චාමින්ද රත්නසූරිය

ඔබ සිංදු ලියන්න පටන් ගන්නේ 1990 දශකයේ. මම කැමතියි ඒ අතීතෙට යන්න..

දවසක් ඉස්කෝලේ කවි තරගයක් තිබුණා. මමත් කවියක් ලිව්වා. මගේ කවිය මම ලියන්න ඇති කියලා ඉස්කෝලේ ටීචර් විශ්වාස කළේ නෑ. මට ලකුණු අඩුවෙන් තමයි දුන්නේ. ඊට පස්සේ මම තේරුම් ගත්තා මට කවි ලියන්න පුළුවන් කියලා. එතැන ඉඳලා තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. මට ඒ කාලේ මුස්ලිම් කෙල්ලෙක් හිටියා. ළං වෙන්නත් බෑ දුරස් වෙන්නත් බෑ. ‘සඳකත් පිනි දිය කඩාහැලෙනවා.. අමීෂා’ කියන සිංදුව ලිව්වේ ඇය වෙනුවෙන්. එතකොට උසස් පෙළ කරන කාලේ. ඊට සෑහෙන්න කාලෙකට පස්සේ තමයි කිත්සිරි ජයසේකර මේ සින්දුව කියන්නේ. ‘නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැුඳිලා ඇත්තේ, ඈතට ඈතට ගිය සිත කොයිබද නෑ මා දන්නේ‘ මේ ගීතයත් ඇයටමයි ලිව්වේ. මේක සෑහෙන්න කාලෙකට පස්සේ නදීක ජයවර්ධන ගායනා කළා. මේවා ඒ කාලේ අතේ සතේ නැතිව ලව් කරන කාලේ ලියපු සින්දු. ‘නිසල සඳ කිරණේ, සුමුදු මල් පවනේ‘ කියන කිත්සිරි ජයසේකර ගායනා කරන ගීතයත් ඔය කාලෙම තමයි ලියවුණේ.


මේ ගීත කොහොමද සංගීතවත් වෙන්නේ..


මට මුලින්ම හමුවෙන්නේ රනිල් මල්ලවාරච්චි. ඒ 1994 අවුරුද්දේ. රනිල් නුවර සෙන් ඇන්තනීස් එකට එනවා කොන්සට් එකකට. අපි දෙන්නා මිත‍්‍රයෝ වෙනවා. එතකොට මම දන්නේ නෑ මම ලියාගෙන ඉන්න මේ දේවල් සින්දුද කියලා. මම රනිල්ට කිව්වා මට ලියන්න පුළුවන් කියලා. මම කොළඹ ආවාම එයා මාව ගෙදර එක්කරගෙන ගියා. මේ සම්බන්ධය එක්ක තමයි මම, රනිල්, හර්ෂ සුසංයෝගයට ‘නොසිතූ ආදරේ‘ කියන සින්දුව ලියන්නේ. එතකොට රනිල්ට අවුරුදු 19ක් ඇති. මේ සින්දුවෙත් රැුප් එකක් තියෙනවා. ලංකාවේ රැුප් සංස්කෘතිය ආරම්භ වෙන්නේ එතැනින්. ජැක්සන් ඇන්තනි, සමන්ත පෙරේරා, ලූෂන් බුලත්සිංහල වගේ ප‍්‍රවීණයෝ විශාල පිරිසක් එදා මේ දෙන්නා වටේ හිටියා. එතැන සුදත් කියන මාර රචකයෙක් හිටියා. හර්ෂලාගේ ඔය කැසට් එකෙන් පස්සේ ඔහු මතුවුණේ නෑ. ඔහුගේ රචනා හැඬේ මට බලපෑවා. ඔහු ලියලා තිබුණා ‘දේව කිරිල්ලි අදත් ඇවිදින් මැදියම් ? සිහින වළල්ලෙන් පියඹා‘ කියලා සිංදුවක්. ඒක මගේ ඇෙඟ්් මයිල් කෙළින් කරපු වැඩක්. මම මාවම සොයාගන්න ඕනෑ කියන හැඟීම ආවේ මේ සිංදුව ඇහුවාට පස්සේ. ඊට පස්සේ තමයි මම අධ්‍යයනයට බැස්සේ. ඔපෙරාවල ඉඳලා, වෙස්ටන් කැසිකල්වල ඉඳලා, ඉන්දියන් මියුසික් මේ ගොඩාක් දේවල් මම අහනවා.

මට දැන් ආදර හැඟීමක් එනවා. මේකට නිශ්චිත ආකෘතියක් කියන්න පුළුවන්ද? මම මගේ ගීතය අස්සේ එතෙක් ගීතයේ තිබුණ ආකෘතිකමය ලක්ෂණ බිඳදමනවා. හේතුව මම ඒ හැඟීමට ලියන්නේ. මට ඕනෑ ඒ හැඟීම අල්ලාගන්න. ඊට පස්සේ ඒ හැඟීම ප‍්‍රකාශනයට පාවිච්චි කරන වචන ඒවා මැජිකල් වෙන්න ඕනෑ. මැජිකල් රියැලිසම් කියලා දෙයක් තියෙනවා. හැබැයි කවුරුවත් මැජිකල් ලිරිසිසම් ගැන කතාකරන්නේ නෑ. මේ වචනය මුලින්ම භාවිත කරන්නේ මම.

මෙහෙම එන ගමනේ මට කිත්සිරි ජයසේකර හම්බ වෙන්නේ බම්බලපිටියේ එම්සී එක ළඟදී අහම්බෙන්. මට එතකොට කොළඹ අලූත්.


ඊට පස්සේ තමයි මම කිත්සිරිට ‘නිසල සඳ කිරණේ‘ කියන සිංදුව ලියන්නේ. 1997 වගේ. ඊට පස්සේ මම ඔහුගේ ස්ටූඩියෝ එකට යනවා එනවා. එතැනදී තමයි මට 1999දී විතර දයාන් විතාරණ මුණගැහෙන්නේ. කිත්සිරිගේ මම ලියපු ‘නිසල සඳ කිරණේ‘ කියන ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. ඔහු තමයි මාව දයාන්ට අඳුන්වලා දෙන්නේ. කොහොම හරි අපි අතරේ ලොකු සම්බන්ධයක් හැදුණෙත් නෑ. ඒත් දවසක් දයාන් මට කැසට් කෑල්ලක් තියලා ගිහිං තිබුණා ස්ටුඩියෝ එකේ. දවසක් සුනන්ද මෙත්තසිංහ අපේ සවුන්ඞ් කරන මිත‍්‍රයා කතාකරලා අහනවා අර දයාන් අයියා උඹට දුන්න තනුවට සිංදුවක් ලිව්වාද කියලා. මම විලියම් වර්ඞ්ස්වර්ත්ගේ කවි රසිකයෙක්. වර්ඞ්ස්වර්ත්ගේ කවියක් තියෙනවා. ඩැෆර්ඩිල් මල මට අහුවෙන්නේ මේ කවියෙන්. ඒ එක්කම තමයි ‘ඩැෆර්ඩිල් මලේ‘ කියන ගීතය අර මෙලඩියට ලියවෙන්නේ. මේ කවියට අමතරව තව දේවල් ගොඩක් මේ ගීතය අස්සේ තියෙනවා. මගේ යාළුවෙක් හිටියා, ඔය බොස්නියා පැත්තෙන් ඉතාලියට පැන්න. බොස්නියා යුද්ධය එහෙම තියෙන කාලේ ඒ හරහා යනකොට ඔහුට බොස්නියාවලදි, හිතාගන්න බැරි විදිහේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා. ඔහුට ලංකාවෙදි කෙල්ලෙක් හිටියේ නෑ. ඉතාලියට යන්න වෙනකොට ඔහුට මේ කෙල්ල දාලා තමයි යන්න වෙන්නේ. ඔහු ඒ දුක මට එහේ ඉඳලා ලියුමකින් ලියනවා. ඒකත් මගේ හිත අස්සේ කැරකි කැරකි තමයි තිබුණේ. තව මගේ මිත‍්‍රයේ හිටියා ටුවරිසම් කරපු, දවසක් එයා නුවරට ෆ‍්‍රංස කෙල්ලෙක් එවනවා, මචං මෙයාව නුවරඑළියට ගිහිං අරලවපං කියලා. මම මේ කෙල්ල කැන්ඩි ස්ටේෂමෙන් අරගෙන නුවරඑළි යනවා. මේ යන අස්සේ අපි දෙන්නා අතර ආදරයක් ගොඩනැගෙනවා. නුවරඑළියේ විලෝ ගස් ගොමුවක් අස්සේ ඇය මට කිස් එකක් දෙනවා. ඒ කාලේ ෆ‍්‍රංස හාද්දක් කියන්නේ ලේසිද? කොහොම වුණත් මම අමාරුවෙන් එයාව නුවරඑළියේ නතර කරලා කොළඹ එනවා. මේ සේරම කතාවල එකතුවක් තමයි, ‘සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ‘ කියන සිංදුව අස්සේ තියෙන්නේ. මේ සිංදුවට දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් තාමත් මට මේක දැනෙනවා.

ගොඩාක් අය කියනවා කවි නම් ඒවා ලියවෙන්න ඕනෑ ලියන්න බෑ කියලා. හැබැයි අපි තනුවකට ගීතයක් ලියනවා…

ඔව්.. මමත් ඔය ක‍්‍රම දෙකටම ගීත ලියලා තියෙනවා. තනුවක් දුන්නාම ඒ මියුසික් එක කිහිප සැරයක් අහලා ඒ එන මූඞ් එක වචනවලට පෙරළීම තමයි මෙතැන වෙන්නේ. අනික් ක‍්‍රමයට ගත්තත් අපේ හිතට එන සිතුවිල්ලක් තමයි ගීතයක් බවට රූපාන්තරණය වෙන්නේ. ඒක හිත අස්සේ වෙන ප්‍රොසෙස් එකක් හරහා. සිනමාකරුවෙක් ගත්තත්, සිත්තරෙක් ගත්තත්, ගීත රචකයෙක් ගත්තත්, අපි හැමෝම අස්සේ කවියෙක් ජීවත් වෙනවා. කවියෙක් ජීවත් වෙන්නේ නැත්තං ඔහු කලාකාරයෙක් වෙන්නේ නෑ. ක්ලැරන්ස් ගන්න, ඔහු ඇතුළේ හොඳ කවියෙක් හිටියා. ‘මල් පිබිදෙන එක වසන්ත සමයක’‘ කියන ගීතය ඇතුළේ කවිකම නැතිද? අජන්තා රණසිංහට මම කියන්නේ වර්සිටයිල් රයිටර් කියලා. අතිශය විවිධත්වයෙන් යුතු රචකයා!. එයා ස්ටැන්ලිගේ මෙලඩියකට ලියනවා ‘තරු අරුන්දතී නෙතු පියන් විදා’ කියන ගීතය. කාව්‍යාත්මක නැද්ද? ඔහුම රූකාන්තට ලියනවා, ‘උකුලට නාවත් එදා වගේ’, ඊට පස්සේ ජෝතිපාලට ලියන ගීත. මෙහෙම සම්ප‍්‍රදායක් අපිට තිබුණා. ඒක ඇතුළේ මෙලඩියට ලිව්වත් නැතුව ලිව්වත් බොහෝම සාර්ථක නිර්මාණ බිහිවුණා. ඒ එම ගීත රචකයන් ඇතුළේ මහා කවියෙක් හිටපු නිසා.

ලංකාවේ තියෙනවා සුභාවිත ගීතය කියලා හෙණ විකාරයක්. වාග් ගේයකාරක, ගේය පද, මේවා හෙණ විකාර මත. ඕනෑම පදයක් ගයන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. මම කාව්‍යමය ආකෘතියක් අස්සේ ගීතය හිරකරන්න හදන්නේ නෑ. එළිවැට වගේ දේවල් ගැන හිතන්නේ නෑ. නමුත් අපේ ගීත කලාව බොරු ගොඩක් අස්සේ හිරකරලා තියෙන්නේ. මේ බොරුව නිසා තමයි අද බස් සිංදු ජනප‍්‍රිය වෙලා තියෙන්නේ. මම නිහාල් නෙල්සන්ගේ 99වැනි කැසට් එක ගත්තා. මම ඒ සංගීතය සහ පද රචනා ගැනත් හිතුවා. කවිය සහ කාව්‍යාත්මකභාවය කියන දෙක එකට පටලවා ගන්න හොඳ නෑ. ඉංග‍්‍රීසි කවිය මම සෑහෙන්න ඇසුරු කළා. මම වර්ඞ්ස්වර්ත්ගේ, නෙරුඩාගේ කවිවලට ප‍්‍රියයි. ඉන්දියාවේ ඉන්නවා භාරතී කියලා කවියෙක්, ප‍්‍රියයි. තාගෝර්ට ප‍්‍රියයි. ජපන් හයිකු කවියට ප‍්‍රියයි. හැබැයි මම මේ කවින්ගේ ඇසුරට වැටුණේ සිංදු ලියන්න බලාගෙන නෙවෙයි. මේවා සුන්දර අහම්බයන්. මම බටහිර ගීතවල හොඳ රසිකයෙක්. හින්දි ගී රසිකයෙක්. ඉතිං මේවා යම් ප‍්‍රමාණයකට මගේ ගීතයට බලපාන්න ඇති. මම සිංදු ලියන්නේ සංගීතඥයාට මිසක් ගායකයාට නෙවෙයි. ඒ නිසා තමයි එක එක ආරේ ගීත මගේ අතින් ලියැවෙන්නේ. බටහිර ජනප‍්‍රිය රොක්, බ්ලූස් වගේ සංගීත ආරයන්ට ගැළපෙන සිංදු මම ලියලා තියෙනවා. ඊට අමතරව මම මේ වෙනකොට මිහිඳු ආරියසිංහ වගේ ජනප‍්‍රිය තරුණ ගායකයින් සමග වැඩ කරනවා. ඔවුන් මාව හොයාගෙන එනවා.

ක්ලැරන්ස්, රූකාන්ත, ආත්මා, රාජු බණ්ඩාර මේ හඬවල් ඇහිලා, ඒ මියුසික් ඇහිලා, එකපාරටම මෙවැනි හඬවල් සහ මෙවැනි මියුසික් ඇරේන්ජ්මන්ට්ස් නැති කාල අවකාශයක් එනවා. ඒ අස්සේ තමයි නදීක ගුරුගේ, කසුන් කල්හාර සහ චාමින්ද රත්නසූරිය සංයෝගී ගීතාවලිය එළියට එන්නේ…

මේ මුණගැහීම් සේරම අහම්බකාරකයි. ක්ලැරන්ස්ගේ සංගීතය සහ ගී පද වගේම එම් එස් ප‍්‍රනාන්දු වගේ ගායකයන්ගේ ගීතත් හරිම ලස්සනයි. ඒවා අපි සෑහෙන්න වින්දා. ‘ඔබට තිබෙන ආදරේ මම කියලා දෙන්න’ වගේ ගීතයක් කොච්චර කාව්‍යාත්මකද? කොච්චර ලස්සනද? හැබැයි මට ඕනෑ වුණේ නෑ මේ හදලා තිබුණ ආකෘතිය අස්සේ නිර්මාණ කරන්න. මට ඕනෑ වුණේ අලූත් රූපක ලෝකයක් මගේ ගීතය සඳහා සොයායන්න. මට කවදාවත් ප‍්‍රවීණ වෙන්න උවමනාවක් නෑ. හැමදාම නවීන වෙන්නයි ඕනෑ. මම ජනශ‍්‍රැතිය අරගෙන ගීත ලියලා තියෙනවා. හැබැයි මට ඒ ඉතිහාසය අස්සේ හිරවෙන්න ඕනෑ නෑ. මට ඕනෑ හැමදාම තරුණයෙක් වගේ පොළවේ පයගහලා ඇවිදින, නිදහස් මිනිහෙක් වෙන්න. මම අදටත් ලාභ ජනප‍්‍රියත්වය පස්සේ දුවන මිනිහෙක් නෙවෙයි. අඩියක් ගහලා සතුටින් ඉන්න මිනිහෙක්. හැබැයි මටත් අභිමානයක් තියෙනවා. ඒ අස්සේ මම මාව හොයාගත්තා. මගේ අමීෂා ගීතය ලියාගෙන, අවුරුදු 10ක් සාක්කුවේ දාගෙන හිටියා. ඊට පස්සේ තමයි ඒ ගීත රචනාවට ගැළපෙන සංගීත ආකෘතිය මට ලැබෙන්නේ.


කසුන් කල්හාර සහ නදීක ගුරුගේගේ සංගීතය අස්සේ තමයි ඔබගේ පද රචනාවල තියෙන කන්ට‍්‍රාස්ට් එක පෙනෙන්නේ..

නදීකලා සෙට් එක හමුවීම මගේ හොඳ වෙලාව, හරි මොහොත කියලා තමයි මට හිතෙන්නේ. මම අර මුලින් කිව්වේ මම කිත්සිරිගේ ස්ටුඩියෝ එකට යන්න එන්න වුණා කියලා. ඔහු මට කියනවා සික්ස් එයිට් සිංදුවක් ලියලා දෙන්න කියලා. මම එහෙම කොටුවෙන්න ආස නෑ. මම දවසක් නුවර ඉඳලා එනකොට සින්ඩරෙල්ලා සිංදුව ලියාගෙන එනවා. ඒ එනකොට ස්ටුඩියෝ එක ඇතුළේ කසුන්ලා ‘වළාකුළක් වී’ කියන සිංදුව රෙකෝඞ් කරනවා. මේ ස්ටුඩියෝ එක හරියටම සවුන්ඞ් ෆෲප් නෑ. ඒක නිසා වොයිස් එක එළියට එනවා. එතකොට ‘අනන්තයට යන පාර දිගේ’ කියන සිංදුව ජනප‍්‍රිය වුණ කාලේ. ඊළඟ වැඩ ටික තමයි මේ යන්නේ. මේක අහගෙන ඉන්නකොට කිත්සිරි ඇවිත් අහනවා කෝ සික්ස් එයිට් සිංදුව කියලා. මම සින්ඩරෙල්ලා සිංදුව දීලා කියනවා සික්ස් එයිට් සිංදුවක් නම් නෑ. මේක තියෙනවා. මේකේ මියුසික් කසුන්ට දීලා කරමුද කියලා. එතකොට මම කසුන් අඳුරන්නේ නෑ. ඒ කාලේ ඔහු මාව ගණන් ගන්නෙවත් නෑ. කොහොම හරි කසුන් ඒ සිංදුවට මියුසික් කරනවා. පස්සේ කසුන් මට කියනවා මෙයාට කියාගන්න බැරිවුණොත් මම කියනවා කියලා තමයි හිතුවෙ කියලා. කසුන් කල්හාර වෙන ආර්ටිස්ට් කෙනෙකුට කරපු පළවෙනි සිංදුව මේක.


දවසක් මම ටීවී ප්‍රෝගෑම් එකක් බලනකොට මට නදීක ගුරුගේගේ ‘වේදිකාවේ අසුනකට බරවී’ කියන සිංදුව අහන්න හම්බවෙනවා. කිත්සිරි ආයිත් මගෙන් සිංදුවක් ඉල්ලූවාම මම ‘චක‍්‍රාවාටය’ කියන සිංදුව දීලා කියනවා, මේක කසුන් කල්හාරට නම් හරියන්නේ නෑ, නදීක ගුරුගේ කියලා ඩයල් එකක් ඉන්නවා, එයාට දීලා මියුසික් කරගන්න බැරිද කියලා. ආ මම නදීක මල්ලිට කතාකරන්නම් කියලා කිව්වා. දවසක් කිත්සිරි මට කතා කළාම මම ස්ටුඩියෝ එකට යනවා. නදීක ඉන්නවා. මගේ පද ටික බලලා මෙයා කියනවා මම කවුරුවත් ලියපු සිංදුවලට තාම මියුසික් කරලා නෑ, බලමු කියලා. ඔහොම තමයි ඔහු මුණගැහුණේ. ඊට පස්සේ තමයි මම නදීකට ‘අමීෂා’ කියන සිංදුව දෙන්නේ. ඒකත් කිත්සිරිම ඩැහැගන්නවා. ඊට පස්සේ ‘රැුඩිකල් පේ‍්‍රමය’ කසුනුයි නදීකයි සෙට්වෙලා ගහනකම් මම දන්නේ නෑ. අපි තුන්දෙනාගේ බැඳීම නිසා සිංදු ගොඩක් අපි කළා. කසුන් මියුසික් කරපු සිංදු තමයි ගොඩාක් ජනප‍්‍රිය වුණේ. ඔහු ටිකක් ඕඩියන්ස් එක ගැන හිතලා තමයි නිර්මාණ කළේ. හැබැයි නදීක එහෙම නෙවෙයි. ඒ සිංදු ටික වෙන රේන්ජ් එකක තියෙන්නේ. ඉතිං මම තැන් දෙකක ලස්සනට ප්ලේස් වුණා. මේ දෙන්නාගේ කලර්ස් දෙකක් තියෙන්නේ. ඒ පාට දෙකම මගේ පාටට එකතුවුණාම හැදෙන පාට ගැන තමයි අපි මේ කතාකරන්නේ. ඒ එක්කම ලෙලූම් රත්නායක, නදීක ජයවර්ධන කියන දෙන්නාත් සෙට් වෙනවා. වැඬේ තවත් හැඩ වෙනවා. මේවා ආදරේ එක්ක එළියට ආ නිර්මාණ මිසක් මුදල් නිසා එළියට ආ නිර්මාණ නෙවෙයි. ලංකාවේ පහුගිය අවුරුදුවලට කරපු ඇල්බම්ස් 10කට වැඩි ප‍්‍රමාණයක ටයිට්ල් එක මගේ. ‘රැුඩිකල් පේ‍්‍රමය, ඊමේල් කවිකාරියෝ, සංසාරණ්‍ය, අමීෂා, සින්ඩරෙල්ලා, මල් පිට මල්’ වගේ.

අවසන් වශයෙන් අපි කතාකරමු ඔබගේ ගීතාවලිය එකට ගැයෙන ගීත ප‍්‍රසංගය ගැන..

මේ ප‍්‍රසංගයේ නම ‘රෝමාන්තිකයා.’ මේ ප‍්‍රසංගය ඇතුළේ තෝරාගත් මගේ ගීත රැුසක් ගැයෙනවා. කසුන් කල්හාර, නදීක ගුරුගේ, අමල් පෙරේරා, කුෂානි සඳරේඛා, නදීක ජයවර්ධන, ලෙලූම් රත්නායක, නිරෝෂා විරාජිණී වගේ ගායක ගායිකාවන් රැුසක් මෙහිදී ගීතවත් වෙනවා. ප‍්‍රසංගය තිබෙන්නේ පෙබරවාරි 29වැනිදා හවස 7ට මහරගම තරුණ සේවා සභාවේ ශ‍්‍රවණාගාරයේ.