No menu items!
28.1 C
Sri Lanka
19 September,2025
Home Blog Page 128

රාජපක්ෂ කුසලානයට නැති
කොරෝනා නීති ගාල්ලට

0

‘සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අවසරය දුන්නේ සෞඛ්‍ය පුරුදු යටතේ ප්‍රේක්ෂකයන් සහභාගි කර ගන්න කියලා. නමුත් එම අවස්ථාවේ කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැදලා නැහැ. සෙනග පුරවලා මාස්ක් නැතුව, එකට තෙරපි තෙරපි මිනිස්සු දහස් ගණන් රැස් කරන්න නෙමෙයි අවසරය දුන්නේ. මේකෙන් ලොකු අපහසුතාවකට සියලු දෙනාම පත් වෙලා තියෙනවා. මේවා සංවිධානය කරන්නෙ රටේ ඉහළම වගකිව යුතු පුද්ගලයෝ. පිරිස එක් රැස් කරමින් සෞඛ්‍ය පුරුදු නොසලකමින් තීරණය කරපු පුද්ගලයන් මේකෙ වගකීම බාර ගන්න ඕනෑ. මේවාවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් වැඩි වෙලා කොවිඩ් පොකුරු බිහි වෙලා රට වහන්න සිද්ධ වුණොත් ක්‍රීඩා කරන්න නෙමෙයි රටේ මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි. මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.”

■ ඇන්තනී වෙරංග පුෂ්පික

නොවැම්බර් 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.


කොරෝනා තත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රේක්ෂකයන්ගේත් ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීහු පැවසූහ. තරගය ආරම්භ වූ දිනයේ ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම අසලට ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටියත් පොලීසිය මැදිහත් වී එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය. එමෙන්ම වෙනත් දිනයන්හි ගාල්ල කොටු පවුරට පැමිණ විවේකීව කාලය ගත කරමින් එහි සුන්දරත්වය විඳින්නට හැකි වූවත් ශ්‍රී ලංකා බටහිර ඉන්දීය පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමත් සමග ගාල්ල කොටු පවුර උඩට ඇතුළුවන සියලුම ස්ථානවලට පොලීසිය යොදවා ගාල්ල කොටු පවුර ද තහනම් කලාපයක් කිරීමට ක්‍රියා කොට තිබුණි. ඊට හේතුව ලෙස ද පොලීසිය කියාසිටියේ කොරෝනා වසංගතය පාලනය කිරීමට මෙවැනි පියවරක් ගත් බවයි. මේ නිසා එදිනෙදා තම පවුලේ සාමජිකයන් සමගින් විවේකීව කාලය ගත කිරීමට ගාල්ල කොටු පවුරට පැමිණෙන සියලු දෙනාටමද ආපසු හැරී නිවස බලා යෑමට සිදු විය. ඈත පළාත්වලින් ගාල්ල කොටුව නැරඹීමට බොහෝ දෙනෙකු පැමිණ සිටි අතර ඒ අයට ද කොටු පවුරට ගොඩ වීමට අවසර හිමි වූයේ නැත. කොටු පවුර නැරඹීම සඳහා පැමිණ සිටි විදේශීය සංචාරකයන් ද නැවත හරවා යැවීය. ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ආශාවෙන් සිටි තරුණ පිරිස් ක්‍රීඩාංගණය වටා ඇති දැල්වල එල්ලීගෙන සහ ගාල්ල බස් නැවතුම්පොලේ උඩු මහලේ සිට තරගය නරඹන ආකාරය දැක ගැනීමට හැකි විය.


වෙනත් දිනයන්හි නොමැති කොරෝනා අවදානමක් ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භ කිරීම හේතුවෙන් එක පාරටම මතු වීම පිළිබඳව බොහෝ දෙනෙකු විමතියට පත් වූ අතර මේ පිළිබඳව දැඩි දෝෂාරෝපණයක් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් මෙන්ම ගාලු කොටුවට ඇතුළු වීමට නොහැකි වූ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් එල්ල විය. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍යවල විවේචනය වන්නට වීමත් සමග තරගයේ තුන්වන දිනය වන විට ගාලු කොටු පවුර සියලු දෙනාටම විවෘත වූ අතර තරගයේ හතරවන දිනය වන විට ටෙස්ට් තරගය නැරඹීම සඳහා කොන්දේසි සහිතව ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.


මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානාධිපති කපිල සේනාධිපති ද සිල්වා කියා සිටියේ මෙවන් අදහසකි.


”මේ සම්බන්ධව අපි කිසිම දැනුවත්භාවයක් නැහැ. මේ තීරණය ගත්තේ අපි නෙවෙයි. අපිට ලැබුණ උපදෙස් අනුව තමයි අපි ක්‍රියා කළේ. තරගය පැවැත්වීමට දවස් ගණනකට කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමග පැවති රැස්වීම්වලදී සාකච්ඡා කෙරුණේ කණ්ඩායම්වල ඉන්න ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල ජෛව බුබුලක ඉන්න නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩාංගණයට සහ ගාලු කොටු පවුර මතට පැමිණීම නතර කිරීමටයි. පසුව මේ තත්වය ප්‍රායෝගික නොවන බව පෙනී ගිය නිසා ගාලු කොටුවට පැමිණීමට නැවත අවස්ථාව ලබා දුන්නා.”


මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාවේ සභාපති ෂම්මි ද සිල්වා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


නැවත වතාවක් කොරෝනා රෝගය උත්සන්න වෙමින් දිනෙන් දින රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින මොහොතක කොරෝනා රෝගය පාලනය කිරීමේ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම කළ යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොමැත. ගැටලුව වන්නේ කොරෝනා මාර්ගෝපදේශ සහ නිරෝධායන නීති සෞඛ්‍ය උපදෙස් මත ක්‍රියාත්මක නොවී දේශපාලනඥයන්ගේ හිතුමනාපයන්ට අනුව ක්‍රියාත්මක වීමයි.


ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භවීමට දින පහකට පෙර එනම් නොවැම්බර් 19 දා කොළඹ තුරඟ තරග පිටියෙහි පැවැත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර ආරාධිත පිරිමි පාපන්දු තරගාවලියෙහි අවසාන මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර තරගය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අතර කිසිදු නිරෝධායන නීතියක් මේ සඳහා අදාළ වූයේ නැත. අවම වශයෙන් මුහුණු ආවරණයක් හෝ බොහෝ දෙනෙකු පැළඳ නොසිටි බව නිවසේ සිට තරගය නැරඹූ ඕනෑම පුද්ගලයෙකුට දැක ගැනීමට හැකි විය. මෙලෙස අමු අමුවේම සෞඛ්‍ය නීති සතයකට මායිම් නොකොට අති විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් අනාරක්ෂිත ලෙස හැසිරුණේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද තරගය නරඹමින් ප්‍රේක්ෂාගාරයට වී ඉන්නා අවස්ථාවේදී ය.


මේ සම්බන්ධයෙන් අනිද්දා කළ විමසීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ කීවේ, මෙවැනි තරගයක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.


‘ෆුට් බෝල් මැච් එක තියෙනවා කියලා කොවිඩ් කාර්ය සාධක බලකාය රැස් වෙලා ගත්ත සාකච්ඡාවෙදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිතුමා ප්‍රකාශ කළා. මේ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අවසරයක් ගන්න තමයි එතැනදි කතා වුණේ. ඒකට අදාළව අවසරය ගත්තා ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළා කියලා නම් අපිත් පැහැදිලිවම දැක්කා. ඊට පස්සෙ අපි දැක්කා එතුමා ප්‍රකාශ කරනවා ක්‍රීඩාංගණය ඇතුළට ගත්තේ එන්නත් විදලාද නැද්ද කියලා පරීක්ෂා කරලා කියලා. නමුත් ඒ කියන විදියට එන්නත් විදලාද නැද්ද කියලා පරීක්ෂා කරන්න සෞඛ්‍ය අංශවල සම්බන්ධයක් නම් තිබුණේ නෑ. දැන් අපිට බිම් මට්ටමේ මිනිස්සුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන්න බැරි තරම් දේශපාලනඥයෝ පූර්වාදර්ශ සපයලා තියෙනවා. මේක නරක තත්වයක්. මේ වගේ දේවල්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නම් අවසර දීලා නැහැ. රටේ නීති දෙකක් ක්‍රියාත්මක කරන්න බෑ. සාමාන්‍ය ජනතාවට තියෙන නීතියයි මේ වගේ දේවල්වලදී තිබෙන නීතියයි දෙකක් කියලා හොඳටම පැහැදිලියි. මේ වෙද්දී අපිට මිනිස්සුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන්න බැරි තැනටම තල්ලු වෙලා ඉවරයි. මේ සම්බන්ධව අපේ අප්‍රසාදය පළ කරලා අවශ්‍ය දැනුම් දීම් කරලා තියෙනවා. නමුත් ඒවාට ඇහුම්කන්දෙන බවක් නම් පෙනෙන්න නැහැ. මේ විදිහට ගියොත් ඉදිරියේ දී අපි රාජකාරි කරන එකෙනුත් වැඩක් නැති වෙයි.’


අප කළ විමසීමකදී මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.


‘සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අවසරය දුන්නේ සෞඛ්‍ය පුරුදු යටතේ ප්‍රේක්ෂකයන් සහභාගි කර ගන්න කියලා. නමුත් එම අවස්ථාවේ කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැදලා නැහැ. සෙනග පුරවලා මාස්ක් නැතුව, එකට තෙරපි තෙරපි මිනිස්සු දහස් ගණන් රැස් කරන්න නෙමෙයි අවසරය දුන්නේ. මේකෙන් ලොකු අපහසුතාවකට සියලු දෙනාම පත් වෙලා තියෙනවා. මේවා සංවිධානය කරන්නෙ රටේ ඉහළම වගකිව යුතු පුද්ගලයෝ. පිරිස එක් රැස් කරමින් සෞඛ්‍ය පුරුදු නොසලකමින් තීරණය කරපු පුද්ගලයන් මේකෙ වගකීම බාර ගන්න ඕනෑ. මේවාවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් වැඩි වෙලා කොවිඩ් පොකුරු බිහි වෙලා රට වහන්න සිද්ධ වුණොත් ක්‍රීඩා කරන්න නෙමෙයි රටේ මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි. මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.”


වසර 15කට පසුව ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසාන මහා තරගය දක්වා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පැමිණීම පිළිබඳව ලාංකිකයන් ලෙස පාපන්දු ක්‍රීඩාවෙ ඇති වී තිබෙන පිබිදීම පිළිබඳව හදවතින්ම සතුටු විය යුතුය. ඒ පිළිබඳව විවාදයක් නොමැත. ගැටලුව වන්නේ වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය නීති කඩ කරමින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලීමත් මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානයට එක් නීතියකුත් ගාල්ලේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරමින් රටේ නීතිය පිළිබඳව සහ නීතිය ක්‍රියාත්මක කරවන ආයතන පිළිබඳව රටේ ජනතාව තුළ ඇති විශ්වාසය නැවත නැවතත් පලුදු කිරීමයි. එමෙන්ම ජනතාව ඉදිරියේ දිනෙන් දින හාස්‍යයට ලක් වන්නේ එක් රටක් එක් නීතියක් නොවේදැයි නැවත වතාවක් සිතා බැලිය යුතුය.■

පැනගිය පාදුක්ක බන්ධනාගාරයේ සිරකරු වැඩකළ ආයතනය හෙළි නොකරන්නේ ඇයි?

0

■ අමන්දිකා කුරේ

පාදුක්ක බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු කොල්ලුපිටියේ වැඩබිමක සේවය කරමින් සිටියදී පැනගිය පුවතක් අප පසුගිය සතියේ වාර්තා කළෙමු. නොවැම්බර් 18 වන දින නිකුත් කරන ලද පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ මෙම පුද්ගලයා කොල්ලුපිටියේ ගාලු පාර අසල ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක සේවයේ යොදවා සිටි අවස්ථාවේ පැන ගිය බවයි.


මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප නොවැම්බර් 18 වන දින බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ඇමතුවද ඔහු එදින සඳහිරු සෑයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටි නිසා පසුව අමතන්නයැයි පවසමින් දුරකථනය විසන්ධි කළේ ය.


අප සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනකගෙන් කළ විමසීමේදී එලෙස සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යා හැක්කේ ආගමික කටයුත්තක් වැනි අත්‍යවශ්‍ය කරුණකට මිස පෞද්ගලික ආයතනවල සේවයේ යෙදවීමට සිරකරුවන් ලබා දීම බන්ධනාගාර ආඥාපනතට පටහැණි බව ඔහු පෙන්වා දුන්නේ ය.


ඒ නිසාම අප ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා නොවැම්බර් 23 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ඇමතුවෙමු. අප එහිදී එම සිරකරුවා සේවයේ යොදවා සිටි ආයතනය කුමක්ද යන්න විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ එම ආයතනයේ නම හෙළි කිරීමට තමාට අවසර නොමැති බවයි.


පසුව අප නොවැම්බර් 24 වන දින බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙන් නැවත මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.


පසුගිය සතියේ පොලිස් මාධ්‍ය නිවේදනයේ සඳහන් පැනගිය සිරකරු පෞද්ගලික ආයතනයක සේවයේ යෙදවූයේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද යන්න අප එහිදී ඔහුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. ”ප්‍රතිපාදන තියෙන හින්දනෙ අරන් ගියේ. ඔයා දැන් සුමාන දෙකකට කලින් එකක් ගැනනෙ ඔය අහන්නේ. සුමාන තුනක් විතර පරණ එකක්. එකට නීතිමය ප්‍රතිපාදන තියෙන නිසා තමයි අරන් යන්නේ. මිනිස්සුන්ව එළියෙ වැඩට අපි යවනවා. අපි බන්ධනාගාරයේ වැඩ සහන ක්‍රමය යටතේ වැලිකඩ බන්ධනාගාරයෙනුත් අනිත් බන්ධනාගාරවලිනුත් මිනිස්සු යවනවා එළියේ වැඩට. හැමදාම යවනවා ඒ විදිහට”


අප එලෙස ගෙන යන්නේ රජයේ ආයතනවලටද රජයේ නොවන ආයතනවලටද යන විමසීම කළෙමු. එහිදී ඔහු කියා සිටියේ රජයේ හා පුද්ගලික අංශයේ වැඩ සඳහා එලෙස සිරකරුවන් යොමු කරන බවයි.


ඉන්පසුව එම පැනගිය සිරකරුවා සේවයේ යොදවා සිටි ආයතනය කුමක් ද යන්න සහ මෙතෙක් සිරකරුවන් සේවයේ යෙදවූ පෞද්ගලික ආයතන මොනවාද යන්න පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහුගේ ප්‍රතිචාරය පහත පරිදිය.


”ඒකට කැබිනට් අනුමැතිය හා අධිකරණ අනුමැතිය තියෙනවා. ඕක ලියන්න වැඩ සහන ක්‍රමය යටතේ සිරකරුවන් ගිහින් තියෙන්නේ කියලා. ඒක තමයි හේතුව.”


ඉන්පසුව නැවතත් ඔහු වෙත ඉහත ප්‍රශ්නයම යොමු කළෙමු.


”ඔය පළවෙනි මනුස්සයා නෙවෙයි එහෙම පැනලා ගියපු. ඕන තරම් පැනලා ගිහින් තියෙනවා එහෙම. මට නම් මතක නෑ දැන් නම් ආයතනයේ නම. මොකක්ද දැන් ඔයාට මේ ලොකුවට තියෙන ප්‍රශ්නය?”


ඉන්පසුව අප ඔහුට මාධ්‍ය සඳහා තොරතුරු ලබා ගැනීමට මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් තොරතුරු ලබා ගත යුතු බැවින් අපට අවශ්‍ය තොරතුරු පිළිබඳව මෙලෙස ඔහුගෙන් විමසීමක් කරන බව පැහැදිලි කළෙමු. එහිදී ඔහු ලබා දුන් ප්‍රතිචාරය පහත පරිදිය.
”දැං මේ පත්තරවල වැටිලා මෙහෙම ගියා කියන එකත් තිබ්බා. හැමතැනම තිබ්බා. හරිද, දැන් ආපහු මේ සුමාන දෙකකින් සුමාන තුනකින් විතර ආපහු මේ අහන්නේ මොකද කියලා බැලුවේ. මට මතක නෑ මොකක්ද ආයතනය කියලා. ඉදිකිරීමේ ආයතනයක් කිව්වා නම් හරි. නම දන්නේ නෑ මට මතක නෑ. අපට මේ සීයක් දේවල් තියෙනවානේ. ඔයා මට පස්සෙ කතා කරන්න” යනුවෙන් පවසා ඔහු දුරකථනය විසන්ධි කළේ ය.
මෙම කරුණු පිළිබඳව සලකා බැලීමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශ අතර යම් පරස්පරතාවක්ද දැකිය හැකිය. සිරකරුවා සේවයේ යොදවා සිටි ආයතනය පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එහි නම හෙළි කිරීමට අවසර නොමැති බවකි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එය තමාට අමතක බවකි. ඔහු ආයතනයේ නම ප්‍රකාශ කිරීම දිගින් දිගටම මග හැරි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා දැක්වූයේ මෙවන් අදහසකි.


”බන්ධනාගාර ආඥාපනතේ කිසිම ප්‍රතිපාදනයක් නෑ විශේෂයෙන් ම එහෙම පෞද්ගලික තැන්වලට යොදවන්න පුළුවන් කියලා. මේ සැකකරු පැනලා ගිහින් තියෙන්නේ පුද්ගලික වැඩ බිමක ඉඳලානෙ. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධානීන් පැහැදිලි කරන්න ඕනෑ. අපි දන්න නීතියට අනුව මේ කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක්. ආගමික හා රජයේ පොදු වැඩකට යම් විදිහකට සිරකරුවන්ව අරන් යන්න පුළුවන්. නමුත් මේ එහෙම පොදු වැඩක් නෙවෙයිනේ. මෙහෙම එළියට අරන් යන එකෙන් ඒ සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම සමාජයේ අනිත් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් ඇති වෙනවා. බන්ධනාගගත කරලා ඉන්න රැඳවියෙක්ව පෞද්ගලික ආයතනයක සේවයට දැම්මේ මොන නීතියක් යටතේද කියලා පැහැදිලි කරන්න කියලා අපි අභියෝග කරනවා. බන්ධානාගාර ඇතුළෙ රැඳවියන්ට සලකන විදිහ වැරදියි. බන්ධනාගාරයේ පුනරුත්ථාපනය කියන්නේ තැනක රස්සාවක් දෙනවා කියන එක නෙවෙයි. මනුස්සයෙකුට මේසන් වැඩ උගන්වලා එයා මේසන් වැඩ කරන ගමන් හොරකමක් කළොත් වැඩක් නෑනෙ.


දියුණු රටවල පුනරුත්ථාපනය කියන්නේ මනෝවිද්‍යාත්මකව කරන දෙයක්. අපරාධ මානසිකත්වය නැතිකරන එක කරන්නේ. මීට සෑහෙන කාලයකට කලින් බන්ධනාගාර තුළ හොඳ පුනරුත්ථාපනයක් තිබුණා. මතුගම රන් භාණ්ඩ අලෙවිසැලක් කරන පුද්ගලයෙක් ඉන්නවා, ඔහු රන් භාණ්ඩ හදන්න ඉගෙන ගෙන තියෙන්නේ බන්ධනාගාරගත වුණු අවස්ථාවක. දැන් ඒ කිසි දෙයක් හරියට නෑ. පුනරුත්ථාපනය කියලාත් මේ වගේ පෞද්ගලික ආයතනවලට සේවයේ යොදවන එක නීති විරෝධී ක්‍රියාවක්.”■

එක් වරක් පමණක් අයකරන 25% බද්ද
ඊපීඑෆ් ඇතුළු අරමුදල්වලට කෙළවීමටද?

0

අයවැයක් මගින් රාජ්‍ය ආදායම සොයා ගැනීම සඳහා බදු අය කිරීම සාමාන්‍ය දෙයකි. එසේම එසේ අයකරන බද්දෙන් උපයා ගැනීමට අපේක්ෂා කරන බදු ආදායම උපකල්පනය කිරීමද සාමාන්‍ය දෙයකි. එහෙත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 2ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමටත්, ඒ මගින් රුපියල් බිලියන 100 ක හෙවත් රුපියල් කෝටි 1000ක ආදායමක් උපයා ගැනීමටත් උපකල්පනය කිරීම සලකා බැලිය යුතු තත්වයකි.


ඒ හේතු කිහිපයක් නිසාය. එකක් මේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ පැහැදිලි කිරීමත් සමඟය. එහිදී ඔහු කීවේ සමාගම් 62 කින් එම බද්ද අය කරන බවය. විපක්ෂයේ බාධා කිරීම්වලට පිළිතුරු දෙමින් ඔහු කීවේ එම සමාගම් 62 ට සහාය ලබාදෙන්නේ කවුද කියා බලමු යන්නය. එමෙන්ම බැංකු හා මූල්‍ය ආයතනත් මෙම බද්දට යටත් වන බවත් ඔවුන් දැනට ගෙවන සියයට 28ක බද්දට වඩා මෙය වාසිදායක බවත් ඒ මගින් බැංකු හා මූල්‍ය ආයතනවලට රුපියල් බිලියන 200ක වාසියක් හිමිවන බවත්ය.


රුපියල් බිලියන 2කට වඩා බදු අයකළ හැකි ආදායම් උපයන පුද්ගලයින් හෝ සමාගම් සිටින්නේ 62ක්ද? පවතින කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ යම් බිඳ වැටීමක් තිබුණද එල්එම්ඩී ආයතනය 2019/2020 වර්ෂය සඳහා ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ වැඩිම ආදායම් ඉපැයූ සමගම් 100 අතර අවසන් ස්ථානයේ සිටින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් උපයා ඇති ආදායම පවා රුපියල් මිලියන 5557ක් හෙවත් රුපියල් බිලියන 5.5කි. ඒ අනුව එම සමාගමේ 2019/2020 ආදායමද තිබෙන්නේ එක් වරක් පමණක් අයකරන මෙම බද්දේ සීමාව වන රුපියල් බිලියන 2ට ඉහළිනි. එම එල්එම්ඩී ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ හේලීස් සමාගමය, එම සමාගමේ 2019/2020 වර්ෂයේ ආදායම රුපියල් මිලියන 210,307ක් හෙවත් රුපියල් බිලියන 210කි. මෙම වාර්තාවේ දක්වා ඇති බොහෝ සමාගම් සමූහයන් නිසා එම සමූහයේ ආදායම එසේ වුවද වෙන් වෙන් සමාගම් ලෙස බදු ගෙවීමේදී එම සමහර සමාගම් රුපියල් බිලියන 2 කේ සීමාවට අයත් නොවිය හැකිය.


එහෙත් එම ලැයිස්තුවේ ඇති ආදායම් ඉපැයීමේ පළමු සමාගම් සියයේ අන්තිමයාගේ ආදායමත් එසේ නම් එම ලැයිස්තුව තවත් දික් වුවහොත් රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපදවන තවත් සමාගම් ගණනාවක් අපට සොයාගත හැකි වනු ඇත. කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් ආදායම් අඩු වූවත් තවදුරටත් 2020/2021 වර්ෂය සඳහා මෙසේ රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපදවන සමාගම් සංඛ්‍යාව 62 දක්වා අඩුවිය හැකිද? එම උපකල්පනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආවේ කෙසේද? මේ සමාගම් 62න්ම සියයට 25 ගණනේ එම අධිභාර බද්ද අය කළහොත් හරියටම ලැබෙන්නේ රුපියල් බිලියන 100ක ආදායමක්ද? මන්ද සියයට 25ක අධිභාර බද්දක් ලෙස රුපියල් බිලියන 100ක බදු ආදායමක් සඳහා මේ සමාගම් 62කම සාමාන්‍ය බදු ලෙස හරියටම රුපියල් බිලියන 400ක බද්දකට යටත් විය යුතු හෙයිනි.


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 2කකට වඩා ආදායම් උපදවන පුද්ගලයන් හෝ සමාගම් මෙම බද්දට යටත් වන බව සිය කතාවෙදි කීවත් එසේ බද්දට යටත් වන පුද්ගලයන් ලෙස හැඳින්වෙන ආදායම් උපදවන ආයතන පිළිබඳ අපට සැබෑ අදහසක් ලබාගත හැක්කේ මෙම අයවැය යෝජනා සම්බන්ධයෙන් අයවැය අවසන් වරට සම්මත කිරීමෙන් පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන තාක්ෂණික උපදෙස් අනුවය. ඒ අනුව කට වචනයට පුද්ගලයින් හෝ සමාගම් යැයි කීවද (දේශීය ආදායම් දෙපාර්තමේනතුවට බදු ගෙවන රුපියල් බිලියන 2කට වඩා ආදායම් උපයන පුද්ගලයින් සිටීද යන්න සැක සහිතය) ඒ යටතට වැටෙන ආදායම් උපදවන ආයතන කුමක්ද යන්න නිශිචිත නැත. අප එසේ කියන්නට හේතුව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන රුපියල් බිලියන 2 කට වඩා ආදායම් උපදවන ‘පුද්ගලයින්’ යන්න අවිනිශ්චිත නිසාය.
ඊට හේතුව මෙම පුද්ගලයින් යන්නට අරමුදල් හෙවත් භාරද අයත්වන බව අයවැය සම්බන්ධයෙන් නොවැම්බර් 15 වැනිදා ජාතික රූපවාහිනියේ රූපවාහිනියේ පැවති ‘කරට කර’ වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රකාශ කිරීමය. ඔහු කීවේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ හා රජයේ ආදායම් එකතු කිරීමේ අනුකාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නිසා අරමුදල්වලින් බදු අය කිරීම් ගැන ඔහුට වැටහීමක් ඇති බවයි.


2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ අර්ථ නිරූපණ කොටසේ දැක්වෙන්නේ ‘තැනැත්තා’ යන්නෙන් පුද්ගලයකු හෝ අස්ථීත්වයක් අදහස් වන අතර, සංස්ථාගත හෝ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක්, පොල්මඃකරුවෙක්, රාජ්‍ය නොවන සංවිධානයක් සහ පුණ්‍යායතනයක් ඊට ඇතුළත් වේ.’ යන්නය.


එමෙන්ම ‘අස්ථීත්වය යන්නෙන් යම් සමාගමක්, හවුල් ව්‍යාපාරයක් හෝ භාරයක් අදහස් වන නමුත් යම් පුද්ගලයකු ඊට ඇතුළත් නොවේ.’ යන්න එහි සඳහන් වේ.


මේ අනුව පෙනී යන කාරණය වන්නේ දේශීය ආදායම් පනතේ තැනැත්තන් යන්නට පුද්ගලයන් හා අස්ථීත්ව අයිති වන බවත්, අස්ථීත්ව යන්නට භාරයන් හෙවත් අරමුදල්ද අයත් වන බවයි.


එම සංවාදයේදී මහාචාර්ය ආශු මාරසිංහ කීවේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රධානම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල පසුගිය වසරේ රුපියල් බිලියන 280 බද්දට යටත් ආදායමක් ලබා ඇති බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරමුදල පසුගිය වසරේ රුපියල් බිලියන 80ක ආදායමක් ලබා ඇති බවත්ය. මෙම අරමුදල් දෙකෙන් පමණක් එක් වරක් පමණක් අය කරන සියයට 25ක බද්ද යටතේ රුපියල් බිලියන 90ක් ලැබෙන බවත්, පෞද්ගලික අංශයේ සමාගම්වලින් එම බද්ද යටතේ ලබා ගැනීමට ඇත්තේ අපේක්ෂා කර ඇති රුපියල් බිලියන 100ක බදු ආදායමෙන් ඉතිරි රුපියල් බිලියන 10ක මුදලක් පමණක් බවත්ය.


සේවක අර්ථ සාධක අරමුදල එම වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 2019 වර්ෂයේදී රුපියල් බිලියන 259ක ආදායමක් ලබා ඇති අතර ඒ අනුව ආශු මාරසිංහ මහතා එම අරමුදලේ 2020 ආදායම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි විය හැකිය. එහෙත් මෙම එක් වරක් පමණක් අයකරන අධිභාර බද්ද දැනට එම සමාගම් හෝ අරමුදල් සඳහා අයකරන බද්ද මත අධිභාර බද්දක් ලෙස අය කරනවා නම් ආශු මාරසිංහ මහතාගේ පැහැදිලි කිරීම් ඉන් එහාට යයි. ඒ ඔහු දන්නා මෙම බද්ද අය කිරීමට යන වෙනත් ආකාරයක් සම්බන්ධයෙන් විය හැකියි. ඔහුගේ පැහැදිලි කිරීම එම බද්ද අය කිරීමේ අනාගත සත්‍යය නම්, එය එම අරමුදල් සම්බන්ධයෙන් භයානක තත්වයක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.


මෙම බද්දට අනිවාර්යෙන්ම යටත් වන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අනෙක් ප්‍රධානම අරමුදල වන සේවක භාරකාර අරමුදලේ වෙබ් අඩවියට අනුව එහි 2020 වසරේ ආදායම රුපියල් බිලියන 33කි. මීට අමතරව ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල අර්ථ සාධක හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අරමුදල් ඇති අතර ඉන් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ අරමුදල් රුපියල් බිලියන දෙක ඉක්මවූ වාර්ෂික ආදායමක් ලබයි. එසේම කොමර්ෂල් හා හැටන් නැෂනල් යන පෞද්ගලික අංශයේ බැංකුවල සේවක අර්ථසාධක හා විශ්‍රාම වැටුප් අරමුදල් පවතී. අපට ලැබී ඇති තොරතුරු අනුව කොමර්ෂල් බැංකු අරමුදල රුපියල් බිලියන 2 ට වඩා ආදායම් උපදවයි. මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවකයන්ගේ විශ්‍රාමික හා අර්ථ සාධක අරමුදලක්ද ඇත.


ඒ අනුව මෙම අධිභාර බද්ද කිනම් ආකාරයකට අය කළත් ඉන් පෞද්ගලික අංශයේ සමාගම් කෙසේ වෙතත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අරමුදල්වල ආදායමට අත තියන්නට යන බව පැහැදිලිය. මන්ද අද රටේ ප්‍රධානතම ආදායම් උපදවන ව්‍යාපාරිකයින් බවට පත්වී ඇති හිතවත් ව්‍යාපාරිකයින්ට එරෙහිව රාජපක්ෂවරුන් අත තියාවි යැයි අපට සිතන්නට බැරි නිසාය.


පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී එවක මහා බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ස්ථාවර නොවන සමාගම්වල ආයෝජනය කර එම අරමුදලට කෙළවූ ආකාරය මෙහිදී මතකයට නැඟේ. මෙම අධිභාර බද්ද ඉහත සඳහන් කළ අරමුදල්වලට කෙළවීම සඳහා ගන්නා වෙනත් ආකාරයක උත්සහයක්ද? එය ඉදිරියේදී තීරණය වනු ඇත.■

ලිට්රෝ ගෑස් සමාගම නිරීක්ෂණයට ඉන්දීය පිරිසක් ඇවිත්

0

කෙරවළපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ පරිශ්‍රය ඉන්දීය ජාතිකයින් ඇතුළු පිරිසක් විසින් නොවැම්බර් 22 වැනිදා නිරීක්ෂණයට ලක්කර තිබේ.


ලිට්රෝ සමාගම් කළමනාකාරිත්වයේ ඉහළ නිලධාරියකු එම නියෝජිත පිරිස සමඟ මෙම නිරීක්ෂණයට සහභාගි වී ඇති අතර එහිදී ලිට්රෝ ගෑස් පිරවීමේ පර්යන්ත ඇතුළුව එම පරිශ්‍රයට අයත් ඉඩමේ මායිම් පිළිබඳ පරික්ෂා කිරීම් සිදුකර ඇත.


මෙම නිරීක්ෂණය පිළිබඳ අදහස් දක්වමින් ලිට්රෝ සමාගමේ අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නොමැති වීමේ අර්බුදයකට ලක්වී සිටින මේ අවස්ථාවේ සමාගමේ අයිතියේ කොටසක් ඉන්දිය සමාගමකට ලබාදීම මගින් ගෑස් ගෙන්වීමේ අර්බුදය විසඳා ගැනීමට උත්සහ ගන්නා බවයි.


මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ හිටපු ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ලිට්රෝ සමාගමේ සියයට සියයක පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඇති බැවින් එම සංස්ථාව ආයෝජනයක් වශයෙන් ලබාගෙන ඇති කොටස් අයිතිය විකිණීමේ කිසිදු බාධාවක් නොමැති බවයි.■

අනුරාධපුරේ සෑම පාසලකම පංති කාමර වැසෙයි

0

■ ඇන්තනී වෙරංග පුෂ්පික


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් විශාල වශයෙන් කොරෝනා රෝගීන් වීම හේතුවෙන් සෑම පාසලකම පංති කාමර හතරක් හෝ පහක් වසා දැමීමට සිදු වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අනිද්දා කළ විමසීමක දී ප්‍රකාශ කළේය.


වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වාහල්කඩ, පදවිය, රාජාංගණය වැනි ප්‍රදේශවල කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමු වීම නිසා එම ප්‍රදේශවල පාසල්වලට ළමුන් නොපැමිණෙන බවයි. එමෙන්ම ලංකාව පුරාම පාසල්වල 50% වඩා වැඩි ප්‍රමාණයකට දරුවන්ට හෝ ගුරුවරුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවත් පාසල්වල ගුරුවරුන්ට සහ ළමුන් පී.සී.ආර් කිරීමට, නිරෝධායනයට සහ අධීක්ෂණය සඳහා කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බව ප්‍රකාශ කළේය.■

චීන පොහොරවලට එරෙහිව
කෘෂි වෘත්තීය සමිති එක්වේ

0

■ ඉඳුවර බණ්ඩාර


චීන සමාගමේ ඝන කාබනික පොහොර තුන්වන පාර්ශ්වයේ රසායනාගාර පරීක්ෂාවකින් රටට ගෙන ඒම ශාක නිරෝධායන පනත මෙන්ම ඒ සම්බන්ධයෙන් ඇති ශ්‍රී ලංකා ප්‍රමිතියද උල්ලංඝනය කිරීමක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් එකතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

මෙම පොහොර අර්බුදයේ විහිළුසහගත දෙය වන්නේ චීන සමාගම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර ප්‍රධානියාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවීම බවත්, එය රටේ ස්වෙරීත්වය සම්බන්ධයෙන් තර්ජනයක් බවත් එහි අවධාරණය කර තිබේ.
ග්‍රෑම් එකක පොහොර සාම්පලය තුළ කෝලිෆෝම් බැක්ටීරියාව දහයකට අඩු ප්‍රමාණයක් සිටින බව චීන වරායෙන් ලබාගත් සාම්පලයේ වාර්තාව තුළ සඳහන් වන බවත් මෙටි්‍රක් ටොන් 20,000ක පොහොර තොගයක් තුළ බැක්ටීරියා කොතරම් ප්‍රමාණයක් සිටිය හැකිදැයි ප්‍රශ්න කරන වෘත්තීය සමිති ඒ රටේ පසට සිදුවිය හැකි හානිය කෙතරම්දැයි විමසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 9ක් මෙම එකමුතුව තුළ කටයුතු කරයි.■

උතුරේ ප්‍රශ්න ගැන කැනඩාවේදී සාකච්ඡාවක්

0

■ අමන්දිකා කුරේ


උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා දමිළ ජාතික සංධානයේ නියෝජිතයන් අතර සකච්ඡාවක් පැවැත්වී තිබේ.


මේ වන විට කැනඩා සංචාරයක නිරත වී සිටින දමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් හා ශානකියන් රාසමාණික්කම් යන අය නොවැම්බර් 23 වන දින මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරාධනාවක් මතයි.


එහිදී උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ඉඩම් කොල්ලය හා සම්පත් සූරාකැම, මානව හිමිකම් උල්ලංඝනය, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන අතර ඊට අමතරව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය නගා සිටුවන්නේ කෙසේද යන කාරණය පිළිබඳවද සාකච්ඡා වී ඇත.■

වරාය ඉඩමක් විකිණීමට යයි

0

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල ප්‍රදේශයේ ඇති හෙක්ටයාර 8ක විශාලත්වයකින් යුත් ඉඩමෙන් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම් අයිතිය විකිණීමේ පදනම මත ආයෝජකයෙකුට ලබාදීම සඳහා ඔක්තෝබර් 18 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.


වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊට අදාළ කැබිනට් යෝජනාව ඔක්තෝබර් 11 දින අංක පචිරැච)ාරැ2021රැ01රැ27 යටතේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ මගින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇත්තේ දැනට කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඇති වරාය අධිකාරියේ සේවක නිවාස එම ස්ථානයෙන් ඉවත්කර මහර ගල්වල ඉඩමේ ඉදිකරන නිල නිවාසවල ස්ථාපිත කිරීමටත්, එම නිවාස ඉදිකිරීම් කරන ආයෝජකයාට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් එම මහර ඉඩමේ ඉතිරි කොටස අයිතිය විකිණීමේ පහසුකම් සහිත අයිතිය යටතේ ලබාදීමටත්, එම යෝජනාව සඳහා ඉල්ලීම් කැඳවීමටත් හා ඒ සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්ය.


මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඔක්තෝබර් 17 දින සහිතව නිරීක්ෂණයක් ඉදිරිපත් කර ඇති අතර ඒ බව සඳහන් වන්නේ වරාය හා නාවික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ, සංවර්ධන එච් ආර් සිරිනාම ඔක්තෝබර් 28 දින සහිතව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා අමතා යවන ලිපියකය. එම ලිපිය මගින් වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති කමිටුව පත්කිරීම සඳහා පුද්ගලයින් නම් කරන ලෙස හා සාකච්ඡා කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාව ලබාදෙන ලෙසය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ නේවාසික, සංස්කෘතිකමය, ආයතනික යන විනෝදාස්වාදාත්මක පහසුකම්වලින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් මහර ගල්වල ඉඩම තුළ නිර්මාණය වන බවත්, බ්ලුමැන්ඩල් නිල නිවාස හා වරාය ක්‍රීඩා සංකීර්ණය එහි ප්‍රතිස්ථාපනය වනු ඇති බවත්ය. ඒ යටතේ නිල නිවාස 450ත් 550ත් අතර ප්‍රමාණයක් එහි ඉදිවනු ඇති බවත්ය. එම නිල නිවාස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ආයෝජකයා ඉදිකරනු ලබන බවත්, ඒ සඳහා වූ පිරිවැය එම ආයෝජකයාට ලබාදෙන ඉඩමේ රජයේ තක්සේරු වටිනාකම මත ගණනය කර හිලව් කරගනු ඇති බවත්ය.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ අශෝක පීරිස් මහතා පැවසුවේ රජයේ ඉඩම් සම්බන්ධයෙන් ඇති පනත් අනුව කිසිඳු ඉඩමක් සින්නක්කරව කිසිවකුට ලබාදිය නොහැකි බවත්, ලබාදෙනවා නම් ලබාදිය හැක්කේ බදු පදනම යටතේ බවත්ය. මේ ආකාරයට සින්නක්කරව රජයේ ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝග කළ හැකි බවද ඔහු පැවසීය.■

කාබනික විකාරය ඉවරයි
විනාශයට
වගකියන්නේ කවුද?

0

මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා රඟ දැක්වුණු කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ විකට නාට්‍යය දැන් අවසන් වී තිබේ. ඒ ආණ්ඩුව මහජනතාව ඉදිරියේ එක ම විහිළුවක් බවට පත් කරමිනි.

දැන් ආණ්ඩුව මෙසේ කියනු ඇත. ‘අපි ජනතාවගේ මතයට කන් දෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒකයි කාබනික ගොවිතැන පමණක් කියන අපේ ස්ථාවරය ආපස්සට ගත්තේ.’

මේ ‘පියවර ආපස්සට තැබීමේ’ නවතම පියවර ආණ්ඩුව තර්කානුකූලව පැහැදිලි කරන්නේ මෙසේ ය. ‘අපේ ප්‍රතිපත්තිය තමයි කාබනික කෘෂිකර්මය. එහෙත් රසායනික පොහොර සහ පලිබෝධ නාශක ගෙන්වන්නට අවසර ලැබෙනවා. ඒත් ආණ්ඩුව ඒවා ගෙන්වන්නේ නැහැ. පෞද්ගලික අංශයෙනුයි ගෙන්වන්නේ. ඒවා බෙදාහරින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාබනික කෘෂිකර්මාන්තයයි’

මේ පැහැදිලි කිරිම තේරුම් ගන්නා අතර, මුවට නැගෙන සිනාව වළක්වා ගන්නට පුළුවන් කෙනෙක් සිටියි නම්, හේ මහත් සමතෙකි.

එහෙත්, ආණ්ඩුව මොකක් හෝ ඉන්ද්‍රජාලයක් කරාවි’යි තවමත් බලාපොරොත්තුවෙන් සිටින වහල් මනසින් සිටින්නවුන්ට හෙවත් නානාප්‍රකාර වියතුන්ට හා වෘත්තිකයන්ට ආණ්ඩුවේ මේ විකාර සහගත පැහැදිලි කිරීම් වුවද, කරේ තියාගෙන යන්නට වටිනා දෙයක් හැටියට සිතෙනු ඇත.

මෙපමණ කාලයක් ඔවුහු රසායනික පොහොර කෙතරම් රකුස් වෙස් ඇති දෙයක් දැයි නිතර දෙවේලේ ජනතාවට කියා දුන්හ. රසායනිකවල විස නැති මාත්‍රාව දක්වා ප්‍රයෝජන ගත හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු දැනුමැත්තන් කියද්දීත්, මේ ඇතැම්හු සිටියෝ, රසායනික නම් අංශුවක් වත් හොඳ නැහැ කියන මුග්ධ ස්ථාවරයේ ය.

දැන් ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? කිසිවක් නොවේ. ආණ්ඩුවේ අලුත් ස්ථාවරයත් සුපුරුදු පරිදි ඔවුන් කර තබා ගෙන යනු ඇත. ‘කාබනික කෘෂිකර්මාන්තයෟ ඒත් රසායනික පොහොර පෞද්ගලික අංශයෙන් ගෙන්වන්නට අවසර දෙනු ලැබේ.’

මීට පෙර මේ කාබනික විද්වතුන්ගේ සහ චීවරධාරීන්ගේ ලණුව කා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. තමන්ගේ ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වයත් විවේචනය කරමින් ඔහු ද වස විස නැති ගොවිතැන නමැති විකාරය කර තබා ගෙන බොහෝ දුර ගියේ ය. එහෙත් කාලයක් ගත වන විට, වස විස නැති දේ ගැන දේශනා කරන අයගේ නිරුවත ජනාධිපතිවරයා තේරුම් ගත්තේ ය. ඒ නිසා රටටත් වැඩි විනාශයක් නොකර ඒ උගුලෙන් හෙතෙම ගැලවුණේ ය.

එහෙත්, මේ ආණ්ඩුවෙන් සිදුවුණේ ඊට සපුරා වෙනස් දෙයකි.

ලංකාව, කාබනික ගොවිතැන සම්පූර්ණයෙන් ම කරන ලෝකයේ පළමුවැනි රට බවට පත් කරනවා යැයි මායාවක මේ පාලකයෝ ගැලී සිටියහ. ඒ මදිවාට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර වේදිකාවල දී ද ඒ මායාවේ විසිතුරු බව කියා පෑහ.

එහෙත් භයානක දෙය නම්, ඒ මායාවේ සිටිමින් මුළු රටේ ම වී සහ අනෙකුත් කෘෂිකර්මාන්තයන් අවුලෙන් අවුලට ඇද දැමීම ය. ගොවියන්ගේ ජිවනෝපාය අහිමි කරන ලද අතර, ගොවිබිමේ ගොවිතැන් කරනවා වෙනුවට පාරට බැස උද්ඝෝෂණ කරන්නට ඔවුන්ට සිදු විය. ආණ්ඩුවට දෙස් තියමින් වගා කරන්නට පොහොර ඉල්ලන කනගාටුදායක තැනකට ගොවි සමාජය ඇද දමන ලදි. වී වගාව පමණක් නොව, තේ වගාව හා වෙනත් ආර්ථික වැවිලි සියල්ල ම විනාශ කර දමන ලදි. ඉතිහාසයේ කවරදාකවත් නොදුටු විනාශයකට තේ වගාව බඳුන් කරන ලදි. මේ වගා හානි සහ වගාව අත්හැර දැමීම් සමගින්, එළවළු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල අහස උසට ගියේ ය. පාරිභෝගිකයෝ අමාරුවේ වැටුණාහ.

දැන් තහනම ඉවත් කළත්, රසායනික පොහොර ගෙන්වන සමාගම් කියන්නේ ඒවා ආනයනයට තවත් මාස දෙකක් පමණක් වත් ගතවනු ඇතිය කියාය. එතෙක් මහ කන්නයට සිදුවන හානිය කෙතරම් විය හැකි ද?

ඒ සියලු විනාශයන්ගේ අවසාන විනාශය තවමත් ළඟා වී නැත. එනම්, නුදුරේදී ම ඇති විය හැකි යැයි ගණන් බලා ඇති ආහාර හිඟයයි. ඒ විනාශය ද පැමිණි දාට, කාබනික පොහොරවලින් පමණක් කෘෂිකර්මය කළ යුතු යැයි ගන්නා ලද උද්දච්ච, මෝඩ තීරණයේ සම්පූර්ණ විපාක අපට දැනෙනවා ඇත.

සිදු වී ඇති විනාශයත්, එහි ප්‍රතිඵල නිසා ඉදිරියට ඇතිවන විනාශයත් වළක්වන්නට බැරි ය.

එහෙත්, මේ විනාශයට වගකීම බාර ගන්නට කිසිවෙක් මේ ආණ්ඩුවේ වෙත් ද? ප්‍රාමාණිකයන්ගේ අදහස් නොවිමසා, මා ගත් උද්දච්ච හා මෝඩ තීරණ නිසා මේ විනාශය සිදු වූ බවත්, ඒ ගැන ජාතියෙන් සමාව ඉල්ලන බවත් කියන්නට අවංක නිහතමානි නායකයෙක් රටේ සිටී ද?■

අධ්‍යක්ෂගේ හැඩේට
හැඩගැහෙන්න වෙනවා
රංගන ශිල්පිනී
මනෝජා ප්‍රනාන්දු

0

■ අමන්දිකා කුරේ

ඔබ කලාවට සම්බන්ධ වීමට අදාළ පසුබිම මොකක්ද?


මගේ පවුල් පසුබිම හරහා තමා මම කලාවට යොමුවෙන්නේ. මගේ තාත්තා චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්. ඒ වගේම මගේ අම්මාත් සංගීතය යම් දුරකට හැදෑරූ කෙනෙක්. මේ දෙදෙනාගේම සහයෝගයෙන් තමා අපිට කුඩා කාලයේ සිටම කලාව යම් විෂයකට සීමා නොවන තැනකට ගෙනගියේ. පුංචිම කාලේ ඉඳන් තනියම හිතෙන විදිහට කැමති සායමකින් චිත්‍රයක් අදින්න, සිංදු කියන්න, නටන්න, අභිරූපණයක් කරන්න, කලාත්මක නිර්මාණයක් තනියම නිර්මාණය කරගන්න වගේම බොහෝ වෙලාවට, අලුත් අවුරුදු දවසට හා නත්තලට අපිට වෙනම වේදිකාවක් වෙන් කරන්නත් එයාලා වග බලා ගත්තා. එදාට නෑයෝ හැමෝම එකතු වෙලා සින්දු කියලා නටලා බජව්වක් දාන්න අපි එනකන් බලන් ඉන්නේ. එයාලා තමා අපේ මුල්ම ප්‍රේක්ෂාගාරය වුණේ. එයාලා හරහා ලැබුණ දේවල්වල ප්‍රතිඵලයක් විදිහට මමයි මගෙ අක්කායි අදටත්, අපි අපිට තනියම ලස්සන ඇඳුම් මහගන්නවා, ගෙදරට බරක් නොවී ගොඩක් දේවල් තනියම කර ගන්න පුළුවන් ශක්තිය ගොඩනැගිලා තියෙනවා. එය කාන්තාවකට හරිම වටිනා දෙයක්. ඒ නිසාම පුංචි කාලේ ඉඳන් හැම දෙයක්ම කලාත්මකව දකින්න, කලාව හා යෙදෙන්න පුහුණුවක් ලැබුණා වගේම කලා විෂයන් පවා හැදෑරීමට යොමු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමා තවමත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ.

කලාව සම්බන්ධයෙන් ඔබගේ හැදෑරීම එහෙම කොහොමද?


මං කලින් සඳහන් කළ දේ ප්‍රතිඵලයක් විදිහට තමා පුංචිම කාලේ කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයට යොමු වුණේ. ඒ නර්තනය හැදෑරීමට. මං එහිදී පහතරට, සබරගමු හා මඳ වශයෙන් උඩරට යන දේශීය නර්තන හොඳින් ප්‍රගුණ කළා. පසුකාලීනව නාට්‍ය ගුරුවරයකුගේ බල කිරීමට ඉතාමත්ම අකැමැත්තෙන් නාට්‍ය හැදෑරීමට සිද්ධ වුණා. මට තිබූ සහජ හැකියාවත් සමගම ළමා නාට්‍යවලට සම්බන්ධ වුණා. තරුණ වයසට එළඹෙන තෙක්ම විවිධ නාට්‍ය ශිල්පීන් සමග නාට්‍ය නිර්මාණවලට සහභාගි වුණා. විවිධ පිරිස් සමග විවිධාකාරයෙන් යම් හැදෑරීම්කට කෙරුණා. ඒ අතර නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය ගුරුතුමාගේ එක් නාට්‍යකට සම්බන්ධ වෙලා මගේ ප්‍රථම, හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගත්තා. පසුකාලීනව නාට්‍ය හා රංග කලාව මං කැමති විෂයක් බවට පත්වුණා කියන්නත් පුළුවන්.

ඔබට දායක වීමට ලැබුණු විවිධ නිර්මාණ පිළිබඳ අත්දැකීම දැනගන්න කැමතියි.
මම බොහෝ නිර්මාණවලට සම්බන්ධ වුණ කෙනෙක් නෙවෙයි. ඒ නිසාම ඒ සම්බන්ධ අත්දැකීම් සීමිතයි.


නමුත් සම්බන්ධ වුණ සුළු ප්‍රමාණය එක්ක සසඳනකොට මට දැනුණ දේ තමයි, අධ්‍යක්ෂවරයෙකුගෙන් තවත් අධ්‍යක්ෂවරයෙකුට සෑම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂගේ හැඩයට රංගන ශිල්පියාට හැඩගැසීමට සිද්ධ වෙනවා. එය යම් තාක් දුරකට අභියෝගයක්. නමුත් නියමාකාරයේ රංගන ශිල්පියෙකු වීමට නම් ඒ අභියෝගය ජය ගැනීමට සිද්ධ වෙනවා.

චිත්‍රපට සම්බන්ධයෙන් අත්දැකීම මොකක්ද?


මට ලැබුණ හොඳම අත්දැකීම නම් භාව ප්‍රකාශනය සම්බන්ධ කාරණාවක්. එහිදී මට ලැබුණ උපදෙසක් තමා චිත්‍රපටවලදී මුහුණේ භාවමය හැඟීම් යම්තාක් දුරට අඩුවෙන් ප්‍රකාශ කළ යුතු බව. එයට හේතුව රිදී තිරය, පුංචි තිරය සහ වේදිකාව මෙන් නොවන නිසා. අපේ ඉතා සරලම භාව ප්‍රකාශනයක් වුණත් විශාල තිරයක විශාල වශයෙන් නැරඹීමට සිද්ධ වෙන නිසා. ටෙලිනාට්‍ය හා චිත්‍රපට තුළ ඊට අදාළ සංයමයක් ගොඩනගා ගැනීමට සිදු වෙනවා.

මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය වන පානාමංකඩ ටෙලි නාට්‍යයේ ඔබ තරමක් වෙනස් චරිතයක් නිරූපණය කරනවා. පානාමංකඩ චරිතය ගැන ඔබට තිබෙන අත්දැකීම විස්තර කළොත්?


පානාමංකඩ මට ලැබුණේ සුද්දිගේ චරිතය. සුද්දි, නැත්නම් ස්වර්ණා කියන්නේ සමාජයේ නොගැටුණු, සමාජ අත්දැකීම නොලැබුණ ගමක හැදෙන නව යොවුන්වියේ තරුණියක්. එයාට ලොකු හීනයක් තියෙනවා. එයාට ඕනෑ දිනන්න. ඉතින් ගෙදරටත් අකීකරුකම් පෙන්නලා එයා මේ හීනෙ පස්සෙ තමා දුවන්නේ. වර්තමාන සමාජයේත් ඕනෑ තරම් සුද්දිලා ඉන්නවා. දිනනවාද, නැද්ද කියන එක තීරණය වෙන්නෙ මේ සමාජය අනුවම තමා.

ඔබ නිර්මාණයක් තෝරාගන්නේ කොහොමද?


එහිදී මං ප්‍රධාන වශයෙන් පිටපත හා අධ්‍යක්ෂවරයා සම්බන්ධව විමසීමක් කරනවා. මොකද හොඳ අධ්‍යක්ෂවරයෙකුට පුළුවන් අසාර්ථක පිටපතක් වුණත් සාර්ථක නිර්මාණයක් බවට පරිවර්තනය කරන්න.

ඔබ රංගනයෙන් දායක වී ඇති සංගීත වීඩියෝ පටවල ඉතා කෙටි කාලයකින් භාවාත්මක හැඟීම් ප්‍රකාශ කළ යුතුයි. එවැනි චරිතයකට ඇතුල් වීමේදී අනුගමනය කරන දේවල් මොන වගේද?


මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දෙන්න මට අමාරුයි. ඒක අවස්ථානුකූලයි. මොකද අධ්‍යක්ෂවරයාගේ ස්වභාවය අනුව එය වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩියි. මට දැනෙන විදියට එය අධ්‍යක්ෂවරයා අපිව හසුරුවන ආකාරය සමග සම්බන්ධයි.


මුලින්ම චරිත ස්වභාවය වටහාගන්නවා. ඊට අදාළව අධ්‍යක්ෂගෙන් ලැබෙන උපදෙස් අනුව ඔහුගේ හැඩයට හැඩගැසීමට මං උපරිමයෙන් උත්සාහ කරනවා. ඵ් වගේම ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය අගය කරනවා වගේම විශේෂයෙන්ම මගේ ජංගම දූරකථනය මගෙන් ඈත් කරගන්නවා. මොකද රංගන මම දකින්නේ මානසික ගනුදෙනුවක් විදිහට. මට ජංගම දූරකථනය එක්ක මේ මානසික ගනුදෙනුව කරන්න බැරිවෙනවා.

වර්තමානයේ කලාව ගැන ඔබ දකින්නේ කොහොමද?


වර්ථමානයේ කලාව පමණක්ම නෙවෙයි කිසිම ක්ෂේත්‍රයක් සුබදායී තත්වයක නැහැ. කාලයක් තිස්සේ අපිට හැමදාම ඇහෙන විදියට තාමත් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්නෙ. ඒ නිසා කලාව හරහා නම් ජාත්‍යන්තරය තදින්ම අල්ලන එක වගේ දේවල් අපිට හීනයක්ම වෙන්න පුළුවන්. හොඳ නිර්මාණකරුවන්ගේ අඩුවක් නැති වුණත් ආර්ථික අපහසුතාව නිසා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය යටපත් කරගන්න අවස්ථා එමටයි. ඒ වගේම හොඳ නිර්මාණයක් බිහිවුණත් එය වැළඳගන්න ප්‍රේක්ෂාගාරයේ පිරිස අඩුයි. ඉතින් සුබදායක පිළිතුරක් දෙන්න අමාරුයි.


මුල ඉඳන්ම වෙනස් වෙනවා නම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුලින්ම වෙනස් විය යුතුයි. එවිට පසුකාලීනව සාම්ප්‍රදායික නොවන, ඉතාමත්ම ප්‍රබල ප්‍රේක්ෂාගාරයක් බිහිවෙයි. එවිට ඉල්ලුමට සැපයුම මෙන් හොඳ නිර්මාණ දිගින් දිගටම බිහිවෙයි. මම එහෙම කියන්නේ ඒකට අවශ්‍ය වන රටකට උචිත හොඳ ආර්ථිකයකුත් බලාපොරොත්තුවෙන්.


මේ හැම දෙයක්ම පවතින්නේ අපි හැමෝම මත. රටක් විදිහට ගොඩයන්න අවශ්‍ය වගකීම අපි හැමෝම සතුයි. එතකොට කලාව ඇතුළුව හැම ක්ෂේත්‍රයක්ම වගේ ගොඩාක් ලස්සන වෙයි. එවිට අපි හැමෝටම තවදුරටත් අපේ බලාපොරොත්තු හීන විතරක්ම නොවේවි.


කාන්තාවක් විදිහට, විවිධ පරාසවල චරිත සමාජයට ඉදිරිපත් කරනවිට සමාජයෙන් එන ප්‍රතිචාර කොහොමද?


මට අනුව කාන්තාවකට පමණක් නොවේ පිරිමියෙකු වුවත්, රංගන ශිල්පියකු හෝ රංගන ශිල්පිනියකට යන දෙපාර්ශ්වයටම තමන් කැමති ඕනෑම පරාසයක චරිතයක් කිරීමට හැකි විය යුතුයි. කුමන පරාසයක් වුවත් එය රංගනයක් පමණක්ම බව තේරුම් ගැනීම ප්‍රේක්ෂකයාගෙ වගකීමක්. එයට මං කලින් සඳහන් කළා මෙන් බුද්ධිමත් ප්‍රේක්ෂාගාරයක් හරි වටිනවා. මගේ තියරිය අනුව නම් මම ඕනෑම පරාසයක චරිතයක් කිරීමට පසුබට වන්නේ නෑ. මොකද මම සහ මගේ ආදරණීයන් දන්නවා මම ඒ යෙදෙන්නේ රංගනයක පමණක්ම බව. සමහර වෙලාවට සමහර රංගනයන් හරහා සමාජයෙන් බැනුම් අහන්නත් සිද්ධ වුණා. නමුත් ගොඩක් වෙලාවට මං රංගනයක යෙදුණ විට මට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ගොඩනගා ගැනීමට හැකි වුණා. ඔවුන් මගේ චරිතවලට ගොඩක් ආදරේ කළා. ඒක මට සතුටට කරුණක්.■