වාහනයක් මිලදී ගැනීම සහ එහි කල්බදු වාරික ගෙවීම සඳහා මුදල් උපයාගත් මූලාශ්‍ර තහවුරු කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කර තිබේ.
අද (6) අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ විමර්ශන අවසන් කර ඊට අදාළ කරුණු නොවැම්බර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් නොවැම්බර් 3 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් බව සඳහන් වන Honda Vezel වර්ගයේ මෝටර් රථයක් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ. මෙම විමර්ශනවලට අදාළව ඇයට අමතරව තවත් පුද්ගලයන් කිහිපදෙනකු සතුව තිබූ මෝටර් රථ සහ ලොරි රථ ඇතුළු වාහන කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් අනාවරණය වූ මූල්‍ය අක්‍රමිකතා මෙම විමර්ශන සඳහා පාදක වී තිබේ. එම ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතාට රුපියල් කෝටි 500කට අධික මුදලක් සම්බන්ධ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර, ඔහු 2026 අප්‍රේල් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විමර්ශන වාර්තාවලට අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ මාසික වැටුප රුපියල් 140,000ක් පමණ වන අතර, ඇය පරිහරණය කළ මෝටර් රථයේ මාසික කල්බදු වාරිකය රුපියල් 132,000ක් පමණ වී තිබේ. එම වාරික ගෙවා ඇත්තේ මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් බවට අනාවරණය වී ඇත.


