No menu items!
22.3 C
Sri Lanka
29 March,2024

විදුලි මාෆියාවට උදාහරණයක් ඒස් ඇඹිලිපිටිය

Must read

  • මිලියන 2465කට මිලට ගැනීම වෙනුවට මිලියන 4343ක කුලී ගිවිසුමකට ගිහින්
  • පෙර ගිවිසුම් කාලයේ ආයෝජනයේ ඩොලර් මිලියන 61 සඳහා ඩොලර් මිලියන 117 ධාරිතා ගාස්තු ගෙවලා

විදුලි මාෆියාව ඇත්තක් යැයි කියවෙන කරුණක් මෑතකදී හෙළිදරව් විය. ඒ පසුගිය පෙබරවාරි 03 දින පෙර දැනුම්දීමකින් තොරව රට පුරා විදුලිය කැපීම පිළිබඳව කරන ලද පරීක්ෂණ දෙකක ප‍්‍රතිඵල සම්බන්ධයෙන්ය. එක් පරීක්ෂණයක් කර තිබුණේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් පත්කරන ලද සය පුද්ගල කමිටුවක්ය. අනෙක් පරීක්ෂණය කර තිබුණේ විදුලිබල ක්ෂේත‍්‍රයේ නියාමකයා වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවය. මේ දෙපිරිසම කියා තිබුණේ විදුලිය කැපූ ප‍්‍රශ්නගත දින, එනම් පෙබරවාරි 03 දින විදුලිය කැපීමේ අවශ්‍යතාවක් තිබී නැති බවය. මෙගාවොට් 100ක අතිරික්ත විදුලි ජනන හැකියාවක් එම අවස්ථාවේ තිබී ඇති බවය. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ විත්තිවාචකය නිල වශයෙන් තවම කියා නැත. එහෙත් නිල නොවන ආකාරයට වාර්තා වන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එක් බලාගාරයක් සඳහා ඉන්ධන ලබා නොදුන් නිසා එම බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට නොහැකිව එම විදුලිය කැපීම කළ බවය.

විදුලිය කැපීමකින් තොරව පවත්වාගෙන යෑම බලයේ සිටින දේශපාලන කණ්ඩායමේ වුවමනාවය. ඔවුන් කියන්නේ කෙසේ හෝ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදෙන ලෙසය. විදුලි පාරිභෝගිකයන් වන ජනතාවගේ පැත්තෙන් බලාපොරොත්තු වන්නේද කපා හැරීමකින් තොර විදුලිය සැපයුමක්ය.

අප සාකච්ඡුා කරන්නට බලාපොරොත්තු වන විදුලි මාෆියාව ක‍්‍රියාත්මක වන්නේ මෙවැනි විදුලිය කැපිය යුතු හා එහෙත් විදුලිය නොකපා විදුලිය ලබාදිය යුතු අවකාශයකය. එහිදී ලංවිම පිහිටට එන්නේ හදිසි විදුලිය අවශ්‍යතාවය. ඒ සඳහා ‘හදිසි විදුලිය මිලදී ගැනීම්’ නම් ක‍්‍රමවේදයක් ලංවිම සතුව පවතී. ඊටම කැපවූ පෞද්ගලික විදුලි බලාගාර රටේ තිබේ. මේ පෞද්ගලික විදුලි බලාගාර සමග සන්ධානගත වී එහෙමත් නැතිනම් ගිවිසුම්ගත වී හදිසි විදුලිය මිලදී ගැනීම් සිදු කිරීමට ලංවිම ඉහළ බලධාරීහු කැමතිය.

හදිසි විදුලිය මිලදී ගැනීමක්ද නැතහොත් ගිවිසගත් කාලයට කරන ගනුදෙනුවක්ද යන්න තෝරා බේරාගත නොහැකි ආන්දෝලනාත්මක විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනුවක් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසර දහයකට අධික කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබේ.

එම පෞද්ගලික විදුලි බලාගාරයේ නම ඒස් ඇඹිලිපිටියය. හිමිකරු කුප‍්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනය. ඒස් මාතර ඇතුළු තවත් බලාගාර හැරී ජයවර්ධනට තිබේ. වැඩිම විදුලි ජනක ධාරිතාව ඇත්තේ ඒස් ඇඹිලිපිටය බලාගාරයේය. මෙගාවොට්වලින් එය 100කි.

මේ ඒස් ඇඹිලිපිටය බලාගාරය කරළියට එන්නේ 2005 වර්ෂයේදීය. ඒ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ දස අවුරුදු ගිවිසුමකට එළැඹෙමින්ය. මේ ආකාරයේ විදුලිබල ගිවිසුම්ද හරි අපූරුය. ආයෝජකයාට හෙවත් හිමිකරුවාට කිසිදු අවදානමක් නැත. වෙනත් ක්ෂේත‍්‍රයක ව්‍යාපාරිකයෙකුට නම් තම ව්‍යාපාරය ගැන අවදානමක් දෙගිඩියාවක් තිබේ. ලාභ ලැබීම කෙසේ වෙතත් තමන් කළ ආයෝජනය පමණක් වුව නැවත ලබාගත හැකිද යන්න එම ව්‍යාපාරිකයන්ට ඇති පළමු ප‍්‍රශ්නයය. ලාභ ලැබීම යනු පළමු ප‍්‍රශ්නයට පිළිතුරු ලැබීමෙන් පසු නැගෙන ඉතිරි ප‍්‍රශ්නයය.

මේ විදුලිිය ලබාගැනීමේ ගිවිසුම් සකස් වන්නේ බලාගාරය ගොඩනැංවීමට ලබාගත් ණය හා ඊට අදාළ පොලිිය ගෙවීම, ණය නොවන අනෙකුත් ප‍්‍රාග්ධනයට ගිය වියදම ලාභයද සමග ලබාගැනීම, බලාගාරය ක‍්‍රියාත්මක කිරීමේ ඉන්ධන ඇතුළු සියලූ වියදම් පියවා ගැනීම යන විදුලි ඒකකයක මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදයකට අනුවය.

ලංකාව වැනි රටවල කරනවා නම් කළ යුතු බිස්නස් වන්නේ මේවාය. එය තවදුරටත් සවිස්තරව තෝරා බේරා ගතහොත් මෙසේය.

2003 මැයි 09 දින ශ‍්‍රී ලංකා රජයත්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමත් අතර ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ ශ‍්‍රී ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහාය. බලාගාරය ඉදිකිරීම සඳහා වැයවන මුදල වශයෙන් ඇමෙරිකානු ඩොලර් 61,155,144ක් ආයෝජනය කිරීමට නියමිතව තිබී ඇති අතර ඉන් සීයට 70ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 42,808,601ක් ණය ප‍්‍රාග්ධනය ලෙසද, ඉතිරිය ස්කන්ධ ප‍්‍රාග්ධනය ලෙසද දක්වා තිබී ඇත. මෙම ණය මූලාශ‍්‍ර දෙකක් යටතේ ලබාගෙන තිබී ඇති අතර එක් ණයක් සඳහා පොලිිය සීයට 8.45කි. අනෙක සඳහා සීයට 5.725කි. මෙම ණය මුදල වසර 7ක කාලයකදී සම්පූර්ණයෙන් ගෙවීමට සකස් කර තිබී ඇත. ස්කන්ධ ප‍්‍රාග්ධනය සඳහා සීයට 17ක් ආරම්භව 28 දක්වා ඉහළ යන ප‍්‍රතිලාභ ලබා ගැනීමට ගණනය කර තිබී ඇත.

මේ අනුව ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් විදුලි ඒකකයක පිරිවැය සකස් කර ඇත්තේ ධාරිතා ගාස්තුව හා බලශක්ති ගාස්තුව යන කොටස් දෙකකින් යුක්තවය. එහිදී ධාරිතා ගාස්තුව වැඩි කළ නොහැකි සංරචකයන් හා වැඩිකළ හැකි සංරචකයන් ලෙසද තවදුරටත් කොටස් දෙකකට බෙදා දක්වා ඇත.

මේ වැඩිකළ නොහැකි සංරචකයන්ට ණය වාරික, ණය පොලී, ස්කන්ධ ප‍්‍රාග්ධනය සඳහා ප‍්‍රතිලාභය හා රක්ෂණය ඇතුළත් වී ඇත. වැඩිකළ හැකි සංරචකයන්ට ස්ථාවර මෙහෙයුම්, නඩත්තු, පරිපාලන වියදම් ඇතුළත් කර ඇත. ඊට අමතරව ධාරිතා ගාස්තුවට ප‍්‍රමාද පොලියද ඇතුළත් කර ඇත.

බලශක්ති ගාස්තුව තීරණය කර ඇත්තේ ඉන්ධන අනුපාතය, ඉන්ධන ප‍්‍රවාහනය හා බලාගාරය නතර කිරීමේ ගාස්තු, විචල්‍ය මෙහෙයුම් හා නඩත්තු ගාස්තු, බදු ප‍්‍රතිපූරණය හා ප‍්‍රමාද පොලි යන සාධකයන්ගෙන් යුක්ත වේ.

ඒ අනුව ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් ධාරිතා ගාස්තුව වශයන් 2005, 2015 අතර වසර දහයක ගිවිසුම් කාලයේදී ඇමෙරිකානු ඩොලර් 117,997,163ක් හෙවත් රුපියල් මිලියන 13,421ක මුදලක් ලංවිම ගෙවා ඇත. එය මෙම බලාගාරයේ මුළු ආයෝජන මුදල මෙන් දෙගුණයකට ආසන්නය. ඊට අමතරව එම කාලයේදී රුපියල් මිලියන 79,324ක මුදලක් බලශක්ති ගාස්තු වශයෙන් ගෙවා ඇත. මේ තුළ බදු ප‍්‍රතිපූරණය ලෙස රුපියල් මිලියන 4784ක්ද, ප‍්‍රමාද පොලී ලෙස රුපියල්  මිලියන 527ක්ද ඇත.

ඒ අනුව අවුරුදු 10ක ගිවිසුම් කාලය අවසානයේ ව්‍යාපාරික හැරී ජයවර්ධන ලබාගෙන ඇති ප‍්‍රතිලාභය සුළුපටු නැත. එහෙත් එම කතාන්දරය ඉන් එහාට නතර වී නැත. ලංවිම නිලධාරීන් උත්සාහ කර ඇත්තේ ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමග තවදුරටත් ගනුදෙනු කිරීමටය. එම උත්සාහයන්, ඒස් සමාගම සමග ගිවිසුම අවසන් වූ 2015 අපේ‍්‍රල් 06 දිනට පෙර සිටම ආරම්භ වී ඇත. ඒස් බලාගාරය ගිවිසුම අවසන් වීමෙන් පසු ඇතිවිය හැකි විදුලිය බිඳවැටීම් ගැන රජයෙන් අනතුරු හැඟවීම් කර ඇත. ඒ නිසා ඒස් බලාගාරයේ ගිවිසුම් කාලය දික් කළ යුතු බව කියා ඇත. එහෙත් එම ඉල්ලීම ඇදි ඇදී ගොස් තීරණාත්මක අදියරකට පැමිණ ඇත්තේ 2016 පෙබරවාරි 25 දින හා මාර්තු 13 දින ජාතික විදුලිබල පද්ධති පූර්ණ බිඳවැටීමකට ලක් වීමෙන් පසුය. එහිදී අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා අතිරේක විදුලිබල ධාරිතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ආණ්ඩුව හඳුනාගෙන ඇත.

දිගුකාලීන ගිවිසුම් යටතේ විදුලිය මිලදී ගත් ගිවිසුම් කාලය අවසන් වී ඇති හා තවදුරටත් භාවිත කළ හැකි මට්ටමක පවත්නා පෞද්ගලික විදුලි බලාගාර ලංවිම මිලදී ගත යුතු බව නිර්දේශ වී ඇත්තේ ඒ අනුවය. එසේ නිර්දේශ වී ඇති බලාගාර වී ඇත්තේ ඒස් ඇඹිලිපිටිය, පුත්තලම හෙළදනවි හා ඒස් මාතර යන ඒවාය. මෙම බලාගාර මිලදී ගැනීම සඳහා සාකච්ඡුා කිරීමටත්, තාක්ෂණික ඇගයීම් සඳහාත් කමිටු පත්කර තිබී ඇත. ඒ වනවිට එම බලාගාර හිමියන් ඒවා ලංවිමට විකිණීමට කැමැත්ත පළකර තිබී ඇත. එම බලාගාරවල ප‍්‍රාග්ධන ආයෝජනය පියවීම සඳහා වන ගෙවීම් ලංවිම ඒ වන විටත් විදුලිය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට ගෙවා තිබීමද එම කැමැත්තට හේතුවී ඇත.

ඒ අනුව ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් හෙවත් රුපියල් මිලියන 2465ක මුදලක් ව්‍යාපාරික හැරී ජයවර්ධන ඉල්ලා ඇති අතර රජයේ තක්සේරුකරුගේ මිල ඊට වඩා අඩු වී ඇත.

කෙසේ වෙතත් බලාගාරය මිලදී ගැනීම සඳහා පත්කළ සාකච්ඡුා කමිටුව වසරක කාලයකට ගිවිසුම්ගත වී විදුලිය මිලදී ගැනීමටත්, මිලදී ගැනීමේ කටයුත්තට දෙපාර්ශ්වය එකඟ වූ දිනයකදී ගිවිසුම අවසන් කර බලාගාරය මිලදී ගැනීමටත් තීරණය කරමින් ආවරණ අනුමැතියකට යටත්ව, 2016 මාර්තු 29 දින ඒස් බලාගාරය සමඟ තවදුරටත් විදුලිය ගැනීමට ගිවිසුම්ගත වී ඇත. මේ තීරණය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත්තේ ගිවිසුම්ගත වීමෙන් පසුවය.

මිලදී ගැනීමේ සාකච්ඡුාවල අවසානය කුමක්දැයි තවමත් අනාවරණය නොවූවද අදටත් ඒස් ඇඹිලිපිටිය බලාගාරය ලංවිම මිලදී ගෙන නැත. 2016 දී වසරකට අත්සන් කළ ඒස් ගිවිසුම 2017 දී තවත් වසරකට දිගුුවී ඇත. අනතුරුව 2018දී තවත් වසර තුනක කාලයකට හෙවත් 2021 අපේ‍්‍රල් 05 දක්වා එම ගිවිසුම ලංවිම බලධාරීන් දිගුකර ඇත. එසේ මෙම ගිවිසුම ලංවිම බලධාරීන් දිගු කරමින් යන්නේ ඒස් ඇඹිලිපිටිය බලාගාරය මහජන උපයෝගිතා කොමිසමෙන් ලබාගත යුතු බලපත‍්‍රය පවා ලබා නොගත් පසුබිමකය.

එම ගිවිසුම මගින් 2016, 2018 අතර කාලයේදී බලාගාරයේ ධාරිතා ගාස්තුව වශයෙන් ලංවිම රුපියල් මිලියන 1967ක් ඒස් සමාගමට ගෙවා ඇත. 2018, 2021 අතර වසර තුනක කාලය සඳහා ධාරිතා ගාස්තු වශයෙන්  තවත් රුපියල් මිලියන 2376ක් ගෙවීමට ලංවිම එකඟ වී ඇත. ඒ අනුව එම බලාගාරය විකිණීමට කැමති යැයි කියූ රුපියල් මිලියන 2465ක මිල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් වසර පහක කාලයක කුලී මුදල් වෙනුවෙන් මේ රටේ ජනතාවට ගෙවීමට සිදුවී ඇත. ඒ මෙම බලාගාරය ඉදිකිරීමට වැයකළ මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ඊට පෙර ගිවිසුම් කාලයේදී ලංවිම මෙම බලාගාරය සඳහා ගෙවා තිබෙන තත්වයක් යටතේය. ඒ අනුව ලංවිම ව්‍යාපාරික හැරී ජයවර්ධනට මේ ආකාරයේ බලාගාර කිහිපයක් සෑදීමට ගත හැකි ධාරිතා ගාස්තුවක් මේ වසර 15ක කාලයේදී ගෙවන බව පැහැදිලිය. විදුලි මාෆියාව යනු මේ ආකාරයේ ගිවිසුම්ය.x

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි