No menu items!
20 C
Sri Lanka
4 December,2024

රතන, ඥානසාර සහ දේශපාලනය කැලතුණු බෙලිඅත්තේ ඝාතනය

Must read

පසුගිය 22 දා උදෑසන අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු සුදු පැහැ ඩිෆෙන්ඩරයක කුරුඳුගහ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස බෙලිඅත්ත පිවිසුම වෙත පැමිණ ඇත්තේ එම පිවිසුමෙන් එළියට ගොස් නඩු කටයුත්තක් සඳහා තංගල්ල උසාවිය වෙත යාමටය. එහෙත් ඔවුන්ට වැඩිදුරක් යන්නට සිදුවන්නේ නැත. බෙලිඅත්ත පිවිසුමට ආසන්න බෙලිඅත්ත වළස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී එම ඩිෆෙන්ඩරය වෙඩි වර්ෂාවකට ලක්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානයේදීම පුද්ගලයින් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙන අතර තවත් අයෙකු බෙලිඅත්ත රෝහල වෙත ගෙනියන අතරතුරදී ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම පස්-පුද්ගල ඝාතනය රටේ විශාල කතාබහක් ඇති කර ඇත. එයට හේතු දෙකක් ඇත. පළමු හේතුව ‘යුක්තිය’ නමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා විශාල පොලිස් මෙහෙයුමක් සිදුවෙන අතරතුර මෙවැනි සමූහ ඝාතනයක් සිදුවීමය. දෙවෙනි හේතුව මෙම වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය අපේ ජන බල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා වීමය. ඩිෆෙන්ඩරයෙන් බැස වෙඩි වරුසාව අතරතුර හෝටලය තුළට දිවයන විට හඹාගොස් ඔහු හෝටලය ඇතුළේදීම ඝාතනය කිරීම, මෙම ඝාතකයින් ඔහුම සොයා පැමිණියා යන්නට හොඳ හෝඩුවාවක් ය.

දැන් පොලීසිය ප්‍රකාශ කරන්නේ බොහෝ වේලාවක සිට ඝාතකයන් පැමිණි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඩිෆෙන්ඩරය පසුපස පැමිණ ඇති බවය. ඊට ප්‍රථම කොස්ගොඩ සිට කුරුඳුගහ හැතැක්ම දක්වාද, එයින් අනතුරුව දක්ෂිණ අධිවේග මාර්ගයේදී ද සමන් පෙරේරාගේ ඩිෆෙන්ඩර් රථය පසුපස තවත් රථයක් තොරතුරු ලබාදෙමින් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මෙම ඝාතනය සිදුවූ ස්ථානයේ හිස් පතුරම් කොපු 37ක් විසිරී තිබුණ බවත් ඩබල් ෂොට්ස් ආකාරයට වෙඩි තබා ඇති බවත්, තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් කරුණු වාර්තා වෙයි.

පසුගිය 24 දා හවස වනවිට මෙම ඝාතනය සඳහා භාවිත කළ පැජරෝ රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ නවතා තිබියදී සොයාගන්නට පොලීසිය සමත්වූ අතර ඒ සමග එක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය ප්‍රකාශ කරයි. සමන් කුමාර නමැති 55 හැවිරිදි මෙම සැකකරු අකුරැස්ස බංගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු පැජරෝ රථයේ රියැදුරු සේ කටයුතු කර ඇති බවත් දැනගන්නට ලැබෙයි.

පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනයේ සැලසුම්කරුවාත් ඔහු බවය. ඔහු ඩුබායි සිට පැමිණි උපදෙස් අනුව තවත් තිදෙනෙකු යොදාගනිමින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවය. කොස්ගොඩ සුජීගේ උපදෙස් මත බූස්සේ හර්ෂ විසින් විදේශයක සිට මෙම සමූහ ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ හිටපු පළපුරුදු වෙඩික්කරුවෙකු යොදවාගෙන ඇති බවටත්, ඔහුට කුලී මිනීමැරුම් පිළිබඳව චෝදනා තිබෙන බවටත් පොලීසිය සැක පළකරයි.

මේ සියලු කරුණු එකමිටට ගත්විට පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙම ඝාතනය කොස්ගොඩ සුජී නැමති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බවයි.
ඒ පොලීසිය කියන කතාවය. ඊට අමතරව තවත් කතාවක් අපටද කියන්නට ඇත. ඒ පිළිබඳවද පරීක්ෂණ සිදුකරනවා නම් හොඳය.

රෝයල් බීච් සමන්

ඝාතනයට ලක්වූ වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා, අලුත්ගම බෙන්තොට ඉඳුරුව වැනි ප්‍රදේශවල පුද්ගලයන් හඳුනන්නේ ‘රෝයල් බීච් සමන්’ ලෙසය. ඔහු කලින් බෙන්තොට මුහුදු වෙරළට එන විදේශිකයන්ට සේවාවන් සැපයූ බීච් බෝයිවරයෙක් ය. 1998 දී පමණ ඔහුට බෙන්තොට වෙරළේ දී විදේශිකයෙකු මිතුරු වෙන අතර එහි ප්‍රතිඵලය ඔහුට ඉඳුරුවේ රෝයල් බීච් හෝටලය හිමිවීම යි. මෙසේ දකුණු වෙරළේ සමන් ප්‍රසන්න පෙරේරා නාමය රෝයල් බීච් සමන් ලෙස පැතිරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු රත්ගම විදුර නැමති පාතාල කල්ලි නායකයා සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇත. බලපිටිය හිටපු ප්‍රදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබෲ, ඔහුගේ පුත් ටෙරී තාබෲ, ඉඳුරුව සමන් වැනි පාතාල සාමාජිකයන්ගේ ඝාතනවලට අපේ ජනබල පක්ෂයේ නායකයාගේ සම්බන්ධයක් ඇති බව ද කියවෙයි.

2022 ජුනි 05 තංගල්ල කතරගම පාරේ මොරකැටි ආර ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ තංගල්ල කුඩාවැල්ලේ අසුන් චාමරගේ ඝාතනයට සම්බන්ධ වූ වෙඩික්කරුට ඒ සඳහා සහාය දුන්නා යැයි කියන සමීර මදුසංඛ හෙවත් සුරතලා යන අයට රැකවරණය දුන්නා යැයි, අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට පත්වෙන අතර ඊට අදාළ නඩුව සඳහා මෙම පිරිස මෙසේ තංගල්ල බලාගොස් ඇත.

මෙසේ ඩිෆෙන්ඩරයේ ගිය පස් දෙනා අතර සමීර මදුසංඛ නොහොත් සුරතලා යන අයත් සිට ඇති අතර ඔහුද මෙහිදී ඝාතනයට ලක්විය. ඒ අනුව මෙම ඝාතනය අසුන් චාමරගේ ඝාතනයට පළිගැනීමක් විය හැකි බවත් පොලීසිය ප්‍රකාශ කරයි. මේ සියලු තොරතුරු සමග බලනවිට බුදුදහම සහ බෞද්ධයා ආරක්ෂා කරගන්නට රට ආරක්ෂා කරගන්නට පක්ෂයක් හදාගෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අතුරලියේ රතන හිමි වැනි භික්ෂූන් පෙරටුකරගෙන දේශපාලනය කර ඇත්තේ පාතාලය සමග බැඳීමක් තිබූ පුද්ගලයෙක් ය.

මෙම වෙඩි තැබීමෙන් සමන් ප්‍රසන්න පෙරේරා සහ ඉලේකුට්ටිගේ සමීර මදුශංඛට අමතරව ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි හසිත චින්සුක, කුරුණෑගල පදිංචිව සිට ඇති බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ පදිංචි නලීන් චම්පික ජයතිලක මරණයට පත්වී ඇත. මෙම ඝාතනය උදෑසන 8.30ත් 9.00ත් අතර සිදුවූ අතර එදිනම හවස සමන් ප්‍රසන්න පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස පොලිස් පරීක්ෂාවට ලක්විය. පොලිස් සුනඛයන් යොදාගෙන සිදුකළ එම පොලිස් මෙහෙයුමට අණ දුන්නේ කවුද යන්නත්, එසේ මෙම මරණයේ උණුසුම යන්නටත් ප්‍රථම එම නිවස පරීක්ෂාවට ලක්කළේ ඇයි ද යන්නත් දැන් පොලීසිය තුළම විශාල කතාබහක් ඇති කර ඇත.

දේශපාලන ගැටුම

අපේ ජනබල පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එහිදී එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. එසේ හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු යන්නේ කවුද යන්න යන්න විසඳා ගැනීම සඳහා එම පක්ෂයට සෑහෙන්න කාලයක් ගිය අතර එහිදී මුලින්ම සමන් ප්‍රසන්න පෙරේරාගේ මතය වී ඇත්තේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබාදිය යුතු බවයි. ඒ සමග ඇතිවූ අර්බුදය උග්‍ර තත්ත්වයට පත්වූ පසුව මන්ත්‍රී ධුරය සඳහා තමන් වහන්සේ පත්වෙන බව එම පක්ෂයේ එවක ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි ප්‍රකාශ කළ අතර ඒ සමග අර්බුදය තවත් උත්සන්න වී ඇත.

ඉන්පසුව කූඨ ලේඛනයන් නිර්මාණය කිරීම, පොලීසිය යොදාගෙන තර්ජනය කිරීම සහ අවසානයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී තමන් වහන්සේ පැහැරගෙන යාම දක්වා සිදුවීම්වලට තමන්ට මුහුණ දෙන්නට සිදුවුණ බවත් ඒ අනුව අවසානයේ හිස් කොළවලට අත්සන් ලබාදීම මගින් මෙම ප්‍රශ්නයෙන් තාවකාලිකව ගැලවුණ බවත් වේදිනිගම විමලතිස්ස හිමි ප්‍රකාශ කරයි. මෙම සිදුවීම් සියල්ල පිටුපස වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාත් සිටි බවට ප්‍රකාශ කරන විමලතිස්ස හිමියන් ඒ පිළිබඳව නොයේක් අවස්ථාවල පොලීසියට පැමිණිලි කළත්, කිසිදු දෙයක් සිදු නොවුණ බව ප්‍රකාශ කරයි.

මෙම සමූහ ඝාතනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වන වේදිනිගම හිමි ප්‍රකාශ කරන්නේ තමන්ට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීම්වලට අදාළව සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරයට පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමන් පෙරේරා සමග එකතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන්නට කටයුතු සිදුකරමින් සිටින අතරතුර මෙම ඝාතනය සිදුව ඇති බවය. එහිදී තමන්ට සිදුවූ සියලු දේවල් ඇතුළත් කරමින් නීතිඥවරයෙකු හරහා ලිපියක් ලියූ බවත් එම ලිපියේ සියලු කරුණු අන්තර්ගත බවත් ප්‍රකාශ කරන වේදිනිගම හිමියන් එම ලිපිය තමන්ගේ අනුදැනුමකින් තොරව මාධ්‍ය වෙත සහ නොයෙක් පුද්ගයන් වෙත ලබාදෙන්නට සමන් පෙරේරා කටයුතු කර ඇති බවත් ඒ හරහා මෙම නඩු කටයුත්ත පිළිබඳව කරුණු එළියට ගිය බවත් ය.

ඒ අනුව මෙම ඝාතනය සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අතර යම් සම්බන්ධයක් පවතීද? ඒ දේශපාලන ආරවුල මෙම ඝාතනය සඳහා හේතුවක් වී ඇත්ද? විමර්ශන කණ්ඩායම් ඒ පිළිබඳව සොයා බැලිය යුතුය. අනෙක් පැත්තෙන් මෙම දේශපාලන ආරවුල සහ එය අතරට සම්බන්ධවී කටයුතු කළ බවට චෝදනා එල්ලවෙන අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ චෝදනාවලට පිළිතුරු දිය යුතුය.

මරණ තර්ජනයන් පිළිබඳ චෝදනා මෙන්ම පැහැරගෙන ගොස් තර්ජනය කිරීම්, බලහත්කාරයෙන් අත්සන් ලබාගැනීම් වැනි සිදුවීම් බොහෝමයක් පොලීසියේ සහ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවට චෝදනා එල්ලවෙන අතර එම චෝදනාවන්ද බරපතළ චෝදනා බව කිව යුතුය. ඒවා පිළිබඳවද පරීක්ෂණ සිදුවිය යුතුය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි