No menu items!
33.2 C
Sri Lanka
16 September,2024

කල්පවත්නා හා සාධාරණ සටන් විරාමයක් අවශ්‍යයි

Must read

ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන සිටි හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව දියත් කරන ලද සන්නද්ධ ප්‍රහාරය හා ඊශ්‍රායෙල් වැසියන් පැහැරගෙන යාම දඩමීමා කරගනිමින් ඊශ්‍රායලයගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ජන සංහාරක යුද්ධයක් දියත් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හා ආරක්‍ෂක කවුන්සිලය සාමාජික රටවල අධිබහුතර ඡන්දයෙන් සටන් විරාමයක් සඳහා යෝජනාවක් සම්මත කරගත්තත් ඇ.එ.ජ. තම නිෂේධ බලය යොදා ගනිමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කර තිබේ.

මේ වන විට ඊශ්‍රායලයේ ගොඩබිම් හමුදාව ගාසා තීරයේ ඇති හමාස් සංවිධානයට අයත් ආරක්‍ෂක කඳවුරු හා පහසුකම්වලට පහර දී විනාශ කර අවසන් ය. ගුවන් ප්‍රහාර මඟින් ගොඩබිම්, හමුදාවල ජන සංහාරය පහසු කර දෙන ලදි. මෙම ප්‍රහාරයන්වල ඉලක්ක වූයේ පලස්තීන සිවිල් වැසියන් ය. හමාස් සටන්කරුවන්ට ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා යම් විධිවිධාන තිබුණත් නිරායුද සිවිල් ජනතාවට කිසිදු ආරක්‍ෂාවක් තිබුණේ නැත.

ඊශ්‍රාලයේ අරමුණ වූයේ ගුවන් හා පාබල හමුදා ප්‍රහාර මඟින් පලස්තීන වැසියන් උතුරු ගාසා තීරයේ කුඩා බිම් කඩකට කොටු කර දැමීම ය. ඒ සඳහා දකුණු ගාසා තීරයේ රෝහල්, එකින් එක තෝරාගෙන, බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදි. දකුණු ගාසා තීරයේ නිරායුද සිවිල් වැසියන් හාමතේ තබා ඔවුන් යටත් කර උතුරට තල්ලු කර හැරීමේ අටියෙන් බේකරි හා පිටි කම්හල් සොයා සොයා පහර දෙන ලදි. එසේ තිබියදීත් දකුණු ගාසා තීරයේ පලස්තීනවෝ විශාල පිරිසක් තාමත් රැඳී සිටිති. මානුෂීය අවශ්‍යතා, විශේෂයෙන් ම ආහාර හා බෙහෙත් සැපයීම සඳහා විටින් විට තාවකාලික සටන් විරාම ඇති කිරීමට ජාත්‍යන්තර සංවිධාන ඉල්ලා සිටියත් ඊශ්‍රායලය එයට එකඟ වූයේ නැත. ඊශ්‍රායලයේ මෙම අති අමානුෂික හැසිරීමට ඇ.එ.ජ. විසින් සහාය හා ආශීර්වාදය අඛණ්ඩවම ලබා දෙන ලදි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන පරිදි කොටුවී සිටින වැසියන්ගේ ආහාර අවශ්‍යතාවලින් සැපයිය හැකි වී ඇත්තේ 10%ක් පමණි. උග්‍ර ජල හිඟයක් හා බෙහෙත් හිඟයක් ඇත. රෝහල්වලට එල්ල වන ගුවන් ප්‍රහාර නිසා රෝහල් සුණු විසුණු වී ඇත. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සිය ගණනින් මේ වන විට මරා දමා ඇත. මේ වන විට දරුවන් 4,000 කට වඩා මිය ගොස් ය. සන්නිවේදන ජාලාවලට එල්ල කරන ගුවන් ප්‍රහාර හා ගොඩබිම් ප්‍රහාර නිසා තම නිජබිමට අත් වී තිබෙන විනාශයේ තරම හමාස් ප්‍රධානීහු පවා හරියටම නොදනිති. හමාස් සංවිධානය කර ඇති සරණාගත කඳවුරු ඊශ්‍රායෙල් හමුදාවල පහසු ඉලක්ක බවට පත්විය.

මෙම යුද්ධයට තම පූර්ණ සහාය ලබාදෙන බව ඇ.එ.ජ. ආරම්භයේ දීම ප්‍රකාශ කර ඇත. ඇමරිකාව පවසන්නේ මෙය ආත්මාරක්‍ෂාව සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාරයක් නිසා තමන් එයට සහාය ලබා දෙන බවය. ඊශ්‍රායෙල් ප්‍රහාරය දියත් වූ වහාම ඇමරිකන් ජනාධිපති හා රාජ්‍ය ලේකම්වරයා කළේ “දඩිබිඩි සංචාරක රාජ්‍යතාන්ත්‍රික” මැදිහත් වීමක් (Shutle Deplomacy) මඟින් ඊශ්‍රාලයට වාසි ගෙන දෙන අන්දමින් ක්‍රියාත්මක වීමය. මේ වන විට ඇ.එ.ජ. සමඟ කිසියම් සංහිඳියාවකට පැමිණ සිටින ඊජිප්තු නායකයන්ට ඇ.එ.ජ. උපදෙස් දී ඇත්තේ තාවකාලිකව පලස්තීන සරණාගතයින් භාරගන්නා ලෙස ය. මෙම කෛරාටික යෝජනාවේ අරමුණ ගාසා තීරයෙන් හා බටහිර ඉවුරෙන් පලස්තීන වැසියන් අතුගා දැමීමේ ඊශ්‍රායෙල් සැලැස්මට උඩගෙඩි දීමය. ඇ.එ.ජ. ඊශ්‍රායලයට ආයුධ සපයන්නා පමණක් නොවේ. අරාබි ලෝකයට එරෙහිව ඊශ්‍රායලය පාවිච්චි කිරීම සඳහා නව අත්හදා බැලීම් ද කරන බව පෙනේ.

හමාස් සංවිධානය පරාද කිරීමෙන් පසු පලස්තීන විමුක්ති සංවිධානයේ පාලනයක් පලස්තීන වැසියන්ට ලබා ගැනීමට ආධාර කරන බව ඇ.එ.ජ. පවසයි. මෙම ප්‍රකාශය මුළුමනින් ම ව්‍යාජ එකකි. යසර් අරපත්ගේ නායකත්වයෙන් පැවති පලස්තීන විමුක්ති සංවිධානය පරදවා වර්ගවාදී හා ආගම්වාදී හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය සමඟ එක්ව සැලසුම් කළේ ද ඇ.එ.ජ.යි. එසේ කළේ වර්ගවාදී හා ආගම්වාදී හමාස් සංවිධානය දඩමීමා කර ගනිමින් පලස්තීන විමුක්ති ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ය.

මේ වන විට බටහිර රටවල පවා, ඊශ්‍රායලයේ හා ඇ.එ.ජ.යේ. යුදවාදයට එරෙහිව උද්ඝෝෂණ උත්සන්න වී තිබේ. ස්පාඤ්ඤ ආණ්ඩුව ඊශ්‍රායල් ආක්‍රමණය හෙළා දැක ඇත. ජනතාවගේ බලපෑම උත්සන්න වෙද්දී කැනඩාව සටන් විරාමයක් ඉල්ලා සිටියේය. ඇ.එ.ජා.ප. තම මිත්‍ර රටවලට පවසන්නේ හමාස් සංවිධානයේ අරමුණ ඊශ්‍රාලය අතුගා දැමීම වන නිසා එයට ඉඩ නොදිය යුතු බවය. ඇමරිකාවට හා ඊශ්‍රායලයට අනුව මෙය ආත්මාරක්‍ෂාව සඳහා දියත් කළ යුද්ධයකි. ආත්මාරක්‍ෂාව සඳහා ක්‍රියාත්මක වීමේ සීමාව ඉක්මවා ඊශ්‍රායලය ජන සංහාරයක් දියත් කළ බව ලෝකයට පෙනී ගොස් තිබේ. ඊශ්‍රායලයට හා ඇ.එ.ජ.ට එය වසංකර තැබිය නොහැකි ය.

යුදෙව්වන් හා පලස්තීන ජනයා සඳහා රටවල් දෙකක් පිළිබඳ අදහස, එනම්, යුදෙව්වන් සඳහා ඊශ්‍රායලයත් පලස්තීනුවන් සඳහා ගාසා තීරය හා බටහිර ඉවුරත් ඇතුළත් පලස්තීනයක් පිළිබඳ යෝජනාව එදා යසර් අරපත්ගේ නායකත්වයෙන් යුත් පලස්තීන විමුක්ති සංවිධානය පිළිගනිද්දී, එම අදහසට විරුද්ධ වූ හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ආධාර කළේ ඊශ්‍රායලය හා ඇ.එ.ජ.යි. එවැනි කූඨ සැලැස්මක් අනුව ඔවුන් කටයුතු කළේ වර්ගවාදී/ ආගම්වාදී හමාස් සංවිධානය පරාජය කිරීම පහසු නිසා ය. බි්‍රතාන්‍යය පලස්තීනය සම්බන්ධයෙන් තමන්ට තිබූ බලපෑම් 1976දී ඉවත් කර ගත් වහාම හමාස් සංවිධානය හා පලස්තීන විමුක්ති සංවිධානය අතර සන්නද්ධ ගැටුමක් ඇති විය.

ඊශ්‍රායලයේ හා ඇ.එ.ජ.යේ අරමුණ වූයේ ද එයම ය. මෙම ගැටුමේ දී ඊශ්‍රායලය හා ඇ.එ.ජ., හමාස් සංවිධානයට සෑම අතින්ම ආධාර කළේ ය. මෙම ගැටුමෙන් හමාස් සංවිධානය ජයගත් අතර යසර් අරපත් පිළිගෙන තිබූ රටවල් 2ක් පිළිබඳ සංකල්පය ද පලස්තීනුවන්ට අමතක විය. මේ නිසා සිදු වූයේ වර්ගවාදී හා ආගම්වාදී කණ්ඩායම් 2ක් අතර යුද්ධයකි. එම යුද්ධයේ ප්‍රතිඵලය වී ඇත්තේ පාර්ශ්ව දෙකේම අහිංසක සිවිල් වැසියන් විපතේ හෙළීම ය. මෙනිසා පළමු කොටම අවශ්‍ය වී ඇත්තේ සටන් විරාමයක් බව ඇත්තය. දැන් සටන් විරාමයක් අවශ්‍ය වී ඇත්තේ අන්ත අසරණ වී සිටින හමාස් සංවිධානයට පමණක් නොවේ. ඇ.එ.ජ. හා ඊශ්‍රායලයට ද දැන් සටන් විරාමයක් අවශ්‍ය ය.

– ජගත් සිරිවර්ධන –

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි