මා මේ දිනවල රටින් බැහැර ව වෙසෙන නමුදු සිරි ලකෙන් ලැබෙන ඇමතුම් නම් නිමක් නැත. ඉන් බොහොමයක් ලැබෙන්නේ එතෙර වෙසෙන එහෙත් මේ දිනවල කොළොඹට ගොඩ බැස ඇති මගේ පාසල් මිත‍්‍රයන්ගෙන් ය. උතුරු ඇමෙරිකාව, යුරෝපය හා ඔස්ටේ‍්‍රලියාව වැනි නිල් ගොදුරු බිම්හි යසට දිවි පෙවෙත ගෙවන ඔවුහු ගිනි කාෂ්ඨක මාර්තුවේ මවු බිමට පෙරලා පැමිණෙන්නෝ වෙසෙස් හේතුවකට ය. එනම් බිග්මැච් නමින් හැඳින්වෙන කොළොඹ ප‍්‍රධාන පාසල් ජෝඩු අතර කෙරෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟ දැක බලා ගන්නට ය. මෙම  බිග්මැච් තරඟාවලි අගනුවර පමණක් නොව තදාසන්න පෙදෙස්වල ද ගාල්ල, මාතර හා නුවර වැනි නගරවල ද පැවැත් වේ.

නීල මහා සටන (රාජකීය හා ශාන්ත තෝමස්*, සාන්තුවරයන්ගේ සටන (ශාන්ත පීතර හා ශාන්ත ජෝසප්*, සුලෝහිතයන්ගේ සටන (ආනන්ද හා නාලන්ද*, ආදරවන්තයන්ගේ සටන (ගාල්ලේ රිච්මන්ඞ් හා මහින්ද*, උතුරේ සටන (යාපනය විද්‍යාලය හා ශාන්ත ජෝන්* ආදි වශයෙන් සමහර බිග්මැච් නාමකරණය වී ඇත. මේ අතර ලස්සන ම නම කළුතර පැත්තේ පාසල් දෙකක අතර පැවැත්වෙන බිග්මැචයේ භාවිත වේ. ඒ මැන්ගුස්ටින් සටන ය! නීල මහා සටන හෙවත් බැට්ල් ඔෆ් ද බ්ලූස් ලෙස හැඳින්වෙන රාජකීය හා ශාන්ත තෝමස් විදුහල්ද්වය අතර පැවැත්වෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟය ආරම්භ කරන ලද්දේ 1879 වසරේ ය. එදා මෙදා තුර වසර 141ක් නොකඩවා මෙම තරඟය වසරකට වරක් පවත්වා ඇත. මෙය ලෝක වාර්තාවක් බව ද සමහරු කියත්. ලෝක ඉතිහාස මට්ටමින් ගත්තත් ලෝක යුද්ධ දෙකක් කෙරෙද්දීත් මේ පාසල් දෙක තම බිග්මැචය ගැසූ හ.

ලාංකීය ඉතිහාසය ගත්ත ද ජනවාර්ගික කෝලහාල, කැරලි (1971, 87-89*, දශක තුනක ඇදී ගිය යුද්ධය, ගංවතුර, නියඟ, සාගත, වසංගත ආදි කලබැගෑනි කෙතෙක් පැවතිය ද රාජකීයයෝ හා තෝමසුවෝ භාරයක් ඔප්පු කරන්නා සේ නොකඩවා තම නීල මහා සටන පැවැත් වූහ. ඔවුහු දෙවැනි වන්නෝ රෝමයේ නීරෝට පමණි. මේ රට රාජපක්ෂවරුන්ට යන්නට පෙර පාලනය කළේ නීල මහා සටන කළ ආදි විරුවන් විසිනි. ඞී.එස්. හා ඩඞ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක නිදහසින් පසු ලාංකීය නායකත්ව තණතිල්ලේ මුල් පෙළ පිතිකරුවන් වූ අතර ඔවුහු ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෝ ය. හැත්තෑ හතෙන් පසු ව ශ‍්‍රීමත් ගාර්ෆිල්ඞ් සෝබර්ස් මෙන් දීර්ඝ ඉනිමක් ක‍්‍රීඩා කළ තුන් ඉරියව්වෙන් ම දස්කම් පෑ ජේ.ආර්. ජයවර්ධන රාජකීයයෙකි. ඔහුගේ සුජාත අනුප‍්‍රාප්තිකයා වූ රනිල් වික‍්‍රමසිංහ හැත්තෑ හතේ සිට සිට නොදැවී තවමත් කඩුල්ලේ රැුඳී සිටියි. 2018 ඔක්තෝබරයේ සිකුරාදා රාත‍්‍රියක ෆ්ලඞ් ලයිට් දමා ගැසු සිරිසේන කුසලාන තරඟයේ දී වික‍්‍රමසිංහ කඩුල්ල මුවා කළ වරදට දැවී ගිය බවට තීරණය වුව ද තෙවැනි විනිසුරු දින පනස් දෙකක් කල් ගෙන එය ‘නොටවුට්‘ වශයෙන් තීරණය දෙන විට අලූත්කඬේ ක‍්‍රීඩාංගණයේ රාජකීය ඔල්වරසන් හඬ අග නුවර පුරාවට ම ඇසිණ.  ඕවර පනස් දෙකක් තුළ කඩුල්ලට කැඳවන ලද ක‍්‍රීඩකයා නයිට් වොච්මන් භූමිකාව පමණක් ඉටු කර ලකුණු නොලබා ම කඳුළු සළමින් ක‍්‍රීඩාගාරයට සෙමින් සෙමින් පියමං කළ අයුරු පේ‍්‍රක්ෂක අප බලා සිටියේ කම්පාවෙනි. එහෙත් ඔහු ජාත්‍යන්තර ක‍්‍රීඩා විචාරකයෙකුගේ මයිකය අමතා කීවේ ‘දෙයාර් ඊස් සෝ මච් කි‍්‍රකට් ඉස්ටිල් ඉන් මී’ කියා ය.     

රාජකීය-තෝමස් ප‍්‍රභූ පාසල්වලට ගිය සේනානායක, බණ්ඩාරනායක (බණ්ඩාරනායක මැතිනිය ද දියණිය ද උගත්තෝ ප‍්‍රභූ පාසලක් වන ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ ය* ජයවර්ධන හා වික‍්‍රමසිංහ වැනි අය විසින් මෙරට පාලනය අවසන් කරමින් එවන් පාසලකට නොගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති පිත්ත කරකවමින් 2005 දී තණතිිල්ලට පිය මනිද්දී බමුණු කුලය බලා සිටියේ රටකට ගිය කල කියා හූල්ලමිනි. රාජපක්ෂ ‘ගේම් එක චේන්ජ්‘ කළ ක‍්‍රීඩකයෙකි. ඔහු සනත්, දිල්ශාන් හා මාලිංගගේ සම්මිශ‍්‍රණයකි. මාවන්, මහේල, සංගක්කාර වැනි ඔර්තොඩොක්ස් විලාසයට පිත්ත හසුරුවන්න තරම් ප‍්‍රතිභාවක් නොතිබුණ ද මහින්ද පොල්-අඩි පිතිකරුවෙකු ලෙස 2015 වන විට නොසිතූ විරූ ලෙස දැවී යද්දී පරම්පරා ගණනාවකට සරිලන ලකුණු ප‍්‍රමාණයක් ඔහු රැුස් කර ගෙන සිටියේ ය. ලකුණු පුවරුවේ ඇති නිල වශයෙන් සටහන් වූ එකතුවට වඩා ලකුණු ප‍්‍රමාණයක් ද ඩුබායි, සීෂෙල්ස් හා මෙකී නොකී වැනි ලකුණු පුවරුවල සටහන් වී ඇති බව ක‍්‍රීඩා විචාරකයෝ අදහස් පළ කළ හ. ඉනිම දෙකක් පමණක් ගැසෙන ක‍්‍රිකට් තරඟයේ නීති රීති ද මහින්ද ක‍්‍රීඩකයාට වෙනස් කරන්නට හැකි විය. අසීමිත ඉනිම් යන නව නීතිය ඔහු හඳුන්වා දුන්නේ ය. පන්දු යවද්දී වරෙක ඔහු ප‍්‍රධාන පිතිකරුවා නොව ප‍්‍රධාන විනිසුරු ද දවා ලීමට සමත් වූයේ දුස්රා පන්දුවක් දමා ගැසීමෙනි. ‘ගේම් චේන්ජර්‘ විරුදාවලියෙන් ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි.

එතුමන්ගේ පුතුන් තිදෙනා ම ගියෝ බයි පාසලකට නොව අධිටොයි ශාන්ත තෝමස් විදුහලට ය. ඒ තමන්ට ලබා ගන්න නොහැකි වූ දෙයක් තම දරුවන්ට ලබා දීමට වෙර දරන දයාබර පියෙකුගේ උත්සාහයක ප‍්‍රතිඵලයක් වශයෙනි. සේනානායක බණ්ඩාරනායක වැනි පුරෝගාමී ආරම්භක පිතිකරුවන් මෙන් මිෂනාරීමය ප‍්‍රභූ ඔර්තොඩොක්ස් ක‍්‍රීඩා පුහුණුවක් තම දරුවනට ලබා දීම  ඕනෑම දේශපාලන පියෙකුගේ සිහිනයකි. ඒ පින් ලද පුතුන් තිදෙනා මනා සේ සිප් සතර හදාරා ගුණ නැණ බෙලෙන් යුතු ව නායකත්වයේ පිත්ත කවදා හෝ අතට  ගැනීමට සැදී පැහැදී සිටිත්. ක‍්‍රීඩාගාරයේ රැඳී සිටින කාලය නාස්ති නොකර ආචාර්ය උපාධි ගැසීම, කසාද බැඳීම, දරුවන් සෑදීම වැනි ගෘහස්ථ කර්මාන්තවල එ’දරුවෝ නිරත වී සිටින්නෝ රටට ම ආදර්ශයක් දෙමිනි. ලොකු පුතුට නිසි වයස එන තුරු පියා කඩුල්ලේ රැුඳී සිටින්නේ එකල රණතුංග මෙන් කම්මැලිකමට අනුන් දමා දුවන ආකාරයට නොවේ. කඩුල්ලේ එහා කොනේ සිටින්නේ දරුවන්ගේ බාප්පා ය. ඔහු පසුගිය වසර අවසානයේ කණ්ඩායමේ නායකයා බවට පත් විණ. එහෙත් ලකුණු අතර සිටින්නේ දරුවන්ගේ තාත්තා ය.  ඕවරයේ අවසාන පන්දුවට කෙසේ හෝ තට්ටුවක් දමා ලකුණක් කරා එහා කොනට දුවන තාත්තා ඊළඟ  ඕවරය පුරා ම පන්දුවට මුහුණ දෙයි. බාප්පා  ඕවර සියයක් අවසානයේ ලබාගෙන ඇත්තේ නිපන්දු කිහිපයක පමණි. එය තමාගේ වෙර වෑයමෙන් නොව පන්දු යවන වික‍්‍රමසිංහගේ ලයින් ඇන්ඞ් ලෙන්තයේ දෝෂයක් නිසාවෙනි. ජාත්‍යන්තර ක‍්‍රීඩා විස්තර ප‍්‍රචාරකයන් පවසන්නේ බාප්පාගේ කුසලතාව ඇත්තේ ක‍්‍රිකට් තුළ නොව ඇමෙරිකානු ක‍්‍රීඩාවක් වන බේස්බෝල්වල බව ය. කඩුලූ දෙක අතර දුවනවා වෙනුවට  පිත්ත පැත්තක දමා පිටිය වටා දුවන්නට බාප්පා තැත් දරන්නේ එහෙයිනි.  ඇලෙක්ස් කොන්ටෝරිගෙන් පසුව බිහි වූ හොඳ ම භෞතචිකිත්සකයා ලෙස සැලැකෙන   බැසිල් බාප්පාට ද ඊට පිළියමක් සොයා ගන්නට නොහැකි ව ඇත. දරුවන්ගේ තාත්තා මේ ආකාරයට ලකුණු අතර රැඳී සිටිමින් ක‍්‍රීඩාලෝලීන්ගේ ජයගොස විඳිමින් සිටින අතර බාප්පාගේ චියරින් ස්කොඩයේ සිටින වියත් මාමලා නැන්දලා පපරෙ බෑන්ඞ් කණ්ඩායමක්වත් වනාතමුල්ලෙන් හෝ ගෙන්නා ගන්න තැත් දරමින් සිටිති. මේ අනුව බලන කල මෙය  ටොයි-බයි  බිග්මැචයක් නොවේ. ‘බැට්ල් ඔෆ් ද බයිස්‘ හෝ කුරහන් සංග‍්‍රාමය ලෙස එය හැඳින්වීම වඩා උචිත බව ප‍්‍රවීණ ක‍්‍රීඩා විචාරකයෙකු මාධ්‍යයට තම අදහස් දක්වමින් පැවසුවේ ඒ නිසා විය හැක.

  • උදන් ප‍්‍රනාන්දු