රට පුරා ගම් නගර සිසාරා ඇති තාප්පවල හා බිත්තිවල සිතුවම් ඇඳීමේ ප‍්‍රවණතාව දැන් කෙමෙන් වියැකී යමින් තිබේ. මේ තාප්ප, බිත්ති චිත‍්‍රවල අප දැක්කේ ඉතිහාසගත කථාය. ආගමික කථාය. ඓතිහාසික හා පාරම්පරික උරුමයන්ට අදාළ දේය. සමහර විට ජාතික නායකයන් යැයි කියූ පුද්ගල චරිතය. යුද්ධය හා යුද්ධයට සම්බන්ධ වූ රණවිරුවන් යැයි කියූ අයය. ඒ අතර ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ සිට එක්සත් රාජධානියේදී හිටපු ශ‍්‍රී ලාංකික උද්ඝෝෂිත පුරවැසියන්ට මරණීය තර්ජන එල්ලකර අධිකරණයෙන් වරදකරු වූ ප‍්‍රියංක ප‍්‍රනාන්දු වැනි අයද වූහ. ක‍්‍රීඩක චරිතයක් හමුවුණා නම් ඒ ඉතා සීමිතවය. ඒද ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව ජයගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණය.


ඒත් ඊට වෙනස් ක‍්‍රීඩක චරිත දෙකක සිතුවම් මේ වනවිට කොළඹ මීගමුව පාරේ දොරටුව ලෙස සැලකෙන තොටළඟ මංසන්ධියේ ඇඳි බිත්ති සිතුවම් අතර දක්නට ලැබේ. එක් අයෙක් එච්.ඒ. සුනිල් පෙරේරාය. අනෙක් තැනැත්තා සුමිත් රත්නසිරි විනෝදහේවාය. ඔවුන් දෙදෙනා සිතුවමට නගා තිබෙන්නේ ඔවුන් ඇඳ සිටි කහ සහ කළු යන වර්ණවලින් යුත් ක‍්‍රීඩා ජර්සිද සමගින්ය. මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා අයත් වූයේ එල්ලේ ක‍්‍රීඩාවටය. ඒ එල්ලේ ක‍්‍රීඩාවේ පතාකයන් වූ තොටළඟ ‘අරුණ‘ ක‍්‍රීඩා සමාජයටය.


කොළඹ නගරයේ තොටලඟ බොහෝ අය හඳුනාගන්නේ වෙනත් කරුණු කිහිපයක් නිසාය. අතීතයේ කොළඹින් රටේ උතුරු ප‍්‍රදේශයට එතෙරෙවීමට සිදුවූ කැළණි ගංතොට ලෙසය. පාරු පාලම නිසාය. පසුකාලයේ එම එතෙරවීම සිදුකළ වික්ටෝරියා පාලම නිසාය. කොළඹ මැනිං වෙළඳපොලට පසු කොළඹ ලොකුම වෙළඳපොල වන තොටලඟ වෙළඳපල නිසාය. ඊටත් අමතරව දර්ශනීය තොටළඟ තොරණ නිසාය. රටේ තව පිරිසක් හෙවත් විශේෂයෙන්ම එල්ලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා එල්ලේ ක‍්‍රීඩා ලෝලීන් තොටලඟ ගැන දන්නේ ඉහත කී කාරණාවලට අමතරව තොටලඟ ‘අරුණ‘ එල්ලේ ක‍්‍රීඩා සමාජය නිසාය.


1962 වර්ෂයේදී ආරම්භ වූ තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජය ශ‍්‍රී ලංකාවේ එල්ලේ ක‍්‍රීඩා ඉතිහාසය තුළ බිහිවූ අතිවිශිෂ්ටම එල්ලේ ක‍්‍රීඩා සමාජයය. එම ක‍්‍රීඩා සමාජයේ දස්කම් අබිබවා යන්නට මෙතෙක් කිසිදු එල්ලේ ක‍්‍රීඩා සමාජයක් සමත්වී නැත. එමෙන්ම තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජය බිහිකළ සමහර දැවැන්ත එල්ලේ ක‍්‍රීඩකයන් අබිබවා යන්නට අදටත් කිසිදු එල්ලේ ක‍්‍රීඩකයෙකු සමත්වී නැත.


තොටළඟ මංසන්ධියේ ඇති බිත්ති චිත‍්‍ර අතර ඉන්නා එච්.ඒ. සුනිල් පෙරේරා හා සුමිත් රත්නසිරි විනෝදහේවා එවැනි අසමසම එල්ලේ ක‍්‍රීඩකයෝ දෙදෙනෙක්ය. තොටළඟ මංසන්ධියේ පිහිටි සිතුවම් ඇඳි එම ප‍්‍රදේශයේ පිරිසට රටේ ඉතිහාසය, උරුමයන් හා පුද්ගල චරිත අතර මේ ක‍්‍රීඩකයන් දෙපළ වැදගත් වූයේ ඔවුන්ගේ ජනවිඥානය තුළ අකාලයේ මියගිය මේ අතිදක්ෂ ක‍්‍රීඩකයන් දෙදෙනා අදටත් ජීවත්ව සිටින නිසාය.


එච්.ඒ. සුනිල් පෙරේරා යනු එතෙක් මෙතෙක් ශ‍්‍රී ලංකා එල්ලේ ක‍්‍රීඩාවේ බිහිවූ අතිදක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයාය. 1972 වර්ෂයේදී ආරම්භ වන ඔහුගේ ක‍්‍රීඩා දිවිය 80 දශකයේ අගභාගයේ අකාල රෝගයකට ගොදුරු වනතෙක්ම දිවගියේය. ඔහු එම ක‍්‍රීඩා දිවියේ දශක එකහමාරකට අධික කාලයේම රටේ සිටි අතිශූරතම එල්ලේ ක‍්‍රීඩකයා විය. එම කාලයේ සෑම වසරකම සංවිධානය කරනු ලබන කුමන හෝ එල්ලේ තරගාවලියක හෝ එල්ලේ තරගාවලි කිහිපයකම ඔහු අතිශූර ක‍්‍රීඩකයා විය. එකල ඔහු නිවේදකයන් හැඳින්වූයේ ‘එල්ලේ සක්විති’ ලෙසය. ඔහු රටේ ප‍්‍රධානතම එල්ලේ තරගය වූ ගම්බද නගරබද මහා එල්ලේ තරගයේ නායකත්වය මෙන්ම ඒ සෑම තරගයක්ම පාහේ නියෝජනය කළ ක‍්‍රීඩකයෙක් විය. එල්ලේ ක‍්‍රීඩාවට නවාංග රැුසක් එක් කිරීමටද ඔහු පුරෝගාමී විය. නායකත්වයේ ගුණාංගයද තියුණු ඇසද ඔහුට විය. තරුණ දක්ෂ ක‍්‍රීඩකයන් රැුසක් තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජය මගින් ඔහු එල්ලේ ක‍්‍රීඩාවට දායාද කළේය.


ඔහු එක් අතකින් ඇත්තම සාමදාන විනිශ්චයකාරවයෙකු බඳු විය. එල්ලේ ක‍්‍රීඩා තරගයක ප‍්‍රශ්නයක් ඇතිවන සෑම විටම එය විසඳීම සඳහා ඔහු මැදිහත්විය. තොටළඟ නමැති ග‍්‍රාමයේ සිටි අප දැන් පාතාලය නැතහොත් චණ්ඩි ලෙස හැඳින්වූ ක‍්‍රීඩාලෝලීහු ඔහුගේ විධානයට කීකරු වූහ. ක‍්‍රීඩා පිටියේ කලබල අත්හැරියෝය. එතරම්ම ඔහුට ඔවුහු ගෞරව කළහ.


එමෙන්ම ඔහුගේ පරපුරද එල්ලේ ක‍්‍රීඩාවේ දක්ෂයෝම වූහ. 1962 තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජයේ පළමු නායකයා වූයේ එච්.ඒ. පියසේන පෙරේරාය. ඒ ඔහුගේ වැඩිමහල් සොහොයුරෙකි. තොටළඟ අරුණට නායකත්වය දුන් ඔහුගේ අනෙක් වැඩිහහල් සහෝදරයා වූයේ එච්.ඒ. චන්ද්‍රසේන පෙරේරාය. මේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාද ඔහු මෙන්ම ගම්බද නගරබද මහා තරගයට ක‍්‍රීඩා කළ එයට නායකත්වය ලබාදුන් ක‍්‍රීඩකයෝය. එමෙන්ම ඔහුගේ අනෙක් වැඩිමහල් සහෝදරයා වූ එච්.ඒ. චන්ද්‍රසේන පෙරේරාද තොටළඟ අරුණ නියෝජනය කළේය.
බිත්ති සිතුවම්වල සිටින අනෙක් එල්ලේ ක‍්‍රීඩා තරුව සුමිත් රත්නසිරි විනෝදහේවාය. ඔහු එතෙක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ එල්ලේ ක‍්‍රීඩාව තුළ බිහිවූ අතිදක්ෂම කඩඉම් රකින්නාය.
(එල්ලේ ක‍්‍රීඩාව තුළ පළමු, දෙවන හා තෙවන ලෙස ධාවනයේ යෙදීමට කඩඉම් තුනක් පවතී. රවුමක් හෙවත් ලකුණක් ලබාගැනීම සඳහා පිතිප‍්‍රහාරයකින් පසු ධාවකයන් මේ කඩඉම් තුන පසුකර යා යුතුය. එම කඩඉම් පසුකර යන ධාවකයන් එම කඩඉම්වල නැවතීමට පෙර දවාගැනීම කඩඉම් රකින්නාගේ කාර්යභාරය වේ.*


ඔහු අතිදක්ෂ ධාවකයෙක්ද ධාවනයේදී දැවී යෑමෙන් බේරීම සඳහා පිනුම් ගසන්නෙක්ද විය. ඊට අමතරව සමහර අවස්ථාවල පිති ප‍්‍රහාරකයෙක්ද විය.


ඔහුත් අකාලයේ මියැදුණ විට ඔහුගේ අවසන් කටයුතු කළ මාදම්පිටිය සුසාන භූමියේ එම අවමඟුලට පැමිණ සිටි සියල්ලන්ට පත‍්‍රිකාවක් බෙදාහරිනු ලැබීය. ඒ තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජයෙන් නොව මැද කොළඹ ‘ශ‍්‍රී විජය‘ එල්ලේ ක‍්‍රීඩා සමාජයෙන්ය. මැද කොළඹ ශ‍්‍රී විජය ක‍්‍රීඩා සමාජය වූ කලි හැට, හැත්තෑව හා අසූව දශකවලදී (මැද කොළඹ ශ‍්‍රී විජය ක‍්‍රීඩා සමාජය හැට හැත්තෑව දශක අවසන් භාගය තෙක් හැඳින්වූයේ මැද කොළඹ විජය ක‍්‍රීඩා සමාජය ලෙසය.* තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියාය. එම පත‍්‍රිකාව තුළ මැද කොළඹ ශ‍්‍රී විජය ක‍්‍රීඩා සමාජය සුමිත් රත්නසිරි විනෝදහේවා නම්කර තිබුණේ ‘විස්මිතයා’ ලෙසය. එය ඔවුන් අකුරු බවට පත්කර තිබුණේ ‘විස්මිතයා නික්ම ගියේය‘ යනුවෙන්ය. ඇත්තටම ඔහුගේ කඩඉම් රැුකීම් විස්මිත විය. පන්දුවට පහරදෙන්නාගේ ප‍්‍රහාර කඩඉම් අසලදී නවත්වා ක‍්‍රීඩකයන් දවාගැනීම, වෙනත් ක‍්‍රීඩකයන් නවත්වා යොමුකරන පන්දු විස්මයජනක ලෙස රැුකගෙන ධාවකයන් දවා ගැනීම ආදිය එම විස්කම් අතර විය.


එම නිසාම ජාතික ශූරතා තරගාවලියේදී එල්ලේ ජාතික ශූරයා ලෙසින්ද, තවත් එල්ලේ තරගමාලා රැුසක ශූරතම ක‍්‍රීඩකයා, ශූරතම කඩඉම් රකින්නා හා ශූරතම ධාවකයා ලෙසින්ද ඔහු සම්මානයට පාත‍්‍රවී ඇත. ගම්බද, නගරබද මහා එල්ලේ තරගයේ නගරබද කණ්ඩායමේ කඩඉම් රැුකීමේ භාරධුර කාර්යයේ ස්ථානය ඔහුට හැමදාම හිමිවී තිබුණි. ඔහුගේ එම කඩඉම් රැුකීම් විස්මිතය. එය දැක ඇති අයට ඒ ගැන විවාදයක් නැත.


මේ පත‍්‍රිකාවේ මැද කොළඹ ශ‍්‍රී විජය ක‍්‍රීඩා සමාජය තවත් සඳහනක් කර තිබුණි. ඒ 80 දශකයේ තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජයේ අසමසම ජයග‍්‍රහණයට නායකත්වය දුන් ඩබ්ලිව්.ඒ. සරත් හෙවත් සරත් වන්නිආරච්චිට (ඔහුද ජාතික එල්ලේ ශූරයා ඇතුළු ශූරතාව ක‍්‍රීඩක සම්මාන රැුසක් දිනාගත් තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි.* එම කණ්ඩායම් ජයග‍්‍රහණයන්ට ප‍්‍රධාන පිටුබලය දුන් ක‍්‍රීඩකයන් දෙදෙනා වූයේ එච්.ඒ. සුනිල් පෙරේරා හා සුමිත් රත්නසිරි විනෝදහේවා යන්නය. ඔවුන් දෙදෙනා තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජය සතුව නොසිටියේ නම් එම ජයග‍්‍රහණ සමහර විට නොලබන්නට ඉඩ තිබූ බවය.


ප‍්‍රතිවාදීන් පවා එච්.ඒ. සුනිල් පෙරේරා හා සුමිත් රත්නසිරි විනෝදහේවා නම්වූ අතිවිශිෂ්ට සමකළ නොහැකි එල්ලේ ක‍්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව එසේ කියන විට තොටළඟ ජනතාවගේ විඥානයේ මෙම අතිවිශිෂ්ටයන් සිටීම පුදුමයක් නොවේ.