No menu items!
23.2 C
Sri Lanka
18 June,2025

දේවත්වයේ තිරය පිටුපස – තිසරණි ගුණසේකර

Must read

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර මේ මස මුලදී රැස්වීමක් පැවැත්වුණි. මාධ්‍ය වාර්තාවලට අනුව මෙම රැස්වීමේ අරමුණ වූයේ රුසියානු-යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ලෙස මැදිහත් වී ඇති විශ්‍රාමික ලාංකික ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ඛේදවාචකය පිළිබඳ සාකච්ඡා කිරීමය. විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප්වලත් හමුදා සාමාජිකයන් සඳහාවූ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේත් පවතින දීර්ඝකාලීන ප්‍රශ්න පිළිබඳව මෙහිදී කතා වූ බව වාර්තා විය.

රුසියා-යුක්‍රේන යුද්ධයට විශ්‍රාමික ලාංකික හමුදා භටයන් 554ක් පමණ කුලී හේවායන් ලෙස සම්බන්ධව ඇති බවත් ඉන් 59ක් මියගොස් ඇති බවත් මේ වසරේ ජනවාරියේදී විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය. ප්‍රශ්නයේ මුලට ඇත්තේ මුදල් බවද නොරහසකි. ඇතැමුන් රුසියානු හෝ යුක්‍රේන හමුදාවලට සම්බන්ධ වීම සඳහාම ලංකා හමුදාවෙන් විශ්‍රාම ලැබූ බවද වාර්තා විය. තමන් ලබන වැටුප හෝ විශ්‍රාම වැටුප තම ජීවිතය ගෙනයාමට ප්‍රමාණවත් නොවීම මෙම ප්‍රශ්නයට මූලිකම හා එකම හේතුවයි. ඇතැම් වෘත්තීයමය කුලී හේවායන් මෙන් මෙම ලාංකිකයන් රුසියාවට හෝ යුක්‍රේනයට ගියේ යුද්ධයක් නැතිව තමන්ට ජීවත්වීමට බැරි නිසා නොවේ; ලැබෙන ආදායමෙන් ගෙයක් හදා, ළමුන්ට උගන්වා, ණය නොවී ජීවත්වීමට නොහැකි නිසාය. ඊළාම් යුද්ධය අවසන්වූ මැයි 19දා පැවති ‘නිල රණවිරු’ සමරුවේදී හෝ ඒ දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් සිදුවූ ‘රණවිරු’ ප්‍රණාමයන්හි මෙම ප්‍රශ්නය කතා වූ බවක් වාර්තා නොවිණි.

ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ලා ගන්නා සියල්ලන් සදාකාලික ‘රණවිරුවන්’ය යන මතය නිර්මාණය කළේ රාජපක්ෂවරුන්ය. ඒ මානසික රාමුවට කොටු වූ පසු පෙනෙනුයේ, දකිනුයේ, වැදගත් වනුයේ උත්කර්ෂයට නැගෙන රණවිරුවා නම් ප්‍රපංචය විනා ලෙයින් මසින් සැදුණු සොල්දාදුවා නොවේ. ඒ රාමුවට කොටු වූ විට පෙනෙනුයේ ‘රණවිරුවාගේ’ කැපවීම, වීරත්වය පමණි. සාමාන්‍ය සොල්දාදුවා මුහුණ දෙන (අනෙක් පුරවැසියන්ටද පොදු වූ) ලැබෙන ආදායමෙන් ජීවිතය ගැට ගසා ගැනීමේ ප්‍රශ්නය එවිට නොපෙනේ.

රාජපක්ෂවරුන් අපට දායාද කළ අනෙක් චින්තනමය විකෘතිය නම් ‘රණවිරුවා’ කිසිදාක වැරදි නොකරන්නෙක්ය යන ඇදහිල්ලයි. මේ ඇදහිල්ල ප්‍රශ්න කරන්නන් අදටත් සැලකෙනුයේ ‘දේශද්‍රෝහීන්’ ලෙසය. ආර්ථික හේතූන් නිසා රුසියානු-යුක්‍රේන යුද්ධයට යන විශ්‍රාමික හමුදා සාමාජිකයන් එසේ කරනුයේ රටේ නීතිය උල්ලංඝනය කරමිනි. ඔවුන් කරනුයේ නීති විරෝධී ක්‍රියාවකි. කිසිදා වරදක් නොකරන ‘රණවිරුවන්’ මෙලෙස (තම ආර්ථික පැවැත්ම වෙනුවෙන්) රටේ නීතිය කැඩීම ගැන ‘රණවිරුවන්’ දේවත්වයෙන් පුදනවුන් කතා කරන්නේ නැත.

යුද්ධයෙන් පසු මේ වන විට වසර 16ක් ගතව ඇත. මෙයින් 9ක් පමණ ඍජුවම රට පාලනය කළේ ‘රණවිරුවන්ගේ’ අසහාය ආරක්ෂකයා වූ රාජපක්ෂවරුන්ය. එසේ නම් හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුපේත්, හමුදා සාමාජිකයන් සඳහා වූ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම පැටුප් ක්‍රමයේත් දීර්ඝකාලීන ප්‍රශ්න තිබිය හැකිද? ‘රණවිරුවන්ට’ වඳින පුදන මේ නායකයන් ඔවුන්ගේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය නොවිසඳුවේ මන්ද?

ලංකාවේ ‘රණවිරු’ වන්දනාව සත්‍යයක් නම් විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට හෝ මියගියවුන්ගේ පවුල්වලට විශ්‍රාමික වැටුප් ගැටලු තිබිය හැකිද? විශ්‍රාමික හමුදා සෙබළුන් රුසියා-යුක්‍රේන් යුද්ධයට කුලී හේවායන් ලෙස මැදිහත් විය හැකිද?
අපේ ‘රණවිරු’ වන්දනාව දේශපාලකයන් ප්‍රමුඛ විවිධ සමාජ කොටස් (ඇතැම් ඉහළ හමුදා නිලධාරීන්ද ඇතුළුව) තම උවමනාවන් වෙනුවෙන් කරන නර්තනයක් බව ඉහත නොවිසඳුණු ගැටලු දෙකෙන් නොපෙනේද?

සත්‍ය කතාව නම්, හමුදා සේවයට බැඳෙන අති බහුතරය (විශේෂයෙන්ම සාමාන්‍ය සොල්දාදුවන් ලෙස) එසේ කරනුයේ වෙනත් රැකියාවක් හෝ වඩා හොඳ රැකියාවක් නොමැති නිසා බවය. ඔවුන්ට ඇත්තේද අනෙකුත් කම්කරු හා පහළ ශ්‍රේණි රැකියා නියුක්තිකයන්ට ඇති ප්‍රශ්නමය. වසරකට වරක් ප්‍රතිමාවන් මලින් පුදනවාට වඩා, සාමාන්‍ය වෘත්තිකයන් සතු බොහෝ වෘත්තීය අයිතීන් නොමැති මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රශ්න විසඳීම වඩා කාලෝචිත නොවන්නේද? ඒ ප්‍රශ්න තිරය පිටුපස පල්වෙන්නට ඉඩ හැර තිරය ඉදිරිපිට කරන මේ වන්දනාව තම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ගෙනයන ව්‍යාජයක් නොවේද?

යුද්ධයෙන් එහා

රිචඩ් වැන් එම්ඩන් යනු පළවන ලෝක මහා යුද්ධය පිළිබඳ ඉතිහාසඥයෙකි. 2008දී ඔහු The Soldier’s War; The Great War Through Veteran’s Eyes– සොල්දාදුවාගේ යුද්ධය) නමින් පොතක් පළකළේය. මෙයට පදනම් වූයේ පළවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ සාමාන්‍ය බි්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ ලිපි, දිනපොත් හා ඔවුන් ගත් ඡායාරූපය.
යුද්ධය අතරතුර බි්‍රතාන්‍ය දේශපාලකයන් තමන් ‘විරුවන්ට සරිලන දේශයක්’ නිර්මාණය කරන බවට පොරොන්දු වූ අයුරු පොතේ සඳහන් වේ. නමුත් යුද්ධය නිමාවී පැමිණි සාමාන්‍ය සොල්දාදුවන් මුහුණ දුන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් යථාර්ථයකටය. ඔවුන්ට විශ්‍රාමික වැටුප්, නිවාස හා සුබසාධන ප්‍රශ්න විය. ආබාධිත වූවන්ට දිවි ගැටගසා ගැනීමත්, ආබාධිත නොවූවන්ට සිවිල් රැකියාවක් ලබාගැනීමත් අපහසු විය. යුද්ධ බිමේ මියගිය සෙබළුන්ගේ පවුල්වල තත්වය මීටද කටුක වූ බව පොත විස්තර කරයි.

අන්තර්ජාලයේ දැකිය හැකි ප්‍රසිද්ධ ඡායාරූප දෙකකින් මෙම කටුක යථාර්ථය පැහැදිලි වේ. එකක් පළවෙනි ලෝක යුද්ධයේ එක් පාර්ශ්වයක නායකයා වූ ජ’මනියෙනි. 1923 ගත් මෙම ඡායාරූපයෙන් ආබාධිත ජ’මන් සෙබළෙකු (ඔහුට පාදයක් අහිමිව ඇත) තම නිල ඇඳුමෙන් බර්ලින් වීදියක සිඟමන් යදිනු දැක්වේ. දෙවන ඡායාරූපය යුද්ධයේ අනෙක් පාර්ශ්වයේ නායකත්වය ගත් බි්‍රතාන්‍යයේ සෙබළෙකු තම නිල ඇ`ඳුමෙන් කැන්ටබරි නගරයේ වීදියක ගිනිපෙට්ටි විකුණනු දක්වයි. එයද 1930 ගණන්වල ගැනුණු ඡායාරූපයකි.

දෙවන ලෝක මහා යුද්ධ සමයේදී ඇමරිකා එක්සත් ජනපදයත්, බි්‍රතාන්‍යයත් අනාගත විශ්‍රාමික සෙබළුන්ගේ යහපත වෙනුවෙන් සැලසුම් සකස් කළේ යුද්ධය අතරතුරය. මේ අතුරින් ඇමරිකාවේ ඨෂ පනත  සුවිශේෂය. පක්ෂ දෙකේම ඒකමතිකයෙන් 1944 සම්මත වූ මෙම පනතේ අරමුණ වූයේ විශ්‍රාමික සොල්දාදුවන්ට සිවිල් ජීවිතය ජයගැනීමට උදව් කිරීමයි. එහි අඩංගු වූ වැඩසටහන් අතර, සරසවියක හෝ වෙනත් තෘතීයක අධ්‍යාපන ආයතනයක සිව් වසරක් ඉගෙනුම ලැබීමට අවස්ථාව සැලසීම, ඒ සිව් වසර සඳහා මාසික ශිෂ්‍යාධාරයක් ගෙවීම හා නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ ගොවිපලක් ඉදිකිරීමට හෝ මිලට ගැනීමට අඩු පොලී ණයක් ලබාදීම විය.

මෙම පනත අතිශයින් සාර්ථක වූ බව දත්ත පෙන්වා දේ. යුද්ධයෙන් පසු විශ්‍රාම ගිය සෙබළුන්ගෙන් 51%ක් පනතින් දුන් අධ්‍යාපන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. බොහෝ විට තම පවුලෙන් මුලින්ම තෘතීයක අධ්‍යාපනයක් ලැබුවෝ ඔවුහු වූහ. ඉහළ අධ්‍යාපන කුසලතා හා නිපුණතා නිසා වැඩි වැටුප් හා දියුණු වීමේ අවස්ථා සහිත රැකියා සොයාගැනීමට ඔවුන්ට හැකිවිය. විශ්‍රාමිකයන් මිලියන 4ක් නිවාස මිලට ගැනීම/ඉදිකිරීම කළ අතර ලක්ෂ දෙකක් ව්‍යාපාරික ස්ථාන හෝ ගොවිපළවල් මිලට ගත්හ. ඔවුන්ගෙන් අති බහුතරයකට මධ්‍යම පන්තියට ඇතුළත් වීමට මේ තුළින් හැකිවිය.

නමුත් වියට්නාම් යුද්ධයෙන් පසු ඇමරිකාව සම්බන්ධවූ කිසිදු යුද ගැටුමක සාමාජිකයන් වෙනුවෙන් මෙවැනි සැලසුමක් එරට නායකයන් ක්‍රියාත්මක කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ විශ්‍රාමික සෙබළුන්ගේ පශ්චාත් යුද්ධ ජීවිතය දරිද්‍රතාවට හා අපරාධයන්ට ගොදුරු වීමයි.

ලංකාවේ ‘රණවිරු වන්දනාව’ සත්‍යයක් නම් යුද්ධයෙන් පසු කළ යුතුව තිබුණේ ඇමරිකාවේ ඨෂ පනත වැනි පනතක් තුළින් විශ්‍රාමික සොල්දාදුවන්ට සිවිල් ජීවිතය ජයගැනීමට උදව් කිරීමයි. නමුත් එවැන්නක් සිදු නොවීය. එහි ප්‍රතිඵල අතර විශ්‍රාමිකයන් අගහිඟකම්වලින් මිරිකීම, හමුදාවෙන් පළායාම දිගටම සිදුවීම, පළායන ඇතැමුන් අපරාධවලට යොමුවීම හා විශ්‍රාමිකයන් රුසියා යුද්ධයට කුලී හේවායන් ලෙස එක්වීමද විය.

එක් උදාහරණයක් සලකා බලමු. අපරාධ කල්ලි රුපියල් 10,000 සිට 150,000 දක්වා මුදලකට ඝාතකයන් කුලියට ගන්නා බවත්, මේ අතර හමුදාවෙන් පැනආවුන් බොහොමයක්ද සිටින බවත් පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) ප්‍රධානියා 2023 සැප්තැම්බරයේදී පුවත්පතකට පැවසීය. යුද්ධයෙන් පසු හමුදාවෙන් ඉවත්වීමට උවමනා සාමාජිකයන්ට සිවිල් ජීවිතයට ඇතුළු වීමට අවසර, අධ්‍යාපන හා පුහුණු අවස්ථා හා ජීවනෝපායන් නිර්මාණය කිරීම සඳහා ණය ආධාර ලබා දුන්නා නම් මේ තත්වය වළක්වා ගත හැකිව තිබුණා නොවේද? මේ කළ යුත්ත නොකිරීම අපරාධ රැල්ල අහස උසට වර්ධනයට දායක නොවූයේද?

ඇමරිකාව දියුණු රටක් බැවින් විශ්‍රාමික සෙබළුන් වෙනුවෙන් මහා ධනයක් වැය කළ හැකි බවත් ලංකාවට එවන් මූල්‍යමය ශක්තියක් නොමැති බවත් යමකු කියන්නේ නම්, ඊට පිළිතුර අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය සලකා බලන ලෙසය.
ඇමරිකාවේ පෙන්ටගන් ගොඩනැගිල්ල කොපි කරමින් නිර්මාණය වන මෙම මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු තවමත් නිම කර නොමැති බව වාර්තා වේ. 2019දී තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට ලැබුණු ප්‍රතිචාරය අනුව, ඒ වන විට ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 64ක් වැය වී ඇති බවත් ඉදිකිරීම් නිමකිරීමට තවත් රුපියල් බිලියන 100ක් අවශ්‍ය බවත් වාර්තා විය.

අපේ පාලකයන් ඇමරිකාවේ පෙන්ටගනය කොපි කරනවා වෙනුවට ඇමරිකාවේ ඨෂ පනත අනුකරණය කළා නම් ඉන් රණවිරු වන්දනාවට කෙසේ වෙතත් සැබෑ සොල්දුදාවන්ට වඩා යහපතක් වනවා නොවේද?

අකුරේගොඩ ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ උපදේශක කටයුතු බාරදී තිබුණේ මුදිත ජයකොඩි සමාගමටය. ඒ මහින්ද රාජපක්ෂ පාලන සමයේය. සමාගම තෝරාගැනීමත් ඊට මුදල් ගෙවීමත් සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ නිසි දැනුවත් කිරීමකින් තොරව බව 2016දී එවකට කැබිනට් ප්‍රකාශක වූ රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. මුදිත ජයකොඩි සමාගමට මේ වෙනුවෙන් රුපියල් මිලියන 606ක් ගෙවා ඇති බවද ඔහු සඳහන් කළේය.

කුප්‍රකට මල්වානේ නිවසේ මුල් හිමිකරු බව කියවුණේද මෙම මුදිත ජයකොඩිමය. නිවසේ අයිතිකාරිත්වය පිළිබ`ඳ විවිධ අවස්ථාවල ඔහු පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකළේය. 2022 ජනවාරි 25දා ඔහු උසාවියේදී කියා සිටියේ අක්කර 61ක් වු මල්වානේ ඉඩමේ නිවස සැදුවේ තම මුදලින් නොවන බවත් ඒ සඳහා තමන්ට මුදල් දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවත්ය. පසුව අධිකරණය බැසිල් රාජපක්ෂ මහතා චෝදනාවලින් නිදහස් කළේය.

මේ දිනවල විභාග වන මාතර එළියකන්ද ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ තෙවන විත්තිකාරයා බැසිල් රාජපක්ෂ මහතාය. දෙවැනි විත්තිකරු අකුරේගොඩ ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ උපදේශක කොන්ත්‍රාතුවෙන් පිදුම් ලැබූ මුදිත ජයකොඩි මහතාය.

ඇමරිකාවේ ඨෂ පනත අනුකරණය කරනවා වෙනුවට ඇමරිකාවේ පෙන්ටගන් ගොඩනැගිල්ල කොපි කිරීමට රාජපක්ෂවරුන් 2010දී තීරණය කළේ මන්ද යන්න පැහැදිලි විය යුතුය.

2012 පැවැති ‘රණවිරු සැමරුම’ අමතමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා උදම් ඇනුවේ ලෝකයේ හොඳින්ම ‘රණවිරුවන්’ රැකබලා ගන්නේ ලංකාව බවයි. ඒ වන විටත් ‘රණවිරුවෝ’ දහස් ගණනක් රාජපක්ෂ පවුලේ නිවෙස්වල අන්තේවාසිකයන් ලෙස කටයුතු කරමින් සිටි බව වාර්තා වේ.

ආබාධිතයන්ට කෘත්‍රිම අත් පා සැපයීමේ වැඩපිළිවෙළක් 2024 මැයි මස ඉන්දීය ආධාර සහිතව ඇරඹුණු බවත් ඒ යටතේ යුද්ධ හමුදාවේ 375 දෙනකුටත්, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ හා පොලිසියේ 75 දෙනකුටත් කෘත්‍රිම අත් පා ලබාදීමට සැලසුම් කරන බවත් මාධ්‍ය වාර්තා කළේය. ඒ 2024 වසරයි; යුද්ධය නිමාවී වසර 15කට පසුවය. එයින් අදහස් වනුයේ යුද්ධයෙන් වසර 15කට පසුත් යුද්ධයෙන් අත්පා අහිමිවූ ආරක්ෂක හමුදා හා පොලිසි සාමාජිකයන් අවම වශයෙන් 450ක් අත් පා නොමැතිව සිටි බව නොවේද?

මේ ‘රණවිරුවන්’ පුදන රටේය; ලොව කාටත් වඩා ‘රණවිරුවන්’ රැකබලා ගන්නා රටේය; පෙන්ටගන් පන්නයේ ආරක්ෂක හමුදා මූලස්ථානයක් වෙනුවෙන් 2010 සිට 2015 දක්වා රුපියල් බිලියන 64ක් වැයට කළ රටේය.

අනුන්ගේ පව් කරගැසීම

ලංකාවේ පශ්චාත් කම්පන ආතති ආබාධය  පිළිබඳ පළමු අධ්‍යයනය සිදු කළේ නීල් ප්‍රනාන්දු හා රුවන් එම් ජයතුංග යන වෛද්‍යවරුන් විසිනි. මේ අධ්‍යයනයට අනුව යුද්ධයට සම්බන්ධ වූවන්ගෙන් 8%-12%ක් පමණ බරපතළ ගැටුම් ආතතියෙන් පෙළෙන බව අනාවරණය විය.

2009 මැයි මස සිට 2012 දෙසැම්බර් අතර පමණක් හමුදා සාමාජිකයන් 400කට ආසන්න ප්‍රමාණයක් දිවි නසා ගත් බව නිල වාර්තා සඳහන් කරයි.

‘රණවිරු’ වන්දනාවට කැප වෙන දේශපාලන නායකයන් යුද්ධයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ හමුදා සාමාජිකයන්ගේ ඡඔීෘ හා අනෙක් මානසික ගැටලු ගැන වැඩි යමක් කියන්නේ නැත.

ඡඔීෘ යනු ගැටුමකට සම්බන්ධ වූ ලොව සියලුම හමුදාවල සාමාජිකයන් විවිධ මට්ටම්වලින් මුහුණ දෙන පොදු ප්‍රශ්නයකි.
අවියාහි ලෙවී (්ඩය්ස ඛැඩස) යනු මින් පෙර පැවති ගාසා ප්‍රහාරයකදී ආබාධිත වූ ඊශ්‍රායල් හමුදා සාමාජිකයෙකි. ආබාධිත හා විශ්‍රාමික සෙබළුන්ට ලබා දෙන දීමනා කප්පාදු කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය කළ යෝජනාවක් පිළිබඳව 2024 දෙසැම්බර් 23 දා ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට ලෙවී මහතාද සහභාගි විය. ‘මට මළමිනිවල සුවඳ දැනෙනවා’ ඔහු එහිදී කියා සිටියේය. රාත්‍රියට නිදැගැනීමට මත්පැන් පානය අවශ්‍ය බවත්, ණයට වැටී ඇති තම පවුල බංකොලොත් භාවය අබියස සිටින බවත් ඔහු කීවේය. තම බිරිඳ පෙන්වමින්, “මේ මගේ බිරිඳ. ගිය අවුරුද්දේ මම කීප වතාවක් මේ අත්දෙකින් ඇයව මරා දැමීමට උත්සාහ කළා” ඔහු කෑගැසුවේය. ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයා දෙසට හැරුණු ඔහු ‘ඔබ මේ තත්වයේ වගකීම බාර ගෙන මා වැටී ඇති කුණු ගොඩින් මුදා නොගන්නේ මන්දැ’යි ඇසුවේය.
ඉතාමත් අනුවේදනීය මේ කතාවෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයා කියා සිටියේ ආබාධිත හා විශ්‍රාමික සෙබළුන්ගේ දීමනා කප්පාදුව සිදුවන බවය.

මේ සිදුවීම වූයේ ගාසා ජන සංහාරක යුද්ධය ආරම්භ වී දෙමසකට පසුවය. දැන් ඒ ජනසංහාරක යුද්ධයට මාස 19ක් ගතව ඇත. ඊශ්‍රායල් හමුදා යුද්ධ අපරාධ සිදුකරන බව ජාත්‍යන්තර සංවිධාන හා ලොව බොහෝ රටවල් පමණක් නොව ඊශ්‍රායල් දේශපාලන නායකයෝද පිළිගනිමින් සිටිති. හිටපු ඊශ්‍රායල් අගමැතිවරයකු වූ එහුඩ් ඔල්මර්ට්  මහතා ඊශ්‍රායලයේ හරෙට්ස් පුවත්පතට 2025 මැයි 27 වැනිදා ලිපියක් ලියමින් ‘ඔව්, ඊශ්‍රායලය යුද්ධ අපරාධ සිදුකරමින් සිටී’යැයි පිළිගත්තේය.

මෙම එක් යුද්ධ අපරාධයක් නම් 5 හැවිරිදි හින්ඩ් රජාබ් දැරියගේ ඝාතනයයි. 2024 ජනවාරි 29 වෙනිදා හින්ඩ් හා ඇගේ පවුලේ සාමාජිකයන් ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් මිදීම සඳහා පලායමින් සිටියදී ඔවුන් ගමන්ගත් මෝටර් රථයට ඊශ්‍රායල් යුද්ධ ටැංකි ප්‍රහාරයක් එල්ල විය. ඇගේ පවුලේ සාමාජිකයන් ක්ෂණිකව මියගියද තුවාල ලැබූ හින්ඩ් පැය ගණනක් ජීවත් වූවාය. ඒ කාලය ඇය ගත කළේ ගමන් අසල වූ ඡඍක්‍ී පණිවිඩ හුවමාරු සබඳතා ඇති දූරකථනයට ‘මට බයයි… අනේ එන්න.’ යයි කොඳුරමිනි. ඇයගේ ඉල්ලීම දැනී ඇයව මුදා ගැනීමට පැමිණි පලස්තීන රතු කුරුස ගිලන් රථය එම හමුදා ඛණ්ඩයේම වෙඩිවලින් විනාශ විය. රථය තුළ සිටි වෛද්‍ය සේවකයෝ දෙදෙනාද මියගියහ.

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටුවා ඇති හින්ඩ් රජාබ් පදනමේ අරමුණ යුද්ධ අපරාධ කරන්නවුන් අධිකරණය ඉදිරියට පැමිණවීමත්, ඔවුන්ව ලෝකයට හෙළිදරව් කිරීමත්ය. මේ යටතේ යුද අපරාධ චෝදනාවලට බඳුන්ව ඇති ‘විනාශකයා’  යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගැල් ෆෙරෙන්බුක්  නම් ඊශ්‍රායල් සොල්දාදුවා තම නිවාඩුව ගත කිරීමට පැමිණියේ ලංකාවටය. ඒ ගතවූ දෙසැම්බරයේය. මේ බව හෙළිදරව් වීමෙන් පසු ඊශ්‍රායල් ආණ්ඩුව ඔහුව යළි ගෙන්වා ගත්තේය. අනුර කුමාර දිසානායක ආණ්ඩුව අඳ ගොළු බිහිරි රඟපෑමක් කරන අතරතුරය.

ඒ දෙසැම්බරයේම අහංගම ප්‍රදේශයේදී ඊශ්‍රායල් සංචාරකයන් පිරිසක් පලස්තීන අයිතීන් ගැන කතාකරන ලාංකික පවුලක නිවසකට පහරදුන් බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. ඊශ්‍රායල් සංචාරකයන් පලස්තීන ප්‍රශ්නය අල්ලාගෙන ලාංකිකයන්ට පහර දෙන තවත් සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බවද පුවත් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායල් සංචාරකයන් හා අරුගම්බේ ප්‍රදේශවාසීන් අතර ප්‍රශ්න හටගෙන ඇත්තේ පලස්තීනය අරබයා නොව සර්ෆින් අරබයාය. අන් ඕනෑම ක්‍රීඩාවක මෙන්ම සර්ෆින්වලද නිවැරදි ක්‍රියා පටිපාටියක් තිබේ. ඒ අතර මුහුදු රැලි අන් අය සමග බෙදාගැනීම හා ප්‍රදේශවාසීන්ට මුල් තැන දීමද වේ. ප්‍රසිද්ධ ලාංකීය සර්ෆින්කරුවකු වන ජීවන් හෝල් මහතා ඊශ්‍රායල් සංචාරකයකු මුහුදු රැලි බෙදා නොගෙන දිගින් දිගටම සර්ෆ් කරනු දැක ඒ ගැන ඔහුට මතක් කිරීමක් කර ඇත. මේ ඊශ්‍රායල් සංචාරකයා ඊශ්‍රායල් හමුදා සාමාජිකයෙකි. ඔහු හෝල් මහතා සමග බහින්බස් වී ඔහුගේ මිතුරන් වූ තවත් සොල්දාදුවන් දෙදෙනකු සමග තර්ජනාත්මකව හැසිරෙන්නත් හීබෲ බසින් බැණවදින්නටත් පටන්ගෙන ඇත. ඔවුන් හෝල් මහතා අත්හැර ඇත්තේ අනෙක් ප්‍රදේශවාසීන් මැදිහත් වීමෙන් පසුවය.

මෙවැනි සිදුවීම් නිසා ප්‍රදේශයේ යම් අනාරක්ෂිත තත්වයක් හටගෙන ඇති බව එහි දිගුකාලීන නිවැසියකු වූ ඕස්ටේ්‍රලියානු ජාතික ජැක් කැම්බෙල් මහතා අල් ජසීරා පුවත් සේවයට කියා සිටියේය. ප්‍රදේශයේ සංචාරකයන් ලෙස පැමිණෙන යුද්ධ අපරාධ චෝදනා ලත් ඊශ්‍රායල් සොල්දාදුවන් ‘කණ්ඩායම් මානසිකත්වයෙන්’ හැසිරෙන බැවින් තම පවුල මෙහි ආරක්ෂිත නැතැයි තමන්ට හැඟෙන බව ඔහු කියයි.

ලංකාවේ ඡඔීෘ ප්‍රශ්නය ගැන කතා කරමින් මනෝ විද්‍යාඥ ප්‍රභාත් ගම්මන්පිල මහතා 2014දී කියා සිටියේ, යුද්ධයේදී කරන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් සොල්දුදාවන් ප්‍රශංසා ලබන බවත් එබැවින් තමන් සිටිනුයේ නීතියට උඩින්ය යන හැඟීම ඔවුන්ට හටගන්නා බවත්, ඒ හරහා අපරාධවලට සම්බන්ධ වීමට ඇති ඉඩ වැඩි වන බවත්ය. ලංකාවේ වත්මන් අපරාධ රැල්ලට පලාගිය හමුදා සාමාජිකයන්ගේ සක්‍රිය දායකත්වය සලකා බලන විට මෙම කතාවේ සත්‍යතාව පැහැදිලි වේ.

2023 ඔක්තෝබරයේ සිට මාස 19ක් විනාශකාරී ජන සංහාරක යුද්ධයක යෙදී සිටින ඊශ්‍රායල් සොල්දාදුවන් තුළ -විශේෂයෙන්ම යුද්ධ අපරාධ කළවුන් තුළ- මෙම මානසිකත්වය කෙතරම් ක්‍රියාත්මකදැයි අනුමාන කළ හැක.

ජීවන් හෝල් මහතාගේ හෝ වෙනත් එවැනි සිදුවීමකදී මෙම සංචාරක ඊශ්‍රායල් සොල්දාදුවන් ප්‍රදේශවාසියකුට දරුණු තුවාලයක් හෝ ජීවිත හානියක් කළහොත් ඇතිවිය හැකි තත්වය ගැන ආණ්ඩුව සිතා බැලුවාද? එවැනි පිපිරීමකින් ජනතාවටත්, ආර්ථිකයටත්, රටටත්, ආණ්ඩුවටත් කෙතරම් නම් හානියක් වේද?

අපේ ‘රණවිරුවන්ගේ’ ප්‍රශ්න විසඳාගැනීමටවත් බැරි අප, අනුන්ගේ ‘රණවිරුවන්ගේ’ ප්‍රශ්න සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් ඔළුවට දමාගන්නේ මන්ද? ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් ලංකාවට පැමිණීම නතර කළහොත් සංචාරක ව්‍යාපාරය බිඳවැටේද? නියපොත්තෙන් තවමත් කඩන්නට හැකි (අපේ වත් නොවන) තවත් ප්‍රශ්නයක් පොරවෙන් කපන්නට බැරි තත්වයට පත්වන තෙක් මේ ආණ්ඩුවත් බලා සිටීද?

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි