No menu items!
27.6 C
Sri Lanka
5 March,2024

මුස්ලිම් දෙමළ සිංහල සමගිය බිඳින කූරගල ක්‍රියාන්විතය

Must read

මුස්ලිම් කඩ වෙළඳාම් කළ යුත්තේ මුස්ලිමුන්ට පමණයි. සිංහලයන්ට සිංහල කඩ.
ජාතිවාදී විෂබීජ පතුරුවන හැටි මෙන්න…!

කූරගල පුරා විද්‍යා නටඹුන්

කොළඹින් කිලෝමීටර් 143ක් පමණ දුරින් පිහිටි බලංගොඩ නගරයේ සිට විනාඩි 45ක් පමණ ගිය තැන “තැන්න” නම් ගම්මානය සහ කූරගල කඳුවැටිය හමුවෙයි. අප කූරගලට ළඟාවන විට තරමක් අඳුර වැටී අවසන්ය. මාර්ගයේ ඉදිකිරීම් තවමත් අවසන් නොමැති නිසාත් අඳුර මකන්නට විදුලි ආලෝකයන් නොමැති නිසාත් ගමන තරමක් දුරට පමා විය.

හිමිදිරි හිරු එළිය එබෙන මොහොතෙහි මීදුම් සළුවලට මුවා වී අවි අමෝරාගෙන සිටින හමුදා සෙබළුන් එකා දෙන්නා මතුවෙමින් ඇත. ඒ අසලම හමුදා කඳවුරකි. එදා ඉරිදා දවසක් වීම හේතුවෙන් හිමිදිරි පාන්දර සිටම වන්දනා නඩ පැමිණීම ආරම්භ වී ඇත. කූරගල සුප්‍රසිද්ධ සිංහයා ළඟින් නැවක හැඩේට හැදූ මළුවකට ගොඩවී වන්දනාකරුවන්ට මල් තබා වඳින්නට පහසුකම් සලසා තිබෙනු දකින්නට ලැබුණි. ඉනික්බිති මළුවෙන් බැස රෝපණය කර ඇති බෝගස් පහ පසුකර චෛත්‍ය මළුවට ගොඩවීමට හැකිය. ඒ සෑම තැනකම මිනිසුන් හසුරුවන්නේ කහ පැහැයෙන් සැරසුණු හැදිදැඩි තරුණ පිරිමිය.

මේ සෑම දෙයක් අතරෙම ජයිලානි පල්ලිය, අපේ කතාවේ ප්‍රධාන නැවතුමයි. කාලෙකට කලින් මේ පල්ලියේ සොහොන් ටැඹ තුනක් තිබී ඇති නමුත් දැන් එහි ඇත්තේ එක් සොහොන් ටැඹක් පමණි. පල්ලිය අසල උස කණ්නාඩි දැමූ තරුණ උපාසක කෙනෙකු වන්දනාමානනයට එන ඇත්තන්ට කරුණු කාරණා පැහැදිලි කරමින් සිටිනු දකින්නට ලැබුණි.

“මෙතන ඉස්සර තිබ්බේ බුදු පිළිමයක්. ඒක කඩල තමයි මේ මුස්ලිම් මිනිස්සු පල්ලියක් හදලා තියෙන්නේ. මේ ඔක්කොම ඒගොල්ලො අල්ලගෙන හිටියා. ගෝඨාභය මහත්තයායි ශවෙන්ද්‍ර මහත්තයායි එකතුවෙලා තමයි මේවා සිංහලයන්ට ආයෙ අල්ලලා දීලා තියෙන්නේ. මං දේශපාලනය කතා කරනවා නෙමෙයි, හැබැයි ඒ වගේ හයියක් දැන් නැති හින්දා මේවා කොයි වෙලාවේ විනාශ වෙයිද දන්නෑ” පසෙක සිටි උපාසක මවක් “අනේ බලන්නකො රට ජාතියට වෙච්ච අපරාධයක්” කීවාය.

ජයිලානි පල්ලිය

කූරගල මුස්ලිම් ගම්මානය

1960-1996 දක්වා බලංගොඩ ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මොහොමඩ් ලෙබ්බේ මරික්කාර් අබුසාලි රචනා කළ ‘දර්බර් ජෙයිලානි’ නම් කෘතියට අනුව මුස්ලිම් පවුල් 130ක් සහ කතෝලික පවුල් 35ක් පමණ මේ ගමේ සිංහල ජනතාව සමග සියවස් ගණනාවක් තිස්සේ ජීවත් වෙති. කුලී රැකියාව සහ කෘෂිකර්මාන්තය මේ ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවන උපාය වේ. මේ ගමේ ළමයින් සාමාන්‍ය පෙළ දක්වා සිංහල මාධ්‍යයෙන් තන්ජන්තැන්න මහා විද්‍යාලයෙන් ඉගෙන ගෙන උසස් පෙළට බලංගොඩට යාම සිරිතයි.

ඉරාකයේ වෙසෙන කුතුබ් මුහියාදීන් අබ්දුල් ඛාදර් ජිලානි නම් භක්තිවන්ත දේශකයෙකු හා විද්වතෙකු ක්‍රිස්තු වර්ෂ 1132 දී ශ්‍රීපාද කන්ද නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණ මෙම ගම්මානයේ පිහිටි කන්ද මත භාවනා කරමින් බොහෝ කලක් ගත කළ බව ඉතිහාසය කියයි. ඉන්පසු එම කන්ද පූජනීය ස්ථානයක් ලෙස සලකමින් මුස්ලිම් ජනතාව එහි පැමිණීම ආරම්භ කර ඇත. මුහියුදීන් අබ්දුල් කාදර් ජෙයිලානි සිහිවීම පිණිස එම ප්‍රදේශය “තප්දාර් ජායිලානි” ලෙස නම් කරන ලදි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මුස්ලිම්වරුන් මෙහි ආගමික නමස්කාරය සිදු කර ඇති අතර ඉස්ලාමීය භක්තිකයන් තිදෙනෙකුගේ දේහයන් ද මෙහි තැන්පත් කර ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ 1922 දී සී.එල්.එම්. මාරයිකාර් විසින් මෙහි මුස්ලිම් පල්ලියක් ඉදිකරන ලදි. නැවක හැඩැති ගල් ලෙනක පල්ලිය ඉදිකර ඇති බැවින් වහලක් අවශ්‍ය නොවේ. ලෙනට දැවැන්ත පර්වතය වැස්සෙන් අවශ්‍ය සෙවණ සහ ආරක්ෂාව සපයයි. එසේ තිබියදී 1960 ගණන්වල ඇතැම් බෞද්ධයන් කූරගල බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනා කළ ස්ථානයක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ සුළු සුළු ගැටලු ඇති වූ බව අබුසාලි මහතා කූරගල සම්බන්ධයෙන් ලියූ කෘතියේ සඳහන්ව තිබේ.

චෛත්‍යය ඉහළ සිට බැලූ විට පල්ලිය මත විශාල බෞද්ධ කොඩියක් දර්ශනය වේ. පන්සලේ සිට උපාසක මහතෙකු ඔහු සමඟ පැමිණි කාන්තාවකට එය පෙන්වා මෙසේ පැවසීය. “අන්න අර බලන්න, ඔය මුස්ලිම් පල්ලියට උඩ තමයි ඒ බෞද්ධ ගොඩිය ගහලා තියෙන්නේ”.
ගමේ මුසල්මානුවෙකු සදහන් කළේ, පල්ලිය පිහිටි ස්ථානය පහසුවෙන් හඳුනාගැනීම සඳහා පල්ලියට ඉහළ තියෙන ගල් පර්වතය උඩ ඉදිකරන ලද මිනාරා (පිළිගැනීමේ කුලුන) ඉකුත් වසරේ දී විනාශ කර දැමූ බවයි.

පහලට බැස පල්ලිය දෙසට පැමිණෙන අප දුටුවේ පන්සලට දකුණුපසින් අලුතින් ඉදිකරන ලද තාප්පයකට මුවාවෙමින් මහලු, තරුණ පිරිසක් පන්සලෙන් බිමට බහින මිනිස්සුන්ට අයිස්ක්‍රීම් සහ වතුර බෝතල් විකුණන අයුරුය. අපටත් වතුර බෝතලයක් උවමනා වූ හෙයින් වතුර බෝතලයක් ගැනීමට සහ කඩේ මිනිසුන් සමඟ කතාබහ කිරීමට සිතා ඒ දෙසට ගියෙමු. එහෙත් අපට මාර්ගය අවුරාගත් තුවක්කුවක් දරාගත් හමුදා නිලධාරියෙකු සහ අප අතර ඇතිවූයේ මෙවැනි කතා බහකි.
“ යන්න දෙන්න බෑ”
“ඇයි”
“මේ පාරේ යන්න බෑ”
“නෑ අපිට අර කඩේට යන්න ඕනේ වතුර බෝතලයක් ගන්න!”
“යන්න දෙන්න බෑ මහත්තයෝ හාමුදුරුවෝ අපිට බනියි ඔයාලට යන්න දුන්නම!”

හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් අයි එච් එම් ආර් කේ හේරත් මහතාගෙන් කූරගල පන්සල සහ ඒ අවට ප්‍රදේශයේ යුද හමුදාව යොදා ඇති හේතුව සහ ජයිලානි පල්ලියට යන ප්‍රධාන පාර හමුදා බැරිකේඩයක් යොදා වසා තිබීමට හේතුව විමසූවෙමු. ඔහු පැවසුවේ එවැනි කිසිදු බාධකයක් එහි යොදා නොමැති බවට එම ප්‍රදේශය භාරව සිටින හමුදා නිලධාරියා තමන්ට පැවසූ බවයි.

අපි මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජුලි මාසයේ ඉල්ලීමක් සිදුකළ අතර ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඉකුත් අගෝස්තු මාසයේ නම් කළ නිලධාරියාට අභියාචනාවක් ද යොමු කළෙමු. නමුත් මේ වෙන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නොලැබුණි.

විනාශ කළ මුස්ලිම් පල්ලිය – www.colombotelegraph.com

කූරගල පන්සල අවට සිටින කහපාට ආරක්ෂකයෝ කවුද?

තප්දාර් ජයිලානි මුස්ලිම් පල්ලිය අවට මුස්ලිම්වරුන්ට අයත් කඩ 9ක් ඇත. අද වන විට මේ කඩ සාප්පු බොහොමයක් වසා තිබේ. එම කඩ ආශ්‍රිතව සිටි සියලුම මුස්ලිම් ජනතාව දිනෙන් දින තමන් මුහුණ දෙන කටුක අත්දැකීම් සහ අතීත අත්දැකීම් හේතුවෙන් තමන් කිසිවෙකුගේ අනන්‍යතාව හෙළි කිරීමට කැමැත්තක් ඇත්තේ නැත. කතාව පටන් ගන්නත් කලින් තාප්පෙට මේ පැත්තේ සිට ඒ පැත්තට අයිස්ක්‍රීම් විකුණමින් සිටි කඩේ මුදලාලිගේ පුත්‍රයා “රංග අපිව දැක්කා. රංග එනවා පල්ලෙහාට” කියමින් දිව ගොස් සැඟවිණ.

කවුද රංග?

කහ පාට ටී ෂර්ට් එකක් සැරසුණු උස මහත පිරිමි පුද්ගලයෙක් තාප්පය අසලට විත් අසභ්‍ය වචනයෙන් වෙළඳාම් කරමින් සිටි මුස්ලිම් ජාතිකයන්ට බණින්නට විය. “තොපිට ආයෙ කියන්නෙ නෑ, සිංහල උන්ට බඩු විකුණන්න එපා කියලා කී සැරයක් මං කියලා තියෙනවද?” ඉතාමත් තර්ජනාත්මක ස්වරූපයෙන් එතැන හිටපු මිනිසුන්ට බැණ වැදී ඔහු පිටත් විය.

කවුද රංග කියන්නේ, එයාලගේ රාජකාරිය මොනවාද? අපි ඒ කඩවල හිටපු මිනිස්සුන්ගෙන් විමසුවෙමු. “එයාලව පන්සලෙන් දාලා තියෙනවා මුස්ලිම් කඩවලින් මිනිස්සුන්ට බඩු ගන්න එපා කියන්න. මෙතන තාප්පෙන් මිනිස්සු බඩු ඉල්ලනකොට අපි දුන්නොත් අපිට බනිනවා. ඉතාමත් පහත් විදිහට කුණුහරුපෙන් මේ දැන් කතා කරපු විදිහට වඩා ජරා විදිහට අපිට කතා කරනවා. ළඟදි දවසක් මගේ පවුලට අමානුෂික විදිහට මගේ ඉස්සරහම බැන්නා.”

“එයාලා වැඩ කරන්නේ ලොකු හාමුදුරුවෝ යටතේ. හාමුදුරුවෝ තමයි මෙයාලට මෙහෙම කියලා තියෙන්නේ. අපි හාමුදුරුවෝ එක්ක මේ ගැන සාකච්ඡා කළා, එතකොට හාමුදුරුවෝ කිව්වා, ඔයාලා ඉස්සර කළා වගේ පල්ලියට එන මුස්ලිම් මිනිසුන්ට විතරක් වෙළඳාම් කරන්න. සිංහල මිනිසුන්ට වෙළඳාම් කරන්න සිංහල කඩ තියෙනවා. ඔයාලා මුස්ලිම් මිනිසුන්ගෙන් හම්බ කරගත්ත එක ඇති කියලා. මේක තමයි හාමුදුරුවන්ගෙ උත්තරය වුණේ.”

මේ සියලුම දේවල් සිදුවෙන්නේ මීටර් දහයකට එහා තියෙන හමුදා මුරපොලක් අසල වීම තවත් පුදුමය දනවන කාරණාවක්. ගම්වාසීන් පවසන ආකාරයට අලුතින් සිවිල් ආරක්ෂක බළකායට මේ ගමේම තරුණයන් දෙසීයක් පමණ බඳවාගෙන තිබේ. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට තර්ජනය කළ රංග ඊළඟට ගියේ හමුදා නිලධාරීන් සමඟ කතාබහ කිරීමටය.

කඩා වැටී තිබුණු වෙළඳසැලක් පෙන්වා මහලු මනුස්සයෙකු පැවසුවේ, තමන් සිංහල මිනිසුන්ට වෙළඳාම් කළ බවත් මීට දින හතරකට පෙර කහ පැහැයෙන් සැරසුණු ආරක්ෂකයන් පැමිණ තමන්ගේ වෙළඳසැල කඩා දැමූ බවත්ය. මේ පිළිබඳව තමන් පොලීසියට පැමිණිලි කළ බවත් එවිට පොලීසියේ පිළිතුර වූයේ, “ඔයාල මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා කොහේ හරි කඩයක් කරගෙන ඉන්න” යනුවෙන් බවත් ඔහු පවසයි.
තමාට තිබෙන අවසාන බලාපොරොත්තුව පොලිසිය වුවත් පොලීසියෙන් කිසිවිටෙක යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු අවසානයේ පැවසීය.

අයිසීසීපීආර් උගුල

“ගිය අවුරුද්දේ නෝම්බි දවසක රෑ මම කකා ඉන්නකොට මාව පොලිසියට එකක් ගියා. ආයෙ මං දවස් විසි අටක් කුරුවිට බන්ධනාගාරයේ ඉඳලා තමයි ගෙදරට ආවේ.” තවත් මුස්ලිම් වෙළෙන්දෙක් තමන්ට සිදුවූ අසාධාරණය ගැන කියන්නට විය.

“මුස්ලිම් පල්ලියේ මාස හතරකට කලින් මං මුට්ටියක් කඩලා සල්ලි හොරකම් කළා කියන චෝදනාව මත තමයි මාව හිරේට යවලා තියෙන්නේ. ඉස්සරහ තියෙන තාප්පය හදන්න වැඩට ආපු එක්කෙනෙක් එයා එක්ක මං එකතුවෙලා පල්ලියේ මුට්ටිය හොරකම් කළා කිව්වා කියලා මාව එදා රෑ පොලිසියට එක්ක ගියා. මගෙන් කිසිම කටඋත්තරයක් ගත්තෙ නෑ පැය 12ක් නිකං ඉඳගෙන හිටියා. එතකොට ලියන මහත්තයා මට නොකියා මොනාදෝ ලියලා මගෙන් අත්සනක් ගත්තා. මං ඉතින් පොලිසිය විශ්වාස කරපු නිසා අත්සන් කළා. පස්සෙ තමයි දන්නෙ මාව අයිසීසීපීආර් කියලා මොනවද එකකින් තමයිලු උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ. දවස් විසි අටක් මම නොකරපු වරදකට හිරේ හිටියා.”

කල්තොට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ තමන් කල්තොට පොලිසියට අනුයුක්ත කර ඉතාමත් කෙටි කාලයක් වන අතර තමාට පෙර සිටි නිලධාරියාට විරුද්ධව මේ සිද්ධියට අදාළ යම් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවය.
එම මුස්ලිම් ව්‍යාපාරිකයා සඳහන් කරන ආකාරයට මීට පෙර කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග සහ උප පොලිස් පරීක්ෂක ධීරරත්න යන දෙදෙනාට විරුද්ධව පොලිසියෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොළඹින් පැමිණි කණ්ඩායමක් තමාගෙන්ද සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් විමසීමක්ද සිදුකළ බව ඔහු සදහන් කළේය. එමෙන්ම බලංගොඩ අධිකරණයේ තවමත් නඩු අංක ඊ159/2022 යටතේ ඊට අදාළ නඩුව පැවැත්වෙයි.

තැන්න ගමේ මුස්ලිම් මිනිසුන් මොනවද කියන්න?

“1922 ඉඳන් අපේ තාත්තා මේ පල්ලියට එහාපැත්තෙ කඩයක් අරගෙන ආවා. මේ කඩ අයිති වෙන්නෙත් පල්ලියට. පල්ලියට බදු ගෙවාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මෙතනින් යන්න කියල හාමුදුරුවො නොයෙක් ආකාරයෙන් අපිට කරදර කරනවා. අපිට ගහලා තියනවා. අපේ මේස පුටු කඩල දාලා තියෙනවා. කඩවල් කුඩුපට්ටම් කරලා තියෙනවා. මේ පිටුපස තියෙන ගස් කපලා අපේ කඩ උඩට දාලා තියෙනවා. මේ ඔක්කොම කරන්නේ පන්සලේ හාමුදුරුවන්ගෙ කට්ටිය. අපි කිහිප සැරයක්ම පොලිසියට ගිහිල්ලා පැමිණිලි කළා. ඒත් කිසිම පලක් වුණේ නෑ. පන්සලට එන කිසිම කෙනෙක්ට අපේ කඩවල්වලට එන්න දෙන්නෙ නෑ. සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ කහපාට ඇඳගත්ත පන්සලේ ඉන්න අය තමයි එන්න දෙන්නේ නැත්තෙ. එයාලා තමයි අපිටත් තර්ජන කරන්නේ. එයාලා උඩ ඒසී කාමරවල සැපපහසු ජීවිතයක් ගතකරනවා අපේ කඩවල්වලට හොඳට පෙනෙනවා. අපි අන්ත දුප්පත් මිනිස්සු. අපිට කාටද මේ දේවල් කියන්නෙ.” අවුරුදු 65ක් පමණ වයසැති ඔහුගේ ඇස් දෙකින් කඳුළු වැටෙනු පෙනිණි.

කූරගල තන්ජන්තැන්න කතෝලික ජනතාව මොනවද කියන්නේ?

කූරගල රජමහා විහාරයට කිලෝමීටරයක් දුරින් පිහිටි තන්ජන්තැන්න කතෝලික පල්ලියට අප ගියේ එහි පියතුමා මුණගැසීම සඳහාය. පියතුමා නොසිටි අතර ගමේ කතෝලිකයෝ පිරිසක් අප සමඟ කතාබහට එකතු වූහ. “මේ ගමේ කතෝලික, බෞද්ධ සහ මුස්ලිම් තුන්ගොල්ලම ඉන්නවා. අපි කිසිම ප්‍රශ්නයක් නැතුව තමයි හිටියෙ. හැබැයි ඥානසාර හාමුදුරුවෝ ඇවිල්ලා 2013දී වගේ ලොකු ප්‍රශ්නයක් ඇති කළා. ඒකත් පිටින් ඇවිල්ලා එහෙම ප්‍රශ්නයක් ඇති වුණා මිසක් ගමේ ඇතුළේ මිනිස්සු මුකුත් රණ්ඩු කරගෙන ගියේ නෑ. අපේ තාත්තා කියලා තියෙන විදිහට ඔතන ඉස්සරලම ඉඳලා තියෙන්නෙ මුස්ලිම් අය. ඇත්තම කිව්වොත් මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සුන්ට හරි ළැදියි, ඔය කියන විදිහට පිළිම කඩලා මොකුත් විනාශ කළේ නෑ අපි දන්න විදිහට.”

වතුරකුඹුරේ ධම්මරතන හිමි හිටපු ජනපති සමග

අවුරුදු 50ක අරගලයෙන් ජයග්‍රහණය කළ කූරගල?

නෙල්ලිගල හාමුදුරුවෝ විවිධ සාකච්ඡාවල සඳහන් කරන්නේ වසර පනහක අරගලයකින් පසු කූරගල දිනාගත් බවයි. මේ සම්බන්ධයෙන් කතෝලික ජනතාවගෙන් විමසීමක් කළ විට ඔවුන් පැවසූ දේ මේය.

“හාමුදුරුවන්ගේ පැත්තෙන් අපි දකිනවා එයා කරපු එක ලොකු දෙයක්. මේ ගම දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒ හැමදේම හාමුදුරුවො කරපු වැඩ නිසා. හැබැයි හාමුදුරුවො කියන සමහර දේවල් නිසා අපිත් දුක් වෙනවා, බෞද්ධ අයත් දුක් වෙනවා. මොකද හාමුදුරුවො ලොකුවට මවාපානවා වගේ ලොකු අරගලයක් කරලා මේ තැන ගත්තා කියන එක බොරුවක්. ඇත්තටම ගමේ සිංහල මුස්ලිම් අය අතර තිබුණු සාමය දැන් නැත්තටම නැතිවෙලා තියෙනවා”

එමෙන්ම තැන්න මුස්ලිම් ප්‍රජාවගේ ද අදහස, හාමුදුරුවන්ගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ නොමඟ යවනසුලු බවයි. රූපවාහිනී සාකච්ඡාවකදී නෙල්ලිගල හාමුදුරුවන් මේ ඉඩම් සියල්ල මුස්ලිම් ජනතාවගෙන් තමන් මිලදී ගත් බවට සඳහන් කළ අතර අපි ඒ සම්බන්ධයෙන්ද කූරගල අවට ජීවත්වන මුස්ලිම් ජනතාවගෙන් විමසීමු. “හාමුදුරුවෝ අලුතින් වැවක් හදනවා. ඉතින් ඒ අවට දෙතුන් දෙනෙක්ගෙන් ඉඩම් ටික සල්ලි දීලා ගත්තා. ඉතුරු ඒවා පුරාවිද්‍යාවට අයිති ඉඩම් කියලා තමයි කිව්වේ. අපි නම් දන්නේ නෑ පුරාවිද්‍යාවට සල්ලි දීලා හාමුදුරුවන්ට ඉඩම් ගන්න පුළුවන්ද කියලා.’

වතුරකුඹුරේ ධම්මරතන හිමි – නෙල්ලිගල හාමුදුරුවෝ

මුස්ලිම් ජනතාවගේ කඩවලට යාමට ඉඩ නොදෙන ලෙස ඔබ වහන්සේ හමුදාවට අණ කර තිබෙනවාද?

‘ඔව්, මං යන්න දෙන්න එපා කියලා කියලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි ඒ මිනිස්සු හරියට ව්‍යාපාර කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය විකුණනවා. අතටම අහුවෙලා තියනවා ඒවා විකුණලා. අනික වැඩි මිලට බඩු විකුණනවා. මං කීප සැරයක්ම කියලා තියෙනවා නමුත් ඒගොල්ලො ඒක ඇහුවේ නෑ. ඉතින් මං මේ තීරණය ගත්තා.’

මුස්ලිම් ජනතාව සමග කිසිදු වෛරයක් තමාගේ නොමැති බවත්, සෑම අවුරුද්දකම ඒ ගමේ මුස්ලිම් සිංහල තරුණයන් අතර විවිධ ක්‍රීඩා උත්සව ද තමා පවත්වන බවත්, මුස්ලිම් දරුවන්ට පාසැල් උපකරණද තමන් ලබාදී ඇති බවත් සඳහන් කළ එහිමියන්, නමුත් මුස්ලිම් ජනතාව විවිධ අවස්ථාවලදී තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බවත් ඔවුන් සැමවිටම මුස්ලිම් ආගමිකයන්ට පමණක් උදව් උපකාර කරමින් සිටින බවත් සඳහන් කළේය. කතෝලික ජනතාව කළ චෝදනාවද ප්‍රතික්ෂේප කරමින් එහිමියන් කීවේ, තමාට මින් පෙර එවැනි කිසිදු කතාවක් මේ ගමෙන් ඇසුණේ නැති බවය.

තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් තොරතුරු

අපි තොරතුරු දැනගැනීමේ පනත හරහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කූරගල සම්බන්ධයෙන් විමසීම් කිහිපයක් කළෙමු.
එම විමසීම්වලට ලැබුණු පිළිතුරු අනුව, කූරගල ප්‍රදේශය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කොට ඇත්තේ 1971 අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනි. ගැසට් අංක 14970/8 යටතේ එය ගැසට් කර තිබේ. එහි සඳහන් වන ආකාරයට අක්කර 52යි රූඩ් 2යි පර්චස් 19ක බිම් ප්‍රමාණයක් ඇති ඉඩම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර තිබේ.

කූරගල පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ 1971.12.03 දින ඇති අංක 14987 දරන ගැසට් නිවේදනයෙන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කූරගල ස්ථානය සංරක්ෂණය කිරීම ආරම්භ කර ඇත්තේ 1971දීය. කූරගල පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 1972.09.03 දින එවකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා විසින්, “කුරගල පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම” යනුවෙන් ත්‍රිභාෂාවෙන්ම නිකුත් කරන ලද නිවේදනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කූරගල සංරක්ෂණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හමුවූ පැරණිතම ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා නිකුත් කළ එම නිවේදනයේ, ‘එම ස්ථානයේ ඇති නටබුන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානයෙන් නව දාගැබක් ඉදි කිරීමට බලාපොරොත්තු නොවේ. මෙතෙක් කූරගල වන්දනා කළ මුස්ලිම් ජනතාවට මෙම තහවුරු කිරීම නිසා වන්දනා කරගැනීමට කිසිම අවහිරතාවක් හෝ බාධාවක් වන්නේ නැත.’ යනුවෙන් සඳහන් වෙයි.

විනාශ කරනු ලැබූ මුස්ලිම් ආගමික ස්ථානය/ පින්තූරය – www.colombotelegraph.com

කඩා දමන ලද සොහොන්

ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ජනාවාස ආශ්‍රිත පැරණි සොහොන් විශාල ප්‍රමාණයක් අදටත් දක්නට පුළුවන. එය සෘජුවම මුස්ලිම් ජනතාවගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවේ සංකේතයයි. ගාලු කොටුව, බේරුවල, වැලිගම, කල්මුණේ, මන්නාරම, පුත්තලම, කොළඹ වැනි තැන් කිහිපයකම අදටත් පැරණි සොහොන් දැකගැනීමට පුළුවන. සාම්ප්‍රදායික මුස්ලිම් නිකායවලට අයත් සූෆි මුස්ලිම්වරු අදටත් මෙම සොහොන් ආශ්‍රිත විශේෂ වන්දනාවන්හි නිරත වෙති. කූරගල ප්‍රදේශයේ පිහිටි ජයිලානි පල්ලියේද පැරණි සොහොන් 5ක් පමණ තිබූ අතර අද වන විට එහි ඇත්තේ සොහොන් තුනක් පමණි.

ගම්වාසීන් චෝදනා කරන ආකාරයට මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් ඇතුව බුල්ඩෝසර් යොදාගනිමින් කඩා ඉවත් කර තිබේ. මේ සම්බන්ධයෙන්ද අප තොරතුරු දැනගැනීමේ පනත හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔවුන් සඳහන් කළේ, කූරගල ප්‍රදේශයේ තිබූ පැරණි සොහොන් දෙක ඉවත් කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි. නෙල්ලිගල හාමුදුරුවන්ද, අද තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව අපට කීවේය. කෙසේ වෙතත් ඉකුත් කොවිඩ් සමයේ මුස්ලිම් ජනතාව නිවෙස් තුළ සිටින අවස්ථාවේ කිසියම් පිරිසක් මෙසේ මෙම සොහොන් දෙක කඩා ඉවත් කර තිබේ. කූරගල පන්සලද සම්පූර්ණයෙන්ම සාදා නිමකර ඇත්තේ කොවිඩ් කාලයේදීය.

මෙම සිද්ධීන් සියල්ලන්ගේම අපට මතුකරන විශාල ප්‍රශ්නය වන්නේ රාජ්‍ය අනුග්‍රහයත් සමග මොවුන් මොනවද මේ කරන්නේ යන්නයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන හැම අතින්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නොවෙයිද මොවුන් උදුරාගන්නට උත්සාහ කරන්නේ?

ෂබීර් මොහොමඩ්

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි