චිත‍්‍ර කලාව හා විචාරය-එරික් ඉලයප්ආරච්චි

මෙය යුරෝපීය නවීකාරක දෘශ්‍ය කලාව හා එහි ඉතිහාසය අළලා ශ‍්‍රී ලංකාව තුළ ලියවෙන තුන් වන කෘතියයි. පළමු කෘතිය කුලනාථ සේනාධීර විසින් ‘නූතන චිත‍්‍රකලාවේ රසික සංකල්ප’ මැයෙන් ලියන ලද අතර දෙවැන්න ලියවෙන්නේ පියසීලී විජේගුණසිංහ විසිනි. පියසීලීගේ කෘතිය නැගෙනහිර යුරෝපයට මුල්තැන දෙමින්  ‘බොල්ෂෙවික්වාදය හා අසාම්ප‍්‍රදායික පෙරටුගාමී කලාකරුවෝ’ ලෙස සම්පාදනය වන අතර එරික්, යුරෝපය සහ නැගෙනහිර යුරෝපය පමණක් නොව පුනරුදයේ කලාවද ලංකාවේ නවීකාරක කලාවේ 43 කණ්ඩායමේ පුරෝගාමී මැදිහත්වීම් අළලා ඒ වගේ ම තෝරා ගත් විශ්ව කීර්තියට පත් දීප්තිමත් ලෝක කලාකරුවන් කිහිප දෙනෙකු අළලා සිය කෘතිය තුළ අධෝ ලිපි මාලාවක් ද ඇතුළත් කරමින් සුවිශාල පැතිරුණ පරාසයක් තුළ චිත‍්‍ර – මූර්ති කලාවන්ගේ ආකෘතික පරිවර්තනයන් හා සෞන්දර්ය මානයන් හෙළිපෙහෙලි කරයි. මෙම කෘතිය හුදෙක් කලා ඉතිහාසයට අදාළ ලියවිල්ලක් නොව චිත‍්‍ර මූර්ති ආදි කලාවන්ගේ ස්වභාවය අළලා කෙරෙන අර්ථ නිරූපණයන්ගෙන් යුතු නව සංවාද තලයන් කරා දෘශ්‍ය කලා සමාජයට උත්පේ‍්‍රරණ ලබා දුන් කෘතියක් ලෙසද හැදින්විය හැකිය. පළමුවෙනි පරිච්ෙඡ්දයෙහි චිත‍්‍ර කලාව හා ජීවිතය ශිර්ෂය යටතේ 23 වන පිටුවේ ඔහු මෙසේ දක්වයි.

චිත‍්‍ර කලාවේ සෞන්දර්ය රූප, සාහිත්‍ය රූපයන්ට වඩා වෙනස් ය. නවීන චිත‍්‍රය කතාන්දරයක් කියන්නේ නැත. අඩුම වශයෙන් සිද්ධියක් ගෙනහැර දැක්වීම වුව නොකිරීමට චිත‍්‍ර ශිල්පියා වෑයම් කරනු ඇත. එපමණක් නොව යම් මනෝ වෘත්තියක් වුව ඉදිරිපත් නොකරන චිත‍්‍ර තිබේ. පෝල් ගොගෑන් කතාන්දර කියන චිත‍්‍ර කලාව ‘නරක සාහිත්‍ය’ නමින් නිර්වචනය කළේ ය. මනුෂ්‍යයාගේ සංවේදන ක්ෂේත්‍රෙයහි ඉතා පුළුල් නිම්වළලූ තුළට ඇතුළු වන යථාර්ථ නිරූපණයන් විසින් කතා වස්තුමය චිත‍්‍ර කලාවක් හෝ සිද්ධි වාචක චිත‍්‍ර කලාවක් හෝ නිර්මාණය නොකිරීම පිළිබදව අප පසුතැවිලි වන්නේ කුමට? බාහිර ලෝකයේ දෘශ්‍යමාන පෙනුම අනුකරණය කරන ලෙස ආඥා නිකුත් කර, චිත‍්‍ර කලාව හා මූර්ති කලාව එහි දාසයකු බවට පත් කළ යුත්තේ මන්ද? මේ ශත වර්ෂය ආරම්භයේදීම යුරෝපීය චිත‍්‍ර ශිල්පියා විසින් ජීවිතය පරදුවට තැබූ අරගලයකින් ම පෙරළා දමන ලද අනේකාකාර ආචීර්ණ කල්පිත ගුරුකුල අපේ කලා භාවිතාවේදී අප විසින් පුනස්ථාපනය කරන්නේ නම් අපගේ ප‍්‍රතිගාමිත්වයේ සීමාව කොතන ද?’

මේ වන විටද පාසල් චිත‍්‍ර කලා අධ්‍යාපනය අළලා කලා ඉතිහාසය ආවරණය කෙරෙන පෙළ පොතක් නැත. ඒ වගේ ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කලා ඉතිහාසය ආවරණය කිරීම අරබයා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ග‍්‍රන්ථයක් සම්පාදනය කොට නැත. 1995දී එරික් විසින් රචිත මෙම ග‍්‍රන්ථය එවකට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය විභාග කේන්ද්‍රීය කලා ඉතිහාසයට අදාළ තොරතුරු තව දුරටත් සාක්ෂාත් කර ගැනීමෙහිලාත් සිය නව නිර්මාණාත්මක ප‍්‍රායෝගික භාවිතාවන් පිණිස ගුරු කොට ගත්තේය. එවකට 1997දී චිත‍්‍ර මූර්ති අධ්‍යයනාංශයේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ‘පිටවීම 97’ මැයෙන් අවසන් අධ්‍යයන වර්ෂයේ සිසුන් හැටියට ජාතික කලාභවනේ පැවැත්වූ ප‍්‍රදර්ශනයේ කෘති සඳහා උත්පේ‍්‍රරණ සැපයුවේ ද මූලික වශයෙන් මෙම කෘතියයි. ධනංජය කරුණාරත්න, සිය බැච් එකේ සමූහ ඡුායාරූපය මත ‘මෙය සමූහ ඡුායාරූපයක් නොවේ’ ලෙස සඳහන් කරමින් කලාකෘතියක් නිර්මාණය කිරීමටත්, මොනාලිසාගේ විශාල මුද්‍රණයක් ඇලවූ දැව පුවරුවක් මත මොනාලිසාගේ පපුව මැද පොරොව පහරක් ගසා ඒ සමග ‘සියලූ පරමාදර්ශයෝ දුබලය’ යනුවෙන් සඳහන් කොට කලාකෘතියක් කිරීමටත් මෙම කෘතිය නිසා ඇති වූ උත්පේ‍්‍රරණය බලපාන ලද බවට සිතිය හැකිය. චිත‍්‍ර-මූර්ති කලාව හා එහි ඉතිහාසය අරබයා නිදහස් අධ්‍යාපන පහසුකමෙන් ලබා දෙන උසස් අධ්‍යාපනය අදටත් සිංහල මාධ්‍යයෙන් පමණක් ලබා දෙන වාස්තවිකයක එවක එරික් විසින් සිංහලයෙන් රචනා කරන ලද මෙම කෘතිය ලංකාවේ සතර දිග්භාගයේ ම ඉංග‍්‍රීසි කතා කළ නොහැකි සමාජ පන්තිය ගුරුමුෂ්ටිවලින් තොරව දැනුම හා විවරණාත්මක තොරතුරු ලබා ගත්තේ මෙම කෘතියෙනි. මෙම කෘතියට පෙර ‘විවරණ’ සගරාව ‘තෙලිතුඩ’ මැයෙන් වර්ණ ඡුායාරූප ඇතුළත්ව චිත‍්‍ර කලාවේ ඓතිහාසික ලෝක හැරවුම් ලක්ෂ්‍ය අළලා රචනා කරන ලද ලිපියකට එම සගරාවේ අග පිටුව ලබා දී තිබුණි. ඒ වගේ ම මෙම කෘතියෙන් පසුව ‘චිත‍්‍ර කලා සෙව්වන්දිය’ හා ‘චිත‍්‍ර කලා සියපත’ යනුවෙන්ද ඔහු විසින් කෘති දෙකක් රචනා කරන ලද අතර ඔහු මේ වන විට ද චිත‍්‍ර-මූර්ති කලාවේ ඉතිහාසය අළලා පුවත්පත්වලට ලිපි සම්පාදනය කරයි. අද වන විට චිත‍්‍ර මූර්ති කලා අධ්‍යාපනයට අදාළ ආයතනය ‘සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය’ හැටියට ගම්භීර තත්වයක් ලබාගෙන ඇති නමුත් එරික් විසින් කරන ලද ඓතිහාසික කාර්යභාරයට කෘතවේදී වන බවක් පේනතෙක් මානයක නැත. එරික්ගේ කෘති නිසා පන්නරය ලැබූ විද්‍යාර්ථීන්ද කිසිදු කෙළෙහිගුණයක් නැතුව ලංකාවේ කලාවේ ඉතිහාසය තුළ ඔහු විසින් කරන ලද කාර්යභාරය ඇගයීම කෙසේ උවත් සලකුණු කරන්නේ නැත.x

  • සුජිත් රත්නායක