බුද්ධ චීවරය යනු බුදුන්ගේ ශ්‍රාවකයන් හඳිනා විශේෂ ඇඳුමයි. හැම බුද්ධ ශ්‍රාවකයකු ම එක ම ආකාරයකට එය හැඳිය යුත්තේ කෙසේ දැයි මග පෙන්වීම් බෞද්ධ ඉගැන්වීම්වල හමුවෙයි. එවැනි එක් ආකාරයක් පෙන්වා දී ඇත්තේ, බුද්ධ ශ්‍රාවකයන් යනු එක ම පිරිසකි’යි යන්න පෙන්වා දීමට ය. හඳුන්වා දීමට ය. එහෙත්, ලංකාවේ බුද්ධ ශ්‍රාවකයෝ, බුදුන්ගේ එම ‘එක ම පිරිසක්’ යන බලාපොරොත්තුව කඩ කරමින් චීවරය විවිධ විදියට හඳිති. තමන්ගේ නිකාය කුමක් දැයි ප්‍රසිද්ධ කිරීමට ය. එනයින් ම තමන් කවර කුලයකට අයත් දැයි අනුන්ට පෙන්වීමට ය. බුදුන්ගේ දහම එය වී දැයි කරුණාකර නොඅසන්න, එවැන්නක් දැන් ඇත්තේ ඒ චීවරය ම දරා සිටින, අතලොස්සක් තෙරණු පිරිසක් අතර පමණි.
එක ම බුද්ධ චීවරය දරාගෙන සිටිය ද ඒ තුළ එක් එක් චරිත සිටි බව බුදුන් ජිවමාන කාලයේ ම ශාසනයෙහි සිටි විවිධ චරිත ගැන දැනීමෙන් අපි දනිමු.
ඒ විදියට ම මේ කාලයේ ද ලංකාවේ බුද්ධ ශාසනයේ විවිධාකාර ප්‍රතිරූපකයෝ සිටිති. තරුණ ජනයා ‘සිවුරු රඳවන’ නම් අපර නාමයෙන් හඳුන්වන්නේ එවැන්නන් ය.
ඉන් කුප්‍රකට එකකු නම් ගලඋඩ ඥානසිරි නමින් සිවුරු දරාගෙන සිටින්නා ය. හෙතෙම, කාලයකට පෙර සුරාව පානය කර වාහනයක් පදවාගෙන ගොස් පුද්ගලයකු අනතුරට පත් කිරීමේ චෝදනා ලැබ මහේස්ත්‍රාත් අධිකරණයකින් දඬුවම් ලද්දෙකි. හරි නම්, ඔහු සිවුරෙන් පන්නා දැමිය යුතු ව තිබුණේ ඒ කාලයේ ය. එවැනි අයත් ශාසනයේ සිටිය යුතු යැයි විශ්වාස කරන නිකායවල මහානායක, සංඝනායක වැනි උතුමන් නිසා, තවමත් ඔහු චීවරය රඳවාගෙන සිටියි.
අප දන්නා කාලය තුළ ම ගලඋඩ ඥානසිරි යනු, ජාතිවාදය, ආගම්වාදය කරපින්නා ගත් අන්තවාදියෙකි. ඒවා යොදා ගෙන දෙමළ හා මුස්ලිම්, කිතුනු සුළුතර ජනතාවට එරෙහිව සිංහල බෞද්ධ බහුතර ජනතාව උසිගැන්වීමෙහි යෙදුණෙකි. ඒ මගින් මුස්ලිම්, කිතුනු ඈ ජනතාවට මහත් සේ විනාශයන් අත්කර දෙන්නට නායකත්වය දුන්නෙකි. ඔහු කොහේ හෝ යතොත් යන්නේ ගිනි අවුළන්නට බලාගෙන ය. එනයින් ඔහු බොහෝ දුරට සමාන වන්නේ, වලගෙහි ගිනි හුලක් අටවාගෙන, ගම්බිම් ගිනි තබමින් ගිය හනුමන්ට ය. මේ පාරාජිකා ක්‍රියාන්විත නිසා ඔහු අධිකරණයෙන් වරදකරු ව සිරදඬුවම් වින්දේ ය. ලංකාවේ සිටි ජනාධිපතිවරයකු විසින් ඔහුට සමාව දෙනු ලැබ දැන් සිටින්නේ සමාජය තුළ ම, ලැබුණොත් ගිනි අවුළන්නේ කොතැන දැයි සොයමිනි. (ජනාධිපති සමාවට එරෙහි නඩුවක් තවමත් විභාග වෙමින් පවතියි.) ඒ කාලයේ රාජපක්ෂ පරපුර, මෙවැනි හනුමන් සේ හැසිරෙනවුන් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන, පෝෂණය කර, රට දස’නුදෙස හවුළුවන්නට වුවමනා වූ කල මුදා හැරියේ ය. ගෝඨාභය රාජපක්ෂ ගාල්ලේ පිලානේ තිබුණු මේ දුෂ්ටයන්ගේ ‘අධ්‍යාපන මධ්‍යස්ථානය’ක් විවෘත කරන්නට පවා ගියේ ය.
මේ දවස්වල මේ පැවිදි ප්‍රතිරූපකයා නැවත සැරිසරනු පෙනේ. ඒ, ගින්නක් අවුළුවන්නේ කොහොම දැයි බලමිනි. වාසනාවකට, එවැනි අන්තවාදීන්ට උඩගෙඩි නොදෙන, අඩු ගණනේ එවැන්නන්ට ඉඩක් නොතබන බව වචනවලින් හෝ කියන ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක් රටේ සිටිති. ඒ නිසා, මේ දුෂ්ටයන්ගේ වැඩවලට හිතූ තරම් තටු නොලැබෙනු ඇතැ’යි අපි සිතමු.
ඔහුටම තකට තක ලෙස ගැළපෙන තවත් පැවිදි ප්‍රතිරූපකයෙක් පසුගිය කාලයේ වැඩී ආයේ ය. ඔහු බලංගොඩයෙකි. 2022 ගෝල්ෆේස් අරගලයේ දී තැනින් තැන සැරිසරසමින් ජාතිවාදය, ආගම්වාදය පතුරමින් සිටි මේ පැඟිරා, දැන් ඥානසිරි සමග එකම බෝට්ටුවට නැග සිටියි. ගෝල්ෆේස් අරගල භූමියේ සිටියවුන් කියන්නේ, ඔහු එහි පන්සලක් ඇටවීමට ද උත්සාහ කළ බව ය.
මේ දෙදෙනා ම පසුගිය දිනවල ත්‍රිකුණාමලයේ දී මහ ගින්නක් අවුළුවන්නට ගත් තැත බුද්ධිමත් මිනිසුන් නිසා වැළකිණ.
මේ පැවිදි ප්රතිරූපකයන් අපට කියන්නේ තමන්ගේ සිවුරට මහ බලයක් තිබෙන බව ය. සිවුරට බලයක් තිබෙන්නට පුළුවන. එහෙත් මොවුන් දරාගෙන සිටින සිවුරට නම් නොවේ. සිවුරක් දරා සිටීමෙන් ඔවුන් කරන්නේ සිවුර ද කුජීත කිරීම ය. දුර්වර්ණ කිරීම ය. අපකීර්තියට පත් කිරීම ය.
ඒ නිසා සිවුරෙහි අගය රැකගත යුතු යැයි මහානායක, සංඝනායක ඈ කවුරුන් හෝ සිතන්නේ නම්, ඔවුන් වහා කළ යුත්තේ, මෙවැනි දුෂ්ටයන් විනයානුකූලව සිවුරෙන් මුදා හැර, සිවුරේ මහන්තත්වය ආරක්ෂා කරගැනීමයි.


