20.9 C
Sri Lanka
3 October,2022

කශ්‍යප නම් ඊඩිපස් කැරලිකරුවාගේ අකාලික කේතුමතිය

Must read

කතාවේ හැටියට කශ්‍යප සීගිරිය නිමවන තැන සිට රාජ්‍ය බලය ලබා
ගන්නා තැන දක්වා ඔහු සිය මවගේ ආශාව සමග අනන්‍ය වන්නේ ෆ්‍රොයිඩ් එකී පුරාණ ඊඩිපස් අන්දරයෙන් ගම්‍ය කරගන්නා මනෝවිශ්ලේෂණවාදී අර්ථය
සිහි ගන්වමිනි.

■ අනුසර වීරසිංහ

ඒ අහස් වියන දිගේ දෙවියන්ට සංදේශ කාව්‍ය රැගෙන ගිය සියොතුන්ට පවා මොහොතකට නතර වී වර්ණනා කරන්නට අමතකව ගිය, මහපොළෝ අම්මාගේ පපුතුරෙන් නැගුණු තුන්වන අරුමැසි පයෝධරය වන් සීගිරි ආලකමන්දාවේ සැඟවුණු වංශකතාවද? නැතිනම් ඊඩිපස් පන්නයේ පීතෘඝාතක කැරලිකරුවෙකු ලෙස අධිපති ඉතිහාසයේ වරනැඟෙන කාශ්‍යප නම් රසකාමියාගේ වැළලී ගිය ආත්මයේ කතන්දරයද? එසේත් නැතිනම් ඒ සීගිරි පර්වතයේ ශෘංගාර රස වෑහෙන භාවහාව ලීලාවන්ගෙන් යුත් නිරුවත් ගැහැනු සිතුවම් අඳින්නට කාලතරණයෙන් අතීතයේ සිට පැමිණි දේවමිත්ත නම් සිත්තරාගේ මනෝලෝකය විනිවිදීමක්ද? මෙවන් වූ අපූර්ව ගැටලු‍ ගණනාවක සිය පාඨකයා පටලවමින්, කාශ්‍යප යුගයේ සීගිරිය හා බැඳුණු ඉතිහාස අන්දරය ඉන්ද්‍රජාලික ලෙස පරිකල්පනය කරන්නට මොහාන් රාජ් මඩවල සිය නවතම නවකතාව හරහා සමත් වී තිබේ. නමින්, එය ‘නිල් කට්රොල්’ය.


විසි හතර පැයේ අතීතකාමය නම් වෙළඳ භාණ්ඩය සිල්ලරට අලෙවි වන ලංකාව වැනි දූපතක මොහාන් වැනි නවකතාකරුවෙකුට පවා දිගු කලක් තිස්සේ සිය සකලවිධ සාහිත්‍යමය කැටයම් දමන්නට සිදු වූයේ ඓතිහාසික ශානරය තුළ සිර ව සිටිමින්ය. එහෙත්, මෙම නවකතාව තුළදී ඔහු එකී ඓතිහාසික නවකතාවේ හැඩරටාවන්ට, පොදු සිංහල පාඨක සමාජයෙන් තරමක් දූරස්ථව පවතින විද්‍යා ප්‍රබන්ධමය ලක්ෂණ එක් කරමින්, අතීතය සහ අනාගතය යා කරන ‘පරිකල්පනමය පණු කුහරයක් (wormhole)’ නිර්මාණය කිරීමට යම් උත්සාහයක් දරා ඇති බැව් පැහැදිලිය. මන්ද යත්, කතාව ආරම්භයේදීම අපට දියුණු නාගරික වටපිටාවක වාසය කරන මිනිසුන්ගේ යටිසිතේ පැළපදියම් වූ ලිංගික ආශාවන් සන්තර්පණය කරන්නට මගබලා සිටින, මුදල් ගෙවා මිලදී ගත හැකි ඇන්ඩ්‍රොයිඩ ගැහැනුන්ගේ චරිත පවා හමුවේ. කෘත්‍රිම විඥානයක් හා ආලයෙන් බැඳීම ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සිට ස්පයික් ජෝන්ස්ගේ ‘Her’ නැතිනම් ‘‍Ex Machina’ වැනි චිත්‍රපටයක්, එසේත් නැතිනම් නූතනයේ ‘බ්ලැක් මිරර්’‍ (Black Mirror) හෝ ජොනතන් නෝලන්ගේ ‘වෙස්ට්වර්ල්ඩ්’‍ (Westworld) වැනි ටෙලිකතාමාලා හරහා පවා විවිධ ආකාරයෙන් විද්‍යා ප්‍රබන්ධ රසිකයාට සමීප වූ සාම්ප්‍රදායික අනුභූතියකි. මොහාන්ගේ කතාවේ හමුවන පිරිමියාට අයත් ඇන්ඩ්‍රොයිඩ ස්ත්‍රිය ඉන් මඳක් හෝ වෙනස් වන්නේ ඇයට සිය අයිතිකාරයාගේ සිතැඟි පරිදි, ඔහුට එදින රැයේ නිදි වැදීමට අවශ්‍ය ගැහැනියගේ රූපය බවට ක්ෂණයකින් පරිවර්තනය වෙමින් ඔහුගේ අවිඥානික ආශාව රඟ දැක්වීමේ හැකියාව පවතින බැවිනි. කතාවේ එන සිතුවම් ශිල්පී මහැදුරාටද අවැසි වන්නේ තමා පෙම් කළ කලාත්මක ස්ත්‍රී රූ වූ මොනාලිසා හා සීගිරි ලලනාවන් සිය ඇන්ඩ්‍රොයිඩ ස්ත්‍රිය හරහා වාස්තවික ලෝකයට කැන්දාගෙන විත් ස්පර්ශ කර බැලීමටය.


අනෙක් අතට, රචකයා මීට සමාන්තර ඉතිහාස කතා වියමනක්ද සියුම් ලෙස වියන්නට පටන් ගනී. ආරම්භක සිදුවීමේදීම ලාංකීය ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කරන්නට තම්බපණ්ණියේ කපු කටිමින් ශිෂ්ටාචාරයේ සළුව වියන කුවේණිය පාඨකයාට මුණගැසේ. ඇගේ දරුවන් වූ ජීවහත්ත හා දිසාලාද ඉපදී ඇත. එහෙත්, ඔවුන්ගේ පියා වූ විජය රජු තවමත් ලංකාවට ගොඩබැස නැත. කුවේණිය සිටින්නේ ඔහු එනතුරු පෙරමං බලාගෙනය. පාඨකයා මෙහිදී පැටලෙන ගැටලු දෙකකි; විජය නම් පියරජු තවමත් සපැමිණ නැත්නම්, මේ ඔහුගේ දරුවන් ඉපදී සිටින්නේ කෙසේද? අනෙක් අතට, කුවේණියට කිසිදා මුණනොගැසුණු විජය නම් මිනිසෙකු වෙනුවෙන් ඇය බලා සිටින්නේ මන්ද? සැබැවින්ම මෙය කාල පරාසයන් අතර විසංවාදයකි. අවැසි නම් අපට එය ‘කාලතරණය’ (Time travel) නම් සංකල්පය හා බැඳුණු විද්‍යා ප්‍රබන්ධ තුළ මුණගැසෙන, කාලාවකාශයේ පවතින ‘බූට්ස්ට්‍රැප් විසංවාදයක්’ (Bootstrap paradox) නැතිනම් ‘‍කෝසල් ලූප් (Causal Loop)’‍ එකක් ලෙස අර්ථ දැක්විය හැකිය.


එය සරලව විග්‍රහ කළහොත්, ඔබ යම් වර්තමාන ක්‍රියාවක් සිදු කරන්නේ යැයි සිතන්න. එහි ප්‍රතිඵලයක් ලෙස යම්කිසි අනාගත ක්‍රියාවක් හටගනී. එහෙත් අනෙක් අතට, ඔබ කළ වර්තමාන ක්‍රියාව හටගෙන ඇත්තේ එකී අනාගත ක්‍රියාවේ ප්‍රතිඵලයක් නිසා බැව් ඔබට දැනගන්නට ලැබේ. එවිට ඔබ මුලින් සිදු කළේ කුමන ක්‍රියාවද යන්න ගැන නිශ්චිත නිගමනයකට එළඹෙන්නට නොහැකිය. එය විසංවාදයකි. එය ක්‍රියාවක් පමණක් නොව, පුද්ගලයෙකු හෝ වස්තුවක් වුවද විය හැක. නිදසුනක් ලෙස, ‘ඩොක්ටර් හූ’ ‍( Doctor Who) කතාමාලාවේ තැනක සුප්‍රසිද්ධ සංගීතඥ බීතෝවන්ගේ සංගීත සිම්පනි රැගත් මිනිසෙක්, බීතෝවන් සැබැවින්ම ජීවත් වූ බැව් සැලකෙන අතීතයට කාලතරණය කරයි. ඒ කාලය වනවිට යොවුන් බීතෝවන් එම සිම්පනි නිපදවා තිබුණේ නැත. එහෙත්, මේ අනාගතයේ සිට එන මිනිසා තමන් අනාගතයේ සිට රැගෙන ආ බීතෝවන්ගේ සිම්පනි, බීතෝවන් විසින් නිපදවීමට පෙර බීතෝවන්ගේ නමින් නිපදවා විකුණයි. එවිට බීතෝවන් නම් සංගීතඥයෙකු සැබැවින්ම පැවතියේද යන්න විසංවාදයක් බවට පත් වේ. මොහාන්ගේ කතන්දරය තුළද, සීගිරි පර්වතය මත කුමාරිකාවන් හා දාසියන්ගේ සිතුවම් අඳින්නට කශ්‍යප යුගයට අනාගතයේ සිට පැමිණෙන සිත්තරෙකු ගැන සඳහන් වේ. එවිට හටගන්නා විසංවාදයද, මා පෙර සඳහන් කළ බීතෝවන්ගේ සිදුවීමේ විසංවාදයට බොහෝ සෙයින් සමානය.


කෙසේ නමුත්, විජයගේ ශිෂ්ටාචාරයෙන් පසුකාලීනව යක්ෂාරෝපිත ස්ත්‍රියක ලෙස සලකා පිටුවහල් කළ පසු, ලංකාද්වීපයට ශාප කරමින් දිවියෙකුගේ වෙස් ගෙන රාජ පෙළපතේ ඇත්තන්ගේ සිහිනවලට ඇතුළු වූවායැයි ජනශ්‍රැතියේ එන කැරලිකාර කුවේණියගේ අවතාරය, මේ අන්දරයට අනුව කශ්‍යප රජ සමයේද විවිධ වේශයන්ගෙන් පෙනී සිටී. කශ්‍යප කුමරුගේ මව වූ උපුලී රාජ වාංශික කතක නොව, සාමාන්‍ය කම්මල්කරුවෙකුගේ දියණියක ලෙස කතාවේ නිරූපණය වේ. එහෙත්, කුවේණි අම්මාගේ ආරූඪයෙන් අනාවැකි කියන දිවැසිවරියකට අනුව, මෙම කෙල්ල ඒකාන්තයෙන්ම රජ වන්නට නියමිත වේ. කෙතරම් විශ්වාස කිරීමට අපහසු වුවත්, ඉන් ටික කලකට පසු ඒ අනාවැකිය ඉන්තේරුවෙන්ම සඵල කරමින් ඈව නෙත ගැටෙන ධාතුසේන රජු ඈට බිසෝ පදවියක් ලබාදෙන්නට තීරණය කරයි. මෙය කියවාගෙන යනවිට මගේ සිහියට නැගුණේ සද්ධර්මාලංකාරයේ ‘‍සාලිරාජ වස්තුවේ’‍ එන අශෝකමාලා නම් (ඇතැම් තැනෙක කුලහීන ස්ත්‍රියක ලෙසද තවත් තැනෙක කම්මල්කාරයෙකුගේ දියණියක ලෙසද නිරූපිත) කෙල්ල, ඉනාමලු‍ව නම් ප්‍රදේශයේදී සාලිය කුමරුට ඉනාවක් දුන් බැව් කියවෙන ජන විශ්වාසයයි. මන්ද යත්, සීගිරියටද මේ ඉනාමලු‍ව නම් පෙදෙස සමග යම් සම්බන්ධයක් ඇත. එසේම, ධාතුසේන රජ මාලිගයේ අනෙක් රන්වන් සමක් හිමි රාජ වංශික බිසෝවරුන් පවසන්නේ උපුලී නම් මෙම ස්ත්‍රිය ඉනාවක් වැනි මායා ප්‍රලය කර්මයකින් රජුව වශී කරගත් බවයි. එහෙත් එය මැගේ පහත් වංශය සහ විශේෂයෙන්ම නිල් මහනෙල් මලක් වන් වූ වර්ණය නිසා ඇය බිසෝ පදවියට නුසුදුසු යැයි ඔවුන් තුළ වූ අදහසෙහිම නිර්මිතයක් බැව් පැහැදිලිය. ඉතිහාසයේද, බුදුන්ගේ වම් අග්‍රශ්‍රාවක වූ මුගලන් හිමි සේම කුවණ්ණාද නිල්වන් පැහැතිය. කුවණ්ණාට එනම තැබෙන්නේම ‘දුර්වර්ණ වූ ස්ත්‍රිය’ යන අදහස දරමිනි. එනමුදු, සීගිරි ගලේ ඇඳි සිතුවම්වල මෙකී රන්වන් සේම නිල්වන් ස්ත්‍රීන්ගේද ශෘංගාර ලාලසා දනවන රූ සිතුවම් කොට ඇත. ඒ ආකාරයට බලන විට, කශ්‍යප නිරිඳුන්ගේ රාජ්‍ය උරුමය ලබාගැනීමේ අරගලයට එකල පැවති වර්ණභේදවාදයද තදින්ම බලපාන්නට ඇති බැව් පාඨකයාට පෙනී යයි.


ඉනික්බිති කේතකී නම් වංශවත් බිසව සහ උපුලී අතර සිය පුතුන් වූ මුගලන් සහ කශ්‍යප අතර සිහසුනට වූ තරගය අපූරුවට රචකයා විස්තර කරයි. එය ඇරඹෙන්නේද පෙර කී දිවැසිවරිය උපුලීට සිය පුත්‍රයා රාජ්‍යත්වයේ වරම් හිමිකරගන්නා බැව් පවසන අනාවැකියෙනි. එතැන් සිට ඇය එය සිදු කිරීමට දිවා රෑ වෙහෙසෙන්නීය. මෙවන් අනාවැකි පවා මා පෙර සඳහන් කළ ආකාරයේ ‘කෝසල් ලූප්’ එකක් විය හැකිය. මන්ද යත්, එම අනාවැකිය සහ එය සඵල කරගැනීමට ඔවුන් ගන්නා වර්තමාන ප්‍රයත්නය එකිනෙකා මත පදනම් වන බැවිනි. එබැවින් මෙවන් අනාවැකි හැඳින්වෙන්නේ ‘ස්වයං-පූර්ණ අනාවැකි’ (Self-fulfilling prophecies) නමිනි. මෙවන් අනාවැකියක් ‘ඊඩිපස් රජ’‍ නාට්‍යයේ එන අනාවැකිකාරයා සිදු කරයි. ඔහුට අනුව, තීබසයේ පාලකයා වූ ලාවුස්ට උපදින ඊඩිපස් නම් පුත්‍රයා ඔහුව මරා දමා, ඔහුගේ බිරිඳ වූ ජකොස්ටා සමග විවාහ වෙයි. මෙය අසා බිය වන රජු එය වැළැක්වීමට කෙතරම් දේවල් කළත්, අවසානයේ ඔහුගේ ඒ ක්‍රියාවන් විසින්ම එම අනාවැකිය ඇත්තක් බවට පත් කරයි. ඊඩිපස් ගැන කතාව ඈඳුණු නිසාම මගේ මතකයට නැගුණු තවත් දෙයක් නම්, කශ්‍යප රජුද, අපගේ අධිපති ඉතිහාස කතිකාවත තුළ ඊඩිපස් කෙනෙකු බවට පත් කර ඇති බවයි. මන්ද යත්, මහාවංශ ඉතිහාස වියමනේ හැටියට කශ්‍යප වනාහි සිය පියා වූ ධාතුසේනව කලා වැවේ බැම්මේ පස් ගසා මරා දැමූ ආනන්තරීය පාපකර්මයකින් පෙළෙන්නෙකි. එහෙත්, මොහාන් එම අධිපති ඉතිහාස වියමනට අභියෝග කරමින් කශ්‍යප නම් කලාකාමියා හට ථෙරවාදී ඉතිහාස රචකයා ඉටු නොකළ සාධාරණය ඉටු කරන්නට යත්න දරයි. එය සිදු වන්නේ කෙසේදැයි දැනගැනීම මේ පුස්තකය කියවන පාඨක ඔබට භාරය.


කොහොම නමුත්, මගේ මතය අනුව කතාවේ හැටියට කශ්‍යප සීගිරිය නිමවන තැන සිට රාජ්‍ය බලය ලබාගන්නා තැන දක්වා ඔහු සිය මවගේ ආශාව සමග අනන්‍ය වන්නේ ෆ්‍රොයිඩ් එකී පුරාණ ඊඩිපස් අන්දරයෙන් ගම්‍ය කරගන්නා මනෝවිශ්ලේෂණවාදී අර්ථය සිහි ගන්වමිනි. මන්ද කාශ්‍යපගේ චරිතය මෙහෙයවෙන්නේ සිය මවගේ ආශාව මගිනි. මෙය මොහාන් සංකේතීය ලෙස නිරූපණය කරන්නේ කතාවේ තැනෙක, කශ්‍යප කුඩා කල දිගින් දිගටම සිය මවගේ පියයුරෙන් මිදීමට මැලි වූ අතර, මුගලන් කුමරු ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කුඩා කලම සිය මවගේ පියයුර අතහැර එළකිරි තටාකයක නාමින් ඉන් කුස පුරවාගන්නටත් පුරුදු වූ බැව් කීම හරහාය. සැබැවින්ම, කශ්‍යපට උස් මහත් වී සංකේතීය පිළිවෙළට ඇතුළත් වනවිටත් තමා කුඩා කල අනන්‍ය වූ ඒ මවගේ සංකේතීය සිරුරෙන් මිදෙන්නට නොහැකි වන්නේ එබැවින් විය හැකිය.


මෙලෙස නිමැවෙන සීගිරිය, පසුව ලාංකීය ථේරවාදී මහායානික භේදයේ සටන්බිම බවටද පත් වේ. මන්ද යත්, මිනිසුන්ට අනිත්‍ය මෙනෙහි කරනා අතරතුරම සිය පටු දේශපාලනික උවමනාවන් මුදුන්පත් කරගත් මහාවිහාරික භික්ෂූන්ට අවැසි වූයේ මුගලන් නම් ශාක්‍ය වංශික කුමරා බලයට ගෙන ඒමටයි. ඊට ප්‍රතිවිරුද්ධව, ලෞකික කලාවන් අනුදක්නා කශ්‍යප අභයගිරිය හා සබැඳි මහායාන සංස්කෘතිය සමග සමීපව සිටි බැව් පැහැදිලිය. විටෙක සීගිරිය තන්ත්‍රයානික භික්ෂූන්ගේ නවාතැනක් වූයේයැයිද විශ්වාස පවතින්නේ එබැවිනි. ඉතින්, මෙබඳු සංකීර්ණ ආගමික, බල දේශපාලනික ගැටුම් මැද තැනෙන සිහගිරිය නම් කේතුමතීමය සංස්කෘතික තටාකයේ කතාපුවත ඉන්ද්‍රජාලික යථාර්ථයක් හරහා පරිකල්පනය කරන අතරතුර, ‘‍Dark’‍ වැනි නූතන ටෙලිකතාමාලාවක් තරම් සංකීර්ණ නොවූවද, කාලතරණ විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ මුහු කරමින් නිල් කට්රොල්‍ නවකතාව හරහා ලාංකීය කතාකලාවේ ඕලාරික ආකෘතිවලින් විතැන් වෙන්නට දැරූ උත්සාහය අගය කළ යුතුය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි