No menu items!
20.9 C
Sri Lanka
29 March,2024

කොවුලෙකුගේ සුදු පරෙවි හදවතට වෙඩි තැබීම

Must read

 

මානව වංශයේ නොනිමි සැරිය අතරතුර එළඹෙන අඳුරු කපොලු පසුකිරීම උදෙසා, කලින් කල ලෝකය විසින් තරු එළි බඳු මිනිසුන් සහ ගැහැණුන් නිර්මාණය කරනු ලබයි. දේශපාලන, ආගමික, කලා යනාදී විවිධ ක්ෂේත්‍ර හරහා උදා වන එවන් එළි ඉතිහාසය පුරා ආලෝක ලකුණින් ම සටහන් වනු මිස නිවී යන්නේ නොවේ. 1940 වසරේදී නාසි යුද්ධයේ හයිකාරකම් මෙල්ල කිරීමේ මෙහෙවර සඳහා වින්ස්ටන් චර්චිල් අගමැති පුටුවේ ඉන්දවූ බ්‍රිතාන්‍යය ඒ වසරේදී ම, අනාගතයේ එවන් යුද්ධයන්ට එරෙහි වන මානවවාදී හඬක උරුමය සහිත ජෝන් වින්ස්ටන් ලෙනන් නමැති බිළින්දා ඉපැද්දුවේ ය. ලෙනින් තරම් ඉතිහාසය කෙරෙහි බල නොපෑව ද ලෙනන් යනු ලෙනින් තරමටම ජනප්‍රිය වූ චරිතයකි. සංගීත කේතයන් අත මිට මොලවාගෙන උපන් ලෙනන්, පෝල් මැකාට්නි ඇතුළු කිහිප දෙනෙකු සමග එතෙක් මෙතෙක් ලොව කවරදාක හෝ බිහි වූ ජනප්‍රියතම සංගීත කණ්ඩායම වන “බීට්ල්ස්” (The Beatles) නිර්මාණය කළේ ය. බටහිර ගීත රචනා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය හැඩ වූයේ ලෙනන්-මැකාට්නි සුසංයෝගයෙනි.

ආන්දෝලනාත්මක ජීවිත අත්දැකීම් අතරින් විසි නව වැනි වියට එළඹෙද්දී, ගායිකාවක සහ සමාජ ක්‍රියාකාරිනියක වූ ජපන් ජාතික යෝකෝ ඌනෝ සමග විවාහ වී බීට්ල්ස් කණ්ඩායමෙන් ඉවත් වන ලෙනන් ඇමරිකාවට සංක්‍රමණය වෙයි. එතැන් පටන් ඔහුගේ යුධ විරෝධී ආස්ථානය, එවකට වියරුවෙන් මෙන් වියට්නාම් යුද්ධයේ ගැලී සිටි ඇමරිකාවටත්, ජනාධිපති රිචඩ් නික්සන්ටත් සැබෑ හිසරදයක් වෙයි. තමා පිටුවහල් කර දැමීමට රාජ්‍ය තාන්ත්‍රිකයන් පිඹුරුපත් සකසද්දී පවා, සාමය උදෙසා වන සංගීත සටන අත් නොහැරීම ලෙනන්ගේ විශේෂත්වයයි. ලෙනන්, ලොව පුරා සාම ක්‍රියාකාරීන්ගේ තේමා ගීතය බවට පත් වූ “සාමයට අවස්ථාවක් දෙන්න” (Give Peace A Chance) නම් ගීතය නිකුත් කරන්නේ මේ වකවානුවේදී ය. ඔහුගේ අදීන චින්තනයට හොඳම නිදසුන වන එම ගීතයේ කොටසක දළ අදහස මෙවැනි ය.

“කියවන්නෙ හැමෝම මේව ගැන

ඔලොගු වාද, ලෝම වාද, අදින වාද, උමතු වාද, වියරු වාද, ලේබල් වාද

අර වාදය – මේ වාදය ..වාද …වාද

අපි කියන්නේ මෙච්චරයි – “සාමයට අවස්ථාවක් දෙන්න.”

කියවන්නෙ හැමෝම මේ අය ගැන

ඇමතියන්, දුෂ්ටයන්, බාධකයන්, පණුවන්, බිෂොප්ස්ලා, ෆිෂොප්ස්ලා

පොප් අයිලා – බයි බායිලා

අපි කියන්නේ මෙච්චරයි – “සාමයට අවස්ථාවක් දෙන්න….”

“බීට්ල්ස්” කණ්ඩායමේ විශිෂ්ට ගීත තොගය හරහා ජනප්‍රියත්වයේ මුදුනටම නැගි ජෝන් ලෙනන් තමා ලද ඒ සිවිල් අගයන් යම් කිසි අත්‍යවශ්‍ය සමාජ මෙහෙවරක් වෙනුවෙන් නිර්ලෝභීව වැය කළේය යන්න ඔහුගේ ජීවිතය පිළිබඳ අවසන් විග්‍රහයේදී පැනෙන වැදගත් අදහසයි. වෛර සහ බල කාම මායාවේ ගිලී නිදි වර්ජිතව සිටි ලෝකය සිය මිහිරි හඬින් නලවා නිදි ගැන්වීම ප්‍රතික්ෂේප කළ ලෙනන් එකතු වූයේ ඒ මායාව පුළුස්සන විප්ලවයටයි.

ඔහු ලියන ලියන ගීතය අපූර්ව විය. ඔහු ගයන ගයන ගීතය ලෝක ප්‍රකට විය. ‘බීට්ල්ස්’ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත්, පසුව ඒකල ගායකයෙකු ලෙසත් ජාත්‍යන්තර රොක් ඇන්ඩ් රෝල් විශිෂ්ටතා සම්මානය දෙවරක්ම දිනූ ඔහු, ගීත රචකයෙකුට ලැබෙන ඉහළම ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබී ය. “ඇමරිකානු හොට් 100” ගීත ලැයිස්තුවේ මුල් තැනට පත් වූ ලෙනන්ගේ ගීත ගණන 25කට වැඩි ය. ඒ සියල්ල අතරින් ඔහුගේ උපැස් ලූ මුහුණේ බැල්මත්, “Imagine” නම් ගීතයේ පද සහ ස්වරත් පොදු මානවයා හට සිහින් අභියෝගාත්මක කස පහර රැසක් එල්ල කරන්නාක් වැනි ය. ගීතය අසන තෙක් එහි අඩක අදහස කියවමු.

“සිතින් මවා ගන්න! – දෙවියන් නෑ කියලා    තැත් කරනව නම් අපහසු නෑ.                                                                                         පහළින් අපාය නෑ – ඉහළ අහස විතරයි

සිතින් මවා ගන්න! සියලුම මිනිසුන් ඉන්නේ අද පමණයි.

මවා ගන්න! – රටවල් නෑ කියලා       එතරම් අපහසු නෑ

මරන්න මැරෙන්න තරමේ කිසිවක් නෑ

ආගම් කියලා දෙයකුත් නෑ   සිතන්න ජීවත්වන්නේ සැම සාමෙන්

කියාවි ඔබ මා සිහින දකින්නෙකුයැයි      මා එය සිතනා එකමෙක්කෙනා නොවෙයි

සිතනව අප හා දිනෙක ඔබත් එක් වෙයි      සිතනව දවසක ලොව එක යායක් වෙයි…..”

එවන් දැක්මක පිහිටා සිටි ඒ හදවත පසාරු කරගෙන යන සේ රිවෝලවර උණ්ඩ පහක් මුදා හැරියේ මාක් ඩේවිඩ් චැප්මන් නමැත්තා ය. ඒ 1980 දෙසැම්බර් 8 වෙනිදා ය. ලෙනන් එසේ හතලිස් වියේදී නිහඬ වුවත්, ඉන් පසු තවත් වසර තිස් හත හමාරක් ගෙවී ඇතත්, තවමත් සෑම විනාඩියකම ලොවේ කොතැනක හෝ ඔහුගේ හඬ වාදනය වේ. ආදරයත් සාමයත් අගය කරන්නටත්, ක්‍රෝධය සහ යුද්ධය ගරහන්නටත් පසුබට නොවූ ජෝන් ලෙනන් ලෝකය ගැන කළ හැඳින්වීම අදට පවා වලංගු නොවන්නේ ද?

“අප ජීවත් වන්නේ මහ දවාලේ එළිපිට ම භීෂණය රජයන, එහෙත් ආදරය කිරීම සඳහා අපට සැඟවෙන්නට සිදු වන ලෝකයකයි.”

 

 

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි