ඔහු හොඳ නළුවෙක්. ශෛලිගත නාට්‍ය ගොන්නක් ඔහුගේ නළු පෞරුෂයෙන් හැඩවෙනවා. සංගීතයට නැටුමට ඔහු එක සේ දක්ෂයි. මම ගියා ඔහු සොයාගෙන ගල්කිස්සේ ටෙම්ප්ලස් පාරේ කලාපුරයට. ඔහු නිශ්ශංක දිද්දෙණිය. (දිගා අයියා* අපි ගමෙන් සහ නමින් පටන්ගනිමු. මම කතාව පටන් ගන්න ඇරියුම් කළා. ඊට කලින් කියන්න ඕනෑ අපි දෙන්නම එකම රටේ. ඒ කිව්වේ සපරගමුවේ. දිගා අයියා නැටුම් ඉගෙනගන්නේ අපේ ගමේ නැටුම් ගුරුන්නැහේ කෙනෙක්ගෙන්. ඉතිං කතා කෝච්චියට නගිමු.


‘අපේ පවුලේ අට දෙනෙක්. මම හත්වැන්නා. අටවැන්නා නංගී. අගහිඟකම් පිරුණු පවුලක් අපිට තිබුණේ. තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. මම ඉපදෙන්නේ 1945 ජනවාරි 27. මේක තමයි වේලපත්කඩය නැතිනම් ඉරණම් කොළයේ තිබෙන උපන් දිනය. හැබැයි මම ඔෆීෂියල් පාවිච්චි කරන්නේ 1945 පෙබරවාරි 20 කියන දවස. ඒක තමයි මගේ උප්පැන්නේ රෙජිස්ටර් කරපු දවස. ඒ කාලේ එහෙම තමයි. අපි අටදෙනාම ඉපදුණේ ගෙදර. වින්නඹු අම්මා තමයි සේරම කළේ‘.


උස් හඬින් ළයාන්විතව ගීත ගයන්න පුදුම හැකියාවක් තියෙන මනුස්සයෙක් තමයි දිද්දෙණිය මහත්තයා. වේදිකාවටම ගැළපෙන හඬ සෞන්දර්යයක් තමයි තියෙන්නේ. අපි මේ හඬ කොතැනින්ද එන්නේ කියලා කල්පනා කළා.


‘ගමේ හෙන්ද්‍රික් සිඤ්ඤෝ කියලා කෙනෙක් හිටියා. මිනිහා රබන්කාරයා. ඉතිං අපි ඒවා ආසාවෙන් අහගෙන හිටියා. ගමේ පන්සලේ නම තමයි අභයතිලකාරාමය. ඒ පන්සලේ ටීටර් තිබුණා. පොඩි කඳුගැටයක් ඉස්මත්තේ තමයි පනාවැන්නේ බෞද්ධ මිශ‍්‍ර පාසල තිබුණේ. මම අයනු ආයනු කියපු ඉස්කෝලේ. අටේ පන්තියට විතරයි පන්ති තිබුණේ. පනාවැන්න තමයි ගම. හිටපු ගෙවල් මණ්ඩියට කියන්නේ කොස්තැන්න කියලා. කළු ගෙඟ් ශාඛා බෙදුණු, බුළුතොට කඳු නිම්න භූමියේ තමයි අපි හිටියේ. ගෙදරින් එළියට බැස්සහම ?ට සිරීපාදේ පේනවා. ලස්සන පරිසරයක් තිබුණේ. ඇළදොළ ගහකොළ පිරිලා. දැන්නම් මැණික් සංස්කෘතිය නිසා ඒවා විනාශ වෙලා.

අක්කර සීයේ කැලෑව කියලා එකක් තිබුණා. අපේ තාත්තා ඉස්සර කියනවා මට මතකයි ඒකේ ඉඳලා කොටි එනවා හරක් අරං යන්න කියලා. කෙටියෙන් කියනවනම් සාගර පළංසූරියගේ ‘සුදෝ සුදු’ කාව්‍ය සංග‍්‍රහයේ තියෙන ‘ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය‘ කියන කවියේ තියෙන ගම වගේ ගමක් තමයි අපේ ගම. ගමේ පන්සලේ අවුරුද්දකට දෙපාරක් පෙරහැරක් කළා. ඒකේ සපරගමු නැටුම් උඩරට නැටුම් තමයි තිබුණේ. පෙරහැර පන්සලේ ඉඳලා පැල්මඩුල්ලට ගිහිං ආයි එනවා. ඇවිත් පන්සල් මළුවෙ නටනවා. පෙරහැරේ තිබුණු නැටුම් හැමදෙයක්ම එතනත් නටනවා. ඒක රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර වගේ. අපි ඉතිං හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මගේ අයියලා දෙන්නෙක්ම ටීටර් නටපු දෙන්නෙක්. ඒවාත් අපි ආසාවෙන් බැලූවා. ඒ කාලේ ටීටරයක් බලන්න ළමයෙකුට සත 25යි. ඒත් අයියලා රඟපාන නිසා මම නිකං බැලූවා. මම හිතන්නේ මගේ කලා ආසාව උපදින්නේ එතනින් කියලා.’
සපරගමු නැටුම් කොටි නැටුම් මහබඹා අස්සෙ නම වෙනස් වුණ හැටි අමතක කරන්න දෙන්න බැහැ.

‘කැම්පස් යනකොට මගේ නම හෙන්රි දිද්දෙණිය. දවසක් සරච්චන්ද්‍ර මහත්තයා ඇහුවා නමේ තව කෑල්ලක් නැද්ද කියලා. මම කිව්වා තියෙනවා සර්. නිශ්ශංක කියලා. ෂා මරුනේ කියලා එහෙනම් අපි නිශ්ශංක දිද්දෙණිය කියලා භාවිතා කරමු කියලා කිව්වා. එදා ඉඳලා මේ නම තමයි. ඒත් කැම්පස් එකේ සමහර යාළුවෝ මට තාමත් කතාකරන්නේ හෙන්රි කියලා. සපරගමු පළාතේ ගොඩාක් තිබුණේ නින්දගම් ඉඩම්. පැහැදිලිව අයිතිකරුවන් හිටියේ නෑ. අපි හිටපු ඉඩමත් ඒ වගේ එකක්. ඒකාලේ ගෑනු ළමයි ඉස්කෝලේ යැව්වේ කලාතුරකින්. අපේ අම්මා වුණත් ඉස්කෝලේ ගිහිං නැහැ. පිරිමි වුණත් කසාය වට්ටෝරුවක් කියෝගන්න ඉගනගෙන තිබුණාම ඇති කියලා තමයි කිව්වේ. රෙද්ද බැනියම ඇඳලා තමයි ගමේ ඉස්කෝලෙට ගියේ. තාත්තා ඔය ලී ඉරලා හරි මොනා හරි වැඩක් කරලා තමයි අපිට සල්ලි සොයලා දුන්නේ.’


මෙහෙම පටන් ගත්ත ජීවිතේ අවුරුදු 15 ගෙවෙනකොට දිද්දෙණිය මහත්තයා වේදිකාවට ගොඩවෙනවා. ඒ රංගනය නැටුම සහ ගායනය ඇගේම තිබුණ නිසා වෙන්න පුළුවන්.


‘කෝපි කඬේ ටෙලි නාට්‍යයෙන් ජනප‍්‍රිය වුණ රාජා සුමනපාල අපේ ගමේ. මිනිහාට මං ගැන ආරංචි වෙලා අපේ ගෙදරට ආවා. ඇවිත් අපේ අම්මාගෙන් ඇහුවා එයා නාට්‍යයක් කරන්න යනවා ඒකට ගන්නද කියලා. මේ වෙනකොට මට අවුරුදු 15ක් විතර ඇති. අම්මා හරි සතුටෙන් කැමැති වුණා. මොකද අපි ටීටර් බලලා ඇවිත් ගෙදරදි පොඩි පොඩි අනුකරණ කරලා ගෙදර මිනිස්සු අස්සේ ජනප‍්‍රිය වෙලා හිටියේ. එහෙම තමයි නාට්‍යවලට බැස්සේ. මුලින්ම ‘බතේ උපත‘ කියලා ගමේ තරුණයෝ කරපු නාට්‍යයේ හිටියා. ඊළඟට රාජා සුමනපාල කරපු වෙසක් නාට්‍යවල හිටියා. ඔහොම ඉන්නකොට තමයි මට සරත් ලාල් පනාවල කියන දක්ෂ නැටුම් ගුරුවරයා හමුවෙන්නේ. මිනිහා අපේ ඉස්කෝලෙට ආවා නැටුම් උගන්නන්න. නටනවා හරිම ලස්සනයි. හැඩ හොඳටම තිබුණා. ඉතිං මමත් මිනිහගෙන් නැටුම් ඉගෙනගන්න පටන්ගත්තා.

ඊට කලින් කියන්න ඕනෑ ගමේ ඉස්කෝලේ හිටියා ලස්සන ටීචර් කෙනෙක්. මට හරිම ආදරෙයි. චන්ද්‍රා පලන්සූරිය කියලා. එතුමිය මාව මේ කලා වැඩවලට නිතරම යොමුකළා. පන්තියේ කවි පන්තියක් ගායනා කරන්න තිබුණත් මට තමයි කියන්නේ. ඒ විදිහට මම ඉතිං මේකේ ඇවිදින්න හුරුවුණා.‘


දිද්දෙණිය මහත්තයා පහ වසර ශිෂ්‍යත්වය පාස් වෙන්නේ නෑ. හැබැයි උසස් පාසල් සඳහා තෝරාගැනීමේ විභාගයෙන් පාස් වෙනවා. ඊට පස්සෙ ඔහු පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒත් වැඩි කාලයක් යන්න කලින් පන්ති නායකයා විදිහට හිටපු ශිෂ්‍යයාගේ කෙනෙහිලිකම් නිසා ගමට එනවා. ආයි ගමේ ඉස්කෝලේ ඉඳලා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වෙලා නැවතත් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට යනවා උසස් පෙළ කරන්න. ඒ අවධියේදී තමයි මේ කියන නැටුම් ගුරුවරයා මුණ ගැසෙන්නේ. ජීවිතේ කියන්නේ ඒක තමයි. එපාවෙනවා ආයි ඕනෑ වෙනවා. හැරදා යනවා. සමහර වෙලාවට නැවත ඒ ගිය තැනටම ආයි එනවා.


‘ඇත්තටම මම තුන්වෙනි වර උසස් පෙළ විභාගය කරලා තමයි සරසවියට යන්නේ. දවසක් මට සීතා අරුන්තවනාදන් කියන ගුරුතුමිය කියනවා, ඔයා කොහොම හරි විභාගය පාස්වෙලා පේරාදෙණිය කැම්පස් එකට ගියොත් ඔයාට ඩොක්ටර් සරච්චන්ද්‍ර මුණගැහෙන්න පුළුවන් වෙයි කියලා. මට මේක තදින්ම හිතට වැදෙනවා. මොකද මේ කාලේ ‘මනමේ, සිංහබාහු’ හරිම ජනප‍්‍රියයි. මේ කියන ගුරුතුමිය තමයි ඩොක්ටර් සරච්චන්ද්‍රගේ පළවෙනි ස්වතන්ත‍්‍ර නාට්‍යය වුණ ‘බහින කලාව‘ කියන නාට්‍යයේ ප‍්‍රධාන නිළිය විදිහට රඟපාලා තියෙන්නේ. මේ මිස්ට අමතරව අපේ හිටපු සාහිත්‍ය ගුරුවරයා කරුණාරත්න බණ්ඩාර රත්නායක, එයා මුල්ම මනමේ කුමාරයා බෙන් සිරිමාන්නගේ සමකාලීනයෙක්. ඇත්තටම කැම්පස් යන්න මට ශක්තිය ලැබුණේ මේ දෙන්නාගෙන්‘.


ඔහු ඉලක්කයකට වැඩ කරනවා. ඒ මහාචාර්ය සරච්චන්ද්‍ර හමුවීමේ සහ ඔහුගෙන් ඉගනගැනීමේ අරමුණෙන්. ඒ හමුවීම ගැන රස කතා එමටයි.
‘සරච්චන්ද්‍රයන් ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය කරන්න පටන් අරං කැම්පස් එකේ දැන්වීමක් පළකළා කටහඬ පරීක්ෂණයක් තියෙනවා කියලා.

ඉතිං මමත් ඉදිරිපත් වුණා. මට කලින් ගෑනු ළමයෙක් ආවා. එයාට කිව්වාම ගායනයක් කරන්න කියලා, ‘මාස්ටර් සර්‘ කියන සින්දුව කිව්වා. කිව්වේ ඉංග‍්‍රීසි ඌරුවකින්. ඩොක්ටර් අහගෙන ඉඳලා කියනවා ‘දැන් කියන්න බලන්න ඕකේ සිංහල සිංදුව කියලා‘. ඩොක්ටර්ගේ කතා එහෙමයි. හරිම රසවත්. ඒවගේම උපහාස රසය තමයි ඒවායේ තියෙන්නේ. ඊට පස්සේ තව තරුණයෙක් ඇවිත් සිංදුවක් කිව්වා. මටත් තේරුණා ඒකේ පිච් එක අවුට් කියලා. මේක අහගෙන ඉඳලා ඩොක්ටර් කියනවා ‘ඔව් ඉතිං ඒ සිංදුව එහෙමත් කියන්න පුළුවන්‘ කියලා. ඊට පස්සේ මගේ අවස්ථාව ආවා. මම කිව්වේ අමරදේවයන්ගේ ‘සන්නාලියනේ‘ කියන සිංදුව. ඩොක්ටර් අහගෙන ඉන්න විලාසයෙන් මට තේරුණා බඩු හරි කියලා. පස්සේ ඩොක්ටර් ඇහුවා ‘මොන ශාලාවෙද නතරවෙලා ඉන්නේ‘ කියලා. මම කිව්වා මාකස් ප‍්‍රනාන්දු එකේ කියලා. කියන්නම් කියලා මගේ නම ලියාගත්තා. එහෙම තමයි මම සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවලට එකතුවෙන්නේ. මේ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ මගේ මිත‍්‍රයා ජයලත් මනෝරත්න. මිනිහා මට වඩා අවුරුද්දක් සීනියර්‘


ඇත්තටම අපේ කතානායකයා ‘පේමතෝ ජායතී සෝකෝ‘ නාට්‍යයේ අතුරු චරිතයකින් තමයි සරච්චන්ද්‍ර නාට්‍ය ලෝකයට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ ඉතිං ඒ නාට්‍ය සාගරයේ අවුරුදු 20කට වඩා පිහින්නන ඔහු වාසනාවන්ත වෙනවා. වාසනාවට වැඩිය ඔහු ඇතුළේ තිබුණ ජවය සහ ඉගෙනගන්න තිබුණ ආසාව, සොයාගෙන යන්න තිබුණ ආසාව තමයි එතන තියෙන්නේ.


‘මම ‘සිංහබාහු’ නාට්‍යයේ දෙවෙනි නිෂ්පාදනයට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ 1970 අවුරුද්දේ. එතකොට ප‍්‍රධාන චරිතය රඟපෑවේ චාලි ජයවර්ධන, මිනිහට රස්සාවෙ උසස්වීමක් ලැබිලා අම්පාර වගේ ඈත පළාතකට යන්න වුණා. ඒ අස්සේ තමයි ඩොක්ටර් මට මේ නාට්‍යය පාඩම් කරගන්න කියන්නේ. මම නාට්‍යයට සම්බන්ධ වෙනකොට මුල්ම සිංහයා වුණ මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු, ඊළඟට සිංහයා විදිහට රඟපෑ ජය ශ‍්‍රී ඉන්ද්‍රජිත් හිටියේ නෑ. සමන් බොකලවෙල එක්ක තමයි මම රඟපෑවේ.’


බොහෝ දෙනෙක් කියන්නේ සිංහබාහු ඉතිහාසයේ හිටපු හොඳම සිංහබාහු නිශ්ශංක දිද්දෙණිය කියලා. මේ නාට්‍යය බලපු බොහෝ දෙනෙක් ඒ අදහසට එකඟ ඇති. මේ නාට්‍යයෙන් පස්සේ වෙස්සන්තර, රත්තරං, මහාසාර, ලෝමහංස වගේ සරච්චන්ද්‍ර නාට්‍ය බොහෝමයක චරිතවලට ආරූඪ වෙන්න නිශ්ශංක දිද්දෙණියට පුළුවන් වෙනවා.


පේ‍්‍රමය ගැන බොහෝ දේවල් තිබෙනවා කතා කරන්න. සරච්චන්ද්‍ර නාට්‍ය අස්සෙත් නොයෙක් විදිහට හමුවෙන්නේ පේ‍්‍රමය. ඉතිං අපි ආදරය විවාහය වගේ දේවල් ගැනත් ටිකක් කතා කළා..


‘මම කැම්පස් ගිහිං දෙවෙනි අවුරුද්දේ චාලී ප්ලැට් කියන නේවාසිකාගාරේ තමයි හිටියේ. ලූෂන් බුලත්සිංහලත් එතකොට මම එක්ක එකට හිටියා. මේ නේවාසිකාගාරය තිබුණේ රජවත්තේ. රජවත්තේ තමයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ ඒ කාලේ නවාතැන් අරගෙන හිටියේ. මට කැම්පස් එකේ මගේ බැච් එකේම ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් කරපු හේනේගම ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒක අවුරුද්දක් විතර තිබිලා මේ චාලි ප්ලැට් එකට එනකොට බූට් කාලා තමයි හිටියේ. ලූෂන් බුලත්සිංහලත් ඒ කාලේ ප‍්‍රසිද්ධ නිළියක් එක්ක පේ‍්‍රමයක් තිබිලා ඒකත් නතරවෙලා ඒ සොවින් හිටියේ. ඉතිං අපි දෙන්නම බූට් කාලා එකම බෝඩිමක ඉන්නකොට නවනන්දන විජේසිංහ කියන ලූෂන්ගේ මිතුරා දවසක් ගෑනු ළමයෙක්ගේ පොටෝ එකක් අරං ඇවිත් ලූෂන්ට දුන්නා. ලූෂන් කොහොමද මේ ළමයා කියලා. ඊට පස්සේ ඉතිං නවනන්දන විස්තරයකුත් කළා. ලූෂන් කිව්වා පොඩි කෙල්ලෙක්නේ කියලා. ඇත්තටම අවුරුදු 15ක් ඇති ඒ ගෑනු ළමයාට. ඒ පොටෝ එක ලස්සනයි. රැුලෙක්ස් රණසිංහ තමයි අරගෙන තිබුණේ. පොටෝ එක බැලූවාට පස්සේ මට ආස හිතුණා. මම කිව්වා උඹලට එපා නම් මට සෙට් කරපං කියලා. ඊට පස්සේ ඉතිං ඒ කතාව ඉවරයි. ඊට පස්සේ ඒ කාලෙම තමයි කොළඹ නව රඟහල ඕපන් කළේ. සිංහබාහු නාට්‍යය දවස් හයක් එක දිගට පෙන්නුවා. හයවෙනි දවසේ ලූෂන්, නවනන්දන එහෙමත් නාට්‍ය බලන්න ආවා. අපි නාට්‍ය ඉවරවෙලා අඩියක් ගහන්න ගියා.

ඒ වෙලාවේ නවනන්දන කිව්වා උඹ එදා කිව්වානේ අර ගෑනු ළමයට කැමතියි කියලා, යමු බලන්න කියලා. කොම්පඤ්ඤ වීදියේ තමයි එතකොට එයාලා හිටියේ. එදා ගිය ගමන තමයි මේ. 1979 අපේ‍්‍රල් අපි බැන්දා. එයාගේ නම විනීතා නන්දනී. මම ඔයාට ඒ පොටෝ එක පෙන්නන්නද?’


පොල්තෙල් පහනක් පත්තු කරන්නට ඉටි පන්දමක් අතින් ගත් පුංචි කෙල්ලෙක්ගේ කළු සුදු ඡුායාරූපයක් ඔහු මට පෙන්නනවා. ඒ අතීතය. දැන් ඔවුන්ට දරුවන්ගේ දරුවනුත් ඉන්නවා.


‘සමහරු කියනවා විවාහ ජීවිතේ කිසිම හැලහැප්පීමක් නෑ. කිසි රණ්ඩුවක් නෑ කියලා. ඒක අමූලික බොරුවක්. එහෙම නෑ. ප‍්‍රශ්න ඇතිවෙනවා. නැතිවෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. අපේ මේ දීර්ඝ එකට සිටීමත් ඒ වගේ. දැන් මගේ අම්මායි තාත්තායි කවදාවත් නීතියෙන් බැඳලා නැහැ. නමුත් ඔවුන් එකට සිටියා. එහෙම ඉතිහාසයක් තිබුණ ජාතියක් අපි. මට දැන් දුවයි පුතායි ඉන්නේ. දැන් ඒ දෙන්නත් බැඳලා ඔවුන්ටත් දැන් ළමයි ඉන්නවා. පේ‍්‍රමය කියන්නේ මොකද්ද? ඩොක්ටර් සරච්චන්ද්‍ර කිව්වේ, නැතේ ලොව රසඳුනා ආදරය සේ සුව දෙනා කියලා. ඉතිං පේ‍්‍රමය එහෙමයි. සුප්පා දේවියගෙන් දරුවෝ අහනකොට කොහොමද මෙහෙට ආවේ සියලූ සැප අතහැරලා කියලා. සුප්පා දේවිය මොකද්ද කියන්නේ?’


ඔහු මධුර මනෝහරව සිංහබාහු ගීත ගායනය කරනවා. ඉතිං අන්තිමට මට අහන්න හිතුණා මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගැන.
‘ඩොක්ටර් සහ මම සෑහෙන්න කාලයක් ඇසුරු කළා. අපි අතර කියන්න බැරි තරම් ප‍්‍රශ්නත් ඇතිවුණා. ඩොක්ටර් සරච්චන්ද්‍ර කියන්නේ මුනිවරයෙක් වගේ මනුස්සයෙක්. ඔහු ඇතුළේ කලාකරුවෙක් වගේම දාර්ශනිකයෙක් එක විට ජීවත්වුණා. අපි අතර සෑහෙන්න ප‍්‍රශ්න ඇතිවුණත් ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ. මම ටික කාලයක් ඔහුගෙන් ඈත්වෙලත් හිටියා. ඒත් පස්සේ ආයි ඔහු හමුවෙනකොට ඔහුට මාව ඉස්සර හිටිය දිද්දෙණියමයි. ඒ තරම් සරල මනුස්සයෙක් මම දැකලා නැහැ. තාගෝර් වැනි කලාකරුවන් එක්ක සමතැන් තියන්න පුළුවන් කලාකරුවෙක් ලංකාවේ හිටියා නම් ඒ සරච්චන්ද්‍ර කියලයි මට හිතෙන්නේ.‘


ඒ මුනිවර ඇසුරත් එක්ක විකසිත වුණ දිගා අයියගේ ජීවිතය කලාවෙන් සහ කලා අධ්‍යාපනය ඇසුරේ තමයි ගලාගෙන යන්නේ. නැටුම් විභාග කරමින් ඉස්සරහට ගිය දිගා අයියා සංගීතයෙත් විශාරද මට්ටමට ළඟාවුණ පුද්ගලයෙක්. එහෙත් ඔහු කවදාවත් තමන් විශාරද කියලා කියන්නේ නැහැ.
‘විශාරද කියන එක ගැන අමරදේව මාස්ටර් මරු කතාවක් දවසක් කිව්වා. මාස්ටර් කිව්වා විශාරද කියන්නේ හරියට ප්ලැට්ෆෝම් ටිකට් එකක් වගේ කියලා. මේ ටිකට් එකෙන් ප්ලැට්ෆෝම් එකට ගියාට කෝච්චියේ යන්න බැහැ. ඉතිං මම ඕක පාවිච්චි කරන්නේ නෑ. මම ජපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්වය සහ සන්නිවේදනය ගැන ඩිප්ලෝමාවක් කළා. කැලණිය කැම්පස් එකේ මාස්ටර් එක කළා. ඒ රස්සාවල් හොයාගන්න නෙවෙයි ඉගෙනගන්න තියෙන ආසාවට. මම මේ දවස්වල අපේ එම්ඞී මහින්දපාල ට‍්‍රාන්ස්ලේට් කරපු මාලන් බ‍්‍රැන්ඩෝගේ ජීවිත කතාව කියවනවා. හරිම ලස්සන පොතක්. ඒ නළු ජීවිතයේ තියෙන බොහෝ සිද්ධි මටත් හරිම සමීපයි.’


නිශ්ශංක දිද්දෙණිය කියන නළුවා ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදායටම කොටුවුණ නළුවෙක් නෙවෙයි. ඔහු එතනිනුත් එහාට ගිය නළුවෙක්. ‘අංගාරා ගඟ ගලා බසී’ නාට්‍යය තමයි ඔහුට මේ නාට්‍ය සම්ප‍්‍රදායන් දෙක හරහා එහා මෙහා යන්න පාර හදන නාට්‍යය. ඊට පස්සේ ඔහු කේබී හේරත්ගේ ‘මායාදේවි’ වගේ නාට්‍යයක සාර්ථකව රඟනවා. ලූෂන් බුලත්සිංහලගේ ‘රතුහැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති’ වගේ නාට්‍ය ගත්තත් ඔහුගේ මේ එහා මෙහා චාරිකා සෞන්දර්ය අපිට වින්දනය කරන්න පුළුවන්. කොහොම වුණත් මේ රසවතා සමග රසවත් හමුව නිමාකරන්න කාලය ඇවිත්.