No menu items!
21.4 C
Sri Lanka
5 November,2024

මෛත්‍රී මහින්ද යාළු වුණාට අපි තවම යාළුවෙලා නැහැ

Must read


ශ්‍රීලනිප ජාතික සංවිධායක
දුමින්ද දිසානායක

ඔක්තෝබර් 26 සිදුවීමට දින කිහිපයකට කලින් ඔබ අනිද්දා සමග සාකච්ඡාවකට එකතුවෙමින් කීවා, මෛත්‍රීපාල සිරිසේන මහතාට කවදාවත් රාජපක්ෂලා සමඟ එකතුවෙන්න බැරි බව.
ඒ ප්‍රකාශයට හේතුවක් තිබුණා. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ විරෝධී කඳවුරට නායකත්වය ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඇත්තටම ඒ දක්වාම මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කතාකරන්න ගොඩක් අය බයවුණා. අපි වේදිකාවක් ගානේ ගිහින් කිව්වා මහින්ද රාජපක්ෂගේ පවුල මෙහෙම පවුලක්, ඔහු පක්ෂයට සැලකුවේ මේ විදියට, අපි හිටියේ මේ විදියේ පීඩනයක කියලා. ඒකට නායකත්වය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඉතින් අපට ඒක අමතක කරන්න බැහැ. ඒ මිම්මෙන් අපි හිතුවේ. මෙහෙම කතාකරපු, මෙහෙම ප්‍රශ්න තියෙන කෙනෙක්ට නැවත එකතුවෙන්න බැහැ කියලා අපි හිතුවා. ඒ මට පෙනෙන විදිය. ඒත් ජනාධිපතිතුමාට ඒක එහෙම නොපෙනෙන්න පුළුවන්. දේශපාලනයේ හැමදාම හතුරන් නැහැ, මිතුරනුත් නැහැ කියලා ඔහු හිතන්න පුළුවන්. ඔහු හිතනවා ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් වෙනස් වෙලා ඇති කියලා. මගේ යටතට ගත්තොත් මහින්ද රාජපක්ෂ පාලනය කරන්න පුළුවන් වේවි කියලා හිතනවා ඇති.
ඒත් ඒ එකඟතාවට දින 52යි යන්න පුළුවන් වුණේ. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැත්තෙන් හිතුවොත්, ඔහු ලොකු පරිත්‍යාගයක් කළා. ඒක එතුමාගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් කළ කැපකිරීමක් වෙන්න පුළුවන්. රට වෙනුවෙන් ගත්ත තීන්දුවක් වෙන්නත් පුළුවන්. මෙච්චර කැපකිරීම් කරලා, රටේ ජනතාවගෙන් අවලාද අහලා ජනාධිපතිතුමා යම් එකඟතාවක් ඇති කරගත්තානේ. සියල්ල සැලසුම් කළ විදියට සිද්ධවුණේ නැතත් දෙපාර්ශ්වය එකතු කළානේ. ඒත් ඒකට ඔවුන්ගේ පැත්තෙන් ගරු කරනවාද. ඒ එකඟතාව ඉදිරියට ගෙනයන්නට ඔවුන්ගේ පැත්තෙන් ඕනෑකමක් තියෙනවාද කියන එක දැන් ප්‍රශ්නයක්. ඔවුන් දැන් කියනවා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන නොවන බව. මහින්ද රාජපක්ෂ මහත්තයා අවසාන මොහොතේ අපේක්ෂකයා හෙළි කරනු ඇති බව කියනවා. ගෝඨාභය රාජපක්ෂගේ නම තවත් අය කියනවා.

ඔක්තෝබර් 26 දා තින්දුව ගන්න කලින් ජනාධිපතිවරයා ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා කළාද?
මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දෙන්න කලින් ඒ බව දැනගත්තේ මමත්, මහින්ද අමරවීර මන්ත්‍රීතුමාත් විතරයි. ඒ විනාඩි දහයකට කලින්. අපි එතැනට ආවේ වෙනත් සාකච්ඡාවක් සඳහා. මම දන්න විදියට ඊට කලින් මේ ගැන දන්නේ මෛත්‍රී මහත්තයායි, මහින්ද මහත්තයායි විතරයි. ඒ වෙලාවෙ පොහොට්ටුවේ කට්ටිය ඇවිල්ලා හිටියේත් ජනාධිපතිතුමා ගැන සාකච්ඡාවකට පමණයි. ඒ වගේම ශ්‍රීලනිප කණ්ඩායම දැනනගත්තේත් ප්‍රවෘත්තිවලින්.


දින 52 රාජපක්ෂලා ආණ්ඩුව ගෙනගිය ආකාරය අනුව, එදා ඔබ විවේචනය කළ මහින්ද රාජපක්ෂ වෙනස් වී සිටි බව පෙනුණාද?

ඇත්තටම ලංකාවේ අපි පුරුදුවෙලා හිටියේ ජනාධිපති යටතේ පවතින ආණ්ඩුවලට. අගමැතිවරයා යටතේ තිබුණු ආණ්ඩුවලට නෙවෙයි. රටේ හොඳ දෙයක් සිද්ධවුණොත් අගය කරන්නෙ ජනාධිපතිතුමාව. නරක දෙයක් සිද්ධවුණොත් බනින්නේ ජනාධිපතිතුමාට. ඒ නිසා ආණ්ඩුවක නායකයා ජනාධිපති. අපේ සම්ප්‍රදාය ඒක. ඒ නිසා දින 52 ආණ්ඩුව ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක්. කොහොමවුණත් මහින්ද රාජපක්ෂ මහත්තයා යහපාලන ආණ්ඩුවේ විවිධ තීන්දු විවේචනය කළා. ඒත් දින 52 දී විවේචනයට ලක් කළ තීන්දු වෙනස් කළේ නැති බව කියන්න ඕනෑ.

ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඔහුට, ඔක්තෝබර් 26 වැනිදා ගත්ත තීන්දුව සඳහා සාධාරණ විදියට බලපෑව හේතු තිබු ණාද?
ඒක මට කියන්න බැහැ. මගේ පැත්තෙන් යමක් කියන්න පුළු‍වන්. මම නම් පුද්ගලිකව ඇති කරගන්නා ගනුදෙනු මත රට ගැන තීන්දු ගන්න එකට විරුද්ධයි. ඉදිරිපත් වුණ එක හේතුවක් සැලකිල්ලට ගනිමු. ජනාධිපතිතුමාව මරන්න ඉන්න බවට දැවැන්ත භීතිකාවක් ඇති කළානේ. දැන් කෝ ඒක. දැන් ආයෙමත් ඒ කණ්ඩායමම ඉන්නවා. ඒ අගමැතිතුමාම ඉන්නවා. ඒ පොලිස්පතිතුමාම ඉන්නවා. ජනාධිපතිතුමා පොලීසිය බාරගත්තා. දැන් ඒ කුමන්ත්‍රණය අවසානද. මරන්න හිටපු කෙනාව ඇල්ලු‍වාද. මරන්න ඉන්නවාය කියලා හෙළිදරව් කළ මිනිහා තාම එළියේ. ඒ මිනිහා ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තිය තමයි රටේ ජනාධිපතිතුමාව මරන්න ඉන්නවාය කියලා සතියෙන් සතිය කියන්නේ. මහා විහිළුවක්නේ මේක. මම නම් මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියන එකාව. එයාගෙන් තමයි මුලින්ම අහන්නේ මොකක්ද මේ සැලසුම කියලා. මේක නිකන් ටෙලිඩ්‍රාමා එකක් වගේනේ. සතියෙන් සතිය ප්‍රෙස් තියලා කියනවා අරයාත් සම්බන්ධයි, මෙයාත් සම්බන්ධයි කියලා. තව ටික දවසකින් කියයි දුමින්දත් මේකට සම්බන්ධයි කියලා. මේවා සුරංගනා කතා. ඕනෑම කෙනෙක් එක්ක පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා මත පදනම් වෙලා රටේ ජනතාවට පාඩු කරන එකට මම විරුද්ධයි.

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකරගන්න පුළුවන් වේවිද?
අපි ශ්‍රීලනිපය විදියට හැමදාම කිව්ව කාරණයක් තියෙනවා. අපි හැමදාම ජයග්‍රහණය කරලා තියෙන්නේ අනෙක් පක්ෂ එක්ක සන්ධානගත වෙලා. අපි කාත් එක්ක සන්ධානගත වෙනවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපේ මතවාදයට එකඟ විය හැකිද කියලා බලන්න ඕනෑ. අපි විශ්වාස කරනවා පොහොට්ටුවේ ඉන්නෙ ශ්‍රීලනිපයේ හිටපු අය කියලා. ඔවුන්ට ආයෙමත් මහගෙදරට එකතුවීමේ ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔය කියන පොහොට්ටුව තුළ, ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට නරකම කාලයේ තිබුණු දේවල් ක්‍රියාත්මක වෙනවා නම්, ඒක ගැටලු‍වක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම කීවා ශ්‍රීලනිපයේ පවුල්වාදය නතර වෙන්න ඕනෑ බව. දැන් පොහොට්ටුවේ අය රාජපක්ෂලා ගැනම කතාකරනවා. ජනාධිපතිවරණය ගැන කතාකළත් ඒ තීන්දුව ගැනීම එක රාජපක්ෂ කෙනෙක්ට බාරදීලා. තොරාගන්න තියෙන්නේත් රාජපක්ෂලා අතරින් එක්කෙනෙක්ව. ඉතින්, ඔය ප්‍රශ්නය නිසා ගැටලු‍වක් එයි. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී කරපු වෙනසෙන් තේරුමක් නැහැ. එතැනට යන්න දෙන්න බැහැනේ.

දැන් පොදුජන පෙරමුණ විසින් ඇති කරගන්නා සන්ධානයේ 51% එකක බලය සහ ප්‍රධාන තනතුරු සියල්ල තියෙ න්න්‍ෙ පොදුජන පෙරමුණට. ශ්‍රීලනිපය එවැනි සන්ධානයක කොට ස් කරුවෙක් විය යුතුද?
ශ්‍රීලනිපය එතැනට වැටෙන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. මීට කලිනුත් ශ්‍රීලනිපය දුර්වල වෙලා තියෙනවා. ශ්‍රීලනිපය වැටුණ වෙලාවේ ඒක නැති කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම්, ඒකට යටවෙන්න ඕනෑ නැහැ. අපට එකඟ වෙන්න බැරි නම් තනියෙන් ඉල්ලනවා. අපට හොඳ මිම්මක් තියෙනවා තනියෙන්ම ඉල්ලු‍වොත් අපට දිනන්න පුළුවන්ද කියලා. බැරිම නම් අපි තනියෙන් ඉල්ලනවා. පහුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක්. මොකද ඒ ඡන්දයේදී මිථ්‍යාවක් ප්‍රචාරය කළා, ඡන්දය දින්නොත් පහුවදාම මහින්ද මහත්තයාව අගමැති කරයි කියලා. ඒත් මේ වෙද්දී මිනිස්සු ඒ බොරුවටම අහුවෙන්නේ නැහැ. එතකොට ගමෙන් ආපු ශ්‍රීලනිප අපේක්ෂකයා ඉල්ලු‍වේ මහින්ද මහත්තයාට විරුද්ධව. ඒ නිසා තමයි මහරගම වගේ තැන්වල අහසින් පාත්වුණ අය දිනන්නේ. එදා ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරමින් හිටියේ. ඒත් අද අපි එළියට ඇවිත්. ඒ නිසා අපි තනියම ඉල්ලු‍වොත්, අපේ මට්ටම ගැන හරි තක්සේරුවක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා.

එජාපය සමග ජාතික ආණ්ඩුවකට එක්වීමට ඔබ
තීන්දුවක් අරන් තියෙනවාද?

එහෙම තීන්දුවක් අරන් නැහැ. මම කලිනුත් කියා තියෙනවා වගේ, දැන් තියෙන්නෙත් ජාතික ආණ්ඩුවක්. ආණ්ඩුවේ නායකත්වය දරන්නේ ශ්‍රීලනිප සභාපතිවරයා. මේ ආණ්ඩුව ගැන මගෙන් ප්‍රශ්න අහන්න එපා, ඔක්කොම තීන්දු ගන්නේ අගමැතිවරයා කියලා ජනාධිපතිතුමා කියලා නැහැනේ. ඒ වෙනුවට ජනාධිපතිතුමා ආණ්ඩුවේ නායකයා විදියට උත්සවවලට සහභාගි වෙනවා. ගැසට් නිවේදන පළ කරනවා. රාජ්‍ය ආයතන පිළිබඳවත්, කැබිනට් මණ්ඩලය පිළිබඳවත් තීන්දු ගන්නවා. ඉතින්, මේ ආණ්ඩුවේ ශ්‍රීලනිපය ඉන්නවා විතරක් නෙවෙයි. ආණ්ඩුවේ නායකත්වය දරන්නේ ශ්‍රීලනිපය. කොහොම වුණත් මගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන හිතලා මම තීන්දු ගන්නේ නැහැ. පක්ෂය ඇතුළේ ඉඳන් මම හඬ නගනවා.

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සැලකිය යුතු කොටසක් පක්ෂයේ මෑතකාලීන තීන්දු විවේචනය කරනවා නේද? ඔවුන්ට එරෙහිව විනය පියවර ගත යුතුද?
මම එළියට බැස්සේ ශ්‍රීලනිප ලේකම්වරයාව ජනාධිපති කරන්න. ඊට පස්සේ ලේකම්වරයා ශ්‍රීලනිප සභාපතිවරයා බවට පත්වුණා. එදා මම විතරක් නෙවෙයි එළියට බැස්සේ. ශ්‍රීලනිප පාක්ෂිකයෝ ලොකු පිරිසක් හිටියා. එදා එළියට බැහැපු අයට ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිතුමා ගත්ත තීන්දුව ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොනවහරි එකඟතාවක් මත ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද යාළුවුණාට අපි තවම යාළුවෙලා නැහැ. පහළ ඉන්න අය හිතන දෙයක් තියෙනවානේ. ඉහළින් එයාලාගේ ප්‍රශ්න බේරාගත්තා. පහළ ඉන්න අයව අමතක කළා කියලා එයාලා හිතනවා. මෛත්‍රී මහත්තයා පෙන්වූ පාරේ ගිය අය අසරණ වෙනවා. එයාලාට වේදනාවක් තියෙනවා. එදා අඩි හයක් යටට යන්න හිටියේ මෛත්‍රී මහත්තයා විතරක් නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ පවුල්වල අයත් අඩි හයක් යටට යෑමේ අවදානමක් තිබුණා. එහෙම කතාකරන අයට එරෙහිව පියවර ගන්නවා නම්, මහින්ද යුගයට වඩා වෙනසක් නැහැනේ. එයාලා සාධාරණ ලෙස තමන්ගෙ දුක ගැන කතාකරනවා. ඒ විදියට කතාකරන්න ඉඩ දෙන්න ඕනෑ. දැන් ළංවෙලා ඉන්නෙ එදා මහින්ද මහත්තයාට වැඩ කරපු අය. මෛත්‍රී මහත්තයා පක්ෂයේ සභාපති වුණාට පස්සේ තමයි එයාලා ආවේ. දැන් එයාලා උත්සාහ කරනවා මුල ඉඳන් මෛත්‍රී මහත්තයා ළඟ හිටපු අයව ඈත් කරන්න. ඔය වගේ කුහක වැඩ දේශපාලනයේ හැමදාම සිද්ධවුණානේ.

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වේවිද?
මම උදේටයි හවසටයි වචන මාරු කරන්නේ නැහැ. මම එදා ඉඳන් කියපු දේ තමයි අදත් කියන්නේ. දැන් මට මඩ ගහනවා දුමින්ද දිසානායක මෛත්‍රීපාල සිරිසේනව කන්න යනවා කියලා. අපි පක්ෂයක් විදියට අපේ පක්ෂයේ නායකයා, දැන් ඉන්න ජනාධිපතිවරයාව නැවත ජනාධිපති ධුරයට පත් කරන්න හිතන එක වැරදි නැහැනේ. පක්ෂයෙන් කොච්චර ඉල්ලු‍වත් මම එන්නේ නැහැ කියලා ජනාධිපතිතුමාම කිව්වා නම්, වෙන කෙනෙක් ගැන හිතන එකේ වැරැද්දක් නැහැ. ඒත් කවදාවත් ජනාධිපතිතුමා එහෙම දෙයක් කියලා නැහැ. එතුමා ළඟ වැඩකරපු කෙනෙක් විදියට මගේ විශ්වාසය අනුව එතුමා ඒකට සූදානම්. අකමැති නම් මම තැනින් තැන එතුමාව ජනාධිපතිවරණ අපේක්ෂක්ත්වයට යෝජනා කිරීමට විරුද්ධ වෙන්න එපැයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි