No menu items!
28.4 C
Sri Lanka
23 April,2024

පොලීසියට අභියෝගයක් ‘ස්කූල් ටයිම්’ එකේ නීතිය ක‍්‍රියාත්මක කරන්න

Must read

 

 

‘ස්කූල් ටයිම්’ යන්න කොළඹ නගරයේ මෙන්ම නුවර, ගාල්ල වැනි නගර ඇතුලූ ලංකාවේ බොහෝ නගර ආශ‍්‍රිතව ගමනාගමනයෙහි යෙදෙන පුද්ගලයන්ගේ මුවඟ රැුඳෙන යෙදුමකි. උදෑසන 6.30 – 7.30 අතර කාලසීමාව සහ සවස 1.30 – 2.30 කාලසීමාව ‘ස්කූල් ටයිම්’ යන්නෙන් අදහස් කෙරෙයි. මේ කාලසීමාවන්හි ගමනාගමනයේ යෙදීම ඉතා අසීරු කටයුත්තකි. විශේෂයෙන්ම ජනප‍්‍රිය පාසල් අසල ඇතිවෙන්නේ විශාල තදබදයකි.

ජනප‍්‍රිය පාසල් අතර මේ තරම් තදබදයක් ඇතිවෙන්නේ පෞද්ගලික වාහන හිමියන් තමන්ගේ දරුවන්ගේ පහසුව ගැන ආත්මාර්ථකාමී ලෙස කල්පනා කරමින් පාසල ඉදිරිපිට වාහන නැවැත්වීමට උත්සාහ කිරීම නිසාය. මේ පිළිබඳව නිරීක්ෂණයට අපි කොළඹ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඞී.එස්. සේනානායක විද්‍යාලය හා බී.අයි.එස්. අන්තර්ජාතික පාසල අසලට පාසල් ඇරෙන කාලසීමාවේදී ගියෙමු. මේ පාසල් හතරම ඉහළ මාර්ග තදබදයක් ඇති කරන පාසල්ය.

‘‘ඉස්කෝලෙට එන ළමයින්ගෙන් වැඩි පිරිසක් එන්නෙ ප‍්‍රයිවෙට් වාහනවල නෙවෙයි. සුළු පිරිසක් තමයි ප‍්‍රයිවෙට් වාහනවල එන්නෙ. එහෙම කෙනෙකුට පුලූ‍වන් අඩු තරමේ ඉස්කේලෙ ගේට්ටුවට ටික්ක ඈතින් ළමයාව ගන්න. ඒත් මේ මිනිස්සු ගේට්ටුව ළඟටම වාහනය අරගෙන එනවා. ඒකෙන් වෙන්නෙ සුළු පිරිසකගේ වාහන නිසා වැඩි පිරිසක් හිර වෙන එක.’’ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු තදබදය ගැන අදහස් දක්වමින් කීය.

මෙහි පළවෙන ඡායාරූපය බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික පාසල ඉදිරිපිටදී ගත් ඡුායාරූපයකි. බොරැල්ල කනත්තට එහායින් පිහිටා ඇති බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික පාසල මංතීරු හයක් තිබෙන බේස්ලයින් පාර අයිනේ තිබෙන පාසලකි. ඉහත ඡායාරූපයෙන් පැහැදිළිව පෙනෙන ආකාරයට පාසල අවසන් වෙද්දී බේස්ලයින් පාරේ මංතීරු දෙකක්ම වැසී යන්නේ වාහනවලින්ය. ඡායාරූපයෙහි ඉදිරියෙන් තිබෙන ටොයොටා වී.එයිට්. රථය තුන්වැනි මංතීරුවත් හරස් කරමින් නවත්වා තිබුණි. අපට එම රථය ඉවත් කරගන්නා තෙක් විනාඩියක පමණ කාලයක් නලාව නාද කරමින් බලා සිටින්නට සිදුවිය. මේ අත්දැකීම එදිනෙදා සාමාන්‍ය ජනතාවට විඳින්නට සිදුවෙන අත්දැකීමකි.

‘‘ගොඩක් වෙලාවට ගිලන් රථයකටවත් හදිසියෙ යන්න බැහැ. ගිය සතියේත් එහෙම වුණා. වාහනේ නවත්වලා අම්මා කෙනෙක් දුවව අරගෙන එන්න ගිහින්. වාහනේ අයින් කරන්න කෙනෙක් නැහැ. අනෙක් මිනිස්සු හෝන් කරද්දී ඒ මිනිස්සුන්ට බණිනවා.’’ බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික පාසල ඉදිරිපිට සිටි වෙළෙඳසැල් හිමියෙකු එසේ කීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකරගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු මෙසේ කීය. ‘‘පාසල් ඉස්සරහා පාරවල් හරස් කරන්නට අවසර දීලා කිසිම නීතියක් නැහැ. එයාලා පාරේ වාහන නවත්වන්නේ තමන්ට ඕනෑ විදියට. පොලීසිය හැමවිටම උත්සාහ කරනවා එවැනි අවස්ථාවල තදබදය අවම කරගන්න. පාසැල් නිමවෙන සහ ආරම්භවෙන වෙලාවල්වලට තදබදය පාලනය කරගන්නට අපි පොලිස් නිලධාරීන්ව වැඩිපුර යොදවනවා. ඒත් රටේ නීතිය අනුව පාරවල් මැද වාහන නවත්වන්න කිසිම අයිතියක් නැහැ.’’

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ අදහස් දැක්වීමෙන්ම පැහැදිළි වෙන්නේ පාසල් ඉදිරිපිට වාහන නවත්වන සම්ප‍්‍රදාය නැවැත්වීමේ හැකියාවක් හෝ වුවමනාවක් පොලීසියට නැති බවය. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ හැකිතරම් එය පාලනය කරන්නටය. පාර මැද්දේ නවත්වා ඇති වාහන සියල්ලටම එකවර දඩ කොළ ලියන්නට බැරිකමක් නැතිව නොවේ. එහෙත් එසේ නොකරන්නට හේතු ඇත.
‘‘පොලීසිය මේක නවත්වන්නෙ කොහොමද? පොලීසියෙ වාහන එනවා. ත‍්‍රිවිධ හමුදාවෙම ලොකු ලොක්කන්ගේ වාහන එනවා. එයාලා හෙමීට ඇවිත් හෙමීට ළමයින්ව අරගෙන යනවා.’’ කොළඹ රාජකීය විද්‍යාලය අසල කුඩා වෙළෙඳසැලක හිමිකරුවෙක් නිර්නාමිකව එසේ අදහස් දැක්වීය.

1.25 ට පමණ රාජකීය විද්‍යාලය අසලට අප යද්දී රාජකීය විද්‍යාලය අසලින් තුම්මුල්ලේ සිට කෞතුකාග ාරය දෙසට යන මාර්ගයේ මංතීරු තුනෙන් දෙකක් අවහිර කරමින් වාහන නවත්වා තිබුණි. කහඉර මත පවා වාහන නවත්වා තිබුණු අතර බදුල්ල සිට පැමිණෙන බස්රථවල සිට 138 බස්රථ දක්වා සියලූ‍ බස් ඒ හේතුවෙන් විශාල තදබදයකට මුහුණ දී තිබුණි. කෙසේ වෙතත් අප විසින් නවත්වා තිබුණු පෞද්ගලික වාහන ප‍්‍රමාණය දළ වශයෙන් ගණනය කරද්දී, එතැන වාහන සියයක්වත් නොතිබුණු බව දැකගත හැකි විය. ඒ වාහන සියය නිසා මගීන් දහස් ගණනක් දැඩි පීඩාවකය.

මේ පිළිබඳව කතා කරද්දී, පෙර දිනයේ සිදුවූ අපූරු සිදුවීමක් වෙළඳසැල් හිමියෙකු කීය. ‘‘ඊයේ මෙතැන වාහන නවත්වලා තිබුණා මේ විදියටම. ඉස්කෝලෙ ඇරිලා ළමයි එන්න පටන්ගත්තාම වාහන එකින් එක ගියා. සමහර අය වාහනය නවත්වලා ගේට්ටුව ළඟට ගිහින් ළමයාව අරගෙන එනවා. මෙහෙම ළමයි අරගෙන ආ අය වාහනවල නැගලා ගියා. වාහනයක් නවත්වලා තාත්තා කෙනෙක් ළමයාව ගේන්න ගිහින් හිටියා. අනෙක් වාහන ගියාට ඒ වාහනේ ගියේ නැහැ. මේක තිබුණෙ පාරෙ මැද ට‍්‍රැක් එකේ. කහඉර උඩ. දැන් වාහන ඔක්කොම යනවා. පාර මැද්දෙ වාහනයක් නවත්තලා. අන්තිමේ තාත්තා ළමයාව අරගෙන වාහනයට ආවා. එතකොට මෙතැන හිටපු පොලිස් රාලහාමි ගිහින් අර තාත්තාට බැන්නා ට‍්‍රැෆික් එක හැදෙන නිසා. අන්තිමේදී ඒ පොලිස්කාරයා හොඳටම බැණුම් ඇහුවා අර තාත්තාගෙන්. රාලහාමි හරිනම් කරන්න තිබුණෙ පාර මැද්දෙ වාහනේ නවත්තපු කෙනාට දඩ කොළයක් ලියන එක. ඒත් වුණේ බැනපු එක. අර බැණපු තාත්තා බණින අතරෙ එයාගෙ රස්සාව කිව්වා. එයා පත්තරේක කර්තෘ කෙනෙක්ලූ‍.’’ ඔහු කීය.

මේ තත්ත්වය වෙනස් කිරීම අසීරු කටයුත්තක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශයෙන් පෙනෙයි. එහෙත් එය කියන තරම් අසීරු කටයුත්තක් නොවේ. දිවයින පුරා සිදුකරන පොලිස් මෙහෙයුම් වලින් නීතිය කඩන රියැදුරන්ව අල්ලාගත් අවස්ථා ගැන පොලිස් පුවත් නිතර අසන්නට ලැබෙයි. අපි පොලීසියට අභියෝගයක් කරන්නෙමු. ඒ, හැකිනම් පාසල් ඉදිරිපිට නීතිය කඩන රියැදුරන්ට පෝලිමට දඩ කොළ ලියාගෙන යෑම පමණි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි