බිග්-මැච් ගැන මීට සති දෙකකට පෙර මම කොලමක්  ලිවීමි. ඒ බැට්ල් ඔප් ද බයිස් නමිනි. එහි මා අවධාරණය කළේ ප‍්‍රභූ’යි සැළකෙන පාසල් ද්වයක් වන රාජකීය හා ශාන්ත තෝමස්  විදුහල් අතර සෙල්ලම් කෙරෙන බිග් මැචය ගැන ය. ශාන්ත තෝමස් විදුහල 1851 වසරේ ඉංග‍්‍රීසි යටත් විජිත සමයේ ඇන්ග්ලිකානු මිෂනාරීවරුන් විසින් ස්ථාපනය කරන ලද්දකි. යටත් විජිත ව්‍යාපෘතිය නඩත්තු කිරීමට මිෂනාරී අධ්‍යාපන ක‍්‍රමය කෙතරම් පිටිවහලක් වී ද යන්න ප‍්‍රකට කරුණකි. ඉංග‍්‍රීසි පන්නයට හිතන පතන, අඳින පළඳින හා කන බොන උගත් පන්තියක් බිහි කිරීමේ බරපතල වගකීම පැවරුණේ මිෂනාරී අධ්‍යාපන ක‍්‍රමයට ය. එහි ප‍්‍රතිඵලය ලෙසිණි ශාන්ත තෝමස් විදුහල ඩී.එස් හා ඩඩ්ලි සේනානායක හා එස්. ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක වැනි නායකයින් බිහි කළේ. නිදහසට පෙර කාලයේ පැතිර ගිය බෞද්ධ පුනරුද රැල්ලක ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රිස්තියානි මිෂනාරී මොඩලයෙන් ම නමුත් සිංහල බෞද්ධ පින්තාරුවෙන් පාසල් ගණනාවක් රට පුරා රෝපණය විය.

එහි ලා පෙරමුණ ගත්තෝ ද විදේශිකයෝ ය. පරම විඥානාර්ථ සමිතියේ ඕල්කොට්තුමා හා බ්ලැවැට්ක්ස්කි මැතිණිය ඊට උදාහරණ ය. පින්තාරුවෙන් පමණක් වෙනස් වූ මෙම සිංහල බෞද්ධ පාසල්  කළේ ක‍්‍රිස්තියානි මිෂනාරී පාසැල් අනුකරණය කිරීම ය. රෝයල්-තෝමියන් කියා වසරකට වරක් ගැහෙන ක‍්‍රිකට් බිග්-මැචය වෙනුවට කදුරු බෝලවලින් කුඹුරක එල්ලේ ගසණු වෙනුවට ආනන්ද-නාලන්ද කියා තමන් ද ක‍්‍රිකට්ම ගැසුවෝ ය. එහෙත් හැම්-බේකන් හා කොස්-පොළොස් මෙන් දෙමැචයේ  වෙනසක් ඇති බව දෙපල ම ද සෙසු සමාජ ය ම මනා ව දැන සිටියේ ය. මෙම වෙනසේ සමාජ ව්‍යාධිය  නිට්ටාවට සුවපත් කරනට පනස් හයටවත් නොහැකි වූ බව දැන් පසක් වේ. මෙය දරුණු හීනමානයක් ලෙස සිංහල බෞද්ධ සමාජ දේහයේ තැන්පත් ව ඇත. ‘පක් යූ රෝයල් තෝමියන්’ කියා මුහුණු පොතේ එක පෝස්ටුවක් ඊයේ පෙරේදා වැටෙන්නේ ඉහත හීනමානය වෛරයකට හැරෙමිණි.      

බොහෝ අය විශ්වාස කරන්නෝ බමුණු කුලය ලෙස සරච්චන්ද‍්‍ර-අමරසේකර වැන්නන් හැඳින් වූ බටහිර- ක‍්‍රිස්තියානි-යටත්විජිත පැලැන්තියේ බලය පනස් හයේ කඩා වැටුණු බවයි. 2019 අග ගෝඨාභය රාජපක්ෂ සුළුතර ජනවාර්ගික කිහිලිකරු නොමැතිව ලද ජයග‍්‍රහණය සමහරු සනිටුහන් කරේ පනස් හය මල්වර වීමක ලෙස ය. මැරූන් පැහැයේ අන්ඩර්ආර්ම් ටීෂර්ටයක් ජැන්ඩියට හැඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ජගෝරා) සිංහල ක්‍රීඩා සමාජ පිට්ටනියට මීට සති කිහිපයකට පෙර පැමිණියේ තම ආදී පාසැලේ බිග්මැචය නරඹනු වස් ය. එහෙත් එම අවස්ථාව බුදුන් වැඩියාසේ වුයේ ක‍්‍රිකට් බැලීම පසෙකලා ආනන්දීයෝ ජනපති නමස්කාර වන්දනාවක යෙදුණෝ ‘අපේ එකෙකි මේ මිනිසා’ ගාථාව සජ්ජායනා කරමින් ය.

  මේ සා සංවේදී දසුන් දුටු මා සිතුවේ රෝයල්-තෝමියන් බමුණු කුලයේ මිනී පෙට්ටියට වදින අවසන් ඇන ලෙස ය. පනස් හය අසමත් වූ ඒ උදාර සමාජ දේශපාලන පරිවර්ථනය අමරසේකර ජීවත් ව සිටින කාලයේ ම එතුමාට දැක ගන්නට පින් කළ බව ය. අහෝ. ගත වූයේ සති දෙකකි. කුරිරු කොරෝනා ත‍්‍රස්තවාදී වයිරස අප මව්බිමේ ද හිස ඔසවන සඳ වීරෝදාර සෙන්පති ජගෝරා නාහෙන් හඬමින් කීවේ තමන් රෝයල්-තෝමියන්ලාට බිග්මැච් සෙල්ලන් කරන්න එපා කියා කෙතරම් කිව්ව ද ඔවුන් නාහෙට නාහන මුරණ්ඩු විලසින් සෙල්ලම කළ බව ය. මට නිතැතින් ම හෑ කියැවිණ. ම්ලේච්ච කොටි ත‍්‍රස්තවාදී උවදුර අප මව්බිමෙන් මුලිනුපුටා, කේපී වැනි එහි නායක කාරකාදීන් තම දෙපා මුලට ගත් සෙන්පති ද මේ ?  විධායක ජනපතිගේ විධානයක පයිසයකට ගණන් නොගන්න බලයක් රෝයල්-තෝමියන්ට ලැබුණේ කොහෙන් ද ?   

මෙලෙස මා වික්ෂිප්ත ව සිටින කළ මෙවැනි අදහසක් ද පහල විය. රෝයල් හෙවත් රාජකීය විදුහල රජයේ පාසලකි. ජාතික පාසලක ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යටතට වැටෙන මෙම පාසලට විධානයක් දීමට ජනපති තරම් උසස් මට්ටමක් අවැසි නැත. ඇමති නොව  අමාත්‍යාංශ ලේකම්ට පවා එක දුරකථන ඇමතුමකින් රාජකීය විදුහල්පති දමනය කළ හැක.  ඇරත් ඔය කියන තරමට රාජකීයත්වයක් එම පාසලේ නැත. ඉතා සුළු පිරිසක් පමණි ‘ඔතෙන්ටික්’ රාජකීයන් ලෙස සැළකෙන්නේ. බොරු ඇඩ්‍රස් නැති, පාසලට ඇත්තෙන් ම කිට්ටුවෙන් වසන ප්‍රභූ පවුල් කිහිපයකි ඒ. රනිල් වික‍්‍රමසිංහ උදාහරණයකි. ඉතිරි අති බහුතරය පහේ ශිෂ්‍යත්වය සමත් වී රටේ විවිධ පෙදෙස්වලින් ආ ඩුප්ලිකේට් රාජකීයන් ය. මෙම වෙනස කදිමට විද්‍යමාන වන්නේ බිග්මැචයේ ටෙන්ට් තුලිනි. ඒවා ස්ටේබල්ස්, තරෝබ්රෙඩ්ස්, මස්ටෑන්ග්ස් කොල්ට්ස් ආදී නම් වලින් හැඳින්වෙන නූතන කුල ධූරාවලියක වැන්න. උදාහරණයකට, රාජකීය ආදී ශිෂ්‍යයෙකු වුව ද හිටපු අධ්‍යාපන  ඇමති අකිල විරාජ්ට එම ඉහල ම ‘කුලයේ’ ටෙන්ටයකට යාමට නොහැක. සජිත් ප්‍රේමදාසට ද ස්ටේබල්ස් ටෙන්ටයට යන්නට හැකිවන්නේ තම පියා ජනපති වූ නිසා ය. 

තරෝබ්රෙඩ්ස්  (thoroughbred) නමින් හැඳින්වෙන ටෙන්ටයේ අරුත අප තේරුම් ගත යුතු ය. ඉංග‍්‍රීසියෙන් තරෝබ්‍රෙඩ් කියා කියන්නේ අභිජාත, සුජාත, නුමුහුන් යන්නටයි. මෙය විටෙක මිලාධික සුනඛ හා අශ්ව වෙළෙඳාමේ ද වහරන පදයකි. ඉන් අදහස් වන්නේ ලපයි සිපයින්ට අදාළ ටෙන්ටය අකැප බවයි. පසුකාලීන ව ධනය බලය රස කර ගත්ත ද යමෙක් තරෝබ්‍රේඩයෙක්  නොවේ. සැන් තෝමස් හී රගර ගැසුව ද රාජපක්ෂ   කුමරුන් යට කී අධි-කුල කූඩාරම් හි දක්නට නැති හේතුව අප උපේක්ෂාවෙන් වටහා ගත යුත්තේ මෙම සන්ධර්භයේ ය. 

ශාන්ත තෝමස් තත්ත්වය සපුරා වෙනස් ය. එය සියයට සියයක් පෞද්ගලික ආයතනයකි. වෙස්ලි වැනි පෞද්ගලික විදුහල්වල ගුරු පඩි ගෙවන්නේ ආණ්ඩුවේ අරමුදල්වලින් වන නමුදු ශාන්ත තෝමස් ආර්ථික හා තීරණ මට්ටමින් ස්වාධීන ය. එහි බහුතර සිසුහු පැමිණෙන්නෝ ආදී ශිෂ්‍ය හා/හෝ ඇන්ග්ලිකානු සම්භවයෙන් ය. ආදී ශිෂ්‍යයකුගේ දරුවෙකු හෝ ඇන්ග්ලිකානු දරුවෙකු නොවූ දරුවෙකුට ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වන්නට ලොකු සටනක් කළ යුතු ය. දේශීයත්වය අගයන  බමුණු කුලය සුණු විසුණු කරන අපේ වාහෙලා බොහෝ දෙනෙක් තම පුත‍්‍ර රත්නයන්වෙනුවෙන් යට කී සටන සටන් වැද ඔවුන්  කෙසේ හෝ ඇතුලත් කරන්නෝ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ය. මගේ නිවෙස පිහිටා තියෙන්නේ පූජා භූමියක බඳු යට කී විදුහල පෙනෙන දුරිනි. තම පුතුන් ඉස්සර කරගෙන පන්සලකට දේවාලෙකට එන්නා සේ පැමිණෙන දෙමාපියන් මා දිනපතා දකින දසුනකි. කලකට පෙර මහින්ද රාජපක්ෂ පුතුන් තිදෙනා එලෙස ආ හ. දේශීයත්වය ගැනප‍්‍ර මුඛලොරි කථකයෙකු වන දයාසිරි ජයසේකර ද තම පුතු ඇරලවීමට එනු මා දැක ඇත. මුත්තයියා මුරලිදරන් ද තම පුතා කැටුව එම විදුහලට ම එන්නේ සෙසු මවුවරුන්ගේ උදෑසන ද ජ්වලිත කරමිනි.  මෙම ලැයිස්තුවේ නිමක් නැත. 

පොදු ජන දරුවන්ට  දේශීය පුන්නක්කු කවන මේ දේශපාලකයෝ කෙසේ හෝ තම බේබිවරුන්ට සෙන් තෝමස් බේකන් ඇන්ඩ් එග්ස් කවති. මේ යථාර්ථය පාඨක ඔබට උදෑසන හතේ සිට පැය භාගයක් ගල්කිස්සේ හෝටල් පාරේ හා ද සේරම් පාරේ පිහිටා ඇති ශාන්ත තෝමස් විදුහලේ ගේට්ටු තුන අසල රැඳුනොත් පසක් කළ හැක. වසර ගණනාවක් මා දැක ඇති මේ යථාර්ථය යෝජනා කරනුයේ ඉහල මධ්‍යම පන්තික හෝ ඒ දෙසට උඩ පණින පන්තියේ පරම පැතුම වන්නේ කෙසේ හෝ තම පුතුන් සැන් තෝමස් යවන්න ය. ඒ අයුරින් බලන කල ශාන්ත තෝමසය පාසලක නොව පුළුල් සමාජ ප‍්‍රපංචයකි. මහා සමාජ ආනුභාවයක් ඇති පන්සල, පල්ලිය හා දේවාලය වැනි ආයතන විශේෂයකි.  එවන් ආනුභාවයක් ඇති අඩවියක අවුරුදු එකසිය හතලිස් එකක් තිස්සේ නොකඩවා ඉටු කරන ලද භාරයක් වැනි රෝයි-තෝවට බාධා පමුණුවන්නට ගොස් දේශපාලන කිල්ලකට අසු නොවණු පිණිස අප ජනපතිට එතුමන්ගේ තෝමියානු බෑනාවරුන් තිදෙනා ආදරයෙන් අවවාද කළා විය හැක.  වේද-හින්දු සම්ප‍්‍රදාය තුල එළදෙන පූජනීයත්වයෙන් සැළකේ. කිරි ගනු හැර වෙනත් යමක් ඇයට කවුරුන් විසින් හෝ කරනු නොහේ. මෙම සම්ප‍්‍රදාය රූපක හෝ මෙටෆොරික අර්ථයෙන් ද භාවිතා වේ. පූජනීය එළදෙනට අත වත් තැබිය නොහැක යන්නෙන් අදහස් වන්නේ විවේචනයට ඔබ්බෙන් පිහිටා ඇති යම් ප‍්‍රපංචයක් ගැන ය. ලාංකීය සමාජයේ පූජනීය එළදෙන (Sacred Cow) කුමක් ද යි ඔබට දැන් වැටහිය යුතු ය.    

උදන් ප‍්‍රනාන්දු