No menu items!
21.2 C
Sri Lanka
7 December,2024

රාජපපක්ෂලා දින්නොත් ඩාලි පාරේ කාර්යාලයත් නැතිවේවි

Must read

නීතිඥ රජික කොඩිතුවක්කු
ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම්

ඔබ නියෝජනය කරන කණ්ඩායම ගැන පැහැදිළි කිරීමක් කළොත්…

මම කතාකරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් විදියටයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී මම ජනාධිපතිතුමාගේ ලේකම් තනතුරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූරයත් අත්හැරියා. මාත් ඇතුලුව ආසන සංවිධායකවරුන් 18 දෙනෙක් ඒ විදියට සංවිධායක ධූර අත්හැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය හදාගෙන ශ්‍රීලනිපය වෙනුවෙන් වැඩකරන්නට පටන්ගත්තා. අපි පැහැදිළිව ඉල්ලුවේ පක්ෂය ආරක්ෂා කරන්න කියන කාරණාව. ඒ කාරණය හරිහැටි ඉටු නොවී මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂය උගස් කරන්නට ගිය අවස්ථාවේදී තමයි අපි එයට විරුද්ධවෙලා ආසන සංවිධායක ධූර අත්හැරියේ. අපි පක්ෂය රැකගන්න කියන තැන ඉඳලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් මාලාවක් කරමින් ඉන්නවා. මීට කලින් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා සමඟ කතාකළා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමාවත් අපි මුණගැහුණා. ඒ සාකච්ඡාවලදී අපි පැහැදිළිව කීවේ ජනාධිපතිතුමා ඊළඟ මැතිවරණවලට ඉදිරිපත් විය යුතු බව. එතුමා ඉල්ලන්නේ නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙක්ව හෝ දෙන්න කියලා අපි ඉල්ලුවා. ඒ අපේක්ෂකයාට වැඩ කරන්න ලෑස්ති බව අපි කීවා.

එහෙත් ශ්‍රීලනිපයට තනිවම කටයුතු කරන්න තරම් ශක්තියක් නැති බව කියනවා නේද?
ලංකාව පුරාම ග්‍රාමසේවක වසම් 14022ක් තියෙනවා. ඒ හැම ග්‍රාමවසමකම පාහේ ශ්‍රීලනිපය නියෝජනය කරන නියෝජිතයන් 25කට වඩා ස්ථීරවම ඉන්නවා. තරුණ සංගමේ ගත්තත් එහි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, කාරක සභාව ඉන්නවා. ඊට අමතරව කාන්තා සමිති ආදී විවිධ ශාඛා සංවිධාන තියෙනවා. ඒ තනතුරුධාරීන් ටික හෝ ඉන්නවා. ඒ අනුව අපට එතැනින්ම එනවා 280,125ක ප්‍රමාණයක්. ආසන්න වශයෙන් ඒ ඉන්නේ අපේ පක්ෂයේ සාමාජිකත්වය. මේ සාමාජිකත්වය වෙන කොහේටවත් යන්නේ නැහැ. ඔවුන් ශ්‍රීලනිපය ඇතුලේ ඉන්න මිනිස්සු. ගම් මට්ටමෙන් පොදුජන පෙරමුණටත් ඔය වගේම යාන්ත්‍රණ තියෙනවා. එජාපයටත් තියෙනවා. ඒ නිසා ගම් මට්ටමෙන් ඔවුන් අතර බෙදීමක් තියෙනවා. ඒ නිසා වෙන පක්ෂයකට යන්න ශ්‍රීලනිප කණ්ඩායමට බැහැ. වෙන පක්ෂවල ග්‍රාමීය නායකයන් අපේ ග්‍රාමීය නායකයන්ට ඉඩ දෙන්නේ නැහැ. මා මෙය පැහැදිළි කළේ පහළම මට්ටමෙන්.

ශ්‍රීලනිපයෙන් ගිය මන්ත්‍රීවරුන් ගැටලුවක් නැතිව පොදුජන පෙරමුණේ වැඩකරනවා නේද?
නැහැ. ඉහළ මට්ටමෙනුත් ඔය ප්‍රශ්නයම තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා හබරාදූවේ තමන්ගේ පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය පිහිටුවන්න ගියාම ඔහුව හූ තියලා එළෙව්වා. ඔහුව එළවලා ආසන බලමණ්ඩලයේ ප්‍රධානත්වයට පත්කරගෙන තිබුණේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව. මේ ගැන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා මහින්ද මහත්තයාට කියලා තියෙනවා. මහින්ද මහත්තයා කියලා ඕක බැසිල් මහත්තයාට කියන්න කියලා. බැසිල් මහත්තයා කියලා තියෙනවා ඕක ඩලස්ට කියන්න කියලා. ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයා කිව්වාලු ඕක රමේෂ් පතිරණට කියන්න කියලා. එතකොට රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කීවාලු ඔයාට ගමේ අය කැමති නැහැ, ඒ නිසා ඔයා එන්න එපා කියලා. එතකොට මේ ඉරණමට මුහුණදෙන්නද ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගියේ.

පොදුජන පෙරමුණ හා එක්වෙන්න බැරි බව කියන්නේ ඇයි?
දැන් පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ව නම් කරලා. දැන් අපට කියනවා ඒ අපේක්ෂකයා එක්ක එකතුවෙන්න කියලා. ඒ උදව්ව ගන්නාතෙක් අපට හරිම ආදරයෙන් කතාකරනවා. ඒත් අපි එකතුවුණාම අපව සම්පූර්ණයෙන්ම තලලා පොඩිකරලා ශ්‍රීලනිපය විනාශ කරනවා. ඒ නිසයි අපි යෝජනා කරන්නේ මොන අමාරුකම් මැද වුණත් ශ්‍රීලනිපය විදියට අපි මේ තත්වයට තනියෙන්ම මුහුණදෙමු කියලා. මේක අභියෝගයක් ලෙස සලකමු කියලා. ලංකාවේ බිම් මට්ටමෙන් ඡන්දය ඉල්ලපු අපේ ගමේ නියෝජිතයෝ ඉන්නවා. එයාලා අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ට පොහොට්ටුවට යන්න බැහැ. යූඇන්පීයට යන්නත් බැහැ. 2015 දී ජනාධිපතිතුමාට ඡන්ද ලක්ෂ 62ක් ලැබුණා. එතැනින් එජාපයේ ස්ථාවර ඡන්ද ලක්ෂ 40ක් තිබුණායැයි සිතන්න පුලුවන්. ඊට අමතරව අනෙකුත් ජනවර්ගවල පක්ෂ, ජේවීපීය, සිවිල් සමාජය ඇතුලු බලවේග නිසා තවත් ඡන්ද ලක්ෂ 12ක් තිබුණායැයි හිතමු. අඩු තරමේ ඡන්ද ලක්ෂ 10ක් විතර ජනාධිපතිතුමා එක්ක ශ්‍රීලනිපයෙන් කැඩිලා ආවා. ඒ ඡන්දවලින් තමයි ජනාධිපතිතුමාව ජයග්‍රහණය කෙරෙව්වේ. ශ්‍රීලනිපයෙන් කැඩිලා වඩා යහපත් සමාජයක් ඇතිකිරීම වෙනුවෙනුයි ඔවුන් ඡන්දය දුන්නේ.

ශ්‍රීලනිපයේ හිටපු මහලේකම්වරයාටයි ඔවුන් ඡන්දය දුන්නේ. ඒ ඡන්දය දීපු උදවියට තමයි අද යනඑනමං නැතිවෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වුණ සමහර නායකයෝ දැන් කියනවා මහින්දලාගේ වැරදි දැන් ඉවරයි කියලා. මහින්දලාට උදව් කරන්න කියලා. ආත්ම ගෞරවයක් තියෙන කිසිම කෙනෙක්ට තමන් ප්‍රතික්ෂේප කරපු ඒ කණ්ඩායම රාජපක්ෂලා තමන්ගේ මතවාද පවා කිසිම ආකාරයකින් වෙනස්වෙලා නැති පසුබිමක රාජපක්ෂලාට එකතුවෙන්න බැහැ. ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් ආපු එස්.බී. දිසානායකලා, ඩිලාන් පෙරේරාලා කරන්නේ ඊළඟ මැතිවරණය සඳහා තමන්ගේ ඊළඟ මැතිවරණය සඳහා වැඩකටයුතු හදාගන්න එක. එස්.බී. දිසානායක ඇමතිතුමාට මතක නැතිවෙලා තියෙනවා තමන්ම කලිනුත් මහමැතිවරණයෙන් පරාද කළේ මහින්ද රාජපක්ෂලා බව. රාජපක්ෂලා නුවර වේදිකාවල කීවේ එස්.බී.ට හැර අනෙක් අයට ඡන්දය දෙන්න කියලයි.

ශ්‍රීලනිපය යළි ගොඩගන්නට කරන්න ඕනෑ දේවල් බොහොමයක් තියෙනවා නේද?
මේ වැටීම තාවකාලිකයි. අපි කියන්නේ අපට නැවත ගොඩඑන්න අවශ්‍යයි. ඒකට වැඩපිළිවෙලක් තමයි ඕනෑ. දැන් කුමාර වෙල්ගම වගේ අය ප්‍රගතිශීලී විදියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔහු කියන කතාව එක්ක එකතුවෙන්න අපට බැරිකමක් නැහැ. ඔහු කියන්නේ ශ්‍රීලනිපය දිනවන්නට වැඩපිළිවෙලක් හදන්න කියලා. කුමාර වෙල්ගමලා ළඟ ඉඳලා දැක්ක ගෝඨාභය රාජපක්ෂගේ දුර්ගුණ අපි දුර ඉඳලා දැක්කා. මේ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක් ගමකට විශ්‍රාමික හමුදා හා පොලිස් නිලධාරී 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්මාණය කරමින් ඉන්නවා. මෙය හිට්ලර්ගේ හමුදාව වගේ වැඩ කරන්න යන කට්ටියක්. මේකෙන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, තමන්ගේ අණට ක්‍රියාත්මක වෙන පාලනයක් බලගන්වන්න ඕනෑ බවයි. අපට ඒකට එකඟ වෙන්න බැහැ. මොන අඩුපාඩු තිබුණත් 2015න් පස්සේ රජයක්, පුද්ගලයෙක්, දේශපාලඥයෙක් විවේචනය කිරීමේ හැකියාවක් තිබුණා. එතැනින් අපි යන්න ඕනෑ ආපස්සට නෙවෙයි. ඉදිරියටයි. ඒ නිසයි අපි ජනාධිපතිතුමාට කීවේ එතුමා ඉල්ලන්නේ නැතිනම් එතුමා වහාම ශ්‍රීලනිප අපේක්ෂකයෙකුට ඉදිරිපත් වෙන්න ඕනෑ බව. ජනාධිපතිතුමා එසේ නොකර ගෝඨාභය රාජපක්ෂට සහාය දුන්නොත් අපි ඒකට විරුද්ධව ශ්‍රීලනිප මතවාදය නියෝජනය කරමින් අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කරනවා. ඉන්පස්සේ අපි නිකන්ම ඉන්නේ නැහැ. පොදුජන පෙරමුණ පරාජය කළ හැකි හැමදේම අපි කරනවා.

ඔබේ කණ්ඩායමේ ඉල්ලීම් පසුගිය සතියේදී ලිඛිතව ඉදිරිපත් කළා නේද?
ජනාධිපතිතුමාට දෙන්න කියලා ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්තයාට අපි ලිඛිත යෝජනා 12ක් ඉදිරිපත් කළා. අපේ අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කිරීම, පිළිගත හැකි පොදු අපේක්ෂකයෙක්ට සහාය දීම හෝ පොදු අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කිරීම, එසේ නැතිනම් රාජපක්ෂලාට එරෙහි පිළේ සිටගැනීම කරන්න ඕනෑ. අපි ඉදිරිපත් කළ යෝජනා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා පිළිගත්තා. ඒවා ඉටු කළ යුතු බව අප ඉදිරියේ ඔහු පිළිගත්තා. එතුමා එය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බවටත් කිව්වා.

රාජපක්ෂලාට එරෙහිව කැරළි ගසන්නට ශ්‍රීලනිපය ප්‍රමාද වැඩි බව හැඟෙන්නේ නැද්ද?
මේ වෙද්දී ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නම්කරලා හමාරයි. තවමත් අපට අපේක්ෂකයෙක් නැහැ. අපේක්ෂකයෙක් නැතත් අපට හිටගන්න පුලුවන් මතවාදයක් හදන්න කියලා අපි ඉල්ලනවා. මම දැක්කා රෙජිනෝල්ඞ් කුරේ මහත්තයා කියනවා මේ වෙද්දී ශ්‍රීලනිපය කියන එකේ ඔලුව නැති බව. ඇඟ විතරක් තියෙන බව. අපට මතකයි මීට කලින් එතුමා රාජපක්ෂලාව විනාශ කරන්න ඕනෑ කියලා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී කියපු බව. නයාට පොල්ලෙන් ගැහුවානම් මරලා ඉවරකරන්න කියලා ජනාධිපතිතුමාට මධ්‍යම කාරක සභාවේදී ඔවුන් උපදෙස් දුන් බව අපට මතකයි. ඊළඟ මැතිවරණය ළංවෙද්දී ඔවුන් රාජපක්ෂලා ලඟ හිටගෙන. අපට එහෙම හිටගන්න බැහැ. අපේ පක්ෂයට මැරෙන්න ඉඩදෙන්න බැහැ. රාජපක්ෂලා ශ්‍රීලනිපය විනාශ කළා. අද මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපතිවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් වෙනත් පක්ෂයක සාමාජිකයෝ. අපි එයාලා පස්සේ යන්නේ ඇයි. එතැන ඉන්නේ ඉතිහාසයේ කුණුකූඩයට යන්න නියමිත අය. රාජපක්ෂලාගෙන් තොර කිසිදු දෙයක් හිතන්නේ නැති, කතාකරන්නේ නැති තැනකට යන්න අපට අවශ්‍ය නැහැ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යෝජනා වී සිටින ගෝඨාභය රාජපක්ෂ ගැනත් ඔබලාගේ දැඩි විරුද්ධත්වයක් තියෙනවා නේද?
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අපේක්ෂකත්වය ගත්තේ කැමැත්තෙන් නෙවෙයිනේ. බලහත්කාරයෙන් වගෙයිනේ. එළිය වගේ නම්වලින් ගෝඨාභය රාජපක්ෂව රටවටේ ගෙනගිය මිලිටරි කණ්ඩායම මේ වෙද්දී පැහැදිළිව කියන කාරණය තමයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණවලදී ඒ සංවිධානවලට කෝටා එකක් ඕනෑ බව. ඒ සංවිධානවල ඉන්නේ මිලිටරිවාදීන්. ගෝඨාභය රාජපක්ෂව කිසිසේත්ම පාලනය කරන්න බැහැ. ඔහුට අපේක්ෂකයා වෙන්නට වේදිකාව හදලා දුන්නේ බැසිල් රාපජක්ෂ මහත්තයා. ඒත් අපේක්ෂකත්වය ලැබුණ වෙලාවේ කිසිම වෙලාවක බැසිල් රාජපක්ෂගේ නම කීවේ නැහැ. බැසිල් රාජපක්ෂට තමයි මම ස්තූති කරන්න ඕනෑ කියලා ටෙලිප්‍රොම්ප්ටරයේ ආපු වචන කාණ්ඩය එහෙමපිටින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ නැහැ. ඒක තමයි රාජපක්ෂ පවුලේම අයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සලකන විදිය. සහෝදරවරුන්ටත් ගෝඨාභය රාජපක්ෂ සලකන්නේ එහෙමනම් තමන්ට කොහොම සලකයිද කියලා සැකයෙන් ඉන්නේ ශ්‍රීලනිපයේ අය නෙවෙයි. පොදුජන පෙරමුණේම සාමාජිකයන්ට ඒ සැකය තියෙනවා. ශ්‍රීලනිපයේ අපි නම් සැකයක්වත් තියාගන්න ඕනෑ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ තත්වයේ ඉන්නේ නැතිව පැහැදිළිව පේන අනතුර හමුවේ එකා වගේ සටන් කරමු කියලයි. රාජපපක්ෂලා දින්නොත් පහුවදා අපට ඩාලි පාරේ කාර්යාලයත් නැතිවේවි.

ඔබ දකින අන්දමට ශ්‍රීලනිප නායකයන් ඉන්නේ මොන මතයේද?
මේ වෙද්දී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පැහැදිළිවම ශ්‍රීලනිපය වෙනම තරග කළ යුතුයි කියන තැන ඉන්නවා. මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර කියන නායකයනුත් දෙපළත් පැහැදිළි මතයක ඉන්නවා. අනෙක් අයගේ මතය මොකක්ද කියලා පැහැදිළි නැහැ. ගොඩක් අය කල් මරමින් බලාගෙන ඉන්නේ තමන් කොයි පැත්තේද කකුල තියන්නේ කියලා කල්පනා කරමිනුයි.

තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ශ්‍රීලනිපය පරාද වේවි නේද?
අපි පරාජය වෙන්න පුළුවන්. මේක කෙටිකාලීන පරාජයක්. ඒත් මම විශ්වාස කරන විදියට දීර්ඝකාලීන ජයග්‍රහණයක් තියෙනවා. අපි අනුමාන කරමු අපට ඡන්ද ලක්ෂ 18ක් දැන් තියෙනවා කියලා. අපි දැන් පොහොට්ටුවට ගියොත් අනිවාර්යයෙන්ම ඒ ඡන්ද ලක්ෂ 18 පොහොට්ටුවට යනවා. නැවත ඒක දිනාගන්න පුලුවන් වෙන්නේ නැහැ. ඒත් අපට පුලුවන් වුණොත් තනියෙන් ඉල්ලන්න. අපි පරාජය වෙන්න පුලුවන්. අපි මීට කලිනුත් විපක්ෂයේ හිටියානේ. ඒත් අපි පරාජය වුණත් අපේ ඡන්ද ආරක්ෂා වෙනවා. ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි තනියෙන් ඉදිපත් වුණොත් දැනට පවතින ඡන්ද මට්ටමත් එක්ක ලංකාවේ දිස්ත්‍රික්ක 25න් අඩුම තරමේ නියෝජිතයෝ 15කට වඩා ගන්න පුලුවන්. ඒ අඩුම අනුමානය. සිරිමාවෝ මැතිණිය පක්ෂය ගොඩගත්තේ ආසන 8ට වැටුනාට පස්සේයි. ඉතින්, අපට පක්ෂය ගොඩගන්න ආසන 15ක් හොඳටෝම ඇති. මතක තියාගන්න ඕනෑ ඒ ආසන 15ම පත්වෙන්නේ තරුණ, ජවසම්පන්න නායකයෝ. නැවුම් නායකයෝ. අපට තියෙන ලොකුම ආශිර්වාදය තමයි විවිධ චෝදනාවලට ලක්වෙලා මහජනතාවගේ පිළිකුලට හේතුවුණ වියපත් නායකයන් පක්ෂයෙන් ඉවත්වීම. බහුතරයක් පොහොට්ටුවට ගිහින්. ඉතිරි අය එජාපයට ගිහින්. අලුත් ගමනක් සඳහා නැවුම් නායකයන් නිර්මාණය කරගන්න අපට දැන් පුලුවන්. ඒ නායකයන්ට අපේ ආණ්ඩුවක් හදාගන්න පුලුවන්. ශ්‍රීලනිප නායක මට්ටමේ ඉන්න දුමින්ද දිසානායක, මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර කියන්නේ තවත් අවුරුදු විස්සක් යනතුරු දේශපාලනය කරන්න පුලුවන් දේශපාලඥයන්. අපි වෙනම තරග කළොත් ඊළඟ මැතිවරණයේදී රාජපක්ෂලාගේ පොහොට්ටුව පරාද වෙනවා. දැන් පොහොට්ටුව පැරදුණොත් රාජපක්ෂලාගේ වයස එක්ක ගත්තාම නැවත ඔවුන්ට නැගිටීමක් නැහැ. ඒ නිසා පොහොට්ටුවට පැනපු පහළ මට්ටමේ උදවිය නැවත ශ්‍රීලනිපයට එන්න පටන්ගනීවි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි