19.5 C
Sri Lanka
27 September,2022

ඉස්ලාම් ෆෝබියාව හා ලංකාව

Must read

■ කිතුසර කණ්ඩායම

වත්මන් ලෝකය තුළ මනුෂ්‍යත්වයට එරෙහි බරපතළම මානසික මෙහෙයුම, “ඉස්ලාම් ෆෝබියාව” ය.


මේ ප්‍රකාශයේදී ප්‍රගතිශීලින් ලෙස, වාමවාදීන් ලෙස තමන්ව හඳුනා ගන්නා බොහෝ දෙනා ද අප හා එකඟ නොවන බව පැහැදිලියි.


සාතිශය බහුතරය එකඟ වූවද, නොවුවද සත්‍ය වෙනස් වෙන්නේ නැත
අප ශ්‍රී ලංකාවේ ආසන්න ඉතිහාසයේ සිදුවීම් කීපයක් සලකා බලමු.

වඳ කොත්තු


වඳ කොත්තු පිළිබද භීතිකාව ඇති කොට විශාල වෛරයක්, සැකයක් මෙරට මුස්ලිම් ජනතාව වෙත මුදා හැරි කාලය සිහි කරමු. කොත්තු හා වෙනත් ආහාර මගින් කිසිවෙකු වඳ කළ නොහැකි බව ඒ පිළිබඳ ප්‍රාමාණික වෛද්‍යවරුන් සිය දෙනෙකු අත්සන් කොට නිවේදනයක් නිකුත් කළද එය බැහැර කර ජනයා පිළිගත්තේ ඉස්ලාම් ෆෝබියා කොන්ත්‍රාත්කරුවන්ගේ අදහස්ය. මේ රටේ බහුතර සිංහල ජනයා තවමත් හිතන්නේ වඳ කොත්තු ඇත්තක් බවය. වඳ කොත්තු ඉස්ලාම් ෆෝබියා දේශපාලන ආර්ථිකයේ නිර්මාණයකි.

වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම්


වෛද්‍ය සාෆි විසින් පන්දාහක් මව්වරුන්ට වඳ සැත්කම කිරීමේ අතේ ගෙතු වෛරී මුසාවාදය ගැන සිතමු.


ශල්‍යාගාරයකට ගොස් ඇති හෝ ශල්‍යාගාරයක කටයුතු සිදුවන ආකාරය දන්නා ඕනෑම කෙනෙකුට යම් වෛද්‍යවරයෙකුට ශල්‍යාගාරයක් තුළ එවැන්නක් කළ නොහැකි බව අවබෝධ වේ. අවම වශයෙන් තුන් හතර දෙනෙකුවත් ශල්‍යකර්මයකට එක් වේ. එහෙත් වෛද්‍ය සාෆිව දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබා ගත්තේය. වඳ සැත්කම් ගැන කෑ ගැසුවෝ දැන් ජාතිය හරිමගට ගැනීමටත් අවලස්සන ඇමරිකානුවන් එළවීම ගැනත් කතා කරති. වෛද්‍ය සාෆි වඳ සැත්කම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පත් වූ ආණ්ඩුවක ධුර කාලය තුළම නිදහස් විය. වඳ සැත්කම් ද ඉස්ලාම් ෆෝබියා දේශපාලන ආර්ථීකයේ නිර්මාණයකි.

මළසිරුරු ආදාහනය


කෝවිඩ් 19 මළසිරුරු ආදානය හෝ භූමදානය කළ හැකි බව ආරම්භයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානය විද්‍යාත්මක හැදැරීම්වලින් පසු නිවේදන කළේය. ලොව පිළිගත් වෛරස් විශේෂඥයකු වූ ශ්‍රී ලාංකික මලික් පීරිස් මහතා ද ඒ බව නැවත නැවත සනාථ කළේය. එහෙත් ආණ්ඩුව මුසල්මානු ජනතාවගේ සංස්කෘතිය, ආගමික ඇදහීම්, මානුෂීය හැඟිම් තුට්ටුවකට මායිම් නොකොට මළසිරුරු ආදාහනය අනිවාර්ය කළේය.


පසුව මළසිරුරු වැළලීමට ඉඩ දුන්නේද ලංකාවේම එකම ස්ථානයක පමණි. කිලෝමීටර් තුන් හාරසියය ගෙවා වියදම් කොට මුස්ලිම් ජනයාට තම ආදරණියන්ගේ මළසිරුරු එහි ගෙන ගොස් වැළලීමට සිදු විය.


දැන් ඕනෑම සුසානභූමියක වැළලීම කළ හැකි බවට අවසර දී ඇත. කෝවිඩ් වැළඳී මිය ගිය මුස්ලිම් ජනයාගේ මළසිරුරු ආදාහනයට බළ කිරීම ඉස්ලාම් ෆෝබියා දේශපාලන ආර්ථිකයේ නිර්මාණයකි.


ඉහත සියලු සිද්ධින්වලදී ‘අපි නම් ජාතිවාදි නෑ, ඒත් මේකට විරුද්ධව හඬ නැගීමට පුළුවන්කමක් නැතැ’යි කී ප්‍රගතිශීලින්ද, වාමවාදීන් යැයි කියාගන්නා ඇතැම් අයද පැහැදිලිව නියෝජනය කළේ ඉස්ලාම් ෆෝබියා දේශපාලනයයි. ඉස්ලාම් ෆෝබියා දේශපාලනයට ගොදුරු නොවූයේ ඒවාට විරුද්ධ වු අතලොස්ස පමණි.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා මාර්තු 15 වනදා ඉස්ලාම් ෆෝබියාවට එරෙහිව ජාත්‍යන්තර දිනය ලෙස නම් කළේය. ඒ 2019 මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්ට්ර්ච්හි මුස්ලිම් පල්ලියට කඩාවැදී ඉස්ලාම් ෆෝබියා රෝගයෙන් උමතු වුවෙකු විසින් වෙඩි තබා 51 දෙනෙකු ඝාතනය කර තවත් 40 දෙනෙකු තුවාල සිදු කිරීමේ සිද්ධිය නිමිති කරගෙනය.
මේ සටහන ලියවෙන්නේ එකී ජාත්‍යන්තර ඉස්ලාම් ෆෝබියාවට විරුද්ධ දිනය ගැන ලංකාවේ අවධානය කෙටියෙන් හෝ යොමු කිරිමටය.


පාස්කු ඉරුදින ප්‍රහාරය ද ජාත්‍යන්තරවත් දේශීයවත් බලවතුන් ගෙන ගිය ඉස්ලාම් ෆෝබියා දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. එයට වගකිව යුත්තේ මුස්ලිම් සමාජය යැයි කීවේ මෙරට ජනප්‍රිය වාමවාදී නායකයෙකි. එසේම බොහෝ කිතුනුවන් තුළද එම ප්‍රහාරයට පෙර සිටම ඉස්ලාම් විරෝධී අදහස් පැවැති අතර ඒවා වර්ධනය වීමටද එම ප්‍රහාරය බලපෑවේය. නායකත්ව මට්ටමින් ඉස්ලාම් කිතුනු සහයෝගිතාවක් පෙන්නුම් කෙරුණද බිම් මට්ටමින් ආකල්ප වෙනස් කිරීම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් නොවීය.


ආසන්න ඉතිහාසය තුළ මෙරටද යුක්තිය ඉටු නොවූ මෙන්ම යුක්තිය ඉල්ලීමට ඉදිරිපත් වීම පවා බිය වන, එසේ ඉල්ලීම ත්‍රස්තවාදියකු බවට පත්වීමේ අවදානම උරුම වන තත්ත්වයට පත් වුණු වින්දිත ජන කොටස මෙරට ඉස්ලාම් ජනතාවයි. 2013 වසරේ සිට මුස්ලිම් ජනයාට එරෙහිව සිය ගණනක් ශාරීරික පීඩාවන් සිදු කර ඇත. මුස්ලිම් ජනයාට අයත් කෝටි ගණනක දේපළ විනාශ කර ඇත. මුස්ලිම් පල්ලි සැලකිය යුතු ප්‍රමාණයකට පහර දී ඇත. අවම වශයෙන් හතර දෙනෙකු ඝාතනය කර ඇත. මේ කිසිවකට රාජ්‍ය විසින් දඬුවම් ලබා දුන් කිසිවෙක් නැත.
නීතිඥ හිජාස් හිස්බුල්ලා, වෛද්‍ය සාෆි, අන්නාස් කවියා වැනි සමාජ කතිකාවකට ලක් වුණු යම් පමණක සිවිල් චරිත නොවන දහස් සංඛ්‍යාත පීඩිත මුස්ලිම් ජනතාවට ඉස්ලාම් ෆෝබියා දේශපාලනය විසින් සිදුකර තිබෙන වන්දිය සුළුපටු නොවේ.


දැන නොදැන ඉස්ලාම් ෆෝබියා දේශපාලනයේ ආධාරකරුවන් නොවෙමු යැයි අපි ඉල්ලා සිටිමු. මුස්ලිම් ජනතාව ජනතාවක් ලෙස පීඩාවට පත් කිරීමට එරෙහි වෙමු. හොඳ යැයි සම්මත මුස්ලිම්වරයා, සිවිල් බලය ඇති මුස්ලිම්වරයා වෙනුවෙන් පමණක් නොව පොදුවේ පීඩිත මුසල්මානුවා ජනයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි