No menu items!
26.1 C
Sri Lanka
28 March,2024

අලුත්ම ක්‍රිකට් කැරැල්ල.. රට හැර යන රැල්ල

Must read

■ අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

1982 ඔක්තෝබර් මාසයේදී ටෝනි ඕපාතගේ නයකත්වයෙන් යුත් ක්‍රිකට් පිලක් එවකට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ඉවත් කර සිටි වර්ණ භේදවාදී පාලනයක් ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රිකට් කැරැල්ල ලෙස සැලකෙයි.
ශ්‍රී ලංකා පිලේ මුල්ම ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර, ප්‍රකට දඟපන්දු යවන්නන් වූ අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, පිතිකරුවන් වූ නිර්මාල් හෙට්ටිආරච්චි, හේමන්ත දේවප්‍රිය එම පිල නියෝජනය කළෝය.
ඊට අමතරව මහනුවරින් බිහිවූ ප්‍රකට ක්‍රීඩකයෙකු වූ බර්නාඩ් පෙරේරා, ප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩක අනුර රණසිංහ, බිහි වූ හොඳම කඩුලු රකින්නෙකු සේ සලකන මහේෂ් ගුණතිලක, ලන්ත්‍රා ප්‍රනාන්දු, ජෙරී වවුටර්ස්, සුසන්ත කරුණාරත්න, බන්දුල ද සිල්වා, ෆ්ලේවියන් අපොන්සෝ යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ එම කණ්ඩායම දෙමසකට අධික කාලයක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට තරගවලට සහභාගි විය. ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට යාමට පෙර ග්‍රැහැම් ගූච්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිලක් එහි ගිය අතර ශ්‍රී ලකා ක්‍රීඩකයන්ට පසු ඇල්වින් කලිචරාන් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පිලක් ද දකුණු අප්‍රිකවේ ක්‍රිකට් සංචාරයක නිරත විය.
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල එම රටවල ක්‍රීඩකයනට පැන වූ දඬුවමට වඩා බරපතළ දඬුවමක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීහු තම ක්‍රීඩකයන්ට පැනවූහ. ඒ වසර 25ක පූර්ණ ක්‍රිකට් තහනමකි. ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රිකට් කැරැල්ලට වසර 39 සම්පූර්ණ වෙද්දී තවත් කැරැල්ලක තොරතුරු අසන්නට ලැබෙමින් පවතී.
මේ කියන්නට යන දෙවෙනි කැරැල්ල ඊට ඉඳුරාම වෙනස් එකකි. එමෙන්ම එය පළමුවැනි කැරැල්ලට වඩා භයානකය. ප්‍රතිඵල ද දීර්ඝ කාලීනව හානි ගෙන එන්නට සමත්ය. මේ දෙවෙනි කැරැල්ලේදී සිදුවෙන්නේ ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස නොව තනි තනිව විදෙස් රටවලට සංක්‍රමණය වීමය. මෙලෙස සංක්‍රමණය වන ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ සිය නිල සමුගැනීම ප්‍රකාශ කර ලංකාවෙන් නික්මෙන අතර ඔවුන් බහුතරයකගේ පළමු තේරීම ක්‍රිකට්වලට එතරම් ප්‍රකට නැති ඇමෙරිකාවය.
මේ වන විට ඇමෙරිකානු ජාතික කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වල 19 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව පසුවන්නේ එම ලයිස්තුවේ 8 වැනි ස්ථානයේය.
බැලූ බැල්මට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ගැළපෙන රට ලංකාවය. ලෝක කුසලාන දිනූ ඉතිහාසයක් අපට ඇත. එහෙත්, ලංකාව අත්හැර ක්‍රීඩකයන් ඇමෙරිකාවට යන්නේ ඇයි?
ලංකාවේ අප ඇමෙරිකාවේ ක්‍රිකට් ගැන ලොකුවට කථා නොකළද එරට ක්‍රිකට් ඉතිහාසය වර්ෂ 1700 තරම් ඈතට දිවයයි. 1709 සිට ඇමරිකාවේ ක්‍රිකට් පැවති බවට සාක්ෂි එරට ක්‍රීඩාව පිළිබඳ ලේඛනාගාරයේ සඳහන් වේ. 1739 නිව් යෝර්ක් පුවත්පතක ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා දැන්වීමක් පළව ඇති අතර පළමු ලේඛනගත තරගය 1751 දී මැන්හැටන්හි පවත්වා ඇත. 18 වන සියවස ආරම්භයේදී උතුරු ඇමරිකාවේ බි්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ක්‍රිකට් ක්‍රීඩා කරන ලදි. වර්ජිනියාවට කැරිබියන් සහ ඉන්දියාවෙන් ගෙන ආ වහලුන් එහි ක්‍රිකට් ක්‍රීඩා කළ බව සඳහන් වේ.
එහෙත්, ඇමෙරිකානුවෝ බි්‍රතාන්‍යයන් ඉගැන්වූ බොහෝ දේ අත්හැර තමන්ගේම දේවල් තනාගත්හ. බි්‍රතාන්‍යයන්ගේ බර, දුර මැනීමේ ක්‍රම පවා අතහැරි ඇමෙරිකානුවෝ ක්‍රිකට් වෙනුවට බේස්බෝල් ක්‍රීඩාවට හුරු වූවෝය. ඇමෙරිකානු පාපන්දු සහ බාස්කට්බෝල් ඔවුන්ගේ අනෙක් ජනප්‍රිය ක්‍රීඩා විය.
ඇමෙරිකාව එක්දින ශ්‍රේණිගතකිරීම්වල 19 වැනි තැන සිටින බව කලින් කීවෙමු. බොහෝ රටවල්වලට සාපේක්ෂව එය ඉතා ඉහළ තැනකි. ඇමරිකාවට පෙර ක්‍රිකට් ආරම්භ කළ පැපොවා නිව්ගිනියාව පසුවන්නේ එම ලයිස්තුවේ 20 වැනි ස්ථානයේය. ඊට අමතරව 20-20 තරග ක්‍රීඩාකරන රටවල් 92 අතරින් ඇමරිකාව 38 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව ඉන්නේ 7 වැනි ස්ථානයේය. එරටට පෙර ක්‍රිකට් ඇරඹූ අප්‍රිකානු රටවල් රැසක් ලැයිස්තුවේ ඊට බොහෝ පසුපසින් සිටී.
ඇමෙරිකාව වැඩිපුර ක්‍රිකට්වලට අවධානය යොමු කිරීමට හේතු ඇත. එයට ප්‍රධාන හේතුව එරට දේශීය ක්‍රිකට් තරගාවලිය වන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියයි. එය 2022 දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. ඇමෙරිකාවේ සිටින ධනවතුන් වන ඉන්දියානුවෝ කිහිපදෙනෙක් එම තරගාවලිය මුල සිටිති. තරගාවලියේ සංවිධායකයන් පමණක් නොව, දැනටමත් ප්‍රකාශයට පත් කර සිටින කණ්ඩායම් 24ක හිමිකරුවන් අතරින් බහුතරයක් ඉන්දු ඇමෙරිකානු ව්‍යාපාරිකයෝය.
මේ කතාව පසුපස විශාල ආර්ථික කතාවක්ද ඇත. ක්‍රීඩාව කියන්නේ හුදු ක්‍රීඩාවම නොවේ. ඒ පසුපස මුදල් සහ ආර්ථිකය ඇත. ඉන්දියාව මෑත කාලයේ සාර්ථකම ක්‍රිකට් දේශය බවට පත්වීම පසුපස තිබුණේත් ආර්ථිකය බව අමුතු දහමක් නොවේ.
දැන් කැරිබියානු රටවලින් සහ සංක්‍රමණය වූ ඉන්දීය ජාතිකයෝ, ආසියාවේ සහ අප්‍රිකාවේ සිට පැමිණි සුදු ජාතිකයෝ ඇමෙරිකාවේ සිටිති. ඔවුහු ක්‍රිකට් නරඹන්නට උනන්දුවක් දක්වති. තම තමන්ගේ මව් රටවල් සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට්වලට අමතරව බිග් බෑෂ්, අයිපීඑල් ආදි තරගාවලි ඔවුහු නරඹති. ඒ රසිකයන් ඇමෙරිකාව තුළ විශාල වෙළෙඳපලක් ලෙස එරට ව්‍යාපාරිකයෝ දකිති. අනෙක් පැත්තෙන් විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතිය කිසිදා ක්‍රිකට් නොදුටු ඇමෙරිකානුවන්ගේ අවධානය දිනාගැනීමටත් සමත් වනු ඇතැයි ඔවුහු සිතති.
අනෙක් පැත්තෙන් දැන් අන්තර්ජාල මාදිලිවලින් ඇමෙරිකාවේ ක්‍රීඩා නාලිකා නරඹන උදවිය ලොව පුරා සිටිති. ඇමෙරිකානු පාපන්දු, රෙස්ලින්, බාස්කට්බෝල්, බේස්බෝල්, මෝටර් ධාවන තරග, යූඑෆ්සී සහ බොක්සින් ආදි ක්‍රීඩා ඔවුහු නරඹති. එහෙත්, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍ය ආදි ක්‍රිකට් රසිකයන් සිටින දැවැන්ත වෙළෙඳපළවලට ආමන්ත්‍රණය කරන්නට සමත් ඇමෙරිකානු ක්‍රිකට් තරගාවලියක් නැත.
ලෝකයේ බොහෝ රටවල ක්‍රීඩකයෝ ඩොලර් ගස් සොලවන රිසින් ඇමරිකාවට සංක්‍රමණ වෙමින් සිටිති. ඇමරිකාවේ ක්‍රිකට් ඉල්ලම මුල් කාලයේ තනියෙන්ම ගොඩ දැමුවෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝය. තම රටවලට වඩාත් සමීපව පිහිටි ඇමරිකාවට නිතර ආ ගිය ඔවුහු එහි ක්‍රිකට් ප්‍රචලිත කිරීමටද මුල් වූහ.
එහෙත් නූතනම පසුබිමේ ශ්‍රී ලංකා, ඉන්දීයා සහ පාකිස්ථාන ක්‍රීඩකයන් සමග තරග කර තම අවස්ථාව තහවුරු කරගැනීමට කොදෙව්වන්ට සිදුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම කරළියට පැමිණියේ ශෙහාන් ජයසූරියගේ සමුගැනීම හරහාය. සිය සමුගැනීම ප්‍රකාශ කළ ෂෙහාන් ජයසූරිය මේ වන විට ඇමරිකානු පිලට එක්වෙනු රිසින් එරට දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී සිටී. පසුගිය දා ක්‍රීඩාවෙන් සමුගත් ප්‍රබල ලාංකික පිතිකරුවෙකු ඇමෙරිකානු පිලට ක්‍රීඩා කරනු රිසින් එරට බලා පිටත්ව යෑමටත් සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.
මේ වන විට ජාතික මට්ටමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 15 දෙනකු පමණ එළැඹෙන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවෙන් නික්ම ඇමෙරිකාවට ගොස් එරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. අයිලන්ඩ් ක්‍රිකට් වෙබ් අඩවිය සහ මාධ්‍යවේදී අසාම් අමීන්ගේ නිව්ස් වයර් වෙබ් අඩවිය අනුමාන කිරීමේ සීමාවෙන් එහාට ගොස් ක්‍රීඩකයන්ගේ නම් කිහිපයක් පවා පළ කර ඇත. අසාම් අමීන් ක්‍රිකට් ක්‍රීඩකයන් හා සමීපව කතාබහ කරන්නෙකු ලෙස ප්‍රකටය.
ඇමෙරිකානු ක්‍රිකට්වලට තම රටවල් හැර යන ක්‍රීඩකයන්ගේ ප්‍රවණතාව ගැන විස්ඩන් සඟරාව, යාහූ ක්‍රිකට් වෙබ් අඩවිය, ද ක්‍රිකටර් ඩොට් කොම් ආදි වෙබ් අඩවි වාර්තා කර ඇත.
ඇමෙරිකාවට සංක්‍රමණය වන ක්‍රීඩකයෙකුට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් (රුපියල් මිලියන 9.7) වාර්ෂිකව ගෙවීමට අමෙරිකාවේ ක්‍රිකට් ආයතනය යෝජනා කොට ඇත.
පෙර කී ලෙස ඇමෙරිකන් ක්‍රිකට් විදෙස් ක්‍රීඩකයන්ගෙන් පෝෂණය වූවකි. එරට නියෝජනය කරන ලද විදෙස් ක්‍රීඩකයන් අතරින් බහුතරය බටහිර ඉන්දිය කොදෙව්වෝය. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකු ලෙස ෆවුඩ් බැක්ස් සඳහන් කළ හැක. ටෙස්ට් තරග 19කට හා එක්දින තරග 20කට කොදෙව් පිල නියෝජනය කරමින් සහභාගි වූ ෆවුඩ් බැක්ස් 1983 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ඇමරිකාවට පැමිණ එහි වෘත්තීය ක්‍රීඩකයෙක් විය.
1999-2001 අයිසීසී ශූරතාවන්ට ඇමරිකාව නියෝජනය කළ ඔහු පසුකාලීනව එරට පුහුණුකරු ධුරයද හෙබවීය. ඔහුට අමතරව ජැමෙයිකාවේ රොහාන් ඇලෙක්සැන්ඩර්, ජැමෙයිකාවේ රිචර්ඩ් ස්ටේපල් ඇතුළු ක්‍රීඩකයෝ රැසක් ඇමරිකාව වෙනුවෙන් පසුකලීනව ක්‍රීඩා කළෝය. 2002-2010 කාලයේ රංජි කුසලානය සඳහා ගුජරාටය නියෝජනය කළ, 2003 වසරේ ඉන්දීය 19 පහළ පිල නියෝජනය කරමින් එංගලන්තයට පවා ගිය ඉන්දීය ක්‍රීඩක ටිමිල් පටේල් ද, දකුණු අප්‍රිකානු ක්‍රීඩක රස්ටි තෙරොන් ද තම උපන් රටවල් අතහැර ඇමරිකාව නියෝජනය කළෝය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් රට හැර යන්නේ ඇමෙරිකාවට පමණක් නොවේ. සැලකිය යුතු ක්‍රීඩකයන් ප්‍රමාණයක් ඕස්ටේ්‍රලියාවට ද සංක්‍රමණය වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර 20-20 තරග 5කට ශ්‍රී ලංකාව නියෝජනය කළ චින්තක ජයසිංහ සහ ටෙස්ට් කඩුලු 46ක්, එක්දින කඩුලු 36ක් සහ 20-20 තරගවලදී කඩුලු 6 බිඳ දමූ සුරාජ් රන්දීව් මේ වනවිට බිග් බෑෂ් තරගාවලියට එක්වෙනු රිසින් ඕස්ටේ්‍රලියාවට ගොස් සිටිති. අමතර රැකියා ලෙස ඔවුන් බස් රථ එළවන බව සඳහන් වැඩසටහනක් ඕස්ටේ්‍රලියාවේ නිව්ස් 9 නාළිකාවේ විකාශය කර ඇත.
ලාංකික රසිකයන් ඒ ගැන කණස්සල්ලෙන් කතාබහ කළ බවත් මෑත කාලයේ දක්නට ලැබුණි.
අප මුලදී විමසූ ප්‍රශ්නයකට නැවත පැමිණිය යුත්තේ ඔය පසුබිමේය. ශ්‍රේණිගත කිරීම්වල මෙතරම් ඉහළින් සිටින, ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුදුසු රටක් වන අපේ රට අත්හැර ක්‍රීඩකයන් යන්නේ ඇයි?
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ලෙස පරිහානියට පත්ව තිබීමත්, ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් කෙරෙහි දක්වනු ලබන අඩු සැලකිල්ලත් මෙරට ක්‍රීඩකයන් බුරුතු පිටින් රට හැර යාමේ හේතු ලෙස සඳහන් වෙයි.
තවත් හේතුවක් ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙකුට සූදුවකි. ජාතික කණ්ඩායමට ගියොත් අතිවිශාල මුදලක් ඉපැයීමේ හැකියාවක් ඇත. එහෙත්, අසමත් වුණොත් ඉතිරිවන්නේ පළමු පෙළ තරගය. ඒවා කවුරුත් නරඹන්නේ නැත. සැලකිය යුතු වැටුපක් ලැබුණත්, ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් සෙල්ලම් කරන තරම් මුදලක් ලැබෙන්නේ නැත. ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තිබුණත් දේශීය ක්‍රිකට් ප්‍රමාණවත් තැනක නැත.
ලංකාවේ ක්‍රීඩකයන් හැකියාව අතින් දුර්වල වන්නට හේතුවක් නිසි දේශීය තරගාවලි නොමැති වීමය. දේශීය ක්‍රිකට් නරඹන්නට යන, ඒවා විඳින දේශීය රසික පිරිසක් නොසිටීමය. අපට ක්‍රිකට් කියන්නේ ජාත්‍යන්තර තරග පමණි. හැකියාව පමණක් නොව, ක්‍රීඩකයන්ගේ ආර්ථිකය ප්‍රමාණවත් නොවෙන්නට හේතුවක් එයමය.
ක්‍රිකට් පසුපස ඇති ආර්ථිකය තේරුම්ගත් පරිපාලනයක් ශ්‍රී ලංකාවේ නැත. අඩු තරමේ ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් වැනි තරගාවලියක් අවස්ථාවක් ලෙස සලකමින්, සාකච්ඡා පවත්වා අපේ ක්‍රීඩකයන් ලංකාවේ සිටියදීම එවැනි තරගාවලියකට ක්‍රීඩා කරවන්නට අවස්ථාවක් හදාගන්නට අපේ පරිපාලකයෝ අසමත්ය. සාර්ථක දේශීය තරගාවලියක් පටන්ගන්නත් අසමත්ය. එස්.එල්.පී.එල්. පවා අතිශය දුර්වල ලෙස සංවිධානය කළ තරගාවලියකි. ක්‍රීඩකයන්ට හරිහැටි ගෙවීම් පවා සිදු නොකළ එකකි. ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙළෙඳපොළක් ලෙස සලකන්නට තරම් සිතීමේ ශක්තියක් ඇති ව්‍යාපාරිකයෝ ද ලංකාවේ අඩුය.
මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පවා උසස් අධ්‍යපනය සඳහා විදේශගත වීමෙදී එම රටවලදී වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමේ උනන්දුවෙන් පසුවෙයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට සිය තරුණ ක්‍රීඩකයන් රැක ගැනීමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇත.■

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි