රංගන ශිල්පිනී  සමනලී ෆොන්සේකා

තරුණ කාලය ගැන සිහිපත් කළොත්..

යාළුවෝ ගොඩක් ආශ‍්‍රය කළා. අපි හිටියේ කල්ලියක් විදියට. අපට හැසිරෙන්න සහ එකිනෙකා අඳුනගන්න අවකාශයක් තිබුණා. අවට පරිසරය විතරක් නෙවෙයි අපි අපි ඇතුළේම අනෙක් කෙනාව පිළිගන්නට ඉඩක් තිබුණා. විවේචනය කරන්න සහ එකිනෙකා අතර සංවාදය ගොඩනඟාගන්න අවකාශයක් තිබුණා. ඒ කාලයේ සමාජ වෙබ් අඩවි තිබුණේ නැහැ. අපි එකිනෙකා සමඟ කතාබහ කරන කාලය වැඩිවුණා. අපට ජංගම දූරකථන තිබුණේ නැහැ. ගෙදරට කෝල් කරලා තැනකට සෙට් වෙනවා. එක්කෙනෙක් එනතුරු අනෙක් අය බලාගෙන ඉන්න  ඕනෑ. එදා හොඳයි අද නරකයි කියලා මම කියන්නේ නැහැ. එහෙත් අදට වඩා එදා වෙනස්. අපි වල් වැදුණා. ඒත් ඒ අතරේම දැනුම සොයා ගියා. සාම්ප‍්‍රදායික විදියට පොත් කටපාඩම් කරන පුරුදු අපට තිබුණේ නැහැ. ඒ නිසා ගුරුවරුන් සහ පවුලේ අය හිතන්න ඇති අපි රස්තියාදු ගහපු කල්ලියක් කියලා. එහෙත් ඇත්තටම අපි නිදහස් ආකෘතියක් ඇතුළේ දැනුම සහ අත්දැකීම් සොයා ගියා. අපට හැම තිස්සේම සාමාන්‍ය සමාජයේ ඇතැම් පැවතුම් ගැන විවේචනයක් සහ ගැටුමක් තිබුණා. මූලිකවම ගැටුම් පටන්ගත්තේ ගෙදර එක්ක.

ඔබේ නැන්දා මාලිනී ෆොන්සේකා. ඇගෙන් රංගන ජීවිතයට උදව් ඉල්ලූවේ නැද්ද?

ඇය මගේ නැන්දා වීම මට වෙනස් කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ඒ වගේම මාව සහ නැන්දාව සම්බන්ධ කරමින් මිනිසුන් කල්පනා කිරීමත් නවත්වන්න බැහැ. ඒ නිසා මොනවා කළත් නැන්දාගෙන් ප‍්‍රතිලාභයක් ලැබෙනවා විය හැකියි. ඒත් මට  ඕනෑ වුණේ ඒක නැති කරලාම දාන්න. මුල් කාලයේ පටන්ම එය තිබුණා. නැන්දා එක්ක මට ගැටලූවක් නෑ. ඇය මගේ නැන්දා වීම මට මහා ගෞරවයක්. මම හිතනවා මම කියන දේට මගේ නැන්දාත් එකඟ වේවි කියලා. මට නැන්දාගෙන් මිදෙන්න  ඕනෑ වුණා.

බැලූ බැල්මට ඔබ හරිම රැඩිකල් කාන්තාවක් ලෙස සමාජය දකිනවා. ගෙදර හැදුණු කෙල්ලෙක් සටන්කාමී කාන්තාවක් බවට හැරෙන එක ලෙහෙසි වුණාද?

කොහෙත්ම ලෙහෙසි වුණේ නැහැ. මං වගේ කෙනෙක් ඒ ගැන කතාකිරීම හොඳයි. මම මාර රැුඩිකල් කෙනෙක් නෙවෙයි. අපේ අයියලා දෙන්නා එක්ක මම පුංචි කාලයේ ඉඳන් හැදුණේ. අයියලා දෙන්නා ලබන නිදහස, පිරිමි යාළුවන් ලබන නිදහස එක්ක බැලූවාම මම හිරවෙලා කියලා මට දැනුණා. ගැලවෙන්නේ කොහොමද කියලා තේරුණේ නැහැ. මම හැදුණේ ඉතාම ආදරණීය පවුලක. තාත්තා සහ අයියලා එක්ක දේශපාලනය ගැන පවා අපි සංවාද කළා. ප‍්‍රසන්න මාමා (ප‍්‍රසන්න විතානගේ* සහ නැන්දලා එක්ක කලාව ගැනත් සංවාද කළා. ඒ වුණාට මට ගෙදරින් එළියට එන්න වුවමනාවක් තිබුණා. ඒත් මගේ වයසත් එක්ක ඒකට නිදහස ලැබුණේ නැහැ. දිගින් දිගටම ගෙදර එක්ක අරගල කළා. විශේෂයෙන්ම තාත්තා එක්ක. මට නාට්‍ය බලන්න යන්න  ඕනෑ වුණා. හයහමාරට නාට්‍යයක් පටන්ගත්තාම ඉවරවෙන්නේ රෑ වෙලා. පිරිමි යාළුවන්ට රෑ වෙනතුරු නාට්‍ය බලන්න යන්න පුළුවන්. මට තහනම්. ඒ නිසා මම හැමදාම රණ්ඩු වෙනවා. සමහර දවස් වල ? එකොළහ වෙලා ගෙදර එනකොට අම්මා තමයි බැණ බැණ හොරෙන් ගේට්ටු ඇරලා ගෙට ගත්තේ.

උසස්පෙළ ඉවරවෙලා මම විශ්වවිද්‍යාලයට තේරුණා. ඉස්කෝලේ යන කාලයේ අපි විශ්වවිද්‍යාලයට යයි කියලා ගෙදර අයට හිතන්න හේතුවක් තිබුණේ නැහැ. මොකද අපි දැනුම පස්සේ පන්නන එකට වඩා ගෙවල්වල අයට පෙනුණේ අපි වල් වැදිලා හිටපු බව. විශ්වවිද්‍යාලයට තේරුණාම තාත්තා ඇහුවා මොනවාද  ඕනෑ කියලා. මම කිව්වා මට නාට්‍ය බලන්න යන්න දෙන්න කියලා. ඒ වෙලාවේ එයා හිතන්න ඇති මේ වැඬේ හරියන්නේ නැහැ කියලා. මම විශ්වවිද්‍යාලයට ගිය පළියට රස්සාවක් කරන, ගෘහණියක් විදියට ඉන්න ‘සාමාන්‍ය කාන්තාවක්’ වෙන්නේ නැහැ කියලා හිතන්න ඇති. මම හිතන්නේ මේ ලෝකයේ මට වැඩිපුරම ආදරය කරන කෙනා තාත්තා. ඒ නිසාම ඔහු බියෙන් හිටියේ. ඒ බිය තවත් වර්ධනය වෙන්න ඇති.

ඇත්තටම මම ඒ ගෙදරින් එළියට එන්න පාවිච්චි කළේ මගේ පළමු විවාහය. ඒක අතිසාර්ථක විවාහයක් නෙවෙයි. මමත් මගේ පළමු සැමියා ගයානුත් ආදරයෙන් හිටියා. එහෙත් ඒ ආදරය විවාහයෙන් කෙළවර විය යුතු එකක්ද කියන ප‍්‍රශ්නය අපි අපෙන් අහගන්න කලින් කසාද බැන්දා. ගෙදරින් එළියට ඇවිත් මට මාව හොයාගන්නට කසාදය පාවිච්චි කළා. මම ඒ විවාහයෙන් වෙන් වෙනකොට තාත්තා ගොඩක් දුක් වුණා. ටික කාලයක් මගෙන් ටිකක් ඈත් වෙලා වගේ හිටියා. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. විසඳුමක් විදියට මම තාත්තාට පිටු 14ක විතර ලියුමක් ලීවා. මම මගේ හැම සම්බන්ධතාවක් ගැනම එහි ලීවා. මම හංගපු හැමදේම කීවා. මම කීවා ඒ කිසි දෙයක් අද මම ඉන්න තත්වයට ප‍්‍රශ්නයක් විදියට බලපෑවේ නැති බව. තාත්තා සහ මා අතර සම්බන්ධය පළුදු වෙලා තිබුණා නම්, ලියුම ලීවාට පස්සේ ඒක නැති වුණා. අපි අතර ප‍්‍රශ්නය ගැන සන්නිවේදනයක් සිද්ධ වුණා. ඇත්තටම අපි ප‍්‍රශ්න ගැන විවෘතව කතා නොකර හංගමින් ඉන්න එක තමයි ලොකුම ගැටලූව.

ඔබ විවාහය ගැන විශ්වාස කරනවාද?

විවාහයට කිසිම සංකේතීය වටිනාකමක් නැහැ. මිනිස්සු දැන් විවිධ හේතු මත විවාහ වෙනවා. සමහරු වීසා ගන්න විවාහ වෙනවා. ඉන්ද්‍රචාපගේ නම් විවාහය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ වුණාට ගෙවල්වල තියෙන බලපෑම මත විවාහයට අත්සන් කරන්න සිද්ධ වුණා. එහෙම නැතිව ඉන්න තිබුණා නම් හොඳයි. විවාහයට වඩා වැදගත් වෙන්නේ ආදරය. ලංකාව වගේ රටක ගෑනු ළමයෙක් හින්දා මම විවාහ වෙනවාද නැද්ද කියන එක පවුලේ අය බලනවා. මම මුල් විවාහයෙන් වෙන් වුණා. එහෙත් එය ගැටුම්කාරී ලෙස වෙන්වීමක් නෙවෙයි.

දැන් විවාහ දිවිය ගෙවෙන්නේ කොහොමද?

අපි විශ්වාස කරන දේවල් පාවා නොදී ඉන්න හරිම අමාරුයි. මේ ක‍්‍රමය අපව පත් කරලා තියෙන්නේ අපේ විශ්වාසයන් පාවා දෙන තැනට අපව තල්ලූ කරන විදියට. ඒ දවස්වලටත් වඩා අද හරිම අමාරුයි. ඒ දවස්වල අපි දෙමාපියන්ගෙන් යැපුණා. අපි මතවාදවලින් ස්වාධීන වුණාට ප‍්‍රායෝගිකව ස්වාධීන ජීවිතයක් ගත කළේ නැහැ. ඇත්තටම මම ඉන් පස්සේ ව්‍යාපාරිකයෙක්ව හෝ ධනවතෙක්ව විවාහ වුණා කියලා හිතමු. ඒ ධනවතා තමන්ගේ ප‍්‍රතිපත්ති පාවා දෙමින් ධනය උපයන කෙනෙක් බව හිතමු. එහෙම කෙනෙක් සමග විවාහ වෙලා මට ප‍්‍රතිපත්ති ගැන ඉහළින් කතා කරමින් ජීවත් වෙන එක ප‍්‍රායෝගිකව පහසු වැඩක් වෙන්න පුළුවන්. ඒත් ඉන්ද්‍රචාප හා මා අතර විවාහය එහෙම එකක් නෙවෙයි. අපි දෙන්නාගේ බැඳීම පවතින්නේම අපේ ප‍්‍රතිපත්ති රැකගැනීම මත. ගෙයක් දොරක් හදනවාද, ධනය රැස්කරනවාද වගේ ප‍්‍රශ්න අප ඉදිරියට එනවා.

අපි ප‍්‍රතිපත්තිවලට මුල් තැන දෙමින් ඒවාට උත්තර දෙනවා. මට මේ තරම් මුදලක් ලැබෙන එක වැඩක් තියෙනවා, ඒත් මට ඒ වෙනුවෙන් ආත්මය පාවාදෙන්න සිද්ධ වෙනවා කියලා මම ඉන්ද්‍රචාපට කීවොත් මොනවා වේවිද. ඔහු ටිකක් හරි ඒකට අනුබල දුන්නොත්, අපි ඒ වැඬේ කළොත් දිගින් දිගටම ඒ වගේ දේවල් සිද්ධ වේවි. අපි රැකගත් සියලූ වටිනාකම් නැතිවේවි. ඒ නිසා අපි අසීරුවෙන් හෝ මුදල් කළමනාකරණය කරගන්නවා.  විශ්වාස කළ දේවල් මහ දවාලේ පාවාදෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මධ්‍යම පන්තික ජීවිතයක් ගත කරනවා. බොහෝ අය ඒක තේරුම් ගන්නේ නැහැ. සමහරු හිතන්නේ අපි මිනිසුන්ගේ ප‍්‍රශ්න ගැන කතාකළාට පොළොවට ඉහළින් අමුතු ජීවිතයක් ගත කරනවා කියලයි. බොහෝ අය දන්නේ නැහැ අපි ගෙදර කෑම උයාගෙන කන බව. ගෙදර කුණු බාල්දිය හෝදාගන්න බව. කුලී ගෙදරක ජීවත්වෙන බව. සාමාන්‍ය මිනිසුන්ගේ ප‍්‍රශ්න අපටත් තියෙන බව.

සමනලීට ආදරය කරන බොහෝ රසිකයන් ඉන්නවා…

ඉන්නවාද, හිටියාද කියලා හොයන්න  ඕනෑ. ඇත්තටම මා සහ මගේ රසිකයන් අතර කතාව මේකයි. මම රංගන ශිල්පිනියක් විදියට මුලින්ම එනකොට මටත් ඒක අලූත් අත්දැකීමක්. මට කැමති රසිකයන් පිරිසක් බිහිවුණා. ඔවුන් මාව දැක්කේ හුරුබුහුටි, හුරතල්, මාලිනීගෙ දුව වගේ හැඟීමකින්. ඒ රසිකයන් මා ගැන ප‍්‍රතිරූපයක් හදාගත්තා. ෂෝක් ළමයෙක්, පොඩි කෙල්ල වගේ දේවල් තිරයෙන් මාව දකින විට කල්පනා කරන්න ඇති. එයාලා දන්නේ නැහැ මගේ ජීවිතයේ සිද්ධවුණ හැළහැප්පීම්. මම විශ්වාස කරන දේවල් ගැන දන්නේ නැහැ. 2014 වනතුරුම මාව දැනගෙන හිටියේ ‘මාලිනීගෙ දුව’ විදියට. ඒ යෙදුමේ මාලිනීගේ කියන වචනය වගේම ‘දුව’ කියන වචනයත් වැදගත්. තවම මෙයා පොඩි ළමයෙක් කියලා හිතනවා. 2015 ජනාධිපතිවරණය ආවේ ඔය අස්සේ. එතැනදී මම කතාකරන්න පටන් ගත්තේ ලෝකේ කොහේවත් නොතිබුණු අලූත් දෙයක් නෙවෙයි. බොහොම සාමාන්‍ය, එළියේ තිබුණු දේශපාලනික කාරණා. මම සාමාන්‍ය පුරවැසියෙක් විදියටයි කතාකළේ. ඒ වෙලාවේ තරුණියක් විදියට මා දැකපු අභියෝගයක් තමයි

එවකට පැවති ජාතිවාදය මුල් කරගත් දේශපාලන සංස්කෘතිය. ඒ මොහොතේ මට තිබුණු දේශපාලන ප‍්‍රතිවිරෝධය ඒක. ඒ සංස්කෘතිය රටට කරමින් සිටි දේ වගේම තරුණයන්ව රැුගෙන ගිය දිශාව ගැන අපට වේදනාවක් ඇතිවුණා. එයට එරෙහිව හ`ඩනැඟුවා. එය මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට විරුද්ධ දෙයක් නෙවෙයි. ඒ සිදුවිම්වලින් පස්සේ මට හිටපු රසිකයන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද මට රසිකයන් පිරිසක් ඉන්නවා. සමහරු එදා සිටි අය. තවත් සමහරු එදා නොසිටි අය. දැන් ඉන්නේ පෙර සිටි රසික ප‍්‍රජාවට වඩා වෙනස්ම පදනමකින් මා එක්ක බැඳුණු පිරිසක්.

දේශපාලන භාවිතාව ගැන තවත් කතාකළොත්..

සාමාන්‍ය භාෂාවෙන් කීවොත් අපි කාලයක් තිස්සේ පාඩුවේ වැඩක් කරගෙන හිටියා. ඒ අතරතුර තමයි 2014 ජුනි මාසයේ අලූත්ගම මුස්ලිම් ජනතාවට පහරදීම සිද්ධවුණේ. ඒ ප‍්‍රහාරයට විරෝධය පාලා ෆේස්බුක් එකේ මම කමෙන්ට් එකක් දැම්මා විතරයි. ඒත් අර අමානුෂික ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් ඒ කමෙන්ට් එකට ලැබුණු ප‍්‍රතිචාර දැක්කාම මම පුදුම වුණා. එතකොට තමයි මේ ජාතිවාදී විෂ මොනතරම් පැතිරිලා ගිහින්ද කියලා වැටහුණේ. අපි හඩ නැඟීම මොන තරම් වැදගත්ද කියන අවබෝධය ඇතිවුණා. ප‍්‍රධාන වශයෙන් ඒ මොහොතේ හදමින් සිටි මුස්ලිම් විරෝධී රැල්ලට එරෙහිව සිටගත යුතු බව පැහැදිලිවම දැක්කා. අපි ප‍්‍රසිද්ධියේ එයට විරුද්ධව හිටගත්තා.

කලින් හිටපු රසිකයන්ගේ ලෝකය බිඳවැටුණා…

එතෙක් මා ගැන ඔවුන් සිතා සිටි ප‍්‍රතිරූපය ක්ෂණයෙන් බිඳී ගියා. ඔවුන්ට ඒක දරාගත නොහැකි වුණා. යම් කෙනෙක් එතෙක් ස්වයංවින්දනයේ යෙදුණා නම්, ආදරය කළා නම්, පින්තූරයක් වෝල්පේපර් එක විදියට දාගෙන හිටියා නම්, ප‍්‍රසිද්ධ නිළියකට අදාළව කරන  ඕනෑම දෙයක් කළා නම් ඒ අය එකපාරම අන්ද මන්ද වුණා. සීනි බෝලයක් මිලදී අරගෙන කටේ දාලා බලනකොට තිත්තම තිත්ත රසක් ආවා වගේ වැඩක්. ඔවුන් කලාකරුවන්ගෙන් දේශපාලන ප‍්‍රකාශ බලාපොරොත්තු වෙනවා ඇති. එහෙත් ‘මාලිනීගේ දුව’ ප‍්‍රතිරූපය තිබුණු මගෙන් ඒක බලාපොරොත්තු වුණේ නැහැ.

සාම්ප‍්‍රදායික අදහස් සහ නවීන අදහස් ගැටෙන හැම අවස්ථාවකම ඔබට ප‍්‍රහාරයක් එල්ල වෙනවා නේද?

සමහර අදහස් දැක්වීම් මාර ප‍්‍රශ්නයක්. මා නොකීව දේවල් කීවා වගේ දානවා, කරුණු විකෘති කරනවා, මට අදාලව සම්පූර්ණයෙන්ම බොරු ප‍්‍රවෘත්ති පැතිරෙනවා. හ`ඩපටි ප‍්‍රසිද්ධ වුණ වෙලාවේත් මගේ රූපය දාලා මම  නොකළ ප‍්‍රකාශයක් කළා වගේ ෆේස්බුක් එකේ හුවමාරු වුණා. ආගම ගැන මම කරපු ප‍්‍රකාශ කියලා ව්‍යාජ ප‍්‍රකාශ දැම්මා. ඒ වගේ සිදුවීම් මාර දරුණුයි. ඒ වගේ ෆොටෝ එකක් දැම්මාම ක්ෂණිකව හුවමාරු වෙනවා. මම ඒක නිවැරදි කරලා ෆේස්බුක් එකට මොනවාහරි දැම්මොත් ඒක හුවමාරු වෙන්නේ නැහැ. මේවා නිර්මාණය කරලා අන්තර්ජාලයට එකතු කරන්නේ ඉතාම සංවිධානාත්මකව. ඒවා යන්නේත් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට. ඒක නවත්වන්න හරිම අමාරුයි. කොහොම වුණත් මට හැරෙන්න බෑ. මේකට මුහුණ දෙන්න වෙනවා. එක වෙලාවක මට හිතුණා මේ මොන වදයක්ද කියලා. ඒත් මම ආපස්සට හැරිලා ගිහින් මොනවා කරන්නද. මේ තමයි මගේ ජීවිතය, මගේ විශ්වාසය. මගේ කලාව තියෙන්නේත් මෙතැන.

සමහරු හිතුවේ ඔබේ දේශපාලනය මුදල් සෙවීමට කළා කියලයි..

අපේ ළඟම යාළුවන්ට පවා තේරුම් ගන්න බැරි දෙයක් තමයි. මේ දේවල් කතා කරන්නේ වෙනම අරමුණකින් කියලා සමහරු හිතුවා. සැඟවුණු අරමුණක් සහ ව්‍යාපෘතියක් ඇතිව තමයි කියලා හිතුවා. එවැනි  උදාහරණ  ඕනෑ තරම්. 2015න් පස්සේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට මට කතාකළා. විවිධ වරප‍්‍රසාද දෙන්න කතාකළා. එක් වෙලාවක ඉන්ද්‍රචාපයි මායි කුලී ගෙදරට යන්න බඩු අදිනවා. බඩු ගෙනිච්චේත් කාර් එකේ. ඒ අතරේ ප‍්‍රබල දේශපාලන චරිතයක් කෝල් කළා. ආණ්ඩු පක්ෂයේ සංවත්සරයට කතාකළා. මොනවාද දැන්  ඕනෑ කියලා ඇහුවා. මම ඇහුවා ඒකෙන් අදහස් කරන්නේ මොනවාද කියලා. ඒකට උත්තර විදියට,  ලංකාවේ මිනිසුන්ගේ යුතුකමක් තියෙනවානේ, මොනවාහරි උදව්වක් කළාම ප‍්‍රතිඋපකාරයක් කරන්න එපැයි කියලා කීවා. මම අනෙක් පැත්තට කීවා, කරුණාකරලා අපි ඔයාලාට උදව්වක් කළා කියලා වැරදියට හිතන්න එපා කියලා. අපට පෞද්ගලිකව මොනාවත්  ඕනෑ නැහැ. අපට  ඕනෑ දේවල් තමයි ඔයාලා ප‍්‍රසිද්ධියේ රටට පොරොන්දු වුණේ. ඒ ටික කරන්න කියලා මම කීවා.

පස්සේ වෙලාවක ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් කතාකරලා ඇහුවා ඒකේ වැඩසටහන්වලට ගෙන්වන්නට ආණ්ඩුවට වැඩකරපු කලාකරුවන් ලැයිස්තුවක් දෙන්න කියලා. මම කිව්වා අනේ ඔයාලාට  ඕනෑ කලාකරුවෙක් ගෙන්වගන්න. ඔය ලැයිස්තු ක‍්‍රමය නැති කරන්න තමයි අපි වැඩ කළේ කියලා. ඒ ආණ්ඩුව තිබුණු කාලයේ අපි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ නැහැ. ප‍්‍රචාරක ආයතන, උත්සව සංවිධානය කරන ආයතන හදාගෙන ඒවාට ආණ්ඩුවේ ගනුදෙනු ගත්තේ නැහැ. රූපවාහිනී නාළිකා අල්ලාගත්තේ නැහැ. තනතුරු ගත්තේ හෝ ඡුන්දය ඉල්ලූවේ නැහැ. ඒ ආණ්ඩුවේ කාලසීමාව දැන් ඉවරයි. අපේ දේශපාලනය අවස්ථාවාදී නැති බව දැන් පැහැදිලිව පේනවා. අපි අදටත් ස්වාධීනව එදා දේශපාලනයේම යෙදෙනවා.

ඔබේ ජීවිතය රංගනයට බලපෑවේ කොහොමද?

මම පුංචි කාලයේ ළමා නිළියක් විදියට රඟපෑවා. අවුරුදු පහේ හයේ ඉඳලා. පසුව මම කාලයක්ම රඟපෑවේ නැහැ. එක් වෙලාවක අරුණ ගුණරත්න ස්වර්ණවාහිනියේ ටෙලි චිත‍්‍රපටියක් කරන්න කතාකළා. එතකොට මම නවයොවුන් තරුණියක්. මුලින් මම රඟපාන්න බැරි බව කීවා. පස්සේ ඒ වැඬේට කිසිම ගෞරවයක් නොදී වැඬේ කළා. එදා මගේ හැසිරීම හරි නරකයි. ඒත් කොහොමහරි ඒ රංගනය මිනිස්සුන්ට වැදුණා. ඉන්පස්සේ වැඩ කළේ නැහැ. උසස්පෙළින් පස්සේ අවුරුදු තුනක් හතරක් වේදිකාවේ රඟපෑවා. ඔය අතරේ ටෙලිනාට්‍යවල වැඩ දෙකක් තුනක් කළා. මගේ මාර්ගය හරියට හැදුණේ කාලයක් විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවාට පස්සේ. ඔය කාලේ මෙගා රැුල්ල සුනාමියක් වගේ ආවා. මගේ සමකාලීන, මට වඩා දක්ෂ අය මෙගා රැුල්ලට ගහගෙන ගියා. මම ඒකට නොයෑමේ ප‍්‍රතිඵලයක් විදියට මෑත යුගය වෙනකොට මට චිත‍්‍රපටි ලැබෙන්න ගත්තා. ජීවිතයේ මා ලබපු හොඳ හෝ නරක අත්දැකීම් බොහොමයක් තිබුණු නිසා තමයි මට ඒ චරිතවලට අවතීර්ණ වෙන්න හැකියාව ලැබුණේ.  ආදරය, විරහව, විවාහය, දික්කසාදය, වල්මත් වීම, අතොරක් නැති සාකච්ඡුා, දේශපාලන හා සංස්කෘතික සංවාද, පොත්පත් කියැවීම, ලිවීම, වැටිලා ඉන්නකොට යාළුවන් ගෙදර උස්සාගෙන යෑම ඇතුළු කරන්න  ඕනෑ හැමදේම කළාට පස්සේ, විඳින්න  ඕනෑ හැමදේම වින්දාට පස්සේ ඒ අත්දැකීම් රංගනයට එකතු වුණා.x