No menu items!
27.6 C
Sri Lanka
19 April,2024

අපි හුන්නෝ..

Must read

වැල්ලවත්ත කියන්නේ හරිම විචිත‍්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන කණ්ඩායම් වාෂ්ප වෙලාම ගිහිං. ජා වුණත් එහෙමයි. මුස්ලිම් තවම ඉන්නවා. ඉතිං කාලෙක ඉඳලා වැල්ලවත්තේ ඉතිහාසය හොයාගෙන 1900 මුලට යන්න මග බලං හිටියේ. තිවංක ප‍්‍රනාන්දු කියන මිත‍්‍රයා නිසා ඒ උවමනාව තවත් වැඩිවුණා. උසට උසේ තට්ටු තට්ටු ගෙවල්, සයිවර් කඩ, බර්ගර් වීදි අස්සෙන් මේ සෙවිල්ල එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඒකට කියාපු පෙරාපු බඩුවක් තමයි තිවංක. තිවංකටත් මේකේ කතාවක් තියෙනවා. ඒක පස්සට එල්ලන්නම්. දැන් අපි වැල්ලවත්තට යමු. තිවංක කියන්නේ, වැල්ලවත්තට උරුම දිග රීෆ් එක නැතිනම් පරය නිසා වේල්ල වත්ත වැල්ලවත්ත වුණා කියලා. අපේ ජස්ටින් මාමා කියන්නේ, මුහුද බැහැගෙන ගිහිං වැල්ල එක්ක මේ වත්ත ඉතුරුවුණ හින්දා වැලි වත්ත වැල්ලවත්ත වුණා කියලා. තිවංක කියනවා, මැහැල්ලවත්ත වැල්ලවත්ත කියලා වතු දෙකක් අතීතයේ එකට යාව තිබුණා කියලා. කොහොම හරි නමේ එල්ලෙන්න නෙවෙයි. හරි කොහොම හරි වැල්ලවත්ත, ඒක තමයි අපි මේ සරන දනව්ව..!!

දූපත් රාජ්ජේ

හරි මම දැන් මුලින්ම කුරුල්ලෙක් වගේ වැල්ලවත්තට උඩින් පියාඹගෙන යන්න හදන්නේ. මේ රූස්ස බිල්ඩිම් අස්සෙන් කුරුලූ ඇහින් වැල්ලවත්තේ ඉසව් ඇහිදින්න. ඒකට මට පාර පෙන්නුවෙ අපේ ජස්ටින් දයාරත්න මාමා.


‘වැල්ලවත්ත කියන්නේ දූපතක්. ලස්සන දූපතක්. එක පැත්තකින් මූද. අනික් පැත්තෙන් වටේටම ලංදේසි ඇළ. දෙහිවල, පාමංකඩ, කිරුළපන, රෙදිමෝල ළඟ පාලම කියන පාලම් හතරෙන් තමයි, අපේ ගමට මිනිස්සු ආවෙ ගියේ. එදා ඔය ඇළ දිගේ ඔරු පාරු කළුතර ඉඳලා පුත්තලමටම ගියා. අපි ඉස්සර නෑවා. මාළු ඇල්ලූවා. අපේ ගමේ ඩෝබි මිනිස්සු රෙදි හේදුවා. සේරම කළේ ඔය ඇලෙන්. කජු පේර මූකලං තමයි ඇළ දෙපැත්තේ තිබුණේ. අපි තමයි ඔය ඇළෙන් නාපු අවසන් පරම්පරාව‘. නොස්ටැල්ජියාවක වෙලිලා වේදාවකින් මාමා අතීතය ගැන කතාව.


මේක ඇත්තටම වැල්ලවත්ත ගැන ඩ‍්‍රයි ජින්මය මතක හැන්දෑවක් කිව්වොත් හරි…! අතීතය වෙනස් වෙමින් අනාගතය නිර්මාණය වීම වේදනාවක්. ඒත් ඒක නවත්තන්න සක්කරයටවත් බෑ. අපිට දැන් තියෙන්නේ මතක කෑලිබෑලි පුරුද්දලා මතක මාලයක් හදලා හිතේ කොනක එල්ලගන්න!. ඒකට කියාපු බීමක් තමයි ඩ‍්‍රයි ජින්.


ඉතිං අපි අද කුණු වෙලා තියෙන, එදා මනරමණීය වැල්ලවත්තේ ගෙල වටේට බැඳුණ ඇළ මාලය ගැන මතක මල් මාලයක් හැදුවා. මේ ඇළ කුණුවෙන්න පටන්ගත්තේ කොයි කාලෙද? මම අහනවා.. අපේ සමූහයා උත්තර ගෝනියක් අපේ ජින්මය හැන්දෑවට හලනවා..


‘1956 බණ්ඩාරනායක මහත්තයා දිනලා අලූත් ආණ්ඩුව හැදුවට පස්සේ තමයි මේ හැමදෙයක්ම වෙනස් වුණේ. එදා වැල්ලවත්ත කියන්නේ සමසමාජ රාජ්‍යයක්. කොඩිය දාලාමයි තිබුණේ. පීටර් සිංඤ්ඤෝ අයියා තමයි ගමේ සමසමාජ ලොක්කා. මිනිහා විවාහ රෙජිස්ටාර්. ඉතිං පිටගංකාරයෝ සමසමාජ කොඩිය දාගෙන වැල්ලවත්තට ආවා. ඇවිත් ඔය ඇළ අයින දිගට ගෙවල් අටෝ ගත්තා. ගොඩක් මිනිස්සු ආවේ දකුණින් බණ්ඩාරගමින් වගේ. ඇළ වෙනස් වුණා. ඇළ විතරක් නෙවෙයි ගමම වෙනස් වුණා.‘

සමසමාජ ඉතිහාසය


අපේ ප‍්‍රධාන කතාවට යන්න කලින් අපේ මාමා මතක් කරපු මතකය දිගේ වැල්ලවත්තේ සමසමාජ ඉතිහාසයට ටිකක් යන්න හිතුවා. අපේ මතක අවුස්සන්නන්ගේ කණ්ඩායමේ නන්දසිරි ප‍්‍රනාන්දු එක්ක ඒක කරන්න පුළුවන්.


‘අපි හැමෝම වගේ ඉපදුණ විහාර මාවතේ කෙළවර කළුබෝවිලයි වැල්ලවත්තයි යා කරපු පාලම ඒ කාලේ (1965 විතර කලින්* තිබුණේ ලෑලි දාපු අත් කරත්තයකට විතරක් යාන්තම් යන්න පුළුවන් පාලමක් විදිහට. ඒ කාලේ රජයේ වැඩ ඇමති චම්ලි ගුණවර්ධන. එතකොට මෙහේ මන්ත‍්‍රී බර්නාඞ් සොයිසා. දෙහිවල ගල්කිස්ස ආසනේ මන්ත‍්‍රී කොල්වින් ආර් ද සිල්වා. තුන්දෙනාම සමසමාජයෙනේ. ඉතිං ඔය පාලම හදන්න පටන්ගත්තා. ගමේ හැමෝම ශ‍්‍රමය දුන්නා. දවස් 60කින් පාලම හැදුවා. මට එතකොට අවුරුදු 16යි. මමත් ඉස්කෝලෙ ගිහිං කෙළින්ම යන්නේ වැඩපොළට.’


නන්දසිරි ප‍්‍රනාන්දු මහත්තයාගේ කතාව එක්ක 1938 ඉපදුණ ජස්ටින් දයාරත්න මාමාගේ 1940/1950 ගැන කතාව මෙහෙම අමුණන්නම්..


‘ඒ කාලේ උතුර, දකුණ, බටහිර, නැගෙනහිර කියලා වැල්ලවත්ත කොටස් හතරකට බෙදලා තිබුණේ. නැගෙනහිර වැල්ලවත්ත පස්සේ පාමංකඩ වුණා. මේ කොටස් හතරටම සිංහල නාගරික මන්ත‍්‍රීවරු හිටියා. 90%ක් හිටියේ සිංහල. දෙවෙනියට හිටියේ බර්ගර් මිනිස්සු. මේ සිංහල අයගෙන් 90%ක්ම හිටියේ ප‍්‍රනාන්දුලා. ඒ මිනිස්සු කළේ කළුතර ඉඳලා ඇළ මාර්ගයෙන් හුණුගල් ගෙනල්ලා හුණු හදන එක. හුණු කර්මාන්තය තමයි මේ ප‍්‍රනාන්දුලාගේ ජීවිකාව වුණේ.’
මේ කතාවත් එක්ක දැන්නම් අපිට හිරිගල් නැත්තං හුණුගල් පුරවපු පාරුවෙන් ඇවිත් අතීත වැල්ලවත්තට ගොඩවෙන්න පුළුවන්. හුණු කර්මාන්තේ එදා ඉඳලා කළේ ‘හුන්නෝ’. නැතිනම් හුණු කියන කුලයේ මිනිස්සු. හුණු කියන්නේ දැන්නම් එච්චර කතාකරන්නෙවත් නැති ගොඩාක් අය දන්නෙවත් නැති කුලයක්. ඒත් අතීත වැල්ලවත්තේ උරුමකාරයෝ මේ කියන හුණු කුලයේ මිනිස්සු.

ප‍්‍රනාන්දුලාගේ කතාව


‘හුණු කියන්නේ සංඝමිත්තා ශ‍්‍රී මහා බෝධිය ගේනකොට ආපු කුලවලින් එක කුලයක්. අපේ පරපුර තමයි එදා ඉඳලා ඉදිකිරීම් කර්මාන්තයේ ලොක්කෝ විදිහට හිටියේ. ඒ කාලේ සිමෙන්ති තිබුණේ නෑ. විහාර, චෛත්‍ය, සේරම කළේ හුණුවලින් සහ ගඩොලින්. කබොක් ගලින්. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනය ඔය මොන දාගැබ වුණත් හැදුවේ හුණු පිරියම් කළේ අපේ පරපුරේ අය. ඔය පරණ රජමහා විහාර දේවාල අවට හැම තැනකම හුණු මිනිස්සු රංචු ගැහිලා හිටියා. ඒ මිනිස්සුන්ට එදා රජවරු උදව් කළා. ගම්වර දුන්නා.’


තිවංක ප‍්‍රනාන්දු හුණු ඉතිහාසයට දොර ඇරියේ එහෙමයි.
‘සුණුක්කාර බ‍්‍රාහ්මණයාගෙන් තමයි අපේ පරපුර පැවතගෙන එන්නේ. එදා මුහුදෙන් කඩන හිරිගල් මුහුදෙන්ම කළුතරට ගෙනල්ලා කළුතරින් පාරුවට දාලා වැල්ලවත්තට ගෙනාවා. ඔය විහාර පාර අද්දරින් සහ තවත් කීප තැනකින් ඒවා ගොඩබාලා පෝරණුවලට දාලා පුච්චන එක තමයි මුලින්ම කළේ. එහෙම පුච්චලා හුණු කොටස් දෙකකට වෙන්කළා. සැහැල්ලූ හුණු දියගහලා දිය හුණු කළා. බර හුණු අලූ හුණු කළා. අළු හුණු කපරාරු කරන්න බිත්ති බඳින්න ගත්තා. දියහුණු තමයි බිත්ති පිරියම් කරන්න ගත්තේ.’


නන්දසිරි ප‍්‍රනාන්දු මහත්තයා කියන විදිහට එදා වැල්ලවත්තේ හැමතැනම හුණු කර්මාන්තේ කෙරුණේ එහෙම. හැම තැනම හුණු පෝරණු තිබුණා. අඩු කුලේ කියලා එදා වටේ ගම්වල මිනිස්සු ගැරහුවේ නෑ කියලා තමයි මේ සනුහරේ කියන්නේ..


‘අපි හුණු මිනිස්සු එදා අභිමානයකින් තමයි වැල්ලවත්තේ හිටියේ. කොඩිය දාගෙන තමයි හිටියේ. ඉස්සර ටැක්සිකාරයෙක්වත් මෙහාට එහෙම එන්නේ නෑ බයයි. විහාර ලේන් කිව්වහම හයිකාරයෝ තමයි හිටියේ. දවසක් කළුබෝවිලින් මිනිහෙක් එනවා වැල්ලවත්ත පැත්තට. අපේ කෙනෙක් අහලා තියෙනවා කොහේද යන්නේ කියලා මිනිහා කියාපි මම මේ හුණුගන්ගොඩට යනවා කියලා. අපේ මිනිහා යන ගමනත් අහවර කරලා පස්සෙන්ම ඇවිත් කළුබෝවිල පාලම පැනලා අර මිනිහා ගමට ඇතුල් වුණාට පස්සේ කෑගහලා කියලා තියෙනවා මෙන්න බොලව් මේ මනුස්සයා හුණුගන්ගොඩ යනවයි කියනවා කියලා. මේක ඇහුණු අපේ මිනිස්සු අර මනුස්සයා අල්ලලා හුණු පෝරණුවකට වීසිකරලා.’ ජස්ටින් මාමා අතීතය හිනාවක දිය කරනවා.
හුණුවලට වතුර ඉස්සාම බුරු බුරු ගාලා වතුර උරාගෙන හුණු හිනැහෙන්නැහේ උන්දෑ හිනාවෙනවා. අනික් හැමෝමත් ඩ‍්‍රයි ජින් එක්ක සතුට මාත්තු කරගන්නවා. ටොනික් වුණත් ඉක්මනට බුබුළු වෙනවා..

පෙළපත් නාම


‘ප‍්‍රනාන්දුලා ඔක්කොම හුණු වෙන්නේ නෑ. වර්ණපුරගේ, දේවපුරගේ, වීරපුරගේ, වෙලන්තිපුරගේ, සියගුණ කොස්ගොඩගේ වගේ පෙළපත් නාම තියෙයිනම් එයාලා හුණු.
මෙහේ දැන් ගොඩක් අපේ අය නැතිවුණත් මග්ගොන, අලූත්ගම, පානදුර, හුණුපිටිය, මීගමුව වගේ පැතිවල අපේ කට්ටිය ඉන්නවා. තවම විවාහයක් වුණත් වෙන්නේ කුලේ අස්සේ. අඩු කුලයක් කියලා තමයි තාම අපේ දිහා බලන්නේ. ඒ හින්දා ගොඩක් අය පෙළපත් නාම වගේම ප‍්‍රනාන්දු කියන කෑල්ලත් අයින් කරගෙන තමයි ඉස්සරහට යන්නේ.


මගේ නම වෙලන්තිපුරගේ තිවංක ප‍්‍රනාන්දු. මම කවදාවත් වෙනස් කළේ නෑ. ඒක මම එහෙම කළේ ගේමටම තමයි. මට මතකයි ඉස්කෝලේ යන කාලේ අපේ ආච්චි නැතිවුණාම මට තමයි බාප්පා ලේක්හවුස් එකට ගිහිං පත්තරේ දැන්වීම දාලා එන්න කියලා කිව්වේ. මම ගිහිං ගෙදර එනකොට ගෙදර හෙන වලියක්. අපේ තාත්තා බයවෙලා ඔෆිස් එකේ අයට අපි හුණු කියලා අහුවෙයි කියලා. පහුවදා මම ආයි ගිහිං ඒ දැන්වීම වෙනස් කළා. මගෙන් එතැන වැඩකරපු මිස් ඇහුවා ඇයි පුතා වෙනස් කරන්නේ කියලා. මම කිව්වා අපි අඩු කුලේනේ මිස් කියලා. අපි විවාහ යෝජනාවක් දැම්මත් පිළිතුරු එන්නේ පහයි දහයයි. හැබැයි ගොවිගම කියලා එහෙම දැම්මොත් සීයක් දෙසීයක් එනවා. අර පහ හය වුණත් එන්නේ හුණු අයගෙන්ම තමයි. මට වුණත් ඔය කුලයෙන් උසස් යාළුවෝ එක්ක බොනකොට කතාකරනකොට පොඩි චකිතයක් තියෙනවා මූ මොන විදිහට සලකයිද කියලා. ඒත් මම කවදාවත් මම හුණු කියන එක අමතක කරන්නෙවත් සඟවන්නෙවත් නෑ. මම මට කුලය පහත් කරලා කතාකළොත් කියන්නේ උඹලා ඔය දොහොත් මුදුන් දීලා වදින පුදන තැන් හදලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ අත්වලින් කියලා.’’ මගේ මිත‍්‍රයාට ටිකක් හිතට අමාරුයි. මිනිහා කියන්නේ මිනිහා ඉස්කෝලේ කාලේ ඉඳලා මේ කුලේ නිසා අඩු සැලකිලිවලට ලක්වුණා කියලා.


ඒත් වෙලන්තිපුරගේ තිවංක ප‍්‍රනාන්දුලගේ පරම්පරාවට තමයි වැල්ලවත්තේ මුළු ස්කූල් ලේන් එකේම ඉඩම් තිබිලා තියෙන්නේ. දැන් නම් පවුල් ගස් ලොකුවෙලා ඉඩම් බෙදි බෙදී ගිහිල්ලා. ජේසන් ප‍්‍රනාන්දු, ලියොනිස් ප‍්‍රනාන්දු, වයිමන් මුදලාලි වගේ ඉඩම් හිමියන්ට තමයි අතීතයේ වැල්ලවත්තේ ලොකු ඉඩම් කට්ටි තිබුණේ. අනික් අයට තිබුණේ පුංචි ඉඩම්. කොහොම වුණත් 1970/1980 දශක වෙනකොට මේ ඉඩම් කැබලි වෙනවා. විකිණෙනවා. හුණු කුලයේ ගොඩක් අය ඕස්ටේ‍්‍රලියාවට කැනඩාවට සංක‍්‍රමණය වෙනවා. තවත් අය කහතුඩුවට, පිළියන්දලට, කැස්බෑවට යනවා තමන්ගේ අතීතය විකුණලා. එහෙම වෙන්නේ පවුල් ලොකු වෙනකොට ඉඩම් පුංචි වෙන නිසා. විකුණන්නේ නැතුව බෙදාහදාගන්න බැරිවෙන නිසා. එහෙම එහෙම යනකොට සිංහල ගම දෙමළ ගමක් වෙනවා. 1983 කළු ජූලිය වෙනකොට වැල්ලවත්තේ විශාල දෙමළ ජනගහනයක් ඉන්නවා. ඒත් සිංහල දෙමළ බැඳියාව උපරිමයට තියෙන හින්දා ගොඩාක් සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ඇතුළේ දෙමළ මිනිස්සු සුරක්ෂිත වෙනවා.

ටී රුද්‍රා


මෙහෙම මෙහෙම දෙමළ වීගෙන යනකොට බර්ගර් සිංහල පැහැ වැල්ලවත්ත යාපනේ වගේ වෙනවා. මේ ඉතිහාසය තව ටිකක් ගැඹුරට සොයා බලන්න තියෙනවා නම් මරු ඒක. කොහොම වුණත් වැල්ලවත්තේ සිංහල හුණු කුලයේ මිනිස්සුයි දෙමළ මිනිස්සුයි මුල ඉඳලා හිටිය බැඳීම ගැන හිතන්න හොඳ තැනක් තමයි ටී රුද්‍රා කියන දෙමළ දේශපාලකයා. ඔහු වැල්ලවත්තේ නාගරික මන්ත‍්‍රී වෙනවා. ඒ වගේම වැල්ලවත්ත නියෝජනය කරලා කොළඹ නගරාධිපති වෙනවා. රුද්‍රා මහත්තයා ගැන අපි නොදන්න ඉතිහාසයක් ජස්ටින් මාමා කතාකළා.


‘ටී රුද්‍රා කියන්නේ යාපනේ දෙමළ මනුස්සයෙක්වත් මඩකළපුවේ දෙමළ මනුස්සයෙක්වත් නෙවෙයි. මිනිහා කමලා සර්කස් කණ්ඩායම එක්ක ඉන්දියාවෙන් ලංකාවට ආපු මනුස්සයෙක්. කමලා සර්කස් කණ්ඩායම ලංකාවෙන් ගියාට පස්සේ ටී රුද්‍රා සිංහල ගෑනියෙක් බැඳගෙන මෙහෙට සින්න වුණා. ඒකයි වුණේ. මම මේ කියන්නේ මට මතක විදිහට 1956ට කලින් ඉතිහාසය. මිනිහා ස්වාධීනව කොළඹ නගර සභාවට තරග කළා. විවියන් ගුණවර්ධන, ලයනල් ප‍්‍රනාන්දු වගේ අය එක්ක තමයි තරග කළේ. අපේ හුණු මිනිස්සු සේරම මිනිහට ඡුන්දේ දුන්නා. මිනිහා දිනුවා. යූඑන්පී කණ්ඩායමට 16යි සමසමාජ ශ‍්‍රීලනිප කණ්ඩායමට 16යි. වාමාංසිකයෝ කිව්වා රුද්‍රාට, උඹ අපිට සහාය දෙනවනම් අපි උඹබව නගරාධිපති කරනවා කියලා.

අන්නෙහෙමයි මිනිහා නගරාධිපති වුණේ. මිනිහා වැල්ලවත්තට සෑහෙන්න වැඩක් කළා. අපේ සිංහල බෙහෙත් ශාලාවට උදව් කළා. සල්ලි නැති හැම හුණු මනුස්සයාටම පිං පඩි හදලා දුන්නා. පස්සේ මිනිහා සිංහල ගෑනි අයින් කරලා වඩුක්කුඩෙයිවල දෙමළ ගෑනියෙක් බැඳගෙන එහෙන් පාර්ලිමේන්තුවට ඉල්ලූවා, පරාදයි.’ කොක්සන් සිනහවක් එක්ක කතාව නතර කරනවා.
මාමාගේ කතාවට යාව තවත් කතා ගොඩක්. වැල්ලවත්තේ දේශපාලන ඉතිහාසයත් හරිම රසවත්. ඒ රහා මතක කැබලි ඇවිත් ඇවිත් අපි එක්ක පැටලෙනකොට තවත් රහවත්..!
මේකත් ජස්ටින් මාමාගේ ඒවගේ රහ මතකයක්..


‘ඉස්සර වැල්ලවත්ත ගල්කිස්ස කියලත් ආසනයක් තිබුණා. ඒකට මුලින්ම ඉල්ලූවේ යුඑන්පී එකෙන් පෙරේරා ඇන්ඞ් සන්ස් අයිතිකාරයා. ගිල්බට් පෙරේරා මහත්තයා. අනික් පැත්තෙන් ඉල්ලූවේ කොල්වින් ආර් ද සිල්වා මහත්තයා. රත්මලාන ගල්කිස්ස පැත්තේ හිටපු සිල්වලා සේරම තමන්ගේ මිනිහා කියලා කොල්වින්ට දුන්නා. ගිල්බට් පෙරේරා පරාදයි. එතකොට පාරේ සිංදුවක් දාගෙන ගියා පාන් වික්ක සල්ලිවලට ජලාහුටා නෝ කියලා..‘ අම්මෝ හිනා ඉහිරෙන සඳ.. සාද රහ!

ඒ කාලේ ඩෙල්මන් එක ළඟට කිව්වේ නෙලූම් පොකුණ කියලා. ඇත්තටම එහෙම පොකුණක් තිබිලා. රෙදිමෝලේ සීනුව මේ සනුහරේ ඈයින්ට තාම මතකයි.

කොඩිය දාගෙනමයි


‘රික්ෂෝ වත්ත තමයි රොක්සි වත්ත වුණේ.’ ශෂික තරංග මිත‍්‍රයා කියනවා. අපේ ජස්ටින් මාමාට තියෙන්නේ ඊට වඩා වෙන මතකයක්. ‘ඔය හරිය ඉස්සර කොළඹ නගර සභාවෙ කක්කුස්සි වත්ත. හිටියේ අඩු කුලේ දෙමළ මිනිස්සු, රික්ෂෝකාරයෝ.’ තිවංක කියනවා. කොහොම හරි රොක්සි ෆිල්ම් හෝල් එක හැදුවට පස්සේ තමයි රොක්සි වත්ත වෙන්නේ. මේ වත්තේ දැන් සිංහල දෙමළ මුස්ලිම් හැමෝම කවලමට ඉන්නවා. වැල්ලවත්ත අතීතය වර්තමානයට ගලාගෙන ඇවිත් තියෙන්නේ එහෙම. අද මේ බිමේ හුණු වංශිකයෝ දුබල වුණාට අතීතයේ ඔවුන්ගේ කෙරුවාවන් ලේසි නෑ. කොඩිය දාගෙනමයි ඉඳලා තියෙන්නේ..


‘දැන් හීනෙන් පෙනිලා හොයාගත්තා කියන සෝමාවතිය පුදබිම හොයාගෙන ඒකේ බෝ පැලයක් රෝපණය කරලා, විශ‍්‍රාම ශාලාවක් හදලා, සෝමාවති විශ‍්‍රාම ශාලාවර්ධන සමිතිය කියලා එකක් හැදුවේ, මේ වැල්ලවත්තේ හුණු මිනිස්සු. කොහොම හරි අපේ කුලේ නිසා චෛත්‍ය වර්ධන සමිතියක් හදලා විහාරස්ථානය දියුණු වෙනකොට අපි එතැනින් අයින් කළා. ඊළඟට සේරුනුවර රජ මහා විහාරයත් දියුණු කරන්න මුලින්ම කැප වුණේ වැල්ලවත්තේ අපේ මනුස්සයෙක්. අපේ බෝධිරුක්ඛාරාමය පන්සලට ජය ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කරන්න වෙහෙස වුණේ මෙහේ හිටිය අපේ හුණු මිනිස්සු. අපි පහළට දාන්න හැදුවට අපි බුදුදහම එක්ක හිටියේ එහෙමයි, මේ ගමට මුල ඉඳලම, ගමේ මිනිස්සු මහංසිවෙලා නොමිලේ පවත්වාගෙන යන සිංහල බෙහෙත් ශාලාවක් තිබුණා.’


මගේ මිත‍්‍රයා කුලය නිසා වෙනස් කරලා සැලකීම ගැන කතාවකට ආයි මේ කතාව අරගෙන යනවා. අපේ මිත‍්‍ර කැල කියන විදිහට සෝමාවතිය පුදබිම සොයාගන්න ලැබෙන්නේ බී ඒ මැන්දිස් වෙදමහත්තයා, වැල්ලවත්තේ බෙහෙත් ශාලාවට සිංහල බෙහෙත් හොයන්න පොළොන්නරු යනකොට දුම්කොළ වේලපු මුස්ලිම් මිනිස්සු දුන්න ඔත්තුවකට අනුව.


මෙහෙම කතා කෝටියක් වැල්ලවත්තේ මේ ජනශේෂයට තියෙනවා. බන්දුල වර්ණපුර වගේ තමන්ගේ කුලයෙන් ඇවිත් රටට සේවය කරපු විශාල පිරිසක් ගැන ඔවුන්ට තියෙන්නේ ආඩම්බරයක්. ඔවුන් ඒ ගැන අතීත මතක ගොඩක් ගෙනත් ගෙනත් අතාරිනවා. ඒත්, ඒ සේරම කතාවලට ඉඩක් දෙන්නේ කොහොමද? වැල්ලවත්ත කියන්නේ පත්තිනි දේවිය වෙනුවෙන් අංකෙළියේ යෙදුණු ගමක්.. ගමේ පැරණිකමට, ඒක එක කතාවක්. නන්දසිරි ප‍්‍රනාන්දු මහත්තයා අඩියක් ගහන ගමන් කතාවට වැටෙන්න ආවේ අං කෙළියට ගත්ත අං කූට්ටමකුත් එක්ක. ‘මේක අං කඩපු අං කූට්ටමක්‘ එහෙම කියනකොට මිනිහගේ ඇස් දිළිසෙනවා. සතිගානක් යන සෙල්ලමක් මේක. 2010 අවුරුද්දේ තමයි වැල්ලවත්තේ අන්තිමට අං ඇදලා තියෙන්නේ. අං කෙළිය කියන්නේ මාර කෙළියක් කියන්නැහේ කතා සාගරයක් දැන් මෙතන!!.. ජින් රහට බයිට් වෙන..!!!

- Advertisement -

පුවත්

1 COMMENT

  1. අනිද්දා මේ සතියෙ (01.26) පත්තරේ තියෙන “මයුරා හෝටලය” ගැන ලිපියත් රහයි.

    වැල්ලවත්තේ මයුරා හෝටලය තියෙන්නේ කොහේද? ගූග්ල් මැප් එකේ නැහැ. යන්නම ඕන තැනක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි