No menu items!
21.3 C
Sri Lanka
14 November,2024

රජුන්ට කිරි මුදවපු බලහරුව

Must read

බෙරගල වැල්ලවාය පාරේ කවුරුහරි ගිය කෙනෙක් ඉන්නවා නම් ඔන්න මතකයෙන් යන්න තැනක් කියන්නම්. ඔය පාර පටන් ගන්න තැන බස් එකෙන් බැහැලා පහළට ඇස් වීසි කළාම ඔයාට පහළ ඌව ලස්සනට පේනවා. කකුල් දෙක මුලටම ඇස් අතෑරුණොත් සොරගුණේ, අක්කරසීය, වෙළන්විට, හරක්පට්ටි තැන්න. ඒ අතරින් කූරු කූරු ගල්මලක් වගේ ඉන්න කැලේ කොළපාට තීරු තීරු කැලෑ සේලය එහාට ඇස් උසික්කා කළොත් ඔයාට මැදබැද්ද, වේලිඔය අලුත්වෙල, උස්ඇල්ලට තමයි පාවෙලා හිතින් යන්න වෙන්නේ. බදුල්ල රත්නපුර මොනරාගල දිස්ත්‍රික්ක මායිම් රේඛාවේ එහෙට්ට මෙහෙට්ට වෙන ගම් මේවා.

මේ ඇස්වලින් සොබාව සවුන්දර්ය උරාගැනීමේ ආතල්ලුව ගැන ආර් එල් බ්‍රෝහියර් සෑහෙන්න කාලෙකට කලින් මෙහෙම ලියනවා, ‘ඉහළ ඌව සිට පහළ ඌව වෙන් වන්නේ අඩි දහස් ගණනක අගාධ ප්‍රපාතයකිනි. මේ ප්‍රපාතයෙන් පසු පිහිටි තැනිතලාව මුහුදු වෙරළ දක්වා දිව යන්නකි. මෙසේ මේ උස් බිමේ සිට පහළ ඈතින් ඈතට මුහුදු වෙරළ තෙක් විහිදුණු තැනිතලාව දෙස බලන්නෙකුට දක්නට ලැබෙන්නේ අතිශය චමත්කාර සුන්දර දර්ශනයෙකි. එය සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන වර්ණනා විෂයාතික්‍රාන්ත දසුනෙකි. හපුතලේ සිට හල්දුම්මුල්ල බලාගිය ඕනෑම අයෙකු මේ සොඳුරු දසුනින් මන් මත් ව ඇති බව නිසැකය.’ (බ්‍රෝහියර් දුටු ලංකාව)

මේ දසුන් උරාගත්ත මගේ ඇස් අතීතයේ මාව කරකවලා අතෑරියා මතකයි මට. ඒ කරකැවිල්ල නිසාම මට මේ කඳු හාද නිම්නයට පනින්න ආසාවක් ආවා. ඉතිං අතීතයේ දවසක මම බදුලු මායිමේ කුමාරතැන්න (අතීතයේ හරක්පට්ටි තැන්න) ඉඳලා කැලේ මැදින්ම මැදබැද්දට වීසි වුණා. මම තවමත් මේ කඳු තැනි හාද නිම්නයට ආසයි. ඒක ප්‍රේමයට පර්යායයි. කංසා සුවඳ ඒ ප්‍රේමය තවතවත් වැඩි කරනවා. විකසිත කරනවා. මේ කඳු තැනි හාද නිම්නයට මාව වීසි වෙනකොටම අල්ලගන්නම බලාගෙන ඉන්න ආනන්ද, සමතපාල, පියසේන අයියා වගේ අය නිසා ඒ ප්‍රේමය තවත් දෙගුණ තෙගුණ වෙලා.

ඉස්සරනම් බලහරුව රජමහා විහාරයේ නායක හාමුදුරුවොත් මේ ගැන්සියේ හිටියා. මෙදා පාර යනකොට උන්දෑ අපිව දාලා යන්න ගිහිං. ඒක මහා පාලුවක්. අපි ගියාම බලහරුව වැව වගේ හිනාවෙන ගමන් අපිව පිළිගන්න හාමුදුරුවෝ දැක්කාම කොළඹ ඉඳලා කාස්ටකේට දුවපු දිවිල්ලේ හතිය කොහේ ගියාද නැති වෙනවා. ඒක ඉතිං වෙනමම රස කතාවක්. කොහොම වුණත් මේපාර බලහරුවට ගියාට පස්සේ මට හිතුණා මේ ගම ගැන ලියන්න ඕනෑ කියලා. ඒකට හේතු ගොඩක් තිබුණා. මේ නිම්නයේ මිනිස්සු ජීවිතේ එක්ක ඔට්ටුවෙලා ඔට්ටුවෙලා ඒ සටනටම ජීවිතේ දියවෙලා ඉන්නවා තමයි ඒ ගමන්වලදී ගොඩක් වෙලාවට දැක්කේ. ඒත් මෙදාපාර ඒ චිත්‍රය වෙනස්. සමහර මිනිස්සු ඒ සටනින් ජය අරගෙන. ඒ ජයග්‍රහණයේ කතාව නොලියා ඉන්නේ කොහොමද?

බලහරුවට මඟ

රත්නපුරේට ගිහිං උදෙන්ම දූරියන් ඇහිඳලා දූරියන් රසෙන් සුවඳෙන් මන් මත් වෙලා දූරියන් දවසක් පටන් අරගෙන මමයි මගේ යාලුවයි බයික් එකේ අතීත කැලණිවැලි රේල් පාරට ආවා, කරවිට හරහා දෑලට දාලා. දෑල ඊළඟට වටාපොතට ඊළඟට කහවත්තට එතනින් දකුණට දාලා ගොඩකවෙලට ආවා. ගොඩකවෙලින් කෙළින් ගිහිං උඩවලව හරහා යන්නත් පුළුවන්. ඒක කාස්ටක ගිනි පිඹින පාරක්. අපි ඒ මඟ අතෑරලා ගොඩකවෙලින් වමට පාරේ වැලිගෙපොළට ආවා. වැලිගෙපොළ කියන්නේ හින්නියක් ඉතර කඳු ලපයක්. ඌව කඳු පටන් ගන්න තටමනකොට උඩට ආපු වාත බුබුලක් වගේ. මෑතින් කූරගල බලාගෙන ඉන්නවා. අපි ඉතිං වැලිගෙපොළින් පහළට බැහැලා සමනැල බලාගාරයත් පහුකරලා ආවා කල්තොටට. කල්තොට තරම් ලස්සන ගමක් තවත් කොහින්ද?

දූවිලි ඇල්ලෙන් පහළට ගලන වතුර කඳුර ගම මැදින් ගම වටකරමින් ගලනවා. හවසට මේ පාරේ යනකොට දකින්නම තියෙන්නේ ඇස් උදුරලා දියකඳුරට අපිත් එක්කම ඇදලා ගන්න දසුන්. බොහෝ ගෙවල් ඉස්සරැහින් ගලන දිය කඳුරට බහින ගෑනු ඔහේ නානවා!. අපි ඉතිං ඒ සුන්දරත්වයත් විඳ විඳ එනකොට සපත්තු පාලම යටින් පල්ලට බහින ළදරු වළවේ ගඟ හෝව් හෝව් මෙයාලා දෙසත් බලන්න කියලා කෑගහනවා. අලුතින් හදපු කූරගල වන්දනාවේ ආව බැතිබරියෝ ඕසෙට දියකෙළියේ. ඊටත් එහායින් වළවට පනින්න බලන් හැල්මේ දුවන වේලි ඔය ගංගා ප්‍රේමනිය. ඊටපස්සේ ඉතිං සමතලය. ටිකක් විදලා යනකොට වමතින් සමාන්තරව දුවන කඳු වැටියෙන් පහළට පනින දිය ඇල්ල නිසාම උපන් ‘දියවින්න’. දිය ඉන්න ‘දියවින්න’ වුණාය කියලා තමයි කතාව. එහෙම ගියාම ඉතිං ඊළඟට අලුත්වෙල, ඊළඟට කංසා සුවඳින් මන් මත් කරන හම්බේගමුව. හම්බේගමුව කියන්නෙත් පරණම ගමක්. පස්සේ දවසක ඒක ගැනත් ලියන්නම්. අපි ඉතිං හම්බේගමුවේ හිතවතෙක් හමුවෙලා ගංජා සංහාරය ගැනත් අහගෙන සූස්තියකුත් ඇදලා බලහරුවට පාවුණා. මම මෙහෙම බලහරු යන්න බොහෝ කාලෙකට කලින් බලහරුවට ගියපු බ්‍රෝහියර් කියන සුද්දා මෙහෙම බලහරුව ගැන ලියලා තියෙනවා. ඒකත් ඔන්න කියවන්න…

අතීත බලහරුව

‘මා 1923 දී තෙලුල්ල හරහා වැටී ඇති සැතපුම් 20ක් දුර මාර්ගයේ හම්බෙගමුවට ගොස් ආපසු එන ගමනේ දී හල්දුම්මුල්ලට නැග්ගෙමි. එකල ඒ වනාන්තර මාර්ගය ඔස්සේ තිබුණේ එකම එක ගමෙකි. එයද පිටස්තර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබුණි. මේ කුඩා ගම්මානයේ සිටිය මිනිස්සු කටුක දේශගුණය සමග ද ලෙඩ දුක් සමගද සටන් කරමින් අන්ත දුගී ජීවිතයක් ගත කළහ. බලහරුව නම් ඒ ගම හෙළ රජ සමයේ ගෝණබැද්ද දිසාව යටතේ පාලනය වූ අතර, ඒ දිසාවගේ විශේෂ වගකීම වූවේ රජවාසල සඳහා ඉතාමත් හොඳ ගවපට්ටි මේ ප්‍රදේශයේ නඩත්තු කිරීමයි’ (බ්‍රෝහියර් දුටු ලංකාව)

මේ විදිහට පැවතුණ අතීත කුඹුරු පුරන් වෙලා. ඒවා කැලෑ පිට්ටනි වෙලා. ඒවායේ ලැග්ග රජ්ජුරුවන්ගේ මීගොන් දරුවන්ගේ දරුවෝද කොහේද බ්‍රෝහියර් මේ ඉසව්වේ එහේකොන මෙහේකොන පද්දනකොට අරියාදුවට වගේ බලාන ඉදලා. ඒ අස්සේ අලි රංචු තැන තැන. බ්‍රෝහියර් ඒ 1923 සෙයියාව ලස්සනට අකුරුවල අමුණනවා. පාරවල් දියුණු තියුණු වුණාට කැලෑ සයුරේ අතරං මෙහෙව් දූපත් තවමත් බලහරුවේ තියෙනවා. ඔන්න යනවා නම් බලන්න පුළුවන්.

බ්‍රෝහියර්ගේ කිරි කතාව නොදන්න කාලෙත් මට ලංකාවේ රසම මීකිරි හම්බ වෙලා තියෙන්නේ බලහරුවෙන්. බලහරුවට ගියාම අපේ ආනන්දයා මට අනිවාරෙන් මී කිරි හට්ටි දෙකක් උගේ කඩේ ලෑල්ලෙන් අයින් කරනවා. මෙදාපාරත් අපි පියසේන අයියගේ වාඩියට මී කිරි හට්ටි දෙකක් ගෙනිහින් කෑවා. වැඩිය ඇඹුල් නැති ඇඹුල් රස මද පමණට තියෙන මෘදු මෙහෙව් මීකිරි ලංකාවේ තියා ලෝකේ කොහේවත් නැතුන් ඇති. ඒක තමයි මට හිතෙන්නේ. මම ඉතිං බලහරුවේ ගියාම රෑට කන්නේ මීකිරි විතරයි. ඒතරම් රසයක් දිවට දෙන්න තියෙනවා නම් තවත් මොනවාද?

බ්‍රෝහියර් කියන කුඩා ගම්මානය

අපි පළවෙනි රාත්‍රිය ගත කරන්න තෝරගත්තේ පියසේන අයියගේ වාඩිය. ඒකේ වාඩියකට වඩා පැල්කොටයක අසිරියක් තමයි තිබුණේ. ‘ගිය ගමනට වඩා පිළිවෙළයි නේ’ මම කියනවා. ‘ඔව් මල්ලි මැටි ගැහුවා මේ බලන්නකෝ බෝතල් තියලා තමයි මැටි ගැහුවේ’ වරිච්චි බිත්තියේ හිස් ගල්බෝතල් ඔහේ බලාගෙන ඉන්නවා. සැන්දෑ ඉර එළිය පැල අස්සට බෝතලෙන් පෙරෙනකොට මම මැස්සේ වාඩි වුණා. ලස්සන රාත්‍රියක් එහෙම තමයි පටන් ගත්තේ.

‘කෝ මිදුලේ තිබුණ බුරුත ගහා’ ‘මතකයි නේද හොඳටම බීලා යාලුවෝ එක්ක එළියේ නිදාගත්තා’. ‘ඒකනේ‘ ඔහොම මෙහෙම කතා සරිත් සාගරේ පැතිරෙනකොට අඳුරත් පහළට කඩන්පාත් වෙන්න උනා.

‘තාත්තා බෙලිඅත්තේ කුඩාහීල්ලේ, මෙහේට ඇවිත් තියෙන්නේ 1958 අවුරුද්දේ. අම්මා මුල් පදිංචිකාරියක්. කැලේ කෝරළේ මහත්තයාගේ පුතාගේ දුව තමයි අපේ අම්මා. 1958 අවුරුද්දේ ආපු නිසා තාත්තලාට ඉඩම් නෑ. මොකද 1956 තමයි බලහරු ව්‍යාපාරයෙන් ඉඩම් දීලා තියෙන්නේ. අම්මගේ පවුල එක්ක පවුල් පහක් විතර තමයි පරණ අයට කියලා මෙහේ ඒ වෙනකොට ඉඳලා තියෙන්නේ. එයාලට පරණවෙල කියන කුඹුරු යාය තිබුණා. අපේ අම්මගේ වාසගම තමයි සමරසිංහ මුදියන්සේලාගේ, තව සමරසිංහ සිරිවර්ධන කියන වාසගම් කාරයොත් බලහරුවේ මුල් පදිංචිකාරයෝ විදිහට හිටියා. බලහරු ව්‍යාපාරය එක්ක ගොඩක් අය දකුණෙන් ඇවිත් තියෙනවා. දැන් ඇඹිලිපිටිය, මිද්දෙණිය, උඩවළව වගේ ගොඩක් පැතිවල අයත් මෙහේ පදිංචියට ඇවිත් ඉන්නවා. සමහරුන්නම් පදිංචි නෑ. ගොවිතැන් කරලා ගෙදර යනවා. දැනට අවුරුදු පහකට හයකට වගේ උඩ අක්කරයක් රුපියල් ලක්ෂයකට වගේ තිබ්බා, ඉතිං ගොඩක් පැතිවලින් ආවා ඉඩම් ගන්න’

බලහරුවට රෑවෙනවා. අපි සොමියට හරිබරි ගැහෙනවා. ඒ අස්සේ මස් ටිකක් කපන ගමන් සෝදනගමන් තුනපහා මික්ස් කරන ගමන් පියසේන අයියා අපිව අතීතයට අරගෙන යනවා.

‘අපේ තාත්තා මෙහේට එනකොට බෙලිඅත්තේ කණ්ඩායමක් ඇවිත් තිබෙනවා. ඉස්සර බලහරුවට සම්බන්ධ වෙලා තිබුණ ටවුන් එක තමයි කුඩා ඔය. කුඩා ඔයට අපි බඩු ගේන්න ගියේ කරත්තේ. මට මතකයි අපිට අසනීප වුණාම තාත්තා අපිව කරේ තියාගෙන කුඩා ඔයට දුවනවා’.

ඒකාලේ දැන් ඉවරවෙලා. කුඩා ඔය අමතක කරලා බලහරුවේ මිනිස්සු දැන් ඇතිලිවැවට පෙම් බැඳලා. ඒවා එහෙම තමයි. පාරවල් හැදිලා සමීපතා ළෙන්ගතුතා වැඩිවෙලා. බලහරුව කියන්නේ පහළ ඌවේ සීමාව. ඉස්සර රජ කාලේ මෙහේට කීවේ ‘මහ රුහුණ‘ කියලා. නටබුන් අතීතයක් සඟවගෙන බලහරුව ඔහේ ඉන්නවා. ටිකක් ඈතින් හඳගනා නුවර නැත්තං සඳගනා නුවර. බලාගෙන ඉන්නවා. ඒක වෙන කතාවක්..!

හේන් වගාව

‘අපේ තාත්තලා අම්මලා ගොවිතැන තමයි කළේ. ඉතිං අපි පොඩි කාලේ ඉඳලා ඒවට අත් උදව් දුන්නා. 1957 තමයි තාත්තලා මෙහාට ඇවිත් තියෙන්නේ. තාත්තලා තෙලුල්ලේ. අම්මා අඟුණකොලපැලැස්සේ. අපි ඉතිං සෙල්ලමටත් ගියේ හේනට. දැන් වගේ අලි කරදර තිබුණේ නෑ. තාත්තලා රටකජු, කව්පි, කුරහන් වැව්වා. අපි වඳුරන්ගෙන් රිලව්න්ගෙන් වගාවල් ආරක්ෂා කළා. මේ වගේ වැස්ස නෑ. වැව පිරුණේ නෑ. සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නකොට තමයි තාත්තා නැතිවුණේ. අපි අම්මට බරක් උනේ නෑ. අක්කයි මායි අපි වැඩ කළා. දැන් ඉතිං කසාද බැඳලත් වැඩ. අපි කාටවත් ණය නෑ. දරුවෝ තුන්දෙනාම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා. ඒ හැමදෙයක්ම කළේ මේ ගොවිතැනින් තමයි.’

මේ 1973 ඉපදුණ ඩබ්ලිව්. ඒ. රේණුකාගේ කතාව. අපිට ඇයව හමුවුණේ ඇය සහ සැමියා කරන හේනේදී. හේනේ පැත්තකින් රාජ්‍ය නොවෙන සංවිධානයක ශක්තියෙන් උස්මහත්වෙලා දලුලන කැවැන්ඩිෂ් කෙසෙල් වදුලක්. ගමේ ගොඩක් අය ආධාර අරගෙන වැඩේ නතර කරනකොට රේණුකාලා ආධාරත් අරං වැඩේ සාර්ථක කරගන්න උපරීම විදිහට මහංසිවෙනවා. ඒක තමයි කතාව. ගොවිතැන කියන්නේ නරක දෙයක් නෙවෙයි කියන එකට හොඳම උදාහරණයක් තමයි බලහරුවේ රේණුකා.

බලහරුව කියන්නේ සරුසාර තැන්නක්. උඩැහින් කඳු යාය බලාගෙන ඉන්නවා. දියළුම ඇල්ලෙන් කඩාගෙන හැලෙන දියකඳුර කුඩා ඔය විදිහට මේ ගම පසාරු කරගෙන ගලනවා. ඊළඟට මව්ආර. රටකජුවලට කුරහන් තල මිනේරිවලට විතරක් නෙවෙයි වී ගොවිතැනටත් මේ බිම පට්ට. හරියට කිරලා මැනලා ගොවිතැන කරන බලහරුවෝ ගොඩගිහිං. ඒකට බලහරුවට විතරක් නෙවෙයි රටටම ආදර්ශයක්. අපේ පියසේන අයියා වුණත් එහෙමයි. පොළවත් එක්ක හරි හරියට හැප්පිලා පොළව ජයගෙන ඉන්නේ.

‘ඔක්තෝම්බර් මාස් වැස්ස එනවා. මාස් කන්නේ රටකජු තමයි ප්‍රධාන බෝගය. ඉස්සරනම් කපුත් වැව්වා. කපු ගෙනියන්නේ හම්බන්තොටට. 1980 වගේ වෙනකොට කපු වගාව අභාවයට ගියා. දැන් කපු ගහක් දකින්න අමාරුයි. මිරිස් වගාව තිබුණා, අබ අතිරේක බෝගයක් විදිහට වැව්වා. මාර්තු මාසේ 12, 15 වෙනකොට වැස්ස පටන් ගන්නවා ඒක පොඩි වැස්සක් ඒක තල වගාවට ඇති. කුරහන් ගහනවා. ගොඩවී ගහනවා. මිනේරි ගහනවා. මුංඇට ඒ කාලේ ඉඳලම තිබ්බා.’ පියසේන අයියා අතීත බලහරුවේ වගාවන් ගැන කතාව දිගටම. වාඩි මැසි සාජ්ජෙත් ජයටම ඇවිලෙනවා.

‘පායන කාලෙට වියදම වැඩී. පෑවුමට වගාව අඩුයි. ළිං කපාගෙන කරනවා. පෑවුමට මම සාමාන්‍යයෙන් වට්ටක්කා දානවා, අක්කරේකින් ලක්ෂ 10-15ත් අතර ආදායමක් ගන්න පුළුවන්. මාස තුනයි යන්නේ. රටකජු අක්කරයක් දැම්මොත් රුපියල් ලක්ෂ 6-7ක් ගන්න පුළුවන්. රටකජු හොඳටම හරියනවා. කව්පිවලට තලවලට රටකජුවලට පොහොර දාන්නේ නෑ. හිටවලා පස් ටික දානවා විතරයි. පොළව සකස් කරගන්න විතරයි වියදම යන්නේ. මුං අක්කරයක දැම්මොත් ලක්ෂ 6ක් විතර ගන්න පුළුවන්. ඒකටත් මාස තුනයි. කව්පු මාස තුන හමාරක් විතර යනවා. මේවා මාස් කන්නේ කරන්නේ. ඔක්තෝම්බර් හිටවනවා දෙසැම්බර් ජනවාරි වෙනකොට ගලවනවා. යල් කන්නෙටත් දානවා. එතකොට වතුර ගහන්න වෙනවා. අක්කරේක තක්කාලි දැම්මොත් ලක්ෂ 50ක් විතර ආදායම ගන්න පුළුවන්.’

මේක ලක්ෂ ගණනින් කතාවක්. මහංසි වුණොත් සල්ලි හම්බකරන්න පුළුවන් කියන කතාවක්. කැරට් කිලෝ එක රුපියල් 2000ක් වෙන රටේ ගොවියෙක් වෙන්න හිතන එක නරක නෑ. හැබැයි ඒක රේණුකාලා වගේ පියසේනලා වගේ බොක්කෙන් කරන්න ඕනෑ. අපිට එහෙම බොක්කෙන් ගොවිතැන කරලා ජීවිතේ ජයගත්ත තවත් එල කොල්ලෙක් බලහරුවෙදි හමුවුණා. මිනිහගේ කතාව පිස්සු වැටෙන කතාවක්. ඒක ලබන සතියට කියන්නම්. ඒක වෙනම කියන්න ඕනෑ කතාවක්.

මෑ කරල් ඇට තම්බලා සම්බෝලයක් හදලා ඒ එක්කම අසමෝදගම් කොළ සම්බෝලයක් ඌරු මස් තවත් වල් මසක් එක්ක මික්ස් වෙලා වාඩියේ සාජ්ජේ ජයටම යනවා. ඒ අහු අස්සේ එකෙක් ඇවිත් මාළු අල්ලන්න යන්න කතාව. තැන තැන පැල් කොටවල අසල ගස්වල ලී දඬු උඩ නැඟගත්ත ලීකොටන් හරහට නිදන මැසි උලුක් සෙවිලි ඔලු වහල අස්සේ මිනිස්සු කිරා වැටෙනවා ලොකු මහත්තයා එනවද බලනවා. මේහේ ඉතිං ලොකු මහත්තයා වෙන කවුරුත් නෙවෙයි සද්දන්තයා. අපි ඉතිං රටකජු බලහරුවේ ජයගත්ත ගොවි ජීවිතේක කතාවෙන් ආයෙත් බලහරුවේ තවත් කතාවක් කියන්න ඕනෑ. ඒකට මෙහෙම සතියක ඉඩක් තියන්නම්..!

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි