වත්මන් ශ්රී ලංකාවේ රණවිරුවා යනු කෛරාටික දේශපාලනයේ ව්යාජ ආදරය, කරුණාව හා කෘතඥතාව ප්රදර්ශනය කරමින් කිතිකවන හා උඩදමන බෝනික්කෙකි. රැවටීමකට භාජනය කරනු ලැබ සිටින මිනිස් ගොදුරකි. රණවිරුවා පිළිබඳ කථිකාව සමාජ, දේශපාලන, සංස්කෘතික හා මනෝවිද්යාත්මක ක්ෂෙත්ර ආවරණය කරන්නාවූ විවාදාපන්න මාතෘකාවක් ද වේ. ආත්මාර්ථකාමී දේශපාලඥයින් තම කූට දේශපාලන ජාවාරමේ දී ප්රයෝජනයට ගන්නා ප්රධානතම මෙවලම්වලින් එකක් වන්නේ ද රණවිරුවා ය. එහෙත් ව්යාජ දේශප්රේමය, ජාත්යාලය හා ප්රචණ්ඩත්වයට දාව උපන් රණවිරුවා නම් මනුෂ්ය පුත්රයා අධම පාලකයින් වෙනුවෙන් සංග්රාම සමයේ දී විඳි දුක් වේදනා හා අවභාගයේ දී තම තරුණ ජීවිත පූජා කළා නොවේදැයි සිතන විට ඔවුන් සොහොන් අබියස දණගසා මෙම ඛේදවාචකය ආවර්ජනය කිරීමට මෙම ලේඛකයාට සිතේ. මන්ද, ඔවුන් බහුතරයක් දෙනා තම දිළිඳු දෙම්පියන් හා සහෝදර සහෝදරියන් පෝෂණය කිරීම සඳහා දිවි පරදුවට තබා සටන්බිමට ගිය අපගේ දරුවන් ය.
ජනවාර්ගික යුද්ධයට පළමුව පාර කැපුවේ වර්ගවාදී හා ආගම්වාදී සිංහල දේශපාලඥයන් ය. ලංකාවට බි්රතාන්යයෙන් “ඩොමීනියන් නිදහස” ලබාගැනීම සඳහා සමඟිව කටයුතු කළ සිංහල, දෙමළ හා මුස්ලිම් පාර්ශ්වයන්ගේ මිත්රත්වය බිඳදැම්මෝ සිංහල නායකයෝ ය. ඒ අසමඟිය බෙදුම්වාදී තරුණ ව්යාපාරයට මං හෙළි කළේ ය. එම බෙදුම්වාදී තරුණ ප්රචණ්ඩ ව්යාපාරය රට දෙකඩ කිරීමට තරම් ශක්තිමත් බලවේගයක් වෙද්දී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ සොල්දාදුවන්ට මුළු රටම ණයගැතිය. යුද්ධයේ දී සටන් කර අද වනතුරුත් ජීවත් වන සොල්දාදුවන්ට රටවැසියන් ගරු කළ යුතු ය. එහෙත් ඔවුන්ට කටු ඔටුනු පළඳවා රණවිරුවා යන ලේබලය අලවා තම බල තණ්හාව සන්තර්පණය කර ගැනීමට මාන බලන දේශපාලනඥයින් හෙළා දැකිය යුතු ය.
දීර්ඝ කාලයක් පුරා ජනවාර්ගික ආන්තිකරණයකට භාජනය කරනු ලැබ සිටි දමිළ ප්රජාව තුළින් තරුණ සටන්කාමී ව්යාපාර බිහිවීම අරුමයක් නොවේ. ඔවුන් විසින් අනුගමනය කරන ලද ත්රස්තවාදී ප්රචණ්ඩ ක්රියා හෙළා දැකිය යුතු ය. එහෙත් ඔවුන් ඒ තත්ත්වයට ඇදදැමුවේ ප්රධාන වශයෙන් ම සිංහල පාලකයින් ය. බෙදුම්වාදී යුද්ධයේ දී දිවි පිදූ දෙමළ තරුණ තරුණියන් ද බොහෝ දෙමළ රටවැසියන් සලකනු ලබන්නේ විරුවන් ලෙස ය. සිංහල, දෙමළ විරසකය ම්ලේච්ඡ යුද්ධයක් දක්වා වර්ධනය කිරීමට සිංහල පාලකයින් මෙන්ම ප්රභාකරන් වැනි දෙමළ බෙදුම්වාදීන් ද වගකිව යුතු බව දෙමළ ප්රජාවේ බහුතරයක් දෙනා මේ වන විට තේරුම්ගෙන සිටීම සතුටට කාරණයකි. දෙපාර්ශ්වයේ ම තරුණයින් දිවි පුදා ඇත්තේ තමන්ගේ නොව වෙනත් පාර්ශ්වයන් දෙකක අවශ්යතාව වෙනුවෙන් බව රටවැසියන් තේරුම් ගත යුතු ය.
යුද්ධයේ දී මිය ගිය දෙපාර්ශ්වයේ ම සොල්දාදුවන්ගේ නෑයින් හා හිතමිත්රාදීන්ට අකාලයේ තමන් හැරගිය ආදරණීයයන් සැමරීමේ අයිතියක් තිබිය යුතු ය. දකුණු ලංකාවේ ඉල්මහ විරුවන් වශයෙන් හඳුන්වනු ලබන දිවි පිදූ තරුණයින් සැමරීමට ඔවුන්ගේ නෑ හිතවතුන්ට ද අයිතියක් ඇත. යුද්ධයේ දී මිය ගිය තම ආදරණීයන් සැමරීමේ අයිතිය දෙමළ සමාජයට නැතැයි කියන්නේ කවුරුන් ද? ජනවාර්ගික යුද්ධයේ දී රටේ භෞමික අඛණ්ඩතාව සඳහා සටන් කොට දිවි පිදූ සොල්දාදුවන් සැමරීම කළ යුතු බව පිළිබඳ විවාදයක් නැත. එහෙත් එය රාජ්ය අනුග්රහයෙන් පවත්වනු ලබන යුද්ධය හා යුද ජයග්රහණය උත්කර්ෂයට නංවන දේශපාලන නාටකයක් නොවිය යුතු ය.
සාමය වෙනුවට යුද්ධය හා යුද ජයග්රහණය උත්කර්ෂයට නංවන විවිධ පරාජිත දේශපාලන භවතුන් මේ වන විට වර්ගවාදයේ හා ආගම්වාදයේ රණවිරු යාඥාව තීව්ර කර ඇත්තේ තමන් රණවිරුවන්ගේ අවිවාදිත ආරක්ෂකයින් බව සිංහල සමාජයට ඒත්තු ගැන්වීම සඳහා ය. යුද ජයග්රහණයට දායක වූ සොල්දාදුවන් ඔවුන්ගේ පටබැඳි නාමය වන “රණවිරුවා” යන නමින් හඳුන්වනවා වෙනුවට ඔවුන්ගේ නිලනාමය වන සොල්දාදුවා යන නමින් හැඳින්වීම සම්බන්ධයෙන් යුද ප්රේමවන්තයින් වත්මන් ජනාධිපතිවරයාට බැන අඬ ගසන්නට පටන්ගෙන ඇත්තේ “රණවිරුවාගේ” ඒකාධිකාරී හෝ කතිකයාධිපති අයිතිකරු වීමේ අටියෙන් විනා වෙනත් අරමුණක් සඳහා නොවේ. ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහා මැතිවරණයට පෙර මාලිමා නායකයන් ද විශ්රාමික රණවිරු බලකාය හරහා රණවිරු වලිප්පුවක් හදා ගත් අතර රණවිරුවන්ගේ “මුල් අයිතිකරුන්” වූ රාජපක්ෂ නඩය ප්රධාන සිංහල වර්ගවාදී රොත්ත බුරුත්ත මාලිමා නායකයන් වෙත හෙලුවේ ඊර්ෂ්යාපරවශ බැල්මකි. රණවිරු ප්රශස්තියේ කොඩිය රාජපක්ෂවරුන්ගෙන් පැහැර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටි පදක්කම් නායකයා ද මාලිමාව විසින් රණවිරු අඩයාලම පැළඳීම පිළිබඳව අපේක්ෂාභංගත්වයට පත් වූ බව රහසක් නොවේ. පංචායුධ විමල් හා පිවිතුරු ගම්මන්පිල ද, රණවිරුවාගේ මුර දේවතාවන් වීමට පැතූ සිහින මාලිමාව විසින් බොඳ කිරීම පිළිබඳ රහසින් දත්මිටි කෑවෝ ය.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණ කාලයේ දී මාලිමාව විසින් රණවිරුවන් හා භික්ෂූන් ලුණු කරේ ගෙන යන විට මෙම ලේඛකයාට තාවකාලික කාලකන්නි සතුටක් දැනුණි. මන්ද රාජපක්ෂවරුන් හා වෙනත් දූෂිත රණවිරු වන්දනාකරුවන් භුක්තියට සවිකරගෙන සිටි රණවිරු පොල්මඃකාරකම බෙදුම් නඩුවක් නොමැතිවම හිතුවක්කාර ලෙස මාලිමාව විසින් අත්පත් කර ගැනීම මඟින් ඇතිවන අලකලංචිය දැක බලා ගැනීමේ පහත් ආශාව සන්තර්පණය කරගැනීමට හැකි වූ නිසා ය. යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් කඩේ යැවීම කවුරු කළත් වැරදි ය.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සමයේ මාලිමාව විසින් විශ්රාමික රණවිරු බලකාය හැදුවේ තත්කාලීන පසුගාමී ජනවිග්රහණයට අවනත වීමට සිදු වූ නිසා ය. එය ඡන්ද මවන මන්තරයක් යයි සිතූ නිසාද විය හැකි ය. එසේම දක්ෂිණාංශික වර්ගවාදී හා ආගම්වාදී බලවේගවලින් ආරක්ෂා වීමේ බෆර් එකක් අවශ්යව තිබූ නිසා ද විය හැක. එහෙත් ඒ අදූර්දර්ශී දේශපාලන තීන්දුව ගොනු පිටුපසින් එන රියසක මෙන් මාලිමාව පිටුපස ඇදී එයි. රණවිරු අඩයාලම දැන් මාලිමාවට ඔරොත්තු නොදෙන බරක් බවට පත්ව තිබේ.
රණවිරු භේරිනාදය සුළු ජන ප්රජාවන්ගේ කණට පරාල ඇණ ඇතුල් කරවන්නක් මෙන් දැනෙන බව මාලිමාවේ නායකයෝ දනිති. එසේම මෙම රණවිරු බෙරය බඩ බැඳගෙන වගවීම ඉටු කිරීමේ දේශීය යාන්ත්රණයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමට ඒත්තු ගැන්විය නොහැකි බව ද ඔවුහු දනිති. ඒ සියල්ලට ම වඩා දෙමළ හා මුස්ලිම් ප්රජාවන් තුළ තමන් කෙරෙහි විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට රණවිරු ස්තෝත්රය බාධාවක් බව ඔවුන්ට පැහැදිලි ය. යුද ජයග්රහණය සැමරීමේ උත්සවයේ දී ජනාධිපතිවරයා තම කතාව පැවැත්වූයේ “රණවිරුවා” යන තහනම් වචනය ඉබේ කියවේදෝ ඇයි බියෙනි. ඔහු වචන අතුරින් ඇවිද්දේ බිම්බෝම්බ වැළලූ බිමක ඇවිදින ආගන්තුකයන් මෙන් ප්රවේශම් සහගතවය.
මාලිමා ආණ්ඩුවේ සැබෑ මෙහෙයුම්කරුවා වන ජ.වි.පෙ.් අතීතය හාරා ඇවිස්සීම මඟින් දැන් අවැඩක් මිස වැඩක් නොවේ. දැන් සාකච්ඡා කළ යුත්තේ මාලිමා ආණ්ඩුවේ වත්මන් ක්රියාකාරිත්වය යි. අතීත දූෂිත දේශපාලනඥයින් හා නිලධාරින් නීතිය හමුවට කැඳවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දිරිමත් කළ යුතු ය. යුද්ධයෙන් දිවි අහිමි වූයේ සිංහල අම්මලාගේ දරුවන් මෙන්ම දමිළ අම්මලාගේ දරුවන් බවත් ඔවුන් සැමරීමට මේ අම්මලාට මෙන්ම ඒ අම්මලාට ද, අයිතිය ඇති බවත්, පවසන ජනාධිපති අනුර සමඟ සාමලැදි සියලු දෙනා හිටගත යුතු ය. යුද්ධයේ ජයග්රාහකයන් මෙන්ම පරාජිතයන් යන දෙපාර්ශ්වයම මේ රටේ පුරවැසියන් බව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිවරයා පැසසිය යුතු ය. රණවිරුවා යන වචනය උසුරුවන වාරයක් පාසා උතුරු නැගෙනහිර දමිළ වැසියන් ආණ්ඩුවෙන් තව තවත් ඈත්වන බව ජ.වි.පෙ නායකයෝ තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්විය යුත්තාහ. මන්ද ඔවුන්ගෙන් ඇතමෙකු තුළ තාමත් පරණ මන්ඩි ඇතුලේ ඉතිරිව ඇති නිසා ය.
ජා.ජ.බ. විසින් විශ්රාමික රණවිරු සංසදයක් ගොඩනඟා ඇති බව දැන දැනත්, බුද්ධාගමට ප්රමුඛස්ථානය ලබා දෙන බව සහතික කෙරෙන ව්යවස්ථා ප්රතිපාදනය තමන් පිළිගන්නා බව මහරගම යොවුන් මධ්යස්ථාන ශ්රවණාගාරයේ දී ජා.ජ.ප. නායකයා විසින් ප්රකාශ කර තිබියදීත් පසුගිය මහා මැතිවරණයේ දී මඩකලපුව දිස්ත්රික්ය හැර උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම මැතිවරණ දිස්ත්රික්ක ජා.ජ.බ. ජයගැනීම කෙනෙකු පුදුමයට පත් කරන සිද්ධියකි. මෙම වෙනසේ යථාර්ථය මාලිමා නායකයින් නිවැරදි වටහා ගත යුතු ය. දකුණේ පමණක් නොව උතුරේ සිදු වූයේ ඓතිහාසික අත්හදා බැලීමකි. උතුරු නැගෙනහිර දෙමළ ජනයා මාලිමාව දිනවූ බව ඇත්තය. එහෙත් එහි දී සිදු වූයේ ද දකුණේ සිංහල ප්රදේශවල සිදු වූවක් මෙන්ම සාම්ප්රදායික ප්රභූ දේශපාලනඥයින්ට පාඩමක් ඉගැන්වීමේ අවස්ථාවක් වශයෙන් ජනාධිපතිවරණය හා මහා මැතිවරණය ප්රයෝජනයට ගැනීමය. මැතිවරණ වැලි කුණාටුවේ දූවිල්ලෙන් වැසීගිය දේශපාලන භූමියේ සමෝච්ඡ රේඛා දැන් දැන් මතුවෙමින් පවතී. පළාත් පාලන මැතිවරණයේ දී ප්රදර්ශනය වූයේ එම දේශපාලන සමෝච්ඡ රේඛාවන් ය. උතුරු හා නැගෙනහිර දී තමන් ලැබූ ජයග්රහණය පහසුවෙන් ඉරිතලා යාමට ඉඩ ඇති තුනී වීදුරු තලාවක් බව මේ වන විට මාලිමා නායකය්නට අවබෝධ වී තිබිය යුතු ය.
උතුරු හා නැගෙනහිර පමණක් නොව කන්ද උඩරට දමිළ ප්රජාව අතර ද මාලිමාව කිසියම් ජනපදනමක් ගොඩනඟාගෙන ඇති බව ඇත්ත ය. එම ජයග්රහණය ලබාගෙන ඇත්තේ මාලිමා ආණ්ඩුව විසින් ක්රමයේ වෙනසක් ඇති කරනු ඇත යන විශ්වාසය මතය.
ක්රමයේ වෙනස යන්නෙන් සුළු ජන ප්රජාවන් තේරුම් ගන්නා දේ සිංහල බහුතරය තේරුම් ගන්නා දෙයට අමතරව තවත් දේ අයත් වන ඔවුන්ට අනන්ය වන ක්රමයේ වෙනසකි. යුද්ධයෙන් දිවි අහිමි වූ තම පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම, තමන්ට අහිමි වූ ඉඩම් ආපසු ලබා ගැනීම, අවතැන්වූවන් යළි පදිංචි කිරීම, තම භාෂාවෙන් රටේ ඕනෑම තැනක කටයුතු කිරීමට අවස්ථාව සැලසීම, සංවර්ධන ව්යාපෘති හඳුන්වා දීමේ දී කුඩම්මාගේ සැලකිලිවලට භාජනය නොවීමේ අයිතිය ආදිය සුළු ජාතික ප්රජාවන් සලකන්නේ සිදුවිය යුතු ක්රමයේ වෙනසක් ලෙස ය.
යුද ජයග්රහණය සැමරීමේ රාජ්ය උත්සවයේ දී අනුර දිසානායක ජනාධිපතිවරයා අතීතයේ වෙනත් කිසිදු රාජ්ය නායකයකුට වඩා සාම ලැදි කතාවක් පැවැත්වුවත් එම උත්සවය, සමස්තයක් වශයෙන් ගත් කල සිංහල රණවිරුවන් උත්කර්ෂයට නැඟීමක් ම විය. එම තත්ත්වය පවතිනතාක් කල් දෙමළ ජනයාගේ පෑරුණු සිත් සුවපත් වන්නේ නැත.
රණවිරු ප්රපංචය දුෂ්කර ප්රහේලිකාවක් වන්නේ ජීවතුන් අතර සිටින රණවිරුවා හඳුනා ගැනීමේ පැහැදිලි හා නිශ්චිත නිර්ණායකයන් නොමැති නිසා ය. යුද්ධයට සහභාගි වූ සියලු සොල්දාදුවන් හා නිලධාරින් රණවිරුන් ද යන ප්රශ්නයට පිළිතුරු අවශ්ය ය. යුද්ධයට සහභාගි වූ බොහෝ සොල්දාදුවන් හමුදාව අතහැර පලා ගොස් තිබේ. ඇතැමෙකු පලාගොස් ඇත්තේ තම ගිනි අවිය ද රැගෙන බව කියැවේ. මේ අතර හමුදා කඳවුරුවලින් ආයුධ පැහැර ගැනීමට ආධාර උපකාර කළ සොල්දාදුවන් ද සිටිනා බව කියැවේ. හමුදාව අතහැර පලා ආ ඇතැම් සොල්දාදුවන් පාතාලයේ කුලී වෙඩික්කාරයින් බවට පත්ව ඇත. විදේශීය රටවල කුලී හේවායන් වශයෙන් කටයුතු කරන සොල්දාදුවෝ ද වෙති. කප්පම් ගැනීම සඳහා අහිංසක තරණයින් පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ චෝදනා ද ඒ අතර වේ. බහුතරය විශ්රාමිකයින් වශයෙන් ද ආබාධිතව ප්රතිකාර ලබන්නන් වශයෙන් ද අප සමාජයේ යහපත් රටවැසියන් වශයෙන් ජීවත් වන බව අවිවාදිතය.
යුද්ධය ජයග්රහණය කිරීම සඳහා අද්විතීය සේවයක් කළ සෙන්පතියක් අති ප්රමුඛයා වශයෙන් සලකනු ලබන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ය. යුද ජයග්රහණයෙන් පසු එම ජයග්රහණය සැමරීමේ උත්සවයේ දී කේක් ගෙඩිය කැපීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ආරාධනා ලැබුවේ ද සරත් ෆොන්සේකා ය. ඔහු ජීවතුන් අතර සිටින ප්රධාන රණවිරුවා වශයෙන් සලකන ලදි. එහෙත් දේශපාලනයේ දී තමන්ට අභියෝගයක් එල්ල කිරීම නිසා කෝපයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු අත්අඩංගුවට ගෙන සිරගෙයි ලෑමට පියවර ගත්තේ ය. ප්රධානම රණවිරුවා රාජද්රෝහියෙකු බවට පත් කරන ලදි. මෙහි දී වඩාත් බරපතළ කාරණයක් ඉස්මතු වේ. මේ ප්රධාන රණවිරුවා අත්අඩංගුවට ගෙන බිම දිගේ ඇදගෙන ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ බෑයින් හා මොටෙයියන් විසින් නොවේ. එය සිදුකළේ පාබල, නාවුක හෝ ගුවන් හමුදා “රණවිරුවන්” විසිනි. මේ නිසා රණවිරුවා සිටින්නේ කොතැන ද, කෙසේ ද කියා හඳුනා ගැනීම උගහට ය. එහෙත් ජීවතුන් අතර සිටින සොල්දාදුවන් හඳුනා ගැනීම අසීරු නොවේ. ඔවුන් අතර හොඳ සොල්දාදුවන් මෙන්ම නරක සොල්දාදුවෝ ද වෙති. හොඳ සොල්දාදුවන්ට ගරු කිරීමත්, නරක සොල්දාදුවන් හෙළා දැකීමත් රටවැසියන්ට භාර වගකීමකි.
ජීවතුන් අතර සිටින සොල්දාදුවන් අතරින් “රණවිරුවා” සොයාගැනීමට වෙහෙසීම නිෂ්ඵලය. අනෙක් අතින් ජීවතුන් අතර සිටින හොඳ සොල්දාදුවන් අතහැර දිවි පිදූ සොල්දාදුවන් පමණක් රණවිරුවන් වශයෙන් සැලකීම ද හොඳ නැත. මේ නිසා රණවිරු ප්රහේලිකාවෙන් ගැලවීම සඳහා රටවැසියන්ට රණවිරු සූත්රයක් අවශ්ය කර තිබේ. එම සූත්රය මෙසේ විය යුතු යයි යෝජනා කරමු.
ආණ්ඩුවේ සොල්දාදුවන් කර ඇත්තේ ඔවුන්ට අවශ්ය යුද්ධයක් නොවේ. එය පාලකයින්ට අවශ්ය වූ යුද්ධයකි. උතුරේ බෙදුම්වාදී තරුණයින් ද, කළේ ඔවුන්ට අවශ්ය යුද්ධයක් නොවේ. ඒ යුද්ධය අවශ්ය වූයේ බෙදුම්වාදී නායකයින්ට ය. එහෙත් යුද්ධයේ දිවි පිදුවේ අප රටේ තරුණයින් ය. අපගේ ජාතික ගීයේ සඳහන් වන පරිදි දිවි පිදුවේ “එක මවකගේ දරුකැල ලෙසිනා….” කටයුතු කළ යුතුව සිටි තරුණයින් ය. දිවිපිදූ තරුණයින් හා යුද්ධයේ දී ජීවිතය බේරාගත් දෙපාර්ශ්වයේ ම රටවැසියන්ව සැමරීම කළ යුත්තේ සාමය සඳහා උතුර හා දකුණ එක්ව හිට ගැනීම මඟින් පමණි. රණවිරු යන වචනය සිංහල ශබ්දකෝෂයෙන් ඉවත් කළ යුතු ය. මන්ද, කුමන තත්ත්වයක් යටතේ වුවත් ඝාතකයා විරුවෙක් නොවේ.
- ජගත් සිරිවර්ධන