No menu items!
33 C
Sri Lanka
18 September,2024

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ අවධානය දෙමළ සන්ධාන නායකත්වය වෙත

Must read

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධානවල නායකයන් උතුරේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි අවධානය යොමු කරමින් සිටින බව වාර්තාවේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වයට පත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා දකුණේ දේශපාලනය හෝ දේශපාලන පක්ෂ සමග එතරම් සම්බන්ධයක් නොපැවැත්වීමත්, ඔහු උතුරේ එල්ටීටීඊ සටනට පක්ෂ ස්ථාවරයක් ගැනීමත්ය.

දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි මතයක සිටින එම පක්ෂයේ සාමාජිකයන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ශ්‍රීධරන් මහතාට ලැබී තිබුණ අතර ඒ නිසාම දකුණේ දේශපාලනය සමග සම්බන්ධකම් ඇති ඔහු සමග පක්ෂ නායකත්වයට තරග කළ එම්ඒ සුමන්තිරන් මහතාට පරාජයට පත්වන්නට සිදුවිය.
ශ්‍රීධරන් මහතා පක්ෂ නායකත්ව ඡන්දය ජය ගැනීමෙන් පසු ජනවාරි 21 වැනිදා ත්‍රිකුණාමලය නගර සභා ශාලාව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ දෙමළ ජාතියට අහිමි වී තිබෙන මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වගකීම හා යුතුකම ඉටුකරන බවයි.

එමෙන්ම ඔහු කියා ඇත්තේ සිය භුමිකාව දෙමළ ජාතිකත්වය මත පදනම් වන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ උරුමය වෙනුවෙන් දෙමළ ජාතියේ පැවැත්ම වෙනුවෙන් වගකීම හා යුතුකම සිය පක්ෂය ඉටුකරන බවයි.
ඔවුන් සමග එකතු වී වැඩ කළ හැකි ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයට බාහිරව සිටින සියල්ලන් එකතු කර දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අලුත් විමුක්ති සම්ප්‍රදායකට මුල පුරන බවද ඔහු එහිදී කියා ඇත.

පසුගිය ජනාධිපතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය අපේන්ෂකයෙක් ඉදිරිපත් නොකර සෘජුව හා වක්‍රාකාරයෙන් පවතින ආණ්ඩුවල අපේක්ෂකයින්ට විරුද්ධව දෙමළ ජනතාවගේ ඡන්ද මෙහෙයවූ අතර අවසන් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසටද, ඊට පෙර මෛත්‍රීපාල සිරිසේනටද, ඊටත් පෙර සරත් පොන්සේකාටද උතුරේ ඡන්ද බහුතරය ලැබුණි. දකුනේ පොදු අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේනට හා සරත් පොන්සේකාට සිය සහාය පළකරන බව එම ජනාධිපතිවරණ දෙකේදී දෙමළ ජාතික සන්ධානය සෘජුව ප්‍රකාශ කළේය.
උතුරු පළාතේ හිටපු මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා උතුරෙන් දෙමළ අපේක්ෂකයෙකු ජනාදිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා උතුරේ පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වමින් සිටියද ඒ සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සම්බන්ධ වී නැත.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි