No menu items!
22 C
Sri Lanka
22 August,2025
Home Blog Page 612

ටිලි ටිලිං සීනු හඬ මැකී ගිය පසු

0

 

යකඩ බාල්දිය අතට ගෙන අම්මා තට්ටු කරන්නට වූවාය. තට්ටු කරමින් ඇය ඇමතුම් ස්වරයෙන් ‘කළු.. කළු.’ යැයි කියනු ඇසුණි. කොහේදෝ සිට කළු ගොන් නාම්බා තමන්ගේ වලිගය පිට දෙසට රෝල් කර දමාගෙන ආවේය. අම්මා සකස් කර තිබුණු පුන්නක්කු වතුර එක හුස්මට බී අවසන් කළේය. කවුරුන් හෝ පුන්නක්කු පැහැරගනීවිදැයි බියක් කළුට ඇතිදැයි හැමදාම දකින මේ දර්ශනය සමඟ සිතට නැගෙයි. පුන්නක්කු වඩිය අවසන්කොට තොල කට ලෙවකෑමෙන් පසුව අම්මා අතේ තිබුණු පුන්නක්කු ටිකද ලෙවකෑමෙන් පසුවය කළු හිස ඔසවා විවේකයක් ගැන කල්පනා කරන්නේ. හෙමීට මිදුලේ ඇති කොස් ගස යටට යන කළු ගිමන් හරින්නට පටන්ගනියි. මේ කළු ගොන් නාම්බාගේ නළලේ සුදු ලපයක් තිබුණි. කළු වසර ගණනාවකට පෙර නම් කරත්තයේ බඳින්නට යොදාගත්තේය. ගොන් නාම්බෙකු සහ කරත්තරයක වටිනාකම වචනවලින් හෝ මුදල්වලින් විස්තර කළ හැක්කක් නොවේ.

‘අසූව දශකය මැද වෙද්දී අපේ ගමේ හැම ගොවියෙකුටම ගොන් කරත්තයක් තිබුණා. කරත්ත සවාරියෙන් ලැබුණෙ එන්ජිමක් තියෙන වාහනේකින් ලැබෙන අත්දැකීම නෙවෙයි. ඒක වෙනමම අත්දැකීමක්. මැදින් මාසේදි පත්තිනි කෝවිලේ පූජාවලට යන එන බැතිමත්තු මෑණියන් වඳින්න කරත්තවලින් එන විදියට දකින එක අපූරුයි. තවම ඒවා මගේ ඇස් ඉස්සරහ මැවෙනවා. ‘ ඔය අතරේ පෙරුමාල් සීයා අතීතාවර්ජනයකට යයි.

‘අපි ගවයාට කන්න දුන්නාට පස්සේ තමයි කෑම කන්න පටන්ගත්තේ. අම්මාගේ අම්මාගෙන් අපේ අම්මාට ඒ පුරුද්ද ආවා. අම්මාගෙන් දුවලාට ඒ පුරුද්ද ගියා. ගවයාට මුලින් කන්න දුන්නේ ඇයිදැයි අපි දන්නේ නැහැ. අපි ඒක පුරුද්දට කළා. හේතුවක් හෙව්වේ නැහැ.’ සීයා විස්තර කරයි.

හේතුවක් නොවිමසාම ඉටුකරන පිළිවෙත්වලට අපි සංස්කෘතිය කියා කියන්නෙමු. අම්මාද කළුට කෑම දැම්මාට පසුව සීයාටත් කෑම බෙදා දී මගේ අතටත් කෑම බෙදා දුන්නාය. ඉස්තෝප්පුවේ සිට කෑම කන අතරේ සීයා නැවත හඬ අවදි කළේය.

ගවයා හෙවත් මිතුරා
‘ගොඩක් දුර යන්න ඕනෑ, ඉක්මනින් පලයන්‘ හීන් කෙවිටෙන් ගොනාගේ පිටට තට්ටු කරමින් කරත්තකාරයා කියන්නේය. ගොනා තමන්ගේ හක්කේ තියෙන තණකොළ හපමින් ණයගැති බව පෙන්නමින් අඩිය ඉක්මන් කරයි. ගොනාට වැටහෙන්නේ කරත්තකාරයාගේ භාෂාවද? නැතිනම් කෙවිටේ තට්ටුවද? මම කල්පනා කළෙමි.
‘කරත්තකාරයායි ගොනායි තනිවෙද්දී කරත්තකාරයා තමන්ගෙ හැම ප‍්‍රශ්නයක්ම ගොනා එක්ක කියන්න පටන්ගන්නවා.
ඉස්සර ගවයන්ට කතාකරන්න පුළුවන්. එක්තරා මිනිහෙක් තමන්ගෙ ගවයාට දරුවාට වගේ සැලකුවා. මෙහෙම කාලය ගතවෙද්දී මේ මිනිහාගේ මරණය ළං වුණා. මරණය ගැන යමරජු ගවයාට කීවාලූ‍. ඒ ගැන දැනගෙන ගවයා තමන්ගේ ස්වාමියාට කීවාලූ‍ ඔයා මැරෙන්නයි ඉන්නේ, ඒකෙන් ගැලවෙන්න නම් දොරකඩ කිරි කළයක් තියන්න කියලා. කිරි කළය නිසා ගොවියාට මරණය ළඟා කරවන්න යමරජුට බැරිවුණාලූ‍. කිරි කළය පසුකර යන්න යමරජුට බැහැලූ‍. ගවයන් ගොළු කරන්නට යම රජු සාප කළේ එයින් පසුවලූ‍. කතා නොකළත් ගවයා හරි බුද්ධිමත්ලූ‍.’

පරම්පරාවෙන් දෙමළ ගැමියන් අතර හුවමාරු වුණ කතාවකි ඒ. ගවයා කතා නොකළත් මිනිසුන් කියන දේ තේරුම් ගන්නා බව ඉතිහාසය පුරාම ගොවියන් විශ්වාස කළ බව සීයා කී ඒ කතාවෙන් වැටහෙන්නේය. කොහොම වුණත් මේ විශ්වාසයන් නිසා කරත්තකරුවා තමාගේ හොඳම මිත‍්‍රයෙකු විදියට ගවයා සලකයි.

දුරබැහැර යද්දී ගොනාටත් කරත්තකාරයාටත් පිපාසාව දැනේ. ඊට ගව-මිනිස් වෙනසක් නැත. එකම පිපාසයකි. ඒ නිසා මේ මිත‍්‍රයන් දෙපලට වතුර බොන්නට පහසුකම් සැපයූ ප‍්‍රසිද්ධ ස්ථාන බොහොමයක් තිබුණි. යාපනයේ ‘මුණි’ කෝවිල, හින්දු විද්‍යාලය ඒ වගේ වතුර තිබුණ තැන්ය.
විශ්වලිංගම් සහ මාරිමුත්තු කරත්ත ගැන විස්තර කීවේය. මඩත්තුවාසල් ගණ දෙවියන්ගේ කෝවිලට පැමිණ, පූජකවරයා දෙන විභූති සහ තිලකය ගවයාගේ නළලේත් ආලේප කරන්නට විශ්වලිංගම් මහත්තයා හුරුව සිටින්නේය. දුම්කොළ වත්තේ රැුකියාවට එද්දී කූඩයක් පිරෙන්නට ගවයාගේ ප‍්‍රියතම ආහාර අරගෙන එන්නට මාරිමුත්තු මහත්තයා ප‍්‍රිය කරන්නේය. මේ දෙදෙනාම ගවයා සමඟ ආත්මීයව බැඳී සිටින්නෝය.

අනෙක් අතට ගවයා දෙවියෙකි. ගොවියා ගවයාට කෘතගුණ සලකන්නට තමන්ගේම සිරිත් විරිත් නිර්මාණය කරගෙන ඇත්තේය. තෛපොංගල් දිනයට පසුවදා ගවයා නාවා පිරිසිදු කරන්නට ගොවියා පෙළඹෙන්නේය. ගවයා නාවා, මල්මාලා දමා, විසිතුරු වර්ණවලින් ඇඟ පාට කර ප‍්‍රණීත කෑම සකසා කැවීමට ගොවියා හුරුව සිටියි. කරත්තය ඇදගෙන යෑම ගවයාට වේදනාවක් බව සැබෑවකි. ඒ වේදනාව ගවයාට ලබාදීම ගැන ජානගත වේදනාවක් ගොවියන්ට ඇත. ගවයා වේදනාව දරාගෙන ඒ කටයුත්ත කිරීමට තරම් ශක්තිමත් බවත් ගැමියා විශ්වාස කරන්නේය.

තරග
තෛපොංගල් පසුවී තුන්වැනි දිනය කරත්තකරුවන්ට සුවිශේෂීය. ගොන් පොර හා ගොන් කරත්ත රේස් ඒ කාලයේදී පැවැත්වෙයි. දමිළයන් තම වීරත්වය පෙන්වන්නේ ඒ දිනයේදීය. ගොන් පොර පිටියට එන ගොනාගේ මොල්ලියේ එල්ලී විනාඩි තුනක් හෝ හතරක් නොවැටී ඉන්නට හැකි කෙනා ජයග‍්‍රාහකයා වෙයි. ගොන් පොරවලට කියන්නේ ජල්ලිකට්ටු කියාය. ජල්ලිකට්ටු දැන් ලංකාවේ නැත.

ජල්ලිකට්ටුවලදී ගවයා කලබල වෙන බව ඇත්තය. එහෙත් ස්පාඤ්ඤයේ ගොං පොර මෙන් ජල්ලිකට්ටුවලදී ගවයාට හිංසාවක් සිදු නොවෙන බව දෙමළ ජනයා විශ්වාස කරති. ගවයන් එකිනෙකා කෙටවීම ජල්ලිකට්ටුවලදී සිදු නොවෙයි. ගවයා සමඟ තරගයට දිවීම සිදුවෙයි. ගවයා සහ මිනිසා අතර ඇති බැඳීම ශක්තිමත් කරවන්නට ජල්ලිකට්ටු සමත් යැයි ජනතාව විශ්වාස කරති.

‘ගවයාට ආදරය කරන හැටි අපට උගන්වන්නට උඹලා ඕනෑ නැහැ. අපි ගවයාට වඳිනවා.’ ජල්ලිකට්ටුවලට විරුද්ධ වෙන සත්ව අවිහිංසාවාදී සංවිධානවලට දෙමළ ගැමියා කියයි. මේ සියල්ල වෙනස් කළ නොහැකි ගැමි විශ්වාසයන්ය.

ගොන් පොරවලට අමතරව ගොන් කරත්ත රේස්ද පැවැත්වෙයි. එය විනෝදාත්මක ක‍්‍රීඩාවකි. තරගය ඇත්තේ ගම් අතරය. තමන්ගේ ගමේ අභිමානය රකිනු පිණිස ගොවියෝ ගොන් පොරවලට එක්වෙති. කරත්ත රේස් පැවැත්වෙන පිට්ටනියම අතුරු සිදුරු නැතිව පිරි ඉතිරී යයි. තවත් වසරක් යන තෙක් ගමේ නම ගොඩදමන්නෝ පිටියේ සිටින මේ ක‍්‍රීඩකයෝය. ජයග‍්‍රාහකයාගේ ගමට ලැබෙන්නේ ඉහළ අභිමානයකි.
සැහැල්ලූ‍ම කරත්තයකුත්, තණ්ඩලමේ දෙකෙළවර ශක්තිමත් ගවයන් දෙදෙනෙකුත් බැඳ ඒ දෙපළ දක්ෂ ලෙස මෙහෙයවන්නා කරත්ත රේස් වීරයා බවට පත්වෙයි. ජල්ලිකට්ටු අද නැතත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල කරත්ත රේස් නම් සංවිධානය වෙයි. එහෙත් අද ඒවා වටා බැඳුණු සංස්කෘතිය පෙනෙන්නට නැත. ඉන්දියාවේ නම් අදත් ගැමි ප‍්‍රදේශවල ඒ සංස්කෘතිය ඇත. ජල්ලිකට්ටු නවත්වන්නට උත්සාහ ගනිද්දී භේද නැතිව දෙමළ ජනතාව එයට විරුද්ධව එක්වුණේ ඒ නිසාය. ලංකාවේ සංස්කෘතිය නැති වුණත් අද වුව කරත්ත තරගයක් නරඹන්නට එන පිරිස නම් අඩු නොවෙන්නේය.

වඩක්කන් ගවයා
සිවගුරු මහත්තයා දැන් පදිංචිව සිටින්නේ සිඞ්නිවලය. ඔහුටද ගොනුන්, ගොන් කරත්ත ගැන අපූරු අත්දැකීම් තිබේ. ‘වඩක්කන්’ (උතුරු* ගවයා කරත්තවලට බඳින්න සුදුසුම ගවයා විය. වඩක්කන් ගවයා යනු දකුණු ඉන්දියාවෙන් ගෙන ආ ගවයන්ය. දකුණු ඉන්දියාව ඉන්දියාවට අනුව ‘කිලක්ක’ (දකුණ) වුණාට ලංකාවේ උතුරට එය පිහිටියේ උතුරෙනි. ඒ නිසා දකුණු ඉන්දියාවේ ගවයා වඩක්කන් ගවයා විය. ලොකු මොල්ලිය සමඟ ශක්තිමත් උරහිස් ඇති මේ ගවයා තුරෙඟකුටත් වඩා ශක්තියේ සංකේතයක් ලෙස ගැළපෙන්නේය. 1940 පමණ කාලයේදී පේදුරුතුඩුව, කන්කසන්තුරේ සහ වැල්වැටිතුරේ වැනි ප‍්‍රදේශවල තිබුණු විශාල වරායන් හරහා මුහුදෙන් වඩක්කන් ගවයන් ගෙන්වා ඇත. ලංකාවේ අදත් එලෙස ආ ගවයෝ පදිංචිව සිටිති. යුද්ධයෙන් නැතිවුණේ මිනිස් ජීවිත පමණක් නොවේ. මේ ගවයන්ගේ ජීවිතත් යුද්ධය සමඟ විනාශ විය.

වඩක්කන් ගවයන් ලංකාවට ගෙනැවිත් ඇත්තේ සලංගු නම් රුවල් නැව් පාවිච්චි කරමින්ය. එසේ ගෙන්වූ ගවයන් කයිට්ස් දුපතේ ආරක්ෂිත ලෙස ගාල් කර ඇතැයි සිවගුරු මහත්තයා කියයි. කයිට්ස් දුපතේ නිදැල්ලේ තබන ගවයා පරිසරයට හුරුවෙමින් නිදැල්ලේ හැසිරෙන්නේය. දුපත නිසා පලායන්නටත් නොහැකිය. එයට ‘නිදැල් තැනක් සොයනවා’ යනුවෙන් ජනවහරේ කියන්නේය.

‘මෙසේ ගාල් කර සිටි ගවයෝ ඉතා සුදු වූහ. තරබාරු වූහ. ශක්තිමත් වූහ. අවුවට එවැනි ගවයෙකුගේ ඇඟ දිළිසෙයි. අඩියක් පමණ ඔවුන්ගේ අං දිගුවිය.’ තිල්ලෙචිවන් නම් කතුවරයාගේ අන්දකාල කදෛයිගල් (එදා කාලයේ කතා) නම් වූ කෘතියෙහි මෙවැනි ගවයන් ගැන එසේ කියයි.

‘අන්නාමෙලෙ පෙදෙසින් ආ ගවයන් දකුණු ඉන්දියාවේ ඇති තිරුවන්නාමලෙලෙ ප‍්‍රදේශයෙන් නැව් ගත කර කයිට්ස් දුපතේ ගාල් කිරීම සිරිතක් විය. එසේ කිරීමෙන් අනතුරුව ගවයන් මිලදී ගන්නන්ගෙන් සහ තැරැුව්කරුවන්ගෙන් කයිට්ස් දුපත පිරී ඉතිරි යන්නේ කෝවිලේ උත්සවයක් ලෙසය.’ මලරුම් නිනෛවුගල් හෙවත් ‘සිහියට නැගෙන මතකයන්’ නම් කෘතිය ලියන වරදර් නම් කතුවරයා විසින් එලෙස ගව ව්‍යාපාරය ගැන විස්තර කරයි.

සම්ප‍්‍රදායක අවසානය
‘කරත්ත සම්ප‍්‍රදායේ අවසානය පටන්ගත්තේ කොතැනින්ද?’ සීයාගෙනුත්, විශ්වලිංගම් සහ මාරිමුත්තු මහත්වරුන්ගෙනුත් පිළිතුරු සෙවීමි.
80 දශකයේ මැද භාගයේ දී අත්ට‍්‍රැක්ටර් පැමිණීමත් සමඟම ගොන් කරත්තයේ පරිහාණිය ආරම්භ වී ඇත. ගවයන්ගේ බෙල්ලේ තිබුණු ‘ටිලි ටිලිං ටිලි ටිලිං’ සීනු හඬ කෙමෙන් කෙමෙන් නැතිව ගියේය. ඒ වෙනුවට ‘ඩරරරර ඩක ඩක ඩරරර ඩක ඩක’ යැයි අත්ට‍්‍රැක්ටර හඬ ගම් පුරාවට රැුව් දෙන්නට පටන්ගෙන ඇත. ගොං කරත්තයත්, ගවයාගේ සීනු හඬත් මඟ දී දුටුවොත් හැරි හැරී බලන තරමට ප‍්‍රදර්ශන භාණ්ඩයක් වෙන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය.
‘ආදරණීය කරත්තකරුවාණෙනි
දක්කන්න කරත්තය දක්කන්න
යමු, අලූ‍ත් නගරයකට
සවස් වෙන්න කලින් දක්කන්න.‘
කරත්තකාරයා ගැන නීලාවන් නම් කවියා විසින් ‘ඔ වන්ඩිකාරා’ නමින් 1965 දී රචිත කවි පෙළෙහි එසේ එයි. පසුකාලයක එය ගීතයක් බවට පත්විය. දැන් එදා මෙන් අලූ‍ත් නගරයක් සොයා යන්නට කරත්තය පාවිච්චි වෙන්නේ අඩුවෙනි. සම්ප‍්‍රදාය සමඟ යමින් වඩක්කන් ගවයෙකු සමඟ කරත්තයක් රැුගෙන යන ගොවියන් අදත් උතුරේ දකින්නට නැතිවා නොවේ. එහෙත් බොහෝ නිවෙස්වල වාහනය වී ඇත්තේ මෝටර් සයිකලය හෝ ත‍්‍රීවීලරයයි. කරත්තය වෙනුවට පුංචි ලොරි බට්ටන් පැමිණ ඇත. එහෙත් ගවයාගේ තාලයට පැද්දෙමින්, ඒ තාලයටම වැනෙන සීනුවට නැළවෙමින් ලබන සැහැල්ලූ‍ව අද ඒසී බස්රියකට නැඟු‍ණත් දැනෙන්නේ නැති බව කරත්තයට ආදරය කරන ගැමියෝ කියන්නෝය.

ජෙගන් ගනේෂන්

මාංචු නොදැම්මේ ඇයි?

 

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයවීම නැවතත් ආරම්භ වී ඇත. සියලූ යහපාලන මූලධර්මයන් රජ කරවන්නට ශපථකොට බලයට පත් මෙම නව රජය පත්වීමෙන් අනතුරුවත් මෙම මාතර සිදුවීමත් සමග පොලිස් ඝාතන රැුල්ල නැවත ආරම්භවී ඇත. පොලීසිය ප‍්‍රකාශ කරන්නේ සැකකරු ආයුධ පෙන්වීමට ගොස් සිටියදී ඔහු අත්බෝම්බයක් පොලීසිය දෙසට එල්ලකිරීමට උත්සහ කිරීමේදී ආත්මාරක්‍ෂාව සදහා පොලීසිය වෙඩි තැබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙහි මූලික අනාවරණය වූයේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිටින බවයි.

ඝාතනය වන අවස්ථාව වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ සිට ඇත. පොලිසිය සදහා නිකුත් කර ඇති දෙපාර්තමේන්තු නියෝගවල ඒ20 දරන නියෝගයෙහි පොලිස් ආරක්‍ෂාව භාරයේ සිටින තැනැත්තෙකු සම්බන්ධයෙන් පොලීසිය ක‍්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිරීති දක්වා ඇති අතර මෙම රෙගුලාසියෙහි අත්අඩංගුවේ පසුවෙන තැනැත්තෙකු සම්බන්ධයෙන් පොලිසිය සතු යුතුකම් මෙන්ම පොලිස් භාරයේ සිටින තැනැත්තෙකුගේ අයිතිවාසිකම්ද දක්වා ඇත.

එසේම පොලිසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට මාංචු දැමීම සම්බන්ධයෙන් එහි 3වන වගන්තියෙහි විස්තර කොට ඇත. එහි සදහන් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අභිමතය පරිදි පුද්ගලයෙකු පැනයාම වැළැක්වීම සදහා අත්මාංචු පැළදවිය හැකි බවයි. එසේම මෙම රෙගුලාසියේ 8 වන කොටසෙහි සිරභාරයේ සිටින තැනැත්තන් භාරව යාම සම්බන්ධයෙන් ප‍්‍රතිපාදන දක්වා ඇත. එහි පැහැදිලිව දක්වා ඇති එක් නියෝගයක් නම් පැනයන්නට හෝ සැහැසිවන්නට ඉඩ ඇති කෙනෙකු කැටුව යාමට සෑහෙන තරම් බලවත් ආරක්‍ෂකයන් යොදන්නට සැලකිලිමත් විය යුතුය යන්නයි. එසේම එම තැනැත්තන් තමන්ට මෙල්ල කරගත හැකි දුර ප‍්‍රමාණයක තබාගන්නට ආරක්‍ෂකයන් කටයුතු කළ යුතු බවද දක්වා ඇත.

මෙම තැනැත්තා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සහ පොලිසියට රැුගෙන යන අවස්ථාවේදී ඔහුගේ අත්පා ගැටගසා තිබූ ආකාරය සමාජ ජාලා තුළ සංසරණය වූ ජායාරූපවල දක්නට ලැබේ. මෙම තැනැත්තා ඇතුළු කණ්ඩායම මිනිඋෂි වර්ගයේ අතිනවීන ස්වයංක‍්‍රිය ආයුධයක් හා වෙනත් ආයුධවලින් සන්නද්ධව මංකොල්ලය සිදුකිරීමට තැත්කළ බව පොලිසිය දන්නා කාරණයෙකි. මංකොල්ලය අතරතුරේදී සොර කණ්ඩායම විසින් මාතර ගාලූ පාරේදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම සිදුකළ බවද පොලිසිය දන්නා කාරණයෙකි. මියගිය සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාලවූ සහ පොලිස් නිලධාරියෙකු මියගිය බවද පොලිසිය දන්නා කාරණයෙකි. සැකකරුවන් කිහිපදෙනෙකු සිද්ධියෙන් පසු පලාගිය බවද පොලිසිය දන්නා කාරණයෙකි. මෙම සියලූ කරුණු ගැන නිසි අවබෝධයක් ඇති පොලිසිය, මියගිය සැකකරු පොලිස් ස්ථානයට ගෙනගොස් එහිදී ඔහු කරන ලද ප‍්‍රකාශයක් මත තවත් ආයුධ සොයා කිරල කැලේ ප‍්‍රදේශයට ගෙනයද්දී සැකකරු පොලිස් කණ්ඩායම සමග නිදහස්ව ගෙනගියාය යන කාරණය ප‍්‍රශ්න සහගතය. පෙර සදහන් කළ පොලිස් රෙගුලාසිවල පැහැදිලිව දක්වා ඇත්තේ අත්මාංචු පැළැඳවීම නොකළ යුත්තේ සැකකරු අස්ථානයේ අවමානයට ලක්වන අවස්ථාවක පමණකි යනුවෙනි. මෙම සැකකරුගේ පෙර ක‍්‍රියාකලාපය මත ඔහුට අත්මාංචු නොපළදවා සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. තත්‍වය එසේ නම් මෙම පුද්ගලයා නිදහස්ව අත්මාංචු නොපළ`දවා, නිසි ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අනුගමනය නොකොට කිරල කැලේ ප‍්‍රදේශයකට ගෙනයාමට උපදෙස් දෙනු ලැබූ මාතර පොලිස් පරීක්‍ෂකවරයා සහ මෙම ගමනට සම්බන්ධවූ සියලූ නිලධාරීන් රාජකාරිය නිසි ආකාරයකින් ඉටු නොකිරීම සහ නීතිවිරෝධී නොකරහැරීම යන වරදට වරදකරුවන් විය යුතුය. තමන්ගේ භාරයේ සිටියදී සැකකරුවන් මරණයට පත්වීම සම්බන්ධව ලංකාවේ පොලීසියට කැළල් වූ ඉතිහාසයක් ඇත. එය පසුගිය ආණ්ඩුව සමයේදී ඉතා බරපතළ ලෙස සිදුවූ සාමාන්‍යකරණයක් බවට පත්විය. සමහර අවස්ථාවලදී අත්මාංචු පැළදසිටි සැකකරුවන් පවා බෝම්බ ප‍්‍රහාර එල්ලකරන ලද බවට එම සැකකරුවන්ගේ මියයෑමෙන් පසු පොලීසිය ප‍්‍රකාශකර සිටියේ ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ (වගන්තියේ) මූලික අයිතිවාසිකමක් වශයෙන් දක්වා ඇත්තේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ට එරෙහි චෝදනාවලට සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත් නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් මගින් නිකුත් කළ ආඥාවක් මත මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට හෝ වෙනත් කිසිදු දඬුවමකට යටත් නොකළ යුතු බවත්, වරදකරුවකු බවට ඔප්පු වන තෙක් නීතිය විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට පුර්ව නිගමනය කරන බවත්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් කර ඇත්තේ නීතියේ නිසි ක‍්‍රියාදාමයට පරිබාහිරව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට සිදුවන අසාධාරණයන් වළක්වාලීමය. අපේ නීතියෙහි ‘ජීවත්වීමේ අයිතිය’ අයිතිවාසිකමක් වශයෙන් දක්වා නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ ‘ශ‍්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ පොලිස් ස්ථානාධිපති, පයාගල පොලිස් ස්ථානය’ යන නඩුවේදී ජීවත්වීමේ අයිතිය සෑම පුද්ගලයකුටම හිමි බවට තීරණය කරන ලදි. එම නඩුවට පාදකවූ සිද්ධිය වන්නේ පයාගල පොලිස් ස්ථානය තුළදී පුද්ගලයෙකු පොලිස් පහරදීම් නිසා මරණයට පත්වීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ මියගිය පුද්ගලයාගේ ජීවත්වීමේ අයිතිය පොලීසිය විසින් අහිමිකර ඇති බවත් ඔහුට සාධාරණ නඩු විභාගයක් සඳහා පෙනීසිටීමේ අයිතිය පොලීසිය විසින් අහිමිකර ඇති බවත්, ඔහුට නිසි අධිකරණ ක‍්‍රමවේදයකින් තොරව මරණයට පත්කිරීමෙන් දඬුවම් කර ඇති බවත්ය.

අඟුලාන ද්විත්ව මිනීමැරුම් නඩුවේදීද ශ්‍රේෂ්ඨාධිකරණය පොලීසියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව දරුණු විවේචනයක් ගෙනාවේය. අඟුලාන පොලීසිය භාරයේ සිටි තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් මරණයට පත්කිරීම සම්බන්ධව එම පොලිස් ස්ථානාධිපතිවරයාට සහ තවත් තිදෙනෙකුට එරෙහිව නඩුවක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග විය. එම නඩුවේදී ඔවුන්ට මරණ දඩුුවම නියම කරන ලද අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනයද නිෂ්ප‍්‍රභ විය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදී පැහැදිලිව දක්වා ඇත්තේ රටෙහි නීත්‍යනුකූල හමුදාවක සාමාජිකයන් විසින් මිනිසුන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම, පහරදීම ඔවුන් අත්අඩංගුවේදී මරණයට පත්කිරීම සමාජයට ඉතාම භයංකර තත්‍වයක් ගෙනදෙන්නක් බවයි. තීන්දුවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රටේ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධ වගකීම හමුදාවක සාමාජිකයන්ට ලබාදී ඇත්තේ එම සමාජිකයා දරන තනතුර ගෞරවනීය තනතුරක් ලෙස සලකා බවය. පුරවැසියෙන්ගේ ජීවිත සම්බන්ධ වගකීම හමුදාවක සාමාජිකයෙකු තමන්ට රිසි සේ අපයෝජනය කරන්නේ නම් එයින් සමාජය පත්වන භීතිය අතිමහත් බවය.

මෙම නඩු තීන්දු සහ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව නොදැන සිටියා විය නොහැක. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට වෘත්තීය ජීවිතය අවසන් වන තෙක් පොලිස් නිලධාරියෙකු මෙම කාරණා ගැන ඉගෙනගන්නවා ඇත.

පාතාලය මර්දනය කිරීම සහ ජනජීවිතය සුරක්‍ෂිත කිරීම පොලීසියේ වගකීමක් වේ. පාතාලය සමාජය තුල පිළිකාවක් සේ වර්ධනය වී ඇත. සමාජයේ නිදහස් පැවැත්මට එය විශාල බාධාවක් වී ඇත. එහෙත් පොලීසියට පාතාලය සේ ක‍්‍රියා කළ නොහැක. පොලීසිය ක‍්‍රියාත්මක විය යුත්තේ රටේ නීති රාමුව තුළ සිටය. පොලීසිය නීතිය තමන්ට රිසි ආකාරයට දිගහැරීමට හෝ නැවීමට යාමෙන් සිදුවන්නේ සමාජය තවතවත් භීතියට හා පීඩනයට පත්වීම පමණි. මියගියේ පාතාල සමාජිකයෙකු නිසා සමහර මාධ්‍යජාලවල සටහන් තැබූ සමහරෙකු කියාසිටියේ පොලීසියේ ක‍්‍රියාව පැසසිය යුතු බවය. ඔවුන්ට අමතක වී ඇති කාරණය වන්නේ යම් හෙයකින් තමන්ට තම පවුලේ සාමාජිකයෙකුට හෝ වෙනත් අහිංසකයෙකුට එම ඉරණම අත්වුවහොත් එයට තමා දක්වන ප‍්‍රතිචාරය කුමක්ද යන්නයි.

පොලිසියකට හෝ හමුදාවකට තමන්ට රිසි සේ නීතිය අපයෝජනයට ලක්කරන්නට ඉඩ දුනහොත් එහි ප‍්‍රතිඵලය වන්නේ මිලිටරි ජුන්ටාවකි. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි. මේ ආකාරයේ සිද්ධීන් පාලනය තුළට ගෙනඑන්නේ නම් සහ පාලකයා මෙවැනි සිද්ධීන් අනුමත කරන්නේ නම් එතැනදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරයාත්මක ලක්ෂණයන් සමාජයෙන් ඉවත්ව යනවා ඇත. ඉතිහාසයේ යම්යම් තැන්වලදී පාලකයාගේ දරදඬුභාවය මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයන් සමාජයෙන් ඉවත්වූ අවස්ථා දක්නට ඇත. එහෙත් අද සමාජය යම් ආකාරයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්මක් තුළ පවතින අතර එහි අයිතිවාසිකම් සඳහා යම් ගරුත්වයක් හෝ වටිනාකමක් ලබාදී ඇත. නීතිය හැකිළීමට ගනු ලබන ප‍්‍රයත්නයන් නොඉවසිය යුත්තේ එසේ වුවහොත් එය සමස්ත සමාජයේම ආරක්‍ෂණ යන්ත‍්‍රණය අක‍්‍රිය කරන බැවිනි.

 

බුදුන් දැකීම සහ සඟුන් පෙනීම

”සර්දාවෙන් ගොඩ නැංවුණු බිත්තියෙ
හීන් සිදුරකින්, බිඳුණ තැනක ඇති
එළියක් ගිලිහේ බුදුන්ගෙ මුහුණින්
බදුන් මුහුණ මට හොඳින් පෙනේ
එනමුත් සර්දාවක් මට නැත
එලියක් පමණක් මා දෑසේ ඇත”: අබිනික්මන, සිරි ගුනසිංහ –
සිරි ගුනසිංහගේ අබිනික්මන නමැති කාව්‍ය සංග‍්‍රහයේ ඇතුළත් ”බුදුන් දැකීම” නමැති කවි පන්තිය සාම්ප‍්‍රදායික විචාරකයන් දැඩි ෙදා්ෂ දර්ශනයට ලක් කළේ සිරි ගුනසිංහ බටහිරට ගැතිකම් කරන්නෙකු ලෙස අවලාද නඟමිනි. එ් අවලාදවල බලපෑම නිසාෙදා්; එ් අවලාදවලට බියට පත්වූ නිසාෙදා් සිරි ගුනසිංහගෙන් අනතුරුව වෙනත් කවීන් අතින් එවැනි තියුණු දෘෂ්ටියක් කුළුගැන්වෙන කවි ලියවුණේ නැත.
තෙවැනි ඇසකින් තමන් හාත්පස සමාජය දකින්නට, අවිචාරයෙන් වියුක්තව තීන්දු තීරණ ගැනීමට, නවීන චින්තනයේ පහසින් පිබිදෙන්නට සිරි ගුනසිංහ ස්වකීය කාව්‍ය නිර්මාණ ඔස්සේ පුළුල් ෙදාරටුවක් විවර කිරීමට ප්‍රෝත්සාහී විය. සිරි ගුනසිංහ විවර කිරීමට යෙදුණ ෙදාරටුවෙන් ඇතුළුව ඉදිරිගාමී ගමනක් යන්නට අප අසමත් වීම අභාග්‍යයකි. එ් අසමත්වීම වඩාලාත් කැපී පෙනෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළය.

අද අප ජීවත් වන්නේ නවීන සමාජයක උරුමක්කාරයන් වීමට අවශ්‍ය දැක්මක් නැති උදවිය සේය. පටු දෘෂ්ටිවාද කරපින්නාගෙන විනාශය ලූහුබඳින්නන් සේය. රට, ජාතිය සහ ආගම මුල් කර ගන්නා සෑම සංවාදයක්ම වෛරී සහගත සොබාවයකින් ගොඩ නඟන්නන් අතර කැපී පෙනෙන්නේ අධ්‍යාපන වරප‍්‍රසාදය ලත් පුද්ගලයන්ය. මහා ඛේදය වන්නේ බෞද්ධ භික්ෂුව එහි මුල් අසුන දරා සිටීමය.

නිරුවත් වීම
පසු ගිය දින කිහිපය තුළ ජන මාධ්‍ය ඔස්සේ අවධානය යොමු කළ ප‍්‍රධාන මාතෘකා දෙකක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඉන් එකකට මුල් වන්නේ ගලගොඩඅත්තේ හිමියන්ය. අනික් පුවතට මුල් වන්නේ තිරශ්චීන අන්දමින් ඝාතනය කළ දිවියාය.
ගලගොඩඅත්තේ හිමියන් වෙනුවෙන් හඬ නැඟූ උදවිය අතර සංඝයා වහන්සේලා ප‍්‍රමුඛ වුව ගිහියන් ද දක්නට ලැබිණි. මේ දෙපාර්ශ්වයේම මතය වූයේ සංවිධානාත්මකව, හා කුමන්ත‍්‍රණකාරී ලෙස බෞද්ධ විරෝධී කටයුතු ආණ්ඩුවෙන් සිදු කරන බවය. මේ දෙපාර්ශ්වයම, අධිකරණයෙන් ගලගොඩඅත්තේ හිමියන් වරදකරුවෙකු බවට පත් කර දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි බව හොඳින්ම ගම්‍ය විය. එ් කෝපයට අදාළ හේතුව සැබවින්ම කුමක් ද? කෝපයට හේතුව සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණයෙන් යුක්තිය ඉටු වීමය. ඉන් ගම්‍ය වන්නේ කවර සංදර්භයක දී වුව ඇතැමුන් තමන් අකමැති පුද්ගලයන්ට අසාධාරණයක් වූ විට නෛතික අවකාශයක් ඔස්සේ යුක්තිය ඉටුවීම නොයිවසීමය. මේ සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාව ද?

ලංකාවේ පරිසර විනාශය හා සත්ව හිංසනය ගැන කටයුතු කරන පුද්ගලයන්, එ් එ් කටයුතුවල නිමග්නවන්නේ අදාළ ක්ෂේත‍්‍රයන් ගැන අවබෝධයක් ඇති උදවිය ලෙසයි. එහෙත් එ් අවබෝධය යටපත් කරගෙන ජාතිවාදය හා ආගමික අන්තවාදය ඉස්මත්තට ගෙන කටයුතු කිරීම විශද කරන්නේ කුමක් ද? මේ උදවිය පැහැදිලිවම සිදු කරන්නේ සාමාන්‍ය ජනතාව තුළ පටු දෘෂ්ටිවාදයන් රෝපණය කිරීමය. එය අතිශයින් ඛේදනීය තත්වයකි. එ් වූ කලී තමන්ගේ පරිසරකාමී බව අවභාවිත කිරීමක් ද වන්නේය.
දිවියා ඝාතනය කළ අන්දම සාපරාධීය. එය සිදු වුණේ උතුරේ දී ය. එ් සිදුවීම ඔස්සේ ඊට දේශපාලනික අර්ථ කථනයක් ලබා දීම පවසන්නේ පරිසරවේදීන් සාපරාධී සත්ව හිංසනයට එහා ගිය දෘෂ්ටිවාදයකින් මඬනා ලද බවය.

ගලගොඩඅත්තේ හිමියන් වෙනුවෙන් හඬ නැඟූ අය පරිහරණය කළ භාෂාවත්, පරිසර විනාශය හා සත්ව හිංසනය වෙනුවෙන් හඬ නැඟූ අය පරිහරණය කළ භාෂාවත් ඉන් ගම්‍ය වූ ධ්වනියත් එක සමානය.තතු කෙසේ වුව මේ දෙපාර්ශ්වය අවසන ගොඩ නඟන්නට යෙදුණ ප‍්‍රවාදය වූයේ වත්මන් ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවට හානිකර පාලනයක් ගෙනයන බවයි. මේ ප‍්‍රවාදය ගොඩ නඟන්නේ කුමට ද?
පැහැදිලිවම ජාතිවාදයට ප‍්‍රාණය සැපයීමටය. දුරස්ථ වෙමින් පවතින යුද මානසිකත්වය කරා සිංහල බෞද්ධ සමාජය තල්ලූ කිරීමටය. සුව වීමට කල් අල්ලමින් තිබෙන තුවාල පැරීමටය.

මහින්ද රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට වෑයම් කරන්නේ ජාතිවාදය පෙරටු කරගෙනය. එ් වෙනුවෙන් භික්ෂු චරිතය ඔවුන් හොඳින් පරිහරණය කරන සැටි විස්තර කළ යුතු නැත. මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ තිබෙන කැමැත්ත විවිධ ස්වරූපවලින් විදයාමාන වේ. විහාරස්ථානවල උත්වසවලට වැඩියෙන්ම ආරාධනා ලබන්නේ මේ දෙදෙනා බවද පෙනේ. මේ දෙදෙනා සම්බන්ධව ඇතැම් භික්ෂූන් වහන්සේලාට තිබෙන යම්කිසි විශ්වාසයක් තිබේ. එ් විශ්වාසය නම් මේ දෙදෙනා රටේ ජීවත්වන සුළු ජාතීන්ට විරුද්ධ ආස්ථානයකට විවෘතව අවතීර්ණ වන්නේය යන්නයි. එවන් මානසිකත්වයකින් කටයුතු කරන සඟුන් බුදුන් දකින්නට සමත් වේ ද? ඔව්හු චීවරය තුළට වැද පාපී කි‍්‍රයාවන්ට උඩ ගෙඩි දෙන්නෝ වෙති.

හිට්ලර් බෞතීස්ම කිරීම
දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධය හේතුවෙන් විනාශ වූ දේ අතර පෙනෙන දේවලට වඩා නොපෙනෙන දේ අපමණය. භෞතික වශයෙන් විනාශ වූ දේ දැක එ්වා යළි ප‍්‍රතිෂ්ඨාපනය රාජ්‍ය පාලකයන් වෙත පැවරෙන කාර්යභාරයකි. ඊට වඩා වැදගත් වන්නේ යුද්ධය හේතුවෙන් විනාශ වුණ මනුෂ්‍යත්වය හා සම්බන්ධ කාරණා ගැන සංවේදීව මිනිස් සිත්වල සිදුව තිබෙන තුවාල සුවපත් කිරීමය. මේ සම්බන්ධව යථාවබෝධයකින් කටයුතු කළ යුතු පිරිස් අතර මුල් තැන සිටිය යුත්තේ ආගමික නායකයන්ය. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. එහෙත් අපේ බෞද්ධ භික්ෂූන්ගෙන් බහුතරය සිටින්නේ සුළු ජාතීන්ගේ නිදහස සහ අයිතිවාසිකම්වලට එරෙහි ආස්ථානයකය. ඉහළ තලයේ සංඝයා වහන්සේ නමක් ගෝඨාභයට රට පාලනය කිරීමට ආරාධනා කරන්නේ සුළු ජාතීන් වනසා දැමීමට ඔහු සමත්ය යන විශ්වාසයෙනි. මේ සැබෑ බුද්ධ පුත‍්‍රයන් ද?

ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රද්ධාවන්ත බෞද්ධයෙකු ලෙස සිය ප‍්‍රතිරූපය ගොඩ නඟා ගැනීමේ නිමග්නව සිටින බව පැහැදිලිය. ඔහු කලකට පෙර සිය නිල බලය විවිධාකාර දන්දීම් ඔස්සේ භික්ෂූන් වහන්සේලාට හිතෛෂී බව විදහා පෑමට ඉවහල් කර ගත්තේය. රටේ පිළිගත් නීතියට පටහැනිව වන අලි ඇතැම් භික්ෂූන් වහන්සේලාට දන්දීම සිදු කිරීමෙන් ද ඔහු සිය ශ‍්‍රද්ධාව හා ආගමික භක්තිය විදහා පෑවේය. ඔහු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස තමන්ට අවශ්‍ය දේ තමන්ට අවශ්‍ය අන්දමට සිදු කළේය. ඇතැම් විහාරස්ථානවලට ඉඩම් හිමි කර දීම, ඇතැම් විහාරස්ථානයක භූමි ප‍්‍රමාණය විශාල කරදීම යනාදි කටයුතු වෙනුවෙන් ඔහු පියවර ගත්තේ තමන්නේ ශ‍්‍රද්ධාව හා ආගමික භක්තිය ඉස්මතු කරමිනි. මේ නිසාම ඇතැම් භික්ෂූන් වහන්සේලාට ගෝඨාභය නම් නියම බෞද්ධයෙකි. බෞද්ධ පින්වතෙකි. එ් මානසිකත්වය හේතුවෙන් ගෝඨාභය සිදු කළ මොන වරදක් හෝ වරදක් නොවේමය. මොනයම් අධිකරණයකින් වුව ගෝඨාභය වරදකරුවෙකු ලෙස තීන්දු කළහොත් එය පිළිගැනීමට බොහෝ සංඝයා වහන්සේලා සූදානම් නොවෙති. එපමණක් ද? ඔව්හු ගෝඨාභය වෙනුවෙන් මහ මඟට බැස පාලකයන්ට බලපෑම් කිරීමට ද පසුබට නොවෙති. එබඳු තත්වයක පසු වන්නේ බුදුන් වදාළ ධර්මයට අනුව කටයුතු කරන සඟුන් ද?

අද දවසේ බොහෝ භික්ෂූන් වහන්සේලා කරන කියන දේවල්් ඔස්සේ පෙනී යන්නේ උන් වහන්සේලාට ගෝඨාභය ඉක්මනින් බලවත් වීම අවශ්‍යව තිබෙන බවය. අස්ගිරියේ අනු නායක හිමි නමක් ගෝඨාභයගේ නිවෙසින් දන් වළ හිට්ලර් සිහිපත් කරමින් දේශනා කළේ තමන් වහන්සේලාගේ අවශ්‍යතාව මිස අන් කිසිවක් නොවන්නේය.

මනුෂ්‍ය ඝාතනය සහ රාජ්‍ය මුදල් අවභාවිතය ගැන චෝදනා ලබා සිටින කෙනෙකුගෙන් දන් වැළඳීම බුදු මඟ අනුදත් භික්ෂුවකට කළ හැකි ද? ඕනෑම අපරාධකාරයෙකුට, දුෂිතයෙකුට, තක්කඩියෙකුට සේවය කිරීමට සැදී පැහැදී සිටින සඟුන් සැබවින්ම දේශපාලනඥයන්ටත් වඩා පහත් මට්ටමකට වැටී සිටින බවය පෙනී යන්නේ.

භික්ෂුන් සරණයාම
දේශපාලනය උදෙසා භික්ෂූන් සරණයාම කොතරම් වැදගත් ද යන්න පෙන්වා දුන් නායකයන් අතර මහින්ද රාජපක්ෂට හිමි වන්නේ අංක එක බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ භික්ෂූන් වහන්සේලා දිනා ගැනීමට මහජන මුදල් වියපැහැදම් කළ අන්දම සීමාවකින් තොර විය. එ් හා සම්බන්ධ තතු බොහෝ භික්ෂූන් වහන්සේලා දනිති. එක් භික්ෂූන් වහන්සේ නමක් සුහද පිළිසඳරකදී පවසා තිබෙන්නේ, මෙවැන්නකි.
‘මහින්ද මහත්තයාගෙන් ඉල්ලන පරක්කුවට ඕන දෙයක් අපට දුන්නෙ ඇයි? දෙන කිසි දෙයක් එයාගෙ අතින් මිටින් නෙමේනෙ. එ්කයි ඇත්ත. ඇත්ත වශයෙන්ම අන්තිමට බලන කොට මහජන මුදල් ගසාකාපු උදවිය අපි.’

මේ කතාබහ තුළ දී යම් කෙනෙකු විමසා සිටින්නේ දේශපාලනඥයන්ට රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීමට හැකි වන අන්දමට යම් යම් දේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටීම සුදුසුද යන්නයි. ඊට දී තිබෙන පිළිතුර ද අපූරුය.

”අපේ රටේ නායකයන්ට හරිය වැරැුද්ද දේශනා කරන්න එක දහ නමක් හොයා ගන්න බෑ. ඉතිං මොකට ද පලක් නැති වැඩ. සේරටම වඩා හොඳයි උන්නැහැලව සතුටු කරලා අපිත් යමක් කර ගන්න එක”

පාදඩ දේශපාලනඥයෙකුට වුව කවර මට්ටමක පන්සලකට හෝ, කවර මට්ටමක භික්ෂුවකට හෝ, ”කොක්ක ගහන්නට” හැකි බව සත්‍යයක් බවය නිතරම අසන්නට ලැබෙන්නේ. ඇතැම් දේශපාලනඥයෝ් දෙපා වැඳ බොහෝ දේ භික්ෂූන් වහන්සේලාට දෙති. ඔවුහුම එ් භික්ෂූන් වහන්සේලාව විවේචනය කරති. ඇතැම් භික්ෂූන් වහන්සේලා ගෞරව පූර්වකව දේශපාලනඥයන්ට අනුසාසනා කරති. උන් වහන්සේලාම එ් දේශපාලනඥයන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරති.
පන්සල හා භික්ෂුව කේන්ද්‍ර කරගෙන මොන තරම් ව්‍යාජයක් ද පවතින්නේ!
මේ ව්‍යාජයන් ඔස්සේ වැනසෙන්නේ බෞද්ධ සංස්කෘතිය නොවන්නේ ද?

අධිකරණයට ඉහළින් ද?
ගලගොඩඅත්තේ හිමියන් බලන්නට බන්ධනාගාරයට ගොස් පිටතට පැමිණ මාධ්‍යවේදීන්ට දුමින්ද දිසානායක අමාත්‍යවරයා දුන් පිළිතුරක් මම ගුවන් විදුලි නාලිකාවකින් විකාශය වන විට අසා සිටියෙමි. ඔහු ඉතා පැහැදිලිවම මෙසේ කීවේය.
”ලබන සිකුරාදාට අපි ගරු ස්වාමීන් වහන්සේව එළියට ගන්නවා”
අධිකරණයකින් බන්ධනාගාරගත කිරීමට තීන්දු කළ කිසිවෙකුට මොනම අන්දමකින්වත් මොනම බලපුළුවන්කාරයෙකුටවත් යළි නිකුත්වන අධිකරණ නියෝගයකින් තොරව පිටතට ගත නොහැකිය. තතු එසේ නම් අමාත්‍යවරයෙකු මේ අන්දමට පැවසීම කටමැත දෙඩවීමක් ද? මේ ප‍්‍රකාශය විග‍්‍රහ කර බැලීිම වටී.

වසර දහයකට අඩු සිර දඬුවමක් ලැබුණ පුද්ගලයෙකු තමන්ට ලැබුණ තීන්දුව සම්බන්ධව ඇපෑලක් ඉදිරිපත් කළ විට ඇප ලැබීම නීතියට අනුව සිදු වන්නකි. අමාත්‍යවරයා මේ කාරණය ගැන දැන ගෙන, ඉන් යම් දේශපාලන වාසියක් තම ප‍්‍රතිරූපය උදෙසා අත් කර ගැනීමට මේ ප‍්‍රකාශය කළා විය හැකිය. එසේ නැත්නම් තමන් සතු රාජ්‍ය බලය ඉවහල් කරගෙන අධිකරණයට ඉහළින් සිටින බව හා තීන්දු තීරණ ගැනීමට හැකි බව, එසේ ගන්නා ගන්නා බව හෙළි කළා විය හැකිය.

ගෝඨාභය රාජපක්ෂට අසාමාන්‍ය අන්දමට අධිකරණය සැලකීම, ඇතැම් පුද්ගලයන්ගේ නඩුවලට මාස හය හත අට සහ වසර දක්වා දිග කාලයකින් යළි දින ලැබීම සාමාන්‍ය පුරවැසියන්ගේ නඩුවලට අදාළව අධිකරණය කටයුතු කරන අන්දමට වඩා වෙනස් තත්වයක් බව පෙනී යන්නකි. ලලිත් වීරතුංග මහතාට සහ අනූෂ පැල්පිට මහතාට සිර දඬුවම් ලැබුණ පරක්කුවෙන් ඇප ලැබේ. එපමණක් නොව, ලලිත් වීරතුංග මහතාට ඇප ලැබුණ පසුව විදේශගත වීමට ද අධිකරණයෙන් අවසරය ලැබේ. එ් කටයුත්ත සිදු කෙරුණේ නීතියට අනුව ද? එ් නීතිය සිවිල් බලයක් නැති පුරවැසියන්ටත් අදාළ ද? මේ නිදසුන් ඔස්සේ ගම්‍ය වන්නේ අදත් රටේ නායකයන් අධිකරණයට ඉහළින් සිටින බව නොවේ ද?

භික්ෂුව අධිකරණය සහ බන්ධනාගාරය
ගලගොඩඅත්තේ හිමියන්ට දඬුවම් නියම වුණ පසුව බොහෝ භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහියන් ද පවසා සිටියේ ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින නීති ක‍්‍රමය මත භික්ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දීම වරදක් බවයි. මේ මතය පළ කරන උදවිය මීට කලින් බන්ධනාගාරගතව සිටින කිසිම භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධව මේ තර්කය ගෙනහැර පෑවේ නැත. එ් මන් ද?
භික්ෂූන් වහන්සේලා පනහකට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාරගත කර තිබෙන බවත් එය බෞද්ධ භික්ෂුව මර්දනය කිරීමක් බවත් තවත් විටෙක මොර ගා පවසනු අසන්නට ලැබිණි. භික්ෂූන් වහන්සේලා සිර දඬුවම් ලබා සිටින්නේ කවර හේතු කාරණා නිසා ද? වැඩි දෙනෙකු දඬුවම් විඳින්නේ ළමා අපචාර නිසාය. ළමා අපචාරවල යෙදුණ භික්ෂුවට දඬුවම් කිරීමට හැකි තත්වයක් ලංකාවේ අධිකරණ සංඝනායක හිමිවරුන්ට ලැබුණොත් දඬුවම් නියම කරාවි ද?

ගලගොඩඅත්තේ හිමිට දඬුවම් නියම වුණ නිසා ලංකාවේ පවතින අධිකරණය භික්ෂූන්ට අදාළ නීතිය කි‍්‍රයාත්මක කිරීමට නොගැළපෙන්නේ නම්, පන්සල්වල අයිතිය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා උසාවි යන්නේ කිම? අධිකරණයේ පිහිට සොයා යන්නේ ඇයි? පන්සල්වල උරුමය හා සම්බන්ධ කාරණාවක්වත් ශිෂ්ට සම්පන්නව නිරාකරණය කර ගැනිමට නොහැකි තත්වයක් එ් එ් නිකායයන්ට අදාළව පවතින බව සත්‍යයකි. එනිසාය අධිකරණයේ පිහිට පතන්නේ. තතු එසේ නම් සාමාන්‍ය පුරවැසියෙකුට භික්ෂුන් වහන්සේ නමකගෙන් අත් විඳින්නට සිදුවන අසාධාරණයක් හෝ හිංසනයක් සම්බන්ධව නීතියේ පිළිසරණ පැතීමට අවසරයක් තිබිය යුතු නොවේ ද? කවර හේතුවක් නිසා හෝ සඟුන් උසාවි යන තත්වයක් තිබෙන්නේ නම්, දඬුවම් විඳින තත්වයක් තිබෙන්නේ නම්, ඔවුන් බුදුන් වදාළ ධර්මයට අනුව පැවිදි ජීවිතයක් ගත කරන්නෝ නොවෙති.

ගලගොඩඅත්තේ හිමියන්ට ජම්පරය අඳින්නට සිදු වුණේ කවර කරුණක් ද?
මහනායක හිමිවරුන් කිසිම අවස්ථාවක ගලගොඩඅත්තේ හිමියන්ගේ කි‍්‍රයා කලාපය, උන් වහන්සේ හා සම්බන්ධ තත්වයන් ගැන, විමසිලිමත්ව කිසිම පියවරක් කිසිම අවස්ථාවක ගෙන නැත. එ් මන් ද? එ් හිමියන් මහනායක හිමිවරුන් අනුදත් බෞද්ධ සෙන්පතියෙකු සේ සැලකූ නිසා ද?
භික්ෂූන් වහන්සේ නමකට ජම්පරය අඳින්නට සිදුවීම මුල් කරගෙන සාසනයට අත්ව තිබෙන විපත ගැන අවධානය යොමු කිරීමටවත් මහනායක හිමිවරුන් උත්සුක නොවන්නේ මන් ද? භික්ෂූන්ට රිසි පරිදි විනය විරෝධී වැඩවල නිදහසේ නිරත වීමට ඉඩ දී බලා සිටීම නිසා අද සාසනය අන්තයටම පිරිහී තිබෙන බව සත්‍යයකි.
රටේ නීතිය කි‍්‍රයාත්මක වීම හා සම්බන්ධව භික්ෂූන් වහන්සේලා විරෝධය පාන්නේ ඇයි? නීතිය මත පාලනය නොයිවසන බව ද ඉන් පවසන්නේ?
සියලූ පුරවැසියන්ට රටේ නීතිය එක සමානව කි‍්‍රයාත්මක කළ යුතුය යන්න නොවේ ද භික්ෂූන් වහන්සේලා දේශනා කළ යුත්තේ? නඩු විභාගයකින් අනතුරුව දඩුවම් නියම කළ පසුව එ් තීන්දුවට එරෙහිව භික්ෂු බලය ඉවහල් කරගෙන හැසිරීමෙන් අවඥාවට ලක් වූයේ භික්ෂු සාසනය බව තේරුම් නොගැනීම අභාග්‍යයකි. බොහෝ භික්ෂූන් වහන්සේලාට සාසනයේ නිසි අභිවෘද්ධිය අදාළ නොවන බව නොවේ ද අධිකරණ තීන්දුවක් මුල් කරගෙන මහ මඟට බැසීමෙන් ලොවට විදහා පෑවේ

ශ‍්‍රද්ධාවේ ව්‍යාජය
යළිත් සිරි ගුනසිංහගේ ”බුදුන් දැකීම” නම් වූ කවිය සිහිපත් කිරීමට කැමැත්තෙමි.
”සාදු සාදු මුවහත් කැති පහරින්
කපා වැටෙන පව් ගස්වැල් අස්සෙන්
බුුදුන් මුහුණ කොතෙකුත් ඔබ සෙව්වත්
වැසේ නිතර එය අඳුරු බිත්තියෙන්
විහාර ගේ තුළ ගොඩ ගොඩ ගාගෙන
ගලා හැලෙන සර්දා මඩ දිය
වක්කඩ කැඩු කල මෙන් උතුරනවා”

අද අපනිතර දකින්නේ මේ ව්‍යාජ ශ‍්‍රද්ධාවේ සැටිය. මාධ්‍ය ආයතන ධාතු වන්දනාව ඔස්සේ විදහා පාන්නේ ද ව්‍යාජ ශ‍්‍රද්ධාවේ මහිමයයි. ලංකාව බුදුන් වදාළ ධර්මය පවතින රටක් ලෙස අවංකව පැවසිය හැකි ද?

ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ගලගොඩඅත්තේ හිමියන් වඩින්නේ පාවාඩයක් මතිනි. එ් පාවාඩය මතට භික්ෂූන් වහන්සේලා විසින් හෙළන ලද්දේ මල්ය. මේවා මොන තරම් නිර්ලජ්ජිත විහිළු ද? චීවරය දමා ගෙන අවිනීතව හැසිරී, අධිකරණයෙන් දඬුවම් ලැබූවෙකු ඇප ලබා එන මඟට මල් ඉසීමෙන් විදහා පාන්නේ භික්ෂූන් වහන්සේලාගේ ශ‍්‍රද්ධා භක්තිය ද? බෞද්ධ භික්ෂුවගේ පිරිහීම ද?
මේ සියලූ මුග්ධ කි‍්‍රයාවන් ආමන්ත‍්‍රණය කරන්නේ දේශපාලනඥයන්ට යයි සිතමි. මේවා ඔස්සේ කුප‍්‍රකට චරිතවලට මහා ජන බලයක් තිබෙන බවට උපකල්පනය කිරීමට ඇතැම් නායකයෝ ද පෙළඹෙති.

ලංකාවේ රාජ්‍ය නායකයන් ග‍්‍රහණයට නතු කර ගැනීමට භික්ෂූන් වහන්සේලා විවිධ මාර්ගවලින් අද සමත්ව සිටිති. රාජ්‍ය නායකයන් ද භික්ෂූන් වහන්සේලා සාමූහිකව පැමිණ තමන්ට බලපෑම් කරන විට එ් බලපෑම්වලට යටත් වන තත්වයක් ඇත. නිදසුනක් ලෙස ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණ විට මහනායක හිමිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසී බලපෑම් කළ බව ප‍්‍රකට රහසකි. එ් බලපෑමට අනුව ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා නතර කරන්නේය. හිමිවරුන් එ් අන්දමින් සංවිධානාත්මකව ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ මක් නිසා ද? ගෝඨාභය භික්ෂූන් වහන්සේලා සිතු පැතූ දේ පූජා කළ ශ‍්‍රද්ධාවන්ත බෞද්ධයෙකු නිසාය. පන්සල් සමඟ භික්ෂූන් වහන්සේලා සමඟ නිතර සම්බන්ධතා පවත්වන නිසාය. ගෝඨාභය තමන් වහන්සේලා පතන හිට්ලර් වැනි නායකයෙකු නිසාය.

බුදුන් දැකීමට අසමත්ව සිටින පිරිස අතර සැබවින්ම අද ඉදිරියෙන් සිටින්නේ භික්ෂූන් වහන්සේලා බව පැවසීම නිවැරදිය. බුදුන් නොදකින සඟුන් සිටින රටක ධර්මයට අත්වන ඉරණම කුමක් ද? එය සිතින් සිතා ගැනීමට පවා නොහැකිය.
ශ‍්‍රද්ධාව එක්තරා අර්ථයකින් ව්‍යාජයකි. තවත් අර්ථයකින් අනුවණය.

ගෝඨාභය රාජපක්ෂ සිල්වත් මහත්මයෙකු වන්නේ උම්මලකඩවත් නොකන නිසා බවය පවසන්නේ. එ් නම් කදිම විවරණයකි. සැබවින්ම හිට්ලර් ද නිර්මාංශිකයෙකු බවටය වාර්තා වන්නේ. එ් ගැන තවත් විවරණ කුමට ද?
මස් මාංශ අනුභවය සිල්වත් පැවැත්මට බාධාවක් නම්, සංඝයා වහන්සේලා ගිහියන්ට නියම කළ යුත්තේ කිසිම දානයකට මස් මාංශ පිළියෙළ නොකරන ලෙස නොවේ ද? දානයකට සංඝයා වහන්සේලා නිවසකට වැඩම කළ විට බුද්ධ පූජාව පිළියෙළ කිරීමට උපදෙස් දෙන විට පවසන්නේ මස් මාංශ බුද්ධ පූජාවට නොතබන ලෙසටය. බුුද්ධ පූජාවට මස් මාංශ නොතැබීමට උපදෙස් දී, කරඬුව ඉදිරියේ තබාගෙන සියලූ ආහාර සාංඝික කර මස් මාංශ වැළදීම පවසන්නේ කවර විනයක් ද?

මිනීමරුවන්ගෙන්, මහජන මුදල් අසීමාන්තිකව සොරකම් කළ පුද්ගලයන්ගෙන්, දන් වැළඳීම, පිරිකර ලැබීම, ඔවුන්ට අනුසාසනා කිරීම අපරාධ ගණයට අයත් නොවන්නේ යයි කිව හැකි ද?

මනුෂ්‍ය ඝාතකයෙකු නිර්මාංශික නිසා සිල්වතෙකු සේ සලකන භික්ෂූන් වහන්සේලා දන් වළඳන විට මස් මාංශ අනුභව කරන්නේ ශ‍්‍රද්ධාව තුළ බොරුවත්, බොරුව තුළ ශ‍්‍රද්ධාවත් එකට පැටලී තිබෙන නිසා නොවේ ද? වත්මන් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය බුදුන් නොදකින සඟුන්ගෙන් ගහණ වීම අනාවරණය කරන්නේ රටේ විනාශයට තුඩු දී තිබෙන මූලිකතම ඛේදය හා සම්බන්ධ යථාර්ථයයි.

භික්ෂූන්වහන්සේ සහ නව දක්‍ෂිණාංශික දේශපාලනය

හිට්ලර් කෙනෙකු හැටියට බලයට පැමිණ රට හදන්න යැයි ගෝඨාභය රාජපක්‍ෂට ආයාචනා කිරීමෙන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ අනපේක්ෂිත දේශපාලන ප‍්‍රතිඵල දෙකක් ඇතිකර තිබේ. පළමුවැන්න, තවමත් ආරම්භක අවධියේ, ඒ නිසාම උදාසීන ගතියකින්, පවතින 2019 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දේශපාලන සාකච්ඡාව උණුසුම් කිරීමයි. ජනාධිපතිතුමාත්, මංගල සමරවීර ඇමතිවරයාත්, උපාලි හිමියන්ට දුන් පිළිතුරු භික්‍ෂුන් වහන්සේලාගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය පියවර ගණනාවකින් තියුණු කිරීමට තුඩු දෙනු නිසැකය.

දෙවැන්න, ගෝඨාභය රාජපක්‍ෂගේ සතුරන්ට සිතා ගැනීමටවත් නොහැකි වූ ආකාරයේ ප‍්‍රහාරයකට, මෙම ජනාධිපති අපේක්‍ෂකභාවයේ සිහින දකින්නා පාත‍්‍ර කිරීමයි. ගෝඨාභය රාජපක්‍ෂට ‘හිට්ලර්’ යන විකට නාමය පටබැඳෙනු ඇත්තේ, මහා සංඝරත්නයේද ආශීර්වාදය ඇතුවය. ඒ දරුණු ලේබලයෙන් මිදීම රාජපක්‍ෂ මහතාට පහසු නොවෙනු ඇත. එය එතුමාගේ ජනාධිපති සිහිනය විනාශ වීමේ පළමු පියවර වන්නේ නම්, ඒ ගැන වගකිව යුත්තේ, එතුමාගේම කසකරුවන්ය. දේශපාලනයේදී වඩාත් ප‍්‍රවේසම් විය යුත්තේ සතුරන්ගෙන් නොව, මිතුරන්ගෙන්ය යන්න, දේශපාලනය ගැන ඒ තරම් ඇත්දැකීම් නැති ගෝඨාභය රාජක්‍ෂට එවිට වැටහෙනු ඇත.
වෙඬරුවේ උපාලි නායක ස්වාමීන්වහන්සේ කළ මෙම විමතිය දනවන ප‍්‍රකාශය, භික්‍ෂූන් හා දේශපාලනය පිළිබඳ තේමාව ගැන තරමක් ගැඹුරට සිතා බැලීමටද ලංකාවේ පුරවැසියන්ට අවස්ථාවක් ලබා දෙයි. මේ ලිපියේ අරමුණ ඒ සඳහා මඳ අත්වැලක් සැපයීමයි.

වර්තමාන තත්ත්වය
ලංකාවේ භික්‍ෂූන් සහ දේශපාලනය පිළිබඳ වර්තමාන තත්ත්වය කුමක්දැයි විභාග කිරීම අපේ සාකච්ඡුාවේ ආරම්භය විය යුතුය. දේශපාලනය සම්බන්ධයෙන් භික්‍ෂුන්වහන්සේලා අතර ප‍්‍රවණතා කිහිපයක්ම පවතින බව පෙනේ. ඒවායේ කිහිපයක් පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය.
රාජ්‍යය සමග අනන්‍යවන භික්‍ෂුන්වහන්සේලා ‘රාජ්‍යය මමයි, මම රාජ්‍යයයි’ යන ප‍්‍රංශයේ 14 වැනි ලූවී රජතුමා කළ ප‍්‍රකාශය සිහිගන්වන ලංකාවේ මෙම භික්‍ෂුන්වහන්සේ පිරිස සිතන්නේ, ශී‍්‍ර ලංකාව නමැති රාජ්‍යයේත්, එහි පරමාධිපත්‍යයේත් පරම සහ උත්තරීතර හිමිකරුවන් තමන්ය යන බවයි. මෙය විශේෂයෙන් සියම් නිකායේත්, පසුව අමරපුර සහ රාමඤ්ඥ නිකායවලත් සමහර භික්‍ෂූන්වහන්සේලා අතර පැතිරුණ මතවාදයකි. මෙය වූකලි ලංකාවේ නූතන භික්‍ෂු සමාජය පූර්ව -යටත් විජිත වැඩවසම් සමාජය සමග මතවාදී ලෙස සම්බන්ධ කරන පුරුකද වෙයි. මෙම ධර්මය දේශනා කරන බොහෝ භික්‍ෂූන්වහන්සේලා නුවර යුගයේ සිට පැවතෙන වැඩවසම් ඉඩම් හිමියන් ද වන පන්සල්වලට සම්බන්ධව සිටීම, පහසුවෙන් ප‍්‍රතිික්‍ෂේප කළ නොහැකි සමාජ විද්‍යාත්මක සාධකයකි.

දෙවැනි ප‍්‍රවණතාව නියෝජනය කරන්නේ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධව එම පක්‍ෂවල න්‍යාය පත‍්‍ර ඉදිරියට දමන භික්‍ෂූන්වහන්සේලාය. ඔවුහු එජාපයේ සිට ජවිපෙ සහ හෙළ උරුමය දක්වා පක්‍ෂ සමග සම්බන්ධ වී සිටිති. උන්වහන්සේලාගේ දේශපාලන න්‍යාය පත‍්‍රය, සාකල්‍යයෙන්ම ගිහියන් විසින් තීරණය කරනු ලබන්නෙකි. අප පළමුවෙන් කී භික්‍ෂු ප‍්‍රවණතාව කරන්නට උත්සාහ ගන්නේ ඊට වෙනස් කාර්යයකි. එනම් ගිහි දේශපාලනඥයන්ගේ න්‍යාය පත‍්‍රය තීරණය කිරීමට උත්සාහ ගැනීමයි. එහෙත් මෙම දෙවැනි දේශපාලන භික්‍ෂු ස්තරය දේශපාලන පක්‍ෂවල මතවාදී කේඩරයන්ට සමානය.

තුන්වැනි ස්තරය, ‘ප‍්‍රගතිශීලී’ යන පදයෙන් හැඳින්විය හැකි, වාමාංශික සහ ලිබරල් දේශපාලන අදහස් දරන භික්‍ෂූන්වහන්සේලාය. ජාතිවාදය කේන්ද්‍ර කොටගත් අධිපති සංඝ මතවාදය ප‍්‍රතික්‍ෂේප කරන උන්වහන්සේලා සංඝ සමාජයේ ඇති නිකාය භේදයද ප‍්‍රතික්‍ෂේප කරති. වමේ ව්‍යාපාරයේත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයෙත් ඉගැන්වීම්, බුදුන්වහන්සේගේ ඉගැන්වීම් සමග සංයෝග කරමින්, සාමය, සාමානත්වය, මානව අයිතිවාසිකම් සහ මානුෂවාදය කේන්ද්‍රකොට ගත් ලෞකික බෞද්ධ මතවාදයක් වෙනුවෙන්ද පෙනීසිටිති. එවැනි භික්‍ෂූන්වහන්සේ සිටින්නේ අතළොස්සකි.

හරතරවැනි භික්‍ෂු ප‍්‍රජාව නම්, දේශපාලනය ගැන උනන්දුව දැක්වුවත්, නිහඬව සමාජය සමග ගනුදෙනු කරමින් සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත්වන භික්‍ෂූන් වහන්සේලාය. අපේ සංඝ සමාජයේ සිටින බහුතරය මෙම ස්තරයට අයත්වෙති. මෙම භික්‍ෂූන්වහන්සේ බොහෝ දෙනා දුප්පත්ය. දේපළ රහිත නාගරික සහ ග‍්‍රාමීය ගිහියන්ගේ ආධාරයෙන් ජීවත්වන උන්වහන්සේලාගේ ලෞකික විජිගීෂාවන්ද අඩුය.
අපගේ මෙම සාකච්ඡුාවේ අවධානයට යොමුවන්නේ, අප ඉහත දී හඳුනාගත් පළමුවැනි භික්‍ෂු ස්තරයයි. සංඛ්‍යාවෙන් විශාල ප‍්‍රමාණයක් නොවුවද, දේශපාලනඥයන් සමගත්, ජනමාධ්‍ය සමගත්, ගිහි ධනවතුන් සමගත් ඇති කිට්ටු සම්බන්ධතා නිසා මෙම භික්‍ෂු ස්තරයට විශාල බලයක් තිබෙන බවද ප‍්‍රදර්ශනය වේ. ලංකාවේ දේශපාලන ගැටලූ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සුළු ජන අයිතිවාසිකම් යන තේමාවලදී, විශාල ලෙස මතවාදීමය මැදිහත්වීම් කිරීම මෙම ස්වාමීන්වහන්සේලාගේ දේශපාලන භාවිතයේ ප‍්‍රධාන අංගයකි.

වත්මන් මොහොත
වර්තමාන දේශපාලන සන්ධිස්ථානයේදී මෙම භික්‍ෂුන්වහන්සේලා කරන මැදිහත්වීම විශේෂ දේශපාලන වැදගත්කමක් දරන්නකි. එය නම්, දයාන් ජයතිලක මහතාද නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි, ලංකාවේ නව සහ අත්‍යන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපෘතියක නියමුවන් හැටියට මෙම භික්‍ෂු පිරිස ඉදිරියට පැමිණීමයි. ඉන් සමහර දෙනා සිටින්නේ මහින්ද රාජපක්‍ෂ වටේය. තවත් සමහර ස්වාමීන්වහන්සේලා සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ සමග අනන්‍ය වීය. එම පිරිස්ම දැන් ඥානසාර සමගද සම්බන්ධ වී සිටිති. පසුගිය කාල පරිච්ෙඡ්දයේදී අවස්ථා තුනකදී මෙම බලවේගය තම නව – දක්‍ෂිණාංශික දේශපාලන අනන්‍යතාව ප‍්‍රකාශයට පත්කළහ.

එයින් පළමුවැනි අවස්ථාව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට විරුද්ධව දියත් කළ ව්‍යාපාරයයි. ඒකාබද්ධ විපක්‍ෂය සහ මහින්ද රාජපක්‍ෂද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රයත්නයට විවේචන එල්ල කළ නමුත්, එයට රැඩිකල් විරෝධයක් දැක්වූයේ ඉහත කී ස්තරයට අයත් භික්‍ෂුන්වහන්සේලාය. මහින්ද රාජපක්‍ෂ කෙළේ එම භික්‍ෂූන් දේශපාලන වශයෙන් උසිගැන්වීමය. එහෙත් එම භික්‍ෂු පිරිස මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂා කළ දුරට වඩා වැඩි දුරක දේශපාලන ගමනක් පැමිණ ඇති බව පෙනේ. එය නම්, දේශපාලන පක්‍ෂවලින් ස්වාධීන වූ ‘දක්‍ෂිණාංශික සිවිල් සමාජ දේශපාලන බලවේගයක්’ බවට වර්ධනය වීමයි. දැනට පවතින සියලූ දේශපාලන පක්‍ෂ සම්බන්ධයෙන්, මෙම නව භික්‍ෂු බලවේගයේ ඇත්තේ මහත් කණස්සල්ලකි. එයට හේතුව නම්, කිසිදු ප‍්‍රධාන පෙළේ සිංහල-බහුතර දේශපාලන පක්‍ෂයක්, සිංහල-බෞද්ධවාදී පරිවර්තනයකට ලංකාවේ රාජ්‍යය, ආණ්ඩුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලනය පාත‍්‍ර කිරීමට සූදානම් නොවීමයි. ගෝඨාභය රාජපක්‍ෂ වටා සමහර භික්‍ෂූන් වහන්සේලා එකතු වී සිටින්නේ ඔහු දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව තම දේශපාලන ව්‍යාපාරය දියත් කර ඇති නිසා, ඔහු වටා තම නව-දක්‍ෂිණාංශික දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමටය.

දෙවැනි අවස්ථාව ඥානසාර සිද්ධියේදී මෙම නව භික්‍ෂු බලවේගය ඉදිරිපත් කරන ස්ථාවරයයි. එනම් බෞද්ධ භික්‍ෂුන් රටේ නීතියට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයට ඉහළින් සිටින පාර-පුරවැසි පිරිසක් (Supra – citizens) බවට පිළිගත යුතුය යන්නයි. ‘භික්‍ෂූන් රටේ නීතිය කඩකළ විට ඔවුන් සම්බන්ධව කි‍්‍රයා කිරීමට රටේ නීතියට, පොලිසියට, අධිකරණයට සහ සිරගෙවල්වලට අයිතියක් නැත.’ යන මෙම අලූත් මතය වනාහි රාජ්‍යයේ පරමාධිපත්‍යය ද නොසලකන, එය අබිබවා ගිය උත්තරීතර පරමාධිපත්‍යයක් සංඝ සමාජයට හිමිව තිබේය යන වැඩවසම් කාලයේද නොතිබුණ මූලධර්මයක් ඉදිරියට දමන්නකි. රාජ්‍යයේ පරමාධිපත්‍යයට ඉහළින් තිබිය යුතු ආගමික ප‍්‍රජාවේ පරමාධිපත්‍යයක් පිළිබඳ මෙම අදහස දේශපාලන වශයෙන් භයානක, නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකකි, බෞද්ධ පූජ්‍ය-තන්ත‍්‍ර රාජ්‍යයක් පිළිබඳ දේශපාලන චින්තනයක් අප රටේ ගොඩනැගීමේ පූර්ව නිමිත්තකි.

තුන්වැනි අවස්ථාව, දැනට විශාල කලබැගෑනියකට තුඩු දී තිබෙන, අස්ගිරියේ අනුනායක ස්වාමීන්වහන්සේ කළ, අප මුලදීම උපුටා දැක්වූ ප‍්‍රකාශයයි. තමන් කළ ප‍්‍රකාශයේ බරපතළකම සැහැල්ලූ කිරීමට වෙඬරුවේ ස්වාමීන් වහන්සේ කර ඇති පැහැදිලි කිරීමට ගරු කරන ගමන්ම, අප මෙම සිද්ධියේ ඇති බැ?රූම් දේශපාලන සංඥාවේ බරපතළකම අමතක නොකළ යුතුය. එනම් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් අභිලාෂ සහ පලප‍්‍රයෝජන ආරක්‍ෂා කිරීමට දැන් ලංකාවට ආඥාදායක පාලකයෙකු අවශ්‍යව තිබේය යන විශ්වාසයයි.

ඒකාධිපතියා
‘ඒකාධිපතියෙකුට විතරයි අපේ රට හදන්න පුළුවන්’ යනු දුප්පත් ගැමියෙකු වූ අපේ තාත්තාද 1960 ගණන්වලදී කියූ දෙයකි. රට දේශපාලන වශයෙන් පරිහානියට සහ ව්‍යාකුලත්වයට පත්වෙමින් සිටිනවායැයි පෙනෙන විට, අප රටේ වැසියන් තම දේශපාලන කලකිරීම ප‍්‍රකාශ කරන්නේ ඒකාධිපතියකු පිළිබඳ කරන එවැනි සරල ප‍්‍රකාශවලිනි. එහෙත් වෙඬරුවේ උපාලි නායක ස්වාමීන්වහන්සේගෙන් ප‍්‍රකාශ වී ඇත්තේ, ඊට වඩා වෙනස්, සංවිධානාත්මක දේශපාලන විඥානයක් සහ අපේක්‍ෂාවකි. විශේෂයෙන් මෙය පසුගිය අවුරුදු දෙක තුළ අප රටේ සිංහල බෞද්ධ සමාජයේ ගොඩනැගුණු විඥානයක් සහ අපේක්‍ෂාවකි. එය ගොඩනැගීමට මහින්ද රාජපක්‍ෂද සෘජු කාර්යයක් කළේය. එවැනි ‘ඒකාධිපති’ නායකයකුගේ ප‍්‍රතිරූපයට වඩාත් ගැළපෙන ගෝඨාභය රාජපක්‍ෂද, හිටපු හමුදා නිලධාරීන්ගේ නායකත්වය යටතේ ‘වියත්මග’ සංවිධානය තුළින් තම ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කළ විට, සිංහල -බෞද්ධ භික්‍ෂු විඥානයේ පවතින ‘බෞද්ධ ඒකාධිපති පාලකයකු’ පිළිබඳ සිහිනයද අලූත් වූ බව පෙනේ.

‘සිංහල බෞද්ධ ආඥාදායක පාලකයෙකු’ පිළිබඳ මෙම සිහිනය අලූත් වීමට මෛතී‍්‍රපාල-රනිල් දෙපළද සෑහෙන දුරට සෘජු දායකත්වයක් කර තිබේ. 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී සිදු වූ ආණ්ඩු වෙනස් වීම වෙතින් සංකේතවත් වූ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය ස්ථායී කිරීමට එම දෙපොළ අසමත් වූහ. ස්ථායී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක්(Stable Democratic Government) ආණ්ඩුවක් වෙනුවට ඔවුන් ඇතිකෙළේ දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී (weak Democratic) ආණ්ඩුවකි. එය වූකලි සෑම අතින්ම ව්‍යාකුල වූ, තමන්ගේ දේශපාලන වගකීම් පිළිබඳ හැගීමක් නැති, සැළෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී (Shaky Democrats) දෙදෙනෙකුගේ ආණ්ඩුවකි. මෙයට විකල්පය දැඩි මතධාරී, සෘජු, නොසැළෙන, නිර්භය පාලකයෙකු යැයිද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් අප රටේ ඕනෑවට වඩා තිබෙන බවද, ඒකාධිපතියෙකුටවත් රට හැදීමට දැන්වත් භාරදිය යුතු යැයිද, වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේද සලකන බව පෙනේ.

‘ඡන්දයෙන් පත්වන නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ඒකාධිපති පාලකයෙකුට’ අප රටේ ජනතාවගේ කැමැත්තක් තිබේද? යන ප‍්‍රශ්නයට අපට තවමත් පැහැදිලි පිළිතුරක් නැත. විශ්වාස කළ හැකි ආකාරයේ ජනමත විචාරණ නොපවත්වන විට, මහජන මතය පිළිබඳ සමීක්‍ෂණ දත්තද අප සතුව නැත. එහෙත් 2005-2005 සහ 2013-14 යන අවස්ථා දෙකේදීම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කළ සමීක්‍ෂණ දෙකකදීම පෙනුණේ ලංකාවේ ජනතාවගෙන් අතිබහුතරය, එනම් සියයට 97ක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයට කැමැත්ත දක්වන බවයි. හමුදා පාලන විකල්පයට තිබුණේ මඳ කැමැත්තකි. එහෙත්, භික්‍ෂුන්වහන්සේලා පිරිසකගේ නායකත්වයෙන් පවතින, අප ඉහතදී හඳුනාගත්, නව -දක්ෂිණාංශික බෞද්ධ ව්‍යාපාරය උත්සහ දරන්නේ, 2019දී ලංකාවේ ඡුන්දදායකයන් සිදුකරන තෝරාගැනීමට තිරණාත්මක බලපෑමක් කිරීමයි. එම බලපෑම අංග දෙකකින් සමන්විත වනු ඇත. පළමුවැනිව, ගෝඨාභය රාජපක්‍ෂ සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරියට ගෙනඒමයි. දෙවැන්න, ජනාධිපති මැතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුතු ‘බෞද්ධ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක්’ සඳහා වූ පරිවර්තනයකට ලංකාවේ දේශපාලනය තල්ලූ කිරීමයි.

ඉතිරි සති සහ මාස කිහිපයේ ලංකාවේ දේශපාලන බලවේගවල යළි සකස් වීමකට ඉඩ තිබේ. එම කි‍්‍රයාවලියේදී සිංහල -බෞද්ධ නව දක්‍ෂිණාංශය ඉටුකරන වැඩ කොටස අඩුවෙන් තක්සේරු කළ යුතු නැත.

ඒකාධිපතියන් ඉල්ලන්නේ ඇයි?

0

 

තමාගේ දැනුමේ හා ලෝකාවබෝධයේ දිග පළල අනුව වැඩි හොඳක් කරන්නට ගොස්, අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිට්ලර්ට සමාන කිරීමත් සමග සාම්ප‍්‍රදායික මාධ්‍ය හා සමාජ ජාලාවල ඇතිවුණු කතාබහ නිසා, පිටිය සකසන්නටත් පෙර රේස් දුවන්නට ඇවිත් සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ලවුණේ නැවත කෙළින් සිටිය නොහැකි තරමේ ප‍්‍රහාරයකි. බූමරංගයක් සේ ආ උපාලි හිමියන්ගේ කතාවෙන් සිදුවුණු හානිය මකන්නට ගොස්, ඔහු වටා සිටියවුනුත්, ගෝඨාභය රාජපක්‍ෂත් ඉඳුරුවේ ආචාරියාට වුණු දේම කරගත්හ. එනම් එකක් වෙනුවට දෙක තුනක් කඩතොලූ හදාගැනීමයි. ගෝඨාභය රාජපක්‍ෂ පාර්ශ්වය දැන් ඉන්නේ ‘මේ කඩාපාත් වුණේ මොන හෙණයක්දැ’යි වික්‍ෂිප්තවය. මුසුප්පුවය. ඒ නිසා, හැකි හැම කෙනෙකුම ගෝඨාභය ගලවාගන්නට ඉදිරිපත්වී කියන විවිධ කතාවලින්, ගෝඨාභයම තව තවත් දේශපාලනයේ කුණුමුල්ලට තල්ලූ වෙමින් සිටියි. ගිය සතියේ අමෙරිකානු තානාපතිවරයාගේ ප‍්‍රකාශයෙන් වැදුණු පහරෙන් අන්දමන්දව සිටින ගෝඨාභයට ළඟ ළඟ එල්ලවුණු මේ පහරත් නිසා ගොඩ ඒම නම් පහසු නැත.

හානිය මකාගන්නට උදව් කරන්නට හිතූ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා කීවේ, ගෝඨාභය උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති, යහපත් පවුල් ජීවිතයක් ගතකරන, සීලගුණෝපේත (අවධාරණය ලියුම්කරුගේය.) අයෙකු බවය. ඒ කතාවද හැරෙන තැපෑලෙන් බූමරංගයක් වුණේ, ලෝකයේ ප‍්‍රකටම ‘උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති, යහපත් පවුල් ජීවිතයක් ගතකළ, සීලගුණෝපේත පුද්ගලයා’ ඇඩෝල්ෆ් හිට්ලර් නම් ලක්‍ෂ හැටක මිනිස් ජීවිතවල ඝාතකයා වීම නිසාය. ඒ අනුව ඩලස් කීවේ ගෝඨාභය හිට්ලර්ට සමාන වෙන තවත් විදියකි. උපාලි හිමියන්ගේ කතාව ප‍්‍රඥාවන්තයන්ට පමණක් තේරෙන බවත්, එනිසා තමා එය තේරුම් ගත් බවත් ගෝඨාභය කීවේය. ඒ් අනුව රටේ අලූත්ම සොයාගැනීම, ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රඥාවන්තයකු හැටියට ආසනාරූඪ වී ඇති බවයි. පුදුමයකුත් නැත. ‘වියත් මඟ’ බැනරය යටතේ, රටේ වියතුන් හැටියට තමන් හඳුන්වාගන්නා පිරිසක් ගෝඨාභය වැන්නකුගේ වහලූන්ව සිටින ආකාරය පෙනෙන විට, මෙලෙස නිල් හට්ටියක වැටුණු සිඟාලයකුගේ තත්ත්වයට ගෝඨාභය පත්වීම අහම්බයක් නොවේ.

එහෙත්, ප‍්‍රශ්නය එය නොවේ. ඒකාධිපතියකු ඉල්ලන්නේ වෙඬරුවේ උපාලි භික්‍ෂුව පමණක් නොවීමය. උපාලි හිමියන් දන්නා කාලයක සිටම, රාජපක්‍ෂවරුන්ගේ වහලකු වන්නට ඉතසිතින් සුදානමින් පසුවන්නකු බැවින් එහිමියන්ගේ කතා බරසාර සේ නොගත යුතු වුණත්, ජනවාරි 8වැනිදා දේශපාලන වෙනස සඳහා දායකවුණු සමහරුත්, මේ දිනවල ‘රට හදන්නට නම්, තද පාලකයකු වුවමනා බව’ මනුවර්ණ වැන්නන් සමගම කියන විට, එය හුදු ප‍්‍රලාඵයක් සේ නොසලකා හිටින්නට බැරිය. ජනවාරි 8වැනිදා, එතෙක් පැවැති ඒකාධිකාරී, හිතුවක්කාර පාලනය වෙනස් කිරීම සඳහා දායකවුණු මේ ඇතැම් පිරිස්, දැන් එවැනිම පාලනයක් යළි ඉල්ලන්නේ ඇයි? බැ?රුම් ලෙස සාකච්ඡුා කළ යුතු ගැටලූව ඇත්තේ එතැනය.

එහෙත්, උත්තරය සරලය. පැහැදිලිය. එනම්, ‘ජනවාරි 8වැනිදා, ඒකාධිපතියකු වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ශපථ කළ අය අද වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමට අසමත්වීමත්, ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වීමට අසමත් වීමත්’ යන්නය.

ජනවාරි 8 බලයට පත්වුණු නායකයන් දෙදෙනාට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගනුදෙනුවක් කිරීමේ පරිචයක් තිබුණේ නැත. දෙන්නා ගනුදෙනු කළේ, මුහුණෙහි හිනාවකුත්, පිටුපසට කරගත් අතේ පිහියකුත් තබාගෙනය. ‘මම ජනාධිපති වුණු පසුත්, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ‘සර්’ කියන්නෙමි කියු මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අද වන විට වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධාන සතුරා වන විට, රනිල් වික‍්‍රමසිංහ පසුගිය කාලය පුරාම ගතකළේ, තමන් ලදැයි කියන, එහෙත් කොහේවත් නැති, දේශපාලන ජයග‍්‍රහණයක් ගැන ස්වයං මෝහනයට හා උඩඟුභාවයට පත්ව. හැකි සෑම අවස්ථාවකදීම ජනාධිපති සිරිසේන නොතකා, නොසලකා හරිමිනි. තමා අයත් සමාජ පන්තියේ පාරට්ටුව තුළ ගැලවෙන්නට බැරි හිරකරුවකු වි සිටින වික‍්‍රමසිංහ මහතා පොළොන්නරුවේ ගොවියා පුත්ට සැලකුවේ නොසැලකිල්ලෙනි. ලිච්ඡුවි රාජධර්ම උඩින් පල්ලෙන් කියා දමා, ඊට හාත්පසින්ම වෙනස් දේශපාලන භාවිතයක නියැලූණු, අන් කිසිවකුගේ අදහසකට යෝජනාවකට ගරු නොකරන රනිල් වික‍්‍රමසිංහගේ චර්යාව විසින්ම ජනාධිපති සිරිසේන ඉතාම වේගයෙන් රනිල්ගේ හා එජාපයේ සතුරකු බවට පත්කළේය. අද ඉන්නේ, ස්වාභාවික සිරිසේන පමණක් නොවේ. රනිල් විසින්ම නිර්මාණය කරන ලද පසමිතුරෙකි.

පිරුණු රාජතාන්ත‍්‍රිකයන් වෙත කවදාවත් නොතිබුණායැයි කිව හැකි මේ සිල්ලර ලක්‍ෂණ නිසා, එක්ව ගමනක් යනවා වෙනුවට, අනෙකා බිම දමාගන්නට කකුල් මාට්ටු දමන්නට පාදය සූදානමින් තබාගෙන සිටින සතුරන් දෙදෙනකු බවට අගමැතිත්, ජනාධිපතිත් ඉක්මනින් පත්වූහ. ප‍්‍රතිඵලය, එක්ව තීරණ ගෙන කළ යුතු හැම දෙයක්ම නොසිදුවීමයි. නැතිනම්, එකකු අනිකාගේ වැඩවලට හැකි වෙර යොදා බාධා කිරීමයි. තනි පුද්ගලයකුට බලයක් නැති, පාර්ශ්ව කිහිපයකට බලය ඇති ආණ්ඩුවක සාමාන්‍යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණ ඉස්මතු වී, මහජන බලය ඉහළට ආ යුතු ව තිබුණත්, මෙහිදී සිදුවුණේ ඊට හාත්පසින්ම වෙනස්ව, ඒකාධිපතියනුත් නැති, එහෙත් කිසිවක් සිදුනොවන, එමෙන්ම මහජන බලයද නොතකන තත්ත්වයක් ඇතිවීමයි. මේ වනවිට රට පුරා පැතිර ඇති අවුල් සහගතභාවය එහි ප‍්‍රතිඵලයයි. තමා කොන්ද පණ නැති අයකු හැටියට සමහරුන් හඳුන්වන බවට ජනාධිපතිවරයාම ප‍්‍රසිද්ධියේ කියන විකාර සහගත තත්ත්වයක් ඇතිවීමයි.
මිනිසා, කෙතරම් දියුණුයැ’යි කීවත්, නෛසර්ගිකවම තමා මත අනුන්ගේ පාලනයක් ඉල්ලා සිටින්නෙකි. තම ඉරණම තමා විසින්ම මෙහෙයවනවාට වඩා අනෙකකු විසින් මෙහෙයවනු ලැබීම දකින්නට කැමැත්තෙකි. එවිට, තමාට වගකීමක් නැත. තමා කළ යුතු කිසිවක්ද නැත. වගකීම් විරහිතය. ඒ නිසා, හැම මිනිසකු තුළම මේ අනුන්ගෙන් පාලනය වීමේ හැඟීම නිදන්ගතව පවතියි. තමන්ගේ ජාතියට, ආගමට ඇති දැඩිතර බැඳීමත් ඒ වාගේය. හැම මිනිසකු තුළම ජාතිවාදයේ අංශුවක්, ආගම්වාදයේ අංශුවක්, අන්තවාදයේ අංශුවක් හෝ තිබිය හැකිය. එහෙත්, ලෝකය ගැන අවදිවුණු සිහියෙන් සිටින්නා, ලබාගන්නා ලෝකාවබෝධය හා ශිෂ්ටත්වය හේතුවෙන් තම තම ශරීර තුළ නිදන්ගතව ඇති ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය වැනි දේ මැඬපවත්වා ගනියි. ඉවසීම පුරුදු පුහුණු කළවුන් ක්‍රෝධය, ද්වේෂය මැඬපවත්වා ගන්නාක් මෙනි.

මහින්ද රාජපක්‍ෂ ආමන්ත‍්‍රණය කළේ ශ‍්‍රී ලාංකිකයන් තුළ නිදන්ව ඇති මේ දුර්ගුණයන්ටය. ඔහු ජාතිකවාදය වෙනුවෙ න්, ආගම්වාදය වෙනුවෙන්, හැකි සෑම අවස් ථාවකදීම අන්තවාදයන් වෙනුවෙන් පෙනීසිටියේය. ඊට අමතරව, තමන් පාලනය කරනු ලැබීමේ මිනිස් ආශාවටද ආමන්ත‍්‍රණය කරමින් එහි දැඩිතර පාලකයා බවට තමාම පත්විය. එය ඉතා සැලසුම්කර ක‍්‍රියාවට නංවන ලද්දකි. මහින්දගේ ශාරීරික භාෂාව, පෞරුෂය ඒ කාරියේදී යමක් කළා වුණත්, සමහරුන් කියන විදියට, එනිසාම පමණක් ඒ ආධිපත්‍යය මහින්දට ලැබුණේ නොවේ.

මෛත‍්‍රීපාල සිරිසේනටත්, රනිල් වික‍්‍රමසිංහටත් ඒ කැරිස්මැටික ස්වභාවය තිබුණේ නැත. එහෙත්, මහින්ද රාජපක්‍ෂට නැති වාසියක් ඔවුන් වෙත තිබුණේය. එනම්, ඔවුන් වටා සිටි තීරණාත්මක සමාජ ස්තරය (සියල්ලන් නොවේ) තමන්ව පාලනය කරනු ලැබිය යුතුයැයි සිතන අන්දමේ වහල් මනසක් හිමියවුන් නොවීමයි. එක්තරා විදියකට සමාජයේ මතවාදී ආධිපත්‍යය දැරුවෝ ඔවුහුය. ඒ නිසා රැුවුල් වවාගෙන, වේදිකාවට පැන අසුන්ගෙන, උදේට ජොගින් හා ව්‍ය ායාම කොට ඒ මහජනයා අල්ලාගන්නට වුවමනාවක් මේ නායකයන් දෙදෙනාට තිබුණේ නැත. ඒ වෙනුවට මිනිසුන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ වෙනත් න්‍යාය පත‍්‍රයකි. ඒ න්‍යාය පත‍්‍රයේ තිබුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මිනිස් නිදහසත්, මානව ගරුත්වයත් ඉදිරියට ගෙනයන පොරොන්දුය.

එහෙත්, ජනවාරි 8න් පසු සුක්කානම භාරවුණු නායකයන් දෙදෙනාටම, ඒ න්‍යාය පත‍්‍රය ඉල්ලූමේ පරිදි සපුරාලන්නට නොහැකි විය. නැතහොත් ඒ සඳහා අවශ්‍ය වන කැපකිරීමත්, දේශපාලන අධිෂ්ඨානයත් ඔවුන්ට නොවීය. ඒ වෙනුවට මේ නායකයන්ට තිබුණේ සිල්ලර කාරණා විසඳීමේ වුවමනාවකි. හරියට, සිංහරාජයේ අලි දෙන්නකු ඇල්ලීම ගැන ජනාධිපතිවරයා මැදිහත් වනවාක් මෙනි.

තමන් කිසිවක් නොකිරීමත්, අනෙකා එය කරන්නට නොදෙන බව කීමත්, සිදුවන කිසිවක් තමා නොදන්නා බව කීමත් හරහා නායකයෝ දෙපළම තමන්ගේ වගකීම පැහැර හැරියෝය. අලූත් ව්‍යවස්ථාව ගැන වේවා, හොරු ඇල්ලීම ගැන වේවා, රටේ ආර්ථික ප‍්‍රතිපත්ති ගැන හෝ වේවා, බදු අයකර ගැනීම ගැන හෝ වේවා වගකීමක් ගෙන කර දෙන ප‍්‍රතිපත්තියකින් දෙදෙනාම දැනුවත්ව බැහැර වූහ.
ඉතින් ප‍්‍රතිඵලය කුමක්ද? රටේ ආණ්ඩුවක් නැති බව මහජනතාවට වැටහී යෑමයි. පෙර කීවාක් මෙන් භයානක තත්ත්වය නම්, ජනවාරි 8 වෙනසට දායකවුණු සමහරුන්ද ඒ මතයට පැමිණ තිබීමයි. එහි ප‍්‍රතිඵලය තවත් ඒකාධිපතියකු ජනතාව ඉල්ලා සිටීමයි. අවාසනාවට, රටේ නායකයෝ දෙදෙනා ඒ තරම් ආපස්සට යළිත් රට ඇදගෙන යනවාට එරෙහිව දැන් කළ යුතු දේ ගැන එකඟතාවක් හෝ වැඩපිළිවෙළක් හෝ ඇතිකරගන්නේ නැතිව, තනි තනියෙන් අනාගත ඒකාධිපතියා පැරදවීමට පිටපොට ගසමින් සිටිති.

ගෝඨාගේ අලූත්ම මුට්ටිය: අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි

 

විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය හැරුණු කොට හිට්ලර්ට ආරෝපණය කළ හැකි වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත. කොටින්ම, තව කෙනෙකුට අනුකරණය කිරීමට සුදුසු කිසිවක් නැත. ඔහු මොන පැත්තකට හරවා බැලූවත්, ඔබට පෙනෙන්නේ ඝාතකයෙකි. උන්මත්තකයෙකි. අමනුස්සයෙකි. මීට වෙනස් ඕනෑම අර්ථයක් හිට්ලර් නැමැති නාමයේ ඇතොත් උපුටා පෙන්වන්නැයි අස්ගිරියේ අනුනායකගෙන් හෝ ‘වියත් මගේ’ නායකගෙන් මුලින්ම ඉල්ලා සිටිමි.

පසුගිය දවසක, වෙඬරුවේ උපාලි නැමැති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක භික්ෂු නමක් ගෝඨාභය රාජක්ෂගේ 69 වැනි උපන් දින උත්සවයට සහභාගි වෙමින් පැවැත්වූ ධර්ම දේශනාවකදී, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන්නේ හිට්ලර් කෙනෙකු නම්, ඒ හිට්ලර් බවට පත්වී රට ගොඩගන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවක් වාර්තා විය. ඒ නාමය මොන සන්දර්භයක පාවිච්චි කළත්, ඒ මගින් ඇති කළ හැක්කේ අර්ථ දෙකක් පමණකි. එකක් විය හැක්කේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න එපා යන්නයි. අනික වන්නේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න යන්නයි.

හිට්ලර් කෙනෙකු නොවන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් එවේලේ ඉල්ලා සිටි බවක් මේ හිමියන් දැනටත් නොකියන නිසා, අනිවාර්යයෙන්ම ඒ ‘ශ‍්‍රීමත් හිට්ලර්’ නාමය මේ හිමියන්ගේ ශ‍්‍රී මුඛයෙන් පිටවන්ට ඇත්තේ මොන අර්ථයකින් ද යන්න වටහා ගැනීම අසීරු නැත. ශාසන ඉතිහාසයෙන්ම උදාහරණයක් ගත්තොත්, ඔබ දේවදත්ත වන්නැයි කෙනෙකු යමෙකුට කියන්නේ නම්, එහි අරුත් දෙකක් තිබිය හැකි ද? ඉතින්, මිනීමරු දේශනාවක් කිරීමට අමතරව, එසේ කළ බව ප‍්‍රතික්ෂේප කරමින් දැන් මුසාවාදයකුත් දෙසාබෑම, මේ රටේ ප‍්‍රධාන සංඝ පාර්ශ්වයක මහනායක හිමිකමට පත්වීමට සිටින භික්ෂුවකට තරම් නොවන බව කිව යුතුය.

අස්ගිරි උන්නාන්සේලා මෙවැනි කතා නිතර කියති. ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් මේ අස්ගිරි පාර්ශ්වයේ නායක-අනුනායක හිමිවරුන් මෙන්ම, සංඝ කාරක සභා ආදි සියල්ල මගිනුත් රටට දේශනා කළ දේවල් තවමත් ජනතා මතකයේ තිබේ. අඩු වශයෙන් දළදා මාළිගාව ඉදිරිපිට පුංචි පාරවත් ජනතා සුභසිද්ධිය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා විවෘත කිරීමට මේ කියන පාර්ශ්වය තවමත් මාරාන්තික ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කොට සිටීමෙන් තමන්ගේ ජනතා-විරෝධී රදළ දැක්ම ඇති පදම් ප‍්‍රදර්ශනය කොට තිබේ.

හිට්ලර් ජන ඝාතකයෙකු බවට පත්කළ, දේශපාලනික සහ සමාජයීය හේතුවලට අමතරව, ඔහුගේ පුද්ගල ස්වභාවය සහ මනෝභාවය ගැන, කීර්තිමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යයන රාශියක් කොට තිබේ. එයින් එක් අංශයක් පමණක් පාඨකයාගේ සහ අර කියන අනුනායක භික්ෂුවගේත්, ‘වියත් මගේ’ නායකවරයාගේත් දැන ගැනීම සඳහා මෙහි සඳහන් කරමි.

හිට්ලර්ගේ පියා හිට්ලර් කුඩා කාලයේ ඔහුට සැලකුවේ ඉතා නපුරට ය. සමහර දවස්වල කස පහරවල් පනහකටත් වැඩි දඬුවම්වලට මේ පියා හිට්ලර් භාජනය කොට ඇත. අවසානයේ පියාගේ කස පහරවල් ඉදිරියේ නොහඬා ඉන්නට හිට්ලර් පුරුදු විය. ඔහු නොහඬා කෙළේ, පියාට ඉත සිතින් වෛර කිරීමයි. මේ පියා කවුද?

ඒ පියාගේ මව, එනම් හිට්ලර්ගේ ආච්චි, ගෘහ සේවිකාවකි. ඈ සේවය කෙළේ, ධනපති යුදෙව් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ය. අවිවාහකව සිටි ඈ හදිසියේ ගැබ් ගත්තාය. හිට්ලර්ගේ පියා උපදින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මැරෙන තෙක්, මේ දරුවාගේ පියා කවුදැයි අර ගැහැනිය හෙළි කෙළේ නැත. ඔහුගේ උප්පැන්නයේ පියෙකු ගැන සඳහනක් නැත. එහෙත් මේ දරුවාගේ අධ්‍යාපනය (විශ්වවිද්‍යාලය දක්වා) සහ වෙනත් සියලූ වියහියදම්, ඔහු විවාපත් වන තෙක්ම දැරුවේ, අර කියන යුදෙව් ජාතික ව්‍යාපාරිකයා ය.

දැන්, මේ පියාගෙන් දස වද විඳින පුංචි හිට්ලර් ගැන සිතා ගන්න. පියා කෙරෙහි වන වෛරය සමස්ත යුදෙව් ජාතිය කෙරෙහි යොමු වීම පුදුමයක් ද? හිට්ලර් සැලකුණේ ‘ආර්ය’ වංශිකයෙකු වශයෙනි. යුදෙව්වන් සැලකුණේ, ‘අනාර්යයන්’ වශයෙනි. එදා යුරෝපයේ යුදෙව්වෙකු යනු දැඩි සමාජ ගර්හාවට (දැන් මෙන්ම) ලක්වූ ජාතියකි. දැන්, තමාගේ ‘ආර්ය’ ලේ පිළිබඳ බරපතළ සැකයක් ඇතිව ඇතිදැඩි වන හිට්ලර්, යුදෙව්වන් කෙරෙහි යුරෝපා සමාජයේ පොදුවේ පැවති ඉහතින් කී ඓතිහාසික විරෝධයත් පාවිච්චියට ගනිමින් තමාගේ පෞද්ගලික වාඩුවත් පිරිමසා ගැනීමට බැලීම අස්වාභාවික නැත. එහිදී, තමා යුදෙව්වෙකු නොවන බව ලෝකයාට ඔප්පු කිරීමට ඔහුට උදක්ම අවශ්‍ය විය. ඒ සඳහා තිබුණු හොඳම ක‍්‍රමය වුණේ, යුදෙව්-විරෝධයක් හිතින් ගෙන, හැකි තාක් යුදෙව්වන් ඝාතනය කිරීමයි. ඒ අනුව, යුද්ධයට කිසි සම්බන්ධයක් නැති යුදෙව් ජාතිකයන් 60 ලක්ෂයක් (මහල්ලන් සහ ළමුන් ද ඇතුළුව) ඔහු ඝාතක කඳවුරුවල පිහිටි ගෑස් කාමරවලට යවා මැරුවේය. වැඩිම ඝාතන සංඛ්‍යාවක්, එනම් 11 ලක්ෂයක් ඝාතනය කෙළේ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් ඝාතක කඳවුරේ ය. මා මේ කඳවුර නැරඹීමට දෙවතාවක් ගොස් තිබේ. ඒ දෙවතාවේම මට දැනුණු මිනී ගඳ සහ ඔක්කාරය, ඉහත කී අනුනායක හිමියන්ටත් දැනෙන්ට සැලැස්විය හැකි ක‍්‍රමයක් විණි නම් මොන තරම් අගේදැයි ඔහුගේ ප‍්‍රකාශය ඇසීමෙන් මගේ සිතට වන්නේය.

කෙසේ වෙතත්, වෙඬරුවේ උපාලි භික්ෂුවගේ දේශනාව ගැන මම පුදුමයට පත්නොවෙමි. මුලින්ම මා නිර්දේශ කරන්නේ, මෙවැනි භික්ෂූන්, භික්ෂූන් වශයෙන් නොව, මනුෂ්‍යයන් වශයෙන් මුලින්ම පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්ම ස්කන්ධයටම මොහු සම්බන්ධයෙන් මේ දක්වා එය කළ නොහැකි වී ඇති බව මේ ප‍්‍රකාශයෙන් ස්ඵුට වෙයි. එබැවින්, අඩු වශයෙන්, 8 පංතියේ ප‍්‍රජාචාරය පොතවත් දැන් මොහුට පාඩම් කිරීමට සැලැස්විය යුතුව තිබේ.

කෙසේ වෙතත් මේ ආශ‍්‍රයෙන් ප‍්‍රධාන කරුණු තුනක් අප වෙන් කොට හඳුනා ගත යුතුව ඇත. එකක් වන්නේ, ලංකාවේ භික්ෂූ සාසනයේ පිරිහීම පිළිබඳ කාරණයයි. දෙවැන්න වන්නේ, එම පිරිහීම සමස්ත සමාජයේ මනෝභාවයක යම් නිරූපණයක් නොවන්නේ ද යන්නයි. තෙවැන්න වන්නේ, ඒ කරුණු දෙකම ප‍්‍රයෝජනයට ගනිමින්, ඒකාධිපතියෙකු බිහි කර ගැනීම සඳහා වන දේශපාලනික ව්‍යාපෘතියක් මේ වන විටත් දියත්ව ඇත් ද යන්නයි.

මේ හිමියන් තමන්ගේ උපන් දිනයේදී එවැනි ප‍්‍රකාශයක් කළ බව ගෝඨාභය රාජපක්ෂ පිළිගනී. එහෙත් එම ප‍්‍රකාශයේ සැබෑ අරුත, ඔහුට අනුව, රට විනයගත කිරීමේ හැකියාවක් ඇති නායකයෙකු පත්කර ගැනීමේ අධ්‍යාශයලූ. හිට්ලර් ජර්මනිය විනයගත කෙළේ කෙසේද යන්න ඔහු මුලින්ම අපට කියා දිය යුතුව තිබේ. ඊළඟට, බුදුන් වහන්සේ ධර්ම දේශනා කෙළේත් ප‍්‍රඥාවන්තයන්ටලූ. දැන්, තමා වැනි ප‍්‍රඥාවන්තයෙකු මේ කියන භික්ෂුවගේ දේශනාව නිවැරදිව වටහාගෙන ඇති බවත්, අනිත් මෝඩයන් පොට පටලවාගෙන ඇති බවත් ගෝඨාභය කියයි. (මේ ගෝඨාභයට කවුරු හෝ දිරච්ච ලණු දෙන බව පෙනේ. ගැඹුරු දේශනාවක් වශයෙන් සැලකූ අභිධර්මය බුදුන් දේශනා කෙළේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරමිනි. ඒ තම මෑණියන් වෙනුවෙනි. නිර්වාණය සඳහා අවශ්‍ය කරන සකල ධර්මය ඔහු දේශනා කෙළේ හුදීජනයා වෙනුවෙනි).

රටක් විනයගත කිරීමේ හැකියාව ඇති, දැඩි මතධාරී, එහෙත් ජන ඝාතකයන් නොවන කිහිප දෙනෙකු, කෙනෙකුට අවශ්‍යම නම්, ඉතා මෑත ඉතිහාසයෙන් සොයා ගත හැකිය. ඒ, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සහ මැලේසියාවේ මහතීර් මොහොමඞ් ය. රටවල් වශයෙන් ඒ දෙක අපට ඉතා ආසන්න ය. ජර්මනිය භූගෝලීය වශයෙන් පමණක් නොව, හිට්ලර්ගේ ඉතිහාසය සම්බන්ධයෙනුත් ඊට වඩා ඈත ය. එසේ තිබියදී අල්ලපු ගෙදර ආදර්ශය අමතක කොට වඩාත් ඈතට ගොස් හිට්ලර් කෙනෙකු ගැනම යමෙකු කියන්නේ නම්, ඒ කතාවේ තිබිය හැක්කේ එක අරුතක් පමණි. එහි නිසැකවම තිබෙන්නේ, ඔබ නිකංම අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් සිටියදී පවා සුදු වෑන්වලින් එදා පෑ ඒ පෙළහර, මේ රටේ ජනාධිපති පදවියට පත්ව ඊටත් වැඩියෙන් පෙන්වා, මේ රට මකවන්න යන්නයි.

මේ අතර ඩලස් අලහප්පෙරුමත් ගෝඨාභය ගැන චරිත සහතිකයක් දී තිබේ. එය, අර කියන භික්ෂුවගේ චරිත සහතිකයම වෙනත් වචනවලින් සහ වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමකි. එහි ‘හිට්ලර්’ යන වචනය සඳහන්ව නැත. එහෙත්, ගෝඨාභය යනු මස්මාළු තියා උම්බලකඩවත් නොකන ගුණවතෙකැ යි ඩලස් අලහප්පෙරුම අපට කියයි. ඔහුගේ දැන ගැනීම සඳහා ලෝක නායකයන් තුන් දෙනෙකු ගැන දළ විස්තරයක් කිරීමට කැමැත්තෙමි. එක් කෙනෙක් මස් මාළු කෑවේය. මත්පැන් බීවේය. නොනවත්වා සිගරට් බීවේය. ගැහැනුන් දෙන්නෙකු තියාගෙන සිටියේය. තව කෙනෙක්, අධික ලෙස මත්පැන් බීවේය. දවල් වන තෙක් නිදාගත්තේය. හොර ගෑනු තියාගෙන සිටියේය. තුන්වැන්නා, පදක්කම් ලත් රණවිරුවෙකි. මස්මාළු තියා උම්බලකඩවත් නොකෑවේය. එකම ගැහැනියකට මැරෙනකල් ආලය කෙළේය. පළමුවැන්නා, ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ය. දෙවැන්නා බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ය. තෙවැන්නා, ලෝකය විනාශ කළ, අස්ගිරි පාර්ශ්වයේ සහ ගෝඨාභයගේ වීරවර ඇඩොල්ෆ් හිට්ලර් ය.

හිට්ලර් ගැන ඔවා දෙන විට, එම හිට්ලර් අවසානයේ (සමස්ත ලෝකය පැත්තකින් තිබියේවා) ජර්මනියට පමණක් ඉතිරි කොට ගිය ලෞකික උරුමය පවා හිමියන් නොදන්නවා විය යුතුය. මුළු ලෝකයම අල්ලා ගැනීමට ගිය හිට්ලර් අවසානයේ විනාශ වන විට, එතෙක් තනි රටක් වශයෙන් තිබුණු ජර්මනිය, බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය වශයෙන් දෙකට කැඩුණි. එය යළි එක්සත් කර ගැනීමට අවුරුදු හැත්තෑවක්ම ගියේය.

දැන්, මේ භික්ෂුව ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දවසේ මෙවැනි දේශනාවක් කරන්නේ ඇයි? වර්තමාන යහපාලන ආණ්ඩුව ගැන පොදු කලකිරීමක් සාමාන්‍ය ජනතාව අතර මේ අවස්ථාවේ තිබේ. ඊට බොහෝ කරුණු හේතු වෙතත්, ඉන් එක් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ, මේ ආණ්ඩුව පණ නැති එකක් බව ය. ඒ තත්වය තුළ, විවිධ කතා මාර්ගයෙන්, දැඩි පාලකයෙකු පිළිබඳ අදහසක් එහෙන් මෙහෙන් මතු වෙනු දක්නට ලැබේ. මේ මනෝභාවය සමග, රාජපක්ෂ පාලන කාලයේ ගෝඨාභයගේ දැඩි චර්යාව පිළිබඳ ප‍්‍රසාදයකුත් ආලේප කරමින් තිබේ. ගෝඨාභය සහ ඔහුගේ ‘වියත් මග’ පසුගිය මාස ගණනාවක සිට මේ මුට්ටිය විවිධ වේශයෙන් දැම්මේය. ඉහත කී භික්ෂුව මෙවර එය හෙළුවෙන්ම කෙළේය. ඇත්තෙන්ම ඔහුට අප ස්තුතිවන්ත විය යුතුය. මන්ද යත්, ‘වියත් මග‘ සහ ගෝඨාභය වැනි ප‍්‍රපංච හරහා, අවස්ථාවක් ලදොත්, අනාගතයේ ලංකාව ගෙන යනු ඇත්තේ මොන දිසාවකට ද යන්න, වචන සිය දහස් ගණනින් පැහැදිලි කර දීමට අපට පැවරී තිබුණු දුෂ්කර කර්තව්‍යය, මේ භික්ෂුව තනි වචනයකින් රටට පැහැදිලි කර දුන් නිසා ය. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවාෟ හිට්ලර්ටත් එසේම වේවා

මහින්දගේ පොලිසිය පාරේ යමින් යහපාලන පොලිසියත් මිනී මරයි

අන්තිමේදී යහපාලන ආණ්ඩුව, පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කරන තැන දක්වාම පල්ලම් බැස්සේය.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනය කිරීම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ පාතාල මර්දන විලාසිතාව විය. එය ජනාධිපති හා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් රාජපක්‍ෂ දෙබෑයන්ගේ් අනුදැනුම හා අනුමැතිය මත එවකට පොලිසිය විසින් පවත්වාගෙන ගිය මිනී මරන ක‍්‍රමයකි. ඒ පොලිස් මිනීමැරුම් සාධාරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද තිරනාටක විසුළුසහගත වූත්, හාස්‍යජනක වූත්, ඒ සියල්ලටමත් වඩා ඉතා බිහිසුණු වූත් ඒවාය. අපේ කාලයේ අපි පාතාලේ නැති කළා කියමින් අද වහසිබස් දොඩවන රාජපක්‍ෂලා පාතාලය නැතිකළේ (ඇත්ත වශයෙන්ම පාතාලය හිටියේත් ඔවුන් එක්කමය.) මෙලෙස පොලිසිය ලවා සැකකරුවන් ඝාතනය කිරීමෙනි.
2015 ජනවාරියේදී ඒ ඒ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පලවාහරින්නට තිබුණු හේතු රාශියක් අතර එක් කාරණයක් නම් මේ ක‍්‍රෑර පොලිස් මිනීමැරුම්ය. අත්අඩංගුවේ සිටින්නන් මේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පත්කරගත්තේ මහින්ද රාජපක්‍ෂලාගේ ඒ ම්ලේච්ඡු ක‍්‍රමය ආපස්සට හරවන්නටය. එහෙත්, අද සිදුවී ඇත්තේ, මේ අසමත් නායකයන්ටද මහින්ද ගිය ම්ලේච්ඡ මාර්ගයේම යන්නටය.
මාතර කොල්ලය බිහිසුණු වන තරමට, ඊට වගකිව යුතු පුද්ගලයන් කෙරෙහි සමාජය තුළ විශාල වෛරයක් හා විරෝධයක් වගාදිගා වී තිබේ. කොල්ලකරුවන්ට එරෙහිව දිවි නොතකා සටන්කොට ඝාතනය වුණු පොලිස් නිලධාරියා ගැන සමාජය තුළ මහත් ගෞරවයක් මෙන්ම අනුකම්පාවක්ද ජනිත වී තිබේ. මේ ආවේගකාරී හැඟීම් සියල්ලේම එකතුව විසින් කියනු ලබන්නේ, මේ අපරාධකාරයන්ට ඒ අපරාධයේ විපාක විඳින්නට සැලැස්විය යුතු බවය.

එහෙත් එය හිතුමනාපේ කරන්නට බැරිය. යුක්තිය සාධාරණය ඉටුවිය යුත්තේ රටේ නීතියට අනුවය. ඒ නීතියට අනුව, අගතියට පත් පුද්ගලයාට මෙන්ම, අපරාධය කළ තැනැත්තාටද යුක්තිය සාධාරණය ඉටුවිය යුතුය. සැකකරු නියම අපරාධකරුද යන්න සැක හැර දැනගත යුතුය. එය කළ හැක්කේ අධිකරණය ඉදිරියේ පැවැත්වෙන සාධාරණ නඩු විභාගයකදී පමණි. මාතරදී සිදුවුණේ සැකකරුට යුක්තියක් ඉටු නොවීමයි. ඔහු අපරාධකරුදැයි සැකහැර දැන නොගෙනම ඔහුට දඬුවම් පැමිණවීමයි.

පැහැදිලිවම කිවහොත්, මාතර ස්වර්ණාභරණ කොල්ලයේ ප‍්‍රධාන සැකකරුගේ මරණය, පොලිසිය විසින් සැලසුම් සහගතව කරන ලද මිනීමැරුමකි. නිවෙසක සැඟවී සිටියදී සැකකරුවා අත්අඩංගුවට ගත් මොහොතේ පටන්, ඔහුට පොලිසිය සලකන අන්දම රූපරාහමුවලින් දුටු ඕනෑම පුද්ගලයකුට, ඔහුට ඊළඟ මොහොතේ වියහැක්කේ කුමක්දැයි, ඔහුගේ ඉරණම කුමක්දැයි පූර්ව නිගමනය කළ හැකි විය. එනම් මරණයයි. එය එසේම සිදුවිය. එහෙත්, ඒ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ලියන ලද පරණ යල් පැන ගිය තිරනාටකයකටම අනුවය. ‘සැකකරුවා, තමාගේ ඇඳුම් බෑගයක් පෙන්වන්නට කැළෑවකට ගෙනයයි. එහිදි සඟවා තිබුණු අත්බෝම්බයක් පොලිසිය දෙසට දමාගසන්නට ගිය විට පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි වැදී සැකකරු මියයයි.’ මේ මොන විහිළු කතාවක්ද?

මෙවැනි පොලිස් ඝාතන නිසා, අවමානයට අපකීර්තියට පත්වන්නේ පොලිසිය විතරක් නොවේ. අධිකරණයද ඒ තරමටම හෝ ඊටත් වඩා අවමානයට පත්වෙයි. හේතුව, පොලිසිය කියන ඒකපාර්ශ්වික කරුණු අසාගෙන සිට, මේ ඝාතනය පොලිසියේ ආත්මාරක්‍ෂාව සඳහා කළ ‘යුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයක් ලෙස’ තීන්දු කර අධිකරණ නිලමුද්‍රාව මහේස්ත‍්‍රාත්වරයා තැබීම නිසාය. මේ මිනීමැරුම් කිසිසේත් යුක්ති සහගත නැති බවත්, ආත්මාරක්‍ෂාව සඳහා කළ ඒවා නොවන බවත්, සැලසුම් කර කරන ලද ඝාතන බවත් මේ මහේස්ත‍්‍රාත්වරු හොඳින්ම දනිති. අත්බෝම්බය, පොලිසිය විසින් එතැනට ගෙනැවිත් දමන ලද එකක් බවත් හොඳින්ම දනිති. එහෙත්, අවසානයේ මේ පොලිස් මිනීමැරුම සාධාරණය කරති. රාජපක්‍ෂ පාලන කාලයේ තිබුණේත් මේ විදියට පොලිසියේ අය විතරක් කියන කියන දේ (අනෙක් පාර්ශ්වය වුණු සැකකරු දැන් මියගොස්ය.) අනුමත කරන නිකංම නිකං රබර් මුද්‍රාවක් බවට පත්වුණු ලජ්ජාසහගත අධිකරණයකි. ජනවාරි 8 වෙනසෙන් පසු, අධිකරණය ඒ අපකීර්තිය ක‍්‍රමයෙන් මකා ගනිමින් සිටියේය. එහෙත් දැන් බලන විට අධිකරණය ඒ කුණුවළටම වැටී තිබේ.
රාජපක්‍ෂ ආණ්ඩුව ලෝකය පුරා ම්ලේච්ඡ හා ක‍්‍රෑර පාලනයක් හැටියට සැලකෙන්නට එක් හේතුවක් වුණේ 2012 නොවැම්බර් 9වැනිදා රාත‍්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේදී කරන ලද රඳවුවන් 27දෙනකුගේ සමූහ ඝාතනයයි. වැලිකඩදී රඳවුවන් ඝාතනය කිරීම, ලෝකය දැක්කේ සැලසුම්සහගත, ක‍්‍රෑර සමූහ ඝාතනයක් හැටියට මෙන්ම රජයම තමා භාරයේ සිටින රඳවුවන් ඝාතනය කිරීමක් හා ඔවුන්ට ආරක්‍ෂාව සැපයීමට අසමත් වීමක් හැටියටය. යහපාලන ආණ්ඩුව බලයට ආ විගස වැලිකඩ සමූහ ඝාතනය ගැන සොයන්නට කමිටු පත්කොට, වාර්තා ලබාගෙන, දැන් ඒ පිළිබඳ විමර්ශනය කර අවසානයේ විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යවා තිබේ. වැලිකඩ එලෙස හෙළාදුටු මේ ආණ්ඩුවට මාතරදී කළ සැකකරු ඝාතනය වැනි දෙයක් කරන්නට කොහොමටත් දේශපාලනික අයිතියක් නැත. කුමන තරමේ අපරාධකරුවකු වුණද, මේ සැකකරු සිටියේ පොලිස් අත්අඩංගුවේය. හෙවත් රජයේ භාරයේය. එවැනි කෙනකු රජයේම නිලධාරියකුගේ වෙඩි පහරින් ඝාතනය කරන්නේ කොහොමද? ඒ අතින් වැලිකඩ ඝාතනය හා මේ මාතර ඝාතනය වෙනස්වන්නේ සංඛ්‍යාවෙන් පමණි. එහෙත්, එවිට මහින්ද රාජපක්‍ෂගේ මිනීමරු පොලිසිය හා යහපාලන පොලිසිය එක සමාන වෙයි.

තමන් වෙනස් කරන්නට ආ ක‍්‍රමය, තමන් විසින්ම පාවිච්චි කිරීම ගැන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, තමන්ට ඡන්දය දුන් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතුය. වැලිකඩ බන්ධනාගාර ඝාතනය ගැන සෙවීමට කමිටුවක් පත්කළාක් මෙන්, මෙහිදීද නීති විරෝධී දෙයක්, අපරාධයක් සිදුවී ඇත්දැයි සොයන්නට ස්වාධීන පරීක්‍ෂණයක් කළ යුතුය. බලයට පත්වී අවුරුදු තුනක් යන තෙක් සංවිධානාත්මක අපරාධ හා එම කල්ලි මර්දනය කරන්නට අසමත්වීම නිසා එන අපවාදයෙන් බේරීමට අද ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ, ම්ලේච්ඡු රාජපක්‍ෂ ක‍්‍රමයටම පසුබැසීමටය.

පොලිස්පතිවරයා පාලිසිය සැලසුම්කොට මේ අපරාධය කළාදැයි සොයන්නට පරීක්‍ෂණයක් ඇරඹිය යුතුය. එසේ නොවන තාක්, සැකකරුවන්, සිරකරුවන් ඝාතනය කිරීමෙන් රාජපක්‍ෂවරුන්ගේ අත්වල ලේ ගෑවුණු පරිදිම, මේ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අත්වල ලේ ගෑවෙනු ඇත. එසේ සිදුවන ආණ්ඩුවක් කිසිසේත් යහපාලන ආණ්ඩුවක් නොවේ. මේ මොහොතේ මේ අයුක්තියට එරෙහිවන්නට ආණ්ඩුවේ කශේරුවක් තිබුණු එකම ඇමතිවරයා වන මංගල සමරවීරගේ වචනයෙන්ම කිවහොත්, දැන් තිබිය යුත්තේ යහපාලන ආණ්ඩුවක් මිස යමපාලන ආණ්ඩුවක් නොවේ.

මහින්ද චීනයට රට උගස් කළේ මෙහෙමයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ සම්පූර්ණ හෙළිදරව්ව මරියා අබි-අබීබ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත

0

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, ලංකාව නිතර ණය ලබා ගන්නා ඉන්දියාව වැනි රටවල් බැහැ කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, රාජපක්ෂ යටතේ ලංකාවේ ණය කන්දරාව එක දිගට ගොඩ ගැසෙමින් තිබුණත්, චීනය ‘හා’ කීවේය.
චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් වන ‘චයිනා හාබර් එන්ජිනියරිං සමාගම’ සමග කෙරුණු සාකච්ඡුා සහ වසර ගණනාවක ඉදිකිරීම්වලින්ද පසුව, කල්තියා පෙරදැක තිබූ පරිදිම, ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය බෙහෙවින් අසාර්ථක විය. ලෝකයේ දැනට තිබෙන ඉතාම කාර්ය බහුල සහ දස දහස් ගණන් නැව් යන එන සාගර මාර්ගයක පිහිටි මේ වරායට 2012 දී ආවේ නැව් 34 ක් පමණි.
ඊළඟට මේ වරාය චීනයේ අයිතියට පැවරුණේය.
රාජපක්ෂ මහතා 2015 දී ගෙදර යැවුණි. ශ‍්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුව, ඔහු අරගෙන තිබූ ණය ගෙවීමට දඟලයි. ගොඩ ඒමට බැරි දැඩි පීඩාවට යටත්ව, මාස ගණන් චීනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 99 අවුරුදු බද්දක් යටතේ එම වරායත්, ඒ අවට අක්කර 15,000කුත් චීනයට පැවරීමට අලූත් ආණ්ඩුවට සිදු විය.
චීනය අත්කර ගත් මේ අලූත් දේපළ සමග, ඔවුන්ගේ ප‍්‍රතිවාදියා වන ඉන්දියාවේ වෙරළෙන් සැතපුම් දෙතුන් සීයක් ආසන්නයේ තම බලය පිහිටුවා ගැනීමට චීනයට හැකියාව ලැබුණු අතර, ඉතා වැදගත් වාණිජ සහ හමුදාමය සාගර තීරුවක් මත උපාය මාර්ගිකව පය ගසා ගැනීමටත් චීනයට අවස්ථාව ලැබුණි. මේ සිද්ධිය, චීනයේ ණය සහ වෙනත් ආධාර මාර්ගයෙන් සහ ඒවා නැවත අය කර ගැනීම මාර්ගයෙන් ලෝකය පුරා සිය බලය පතුරුවාලීමේ චීන සැලැස්මේ ස්වභාවය පෙන්නුම් කරන අගනා නිදර්ශනයකි.
චීන ජනාධිපති ක්සී ජින්පින්ගේ පි‍්‍රයතම ලෝක ව්‍යාපෘතියක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වශයෙනි. (ආසියා-ශාන්තිකර කලාපය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපය පමණක් නොව, අප‍්‍රිකාව පවා ඈඳා ගැනෙන යෝධ යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම මෙහි අරමුණ විය. එය මුළුමණින් කෙරෙන්නේ චීන ණය ආයෝජන යොදා ගැනෙන ජගත් ව්‍යාපෘතියක් වශයෙනි-පරිවර්තක). ඊට එරෙහිව එල්ල වෙමින් තිබූ දැඩි විවේචන, මේ ණය වළල්ල හරහා තවත් තීව‍්‍ර වුණේය. ලෝකය පුරා තිබෙන දුර්වල රටවල් මේ ණය උගුලට ඈඳා ගැනීමේ ගතිකත්වය එකී ආයෝජක සහ ණය ව්‍යාපෘති අස්සේ සැඟව ඇති බව ඒ මගින් ලෝකයාට අනාවරණය විය. එයම, අමාරුවෙන් ගොඩනැගෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහ පරිමාණ දුෂණයට සහ ඒකාධිපති චර්යාවන්ට උඩගෙඩි දෙන බවත් පෙනී ගියේය.
ශ‍්‍රී ලාංකීය, ඉන්දීය, චීන සහ බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණන් තිස්සේ පැවති සාකච්ඡා අනුසාරයෙන් සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් සහ වෙනත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව, චීනය සහ ඒ යටතේ වන සමාගම්, මුදල් නැති පුංචි රටවල් තුළ තම අණසක පතුරුවාලීම සඳහා වන වාතාවරණය ගොඩනගා ගන්නේ කෙසේද යන අඳුරු චිත‍්‍රය මේ මගින් පැහැදිලිව විද්‍යමාන විය.
වරාය ගොඩනැගීමේ චීන ආධාරවලින් විශාල කොටසක්, 2015 පැවති මැතිවරණවලදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාර සහ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් කෙලින්ම යෙදවී ඇත. ඒ සෑම අවස්ථාවකදීම චීන කොන්දේසිවලට ඒ මහතා එකඟතාව පළ කොට ඇත. මෙසේ ගෙවීම් කරන ලද බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි සහ ඒ සඳහා නිකුත් කරන ලද චෙක්පත් ආදිය පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක තොරතුරු ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දැක ගැනීමට ලැබුණි.
ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ හුදෙක් වාණිජ අවශ්‍යතා පමණකැ යි චීන බලධාරීන් සහ වෙනත් විශ්ලේෂකයන් මොන තරම් කියා සිටියත්, මේ වරායේ පිහිටීම අනුව, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් චීනයට ඇති අවශ්‍යතාව සහ උපාය මාර්ගි ක අවශ්‍යතා පිළිබඳව, මුල පටන්ම සාකච්ඡුා පැවැත්වුණු බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහු පෙන්වා දෙති.
වරාය සඳහා සැපයෙන ණය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ඇති කර ගැනීමත්, ආපසු ණය ගෙවා දැමීමේ කාලය ගැන යළි සලකා බැලීමත්, තවත් මූල්‍යාධාර අවශ්‍ය වීමත් සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡුා ගෙන යාම මුල පටන්ම දුෂ්කර කාර්යයක් විය. මෑතකදී මේ ණය කෙසේ හෝ ඉවරයක් කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන් උත්සාහ කරන විට, ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කර දෙනවා වෙනුවට චීනය බැලූවේ වරායේ අයිතියේ පංගුකාරීත්වය තමන්ට ලබා ගැනීමට ය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ සාකච්ඡුා මාර්ගයෙන්, දළ වශයෙන් ඩොලර් බිලියන 1 ක ප‍්‍රමාණයක් කපා හැරීමට ලංකා ආණ්ඩුව සමත්ව තිබේ. එහෙත්, කලින් තිබුණාටත් වඩා, චීනය කෙරෙහි වන ලංකාවේ ණයගැතිභාවය මේ වන විට උග‍්‍ර වී ඇත. මන්ද යත්, මේ වරාය ව්‍යාපෘතියට අමතරව වෙනත් ලබාගෙන ඇති චීන ණය ගෙවීමට ඇති නිසාත්, ඒවායේ පොලී අනුපාතික, වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ණය අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා නිසාත් ය.
මේ ලිපිය සකස් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ අප විසින් කරන ලද නොයෙක් ඉල්ලීම්වලට රාජපක්ෂ මහතා ප‍්‍රතිචාර දැක්වූයේ නැත. ‘චයිනා හාබර් සමාගමේ’ නිලධාරීන් ප‍්‍රතිචාර දැක්වූයේ ද නැත.
කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ගණන්හිලව් ඔස්සේ ඇඳෙන චිත‍්‍රය ඉතා බරපතළ ය: මේ වසරේ ආණ්ඩුවට ලැබීමට නියමිත ආදායම ඩොලර් බිලියන 14.8 කි. එහෙත් ලෝකය පුරා විවිධ තැන්වලින් ලබාගෙන ඇති ණය වාරික පියවීම සඳහා ඒ වසර තුළ ලංකාවේ රජයට අවශ්‍ය කරන මුදල ඩොලර් බිලියන 12.3 කි.
‘රටක් යටත් කර ගත හැක්කේ, එක්කෝ කඩුවෙනි. නැත්නම් ණය දීමෙනි’ යැයි ජෝන් ඇඩම්ස් කියා ඇති බව, බොහෝ විට ඉන්දියානු ආණ්ඩුවට ආර්ථික උපදෙස් සපයන විශ්ලේෂකයෙකු ද, නව දිල්ලියේ පිහිටි ‘ප‍්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ’ බුද්ධි සාමාජිකයෙකු ද වන බ‍්‍රහ්මා චෙලනෙයි කියයි. ශ‍්‍රී ලංකාවේ ඇරියුමකින් තොරව, මේ වරාය හමුදාමය අරමුණු සඳහා පාවිච්චි කිරීමට නොහැකි බව චීන-ශී‍්‍ර ලංකා ගිවිසුමේ සඳහන් වුව ද, ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ශ‍්‍රී ලංකාව හිර වෙන තරමට, හම්බන්තොට වරාය වැනි සම්පතක් චීනය විසින් තමන්ගේ හමුදාමය අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ගැන ඉන්දියානු බලධාරීහු බිය වෙති. ‘හම්බන්තොට වරාය සඳහා ආයෝජනයක් කිරීමට චීනයට තිබිය හැකි යැයි සිතිය හැකි එකම හේතුව වන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකි: ඔවුන් තමන්ගේ ‘මහජන විමුක්ති හමුදාව’ එහි ගෙන ඒමට ඇති අවකාශය එහි ඇති බව’, වරක් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ ද, හම්බන්තොට වරාය ගොඩනගන අවස්ථාවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයා වූ ද, ශිවසංකර් මෙනන් කියයි.

බඩ බැඳගත් සගයෙක්
ශ‍්‍රී ලංකාව සහ චීනයට, දීර්ඝ කාලීන මිත‍්‍ර සබඳතාවක් ඇත. චීන විප්ලවයෙන් පසු බලයට පත් විප්ලවකාරී ආණ්ඩුව, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප‍්‍රථම රටක් වුණේ ලංකාවයි. ඊටත් වඩා, ශ‍්‍රී ලංකාවේ පැවති මෑත කාලීන යුද්ධයේදී චීනය ලංකාවට නැතිවම බැරි රටක් බවට පත්විය.
2005 දී බලයට පත් රාජපක්ෂ මහතා, යුද්ධයේ අවසාන කාලය වන විට මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ලෝකයෙන් කොන් වන්නට විය. එම තත්වය තුළ ශ‍්‍රී ලංකාව, තමන්ට අවශ්‍ය කරන ආර්ථික ආධාර, හමුදා ආම්පන්න සඳහා පමණක් නොව, තමන්ගේ රටට එල්ල විය හැකි එක්සත් ජාතීන්ගේ සම්බාධක අවදානම ඉදිරියේ උදව් පතා ද තව තවත් චීනය පැත්තට හැරුණි.
2009 දී යුද්ධය අවසන් විය. එහෙත් යුද්ධයෙන් ඇතිව තිබූ මහා ව්‍යාකුලත්වය සහ අවුල තුළ, රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුල සිය බලය තහවුරු කර ගත්තේය. රාජපක්ෂ කාලයේ රටේ අමාත්‍යාංශවලින් සෑහෙන ප‍්‍රමාණයකුත්, ආණ්ඩුවේ මුළු වියදමින් සියයට 80 ක් පමණ ප‍්‍රමාණයකුත් හසුරුවන ලද්දේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන් තුන් දෙනා විසිනි. චීනය වැනි රටවල් කෙලින්ම ගනුදෙනු කෙළේ ඔවුන් සමග ය.
ඉතිං, ජනාධිපතිවරයා වැඩි හාහෝවක් නැති තමන්ගේ ගම් ප‍්‍රදේශය වන හම්බන්තොට පැත්තේ අලූත් වරාය සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ කල්පනාවක් ඇති කර ගත් විට, එය වැළැක්විය හැකි බාධක අල්ප විය. බි‍්‍රතාන්‍යයේ භූමි ප‍්‍රදේශයෙන් කාලක් වන, මිලියන 22 ක ජනතාවක් වෙසෙන ශ‍්‍රී ලංකාව වැනි රටක කොළඹ වරාය සමෘද්ධිමත්ව පවතිද්දී සහ එම වරායම තවත් වැඩි දියුණු කර ගැනීමේ විභවයන් පවතිද්දී, දෙවැනි වරායකුත් ඇති කර ගැනීමේ ඥානාන්විතභාවය මුල පටන්ම නිලධාරීහු ප‍්‍රශ්න කළහ. ඊටත් අමතරව, ආණ්ඩුව විසින්ම ගෙන්වා ගන්නා ලද විශේෂඥ සාධ්‍යතා වාර්තාවලින් පෙන්වා දී තිබුණේත්, හම්බන්තොට ගොඩනැගෙන වරායක ආර්ථික වාසියක් තිබිය නොහැකි බවයි.
‘ඔවුන් මුලින් ආවේ අපි ළඟට. අපේ සමාගම් කිව්වා බැහැ කියලා’ යි ඉන්දියාවේ ශිවසංකර් මෙනන් කියයි. ‘එදා ඒක ආර්ථික වශයෙන් නිෂ්ඵල දෙයක්. අදත් ඒක නිෂ්ඵල දෙයක්.’ එහෙත් රාජපක්ෂ මහතාට කෙසේ හෝ එය අවශ්‍ය විය. එපමණක් නොව, ප‍්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කරමින් එදා ඔහු කියා සිටියේ, සියල්ලන් එපා කියද්දී තමන් ඒ වැඬේට අත ගැසූ බවයි. දැන් ඊට උර දීමට චීනය සිටින බවටත් ඔහු කයිවාරු ගැසුවේය.
මේ ව්‍යාපෘතියට සම්බන්ධ බලධාරියෙකු කියන පරිදි, ‘ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය’ ඉතා සුපරීක්ෂාකාරීව, ආර්ථික වශයෙන් බුද්ධිමත් සැලසුමක් සකස් කිරීමට 2007 දී පටන්ගෙන තිබේ. ඒ සැලසුමට අනුව, 2010 වන විට වරාය ආශ‍්‍රිතව සීමිත ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමටත්, විශාල පරිමාණයෙන් වරාය ව්‍යාපෘතිය තවත් ව්‍යාප්ත කිරීමට කලින්, ලාබ ගලා එන බවට සහතිකයක් ඇති කර ගැනීමටත් අදහස් කෙරී ඇත.
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘එක්සිම්’ බැංකුවෙන් ඩොලර් මිලියන 307 ක ණයක් ලබා ගන්නා ලදි. එහෙත් ඒ ණය ප‍්‍රමාණය ලබා දීම සඳහා චීනයේ ‘චයිනා හාබර් සමාගමට’ හම්බන්තොට වරාය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව භාර දිය යුතු බව චීනය කියා ඇති බව, ඒ දිනවල ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් වුණු කේබල් පණිවිඩයක් හරහා, විකිලීක්ස් අනාවරණය කරගෙන තිබේ.
එය, ලෝකය පුරාම ඇති තමන්ගේ ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් කරන පොදු කොන්දේසියකි. විවෘත ටෙන්ඩර් කැඳවීමකට ඒ කිසි රටකට චීනය ඉඩ දෙන්නේ නැත. මේ කලාපයේ නිලධාරීන් පෙන්වා දෙන පරිදි, චීනය ඩොලර් බිලියන ගණන් ණය සපයයි. එහෙත් ඒ, අදාළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් සහ දහස් ගණන් චීන සේවකයන් යොදා ගන්නා බවට වන සහතිකයක් මත ය.
චීන ණයවලට ඈඳෙන තවත් කොන්දේසි තිබේ. ඒවා අතර, මුල පටන්ම, හම්බන්තොට වරාය සම්බන්ධයෙන්, චීනයේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ඇස යොමු වී තිබුණු බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙකු සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයෙකුව සිටි නිහාල් රොඩි‍්‍රගෝ කියන පරිදි, බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අවශ්‍යතාව, මේ සාකච්ඡුාවල මුල් වටයේදීම චීනය පෙන්වා දී ඇත. ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු කියන පරිදි, ‘ඔය පැත්තට කවුද එන්නේ, කවුද යන්නේ කියන එක ගැන අපිට දැනගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ’ යන්න චීනය ලංකාවට මුල පටන්ම පෙන්වා දී ඇති කාරණයකි.
ඊට පසු කාලයේ චීන නිලධාරීන් සහ ‘චයිනා හාබර් සමාගම’ ජනාධිපති රාජපක්ෂ සමග ඇති සම්බන්ධතා තවත් තර කර ගත්තේය. ඒ කාලය මුළුල්ලේම ඔවුන්ගේ කොන්දේසිවලට රාජපක්ෂ මහතා ඉතා සුවචව නතු වුණේය.
2015 මැතිවරණය ආසන්න වෙද්දී, සියලූ තානාපති සම්ප‍්‍රදායන් උල්ලංඝනය කරමින් ලංකාවේ සිටි චීන තානාපතිවරයා එදා විපක්ෂයට එරෙහිව රාජපක්ෂට ඡුන්දය දෙන්නැයි කියා ඉල්ලා සිටින තරමට, කොළඹ ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේ සේවය කළ ආවතේවකාරයන්ගෙන් පවා ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටින තරමට දුර දිග ගොස් තිබුණි. චීන ආණ්ඩුව සමග රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇති කරගෙන තිබූ ගිවිසුම් ආණ්ඩු වෙනසක් යටතේ තමන් වෙනස් කරන බවට එදා විපක්ෂය ගෙන ගිය ප‍්‍රචාරය ඔහු තුළ බියක් ඇති කරන්ට ඇත. ඒ අනුව, ජනවාරියේ ජනාධිපතිවරණය ළඟා වෙද්දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡුන්ද මෙහෙයුම කරා විශාල වශයෙන් චීන මුදල් ඇදී එන්නට විය.
ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවක අඩංගු, මේ පුවත්පතට දැක ගැනීමට ලැබුණු එක්තරා වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. ‘චයිනා හාබර් සමාගමේ’ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබා ගත් තොරතුරු ආදිය ඒ වාර්තාවේ සඳහන් වෙයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබේ. එයින් ඩොලර් 678,000 ක් ඡුන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප‍්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් විය. රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත.
මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහා ය. එම ගිණුමේ නම, ‘‘එච්.පී.ඞී.පී. දෙවැනි අදියර’’ යන්නයි. එච්.පී.ඞී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි.

චීන ජාලය
ලෝකය පුරා දඩිබිඩියේ ව්‍යාප්ත කරගෙන යන චීනයේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වැඩ සටහනට අවුරුදු පහකට ආසන්න කාලයක් ගතව තිබියදී, කොපමණ ගනුදෙනු ප‍්‍රමාණයක් තමන් විසින් කර තිබේද, රටේ මූල්‍යමය තත්වය කවරේද යන දේවල් පිළිබඳ ගණනයක් කිරීමට චීන නිලධාරීහු දැන් කටයුතු කරමින් සිටිති. ඒ ගැන තවම නිවැරදි චිත‍්‍රයක් ලැබී නැතැයි, චීනයේ එක් ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයෙක් කීය. මේ කිසිවෙකු, චීනයේ ප‍්‍රතිපත්ති ගැන, ප‍්‍රසිද්ධියේ කතා කරන්නේ නැත.
වෙනත් රටවල ව්‍යාපෘති සඳහා චීනය සපයන ණය සමග ඈඳී ඇති අල්ලස චීනයටම යම් බරක් වීමට ඉඩ ඇති බවට ඇතැම් චීන නිලධාරීහු දැන් කණස්සල්ල පළ කරති. විශේෂයෙන්, ඒ හේතුවෙන් චීනයට ලැබිය හැකි ලාභ තීරුව අඩු වන බව ඔවුන්ගේ මතයයි. චීන ජනාධිපතිවරයා ද මේ වසරේ කරන ලද එක් දේශනයකදී ඒ කාරණය ගැන සඳහන් කොට තිබේ. ‘ඒ එක්කම අපි අපේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ ගොඩනැගීමේ වැඩපිළිවෙල තුළ, දුෂණ-විරෝධී ක‍්‍රමවේදයක් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගන්න ඕනෑ.’ යැයි ඔහු එහිදී කියා තිබේ.
බංග්ලා දේශය උදාහරණයට ගත්තොත්, ‘චයිනා හාබර් සමාගම’ අනාගත කොන්ත‍්‍රාත් සඳහා ජනවාරියේ සිට තම රටේ තහනම් කෙරෙන බව එරට නිලධාරීහු කියති. හේතුව, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුට මෙම සමාගම අල්ලස් දීමට තැත් කිරීමයි. තේ පෙට්ටියක ඩොලර් 100,000 ක මුදලක් දමා එක් නිලධාරියෙකුට දීමට ගොස් මේ සමාගම හසු වී තිබේ. එසේම, ‘චයිනා හාබර් සමාගමේ’ මව් සමාගම වන ‘චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට‍්‍රක්ෂන් සමාගමට’, 2009 සිට අවුරුදු හතක කාලයක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබීම තහනම් කොට තිබේ. හේතුව, එම සමාගම පිලිපීනයේ කරන ලද දුෂණ ක‍්‍රියා හෙළිදරව් වීමක් නිසා ය.
ශ‍්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමේ නිරස අත්දැකීමෙන් පසු එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ නැමැති චීනයේ ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතිය, හුදෙක් මහද්වීප තුනක සංවර්ධනය ඉලක්ක කොට ඇති කරගෙන යන්නක් නොවන බවයි.

කොහේටවත් නැති වරායක්
ශ‍්‍රී ලංකාවේ ගිනිකොන වෙරළබඩ හම්බන්තොට යනු ජනශූන්‍ය, තවමත් කැලෑබද ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයේ චීන ණයවලින් ගොඩනැගුවේ මේ කියන වරාය පමණක් නොවේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ද එහි ගොඩනැගුණි. එම ක‍්‍රීඩාංගණයේ ආසන සංඛ්‍යාව, ඒ නගරයේ ජනගහනයටත් වැඩි ය. එසේම එහි විශාල ගුවන් තොටුපොළක් ද ගොඩනැගුණි. එම ගුවන් තොටුපොළට පැමිණි ඩුබායි ගුවන් සමාගමේ අවසාන ගුවන් සේවයත් මේ මාසයේ සිට නතර කෙරුණි. එසේම මේ මාර්ගයේ ඉදි කෙරුණු දැවැන්ත මහා මාර්ගවල දැන් අලි ගැවසෙති. ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට ඒ මාර්ගය පාවිච්චි කරති.
රාජපක්ෂ මහතාගේ උපදේශකයන් සැලසුම් කොට තිබුණේ, හම්බන්තොට වරාය තවත් පුළුල් කිරීමට කලින්, ඒ සඳහා තවත් ණය ගැනීමට කලින්, ලාභ ලැබෙන ව්‍යාපෘතියක් බවට එය පත් කිරීමට ය. එහෙත් 2009 දී ජනාධිපතිවරායට ඉවසිල්ලක් නැති විය. ඊළඟ වසරට ඔහුගේ 65 වැනි උපන් දිනය යෙදී තිබුණි. එය සැමරීම සඳහා විශාල මගුලක් ඔහුට අවශ්‍ය කෙළේය. වරාය විවෘත කිරීම ඔහු යොදාගත්තේ ඒ වෙනුවෙනි. ඒ සමගම, වරාය අධිකාරියේ සැලසුමට එහා යමින් තවත් අවුරුදු දහයක කාලයක් සඳහා එය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් ද ඔහු පටන් ගත්තේය.
නියමිත කාලයට වැඩ අවසන් කිරීම සඳහා චීන කම්කරුවෝ දවල් ? දෙකේ වැඩ කළහ. එහෙත් පොළොව හාරන විට, විශාල ගලක් මතු වුණි. එයින් ප‍්‍රවේශය ඇහිරුණි. තෙල් නෞකා වැනි විශාල නැව්වලට ඒ නිසා වරායට ඇතුළු විය නොහැකි විය. මේ වරාය ව්‍යාපෘතියේ ව්‍යාපාරික අංශය රැුඳී තිබුණේම එවැනි නෞකාවලින් උපයා ගැනීමට අපේක්ෂා කළ ආදායම් මත ය.
ජනාධිපතිවරයා සමග කෝන්තර ඇති කර ගැනීමට නොකැමැති වූ වරාය අධිකාරියේ නිලධාරීහු දිගටම වැඬේ කරගෙන ගියහ. ඒ අනුව, 2010 නොවැම්බර් 18 වැනි දා, එනම් රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා මහා මංගල්‍යයකින් වරාය විවෘත කෙරුණි. එහෙත් මහා ගලේ බාධාව හේතු කොටගෙන කිසි ව්‍යාපාරයක් නැතිව සිටීමට වරායට සිදු විය.
ඊට වසරකට පසු ‘චයිනා හාබර් සමාගම’ මේ ගල කැඩුවේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් විය. එය ඉතා අධිකතර මිලකි. තානාපති නිලධාරීහු සහ රජයේ නිලධාරීහු ඒ ගැන පුදුමයට පත්වූහ. මේ සමාගම බොරු ගණන් හිලව් දමන්නේ ද, එසේත් නැත්නම් රාජපක්ෂ මහතාටත් එයින් කුට්ටියක් ලැබෙන්නේ ද යන්න ගැන ඇතැම්හු සැක කළහ.
2012 වන විට, තමන් වෙත නැව් අද්දා ගැනීමට වරාය බැලූවේය. එහෙත් නැව් වැඩි කැමැත්තක් දැක්වූයේ ළඟ පිහිටි කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. මේ අතර වරාය තවත් ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒ සඳහා වන ඉදිකිරීම් සඳහා තවත් වියදම් දැරීමට සිදු විය. එවිට ආණ්ඩුව කෙළේ, ලංකාවට වාහන ප‍්‍රවාහනය කෙරෙන නැව්, කොළඹ වෙනුවට හම්බන්තොට ගොඩබෑමට නියෝග කිරීමයි. එසේ තිබියදීත් 2012 දී එම වරායට ආවේ නැව් 34 ක් පමණි. එය කොළඹ වරාය සමග සැසඳුවොත්, ඒ වසරේ එම වරායට පැමිණ ඇති නැව් ප‍්‍රමාණය 3667 කි.
අපි ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ ජාතික සැලසුම් භාර ඇමතිවරියට කතා කරලා මං ඇහැව්වා, හම්බන්තොට වරාය හදන්න තිබිච්ච සාධාරණ හේතුව මොකක්ද කියලා,’ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කීය. ‘අපිට කිව්වා කරන්න කියලා. ඉතිං අපි කළා’ යන්න ඇගේ උත්තරය වීලූ.
වරාය තවත් විශාල කිරීමට තදින් වුවමනා කළ රාජපක්ෂ මහතා නැවත 2012 දී චීන ආණ්ඩුවෙන් තවත් ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටියේය. එවරත් චීනය ‘හා’ කීවේය. එහෙත් මෙවර කොන්දේසි වඩාත් බරපතළ විය. මුලින් ගත් ඩොලර් මිලියන 307 ක ණය ප‍්‍රමාණය ලැබුණේ, විචල්‍ය පොලී අනුපාතිකයක් මත ය. ඒ අනුව, 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු ඇතිව තිබූ තත්වය තුළ, සාමාන්‍යයෙන් එය සියයට 1-2 අතර ප‍්‍රමාණයක් විය. (සංසන්දනයක් වශයෙන් ගත්තොත් මේ කාලයේ ජපානය යටිතල ව්‍යාපෘති සඳහා දෙන මේ ආකාරයේ ණයවල පොලී අනුපාතිකය වුණේ, සියයට 0.5 කටත් අඩු ප‍්‍රමාණයකි).
එහෙත් දැන් අලූතෙන් ණයක් ද අවශ්‍ය කරන තිබෙන බැවින්, කලින් ගත් ණය සඳහා වන පොලිය සියයට 6.3 ක නිත්‍ය අනුපාතිකයකට ඉහළ දැමීමට සිදුවන බව චීනය කීවේය. නැවතත් රාජපක්ෂ මහතා ‘හා’ කීවේය.
ගොඩගැහෙමින් පැවති ණය ප‍්‍රමාණය සහ වැඩි වෙමින් පැවති ව්‍යාපෘති වියදම් ගැන එදා විපක්ෂය විශාල වශයෙන් උද්ඝෝෂණ කෙළේය. චීනය පිළිබඳ බරපතළ සැකසංකා මතු කෙළේය. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය විය. ජනාධිපති සිරිසේන මහතා යටතේ අලූතෙන් බලයට පත්වූ ආණ්ඩුවට, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු ගැන සොයා බැලීමේ ජනවරමක් හිමි විය. ඒ සමගම, මහා ණය කන්දරාවක් ද ඒ ආණ්ඩුවට හිමි විය. රාජපක්ෂ මහතා යටතේ රටේ ණය ප‍්‍රමාණය තුන් ගුණයකින් හෙවත්, ඩොලර් බිලියන 44.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. 2015 වසරේදී පමණක් අලූත් ආණ්ඩුවට ගෙවීමට තිබූ ණය වාරික ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.68 කි.
පවරා දීම
අලූත බලයට පත් ආණ්ඩුව, ඉන්දියාව, ජපානය සහ යුරෝපය දෙසට ශ‍්‍රී ලංකාවේ දිසානතිය යොමු කරවන්ට කැමැත්තක් දැක්වීය. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ චීනය දැරූ ස්ථානය, මූල්‍යමය වශයෙන් හෝ ආර්ථික වශයෙන් සැපිරීමට වෙන කිසි රටක් කැමති නැති බව ශ‍්‍රී ලංකාව වටහා ගත්තේය.
‘අපිට ලැබුණේ, ඕනෑකමින්ම හොම්බ බිම ඇනපු ආර්ථිකයක්. රටට ලැබෙන ආදායම මදි, ණය නෙවෙයි, ණයවල පොලිය ගෙවන්නත්.’ අලූත් ආණ්ඩුවේ පළමු මුදල් ඇමති රවි කරුණානායක මහතා කීය. ‘අපිට තව ණය ගන්න වුණා. අලූත් ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ, තියන ණය නිකංම ඉවරයක් කරන්න. ඒක රිලේ එකක් වගේ. රටේ ආර්ථික විනය කියන එක ඇති කරන කල් ණය ගන්න වෙනවා.’ ඔහු කීය.
ශ‍්‍රී ලංකාව ගිය වසර වන විට ඩොලර් බිලියන 3 ක් චීනයට ණය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි. එහෙත් ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙකු වන නිශාන් ද මෙල් කියන්නේ, ආණ්ඩුවේ ගිණුම් තුළ සටහන්ව නැති, වෙනම ව්‍යාපෘති වශයෙන් ලබා ගත් තවත් ණය ප‍්‍රමාණයක් පවතින බවයි. ඔහුගේ ගණන් බැලීම්වලට අනුව, ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් චීනයට ණය වී සිටින අතර, එම ප‍්‍රමාණය වසරක් පාසා වැඩි වෙයි. මේ වසරේ මැයි මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක් ‘චීන සංවර්ධන බැංකුවෙන්’ ලංකාව ණයට ගත්තේය. ඒ, කලින් ණය ගෙවා දැමීම සඳහා ය.
2016 දී අලූත් ආණ්ඩුවේ නිලධාරීහු චීන නියෝජිතයන් සමග සාකච්ඡුා ආරම්භ කළහ. ඒ, යම් අතරමැදි විසඳුමකට පැමිණීම සඳහා ය. එනම් ශ‍්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ ඇති වරාය පිළිබඳව ඇති බරෙන් නිදහස් වීමටත්, ගෙවීමට ඇති ණය පැහැර හැරීමට විය හැකි අවදානම වළක්වා ගැනීමටත් ය. එහෙත් එසේ කිරීමට නම්, වරායේ අයිතියෙන් ප‍්‍රධාන කොටසක් චීන සමාගමකට පැවරිය යුතු බව චීනය කියා සිටියේය. එසේ නොමැතිව, ලබා ගත් ණය කටුගා දැමීමට චීනය කෙසේවත් එකඟ නොවන බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහු කියති.
චීනය මෙහිදී ශ‍්‍රී ලංකාවට තේරීමක් දුන්නේය. එනම්, වරායේ අයිතිය පවරන්ට කැමති වන්නේ, චීනයේ මොන සමාගමකට ද යන්නයි. ‘චයිනා හාබර් සමාගම’ ද, නැත්නම් ‘චයිනා මර්චන්ට් පෝර්ට්ස්’ සමාගම ද යන්න තීරණය කිරීමට පමණක් ශ‍්‍රී ලංකාවට අවස්ථාව ලැබුණු බව, ඒ පිළිබඳ අවසාන ගිවිසුමේ සඳහන් වෙයි. එහි පිටපතක් අප සතුව ඇත. එහෙත් මෙය කිසි විටෙක ප‍්‍රසිද්ධියට පත්කොට නැත. කෙසේ වෙතත් ‘චයිනා මර්චන්ට්ස්’ සමාගමට කොන්ත‍්‍රාත්තුව ලැබුණේය. අනතුරුව ඔවුහු තවත් දේවල් ඉල්ලා සිටියෝය. වරාය අවට කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා අක්කර 15,000 ක් ඒ අතර වෙයි. වරායේ අයිතිය වෙනුවෙන් තමන් ශ‍්‍රී ලංකාවට ගෙවන ඩොලර් බිලියන 1.1 ක මුදලට සරිලන වටිනාකමක් වරායේ නැති බවට තර්ක කළ චීන නිලධාරීන්, එකී වටිනාකම ඇති කර ගැනීම සඳහා අමතර කාර්මික කලාපයක් අවශ්‍ය කරන බව පෙන්වා දී තිබේ.
ආණ්ඩුවේ ඇතැම් අය මේ ගිවිසුමට තරයේ විරෝධය පෑහ. එහෙත්, සාකච්ඡුාවලට සහභාගි වූ නිලධාරීන් කියන පරිදි, පාඩුව පිරිමසා ගැනීමේ වෙනත් මාර්ගයක් නොවුණි. අලූත් ගිවිසුම 2017 ජුලි මාසයේ අත්සන් තැබුණි. ඒ වසරේ දෙසැම්බර් මාසයේ සිට එය ක‍්‍රියාවට නැංවුණි. අදාළ ගිවිසුමේ වෙනත් කරුණුවලට අමතරව, වරායේ ක‍්‍රියාකාරීත්වය සහ ආදායම් සම්බන්ධයෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදි. ඒ අනුව, වටිනාකමින් සියයට 85 ක් ‘චයිනා මර්චන්ට්ස් පෝට්’ සමාගමට හිමි වන අතර, ඉතිරි සියයට 15 ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට හිමි වෙයි.
එහෙත් වරායවල් අත්පත් කර ගැනීම පිළිබඳ විශේෂඥ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ශ‍්‍රී ලංකාව සතු මේ කුඩා අයිතියෙන් කිසි වැඩක් නැති බවයි. මන්ද යත්, සේවකයන් සහ වරායේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ බලය පැවරෙන්නේ ‘චයිනා මර්චන්ට් පෝට්ස්’ සමාගමට වන බැවිනි. එසේම, වරාය පිහිටි බිමේ ස්වෛරීත්වයද ශ‍්‍රී ලංකාවට හිමි නොවේ.
ගිවිසුම ගැන මුලින් සාකච්ඡුා පැවැත්වෙන අවස්ථාවේ, වරාය සහ ඒ අවට ප‍්‍රදේශය චීනයේ හමුදා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ හැකි ද යන කාරණය නිශ්චිත නොවුණි. එහෙත් එය නිශ්චිතවම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් ලංකාවේ ආණ්ඩුවට දන්වා තිබේ. ඒ අනුව, අවසාන ගිවිසුම තුළ, ලංකාවේ ආණ්ඩුවේ පූර්ව-අවසරයකින් තොරව කිසි විදේශ රටක හමුදාමය අවශ්‍යතාවක් සඳහා ඒ බිම යොදා ගැනීම තහනම් කොට තිබේ. චීනයට අයත් නාවුක සබ්මැරීන් යාත‍්‍රා ඒ වන විටමත් ලංකාවට පැමිණ තිබුණු නිසා එවැනි වගන්තියක් ඇතුළු කිරීම කොහොමත් අත්‍යවශ්‍ය විය.

උපාය මාර්ගික වැදගත්කමක් ඇති කරුණු
කොළඹ වරාය ගැනත් චීනයට කැක්කුමක් තිබුණි. ‘චයිනා හාබර් සමාගම’ ඒ වන විට අලූත් පර්යන්තයක් එතැන ඉදි කරමින් සිටියේය. එකල එය හැඳින්වුණේ ‘කොළඹ වරාය නගරය’ වශයෙනි. ඒ ගනුදෙනුවෙනුත් චීනයට අක්කර 50 ක් ලැබී තිබුණි. ඒ අනුව, එම ඉඩම් කෑල්ලේ ස්වෛරීත්වයත් ලංකාව අහිමි කරගෙන තිබුණි.
මෙහි බරපතළකම අගේට ප‍්‍රදර්ශනය කෙරුණේ, රාජපක්ෂ මහතාගේ පාලන කාලය අවසානයේ 2014 දී ය. ජපාන අගමැති ෂින්සෝ අබේ ලංකාවේ සංචාරයක් සඳහා එන දවසේම චීන සබ්මැරීන් යානා කොළඹ වරායේ නැංගුරම් ලා සිටියේය. කලාපය පුරාම එය දුටුවේ, චීනයේ තර්ජනාංගුලියේ සංඥාවක් වශයෙනි.
අලූත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, නැවත වරක් කොළඹ වරාය චීන සබ්මැරීන් යානා සඳහා පාවිච්චි නොකරන බවට සහතිකයක් ඇති කර ගැනීමට බැලූවේය. වැඩියත්ම, එවැනි නෞකා මගින් බුද්ධිමය තොරතුරු එක්රැුස් කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාවට නැති නිසා ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට විශාල හයියක් තිබුණේ නැත.
දැන් හම්බන්තොට වරායත් චීනයට පවරා ඇති තත්වය තුළ එකී ප‍්‍රශ්නය අලූතෙන් පැනනැගී තිබේ. මන්ද යත්, දකුණු චීන මුහුදු තීරයේ එවැනි හමුදා ක‍්‍රියාකාරකම් නොකරන බවට චීනය ප‍්‍රතිඥා දී තිබියදීත්, එම ප‍්‍රදේශයේ චීනය හමුදා ක‍්‍රියාකාරකම්වල නියැලෙන බැවිනි. එහෙත්, හමුදා ක‍්‍රියාකාරීත්වයන් පැහැදිලිවම ගිවිසුම තුළ තහනම් කොට ඇති බව ශ‍්‍රී ලංකා බලධාරීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තවමත් චීනයට බරපතළ සේ ණයගැතිව සිටින තත්වයක් තුළ, එවැනි අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නම්මවා ගැනීමේ ඉඩක් චීනයට ඇති බව තවත් අය පෙන්වා දෙති.
ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන පරිදි, ‘ආණ්ඩු වෙනස් වීමට පුළුවන.’
දැන්, ශ‍්‍රී ලංකාවේ චීන මිත‍්‍රයා වන රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම සඳහා උත්සාහයක් ගනිමින් සිටීම ගැන ඔහු සහ වෙනත් අය සිටින්නේ බලවත් සැලකිල්ලෙනි. හිටපු ජනාධිපතිවරයාගේ අලූත් පක්ෂය පසුගිය පෙබරවාරියේ පැවති පළාත් පාලන ඡුන්දයෙන් විශාල ජයක් අත්කර ගත්තේය. ඊළඟ වසරේ ජනාධිපතිවරණය ඒමට නියමිතයි. 2020 දී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබේ.
කෙනෙකුට දැරිය හැකි ජනාධිපති වාර ගණන පිළිබඳ සීමාව නිසා රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමේ ඉඩක් නැති තත්වය තුළ, ඔහුගේ බාල සොහොයුරු, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් පන්දම අතට ගනිමින් සිටින බවක් පෙනේ.
‘ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ. එයා කියනවා නං, සහෝදරයන්ගෙන් කෙනෙක් කියලා, ඒ සහෝදරයාට ලොකු ඉඩක් ලැබෙනවා.’ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ, මහ බැංකු අධිපතිවරයා වූ ද, තවමත් එම පවුලට උපදෙස් සපයන්නෙකු වූ ද අජිත් නිවාඞ් කබ්රාල් කියයි. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු රටේ නායකයා නොවුණාට, රටේ ප‍්‍රධාන බල පදනම වෙන්නේ ඔහු.’

(2018 ජුනි 25 වැනි දා ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූHow China Got Sri Lanka to Cough Up A Port? නැමැති ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

විජේවීර හොයාගන්න බිරිඳ උසාවි යයි

0

අරුණ ජයවර්ධන
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගෙන අතුරුදහන් කිරීමට එරෙහිව, ඔහුගේ බිරිඳ වන වන්නකුවත්ත වඩුගේ ශ‍්‍රීමති චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ හබයාසු කෝපුස් පෙත්සමක් ගොනු කර තිබේ.
1989 නොවැම්බර් 12වැනිදා, උලපනේ ශාන්ත මරියා වතුයායේදී, අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි අත්තනායක නමින් පෙනීසිටි පටබැදගේ නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර, යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැුගෙන ගිය බවත් ඉන්පසු ඔහු දකින්නට නොලැබුණු බවත්, ව්‍යාජයැයි සිතිය හැකි මරණ සහතිකයක් පමණක් තමාට දකින්නට ලැබුණු බවත්, තම ස්වාමියාට සිදුවුණු දේ දැනගන්නට තමාට අයිතියක් ඇති බැවින්, විජේවීර මහතා අධිකරණය ඉදිරියට පැමිණවීම හෝ ඔහු අත්අඩංගුවට ගත් අයගෙන් විමසා ඔහුට සිදුවූ දේ ගැන තොරතුරු ලබාදෙන ලෙස චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය සිය පෙත්සමෙන් කියා සිටියි. නීතිඥ සේනක පෙරේරාගේ මාර්ගයෙන් ගොනුකර ඇති මේ හබයාස් කෝපුස් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විජේවීර මහතා අත්අඩංගුවට ගෙන රැුගෙන ගිය බි‍්‍රගේඩියර් ජානක පෙරේරා (මියගොස්), බි‍්‍රගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි හා ලූතිනන් කරුණාරත්න, ඇමති රන්ජන් විජේරත්න, ජෙනරාල් සිරිල් රණතුංග සමග නීතිපතිවරයා නම් කොට තිබෙන බව වාර්තා වෙයි.

අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය කියයි. 2015 මහින්දගේ ඡන්දවැඩවලට චීනය ඩොලර් ලක්‍ෂ 760ක් දීලා ඩොලර් 38,000ක් ප‍්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 678,000ක් ටීෂර්ට්වලට ඩොලර් 297,000ක් ආධාරකරුවන්ට තෑගිවලට

0

 

හම්බන්තොට වරාය ඉදිකිරීම භාරව සිටි චයිනා හාබර් සමාගම, 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීම සඳහා ඩොලර් මිලියන 7.6ක් හෙවත් රුපියල් ලක්‍ෂ 11400 කට ආසන්න මුදලක් බෙදා දී ඇතැ’යි අමෙරිකාවේ පළවන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවියේ ජුනි 25 වැනිදා පළකළ ලිපියකින් කියයි.

How China Got Sri Lanka to Cough Up a Port මැයෙන් යුක්තව පළවන එම ලිපියේ සඳහන් පරිදි, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. චයිනා හාබර් සමාගමේ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබාගත් තොරතුරු ආදියද ඒ වාර්තාවේ සඳහන් වන බව පුවත්පත කියයි.
2015 ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබෙන අතර එයින් ඩොලර් 678,000 ක් ඡුන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප‍්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් වී තිබේ. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත.

මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහාය. එම ගිණුමේ නම, ‘එච්.පී.ඞී.පී. දෙවැනි අදියර’යි. එච්.පී.ඞී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි. මෙසේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන වැඩවලට චීන සමාගම ගෙවා ඇත්තේ චීන ආධාරවලින් කොටසක් බවද පුවත්පත කියයි. ඒ සෑම අවස්ථාවකදීම චීනය දැමූ කොන්දේසිවලට රාජපක්‍ෂ මහතා එකඟතාව පළ කොට ඇත. 2010 නොවැම්බර් 18 වැනි දා, එනම් රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා මහා මංගල්‍යයකින් වරාය විවෘත කෙරුණු නමුත්, වරාය මැද පිහිටි ගල නිසා නැව් නොආ බවද පුවත්පත කියයි. ගල කැඞීම සඳහා චයිනා හාබර් සමාගම තවත් ඩොලර් මිලියන 40 ක් අය කර ඇති බවද එය ඉතා අධිකතර මිලක් බවද ලිපියෙහි සඳහන් වේ. සමාගම බොරු ගණන් හිලව් දමන්නේ ද, එසේත් නැත්නම් රාජපක්ෂ මහතාටත් එයින් කුට්ටියක් ලැබෙන්නේ ද යන්න ගැන ඇතැම්හු සැක කළ බවද එහි සඳහන් වේ.
වරාය ඉදිකිරීමට මුලින් චීනයෙන් ගත් ගත් ඩොලර් මිලියන 307 ක ණයෙන් පසුව වරාය තවත් විශාල කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා 2012 දී චීන ආණ්ඩුවෙන් තවත් ඩොලර් මිලියන 757 ක් ලබාගෙන ඇත. මුල් ඩොලර් මිලියන 307 ලබාගෙන ඇත්තේ සියයට 1-2 අතර පොලියකටය. එහෙත් ඒ වන විට සාමාන්‍යයෙන් පොලි අනුපාතය 0.5ක් පමණ වූ බවද ලිපිය කියයි. දැන් අලූතෙන් ණයක් ද අවශ්‍ය කරන තිබෙන බැවින්, කලින් ගත් ණය සඳහා වන පොලියද සියයට 6.3 ක නිත්‍ය අනුපාතිකයකට ඉහළ දැමීමට සිදුවන බව චීනය කී බවත්, ජනාධිපති රාජපක්‍ෂ ඊට එකඟ වූ බවත් ලිපියේ සඳහන් වේ. තවදුරටත් ලිපියේ සඳහන් වන අන්දමට, රාජපක්ෂ මහතා යටතේ රටේ ණය ප‍්‍රමාණය තුන් ගුණයකින් හෙවත්, ඩොලර් බිලියන 44.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. එනිසා 2015 වසරේදී පමණක්, පත්වුණු අලූත් ආණ්ඩුවට ගෙවීමට තිබූ ණය වාරික ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.68 කි.

නිව් යෝර්ක් ටයිම්ස් වෙඞ් අඩවියේ පළවූ සම්පූර්ණ ලිපියේ පරිවර්තනයක් අද පත‍්‍රයේ 3 සහ 4 පිටුවල පළවේ.