී නිලධාරියකු ඔහුට කීවේ මෙවැන්නකි. ‘අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ පව් හෝදන්න. ඒ නිසා දෙන කටඋත්තරයක් පරිස්සමට දෙන්නෟ’ ඒ පරීක්‍ෂණයේ ලිපිගොනුව වසා දැමිණි.


දෙවැනිව, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් සපයනු පිණිස එවකට පුනරුත්ථාපන හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධීරද තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. එහි සාමාජිකයෝ වූවෝ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති නිලධාරි ලලිත් අන්ද්‍රාහැන්නදිය. මේ කමිටුවේ අතුරු වාර්තාව 2013 පෙබරවාරි මාසයේදීත්, අවසන් වාර්තාව 2013 නොවැම්බර් මාසයේදීත් ගජධීර ඇමතිවරයාට භාරදුන් බව පැවසෙන නමුත් එයට කුමක්සිදුවූවාදැ’යි දන්නා කෙනෙක් නැත. පුවත්පත් වාර්තා කළේ, ‘රඳවුවන් අතර තිබුණු පෞද්ගලික අමනාපකම් මත සහ ආයධු භාවිතය හරිහැටි නොදත් ඔවුන් එකිනෙකාට වෙඩිතබා ගැනීමෙන් මේ ඝාතන සිදුවී ඇති බව’ට කමිටුව නිගමනය කර ඇති බවයි.


තුන්වැනි පරීක්ෂණය කෙරුණේ එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලිගේ නියමයෙනි. 2012 නොවැම්බර් මාසයේ භාරදුන්නායැ’යි කියන ඒ වාර්තාවටද වුණු දෙයක් දන්නා කිසිවෙක් නැත. කොහොම වුණත්, බන්ධනාගාර ඝාතනයේදී කොඩිප්පිලි මහතාගේ දායකත්වය ගැන ඇසූදුටු සාක්ෂි යහමින් තිබේ.
හතරවැනි පරීක්ෂණය ආරම්භ කෙරුණේ එවකට මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. ඒද 2012දීය. එහෙත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට කියා තිබුණේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගේ ඉල්ලීම අනුව එම පරීක්ෂණය පැත්තකට දැමූ බවය.


මේ පරීක්ෂණ හතරේම පොදු ගුණාකාරය වුණේ කුමක්ද? ඒවා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හෙවූ පන්නයේ වැඩ වීමයි. බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය. ඒ නිසා ‘ආණ්ඩුවේ පව් හෝදන්නට’ කෙරුණ පරීක්ෂණවල ප්‍රතිඵල ගැන පුදුම විය යුතු නැත.

යහපාලන ආණ්ඩුවෙන් කමිටුවක්


2015 අලුත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත්වුණු පසු වැලිකඩ සමූහ ඝාතනය ගැන සොයාබලා වාර්තාකරන්නට අලුත් කොමිටියක් පත්කෙරිණ. මේ කොමිටිය පත්කරන ලද්දේ එවකට අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ විසින් 2015 ජනවාරි 22වැනිදාය. කොමිටියේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ද, අනෙක් සාමාජිකයන් දෙදෙනා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසෝක විජේතිලක හා රාජ්‍ය සේවයේ ප්‍රවීණ නිලධාරියකු වූ එස්කේ ලියනගේ යන මහත්වරුද පත්කරන ලදහ. බන්ධනාගාර සිදුවීමට හේතුවුණු කරුණු සොයාබැලීම, සිදුවීමට වගකිවයුතු අය කවුදැ’යි සොයාබැලීම, වගකිවයුත්තන්ගේ වගවීමේ ක්ෂෙත්‍ර සොයාබැලීම, සිදුවීම නිසා ඝාතනය වුණු හා තුවාල ලද අයගේ අනන්‍යතාව සොයාබැලීම, ඝාතනය වුණු හා තුවාල ලද පුද්ගලයටන්ගේ සමීපතමයන්ට වන්දි ගෙවීම යන කාරණා කමිටුව විසින් කළයුතුයැයි ඔවුන්ට බලය පවරන ලද විධාන පත්‍රයේ සඳහන්වෙයි.


මේ කමිටුවටත්, ඊට පෙර ඇතිකරන ලද කමිටුවලටත් සාක්ෂි හෝ ප්‍රකාශ දුන්නෝ එකම පුද්ගලයෝය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පත්කරන ලද මුල් කමිටුවලට සිදුවූ සන්තෑසිය දන්නා ඒ සාක්ෂිකරුවන්ගෙන් යුක්තිගරුක කොටස, මේ අලුත් කමිටුව ගැන සතුටට පත්වුණේ, එමගින් හානියට පත්වූවන්ට නියත වශයෙන්ම යුක්තියක් ඉටුවේයැ’යි කියන බලවත් විශ්වාසයකිනි. සාක්ෂි දුන් සමහර බන්ධනාගාර නිලධාරීහු සිදුවීමේ ඇත්තම කරුණු මේ කමිටුව හමුවේ ප්‍රකාශ කළහ. ඊට පෙර කමිටුවලදී එක්කෝ ඔවුන්ට පරෙස්සමෙන් සාක්ෂි දෙන ලෙස තර්ජනය කරන ලදි. නැතහොත් ඔවුන් කී දේ ඒ ආකාරයෙන්ම ලියා නොගන්නා ලදි. සමහර කරුණු ’අවශ්‍ය නැතැ’යි නොසලකා හරින ලදි. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ අලුත් කමිටුව හැම දෙනාටම ගෙනාවේ අලුත් පිබිදීමකි.


2015 ජනවාරි පත්වුණු කමිටුව, 2015 ජුනි 9 වැනිදා සිය අවසන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහටත්, බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්ෂටත් භාරදුන්නේය.
2012 නොවැම්බර් 9වැනිදායින් ඇරඹී 10 වැනිදා පහන් වන තුරු ඇදීගිය වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතන ක්‍රියාවලිය, ලංකා ඉතිහාසයේ අශිෂ්ට කළු පැල්ලමකි. පරීක්ෂණ කමිටුව, සිද්ධිය සිදුවූ ස්ථාන නිරීක්ෂණය කරන්නට 2015 පෙබරවාරි 6වැනිදා උදේ වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිය සාක්ෂි සටහන්වල මේ ගමනේදී කළ නිරීක්ෂණ කමිටුව සඳහන් කරන්නේ මෙසේය.


‘වැලිකඩ බන්ධනාගාර අධිකාරි වශයෙන් බන්ධනාගාරය භාරව කටයුතු කළ ගාමිණී ජයසිංහ මහතා ප්‍රකාශ කළ පරිදි, මෙම සිද්ධිය ආරම්භ වූ අවස්ථාව වන විට ඔහු සිට ඇත්තේ බන්ධනාගාරයෙන් බැහැරවය. එස්ටීඑෆ් භටයන් ආයුධ සන්නද්ධව ඉන්දික සම්පත් මහතා සමඟ බන්ධනාගාරයට පැමිණ සිටින බව එදින දහවල් 1ට පමණ ප්‍රධාන ජේලර් විසින් ඔහුට දන්වා ඇත. ජයසිංහ මහතා ඒ පිළිබඳව එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි මහතාට දූරකථනයෙන් දන්වා ඇති අතර, බන්ධනාගාරය පරීක්ෂාවට එස්ටීඑෆ් භටයන් පැමිණියේ තම අනුදැනුම ඇතිව බව කොඩිප්පිලි දන්වා ඇත. ජයසිංහ මහතා බන්ධනාගාරයට පැමිණ ඇති අතර ඒ වනවිට එස්ටීඑෆ් භටයන් විසින් එල් ශාලාව පරීක්ෂා කරමින් සිට ඇත. එම පරීක්ෂාව කර ඇත්තේ රඳවුවන් ශාලාවෙන් පිටතට ගෙන අත්වලට ප්ලාස්ටික් මාංචු දැමීමෙන් පසුය. පරීක්ෂණයට පැමිණ ඇති එස්ටීඑෆ් භටයන් සංඛ්‍යාව විශාලය. ඔවුන් සිට ඇත්තේ ආයුධ සහිතව සහ කඳුළු ගෑස් ප්‍රහාරක අවි සහිතවය. නියෝජ්‍ය පොලිස්පති රණවනද බන්ධනාගාරය තුළ මේ වන විට සිට ඇත.


සවස 3.30ට පමණ රඳවුවන්ට රාත්‍රි ආහාරය ලබාදී ඇති අතර, ඒ අවස්ථාවේදී ඔවුන් පරීක්ෂා නොකරන ලෙස ජයසිංහ මහතා ඉල්ලා සිටියද එම ඉල්ලීම පිළිගෙන නැත. මේ අතර චැපල් වාට්ටුවේ රඳවුවන් කෑකෝ ගසමින් එහි දොරටුව වෙත පැමිණ ඇත. එවිට එස්ටීඑෆ් භටයන් චැපල් වාට්ටුව තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ පුපුරා ගොස් නැති අතර ඒවා එළියේ සිටි රඳවුවන් දෙසට වැටීමෙන් පසු ඔවුන් ඒවා එස්ටීඑෆ් භටයන් දෙසට දමා ගසා ඇත. මුළු ප්‍රදේශයම කඳුළු ගෑස්වලින් පිරීගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද දැඩි අපහසුතාවට පත්ව ඇත. ඉන්පසු එස්ටීඑෆ් භටයන් බන්ධනාගාර දොරටුව වෙත පසුබැස ඇත.
ඒ අවස්ථාවේදී ජයසිංහ මහතාට සිහි නැතිවී ඇති අතර, ඔහු ආරක්ෂක ස්ථානයකට ගෙනයනු ලැබ ඇත. 4.30ට හෝ 5ට පමණ ඔහු දැක් ඇත්තේ යුද හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් රාශියක් පැමිණ සිටින බවය. ඉන්පසු බන්ධනාගාර ජේලර් ශාන්ත මහතාගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, බි්‍රගේඩියර් දිසානායක, මානවඩු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරි එමිල් රංජන් සහභාගිවී ඇත. එහිදී සාකච්ඡා කර ඇත්තේ ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මැඬපැවැත්වීම පිළිබඳවය.
සාකච්ඡාවෙන් පසුව යුද ටැංකි බන්ධනාගාරය තුළට ගෙනැවිත් ඇති අතර, එස්ටීඑෆ් හා හමුදා භටයන් වෙඩි තබමින් බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත.’

ලැයිස්තුව බලා අඬගහලා


කමිටුව ඉදිරියේ තිබුණු තොරතුරු අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ………… තවත් දෙදෙනෙකු සමග බන්ධනාගාරයට ඇතුළුවන්නේ ඒ අවස්ථාවේදීය. කහපාට ටීෂර්ට් එකක් හා කළු කලිසමක් ඇඳ සිට ……………. සමග සිට වෙනත් කෙනකු අත විදුලි පන්දමක්ද විය. මේ පිරිස හමුදාව සිය යටතට ගෙන බිම දණගස්වා අත්වලට ප්ලාස්ටික් මාංචු ලා සිට රැඳෙවියන් අතරින් ගමන් කරමින්, තමන්ගේ අතේ තිබුණු කඩදාසියක සටහන් කර තිබුණු සහ ජංගම දූරකථනයේ තිබුණු නම් එකිනෙක අඬගසමින් රැඳෙවියන් තෝරාගත්හ. ඉන්පසු ඔවුහු වාට්ටුවේ කෙළවරකට ගෙන යන ලදහ. වෙඩි හඬ ඇසිණි. පසුදා උදේ එළිය වැටෙන විට බන්ධනාගාර බිමේ තැනින් තැන තිබියදී, ………………… ඇතුළු පිරිස විසින් නම් කියා කැඳවාගෙන යන ලද සිරකරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ මළසිරුරු හමුවිය.


තවත් තොරතුරු ලබන සතියේ කියවන්න.■

සුසිල් ප්‍රේමජයන්ත
තවමත් පුන්නක්කු කෑම හෙවත්
වෙනසක මහත!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක් ඇතුළත ජනාධිපතිවරයාගේ ඒ මාරුව අවලංගු කොට නිශාන්ත ද සිල්වා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට ඒ පොලිස් කොමිසම සමත් විය. එසේ කළ හැකි වුණේ, රාජ්‍ය සේවය තුළ නිදහසේ කටයුතු කරගෙන යාමට හැකියාවක් සහ අයිතියක්, එදා තිබුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කොට තිබුණු ස්වාධීන කොමිෂන් සභා ඔස්සේ ලැබී තිබුණු නිසා ය.


ඉන්පසුව, පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී, විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ඔස්සේ, ආකර්ෂණීය තර්කයක් ඉදිරිපත් වුණි. එනම්, සාමාන්‍ය පොලිස් පරීක්ෂකවරයෙකු පවා මාරු කරගැනීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි වන පාලන ක්‍රමයක් අපේ රටට කුමටද යන්නයි. එය, එනම් ස්වාධීන කොමිෂන් සභා යනු, හුදෙක් පොලිස් නිලධාරියෙකු පිළිබඳ ප්‍රශ්නයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ පැවතිය යුතු ප්‍රධාන බල මර්මස්ථාන තුන (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය) අතරේ පවතින බලය එකිනෙකින් ස්වාධීන කොට, සමස්ත බල ව්‍යුහය තුලනය කිරීමේ අතිරේක ආයතනික ක්‍රමවේදයක් වූ බව කවුරුත් දනිති. එසේ තිබියදී, පොලිස් නිලධාරියෙකු පවා මාරු කිරීමටවත් බලයක් තමාට නැතැයි කී ජනාධිපතිවරයා, ඊළඟට එදා අගමැතිවරයා (රනිල් වික්‍රමසිංහ) ඇතුළු මුළු යහපාලන ආණ්ඩුවටම, අර නිශාන්ත ද සිල්වාට කළ දේම කෙළේය.

විකෘතියට පිළියමක්


එවිට මැදිහත් වුණේ පොලිස් කොමිසම නොව, රටේ උත්තරීතර අධිකරණයයි. උත්තරය කුමක්ද? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අස්කොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් ස්ථාපනය කිරීම මගින් ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවයි. දැන්, රාජපක්ෂලාට තර්ක දෙකක් ගොඩනැඟී තිබුණි: එකක් වුණේ, පොලිස් පරීක්ෂකයෙකු හිතුමතේ මාරු කිරීමට පමණක් නොව, රටට සහ ජාතියට හරියට වැඩක් කිරීමට නම්, ආණ්ඩුවක් වූවත් අස්කිරීමට බලයක් ජනාධිපතිවරයාට තිබිය යුතු බවයි. එසේ නොතිබීම, ඔවුන්ට අනුව, මහා විකෘතියකි. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ ඒ ‘විකෘතිය’ පිළිසකර කිරීමටයි. බලයට පත්වූ සැණින් ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, තමාව රජෙකු කරවන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගත්තේ ඒ වෙනුවෙනි.


රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ගිය සතියේ එම ජනාධිපතිවරයා විසින් පූර්ව දැනුම්දීමකින් පවා තොරව අස්කරන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු ඒ අසීමිත බලය පාවිච්චි කිරීමෙනි. මේ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය විය. ඉතිං, ජනාධිපතිවරණයෙන් පසුව එළැඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එම තුනෙන් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට ලබා දෙන්නැයි සුසිල් ප්‍රේමජයන්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එය සූත්‍රගත කෙළේ මෙලෙසයි: “ගෝඨාභයට ජනතාව දුන් (69 ලක්ෂයේ) බලය හරියට ක්‍රියාත්මක කරන්න නම්, (පාර්ලිමේන්තුවේ) තුනෙන් දෙකක් ඕනෑ.”


ජනතාව ඔහුට කන්දුන්හ. පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂයක මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ප්‍රධාන විපක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට සිටි එක මන්ත්‍රීවරියක සහභාගි කරගෙන, එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කරගැනීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුව තුළ තමන්ගේ ඡන්දයත් පාවිච්චි කෙළේය. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? සාමාන්‍ය පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කිරීමට පමණක් නොව, ජනතා ඡන්දයෙන් පත් වූ අගමැතිවරයෙකු (රනිල් වික්‍රමසිංහ) අස්කිරීමට පමණක් නොව, එදා පටන් රාජපක්ෂලා වෙනුවෙන් එක දිගටම හතිදාගෙන කඩේ ගිය සුසිල් ප්‍රේමජයන්ත වන තමා වැනි ජ්‍යෙෂ්ඨයෙකු පවා හැරෙන තැපෑලෙන් අස් කළ හැකි බලයක් තමා විසින්ම ජනාධිපතිවරයාට පවරා ඇති බව, දෙල්කඳ සති පොලේ සිට ගෙදර එන විට සුසිල් ප්‍රේමජයන්තට දැනගත හැකි විය.

හෝඩි පොත කියවීමට සතර සතිපට්ඨානය කුමටද?


මේ “දැනුම” ලබා ගැනීමට ඔය තරම් දුරක් යාමටත්, ඔය තරම් කාලයක් වැය කිරීමටත්, ඔය තරම් කැඹිරීමටත් සිදුවන මට්ටමේ මොට්ට ශිෂ්‍යයෙකු වූ සුසිල් ප්‍රේමජයන්ත රටේ ඇමති ධුරයකට කොහෙත්ම සුදුස්සෙකු නොවන බව බුද්ධිමත් පුරවැසියන්ට, මේ කාරණාවලින් අද වන විට පැහැදිලි විය යුතුය. ඒ නිසා ඔහු ආපසු නීති වෘත්තියට යාම කාලෝචිත ය. කරුණු එසේ වෙතත්, කැබිනට් මණ්ඩලයේ ‘සාමූහික වගකීම’ ආරක්ෂා නොකිරීම වැනි වැනි ඔල්මොරොන්දන් කතා නිසා ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත අස් කළා නොව, සුසිල් ප්‍රේමජයන්ත විසින්ම තමන්ව රජෙකු බවට පත්කොට ඇති බව සුසිල් ප්‍රේමජයන්තට ඉතා කෙටි කාලයක් තුළ අමතක වී තිබීම නිසා ජනාධිපතිවරයා තුළ ඇති වූ සාධාරණ කෝපයේ ප්‍රතිඵලයක් වශයෙන් තමාට ගෙදර යාමට සිදු වූ බව තවමත් ප්‍රේමජයන්ත අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ. 20 වැනි සංශෝධනය මගින් ඇති කොට තිබෙන විධායක ජනාධිපති ක්‍රමයේ ස්වභාවය ගැන වචනයක්වත් නොකියා, තමාව අස්කිරීම ගැන ඔහු දැන් වෙනත් මොනවාදෝ වැල්වටාරම් වගයක් කියන්නේ එබැවිනි.


මං පුංචි කාලේ අපේ අම්මා එක්ක බොරැල්ලේ සිල්ලර කඩේට යන විට, එහි මුල්ලක තබා ඇති පුන්නක්කු ගෝනියෙන් කෑල්ලක් අරගෙන අම්මාට සහ කඩේ මුදලාලිට හොරෙන් කටේ දාගැනීමේ පුරුද්දක් මට තිබුණි. (පුන්නක්කුවල අමුතු කිරි රසක් තිබේ). දවසක් මුදලාලි මෙය දැක්කේය. “ඇස්ලින් අක්කාගේ පුතා හරකෙක් වෙන්න වගෙයි හදන්නේ!” ඔහු අම්මාට ඇසෙන සේ කීවේය. මා පුන්නක්කු කන සතෙකු නොවී බේරුණේ, කඩේ ඇතුළේදීම අම්මාගෙන් එදා පහරකෑමේ ලැජ්ජාව නිසා විය හැකිය. මේ ලැජ්ජාව, මේ රටේ 69 ලක්ෂයක් ජනතාවට අද තිබේ. එය, පොහොර නැතිව සිටින ගොවියන් අතරේත්, කිරිපිටි පැකට්ටුවක් හෝ ගෑස් සිලින්ඩරයක් ගැනීමට පෝලිම් ගැසී සිටින ජනතාව අතරේත්, මේ වන විට දවසට පැය දෙක බැගින් අඳුරේ සිටින්නට හිත හදාගෙන සිටින හුදී ජනයා අතරේත් බහුලව දකින්නට තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත ත්‍රීවීලරයෙන් ගෙදර යාම


එසේ තිබියදී, සුසිල් ප්‍රේමජයන්ත නමැති හිටපු රාජ්‍ය ඇමතිවරයා ඒ ජනතාවට නැවතත් පුන්නක්කු කැවීමට බලයි. තමාගේ අමාත්‍යාංශයෙන් සමුගැනීමෙන් පසු ඔහු ත්‍රී වීලරයක් ගෙන්වාගෙන ගෙදර යාමේ විකාර රංගනය කියාපාන්නේ එය නොවේද? මේ රටේ ජනතාව හරක් බවත්, ඕනෑම අවස්ථාවක, ඕනෑම ආකාරයකින් ඒ හරක් රැළ දිනාගැනීමේ හැකියාවක් තමන්ට ඇති බවත්, ඔහු තවමත් විශ්වාස කරන බවක් එයින් පෙනේ. රටක ජනතාවක් හැම විටෙකම බුද්ධිමත් නොවන බව ඇත්ත. ඒත්, ඒ ජනතාව පාලනය කරන පාලකයන් එම ජනතාවට වඩා හැම විටකම තමන් බුද්ධිමත් (ස්මාට්) යැයි සිතීමත් අමුම ගොන්කමකි.


හිරිඔතප් ගැන මීට පෙර බොහෝ අවස්ථාවල මේ කොලමේ ලියා ඇත. මේ රට මේ තරම්වත් අද ඉතිරිව තිබෙන්නේ, ලජ්ජාව හඳුනන සහ ලජ්ජාවට සංවේදී මිනිසුන් බහුතරයක් තවමත් සිටින නිසා ය. රටේ හැම තැනකම වෙසෙන 69 ලක්ෂය අද කියන දේවල් දිහා මොහොතක් නතර වී බැලුවොත්, ඒ ලැජ්ජාව මොන වගේදැයි දැනගත හැකිය. ලංකාවේ අගමැතිවරයා ඉන්දියාවේ තිරුපති කෝවිලට යාමට පෞද්ගලික ජෙට් යානාවක් ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ. එහෙත් එය ලැජ්ජා නැති වැඩකි. ලැජ්ජාවට අසංවේදී වීමකි. නීතිය තුළ නැති මනුස්ස ගතියක් ලැජ්ජාව තුළ තිබේ. මිනිසා අවසාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ ලජ්ජාව විසිනියි මේ ලියුම්කරු තරයේ විශ්වාස කරයි.

සුළු සොරකමක් නිසා බෙල්ල කපා ගැනීම


පුද්ගලික ජෙට් යානාවකින් තිරුපති ගිය පුද්ගලයා, උගෙනීමට ආශාවක් දක්වන කෙනෙකු නොවන බව දන්නා මුත්, ලැජ්ජාව ගැන සජීවී පාඩමක්, ඔහු වෙනුවෙන්ම නැතත්, අපේ පාඨකයන් වෙනුවෙන් සටහන් කිරීමට කැමැත්තෙමි. එක පුද්ගලයෙක් පසුගිය දවසක සුපර් මාර්කට් එකකින්, ළමයින් සඳහා පාවිච්චි කරන යම් ක්‍රීම් වර්ගයක් හෝ සබන් වර්ගයක් හොරෙන් සාක්කුවේ දා ගත්තේය. මෙය දුටු වෙනත් පුද්ගලයෙකු මොහුව අල්ලා ගැනීමට යාමේදී, සොරකම කළ පුද්ගලයා තමන්ගේ බෙල්ල කපාගෙන ජීවිතය නැති කරගත්තේය.


මේ සිද්ධිමය කරුණු සියල්ල සමහරවිට අකුරටම නිවැරදි විය නොහැකි වූවත්, එක කාරණයක් ස්ථිර ය. එනම්, සුළු සොරකමක් කරද්දී හසුවීමෙන් ඇති වන ලැජ්ජාව දරාගත නොහැකිව සිය ජීවිතය පවා අත්හැරීමට මනුෂ්‍යයෙකු පෙළඹී ඇති බවයි. මේ රටේ ජනතාව මෙම පුද්ගලයාව සැලකිය යුත්තේ සොරෙකු ලෙස නොව, දෙවියෙකු ලෙස ය. අප සොරකම අනුමත නොකළත්, ඒ සොරකම මෙතරම් බරපතළ මානසික අර්බුදයක් සහ අවමානයක් කරගැනීමට තරම් සංවේදී මිනිසෙකු අපේ රටේ පාලනයටත් සිටියේ නම් අප මොන තරම් භාග්‍යවන්තයන් විය හැකිව තිබුණිද යන ප්‍රශ්නය, මම මගෙන්ම අසමි. අපේ පාලකයන්ගෙන් සෑහෙන පිරිසක්, වෙනත් කිසි රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර, උත්පත්තියෙන් ගෙනා කිසි බූදලයකුත් නැතිව, දෑවැද්දකට ගත් දේපළකුත් නැතිව, දේශපාලනය පමණක්ම කිරීමෙන් හෙවත් සොරකම් කිරීමෙන් පමණක්ම ප්‍රකෝටිපතියන් වී සිටින රටක, මෙවැනි මනුෂ්‍යයෙකු දෙවියෙකු නොවීමට ඇති හේතුව කුමක්ද?
අද විදේශ ප්‍රවෘත්ති සේවා තුළ මෙවැනි සිද්ධියක් වාර්තා විය: පෝලන්ත ජාතික, වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මීට අවුරුදු 20 කට කලින් මිනීමැරුමක් සිදු කොට තිබුණි. විශේෂ පොලිස් පරීක්ෂණ කොතෙක් දියත් කළත් අපරාධකරුවා අල්ලා ගැනීමට පොලීසිය අසමත් විය. ගිය සතියේ, පෝලන්තයේ වෝර්සෝ අගනුවර සුපිරි වෙළෙඳසැලක් තුළ මුහුණු ආවරණයක් පැළඳ නොසිටීමේ වරදට කෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඔහුගේ වතගොත සෙවීමේදී, අර මිනීමැරුම සිදුකොට ඇති පුද්ගලයා මොහු බව සොයාගැනීමට පොලීසියට හැකි විය. කිඹුලාගෙන් බේරී ගෙදර ආවත් හූනාගෙන් බේරෙන්නට බැරි වූ මිනිහෙකු ගැන කතාවක් පුංචි කාලයේ මා අසා තිබේ. අපේ අගමැතිවරයා යාළුවෙකුගේ පුද්ගලික ජෙට් යානාවක් තිරුපති වන්දනාවට යාම සඳහා පාවිච්චි කිරීමේ සිද්ධිය අපේ ජනතාව ඉදිරියේ දර්ශනය වන්නේ, අර මුහුණු ආවරණය පැළඳ නොගෙන සුපර් මාර්කට් ගිය පුද්ගලයා අතීත මිනීමරුවා බව හෙළිවීමේ අපූරු රූපකයට යැයි මට සිතේ.

හිරිඔතප්: උපාධියට අතිරේකයක්


පාර්ලිමේන්තු ක්‍රමය ගැන කලකිරුණු බොහෝ දෙනා එය ප්‍රතිශෝධනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරති. ඒ යෝජනා අතරින් එකක් වන්නේ උගතුන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. දියුණු වන ලෝකය තුළ එම යෝජනාව රැඩිකල් සිරියක් ගනී. එහෙත් ලංකාවේදී මේ ‘උගතා’ හැසිරී ඇති ආකාරය, ඉහත යෝජනාව පිළිබඳ සැක මතු කරයි. (උගතුන්ට මගේ විශේෂ විරෝධයක් ඇතැයි නොසිතන්න). අපේ අගමැතිවරයා නීතිඥවරයෙකි. අපේ විදේශ ඇමති ජී. ඇල්. පීරිස් නීති පොතපතේ විශාරදයෙකි. ගෑස් සිලින්ඩර පිපිරීමක් තමන්ගේ පාරේ පිහිටි ගෙවල් එකොළහෙන් එකකවත් සිදු වී නැති නිසා, පිපිරීම් ගැන කියන කතා අතිශයෝක්තියක් හෝ බොරුවක් විය හැකි යැයි පාර්ලිමේන්තුවේදී කීවේ මහාචාරියෙකි. අපේ කතානායක සුසිල් ප්‍රේමජයන්තත් නීතිඥයෙකි.


බණ්ඩාරනායක මහතාගේ පාර්ලිමේන්තුවේ සිටි තැපැල් කම්කරු තේමිස් සමග සසඳන විට, ආයතනික අධ්‍යාපනය ලද සෑහෙන පිරිසක් අද පාර්ලිමේන්තුව තුළ ඉස්සරට වඩා සිටිති. ඔවුහු, සම්මත අර්ථයේ සහතිකලාභී උගත්තු ය. ඒ සමගම, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝද, වෘත්තීය හොරුද සිටිති. අටේ පංතියටවත් නොගිය තවත් පිරිසක්ද සිටිති. එහෙත් කලින් කී ‘උගත්’ පිරිස සහ මේ පිරිස අතරේ විශේෂ වෙනසක් (වැදගත් පුද්ගලයන් අතලොස්සක් ඇසුරින් විනා) පෙනෙන්ට නැත. පාර්ලිමේන්තුව එදාට වඩා අද දූෂිතයි. ඔලමොට්ටලයි. මේ නිසා අපව පාලනය කරගැනීම සඳහා උගතුන් පත්කර ගැනීමට වඩා, ලැජ්ජා-බය ඇති මිනිසුන් පත්කර ගැනීම වටනේ යැයි මට සිතේ. ■

විදෙස් සංචිත අර්බුදය මැද
ණය ගෙවන්නේ ඇයි?

0

■ අමන්දිකා කුරේ

විදෙස් සංචිත අඩු වෙමින් යාම ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ප්‍රධානතම ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ විචාරකයන් විසින් ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුව මේවා සම්බන්ධයෙන් පළ කරන්නේ හාත්පසින් ම වෙනස් අදහස් ය.


2021 වසරේ නොවැම්බර් අග වන විට විදෙස් මුදල් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 1.58කට පමණ අඩු වූ අතර විදෙස් මුදල් රුපියල්වලට මාරු කිරීම සඳහා මහබැංකුව විසින් පවත්වාගෙන ගිය මිල හේතුවෙන් බොහෝ විදෙස් ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදෙස් ප්‍රේෂණ ද අඩු විය. සාමාන්‍යයෙන් පසු ගිය කාලයේ දී මාසයකට ඩොලර් මිලියන 750ක් ව පමණ ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 250කට පමණ අඩු වූයේ මෙම ඩොලර් මාරු කිරීමේ මහබැංකුවේ හුවමාරු නීතිය නිසා ය. නීත්‍යනුකූලව බැංකු හරහා ඩොලරයකට රුපියල් 210ක් ගෙවූවද නීත්‍යනුකූල බැංකු ක්‍රියාවලියෙන් පිටත දී ඩොලරය ඊට වඩා වැඩි එනම් රුපියල් 250කට පමණ විකිණුණි.


මෙලෙස එන්න එන්නම විදෙස් සංචිත හිඳීයාමත් සමගම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් විදෙස් සංචිත වැඩි කිරීම සඳහා සය මාසික මාර්ග සිතියමක් ඉදිරිපත් කළේ ය. ඒ තුළ එක් එක් කාලයට ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක පිළිබඳව සඳහන් කර තිබුණ ද ඒ මුදල් ගලා එන්නේ කුමන මාර්ග හරහා ද යන්න සඳහන් කර නොතිබුණි. මේ මාර්ග සිතියම ඉදිරිපත් කර දින කිහිපයකට පසු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ මට්ටම පහළ හෙලූ අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ මෙම මාර්ග සිතියම පිළිබඳව සඳහන් කර තිබුණේ මෙම මාර්ග සිතියමේ මුදල් පැමිණෙන මාර්ගයන් දක්වා නොමැති බවයි.


ඊට ප්‍රතිචාර වශයෙන් මහබැංකුව එම මාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් දක්වනවා වෙනුවට සිදු කළේ ෆිච් රේටිංස් ආයතනය විවේචනය කිරීමයි. ෆිච් රේටින්ස් ආයතනය්, මූඩීස් ආයතනය යනු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වන ආයතන නොවේ. ඒවා ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය වෙළඳපොළේ ඇති තත්වය හා රටවල ආර්ථික තත්වය සම්බන්ධයෙන් සොයා බලා රටවල ණය ගෙවා ගැනීමේ හැකියාව අනුව ඒ ඒ රටවල් වර්ගීකරණය කරන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන පද්ධතියකි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණේ මෙම පහත හෙළීම හෙළා දකින බවකි.


ඉන්පසුව යළිත් මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීමේ තත්වය පහත හෙළනු ලැබුවේ 2022 අයවැය සම්මත වූ කාලවානුවේ දීය. දීර්ඝකාලීනව පවත්වාගෙන ගිය මුදල් මාරු කිරීමේ මහබැංකු ප්‍රතිපත්තිය නිසා ලැබිය යුතු විදෙස් මුදල් ද ලැබීම අඩු වූ අතර අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ජනතාවට බැංකු වෙත ගිය ද අවස්ථාව ලැබී නොතිබුණි. තත්වය එසේ තිබිය දී චීන පොහොර නැවට වන්දි වශයෙන් ඩොලර් ලක්ෂ 690ක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලබා දුන් අතර මහජන බැංකුව විසින් මේ වන විට එම ගෙවීම සිදු කර තිබේ. ඒ අනුව මහජන බැංකුව චීනයේ අසාදුගත ලේඛනයෙන් ඉවත් කිරීමට චීනය කටයුතු කර තිබුණි. ආනයන සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීමත් සමග ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් සහ අනෙකුත් භාණ්ඩ සඳහා ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටිය දීම තෙල් මිල වැඩි කරන්නේ එම භාණ්ඩ මිල ඉහළ යාමේ තත්වය තුළ ජනතාවට තවත් අමතර වියදමක් එක් කරමිනි.


මහබැංකු මාර්ග සිතියමට අනුව දෙසැම්බර් මාසය අග වන විට විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා වැඩි කරගන්නා බවට සඳහන් වුව ද ඒවා වැඩි කරගන්නේ කෙසේදැයි සඳහනක් කර නොමැත.


ආර්ථික විශේෂඥයෙකු වන නන්දසේන කීඹියහෙට්ටි මහතා පෙන්වා දෙන්නේ දෙසැම්බර් අග වන විට ඩොලර් බිලියන 3.1ක විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතු බව පැවසුව ද සැබැවින් ම සිදුව ඇත්තේ ඊට වඩා වෙනස් දෙයක් බවයි. 2021 වර්ෂයේ මාර්තු මාසයේ චීනයෙන් යුවාන් මිලියන 10000ක මූල්‍ය හුවමාරුවක් මූල්‍ය ඒකකය පමණක් වෙනස් කර මෙලෙස සංචිත වැඩි වී ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කරන බව කීඹියහෙට්ටි මහතා පෙන්වා දෙයි. එහි දී ශ්‍රී ලංකාව සතුව තිබූ රන් සංචිතවලින් කොටසක් ද පසුගිය දිනවල විකුණා ඇමරිකානු ඩොලර් මිලියන 206.8ක මුදලක් මහ බැංකුව විසින් ලබාගෙන තිබුණි. මේ සඳහා මහ බැංකු අධිපතිවරයා ලබා දී තිබූ පිළිතුර වූයේ දරුවන් අසනීප වන විට නිවසේ ඇති රන් භාණ්ඩ විකුණන නිසා එවැනි ක්‍රියාමාර්ගයක් මහ බැංකුවත් අනුගමනය කළ බවයි. නමුත් මෙම සංඛ්‍යා ලේඛන ඉලක්කම් හරඹය පමණක් වන බවට නන්දසේන කීඹියහෙට්ටි මහතා පෙන්වා දෙන අතර ඔහු පවසන්නේ දැනට ශ්‍රී ලංකාව සතු වියදම් කළ හැකි විදෙස් සංචිත පවතින්නේ ඩොලර් මිලියන 1014ක් පමණක් බවයි.


එයින් ද ඩොලර් මිලියන 500ක් ජනවාරි 18 වන දින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු අතර ඉතිරි විදෙස් සංචිත ප්‍රමාණය දින 10කට අවශ්‍ය ආනයනය සඳහාවත් ප්‍රමාණවත් නොවේ.


ස්වෛරීත්ව බැඳුම්කර යනු රජයට අවශ්‍ය ණය සපයා ගන්නා තවත් එක් ක්‍රමවේදයකි. එහි දී රාජ්‍යයන්වලින් ණය ලබා ගන්නවා වෙනුවට මෙම බැඳුම්කර මිලදී ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ ගැනුම්කරුවන්ට හැකියාව තිබේ. කල් පිරෙන විට ඊට අදාළ ගෙවීම සිදු කිරීමට අදාළ රජය බැඳී සිටියි.


ශ්‍රී ලංකාවට ද ජනවාරි 18 වන දින ගෙවීමට තිබෙන්නේ එලෙස කල්පිරිණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන් වලට ගෙවිය යුතු මුදලකි. නමුත් මේ වන විට පවතින විදේශ සංචිත හිඟයත් සමග එය තවත් අඩු කරගන්නවා වෙනුවට එම ණය සහ ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරගත යුතු බවට විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළ ද මහ බැංකුව විසින් මේ වන විටත් නිවේදනය කර තිබෙන්නේ එදිනට අදාළ ගෙවීම සිදු කරන බවයි.


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ මෙලෙස අර්බුදයක් පවතින අවස්ථාවකදීත් මෙම බැඳුම්කර ගෙවීමට සූදානම් වන නිසා ඒවා ඒ සම්බන්ධ සැකයක් මතුවන බවයි. එම ගෙවීම් සිදු කරන්නේ කාටදැයි ප්‍රශ්නයක් මතුවන බව ඔහු පෙන්වා දෙයි.


වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් ද මෙවැනිම අදහසක් ඉදිරිපත් කරයි. පසුගිය දිනවල චීන විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය යළි ප්‍රතිව්‍යුහගත කරගැනීමට ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීම ඉතා හොඳ ඉල්ලීමක් බවට ඔහු පෙන්වා දෙයි. නමුත් මෙපමණ ආර්ථික අර්බුදයක් හමුවේත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙත ගෙවිය යුතු මුදල කල් දමා නොගෙන හදිසියේ ගෙවා දැමීමට මහ බැංකුව විසින් තීරණය කිරීම ප්‍රශ්න සහගත බව

ඔහු පවසයි. මෙල් මහතා පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් දිනෙන් දිනම සංචිත හිඟ වීම නිසා ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට ළඟා වන බවයි. ණය ගෙවීම හෝ නොගෙවීම කුමක් වුවත් අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අවශ්‍ය මුදල් නොමැති වූ විට රට බංකොලොත් තත්වයට පත් වන බව ඔහු පෙන්වා දෙයි.


ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ආර්ථික සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. රජයේ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීම හා පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු අයටත් එම දීමනාව ලබා දෙන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කරන බවට එහිදී මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ ය. නමුත් පෞද්ගලික අංශයේ එවැනි පඩි වැඩි කිරීමකට යා නොහැකි බවට පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ආණ්ඩුවට දන්වා තිබුණි.


මෙම ආර්ථික සහන පැකේජයට ද අති විශාල මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු වන අතර මේ මුදල් පැමිණෙන මාර්ගය පිළිබඳව හෝ තොරතුරක් ආණ්ඩුව ඉදිරිපත් කර නොමැත. අයවැයෙන් ද මෙවැනි පැකේජයකට මුදල් වෙන් නොවූ අතර මේය පරිබාහිරව වියදම් කරන මුදලකි.


කෙසේවුවත් මූඩීස් ආයතනය විසින් ජනවාරි 09 වන දින නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුපියල් බිලියන 229ක මෙම ආර්ථික සහන පැකේජය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවත් බරක් එක් කරන දෙයක් පමන්ණක් වන බවයි. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මුදලක් ඒ හරහා ලබා දුන්න ද මිල ගණන් ඉහළ යාමට නැවත එයම හේතුවක් වනු ඇති බව එම ආයතනය පෙනවා දෙයි.


මුදල් පැමිණෙන මාර්ගයක් නොමැති නම් ආණ්ඩුවට සිදු වන්නේ මුදල් අච්චු ගසා මේ සහන පැකේජය ලබා දීමට ය. එහි දී සිදුවන්නේ යළිත් වරක් උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ මිල නැවත වටයකින් ඉහළ යාම පමණි. පසුගිය කාලය පුරාම කිසිදු පාලන මිලකින් තොරව භාණ්ඩ මිල ගණන් ඉහළ ගිය අතර ඉදිරියේ දී ද සිදු වීමට නියමිත එය ය. ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කරනොගෙන විදෙස් සංචිත පරමාණය ආනයන සඳහා ප්‍රමාණවත් නොවීමෙන් සිදුවන්නේ ද එය මය. භාණ්ඩ හිඟය දැනටමත් තිබේ. ඒ නිසා ආර්ථික විශේෂඥයන් සහ මහබැංකුවේ වගකිවයුත්තන් විසින් ගත යුතු තීරණ නිසි වෙලාවට නිසි ආකාරයකින් ගත යුතුය.■

ජනාධිපති අමාත්‍යාංශ විෂයන් වෙනස් කළේ
ඡන්ද කල් දාන්නයි

පළාත් පාලන ඡන්ද බලතල තිබූ රොෂාන් රණසිංහ රට ගොස් අසනීප වෙලා.

මැතිවරණ කොමිසම ඡන්දයට ලෑස්ති වෙලා.

විමල්ගෙන් පොස්පේට් අයින් කරලා.

ජනාධිපතිවරයා විසින් ඔහු බලයට පත්වී අවුරුදු දෙකක් හා මාසයක් ගතවන වනවිට අමාත්‍ය මණ්ඩලයට අදාළ විෂයන් වෙනස් කිරීම ජයග්‍රාහි 22වන වරටත් වරටත් සිදුකර තිබේ. ඒ 2022 ජනවාරි මස 09 දින සහිතව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්ය.


මෙම ගැසට් පත්‍රයට අනුව අගමැති මහින්ද රාජපක්ෂ යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ලොහාන් රත්වත්තේ යටතේ පැවති බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු, අලි සබ්රි යටතේ පවතින අධිකරණ, රොෂාන් රණසිංහ යටතේ පවතින පළාත් සභා හා පළාත් පාලන කටයුතු, ජනක බණ්ඩාර තෙන්නකෝන් යටතේ පවතින රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන, සුසිල් ප්‍රේමජයන්ත යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන, දිනේෂ් ගුණවර්ධන යටතේ පවතින අධ්‍යාපන, ඩීවී චානක යටතේ පවතින ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන, විමල් වීරවංශ යටතේ පවතින කර්මාන්ත යන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් වෙනස් කිරීම හා අහෝසි කිරීම සිදුකර ඇත.


මෙහිදී බීමත්ව රාත්‍රියේ බන්ධනාගාරවලට යෑම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ලොහාන් රත්වත්තේ යටතේ පැවති සියලු ආයතන අධිකරණ අමාත්‍ය අලි සබ්රි යටතට පත්කර ඇති අතර කාබනික වගා සංග්‍රාමය ඇතුළු ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම හේතුවෙන් ධුරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිවරයා යටතේ පැවති සියලු ආයතන අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන යටතට පත්කර තිබේ.


රාජ්‍ය අමාත්‍ය ඩීවී චානක යටතේ තිබූ ආයතන ඉවත් කිරීමක් හෝ එයට ආයතන එක් කිරීමක් මෙහිදී සිදුවී නැතත් කර ඇත්තේ එම රාජ්‍ය අමාත්‍යාංශයේ සුවිශේෂ ප්‍රමුඛතා යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම පවරා තිබීමය.
අගමැති මහින්ද රාජපක්ෂ යටතේ පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මෙවර අලුතින් ආයතන දෙකක් එක්කර ඇති අතර ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල හා බුද්ධ ශාසන අරමුදලය. මේ ආයතන දෙකම මීට පෙර පැවතියේ ඔහු යටතේම පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ වූ බැවින් එහි විශේෂත්වයක් නැත.


මෙම ගැසට් පත්‍රයේ ඇති විශේෂත්වයන්ගෙන් එකක් වන්නේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ යටතේ පැවති විෂයන් දෙකක් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත හා පළාත් සභා ඡන්ද විමසීම පනත ඔහුගෙන් ඉවත්කර රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යටතට පත්කිරීමය.


එම විෂයන් වෙනස් කිරීමේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව ඊට සමගාමීව ජනවාරි 10 දින සහිතව ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා නිකුත් කළ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් අවුරුද්දක කාලයකින් කල් දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් මේ වනවිට ඔප්පු වී හමාරය. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී නියමිත දිනට ඡන්දය පැවැත්වීමට නොහැකි වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හැර අනිකුත් පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 22 දිනට පෙර පවත්වා අවසන් කළ යුතු අතර ඒවාහි නිල කාලය මාර්තු 20 දින අවසන් වීමට නියමිතය. එමෙන්ම එම මාර්තු 22 දිනය පළාත් පාලන ආයතනවල ඊළඟ කාලය ආරම්භ වන දිනය වශයෙන් පසුගිය පළාත් පාලන ඡන්දය අවසන් වීමෙන් පසු පළාත් පාලන විෂයභාර ඇමතිවරයා ප්‍රකාශයට පත්කර ඇත.

(මෙය එකී පනත් අනුව ඔහු විසින් කළ යුතු කාර්යයකි)


ඒ අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය නැවත ආරම්භ කිරීමට මාස 6කට පෙර ඡන්ද විමසීම් පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමට ලැබෙන අතර එම කටයුතු සඳහා ඔවුන්ට මාස කිහිපයක් අවශ්‍ය වේ. මැතිවරණ කොමිසම ඒ අනුව නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා සූදානම් වන ලෙස නිල වශයෙන් දැනුම් දීමක් පසුගිය දිනවල සිදුකර ඇති අතර මෙම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලට යොදා ගැනීමට නියමිතව තිබූ 2021 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ජනවාරි 07 වැනිදා සහතික කර තිබේ.


ඒ අනුව කොයි මොහොතේ හෝ මැතිවරණ කොමිසම පළාත් පාලන ආයතනවලට නාම යෝජනා කැඳවමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ අවදානමක් පැන නැඟී ඇත.


එය අත්හිටුවීම සඳහා ආණ්ඩුවට කළ හැකි එකම ප්‍රතිකර්මය බවට තිබී ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම් පනතෙන් එම විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ඡන්ද විමසීම් අවුරුද්දක කාලයකට කල් දැමීමය. එසේ ඡන්ද කල් දැමීමේ උපරිමය අවුරුද්දක් වන අතර එය මාස කිහිපය වශයෙන් අවස්ථා කිහිපයකදී මෙන්ම එකවරද කළ හැකිය. ආණ්ඩුව එය එකවරම කරමින් එම ඡන්ද විමසීම් අවුරුද්දකින් කල් දමා ඇත. ඒ අනුව මේ ළඟකදී පළාත් පාලන ඡන්ද පැවැත්වීමේ වුවමනාවක් ආණ්ඩුවට නැති බව පෙන්නුම් කර ඇත.


පසුගිය වසරේ අවසාන කාලයේදී අප අත්දුටු සත්‍යය වූයේ ආණ්ඩුවේ බලය හිමි පළාත් පාලන ආයතනවල බලය එයට අහිමි වෙමින් පවතින බවයි. 2022 වර්ෂයට අයත් අයවැය යෝජනා පරාජය කරමින් ආණ්ඩුව වෙනුවෙන්ම තේරී පත්වු සභිකයින් ආණ්ඩුවට එම අනතුරු ඇඟවීම සිදුකළ අතර ඡන්ද විමසීමකදී ජන්ද හිමි ජනතාවත් එයට එකතු වුවහොත් සිදුවිය හැකි දෙය මේ මොහොතේ කල්පනා කරමින් මෙම ඡන්ද කල් දැමීමේ තීරණයට ආණ්ඩුව එළැඹ ඇති බව පැහැදිලිය.


විෂයභාර ඇමතිවරයාට අවුරුද්දක කාලයකින් ඡන්ද කල් දැමීමට හැකි නම් රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා යටතේ තිබූ එම විෂයන් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා යටතට දඩිබිඩියේ මාරුකර ඡන්ද කල් දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ ඇයි? ඊට හේතුව රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා මේ දිනවල විදේශගතව සිටීමය. එපමණක් නොව විදේශගතවී සිටියදී ඔහු අසනීප තත්වයට පත්වීමය. ඒ නිසා ඔහුගේ පැමිණීම සති කිහිපයකින් කල් යෑම හෙවත් ඔහු රටට එන තෙක් සිටීම ආණ්ඩුවට අනතුරක් නිසා විෂයන් මාරුකර එය දඩිබිඩියේ කර ඇත. මන්ද මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවා ගැසට් පත්‍රයක් නිකුත් කළහොත් එය ආපසු හැරවිය නොහැකි බැවිනි.


මෙම ඡන්ද කල් දැමීමට අදාළ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රයට අදාළව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ එම ගැසට් පත්‍රය පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිවරයාගේ ගැසට් පත්‍රයක් බවය. ඉන්ද පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශ විෂයන් වෙනස් කිරීමේ මෙම අති විශේෂ නිකුත් කිරීමේ ප්‍රබලම හේතුව ඡන්ද කල් දැමීමට බවය.


එහි අනෙක් විශේෂත්වය වන්නේ කර්මාන්ත ඇමති විමල් වීරවංශ යටතේ තිබූ සීමාසහිත ලංකා පොස්පේට් සමාගම ඔහුගෙන් ඉවත් කිරීමය. ඉවත් කරන ලද මෙම ආයතනය වෙනත් කිසිවකුට ලබාදී නැති අතර ඒ අනුව එය ජනාධිපතිවරයා යටතට පත්වේ. ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයෙකු වන විමල් වීරවංශට ජනාධිපතිවරයා ගැසූ කනේ පාරක් ලෙස මෙම ආයතනය ඉවත් කිරීම හැඳින්විය හැකිය. මන්ද විමල් වීරවංශ ඇමතිවරයා එප්පාවල පොස්පේට් අගය එකතුකර රට යැවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට විශාල විසඳුමක් ලැබෙන බව පසුගිය කාලයේ කියමින් සිටීමය. (තවම මතුකරගෙන නැති ශ්‍රී ලංකාවේ ගෑස් නිධිවලින් රටේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි බවට ඔහු සමඟ ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන උදය ගම්මන්පිල ඇමතිවරයා කරන ලද පුරසාරම වාගේය.)


ඒ අනුව අමාත්‍යාංශ විෂයන් වෙනස් කිරීමේ මෙම ගැසට් පත්‍රයෙන් ජනාධිපතිවරයා ඉටුකරගෙන ඇත්තේ කරුණු දෙකක්ය. එකක් මේ අවස්ථාවේ ඡන්දයකට යෑම යනු සියදිවි නසා ගැනීමක් වන බැවින් පළාත් පාලන ආයතන ඡන්ද පවිමසීම හෙවත් මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම් කල් දැමීමය. බොහෝ විට එය පසුගිය අයවැය යෝජනා මගින් හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවයේ වැටුප්, රජයේ විශ්‍රාමික දීමනා, සමෘද්ධි සහනාධාරය ඇතුළු සහන ලබාදෙමින් පසුගිය දිනකදී කළ යෝජනා ක්‍රියාත්මක වනතෙක් කල් මැරීමක් විය හැකිය. (දැන් රටේ පවතන තත්වය අනුව ආණ්ඩුවේ ඡන්ද පදනමේ හෝදාපාළුව යම් පමණකින් අවම කර ගැනීම හැර එම සෝදාපාළුව වැළැක්වීමට ඡන්ද කල් දැමීම මගින් හැකි වන්නේ නැත.)


ඉන්දියාවේ වුවමනාව අනුව වසර කිහිපයක් කල් ගොස් ඇති පළාත් සභා ඡන්දයද පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන අතර ඒ සඳහා ඇති නීතිමය බාධාවන් මඟහැරගෙන එම ඡන්දය පැවැත්වීමටත් පෙරම ගමට හෙවත් පොදු මහජනයාට වඩාත් සමීප පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුවේ ඡන්ද පදනම සෝදාපාළුවකට ලක්වීම ප්‍රදර්ශනය කිරීම යනු ඉදිරි පළාත් සභා ඡන්දයට බොහෝ අවාසියක් බව ආණ්ඩුව තේරුම් ගෙන ඇතිය යන්න මෙම අති විශේෂ ගැසට්ටුවෙන් ජනාධිපතිවරයා අපට පෙන්නුම් කරන සත්‍යයය. මේ ආකාරයේ පමා කිරීම් අවසානයේ ඡන්ද පදනම සෝදාපාළුවට ලක්වීමේ සත්‍යයට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇත. එය සදාකාලිකවම පමා කළ හැකි එකක් නොවේ. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාගේ ගැසට් නිවේදනය අනුව කල්දැමූ පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2023 මාර්තු 19 වැනිදාය. ඒ සඳහා ඇති ඈතම දිනය එයය.■

නව ව්‍යවස්ථාවක් සැදීම:
කෙසේද? කවුරුන් විසින්ද?

0

■ ජනාධිපති නීතිඥ
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් සැදීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කර නැතැයි විවේචන එල්ලවී ඇත. මෙය සාවද්‍යය. නව ව්‍යවස්ථාවක අන්තර්ගතය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන අතර ක්‍රියාවලිය පිළිබඳවද කතිකාවක් අරඹා ඇත. ව්‍යවස්ථාවක් සැදීමේ ක්‍රියාවලිය ගැන සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පසුගිය මාසයේ කතිකාවක් සයිබර් අවකාශයේ පැවැත්වූ අතර එය මෙහෙයවන ලද්දේ මෙම ලියුම්කරු විසිනි. එහිදී සාකච්ඡාවට භාජනය වූ සමහර කරුණු මෙසේය: ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ වත්මන් ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදනවල හොඳ නරක; නව ව්‍යවස්ථාවක් සැදීමේ වත්මන් රජයේ ක්‍රියාවලිය; පුළුල් පිළිගැනීමක් මෙන්ම සුජාතභාවයක්ද ඇති ව්‍යවස්ථාවක් සැදීමේ හොඳම ක්‍රමය කුමක්ද?; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සැදීමේ විකල්පය; බහුතරවාදී ව්‍යවස්ථාවක් සැදීම වැළැක්වීම; මහජන සහභාගිත්වය; සහ විශේෂඥයන්, ප්‍රභූන් සහ සිවිල් සමාජයේ භූමිකාව.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි නොකරගෙන ව්‍යවස්ථාවක් සැදීම ගැන ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනැගෙමින් පවතී. එවැනි ක්‍රියාවලියක් සඳහා තර්කයක් වන්නේ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාවක් සාදන විට ඔවුන් තමන්ගේ බැඳියාවන්ට ප්‍රමුඛත්වය දෙන බවය.
දැන් චිලී රාජ්‍යයේ කෙරෙමින් පවතින ව්‍යවස්ථා ක්‍රියාවලිය හොඳ ආදර්ශයක් ලෙස පෙන්වාදී ඇත. 2019 ඔක්තෝබර් මස පැවති දැවැන්ත මහජන උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වූයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සියලු‍ පක්ෂ එකඟ වීමය. චිලියානු ව්‍යවස්ථාව ඒ අනුව සංශෝධනය කරන ලදි. නව, එහෙත් එක් වරකට පමණක් සීමාවූ, ක්‍රියාවලියක් සඳහා ප්‍රතිපාදන 130 සිට 143 දක්වා වූ නව වගන්තිවලින් සැලසිණ. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විණ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මණ්ඩලය මන්ත්‍රීවරුන් සහ තෝරා පත් කෙරෙන සාමාජිකයන් සමාන සංඛ්‍යාවලින් සමන්විත විය යුතුද, එසේ නොමැති නම් තෝරා පත් කෙරෙන සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත යුතුද යන්නද විමසන ලදි. ඡන්දදායකයන් විශාල බහුතරයකගේ මතය වූයේ තෝරා පත් කෙරෙන සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බවය. ඒ අනුව තෝරා පත් කර ගන්නා ලද සම්පාදක මණ්ඩලයේ පිරිමින් සහ කාන්තාවන් සම සමව සිටින අතර සාමාජිකයන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 44.5කි. ළාබාලම සාමාජිකයාගේ වයස 21කි. 43%ක් නීතිඥවරු සහ නීති සිසුහුය; 20%ක් ගුරුවරුය. ආදිවාසී ජනයා නියෝජනය සහතික කරන ලදි. එහි සභාපතිනිය 39 හැවිරිදි දන්ත ශල්‍ය වෛද්‍යවරියකි. නව ව්‍යවස්ථාව 2/3ක බහුතරයකින් සම්මත විය යුතු අතර ඡන්දදායකයන් සහභාගීවීම අනිවාර්ය වන ජනමත විචාරණයකදී එය අනුමත කළ යුතුවේ.
නව ව්‍යවස්ථාවක් සැදීම සඳහාම තෝරා පත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම හොඳම විකල්පය බව ලියුම්කරු පිළිගනී. එහෙත්, චිලී රාජ්‍යයේ කළාක් මෙන්, ඒ සඳහාද ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය. එවැනි සංශෝධනයකට මන්ත්‍රීවරුන් එකඟ කර ගැනීම පහසු නොවන නමුත් කළ නොහැකි දෙයක් නොවේ. 17 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත වූයේ පක්ෂ අතර පුළුල් එකඟත්වයකින් සහ ආසන්න ඒකමතිකත්වයෙන් බව අප අමතක නොකළ යුතුය.


පවතින ව්‍යවස්ථාවක ඇති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ විධිවිධාන නොතකා ජනමත විචාරණයකින් හෝ මැතිවරණයකදී ලබාගන්නා ජනවරමකින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවිය හැකිද යන ප්‍රශ්නය මතුකර ඇත. සෝල්බරි ව්‍යවස්ථාවට සාපේක්ෂව ‘ව්‍යවස්ථා විරෝධී’ වූ 1970-72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 1970 මහා මැතිවරණයේදී ලබාගත් ජනවරම මත පිහිටුවීම ඒ හා සමාන්තර ක්‍රියාවලියක් ලෙස දක්වා ඇත.


එවැනි ක්‍රියාවලියකට සුජාතභාවය ලැබෙන්නේ ඉතා අසාමාන්‍ය තත්වයන් යටතේ පමණි. දීර්ඝ කාලයක් පැවති ඒකාධිපති පාලනයකට පසු ‘පැරණි’ ව්‍යවස්ථාවට ආපසු යාම තේරුමක් නැති නිසා නව ව්‍යවස්ථාවක් සාදා ගැනීමට අලු‍ත් ක්‍රමයක් යොදා ගැනීමට විශාල මහජන සහායක් තිබෙනු ඇත. නිදහස් සටනකින් බිහිවන නව රාජ්‍යයකටද මෙය අදාළය. බංගලාදේශය බිහිවූ පසු පැරණි නැගෙනහිර පකිස්ථානයේ සිටි ෆෙඩරල් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවන ලදි.


සෝල්බරි ව්‍යවස්ථාවෙන් කැඩී ශ්‍රී ලංකාවේ භූමියේ ගොඩ නැගුණු ‘ස්වයංජාත’ නව ව්‍යවස්ථාවක් සඳහා 1960 ගණන් වන විට විශාල ජන මතයක් ගොඩ නැගෙමින් පැවතිණ. මහා බි්‍රතාන්‍යයෙන් දෙන ලද ව්‍යවස්ථා වෙනුවට තමන්ගේම ව්‍යවස්ථාවන් සාදා ගැනීමේ ප්‍රවනතාවක් මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩල රටවලද මතුවී තිබුණි. ඉන්දියාවේ තත්වය විශේෂ විය. නිදහසට පෙරම පිහිටුවන ලද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ක්‍රියාවලිය දිගටම පවත්වා ගෙන යාමට ඉන්දියානු නිදහස් පනතින් ප්‍රතිපාදන පනවා තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එරට ප්‍රථම ව්‍යවස්ථාදායකය ලෙසද ක්‍රියාකළේය. නව ඉන්දියානු ව්‍යවස්ථාව සම්මත වූයේ ඒකමතිකවය.


එහෙත්, ලංකා නිදහස් රාජ්‍ය ආඥාවේ එවැනි ප්‍රතිපාදන නොවීය. සෝල්බරි ව්‍යවස්ථාවේ නීතිමය අධිකාරියේ මූලාශ්‍රය වූද, පාර්ලිමේන්තුවේ එක් අංගයක් වූද, බි්‍රතාන්‍ය රැජිණ ආදේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකිද යන ප්‍රශ්නය මතු කර තිබුණි. 29(2) වගන්තිය ‘ව්‍යවස්ථාව යටතේ වෙනස් කළ නොහැක’ යනුවෙන් අල්ලස් කොමසාරිස් එදිරිව රණසිංහ නඩුවේදී ප්‍රිවි කවුන්සිලයේ පියර්ස් ඡැ්රජැ සාමිවරයා කළ ප්‍රකාශය එම නඩුවට ඍජුවම අදාළ නොමැති ආගන්තුක වැකියක් වුවද, ඉන් සෝල්බරි ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන් වෙන්විය යුතුය යන මතයට රුකුලක් ලැබුණි.


මැතිවරණයේදී තෝරා පත්කරන මන්ත්‍රීන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ද කටයුතු කිරීමට ජනවරමක් දෙන ලෙස 1970 මහා මැතිවරණයේදී සමගි පෙරමුණ ඉල්ලා සිටියේය. 84.9% තරම් විශාල ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළ එම මැතිවරණයේදී සමගි පෙරමුණ තෝරා පත්වූ මන්ත්‍රීධුර 151 න් 116ක් දිනා ගනිමින් 48.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවූ විට පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලු‍ පක්ෂ සහභාගි වීමෙන් එම ක්‍රියාවලියට සුජාතභාවයක් ලැබිණ. එහෙත්, සම්මත කරන ලද ව්‍යවස්ථාවට එවැනි සුජාතභාවයක් නොලැබුණි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට තීරණය කළ පසු ෆෙඩරල් පක්ෂය සිය සහභාගිත්වය අත්හිටුවීය. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවට විරුද්ධ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ක්‍රියාවලියට සියලු‍ පක්ෂ එකඟ වීම විශාල ජන සහායක් ඇති ව්‍යවස්ථාවක් සැදීමට උදාවූ මහඟු‍ අවස්ථාවක් විය. එහෙත්, 2/3ක බහුතර ආසන සංඛ්‍යාවක් ලැබුණද මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%කට අඩු ප්‍රමාණයක් ලබාගත් සමගි පෙරමුණ තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව රට මත පැටවූ බව සම්පාදක මණ්ඩල වාර්තාවලින් පැහැදිලි වේ. නව ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායකයේ කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තදට බලපෑය. 1970-72 ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය.


1970 ව්‍යවස්ථාදායකයේ කාලය දික් කිරීම, 1977 පාර්ලිමේන්තුවේ කාලය වසර හයකින් දික් කිරීමට ජනාධිපති ජයවර්ධනට පූර්වාදර්ශයක් ද විය. ඒ සඳහා ජනතාවගේ ‘කැමැත්ත’ කුප්‍රකට ජනමත විචාරණයේ දී ලැබුණි. එම ජනමත විචාරණය තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීම, බහුතරවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනමත විචාරණයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳ පාඩමක්ද වේ.


පෙරකී සුවිශේෂ තත්වයන්වලදී හැර, පවතින ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියාවලිය මගහැර වෙනත් ආකාරයකින් ව්‍යවස්ථාවක් ඇති කිරීම ඉතා භයානක ප්‍රතිඵල ගෙන දිය හැක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජයග්‍රහණයෙන් පසු ජනමත විචාරණයක් පවත්වා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පිහිටුවූවේ නම් එයින් සෑදෙන ව්‍යවස්ථාවේ හැඩතල කෙසේ වන්නේද කියා සිතේ මවාගත හැක!


වත්මන් ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන වෙනස් කර ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමේ අදහසට ලියුම්කරු නැවත තම සහාය ප්‍රකාශ කර සිටී. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පැවැත්වූ පෙර කී කතිකාවේ සම්පත් දායකයෙකු වූ, ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් හරහා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අදහස වෙනුවෙන් පෙනී සිටින එකමුතුවේ මූලිකයෙකු වන ජාත්‍යන්තර අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු එවැනි ක්‍රියාවලියක් සඳහා වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිඊමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම ගැන දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන සමග සාකච්ඡා කළ යුතුය. එහෙත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ක්‍රියාවලියට සීමා නොකොට නව ව්‍යවස්ථාවක අන්තර්ගතයටද අවධානය යොමු කළ යුතුය. ■

බැසිල්ගේ පුරවැසිකම
ගැන නඩුව පෙබරවාරි

0

■ අමන්දිකා කුරේ


ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීම, මුදල් ඇමති ලෙස දිවුරුම් දීම හා එම ධූරයේ කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් අභියායචනාධිකරණයට යොමු කළ රීට් පෙත්සම පෙබරවාරි 07 යළි කැඳවීමට දින නියම කර තිබේ.


උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනෙක් ගොනු කළ මෙම රීට් පෙත්සම සඳහා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂය.
ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතීව කටයුතු කිරීම හා ඇමරිකාව වෙනුවෙන් අනෙකුත් රටවල් සමග යුධ වැදීමට වුවද දිවුරුම් ලබා දෙන හෙයින් යුගදනවි බලාගාර ගිවිසුම රහසිගතව අත්සන් කළේ එම පක්ෂපාතීත්වය වෙනුවෙන් දැයි සැකයක් මතුවන බව විජේදාස රාජපක්ෂ මහතා එම නඩුව කැඳවූ ජනවාරි 12 වැනිදා අධිකරණයේ දී පෙන්වා දුන්නේ ය.


වෙනත් රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යටත්ව කටයුතු කරන බවට දිවුරුම් දී තිබියදී තවත් රටක මුදල් ඇමති ධූරය තබා කාර්යාල කාර්ය සහායක තනතුරක්වත් නීත්‍යානුකූලව දැරීමට නොහැකි බව විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ ය.


මෙම පෙත්සම ගොනු කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරනවාටත් වඩා ඔහු එම ධූරයේ කටයුතු කිරීම වළක්වන අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙයි.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මෙරිල් පුල්ලේ විසින් මෙම පෙත්සම විභාගයකින් තොරව ඉවත දමන ලෙසට අධිකර්ණයෙන් ඉල්ලා සිටිය ද විත්තිකරුවන් වන බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම් හා නීතිපතිවරයා යන තිදෙනාට එරෙහිව නොතීසි නිකුත් කරන ලෙස පැමිණිලි පාර්ශවයට නියෝග කරන ලදි.
අභියායචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම රීට් පෙත්සම කැඳවන ලදි.■

සපුගස්කන්දේ නැප්තා නෑ විදුලි බලාගාර අර්බුදයක

0

■ ඉඳුවර බණ්ඩාර


සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ තාප විදුලි බලාගාර ධාවනය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන වර්ගයේ කිසිඳු තොගයක් නැති බව එම බලාගාරයේ ඉහළ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.


මේ අතර ජනවාරි 13 දින දහවලේ සිට රටේ විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්දි කිරීමට සිදුවූයේ ඩීසල් හා නැප්තා නොමැති වීමෙන් විදුලි බලාගාර ධාවනය කිරීමට නොහැකි වීම නිසා බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය. මෙසේ ඩීසල් හා නැප්තා නොමැති වීමෙන් ධාවනය කිරීමට නොහැකි වී ඇත්තේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ චක්‍රීය බලාගාරය සහ ජී 7 යනුවෙන් හඳුන්වන බලාගාරය බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු පැවසීය.


නැප්තා සපුගස්කන්ද බලාගාරය තුළින් බොරතෙල් පිරිපහදු කර ලබා ගන්නා අතර බොරතෙල් ගෙන්වීම සඳහා මුදල් නොමැතිකමින් දෙවන වරටත් එම බලාගාරය ජනවාරි 03 වැනිදා වසා දමනු ලැබීය. එමෙන්ම විදුලි බල මණ්ඩලයට ඩීසල් සැපයීමද මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව නවතා දමා ඇත.


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ විදුලි බල මණ්ඩලය සඳහා ඉන්ධන ලබාදීමට නම් මුදල් ගෙවිය යුතු බවයි. විදුලි බල මණ්ඩලය මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 90ක පමණ මුදලක් ගෙවීමට තිබේ.


ජල විදුලිය සීමා වන අවස්ථාවලදී උපරිම ලෙස තාප විදුලි ජනනය සිදුවන අතර ඒ සඳහා ඩීසල්, දැවි තෙල් හා නැප්තා යන වර්ග භාවිතා කරනු ලැබේ. කැළණිතිස්ස විදුලි බලාගාරයේ ඇති විදුලි ජනක යන්ත්‍ර කිහිපයක් මෙන්ම එම පරිශ්‍රයේ තිබෙන පෞද්ගලික බලාගාරද ඉන්ධන භාවිතයෙන් ධාවනයේ යෙදෙන අතර කෙරවලපිටයේ ඇති බලාගාරද ඉන්ධන භාවිතයෙන් ධාවනයේ යෙදේ. ඊට පරිබාහිරව තිබෙන අනිකුත් පෞද්ගලික බලාගාර මෙන්ම කොළඹ වරාය තුළ තිබෙන බාජ් බලාගාරයද ඉන්ධන භාවිතයෙන් විදුලි ජනනයන් සිදු කරයි.■

රංගජීව නිදහස් කළාට අභියාචනයක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුවේ පළමු විත්තිකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පැවසීය.
ඒ සඳහා ඝාතනයට ලක්වූ සිරකරුවන්ගේ ඥාතීන්ගෙන් එම සංවිධානයට ඉල්ලීම් ලැබී ඇතැයිද ඔහු පැවසීය.


යම් ආකාරයකින් පළමු විත්තිකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අභියාචනයක් සිදුනොකරන්නේ නම් ඒ සඳහා විශේෂ අධිකරණ අවසරයක් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.


ඔහු පැවසුවේ එම නඩුවේ දෙවන විත්තිකරුට ලබාදුන් දඬුවම නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්නට යන බන්ධනාගාර නිලධාරීන් ආදර්ශයට ගත යුතු එකක් බවත් අවසානයේ දඬුවම් ලබන්නේ නියෝග දුන් අය නොව ඒවා ක්‍රියාත්මක කළ අය වන නිසා බවත්ය. එසේම තමන් භාරයේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම වගකීමද එම තීන්දුවෙන් අවධාරණයට ලක්කරන බවය.


එසේම ඔහු තවදුරටත් පැවසුවේ අධිකරණය මගින් යම් යුක්තියක් ලැබුණද එය කුණු කූඩයට තත්වයක්ද ඇති බවත් ඒ සඳහා හේතුව වන්නේ අධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයින්ට ජනාධිපතිවරුන් සමාව දීම බවත්ය.


2012 වර්ෂයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එම නඩුවේ දෙවන විත්තිකරු වූ එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. එහි පළමු විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව චෝදනාවලින් නිදහස් කළේය. ■

දහතුන ක්‍රියාත්මක කරවන්න
දමිළ පක්ෂ ඉන්දීය අගමැතිට ලියයි

0

■ අමන්දිකා කුරේ


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ විධිවිධාන සහිතව ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් ඉන්දියානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ දමිළ පක්ෂ හතක් විසින් ලිපියක් යොමු කිරීමට නියමිතය.
ඉන්දු ලංකා ගිවිසුවේ සඳහන් ආකාරයට තවදුරටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකාවේ දමිළ භාෂාව කතා කරන ජනතාවට ලබා දුන් පොරොන්දු හා ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමක් ද වන බැවින් එලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.


උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයෙන් අත්පත් කරගැනීම නැවැත්වීම හා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරවීම තුළ දමිළ භාෂාව කතා කරන ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අභ්‍යන්තර ස්වයංනීර්ණ අයිතිය ද බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ලිපියේ සඳහන් ය.


මේ සඳහා දමිළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඒ සඳහා, තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්), ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ජනතා ජාතික සන්ධානය (ටීපීඑන්ඒ), ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ, සහ දෙමළ ජාතික පක්ෂය (ටීඑන්පී) යන පක්ෂ විසින් අත්සන් තබා තිබේ. මෙම ලිපිය යැවීම සම්බන්ධයෙන් මුල සිට ම සාකච්ඡා වලට සම්බන්ධ වූ දමිළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා කඳුකරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන දමිළ පක්ෂ ලිපියේ සඳහන් ඇතැම් කරුණු වලට එකඟ නොවීම හේතුවෙන් අත්සන් නොකිරීම විශේෂත්වයකි.

මෙම ලිපිය තුළ ඉන්දියානු සම්භවයක් සහිත කඳුරට දමිළ ජනතාවගේ අභිලාෂයන් වලට අවධානයක් යොමු නොවීම නිසා දමිළ ප්‍රගතිශීලී පෙරමුණ මෙම ලිපියට අත්සන් කිරීමෙන් වැළකී තිබෙන අතර ෆෙඩරල් විසඳුමක් ඉල්ලීම හා ඒ තුළින් යම් ස්වයං නීර්ණයක් බලාපොරොත්තු වීම නිසා කඳුරට ජනතා පෙරමුණ මෙම ලිපියට අත්සන් කිරීමෙන් වැළකී තිබේ.


අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාම් කාරියප්පර් ප්‍රකාශ කළේ යම් නො එකඟතා මත මෙම ලිපියට සිය පක්ෂය අත්සන් නොතැබූවද දමිළ භාෂාව කතා කරන ජනතාව නියෝජනය කරන පක්ෂයක් වශයෙන් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.


පසුගිය නොවැම්බර් මාසයේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම සඳහා ඉන්දියානු සංචාරයක නියැළුන ද ඉන්දියානු අගමැතිවරයාගේ කාර්යබහුලත්වය නිසා ඒ අවස්ථාව අහිමි වූ අතර පසුව දමිළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ට ඉන්දීය අගමැතිවරයා හමුවීමට ආරාධනාවක් ලැබුණි.


නමුත් අප කළ විමසීමක දී, සම්බන්ධන් මහතාගේ පෞද්ගලික හේතුවක් නිසා එම ආරාධනය සිදු කළ දිනට සාකච්ඡාවට සම්බන්ධ නොවන බවත් ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම් ලිපියකින් ඉන්දියානු අගමැතිවරයාට දැනුම් දීමට නියමිත බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් පැවසුවේය.


මෙම ලිපිය ඉදිරියේදී ඉන්දියානු මහකොමසාරිස්වරයා හරහා ඉන්දියානු අගමැතිවරයාට යැවීමට නියමිත ය.■

චීන පොහොරවලට ගැළපෙන්න
එස්එල්එස් ප්‍රමිතිය
වෙනස්කරන වෑයමක්

ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ චීනයේ ඝන කාබනික පොහොර රටට ගෙන්වා ගැනීම සඳහා ඒ සඳහා පවතින ප්‍රමිතිය වෙනස් කිරීම හෝ අලුත් ප්‍රමිතියක් සකස් කරන ලෙසට ආණ්ඩුව පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


ජනවාරි 11 වැනිදා පැවති සාකච්ඡාවකදී රජයේ පොහොර සමාගම්වල හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ.


ආනයනික ඝන පොහොර සම්බන්ධයෙන් දැනට පවතින ශ්‍රී ලංකා ප්‍රමිතිය වන්නේ අංක 1704 යනුවෙන් යුතු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ප්‍රමිතිය වන අතර එයට අනුව කිසිඳු ක්ෂුද්‍ර ජීවියකු අඩංගු ඝන කාබනික පොහොරක් ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකිය. ඝන කාබනික පොහොර ආනයනය කිරීමේදී ඒ සඳහා අනුමැතිය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය අංක 1704 ප්‍රමිතියට අනුකූලදැයි පරික්ෂාවට ලක්කරන අතර එය ඒ මගින් ලබාදෙන බලපත්‍ර කොන්දේසිවලට ඇතුළත් කර තිබේ. චීන සමාගමෙන් ඝන කාබනික පොහොර ගෙන්වීමේ ගනුදෙනුව සමථයකට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ණයවර ලිපි ප්‍රකාරව ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල වෙනුවෙන් හා ඉන්පසු ගෙවීමට නියමිත මුදල වෙනුවෙන් යළි පොහොර තොගයක් පැමිණීමට නියමිත බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇත. මීට දින කිහිපයකට පෙර පොහොර විෂය භාර රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ සිංගප්පූරු රසායනාගාරවලින් ප්‍රමිතිය සමත් වූ එම චීන සමාගමේ පොහොර ශ්‍රී ලංකාවේ රසායනාගාරවලින් අසමත්වීම සැකයක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළ යුතු බවයි.■