‘ඇවන්ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට 11දා තීරණය කළාය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටුපඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරිය එම තීරණය දුන්නේ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන නැතිව අධිචෝදනාවක් ගොනුකිරීමට කොමිසමට බලයක් නැතැයි විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිනොගනිමිනි. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත අවසරයක් ලබාදෙමින් අත්සන් කිරීම පරිපාලනමය කටයුත්තක් බවත් ඒ සඳහා කොමිෂන් සභාවේ සියලූ කොමසාරිස්වරුන් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විනිසුරුවරිය පෙන්වා දුන්නාය.

මේ නඩුවේ විත්තිකරුවකු වන නිශ්ශංක සේනාධිපති, පසුගිය දිනෙක රටේ අධිකරණ ඇමතිවරයා, නිමල් සිරිපාල ද සිල්වා, සමග එකම වේදිකාවක යාබද ආසන දෙකක වාඩිවී සිටියහොත් කොහොමද? ලක්‍ෂ 355ක තුටුපඬුරක් දීම ගැන විත්තිකරුවෙකු රටේ අධිකරණ ඇමති සමග එකට වාඩිවීමෟ එවැනි රටක නීතිය හා නීතියේ පාලනය ගැන කුමන කතාද?

ඒ රටේ ජනාධිපතිවරයාද, ඊට දෙවැනි නැත. ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වන නඩුවක, අධිකරණය මගහරිමින් සිටින විත්තිකරුවකු සමග, එනම් වසන්ත කරන්නාගොඩ සමග ඔහු එකට වාඩිවී සිටින විට තත්ත්වය කුමක්ද? ඒ රටේ නීතියේ ආධිපත්‍යයට ඊටත් වඩා අවමානයක්, අපකීර්තියක් අත්කර දිය හැකිද?

මේ නිමිතිවලින් පෙන්වන්නේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන රාජ්‍ය නායකයාත්, අධිකරණ ඇමතිවරයාත් තුට්ටුවකට සලකන්නේ නැති තත්ත්වයක් නම් ඒ වනාහි කුමන රටක්ද? ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු, අධිකරණ ඇමතිවරයකු මේ ලෙස නඩුවල විත්තිකරුවන් සමග ප‍්‍රසිද්ධියේ එකට සිටි අවස්ථාවක් ඔබට මතක තිබේද?

  • තිවංක සපරමාදු