21.5 C
Sri Lanka
6 October,2022

ප්‍රජාතන්ත්‍රවාදයට
හිතුවක්කාර පාලකයන්
දමනය කළ හැකිද?

Must read

ඉන්දිරා ගාන්ධිගෙන් පසු ඉන්දියාවේ බිහිවී සිටින ඉතාම අධිකාරිවාදී, හිතුවක්කාර සහ ඒක + අධිපතිවාදී පාලකයා වී සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිය. විශාල කෘෂි ව්‍යාපාරික සමාගම්වල පාලනයට ගත හැකි ලෙස ඉන්දියාවේ ග්‍රාමීය කෘෂිකාර්මික වෙළෙඳපොළ පුද්ගලික ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා නව කෘෂිකාර්මික නීති පද්ධතියක් ඔහු ගිය වසරේ සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත කළේය. එයට විරුද්ධ වූ පංජාබයේ හා උතුරු ඉන්දියාවේ ගොවීහු විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ. උපවාස, පෙළපාලි, දිල්ලි නගරය වටලෑම වැනි ක්‍රියාවලින් සමන්විත වූ එය ඉන්දියාවේ මෑත ඉතිහාසයේ මතුවූ විශාලතම සහ කල් පවත්නා පුරවැසි විරෝධතා ව්‍යාපාරයක් ද විය.
අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ පැවති එම මහා ගොවිජන ව්‍යාපාරයට මෝදි ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ එය දේශද්‍රෝහී, සතුරු, හින්දුත්ව විරෝධී, ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස හංවඩු ගසමිනි. හින්දු අන්ත ජාතිවාදයෙන්ද, ජාතික ආරක්ෂක යුදවාදී මතවාදයෙන්ද උමතු වී සිටින මෝදි සහ ඔහුගේ ආණ්ඩුව කළේ මෙම ගොවි ව්‍යාපාරයට දේශපාලන වශයෙන්ද, පොලිසිය ලවාද, බීජේපී ප්‍රාන්ත ආණ්ඩුවල මැරයන් ලවාද දිගට හරහට පහරදීමයි. ඕනෑම මහජන විරෝධයක් මෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂවලින් සිදු කෙරෙන විරෝධතා ව්‍යාපාරද ‘ජාතිද්‍රෝහී’ සහ නොයෙක් ආකාරයේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන සහ ‘හින්දුත්ව විරෝධී’ ඒවා ලෙස හංවඩු ගැසීමේ පුරුද්ද ඇති කරගෙන සිටින මෝදි ආණ්ඩුව කෙළේ ඉන්දියානු රාජ්‍යයේ දේශපාලන, පොලිස් සහ මර්දන බලය, මෙම ගොවි ව්‍යාපාරයට විරුද්ධව දියත් කිරීමයි. ගොවි විරෝධතාකරුවෝ හත්සීයක් පමණ මෙම මර්දනයේදී මිය ගියහ. මෝදිවත්, ගොවි නායකයන්වත් අඩියක්වත් පස්සට ගැනීමට සූදානම් නැති මෙම අර්බුදය විසඳෙන කිසිදු ලකුණක් මතුවූයේද නැත.


මේ අතර පසුගිය සතියේ දිනයක අගමැති මෝදි ගොවි ව්‍යාපාරය පමණක් නොව, මුළු ඉන්දියාවම මවිත කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙළේය. එය නම් ගොවි විරෝධයට පදනම් වූ කෘෂිකාර්මික නීති තුනම ඉල්ලා අස්කර ගන්නා බවයි. එමෙන්ම ඔහු, එම නීති හඳුන්වාදීම ගැන ඉන්දියානු ජනතාවගෙන් සමාවද අයැද සිටියේය. හින්දු ඉන්දියාවේ ඉතිහාසය පුරා මෙතෙක් පහළ වූ ඉතාම නිර්භීත, අධිෂ්ඨාන සහගත, තමන්ගේ තීරණයන් කිසිසේත්ම වෙනස් නොකරන, නොවැනෙනසුලු මහා අධිරාජයා ලෙස තමන් ගැනම සිතා සිටින, තම අනුගාමිකයන්ද, තමන්ට දාසකම් කරන ජනමාධ්‍ය විසින්ද වර්ණනා කරවා ගන්නා අගමැති නරේන්ද්‍ර මෝදි මෙම අසාමාන්‍ය පසුබෑම සිදුකෙළේ ඇයි? අධිරාජයා ගොවීන් ඉදිරියේ දණින් වැටුණ බවක් ඇඟවූයේ ඇයි?

ඒකාධිපතීන් හීලෑවීම


මෙම ප්‍රශ්නයට කදිම පිළිතුරක්, දැනට බීජේපී පක්ෂයේ නැති, මෝදිට පෙර තිබුණු බීජේපී ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා හා මුදල් ඇමතිවරයාව සිටි යස්වාන්ත් සිං ඊයේ පෙරේදා ඉන්දියානු පුවත්පත්වලට ලියූ ලිපියකින් ඉදිරිපත් කර ඇත. “ඕනෑම ඒක+අධිපතියෙකු මෙල්ල කිරීමේ මැජික් බලයක් ප්‍රජාතන්ත්‍රවාදයට තිබේ” යැයි ඔහු ප්‍රකාශ කළේය. ලංකාවටද අදාළ මෙම ප්‍රකාශයෙන් යස්වාන්ත් සිං මහතා අදහස් කෙළේ කුමක්ද?
අගමැති මෝදි කෘෂිකාර්මික නීති ගැන තම පියවර ආපස්සට ගැනීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙළේ උත්තර් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිද්දීය. විශාල ගොවි ජනතාවක් සිටින උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් බීජේපී ආණ්ඩුව පරදින්නට යන බව අගමැති මෝදිට පෙනුණ බව පැහැදිලිය.


මෝදි තම පොරොන්දුව ඇත්තටම ඉටුකරාවිද යන්න ගැන ගොවි නායකයෝ සැක පළ කරති. පාර්ලිමේන්තුව මෝදිගේ ගොවි නීති අවලංගු කරන තුරු තම උද්ඝෝෂණය නොනවත්වන බව ඔවුන් කියා ඇත.


අගමැති මෝදි ගොවීන් ඉදිරියේ පසුබැසීමත්, ඒ ගැන තිබෙන යස්වාන්ත් සිං අර්ථකථනයත්, ජනාධිපතිතුමාගේ හිතුවක්කාර තීරණ නිසා ඉතා තියුණු වී ඇති කෘෂිකාර්මික අර්බුදයක් ඇතිවී තිබෙන ලංකාවටත් ඍජුවම අදාළය. ප්‍රජාතන්ත්‍රවාදයේ බලපෑම නිසා ඒක+අධිපති බලයක් තිබෙන, තමන් පමණක් නිවැරදි යැයි සිතන නායකයකු වන ජනාධිපතිවරයාද පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් තරමක් දුරට මෙල්ල වී තිබෙන බව පෙනේ. එයට ස්තුති කළ යුත්තේ තවමත් ඉතිරි වී තිබෙන අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයටය.

දෙයාකාරයකින් බලපෑම


ලංකාවේ වර්තමාන කෘෂිකාර්මික අර්බුදයේ අලුත්ම හේතුව වන්නේ රසායනික පොහොර සහ යෙදවුම් නවතා, කාබනික පොහොර වහාම යෙදවීමට ජනාධිපතිවරයා ගත් හිතුවක්කාර තනි තීරණයයි. මෙම තීරණය සුපුරුදු පරිදි ව්‍යාකූල ප්‍රතිඵල ඇති කරමින්, ලිහිල් කිරීමටද එතුමා තීරණය කර ඇති බව පෙනේ. මෙයට ඇති පසුබිමෙහි ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ කාරණා දෙකක් තිබෙන බවද පෙනේ. පළමුවැන්න ගොවි ජනතාවගෙන් පැන නැඟුණු අතිවිශාල විරෝධයයි. දෙවැන්න, තව මාස කිහිපයකින් පැවැත්වීමට බොහෝ විට ඉඩ තිබෙන පළාත් සභා මැතිවරණයයි. මහජන විරෝධය සහ මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ අංග දෙකකි.


ගොවි ජනතාවගේ විරෝධතා ව්‍යාපාරය, ලංකාවේ කාලයක් තිස්සේ මෝරමින් තිබෙන ග්‍රාමීය කෘෂිකාර්මික අර්බුදයේ, ජනාධිපතිවරයාගේ පොහොර තීන්දුව විසින් නව අදියරකට තල්ලු කරනු ලැබූවකි. එම තීන්දුව එතුමාගේ හිතුවක්කාර, අධිපති පාලන තන්ත්‍රයේම ස්වභාවය ප්‍රකාශ කරන්නකි. ගොවි ජනතාවගේම බහුතර ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක ඇමතිවරුන්, ගොවි ජනතාවගේ ජීවිතයට මෙන්ම රටේ ආර්ථිකයටද තීරණාත්මක ලෙස බලපාන තීන්දුවක් ගත යුතුව තිබුණේ හිතුවක්කාරව නොවේ. පළමුවෙන් ගොවි ජනතාවගේද, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේද අදහස් විමසීමෙනි. දෙවැනිව, එම ප්‍රතිපත්ති යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට හා විවාදයට විවෘත කිරීමෙන් පසුවය. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය එයයි. පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධව ජනාධිපතිවරයා, ඔහුගේ කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරුන් සහ ඉහළ නිලධර තන්ත්‍රය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙන්නේ, ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියයි.


මෙම ක්‍රියාවලිය උල්ලංඝනය කරනු ලැබූ විට, එයට ගොවි ජනතාවගේ දැවැන්ත විරෝධයක් මතුවීමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය නමැති චක්‍රයේම ඇති තවත් ප්‍රතිචාරාත්මක අවධියකි. එම ගොවි විරෝධයේ වැදගත් ලක්ෂණ කිහිපයක්ම තිබේ. පළමුවැන්න, ආණ්ඩුවේ අදූරදර්ශී පොහොර ප්‍රතිපත්තියෙන් බැටකන ගොවීන්ගේ අති බහුතරය වර්තමාන ජනාධිපතිවරයාත්, එතුමාගේ ආණ්ඩුවත් බලයට පත් කිරීමට ඡන්දය දුන් අය වීමයි. එම ගොවි ජනතාව කෝපයට පත්වීමට එක් හේතුවක් වී තිබෙන්නේ, තමන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි නායකයකුගේ මෙම ඒක+අධිපතිවාදී කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ ඇති හිතුවක්කාර, දඩබ්බරතාවයි. නිර්-ප්‍රජාතන්ත්‍රවාදී සහ විනාශකාරී ස්වභාවයයි. තම විරෝධතාවලදී ඔවුහු තම කෝපය සහ කලකිරීම ඍජුවම ප්‍රකාශ කරති. එම ගොවි විරෝධයේ දෙවැනි වැදගත් ලක්ෂණය නම්, එය ගොවි ජනතාව අතරින්ම ස්වයංක්‍රියව, ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ස්වාධීනව, ස්වේච්ඡාවෙන් මතුවූ මහජන ව්‍යාපාරයක් වීමයි. ජවිපෙ සහ සජබ පක්ෂවල ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරීන් එයට සම්බන්ධ වන්නට ඇත. එහෙත් එය ඉන්දියාවේ ගොවි විරෝධතා ව්‍යාපාරය මෙන් ඒකාබද්ධ ගොවි සංවිධානයක් හෝ ගොවි සංවිධාන සන්ධානයක් හෝ විසින් නායකත්වය දී සංවිධානය කරනු ලැබූවක් නොවේ. ඊට සමකාලීනව පැවති ගුරු විරෝධතා ව්‍යාපාරයෙන්ද ගොවි විරෝධතා ව්‍යාපාරය තරමක් වෙනස් වන්නේ ඒ නිසාය.
ගොවි විරෝධයේ ඇති තුන්වැනි ලක්ෂණය නම්, ලංකාවේ ග්‍රාමීය සමාජයේ සිදුවන දරිද්‍රතාකරණ පරිවර්තනයේ නව ප්‍රවණතාවක්ද එයින් ප්‍රකාශ වීමයි. එය නම් දුගී ගොවි ජනතාව අතර දැනට පවත්නා දරිද්‍රතාව තවත් උග්‍රවීමත්, මධ්‍යම පන්තික ගොවි පවුල් නව දරිද්‍රතාකරණ චක්‍රයකට හසුවීමත්ය. රසායනික පොහොර හා යෙදවුම් තහනම් කිරීමට ගත් තීරණය එයට ආසන්න හේතුවයි. තේ සහ රබර් නිපදවන සුළු ඉඩම් හිමි ගොවීහුද, එළවළු ගොවීහුද, මධ්‍යම ප්‍රමාණයේ කුඹුරු ඉඩම් හිමි වී ගොවීහුද මෙම නව දරිද්‍රකරණයේ තර්ජනයට දැන් මුහුණ පා සිටිති.


නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෘෂිකාර්මික ප්‍රතිපත්ති තීරණය කිරීම නිසා ඉන්දියාවේත් ලංකාවේත් දේශපාලකයන්ම නිර්මාණය කර ඇත්තේ රටවල් දෙකෙහිම ග්‍රාමීය කෘෂිකර්මයේ සමාජ-ආර්ථික අර්බුදයක් මෙන්ම මුළු රටටම බලපාන දේශපාලන අර්බුදයක්ද වෙයි. රටවල් දෙකෙහිම නව කෘෂිකාර්මික අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය ප්‍රකාශයට පත්වී තිබෙන්නේ ඒ නිසාය. මෙහිදීද ඉන්දියාවටද, ලංකාවටද එක සේ අදාළ තවත් පොදු ලක්ෂණයක් තිබෙන බව අපට නිරීක්ෂණය කළ හැකිය. එය නම්, හිතුවක්කාර පාලන තන්ත්‍රවලට විරෝධ පෑමට විරුද්ධ දේශපාලන පක්ෂවලට ඇති සීමිත අවකාශය පාර්ලිමේන්තුවට සීමාවෙද්දී, එම විරෝධය වීදිවල, මහපාරේ නිර්භයව ප්‍රකාශ කිරීම වෘත්තීය සමිති සහ ගොවි සංවිධාන කරා මාරුවීමයි.


රටවල් දෙකෙහිම පසුගිය වසර දෙක තුළ අඩපණ වී තිබුණ මහජනතාවගේ ඍජු දේශපාලන ක්‍රියාකාරිත්වය හා සහභාගිත්වය, ප්‍රජාතන්ත්‍රවාදය පාලක පන්තියේ ප්‍රහාරයට ගොදුරු වී තිබෙද්දී, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ, පක්ෂ දේශපාලනයෙන් එළියේ සිදුවන පුනර්ජීවනය, සියලු පුරවැසියන්ගේ සතුටට හේතුවිය යුතුය.


මේ අතර රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය සම්බන්ධයෙන් ලංකාවේ ජනාධිපතිවරයා විශ්වාස කරන බව පෙනෙන මූලධර්මයක්, පොහොර ප්‍රතිපත්තිය පිටුපස තිබෙන බව පෙනේ. එය නම් සංවර්ධනය පිළිබඳ ‘ස්වදේශවාදී’ මතවාදයයි. එය ජාතික චින්තනය ගුරුකුලය, ආර්ථික ජාතිකවාදීන්, කාර්මීකරණ විරෝධී සහ කෘෂිකර්මයේ නවීකරණ විරෝධී ජනතාවාදීන් විසින් ප්‍රචාරය කර ඇති මතවාදයකි. ජනාධිපතිවරයා එම ‘කෘෂිකාර්මික ජනතාවාදය’ නම් වූ පසුගාමී චින්තනය වැළඳගෙන ඇති බව පෙනේ. රතන භික්ෂුවගේ සිට පාදෙණිය වෛද්‍යවරයා දක්වා වූ කුඩා පිරිසක් එම චින්තනය රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කළ විට, හිටපු ජනාධිපතිවරයා එම මතවාදී උගුලෙන් බේරුණත්, වත්මන් ජනාධිපතිවරයා එයට හසුවී ඇත. නොදියුණු, පසුගාමී මතවාද මත රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ අනතුර දැන් අප රටේ සියලු පුරවැසියන් ඉදිරියේ විවෘතව ප්‍රදර්ශනය වෙමින් තිබේ. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි