No menu items!
28.2 C
Sri Lanka
20 April,2024

වෛද්‍ය සංගමය නිරුවතින්

Must read


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය වෘත්තියට නිගා කරන සංවිධානයක් බවට පත්වෙමින් තිබෙන බව කණගාටුවෙන් වුවත් ලියා තැබිය යුතු කාරණයකි. වෛද්‍යවරුන් 25,000ක් පමණ සාමාජිකත්වය දරන බව කියන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලංකාවේ සිටි ශක්තිමත්ම සහ ගෞරවණීයම වෘත්තිය සමිතියකි.
මේ වෙද්දී වෛද්‍යවරුන් බොහෝදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනය කරන තැනට පත්ව සිටින්නේය. බොහෝ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලවරණවලට සහභාගී වෙන්නේද නැත. අනුරුද්ධ පාදෙණිය ඇතුළු සුළුතරයකගේ අතකොළුවක් බවට මෙම සංවිධානය පත්ව ඇත.
2015ට පෙර දේශපාලන කාරණයක් ගැන විමසද්දී ‘අපි දේශපාලනය කරන්නේ නැහැ’යි කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙවුණු වසර තුන ඇතුළත දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වූ හැටිත්, රාජපක්ෂලා බලයට ආ විගස නිහඬ වූ හැටිත් අපි දුටුවෙමු. තමන්ගේ දේශපාලනය නිරුවත් කොට හෙළිදරව් කිරීම ගැන එම සංගමයේ ඉහළ නිලධාරීන්ට අප ස්තූතිවන්ත විය යුතුය. ඉදිරියේදී තව තවත් එම සංගමයේ නිලධාරීන්ගේ නිරුවත දැකිය හැකි වනු ඇත.

වෛද්‍ය සභාව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛද්‍ය සභාවේ බලය ඇල්ලීම සඳහා කටයුතු කිරීම බොහෝ වෛද්‍යවරුන්ගේ විරෝධයට හේතු වී තිබුණු කාරණයකි. වෛද්‍ය සභාව යනු වෛද්‍යවරයෙකු විසින් ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් ඒ පිළිබඳව කටයුතු කළයුතු ආයතනයයි. වෛද්‍යවරුන්ට පිළිගැනීම ලබාදෙන වෘත්තීය ආයතනයයි. එහි ස්වාධීනත්වය අතිශය වැදගත් කාරණයකි. බොහෝවිට වෛද්‍ය සභාවට තෝරා පත් කරගැනුණේ වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් ඉහළ ගෞරවයක් ලැබූ, මධ්‍යස්ථ වෛද්‍යවරුන්ය.
එවැනි ආයතනයක බහුතර බලය එක් වෘත්තිය සමිතියකට ලැබුණහොත්, සිදු වන්නේ එහි සාමාජිකත්වයට වාසිදායක ලෙස වෛද්‍ය සභාව කටයුතු කිරීම බව අමුතුවෙන් කිව යුතු නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ව වෛද්‍ය සභාවේ තනතුරුවලට පත් කරගැනීම සඳහාද පහත් මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය බව ප්‍රසිද්ධ කාරණයකි. මේ වෙද්දී වෛද්‍ය සභාවේ තනතුරු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙක්ම වෙයි.
වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී තිබුණු සභාපති අසුනෙහි පුරප්පාඩුව සම්පූර්ණ කිරීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී තිබුණි. වෛද්‍ය පාලිත අබේකෝන්ව එම තනතුරට පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලපෑම් කර තිබුණි. ඒ බව නොවැම්බර් 30 වැනිදා පැවති වෛද්‍ය සභාවේ මාසික රැස්වීමේදීද කතාබහට ලක්වී තිබුණි. වෛද්‍ය සභාවේ සාමාජික, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා විසින් වෛද්‍ය සභාවේදී කතාවක් කර තිබුණු අතර ඒ කතාවෙන්ද ඔහු පෙන්වා ඇත්තේ වෛද්‍ය සභාවේ සභාපතිවරයාව පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වූ බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය පාලිත අබේකෝන් විසින් එම තනතුර ප්‍රතික්ෂේප කර තිබුණි. ඔහු ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය හේතු නිසා තම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි.
පාලිත අබේකෝන් වෛද්‍යවරයාව එම තනතුරට පත් කර තිබුණේ නීතිවිරෝධී සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින්ය. කෙසේවෙතත් නොවැම්බර් 30 වන දා පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීමට පාලිත අබේකෝන් මහතා සහභාගී වී තිබුණේ නැත.
එදින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයන් විසින් නව සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් කොහිදැයි විමසා සිට ඇති අතර වෛද්‍යසභාවේ උපසභාපතිනිය විසින් දැනුම් දී ඇත්තේ නව සභාපතිවරයා විසින් එම තනතුර වාචිකව ප්‍රතික්ෂේප කර ඇති බවයි. එහි දී වෛද්‍ය සභාව වෙත පත්කරන ලද ලිපිය වෛද්‍ය නවීන් ද සොයිසා ගෙනැවිත් තිබුණි. එතෙක් වෛද්‍ය සභාවටද එම පත්කිරීම වාචිකව දැනුම් දී තිබුණා මිස නිල ලියැවිල්ලක් ලැබි තිබුණේ නැත.
වෛද්‍ය සභාව සතුව නොමැති ලියැවිල්ලක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබීමත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය සභාවේ සභාපතිවරයාව පත් කිරීමට බලපෑම් කිරීමත් සම්බන්ධයෙන් එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් නොවන වෛද්‍යවරුන් විසින් අදහස් දක්වා ඇත. එය මත ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර වෛද්‍ය සංගමය දේශපාලනීකරණය කිරීම පිළිබඳව වෛද්‍යවරුන් විසින් දැඩි විවේචනයක් සිදු කර ඇත.
රාජිත සේනාරත්නගේ හෙංචයියන් යැයි එම වෛද්‍යවරුන්ට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් එම නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර, එම වෛද්‍යවරුන්ට පහරදීමටද උත්සාහ කර ඇත.

ජාතික ලැයිස්තු
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ තනතුරු දරමින් සිටින සාමාජිකයන් පිරිසක් පසුගිය සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව මුණගැසී තිබුණි. එම හමුව රජයේ වෛද්‍ය නිලධාරිනේගේ සංගමය නියෝජනය කරමින් සිදුකළ නිල සාකච්ඡාවක්දැයි අපි නොදන්නෙමු. කෙසේ වෙතත් එහිදී විවිධ කරුණු සාකච්ඡා කර තිබෙන අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල නිලධාරියෙකුට ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි අතිශය විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසන්නේය.
මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ස්ථාවරයක් නොවන බව පැහැදිළි කාරණයකි. තමන් නියෝජනය කරන සංවිධානයේ නායකයන්ව දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු සාමාජිකයන් බවට පත්කිරීමට වෛද්‍යවරු කැමති වෙන්නේ නැත. මේ වෙද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ සිටින බව බහුතර විශ්වාසය වී තිබෙන්නේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහින්ද රාජපක්ෂලාගේ ව්‍යාජ දේශප්‍රේමී වදන් මාලාව උසුරුවමින්, රාජපක්ෂලාගේ වචන මාලාවට අලු‍ත් දේශප්‍රේමී වදන් එකතු කරමින් පසුගිය කාලයේදී පැහැදිළි දේශපාලනයක යෙදුණි. ඉහත ඉල්ලීම වැනි ඉල්ලීමක් එන්නේ ඒවාට කෘතගුණ සැලකීමක් ලෙස විය යුතුය.
මෙම සාකච්ඡා තිරය පසුපස සිදු වුවද, මේවා ක්‍රියාත්මක විය යුත්තේ එළිපිටය. එතෙක් බලා සිටිය යුතුය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි