ජනාධිපති අනුර කුමාර දිසානායක, ඔක්තෝබර් 17 වැනිදා සුගතදාස ක්රීඩාංගණයේ පැවැති ලංකා ගුරු සංගමයේ සමුළුවේදී කළ ප්රකාශය, පුළුල් ලෙස විවාදයට බඳුන්ව තිබේ. ආණ්ඩුවට පිටතින් සිට ආණ්ඩුව විවේචනය කරන්නවුන්ටත් වඩා එම ප්රකාශයෙන් හිත රිදී තිබෙන්නේ ආණ්ඩුවේ විවිධ ස්තරවල හිතවතුන්ටය.
මහජනතාව පිනවීමට විවිධ සිල්ලර දේවල් කරමින් හා කියමින් සිටින ආණ්ඩුව, තීරණාත්මක වෙනසක් කරාවිය යන්න ගැන තිබෙන බලාපොරොත්තු හෙමිහෙමින් කඩකර ගනිමින් සිටින මනුවර්ණගේ ජාජබ හිතවතුන්ට, ජනාධිපතිවරයාගේ ප්රකාශය පෙනෙන්නේ, ස්ථිර වශයෙන්ම තම බලාපොරොත්තු කඩවෙතැයි පෙනෙන අසුබ පෙරනිමිත්තක් හැටියටය. ‘පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේදී සම්මත නොවන බවට මම ඔබට සහතික වෙනවා.’ ජනාධිපතිවරයා කීවේ එයයි.
ජනාධිපති ප්රකාශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන පැහැදිලි එමෙන්ම භයානක සංඥාවක් පෙන්වයි. ඔහු මේ කියන්නේ ‘ආණ්ඩුවක් මහජන කැමැත්ත ගැන සුසංවේදී වන බව’ වැනි ලස්සන දෙයක් ගැන නොවේ. බලය ලද විට තමන් කරන බවට ප්රතිපත්ති ප්රකාශයෙන්ම පොරොන්දු වී ඇති දේවල්, ‘මහජන එකඟතාව’ක් නොමැති බව පවසා අතහැර දැමීමට තිබෙන ඉඩ ගැනය. ජනාධිපතිවරයා කියන පසුපසට ගත් නීති ප්රතිසංස්කරණවලින් එකක් වන්නේ දරුවන්ට ශාරීරික දඬුවම් දීම වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්රහය වෙනස්කිරීමට ගෙනා සංශෝධනයයි. එය පාර්ලිමේන්තුවේ දෙවැනි වරටද කියවා, ඡන්දය සඳහා නියමිතව තිබියදී දින නියමයක් නැතිව කල් තබනු ලැබීය. බොහෝ විට ඉඩ ඇත්තේ එම සංශෝධනය නැවත ගෙන නොඒමටය.
ජනාධිපතිවරයා කිව්වේ මහජනතාවගෙන් ආ විරෝධය නිසා ඒ ගැන නැවත සලකා බලන බවයි. ජනතා විරෝධය මැද නීති සම්මත නොකරන බවයි. මේ කියන මහජනතාව කවුද? මේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට, එහි ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය ප්රශ්න කරමින් කිසිවෙක් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට නොගියෝය. එහෙනම්, එතැන විරෝධයක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයේදීද කිසිම මන්ත්රීවරයකු හෝ පක්ෂයක් මේ සංශෝධනයට විරුද්ධතාව පෑවේ නැත. ඉදිරිපත් වූ කරුණු වූයේ, කෙටුම්පතේ ඇති ඇතැම් වචන නිසා ප්රායෝගික අවුල් ඇති විය හැකි බැවින්, නිශ්චිත අර්ථ නිරූපණ එම වචනවලට දී කෙටුම්පත සංශෝධනය කරන ලෙසය. එතැනදීද විරෝධයක් පැනනැගුණේ නැත. පෙන්වා දුන් එම යෝජනාවල වරදක්ද නැත.
එසේ නම්, ජනාධිපතිවරයා කියන මහජන විරෝධය ආවේ කොතැනින්ද? කොහෙන්වත් නොවේ, රටේ මහානායක භික්ෂූන් ඇතුළු නායක භික්ෂූන්ගෙන්, කාදිනල්වරයාගෙන් හා පාදිලිවරුන්ගෙන් මෙන්ම ඇතැම් ගුරුවරුන්ගෙන්ය. ජනාධිපති කියන මහජනතාව සැදී ඇත්තේ ඔය කියන තුන්ගොල්ලගෙනි. බෞද්ධ භික්ෂූන්ටත්, කාදිනල්වරයාටත්, පනත සංශෝධන සහිතව සම්මත කිරීමක්වත් අවශ්ය නොවීය. ඔවුන්ට වුවමනා වුණේ එය මුළුමනින්ම කුණු බක්කියට දම්මා ගැනීමය. මිහින්තලේ නායක භික්ෂුවට තිබුණු බය නම්, සංශෝධනයෙන් පසු අවුරුදු 16ට අඩු ළමයකු මහණ කරගැනීමට බැරිවේය යන්නයි. සමහර ගුරුවරුන්ගේ දැඩි මතය නම් මේ පනත් කෙටුම්පත නිසා පාසල්වල විනය රකින්න බැරි බවයි. දරුවන් ‘වැදූ’ දෙමාපියන්ටද, දරුවන් ‘හදන’ ගුරුවරුන්ටද, එම දරුවන් ‘යහමග යැවීමේ නාමයෙන්’ ශාරීරික දඬුවම් දෙන්නට අයිතියක් තිබිය යුතුය කියන තිරිසන් මානසිකත්වයේ මේ සමහර පිරිස් සිටිති. ‘බලවතා, දුබලයාට පහර දීම නරක දෙයක් නොවේෟ’
එහෙත් සමහර දැනුවත් පිරිස් මෙන්ම විද්වත්තුද මෙහි විධිවිධාන නිසා පාසල් පද්ධතියේ විනය පාලනයට හානි වන බවට පෙනෙන දේවල් වෙනස් කිරීමට වියත් යෝජනාද ඉදිරිපත් කළහ. ආණ්ඩුවට ඒ කිසිවක් නොපෙනිණ.
අවසානයේ සිදුවුණේ භික්ෂූන්ගේත්, පාදිලිවරුන්ගේත්, ආණ්ඩුවේම ගුරු වෘත්තීය සංගම්වල නායකයන්ගේත් වුවමනාවන්ට බියෙන් යටත්වූ ජනාධිපතිවරයා ප්රමුඛ රජය, මේ සුළු කණ්ඩායම රටේ මහජනතාව බවට නාමගන්වා, තමන් ගෙනෙන්නට හැදූ නීති ප්රතිසංස්කරණයක් කුණු කූඩයට දැමීමය. ඒ සමගම, විධායක ජනාධිපති කෙනකුත්, පාර්ලිමේන්තුවේ 159ක තුනෙන් දෙකක බහුතරයකුත් ඇති ආණ්ඩුවකට වුණත්, ඒ කිසිම දෙයක ඇත්ත බලයක් නැති බව පෙන්වා දෙනු ලැබිණ.
ළමයින් කියන්නේ රටේ සංඛ්යාත්මක සුළුතරයකි. සමාජයේ බලයක් නැති පිරිසකි. තමන්ට සිදුවන ශාරීරික පීඩාවන් ගැන, පෞද්ගලිකවත්, සාමූහිකවත් විරෝධය පාන්නට දරුවන්ට නොහැකිය. එනිසා ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටියන්ටය. එසේම, රටේ දරුවන්ගේ අයිතිවාසිකම් රැකදීමේ පරම වගකීම පවරා ඇත්තේ, අනෙක් සියලු මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන මෙන්ම, රටේ රජයටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙන් මෙන්ම ළමා ප්රඥප්තියෙන්ද බැඳී සිටින්නේ ලංකාවේ රජයයි.
දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ආගමික අන්තවාදීන්ගේ බලපෑම් නිසා, ජනාධිපතිවරයා බය බිරාන්ත වී, රජයක් දරුවන්ට සහතික කළ යුතු අයිතිවාසිකම් හා ආරක්ෂාව දැනුවත්වම අතහැරීමට ආණ්ඩුව පියවර ගැනීමයි. පසුගිය කාලයේ බෞද්ධ හා කතෝලික ආගමික නායකයන් වුවමනාවට වඩා වන්දනාමානන කරමින් ජනාධිපතිවරයා කළ සංචාරවල තාර්කික ප්රතිඵලය ලෙස මෙය හැඳින්විය හැකිය.
බහුතර මහජනතාවගේ ඡන්දයෙන් පත්වුණත්, ආණ්ඩු තිබෙන්නේ සංඛ්යාත්මක සුළුතරයන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටය. එය ප්රජාතන්ත්රවාදයේද වැදගත් මූලධර්මයකි. නැතිනම් සමාජයේ ක්රියාත්මක වන්නේ කැලේ නීතියයි. බලවතාට අනුව දුර්වලයා ජීවත්වීමේ නිතියයි. ඉතිහාසයේ ප්රගතිශීලීම ආණ්ඩුව හැටියට හැඳින්වුණද, දැන් ජාජබ ආණ්ඩුව, සුළුතරයේ අයිතිවාසිකම් රැකීම සඳහා තමන්ට ඇති නොහැකියාවත්, ඒ සඳහා අවශ්ය දේශපාලන අධිෂ්ඨානය නොමැති වීමත් ප්රදර්ශනය කරමින් සිටියි.
සංඛ්යාත්මක සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිම අතහැරීම නිසා ඊළඟට අවදානමට ලක්විය හැක්කේ ලිංගික දිශානතිය නිසා පීඩනයට ලක්ව සිටින සුළුතරයයි. ජාජබ ප්රතිපත්ති ප්රකාශනයේ 77 වැනි පිටුවේ, ‘දණ්ඩ නීති සංග්රහයේ 365, 365 (අ) වැනි ස්ත්රීන්, දරුවන් සහ වෙනත් ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට වෙනස් කොට සලකන සහ පීඩාවට ලක්කරන විශේෂ නීති සංශෝධනය කිරීමේ පොරොන්දුව’ ගැන සඳහන් වෙයි. මේ පොරොන්දුවූ නෛතික වෙනස්කම කරන්නට හැදුවොත්, ඔය කියන භික්ෂූන් හා පාදිලිවරුන් කුමන විරෝධයක් දක්වනු ඇද්ද? ඔවුන්ට එකතුවීමට නියමිතව ඇති පොහොට්ටු පක්ෂය ඇතුළු අන්ත ජාතිකවාදී ආගම්වාදී පක්ෂ, කණ්ඩායම් හා අන්තවාදී භික්ෂූන් ආදියත් ගැන සිතන විට, ඉහත දනීසයේ වගන්ති වෙනස්කිරීම සිහිනයක් පමණක් වනු ඇත. ආණ්ඩුව මේ සුළුතර ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් උර දෙන්නේ නැති බව, පසුගිය කාලයේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා හා ලිංගික සුළුතරයන්ගේ සංවිධානයක් කළ ලියුම් ගනුදෙනුවකදී අගමැතිවරිය ඉදිරියට පැමිණ කී, වගකීමෙන් මිදීමේ කතාවලින් පැහැදිලි වෙයි.
මේ දිනවල සුළුතර ලිංගික අනන්යතා සහිත ජනතාව ඉලක්ක කරගෙන සමාජ මාධ්ය හා සාම්ප්රදායික මාධ්ය අරා සිටින බලවත් විරෝධතාවක් දකින්නට ලැබේ. ආණ්ඩුවේ කිසිවකුත් ඒ කලබැගෑනිවලදී සුළුතර ලිංගික ප්රජාවන්ගේ අයිතිවාසිකම් ගැන වචනයක්වත් කියනු ඇසුණේ නැත. එවැනි විරෝධතාවක් අනාගතයේදී ඇතිවුණොත්, දනීසයේ ඉහත වගන්ති සංශෝධනය කරවාගැනීමට තවත් කාලයක් සිටින්නට සිදුවනු ඇත. අධිකරණ ඇමතිවරයා රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වේ, ‘නීති හදන්නට ගොස් ජනතාව තරහ කරගන්නට බැරි බව’ය.
මේ ‘මහජන විරෝධතා නිසා තීරණාත්මක ප්රතිසංස්කරණ අතහැරීමේ’, ආණ්ඩුවේ දුෂ්ප්රතිපත්තියේ කූටප්රාප්තිය වනු ඇත්තේ, දෙමළ හා මුස්ලිම් සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ඔවුන් හා බලය බෙදාහදාගැනීමට ඇති වගකීමද මගහැරීමය. බලය බෙදීම ගැන රැඩිකල් ප්රතිසංස්කරණ අතහරිමු; අඩු ගණනේ පළාත් සභා, එහි ව්යවස්ථාමය පරිමාණයෙන්, එනම් පොලිස් හා ඉඩම් බලතල සහිතව පිහිටුවීමටවත් ආණ්ඩුව පියවර ගතහොත් මේ ඊනියා අන්තවාදී මහජනතාවගෙන් එනු ඇති නිසැක විරෝධයට මුහුණ දීමට, ආණ්ඩුවේ තුනෙන් දෙක මදිවනු ඇත. සුළුතර ජනතාව සමග බලය බෙදාහදාගන්නා අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම, අහසේ පාවෙන අතථ්ය දෙයක් බවට මේ ආණ්ඩුව පත්කරනු ඇත්තේ ඉන් පසුවය.
එහෙත්, ආණ්ඩුව තමන්ට ඇත්තටම වුවමනා නීති ප්රතිසංස්කරණ වෙනුවෙන් නොපැකිළ පෙනීසිටියි. ජනාධිපතිවරුන්ගේ වරප්රසාද නැතිකිරීමේ පනත සම්මත කරගත් ආණ්ඩුව, විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ පනත සේවකයන්ගේ වර්ජන විරෝධතා මධ්යයේම සම්මත කර ගත්තේය.
එහෙත්, දරුවන් ඇතුළු සුළුතර ජනතා අයිතිවාසිකම් පිළිබඳ නීති ප්රතිසංස්කරණ නම් එන්නේ නැති බව හොඳටම විශ්වාස කළ හැකිය. එය දේශපාලන අධිෂ්ඨානය පිළිබඳ ප්රශ්නයකි. පරණ ආණ්ඩුවලටද තිබුණේ ඒ දුර්වලකමමය.


