No menu items!
27.6 C
Sri Lanka
19 April,2024

තිරුපති සරණං ගච්ඡාමි

Must read

■ සංජීවනී රූපසිංහ

මම ඔබට තිරුපති ගැන කියන්නට පොරොන්දු වීමි. මෙතරම් වංචා කරන, හොරකම් කරන, ජනතාව සූරා කන ජාතියේ නායකයන් ආරක්ෂා කරන මෙම දෙවියා සුළුපටු දෙවියෙක් වෙන්නට නම් කොහොමත් බැරිය.


මිනිසුන් පිස්සුවෙන් යන, පිස්සුවෙන් අදහන තිරුපති දැක බලා ගන්නට මට ද ආසා හිතුණි.
“කොණ්ඩේ දීලා තමයි එන්න වෙන්නේ” මගේ ක්‍රිස්තියානි මිතුරා මට හිනැහෙන්නට විය. ඔහු මට ආසාවෙන් පෙන්වූයේ ක්‍රිස්තියානි කතෝලික පල්ලි පමණි. ඒවා ගැන පසුව කියමි.
“මොකටද කොණ්ඩේ දෙන්නේ”


“ඒ දෙවියෝ කොණ්ඩවලට ආසලු. එන හැමෝම කොණ්ඩේ බූ ගාලා දන් දෙනවා”
“ඉතිං අපේ නායකයෝ දීලා නෑනේ”


“එයාලා තිරුපතිවත් අන්දලා තියෙන්නේ” මිතුරා බක බක ගා හිනැහෙයි.


කෙසේ වුව ද මගේ බලවත් පෙරැත්තය නිසාම අපි යන්නට පිටත් වීමු.


“නොන් වෙජ් කාලා මේ වගේ ගමන් යන්නේ නැහැ”


“ඒ මොකෝ”


“හරි නම් මාස ගානක් පේ වෙන්න ඕන වෙජිටේරියන් කෙනෙක් විදිහට”


“මං යන්නේ වඳින්න නෙමෙයි බලන්න”


චෙන්නායි සිට තිරුපති දක්වා මෝටර් රථයකින් ගමන් කිරීමට පැය තුනහමාරක් හතරක් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය මෝටර් රථයකින් යන්නේ නම් ඉන්දියන් රුපියල් 5000 ත් 7000 අතර මිලක් නියම වනු ඇත. දුම්රියෙන් හෝ බස්රථයෙන් යන්නේ නම් විශාල මුදලක් ඉතිරි වෙයි. සෑම දිනකම උදේ පාන්දර චෙන්නායි සිට ආන්ද්‍රා දක්වා ගමන් අරඹන දුම්රිය ද විශේෂ බස්රථ සේවා ද ඇත. ඒවා මඟින් එක් අයෙකු සඳහා ඉන්දියන් රුපියල් එක්දහස් පන්සීයක පමණ මුදලකින් තිරුපති යාම සහ ආපසු ඒම කළ හැකිය. දුම්රිය ගමන වඩා සුන්දර අත්දැකීමක් ඔබට ලබා දෙනු ඇත. තිරුපති දුම්රිය ස්ථානයට ඔබට චෙන්නායි සිට පහසුවෙන් ළඟා විය හැකිය. එසේම ඔබ අභ්‍යන්තර ගුවන් සේවා භාවිත කරන්නේ නම් චෙන්නායි සිට ගුවනින් තිරුපති කරා ළඟා විය හැකිය.


අප ගමන් කළේ මෝටර් රථයකින් වීම වඩා සුවපහසු අත්දැකීමක් විය. රිසි වූ තැන නවතන්නටත්, අතරමඟ ඇති දේ දැක බලා ගැනීමටත් එය පහසුවකි.


විදේශිකයන්ට තිරුපති දෙවොලට ඇතුල් වන්නට ඉඩ ලැබෙන්නේ දහවල් දෙළහට බැවින් පාන්දරින් එහි යාමේ අර්ථයක් නොමැත.


ගමන අතිශය සුන්දර ය. මඟදෙපස ඇති සුවිසල් වියලි ගල් කඳු නිම නොවෙයි. ඈතින් නිල් කඳු දිස්වෙයි. ඇතැම් තැනක ඇති සූරියකාන්ත මල්වතු මලින් පිරී බබලයි. කැලෑ පිපිඤ්ඤා විකුණන වෙළෙන්දියෝ මඟ දෙපස තැන තැන සිටිති. සිහින් පතෝල කරල් මෙන් ඇඹරුණු කැලෑ පිපිඤ්ඤා රසවත් ය. ගමන් විඩාව නිවයි. අතර මඟ ඇති හින්දු කෝවිල් මෙන්ම ජෛන පන්සල් ද නැරඹීමට ඒ අතර ඔබට අවකාශ ලැබේ. හින්දු කෝවිල් අප දැක පුරුදු පරිදි අභ්‍යන්තරය වර්ණ විභූෂිත වන අතර ජෛන පන්සල් තනි සුදුවට ඈතට දිස්වේ. අන්ද්‍රා ප්‍රාන්තයට ඇතුළු වූ පසු එහි භාෂාව වන්නේ තෙලිඟු ය. ඔවුහු බහුතරය ඉංග්‍රීසි හෝ දෙමළ කතා කරන්නට දන්නේ නැත. අණ්ඩර දෙමළ යැයි සිංහල ව්‍යවහාරයට ඇතුළු වූයේ කුමක් දැයි මම සිතමි. මන්ද එය ආන්ද්‍රා දෙමළ විය නොහැකිය. මොවුන් දෙමළ දන්නේ නැත.


අන්ද්‍රා නගර මධ්‍යයට යන විට තිරුමාලා කඳුවැටිය දිස්වෙන්නට පටන් ගනී.


කඳුවැටිය දිගේ කෙමෙන් ඉහළ නඟින අපට පාර දිගේ පයින්ම කන්ද නගින බැතිමතුන් හමුවේ. එය යාපනේ සිට කතරගම දක්වා පයින්ම පැමිණෙන ලංකාවේ හින්දු බැතිමතුන් අපට සිහි ගන්වයි. එසේම පඩි පෙළ දිගේ කන්ද පයින්ම නගින තවත් පිරිසකි. එය අපට සිහිගන්වන්නේ සිරීපාදේ නගින බෞද්ධයන් ය. දෙවිවරු කඳු මුදුන්වලම සිටින්නේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. අහසේ වසන දෙවිවරුන් පිළිබඳ සංකල්පය ප්‍රාථමික ඒකදේවවාදයක් ලෙස මානවවිද්‍යාවේදී හඳුන්වනු ලබයි. ඕස්ටේ්‍රලියානු මානව විද්‍යාඥයෙකු වන විල්හෙල්ම් ජාමිස්මිට් ප්‍රාථමික ඒකදේවවාදයක් පිළිබඳ මතයක් ඉදිරිපත් කරන අතර ප්‍රාථමික ඒකදේවවාදය (Urmonotheismus) තුළ අහසේ වසන දෙවියෙකු පිළිබඳ බොහෝ සමාජයන්හි විශ්වාසයක් පැවති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙයි.


අහස චමත්කාරජනකය. ඉර හඳ පුදුම සහගතය. අසිරිමත්ය. මේවා මෙසේ වන්නේ දෙවියන්ගේ මැදිහත්වීමෙනැයි මිනිසුන් සිතන්නට ඇත. කඳු මුදුන් අහසට ළඟය. එම නිසා දෙවියන්ට ලැගුම් ගත හැකි වඩාත් සුදුසු ස්ථාන වන්නට ඇත්තේ කඳු මුදුන් ය. දෙවියන් දැකීම ඉතා අසීරු කටයුත්තකි. එය සිදුවන්නේ හැමවිටම කඳු මුදුනකය. මෝසෙස්ට දෙවියන් දර්ශනය වන්නේ ද සීනායි කඳු මුදුනේ දී ය. කන්ද උඩ දේශනා පිළිබඳ බටහිර ආගම්වල ප්‍රකටය.


තිරුමාලා කඳු පන්තියම අයත් වනාන්තරය අර්ධ ශුෂ්ක දේශගුණයක් සහිත ශාක ගහන වූ වනාන්තරයකි. වඩා උස් නැති තුරුවලින් ගහනය. ඒවා තද කොළ පැහැ නොගනී. ඇතැම් තැනක තද කොළ පැහැති ශාක ඇත. එහෙත් එම වනාන්තරය අභය භූමියකි. විවිධ කුරුලු විශේෂත් කළු වඳුරෝත් මෙහි සුලබය. මුවන් විශාල වශයෙන් රුඳවූ භූමි මඟදී හමුවේ.
කන්ද මුදුනට නඟිද්දී මුළු ආන්ද්‍රාවම පහතින් දිස්වෙන්නට පටන් ගනී. මයිසූරු නගර මධ්‍යයේ ඇති චාමුණ්ඩි කඳු මුදුනට නගිද්දී ද දැනෙන්නේ මෙම හැඟීමමය. එයට යටින් මුළු මයිසූරු නගරයට දිස් වෙන්නට පටන් ගනී. චාමුණ්ඩි දෙවොල ගැන කතාව පසුවට තබන්නම්.
මිනිසුන්ගේ විශ්වාසය නම් තිරුපති දෙවොළේ පොළොවට පය තැබූ පමණින් ජීවිතය නොසිතන තරම් වේගයෙන් වෙනස් වන බවයි. තිරුමාලා කඳු මුදුනේ වැඩ සිටින්නේ විෂ්ණු හෙවත් වෙන්කටේෂ්වර දෙවියන් බව මිනිසුන්ගේ විශ්වාසයයි. මොහු හින්දු දෙවිකෙනෙකු බව ප්‍රකටය. එහෙත් අප්‍රකට කරුණ වන්නේ ඒ පිළිබඳ ඇති මහායානික විශ්වාසයයි. මහායානිකයින්ගේ විශ්වාසය නම් මෙහි සිටින්නේ මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් බව ය.
මා ඉන්දියාවේ යනවා යැයි හිතවත් හින්දු පූජකවරයෙකුට කී විට ඔහු කීවේ,


“තිරුපති යන්න” කියාය.


ඒ ඇයි දැයි මම ඇසුවෙමි.


ඔහු මහත් භක්තියෙන් පපුවට අත තබා පැවසුවේ,


“ගියාම ඔයාට තේරේවි. ජීවිතේ උඩු යටිකුරු වෙනවා බලා ඉන්නකොටම” කියාය.


අපි තිරුපති යද්දී දෙවොලට ගන්නා උපරිම මිනිසුන් ප්‍රමාණය අරගෙන අවසන්ය. එම නිසා ආපසු හැරෙන්නට සිදු විය.


“මං කිව්වානේ ඉස්සෝ දැල්ලෝ මාලු කාලා තිරුපති යන්න බෑ කියලා”


මගේ මිතුරා කියයි.


“ඉස්සෝ දැල්ලෝ කාපු නිසා නෙමෙයි. අපි හරියට ප්ලෑන් නොකරපු නිසා”


මම කියමි.


දැන් රුපියල් හයදාහකට තට්ටු වී ඇත. හෙට ද යළි පැමිණිය යුතුය.


“දැන් කියන්න තියන දෙයක් මෙහෙම ඉඳන් දෙයියන්ට කියන්න. ආපහු හෙට නම් එන්න බැහැ” මගේ මිතුරා කියයි.


“මෙහෙම කියන්න බැහැ දෙයියන්ට. හෙට එන්නම ඕනේ” මම ස්ථිරසාර හඬින් කියමි.
“මට නම් බෑ හෙටත් මේ කට්ට කන්න. ඔයාට එන්න වාහනයක් හොයා දෙන්නම්”


එහි දිනකට පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවයි. කොරෝනා සමයේ තිරුපති දෙවොල වසා දමන්නට සිදු වීම ද එහි සිටි ප්‍රධාන පූජකයන් පවා කොරෝනාවෙන් මිය යාම ද නිසා තරමක් ජනශූන්‍යව පැවතුණ ද යළිත් එය ජනයාගෙන් පිරී ඇත.


මගේ මිතුරා කීවේ ඇත්තක්ද බොරුවක් ද යන්න නොසිතා එදින මම මස් මාළු මොකටත් නොකා ඉන්නට සිතුවෙමි. හෙට නම් මේක ඇතුළ කෙසේ දැයි දැක බලා ගත යුතුය. එදින රාත්‍රියේ ගී රයිස් ලෙස හඳුන්වන ගිතෙල් සූදුරු මිශ්‍ර බතක් සමඟ ගෝවා මල් ව්‍යංජනයක් ආහාරයට ගතිමි. එය කිව නොහැකි තරම් රසවත්ය. ඉවසීම අපහසුය. මම දෙතුන් වරක් බෙදාගෙන ගී රයිස් කෑවෙමි. ගෝවා මල් ද එය චිකන් දැයි කිව නොහැකි තරම්ය. උයා ඇත්තේ කළු පාටටය. කවදාවත් ආහාරයට නොගත් මසක් සේ රසවත්ය. මම ගොනා සේ මහ ගොඩක් කෑවෙමි. එය බඩට ඔරොත්තු දුන්නේ නැත.


පැය දෙක තුනක් ගත වෙද්දී මට බඩ රිදෙන්නට පටන් ගත්තේය. කිහිප වරක් වැසිකිළි යමි. රෑ නින්දක් නැත. පසුදා උදේ යළි තිරුපති යා යුතුය. දෙහි බොමි. අසමොදගම් බොමි. කිසිවකින් හොඳක් නැත. මේ ඉන්දියාවට ආවේණික බඩේ අමාරුව බව මට වැටහෙමින් තිබිණි.


දහ වරක් පමණ වැසිකිළි ගොස් නින්දක් නැතිව හිටියත් අමාරු බවක් නොපෙන්වා මම පසුදා තිරුපති යන්නට පිටත් වීමි. එහෙත් ගමන ගියේ පැය භාගයක් පමණි. මට යළිත් බඩ රිදෙයි. නැවතත් හරවා ගෙන හෝටලයට යා යුතු යැයි රියැදුරාට කීවෙමි. ඔහු කීවේ මේ අවට වැසිකිළියකට යා හැකි බවය. මම හෝටලයට යා යුතු බව තරයේ කීවෙමි.


ගාස්තුව වැඩි වන බව ඔහු කීවේය. එහෙත් කමක් නැතැයි කී මා යළි පැමිණ මඳ වෙලාවක් හිඳ යළිත් පිටත් වීමි. ඉන්දියාවේදී ආහාරයෙන් ඔබ ප්‍රවේසම් විය යුතුමය. එම ආහාරවලින් ඉන්දියාවටම අනන්‍ය වූ බඩේ රුදාවන් වැළඳිය හැකි බැවිනි. ඒවා ඉතා දරුණුය. දවස් ගණන් එක දිගට වමනයත් බඩේ වේදනාවත් බඩ බුරුලට යාමත් පැවතිය හැකිය. ශරීරයේ සියලුම ශක්තීන් නිම වී ක්ලාන්ත වෙන්නට තරමට ඒවා දරුණු වන බැවින් සෑම විටම බෝතල් කළ පිරිසිදු ජලය පමණක් පානය කිරීමට මතක තබා ගත යුතුය.


එසේම රසවත් ඉන්දීය ආහාර ගැනීමේදී ද සැලකිලිමත් විය යුතුය. පිරිසිදු ආපන ශාලාවලින් වඩේ තොසේ ඉඩ්ලි මෙන්ම තවත් බොහෝ රසවත් ආහාර ඔබට හමුවනු ඇත. පාරේ සිට පිසින ආහාර දුටු විට ඒවා රස බලන්නට ආසා හිතීම අරුමයක් නොවේ. එහෙත් ඒවායින් බඩේ අමාරුවක් සෑදීමේ ඉඩ ඉතා ඉහළය. ඉන්දියාවේ මිනිසුන් ආහාර පිසින්නේ බොහෝ විට තල තෙල්, රටකජු තෙල් හෝ ගිතෙලිනි. ඒවා අපේ ආමාශයට පුරුදු නැත. ඒ නිසා ඒවා දිරවා ගත නොහැකිව අපට බඩේ අමාරු හැදෙයි.


ඉන්පසු මම දින තුනක්ම බීවේ පලතුරු යුෂ පමණි. ඉන්දියාවේ ස්වාභාවික පළතුරු බීම බොහෝ විට සාදන්නේ ජලයෙන් නොව කිරිවලිනි. ඒවා බොහෙවින්ම රස, උකු පලතුරු යුෂ වේ. එවැනි බීමකින් නැවත ප්‍රධාන ආහාරවේලක් පවා ගත නොහැකි තරමට කුස පිරේ. මගේ රියැදුරා දිගටම දින තුනක් අරන් දුන් ලයිම් ජූස් නිසා මගේ බඩේ අමාරුව කෙමෙන් සුව විය.


පැය පහ හය පෝලිමේ සිට වුවත් එක් නිමේෂයක් දේව පිළිරුව නැරඹීමට ඉඩක් නොමැති තරම් තදබදයක් තිරුපති කෝවිල තුළ නිරන්තරව පවතී. එහෙත් දෙවොල අසල ඇති මල් සැරසිලි ඉතාමත් විචිත්‍රවත් ය. බාර ඔප්පු කිරීමට පැමිණෙන පිරිස් හිසකෙස් දන් දෙති. දෙවියන් ඉදිරියේ සියලු අයහපත් සිතිවිලි තබා යා යුතු යැයි හින්දු මතයක් ඇත. එහි ඇති සුවිශේෂ ආහාරය නම් රසවත් ලඩ්ඩුය. ඒවා කජු බෙහෙවින් දමා සාදන ලද ගුලි විශේෂයකි. දෙවොලෙන් නොමිලේ ලඩ්ඩු තුනක් අපේ ටිකට් එකට දෙන අතර තවත් ලඩ්ඩු අපට මිල දී ගැනීමට හැකියාව ඇත.
තිරුපති බිමේ අපි නිදහසේ ඇවිද ගියෙමු. ඔබ ද හැකි දිනක එහි ඇවිද යන්න. ස්වාභාවිකත්වය සමඟ එක් වන්න. වනාන්තර සමඟ කතා කරන්න. ඔවුන්ගේ හඬ ඔබට ඇසෙනු ඇත. මුවන් ගහන අභය භූමි තුළ ඇවිද යන්න. දෙවියන්ගෙන් දේවල් සිඟා කෑම වෙනුවට ඔබ තුළ සිටින දෙවියන් ඔබට මුණ ගැසෙනු ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි