No menu items!
26.7 C
Sri Lanka
15 October,2024

18 වැනි සංශෝධනය ගෙනාවේ බලය පිළිබඳ පටු හැඟීම් එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන

Must read

විසිවැනි සංශෝධන යෝජනාවට සහයෝගය දෙනවා නම් තවමත් අවස්ථාවක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය කලින් ගත් තීරණය වෙනස් කරන්න අදහසක් නැද්ද?
අපි කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. අපට ඒක කරන්න බැහැ. ජේවීපී එකේ වුවමනාවට නටන්න අපි ලෑස්ති නැහැ. එයාලාට ඕනෑ වෙලාවට ව්‍යවස්ථා සංශෝධන කරන්න බැහැනේ. ජේවීපීය කියන්නේ දේශද්‍රෝහී සංවිධානයක්. එයාලාට කිසිම වුවමනාවක් නැහැ රටේ යහපතට ව්‍යවස්ථාව වෙනස් කරන්න.

ජේවීපීය දේශද්‍රෝහී නිසා විස්සට සහයෝගය නොදීම කියන්නේ ආකර්ෂණීය අදහසක්. ඒත් ඔය දේශද්‍රෝහී සංවිධානය එක්ක නේද 2006 දි ආණ්ඩු හැදුවේ?
ඒක වෙනම තත්වයක්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේත් මම හිටියේ පෞද්ගලිකව විරුද්ධ ස්ථාවරයක. මම කැමති වුණේ නැහැ ජේවීපීය එක්ක එකතුවෙනවාට. එහෙත් ඒ වෙලාවේ තත්වය අනුව එහෙම දෙයක් කරන්න වෙන්න ඇති. ඒ මොහොතේ හිටපු නායකත්වයත් කිසි විවේචනයක් නැතිව ජේවීපීය එක්ක එකතුවුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. ජේවීපීය කියන්නේ යූඇන්පියේ කෑල්ලක්. වැඩ කරන්නේ යූඇන්පියේ වුවමනාවට. ඔවුන්ගෙ න්‍යාය පත‍්‍රයට. දැනටත් ජේවීපීයට යූඇන්පියෙන් ලක්ෂ ගණන් මුදල් ගිහින් තියෙනවා. එහෙම පසුබිමක ජේවීපීය ගෙනෙන කිසිම යෝජනාවක් ගැන අපට විශ්වාස කරන්න බැහැ. ඔවුන් එක්ක එක පෙළට හිටගන්න බැහැ. මොකද ඒවා පසුපස සැඟවුණු න්‍යායපත‍්‍ර තියෙන්න පුළුවන්. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකට අවසාන මොහොතේ අපි නොහිතන වගන්ති එකතුකළොත් මොකද වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේදීම එහෙම දේවල් ගැන උදාහරණ තියෙනවා. අපි ඔවුන්ට සහයෝගය දීමේ අවදානම ගන්න බැහැ.

ජවිපෙ මුදල් ගැනීමේ කතාව බරපතළ චෝදනාවක්. ඒ චෝදනාව වගකීම් සහගතව කරන එකක්ද?
ඔව්. ඒක ප‍්‍රසිද්ධියේම කිව්වානේ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මේ බව කිව්වා. චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා කිව්වා. ඔවුන් කිව්වෙ සල්ලි දුන්නා කියලා. කෝ? ජේවීපීයෙන් අපහාස නඩු දැම්මේ නැහැනේ. මේක බොරුවක් කියලා ප‍්‍රතික්ෂේප කළේ නැහැනේ. පිළිගත හැකි උත්තරයක් දුන්නේ නැහැනේ. ජේවීපී එකට සල්ලි එන හැටි අපි දන්නවා. එයාලා කියන දේවල් වගේම නොකියන දේවල් පිටිපස්සේ තියෙන න්‍යාය පත‍්‍ර මොනවාද කියලත් අපි දන්නවා. එයාලා ඔය එළියට පෙන්වන මුහුණු නෙවෙයි ඇත්තටම තියෙන්නේ. අපි ඕවාට රැවටෙන්නේ නැහැ. අපි එයාලා එක්ක පොදු දේශපාලන කටයුතුවල යෙදෙන්නේ නැහැ.

ජවිපෙ යෝජනාවට විරුද්ධ වුණත්, ව්‍යවස්ථා සංශෝධනයකට එකඟයිද?
මම කියන්න සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනෑ. අලූ‍ත් ව්‍යවස්ථාවක් එන්න ඕනෑ. කෑලි කෑලි වෙනස් කරලා වැඩක් නැහැ. දැන් කරන්නෙ මොකක්ද? එක්කෙනෙක් කොමිෂන් දාන්න සංශෝධනයක් කරනවා. තව කෙනෙක් කොමිෂන් අයින් කරන්න සංශෝධන ගේනවා. සැරෙන් සැරේ එකම දේ වෙනස් වෙනවා. දැන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එකක් ගෙනෙයි. හෙට ආයෙත් විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කරන්න සංශෝධනයක් ගෙනෙයි. ව්‍යවස්ථාව කියන්නෙ අපට හිතෙන හිතෙන සැරේට වෙනස් කරන්න තියෙන ලියැවිල්ලක් නෙවෙයි. බලන්නකො ඇමෙරිකාවේ ව්‍යවස්ථාව. අවුරුදු සිය ගාණකට සැරයක් කෙරුණු සංශෝධන කිහිපයක් විතරයි තියෙන්නෙ. ඒවාත් සුළු සංශෝධන. එයාලා තෝරාගත්ත ආණ්ඩුක‍්‍රමයක් තියෙනවා. ඒක ඔස්සේ යනවා. ඉතින් අපි කරන්න ඕනෑ අලූ‍තෙන්ම ව්‍යවස්ථාවක් ගේන එක. රටක් දීර්ඝකාලයකට පවත්වාගෙන යන්න ගැළපෙන ව්‍යවස්ථාවක්. රටෙන් අඩක් කැමති එකක් නෙවෙයි. හැමෝම කැමතිවෙන අන්දමේ එකක්. හැමෝම එකඟවෙන අන්දමේ එකක්. ලොකු සාකච්ඡාවකින් පස්සේ හැදෙන එකක්. දැන් සමහරු කියනවා ව්‍යවස්ථා සංශෝධනය ඒ වෙලාවේ තියෙන දේශපාලන න්‍යායපත‍්‍ර එක්ක ගළපාගෙන කරන්න ඕනෑ කියලා. ඒත් එහෙම එකිනෙකාගෙ න්‍යායපත‍්‍ර ගළපන්න ව්‍යවස්ථාව සංශෝධනය කරලා වැඩක් නැහැ. මුලින්ම රටේ බහුතරයකගෙ කැමැත්ත දිනාගන්න ඕනෑ. මේ වෙලාවෙ විසිවැනි සංශෝධනයක් කළොත් ආයේ විසිඑක්වැනි සංශෝධනයක් ගැන කතා කරන්න පටන්ගනියි. එච්චරයි වෙන්නේ. ව්‍යවස්ථාව සෙල්ලමක් නෙවෙයි.

ඉතින්, ඔය කතාව 18 වැනි සංශෝධනයටත් අදාළයි නේද?
අනිවාර්යයෙන්ම. මම ඒක එදා ඉඳන්ම කිව්වා. මම 18 වැනි සංශෝධනයට විරුද්ධ වුණා. මම කිව්වා කරන්න එපා කියලා. ඒත් පාලකයෝ කැමති දේ තමයි ඒ වෙලාවෙ කළේ. ඔවුන්ගෙ වුවමනාවට. බලය පිළිබඳ පටු හැඟීම් එක්ක 18 වැනි සංශෝධනය ගෙනාවේ. ඒකෙන් ලැබුණ කිසි දෙයක් නැහැ.

අන්තිමේ මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ජනාධිපති වෙන්නත් බැරිවුණා නේද?
ඔව්. ඒ විතරක්ද, ඊට පස්සෙ 18 වැනි සංශෝධනය අවලංගු වුණා. 19 වැනි සංශෝධනය ආවා. ඒ වෙලාවෙ කරන්න තිබුණෙ අලූ‍ත් ව්‍යවස්ථාවක් ඇතිකිරීම. පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇතිකිරීම. එහෙනම් එදා හිටපු පාලකයන්ට අද වෙනතෙක් බලයේ ඉන්න පවා තිබුණා.

ඔබ හිතන්නේ අලූ‍ත් ඇතිකරගන්නා ව්‍යවස්ථාවක විධායක ජනාධිපති ක‍්‍රමයක් තිබිය යුතුද?
මම කියන්නේ ලංකාවට ගැළපෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමය. විධායක ජනාධිපති ක‍්‍රමය රටට ගැළපෙන්නේ නැහැ. ඒක අලූ‍තෙන් කියන්න දෙයක් නැහැ. අපි කාලයක් තිස්සේ හිටියේ ඒ මතයේ. ඒකේ කිසි වෙනසක් නැහැ.

බලය බෙදීම කෙසේ විය යුතුද?
උතුරු නැගෙනහිර අය කියනවා එයාලාට බලය එන්ජෝයි කරන්න දෙන්න කියලා. එයාලා බලය බෙදීම ඉල්ලන්නේ එයාලාට එන්ජෝයි කරන්න. මට තේරෙන්නේ නැහැ බලය එන්ජෝයි කරන්නේ කොහොමද කියලා. ඒ ඉල්ලීම ඇතුළෙන්ම තේරෙනවා උතුරේ දේශපාලන ඉල්ලීම් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් නොවන බව. ඔවුන් බලය ඉල්ලන්නෙ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි. තමන් වෙනුවෙන්. තමන්ට එන්ජෝයි කරන්න. අපි ඒකට රැුවටෙන්න ඕනෑ නැහැ. උතුරේවත් දකුණේවත් එන්ජෝයි කරන්නට බලය ලැබෙන අන්දමේ ව්‍යවස්ථා ඕනෑ නැහැ. අපි කවදාහරි බලයට ආවොත් කරන්න ඕනෑ උතුරේත් දකුණේත් මිනිස්සු එක්ක සාකච්ඡා කිරීම. මිනිස්සුන්ගෙ අදහස් විමසීම. මිනිස්සුන්ට අවශ්‍ය දේ කිරීම. පක්ෂවල අදහස් විමසීම නෙවෙයි. ඇත්තටම ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනෑ රස්සාවට දේශපාලනය කරන අයගේ වුවමනාවට නෙවෙයි. රස්සාවට ගොවිතැන කරන අයගේ වුවමනාවට. රස්සාවට කම්කරු වෘත්තිය කරන අයගේ වුවමනාවට.

මොනවා කිව්වත් මේ ආණ්ඩුව කළ ව්‍යවස්ථා සංශෝධනවල අරමුණ වුණේ ජනාධිපති බලය අඩු කරලා, ස්වාධීන ආයතන ඇතිකිරීම. 18 වගේ පටු බල ව්‍යාපෘතියක් නෙවෙයි නේද?
ඕක අමූලික බොරුවක්. ඔය කොමිෂන් සභා ඔක්කෝම බොරු. ඒවායින් කිසි ආයතනයක් ස්වාධීන වුණේ නැහැ. මැතිවරණ කොමිසමෙන් මැතිවරණ ස්වාධීන වුණේ නැහැ. අදත් මැතිවරණ කොමිසම තිබුණාට ඡුන්ද පවත්වන්නේ ආණ්ඩුවට ඕනෑ දවසට. දැන් පොලිස් කොමිසමට මහලූ මඩම කියලා කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ අයමයි. පොලිස් කොමිසමක් ආවාට පොලීසිය ස්වාධීන වුණේ නැහැ. ඕවා ගැන විශ්වාස කරලා වැඩක් නැහැ.

ඔබ දැන් යෝජනා කළා අලූ‍ත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව. ඉතින්, මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි නේද?
ඒක ඉදිරියට යන වැඩක් නෙවෙයි. ගැන සංවාද කළේවත් නැහැනේ. බොරුවට සංවාද කරනවා කියලා පෙන්නුවා. දැන් කිසි දෙයක් වෙන්නෙ නැහැ. අඩු තරමේ යූඇන්පියේ අදහස ඉදිරිපත් කරලා තියෙනවාද. බොරු කියලා ඒකත් මඟහැරියා. මුලින්ම ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය විදියට යූඇන්පිය විසින් තමන් කරන්න බලාපොරොත්තු වෙන දේ කියලා ඉන්න එපැයි. ඔය බොරු සංවාද අවශ්‍ය නැහැ. රටේ ව්‍යවස්ථාව ගැන සැබෑ සංවාදයක් විය යුතුයි.

ඔබ විධායක ජනාධිපති ක‍්‍රමයටත් පක්ෂයි. ඉතින් විස්සටත් සහයෝගය දීලා, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ අලූ‍ත් ව්‍යවස්ථාවකුත් හදන්න ඔබේ කණ්ඩායමට පුළුවන් නේද?
ජේවීපීය උත්සාහ කරන්නෙ දැන් පවතින ව්‍යවස්ථාවේ ඔලූ‍ව කපන්න. ඒ නිසා වරදවා වටහාගන්න ඕනෑ නැහැ. ජේවීපිය කරන වැඬේට එකඟ බව මා කීවේ නැහැ. ජේවීපීයට ඔලූ‍ කපලා පුරුදු ඇති. ඒත් ව්‍යවස්ථාවේ ඔලූ‍ව කපන්න දෙන්න බැහැ. මේ ව්‍යවස්ථාවේ අතපය, කඳ තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයට ගැළපෙන විදියට. දැන් තියෙන අනෙක් ආයතන හැම එකක්ම තියෙන්නේ ඒකට ගැළපෙන්න. එතකොට ඔලූ‍ව කැපීමෙන් වෙන්නෙ විකෘතියක්. විධායක ජනාධිපති ඔලූ‍ව වෙනුවට අගමැති ඔලූ‍වක් දාගෙන, එක් ආසනයක ඡුන්දවලින් පත්වෙන අගමැති කෙනෙක්ට අර විධායක ජනාධිපති ක‍්‍රමයේ ඔලූ‍ව බාරදෙන්න යන්නේ. මේ ව්‍යවස්ථාවේ ඔලූ‍ව කැපූ සැණින් පාර්ලිමේන්තු ක‍්‍රමයක් බිහිවෙන්නෙ ්නැහැ. පාර්ලිමේන්තු ක‍්‍රමයකට ගැළපෙන අත, පය, කකුල් තියෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න ඕනෑ. අත, පය, කකුල් ඇතුළු මුළු ඇඟම පාර්ලිමේන්තු ක‍්‍රමයක් වීම ගැන මම එකඟයි.

මේ ආණ්ඩුවට ඔබේ පක්ෂයෙන් දූෂණ චෝදනා රැසක් එල්ලවෙනවා. ඉතින්, ඔබලාගේ ආණ්ඩුවක් ආවොත් එෆ්සීඅයිඞී වගේ ආයතන පත්කරලා ඒ චෝදනා ගැනපරීක්ෂණ කරනවාද?
එෆ්සීඅයිඞීයේ නියම ස්වරූපය පහුගි ය දවස්වල කුරුණෑගල මහාධිකරණය ඉදිරියේ විභාග වෙන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහත්තයා සම්බන්ධ නඩුවේදී හෙළිවුණා. ඔවුන් පැහැදිලිවම කටයුතු කරන්නෙ දේශපාලන පළිගැනීම් වෙනුවෙන්. හිටපු ආණ්ඩුවේ නායකයන්ව ඉලක්ක කරලා. පරීක්ෂණ ආයතන කටයුතු කරන්නෙ ඒ විදියට. අපි ඒ වගේ ආයතන ඇති කරන්න බලාපොරොත්තුවක් නැහැ. පැහැදිලි පැමිණිලි තිබුණොත් විභාග කරලා, චෝදනා තිබුණොත් නඩු පවරන ආයතන අපි නිර්මාණය කරනවා. අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරනවා. ඒ වගේම දැන් සිද්ධවෙන දේවල් ගැනත් හොයලා බලනවා. ඔය පරීක්ෂණ යුක්තිය පසිඳලීමේ අවංක වුවමනාවෙන් කරන ඒවා නෙවෙයි. අපේ ආණ්ඩුවක් බලයට ආවාම අතීතයට බලපාන නීති හදලා හරි ඔය පරීක්ෂණ නිලධාරීන්ට දඬුවම් කරනවා.

ඔබ කරන්නේ දැන් පරීක්ෂණ කරන නිලධාරීන්ට තර්ජනය කිරීමක් නේද?
වැරදියට කටයුතු කරපු අය ගැන පියවර ගන්න එපැයි. දැන් බලන්න බුද්ධි අංශයේ හමුදා නිලධාරීන් අවුරුදු ගණන් චෝදනා නැතිව හිරේ ඉන්නවා. හමුදාවේ නිලධාරීන් අවුරුදු ගණන් පීඩා විඳිනවා. සැබෑ චෝදනා තියෙනවා නම් නඩු පවරන්න එපැයි. තර්ජනය කිරීමක් නෙවෙයි මේක. මාස ගණන් නඩු නැතිව අත්අඩංගුවේ රැඳෙන්න සිදුවීම ගැන වගකියන්නෙ කවුද. නඩු පවරලා නීතියෙන් වැරදියි කියලා ඔප්පු වුණා නම් ඒක වෙනම කතාවක්.

ඔය ප‍්‍රතිපත්තියෙන් පීඩා විඳින්නේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් නේද? මේ නිලධාරීන්ගේ පරීක්ෂණවලට බාධා එල්ලවෙන්නේ මේ ආණ්ඩුවෙන්ම බවට තොරතුරු තියෙනවා නේද?
එහෙම වෙන්න බැහැනේ. කිසි ම නිලධාරියෙක් දේශපාලනඥයන්ගේ නියෙ ා්ග වලට ඇහුම්කන්දිය යුතු නැහැ. එහෙම ප‍්‍රතිපාදන නැහැ. නිලධාරීන් කටයුතු කළයුත්තේ නීතියට අනුව. දැන් හිටපු ආණ්ඩුවේ කටයුතු කරපු නිලධාරීන ්ට විරුද්ධව තියෙන තර්කයත් ඒකනේ. දේශපාලනඥයන් මොනවා කිව්වත් එයාලා ගන්න තීන්දුවක් ගත්තොත් ඒ පිළිබඳව දඬුවම් ලැබිය යුතුයි කියන එකනේ. කවුරු හරි නිලධාරියෙක් වැරදි තීන්දුවක් අරගෙන තියෙනවා නම් දේශපාලනඥයන් මොන බලපෑම කළත් නැතත් තීන්දුව ගැනීමට වගකියන්නේ නිලධාරියා. ඒ නිසා ඒ අයට දඬුවම් ලබාදිය යුතුයි. අපි දඬුවම් කරනවා.

මහින්ද – මෛත‍්‍රී එකතු කරලා ආණ්ඩුවක් හදන්න වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා දිගින් දිගටම උත්සාහ කරනවා නේද? ඒ කටයුත්තේ ප‍්‍රගතිය කොහොමද?
ඒක නම් දන්නේ නැහැ. වාසුගෙන්ම තමයි ඔය සාකච්ඡුාව ගැන අහන්න ඕනෑ. ඔය ප‍්‍රශ්නය ගැන අපි කතාකරන්නේ නැහැ. වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීතුමා තමයි දිගින් දිගටම ඔය සාකච්ඡුාව ගෙනිච්චේ. මම කියන්නේ නැහැ ඒකේ ගැටලූ‍වක් තියෙන බව. ඒත් එතුමා බලාපොරොත්තු වෙන විදියට වෙනසක් කරන්න් පුළුවන් වේවි කියලා බොහෝ අය විශ්වාස කළේ නැහැ.

පෙනෙන විදියට මේ ආණ්ඩුව වෙනස් කිරීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළෙන්ම විරෝධයක් තියෙනවා…..
ආණ්ඩුව පෙරළන්න අපි ඕනෑම වෙලාවක ලෑස්තියි. අයවැයේදී නෙවෙයි, හෙට උදේට වුණත් ආණ්ඩුව පෙරළන්න පුළුවන් නම් අපි ඒක කරනවා. ඒක අපි අද විතරක් නෙවෙයි. හැමදාම කියපු දෙයක්. ඒත් ප‍්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුව පෙරළන එක හිතපු ගමන් කරන්න පුළු‍වන් දෙයක් නෙවෙයි.

ආණ්ඩුව පෙරළන කටයුත්තට අදාළව බෝලය තියෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන කණ්ඩායම පැත්තේ බව කියනවා. ඔවුන් කළයුත්තේ මොකක්ද?
අපි ආණ්ඩු විරෝධී සන්ධානයක් හදලා තියෙනවා. ආණ්ඩු පෙරළන එක කළත් නැතත් ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිවරයාගේ කණ්ඩායමට පුළුවන් ඒ සන්ධානය එක්ක එකතුවෙන්න. එතකොට අපට ඔවුන්ව විශ්වාස කළ හැකියි. එතකොට අපට කණ්ඩායමක් ඉන්නවා. ඉන්පස්සෙ අපට පුළුවන් අවශ්‍ය මොහොතක ආණ්ඩුව පෙරළන්න.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විශ්ව ාස කළ නොහැකි නිසා, අයවැයේදී ආණ්ඩුව වෙනස් කිරීම ගැන ඔහු දුන් පොරොන්දු ඉටු නොකරාවි කියලා බියක් තියෙනවාද?
අපව හැමදාම රැවැට්ටුවානේ. හැමදාම වු‍ණේ ඒක. අපි ඔහු ගැන විශ්වාස නොකිරීම අද ඊයේ දෙයක් නෙවෙයි. මහ ඡන්දයේදීත් අපව රැවැට්ටුවා. ජනාධිපතිවරණයේදිත් කළේ ඒකමනේ. මේ වෙලාවෙ නම් ආණ්ඩුව වෙනස් කිරීමක් ගැන මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කිසිම දෙයක් කියලා නැහැ. අපට කිසිම ඉඟියක්වත් දීලා නැහැ. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ඒ ගැන කතා කිරීමෙනුත් පලක් නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් අය කියනවා නේද මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්. ඉදිරි අවුරුද්දේ ලොකු වෙනසක් කරන්න බැහැ. ඒ නිසා ඉදිරි මහමැතිවරණයකදීම ආණ්ඩුව පෙරළමු කියලා. ඒ ගැන අදහස මොකක්ද?
එහෙම හිත හිත ඉන්න බැහැ. රට විනාශ වෙනවා නම් ඒකට විරුද්ධව වැඩ කරන්න වෙනවා. ඡන්ද දිනන එක ගැන හිතන්න ගියොත් රට අනතුරේ. ආණ්ඩුවේ ඉන්න එජාපය සහ ජේවීපීය රට විනාශ කරද්දී, උං විනාශ කරපුවාවේ කියලා අපට විපක්ෂයේ බුදියගෙන ඉන්න බැහැ. උං රට විනාශ කළාම අපේ ඡන්ද ගොඩ වැඩිවෙනවා කියලා කියන්න බැහැ. ඔබ කියන විදියේ අදහසක් තියෙනවා තමයි. එහෙත් අපි මැතිවරණ එනතුරු බලාගෙන සිටිය යුතු නැහැ. අපි හෙට හැන්දෑවේ වුණත් ආණ්ඩුව පෙරළන්නයි උත්සාහ කරන්න ඕනෑ. එහෙනම් අපට පුළුවන්නේ මැතිවරණයකින් පරාද වුණාම, ඊළඟ ඡන්දෙ තියන්නෙ අහවල් දවසෙ කියලා බකන් නිලාගෙන ඉන්න. පාර්ලිමේන්තුවෙන් දෙන පහසුකමක් අරගෙන පැත්තකට වෙලා ඉන්න.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි