හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් අයවැය යෝජනාවලට බැහැරින් ඡන්දයක් වෙනුවෙන් සිය පාක්ෂිකයින්ට සැලකීමට ඉදිරිපත් කළ සහන පැකේජය ලබාදීම සඳහා වූ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා මැයි 30 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට රජය හඳුන්වාදුන් සහන පැකේජය වෙනුවෙන් වියදම් දැරීමට මෙම මුදල් යෙදවෙන බව සඳහන් කරමින්ය. එය ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ‘අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්’ යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හඳුන්වා ඇත.
ඒ අනුව ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට මසකට රුපියල් 5000ක දීමනාවක්ද, රජයේ විශ්‍රාමිකයින්ට රුපියල් 5000ක දීමනාවක්ද, ආබාධිත හමුදා සාමාජිකයින්ට රුපියල් 5000ක දීමනාවක්ද, සමෘද්ධිලාභීන්ට රුපියල් 1000ක්ද, වතුකරයේ පවුලකට රුපියල් 80 බැගින් පිටි කිලෝ 15ක්ද ලබාදීම සඳහා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ජනවාරි 05 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් පැකේජය වෙනුවෙන් මෙම මුදල් වැය කිරීමට නියමිතය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට එම සහන පැකේජය ඇතුළත් නොවූ අතර එය එම දිනවල පවත්වනවා යැයි කියූ මැතිවරණයක් වෙනුවෙන් ලබාදීමට නියමිත අල්ලසක් වශයෙන් විපක්ෂය චෝදනා කරනු ලැබීය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට පෙර අගමැතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය වියදම් අඩුකරන අලුත් අයවැයක් ඔහු ඉදිරිපත් කරන බව හා සංවර්ධනයට වැයකරන මුදල් කපා හරින බවයි. ඒ අනුව 2022 වර්ෂය සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ රුපියල් බිලියන 2505ක් වූ රාජ්‍ය වැයට වඩා අඩු වැය සහිත අයවැයක් ඔහු ඉදිරිපත් කරන බව ප්‍රකාශ වුණි.■